.
පහුගිය කාලවලදී අපි දැක්කා ශ්‍රී ලංකාවට එන ආයෝජකයන්ට විවිධාකාරයේ තර්ජන ගර්ජනවලට ප්‍රශ්න කරදරවලට මුහුණ දෙන්න සිද්ධ වෙන ආකාරය. ඒ වගේම අපි දැක්කා ලෝකෙ සමහර රටවල් තමන්ගේ රටවලට ආයෝජකයන් ගෙන්වා ගන්න විවිධාකාරයේ උපක්‍රම සූදානම් කරන බව. ඒකට හොඳ උදාහරණයක් තමයි ටී20 තරගාවලියේ හැම ක්‍රීඩකයෙක්ගෙම ටීෂර්ට් එකේ ගහලා තිබුණේ සිම්බාබ්වේ රට තමන්ගේ රටට ආයෝජකයන්ට ආරාධනා කරනවා කියලා. ඇත්තටම ලෝකෙ ගොඩක් රටවල් දැන් උත්සාහ කරනවා ආයෝජකයන් තමන් වෙත ගෙන්වා ගන්න. ශ්‍රී ලංකාවට එන ආයෝජකයෝ ඉන්දියාවට, එහෙම නැත්නම් බංග්ලාදේශයට හෝ වෙනත් රටකට හැරිලා යන අවස්ථා අපි විශේෂයෙන්ම දැක්කා. මේ තත්ත්වය හොඳ දෙයක්ද? (Sri Lanka Latest News)
පහුගිය ආණ්ඩු සමයන්හි මේ රටට ආපු විවිධ ආයෝජකයන් මේ රටට ආයෝජන කරන්නේ නැතුව ඒවා ඉන්දියාවට සහ වියට්නාමයට රැගෙන ගිය බව මේ රටේ සිටින දකුණු කොරියානු සහ ඔස්ටේ්‍රලියානු තානාපතිවරු විදේශ අමාත්‍ය විජිත හේරත්ට නිල වශයෙන් පැමිණිලි කරලා තියෙන බවට ප්‍රවෘත්තියක් පහුගිය දවස්වල අපේ වෙබ් අඩවිවල පළවුණා. මේ වගේ තත්ත්වයක් ඇත්තටම රට ඇතුළේ සිද්ධ වුණා නම් එවක හිටපු දේශපාලකයෝ කවුද මේ වැඩේට සම්බන්ධ වුණේ කියන එක ගැන හොයලා බලන්නයි අපි අලුත් ආණ්ඩුවක් පත්කර ගත්තේ. මාලිමා ආණ්ඩුවට හැකියාව තියෙන්න ඕනේ කවුද මේ ජාත්‍යන්තරයෙන් පවා කප්පම් ඉල්ලපු අය කියන එක හඳුනා ගන්න. ඒකට හේතුව මේ අයව එකක් ජනතාව දැනගන්න ඕනේ. මොකද මේ දේශපාලකයෝ තවමත් දේශපාලනයෙන් ඉවත් වෙලා ගිහිල්ලා නෑ. අලුත් ආණ්ඩුවක් පත්වෙලා අලුත් දේශපාලන ප්‍රවාහයක් නිර්මාණය වුණාට අපි දන්නවා ඉදිරි කාලයේදී මේ දේශපාලන ප්‍රවාහයන්ගේ යම් යම් වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්.
මිනිස්සුන්ටත් දේශපාලකයෝ ගැන විවිධ අදහස් ඇතිවෙන්න පුළුවන්. ප්‍රසිද්ධ තීරණ ගන්න දේශපාලකයන් ගැන වඩා ආදරයක් ජනතාව තුළ කොහොමත් තියෙනවා. ඒක නිසා අපේ රටේ අලුත් දේශපාලන ප්‍රවාහයක් නිර්මාණය කරලා, අපි හොරු අල්ලයි කියලා බලාපොරොත්තු තියාගෙන ඉන්නකොට අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ වහෙන් ඔරෝ කතා නෙවෙයි. රටට එන ආයෝජකයන්ගෙන් කප්පම් ඉල්ලනවා කියලා කියන්නේ සුළුපටු දේකුත් නෙවෙයි. ආයෝජකයන්ට පහරදෙන ඒවා, ආයෝජකයොත් එක්ක ගැටෙන ඒවා, ආයෝජකයන්ගෙන් විවිධ වරප්‍රසාද බලාපොරොත්තු වෙන ඒවා පහුගිය කාලවකවානුව ඇතුළේ කීප අවස්ථාවකදීම අපි දැක්කා. සමහර ආයෝජකයෝ ඒ පළමු සිදුවීමේදීම ඍජුවම කිව්වා අපි ලංකාව දාලා යනවා, අපි ලංකාවේ වැඩ කරන්නේ නෑ කියලා. ඒකට හේතුව ලංකාවට වඩා වෙනත් රටවල් කීපයක් තියෙනවා පහසුවෙන් වැඩ කරන්න පුළුවන්කම තියෙන. මොකද ඒගොල්ලෝ බදු සහන වගේ දේවල් දීලා, ඒ රටේ ශ්‍රමිකයන්ගේ කුලී ප්‍රමාණයන් අඩුවෙලා තියෙන අවස්ථාවලදී, ඒ වගේම ඒ රටවලට අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීම සහ සපයා ගැනීමේ පහසුකම වැඩිවෙද්දී, ඒ රටවල රජයන් බලධාරීන් මේ සඳහා විශාල සහායක් ලබාදෙද්දී තවදුරටත් ආයෝජකයන්ට අපේ රටේ ඉන්න අවශ්‍ය නෑ.
