අද (28) අලුයම කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබූ නටාෂා එදිරිසූරිය නැමැති කාන්තාව සම්බන්ධයෙන් නාරාහේන්පිට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. (Sri Lanka Latest News)
බෞද්ධ ආගමට, බෞද්ධ සහ කිතුණු පාසැල්වලට මෙන්ම ඒවායේ ඉගෙනුම ලබන සිසුවියන්ට අපහාස වන පරිදි මෝඩාභිමානය නමැති වැඩසටහනක් ඉදිරිපත් කළ මෙම කාන්තාව අද අලුයම සිංගප්පූරුව බලා පිටත්ව යාම සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියදීයි ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දෙනු ලැබුවේ.
මෙම කාන්තාව විදේශගත වීමට පැමිණීමේදී අත්අඩංගුවට ගන්නා ලෙස නාරාහේන්පිට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් කටුනායක ආගමන විගමන නිලධාරීන් වෙත ලිඛිත ඉල්ලීමක් කර තිබූ බව සඳහන්.
ඒ අනුව ඇය ඊයේ (27) රාත්‍රී 11.30ට පමණ කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
31 හැවිරිදි මෙම කාන්තාව ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකාරියක් බව සඳහන්.
මෙම කාන්තාව සමග පිටත්ව යාම සඳහා හෙන්නායක මුදියන්සේලාගේ පැතුම් බණ්ඩාර එගොඩවත්ත නම් අයකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ බව සඳහන්.
එහෙත් නටාෂාව අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුද සිය ගුවන් ගමන අතහැර ආපසු පිටත්ව ගොස් තිබෙනවා.
මොවුන් දෙදෙනා ක්වාලාලම්පූර් නුවර වෙත ගොස් එතැන් සිට වෙනත් ගුවන් යානයකින් සිංගප්පූරුව බලා පිටත්ව යාමට සැළසුම් කර කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි බවටයි හෙළිවී ඇත්තේ.
අත්අඩංගුවට ගත් කාන්තාව අලුයම 01.20ට පමණ කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන නිලධාරීන් විසින් නාරාහේන්පිට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණා.
dasathalankanews