ඔබ දන්නවා අපේ රට කියලා කියන්නේ කර්මාන්ත කලාප කීපයක් තියෙන, ආයෝජන ප්‍රවර්ධන කලාප කීපයක් තියෙන රටක්. ඒවායේ විශාල ප්‍රමාණයක් රැකියාවල නියැළෙනවා. පවුල් විශාල සංඛ්‍යාවක් මේ හරහා යැපෙනවා. ඉතින් මේ තත්ත්වය නිසා අපි වැඩිපුර අවධානය යොමුකරන්න ඕනේ ශ්‍රී ලංකාවට පැමිණ ආයෝජනය කරන්නන් රැකගන්න. එහෙම රැකගන්නේ නැතුව ආපු කෙනාගෙනුත් කීයක් හරි ඉල්ලපු කෙනා කවුද, ඔහුට ලබාදෙන දඬුවම තමයි දෙවැනි කාරණාව විය යුත්තේ. ජනතාව දැනගැනීම පළමු කාරණාව වුණාට, වඩා වැදගත් වෙන දේ තමයි දෙවැනි කාරණාව. ඒකට හේතුව යම්කිසිවෙක් යම් කිසිවෙක්ගෙන් යම්කිසි ආකාරයකින් කප්පමක්, අල්ලසක් හෝ මුදල්මය ඉල්ලීමක්, එහෙම නැත්නම් ශාරීරිකව ලබාදෙන අල්ලසක් ඉල්ලලා තියෙනවා නම් ඒක ශ්‍රී ලංකා නීතිය අනුව පවා වැරැදියි. එතකොට ලංකාවේ නීතිය අනුව කරපු වරදකට දඬුවම් කරන්න කිසිසේත්ම යාළු මිත්‍රකම් හිතවත්කම්, කලින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වීම, පාර්ලිමේන්තුවේදී එකට තේ බීම වගේ කාරණා වැදගත් වෙන්නේ නෑ.
මේ ක්ලීන් ශ්‍රී ලංකා සංකල්පයේදීත් අපි හැම වෙලාවෙම ආණ්ඩුව පැත්තේ හිටගන්නේ ඒකයි. වැරැදි නම් වැරැදියි. ඒක ප්‍රයිවට් බස් එකට එක නීතියක්, පාරේ යන කාර් එකට තව නීතියක්, ත්‍රීවීල් එකට තව නීතියක්, ඇමැතිගේ වාහනේට තව නීතියක් නොවෙන්නයි අලුත් පාලකයෝ පත්කරලා අලුත් දේශපාලන ප්‍රවාහයකට අපේ රටේ මිනිස්සු බලාපොරොත්තු තිබ්බේ. ඒ නිසා විජිත හේරත් මහත්තයා දන්නවා නම්, එතුමාට කවුරු හරි කෙනෙක් මේ ගැන කිව්වා නම් අපි විශ්වාස කරනවා රාජ්‍යතාන්ත්‍රිකයෝ ඇවිල්ලා අපිට මේ ළිංමැදි හතේ පණිවුඩ කියනවා වගේ ආරංචි කියන්නේ නෑ. ඒගොල්ලෝ පණිවුඩය කියද්දී ඒගොල්ලෝ කෙනා කියන්නේ නෑ, වෙච්ච විදිය කියන්නේ නෑ, අහන එක්කෙනා කියන්න ඕනේ නෑ, වැඩේ විතරක් කියලා යන්නම් මල්ලි කියලා කියලා යන්නේ නෑනේ. ඒ නිසා එතුමා මේක දන්නවා. එතුමාගේ තියෙන ගුණාත්මක බව හෝ එතුමාගේ තියෙන වැදගත්කම නිසා මේ නම්ගම් ප්‍රවෘත්ති සාකච්ඡාවලදී කියලා දේශපාලන වාසි ලබා නොගත්තාට, අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි වැරැදිකාරයෝ කවුද කියලා හෙළිදරව් වෙන්න ඕනේ. ලේන්සුවලින් මූණ වහගෙන යන්න අවස්ථාව දුන්නට කමක් නෑ. කැමරාවලට වීඩියෝ කරගන්න අවස්ථාව නොතිබ්බට කමක් නෑ. හැබැයි නම්ගම් කියන්නකො අපිට, අපි දන්නවනේ එතකොට කවුද කියලා. මොකද අපි දන්නවා සතා කවුද කියලා.
අපි දන්නවා ලංකාවේ කලින් හිටපු දේශපාලකයෝ කරපු සෙල්ලම් මොනවද කියලා. ඒ නිසා ඒවා රහස් නෙවෙයි. මේ වගේ දේවල් වුණා නම්, ඒ වුණේ පහුගිය දේශපාලකයන්ගේ අනුදැනුම මත, එහෙම නැත්නම් දේශපාලන නායකයන්ගේ ආශීර්වාදය මත කියන එකත් අපිට සෑහෙන විශ්වාසයක් තියෙනවා. ඒ නිසා මේ ආශීර්වාදය කළේ කවුද, උදව් කළේ කවුද, වැඩේ කළේ කවුද, ඉල්ලුවේ කවුද, නොදුන්නේ කාටද, දුන්නේ කාටද කියන මේ ඔක්කොම ටික අපි හෙළිදරව් කරගෙන මේ රටේ තියෙන කුණු ටික අතුගාලා දාලා නිවැරැදිව ක්ලීන් ශ්‍රී ලංකාවක් හදමු.

ජීවන පහන් තිළිණ










