කුමන්ත්‍රණවලින් රජවරුන් පලවාහල ඉතිහාසයක් හිමිව තිබුණද ශ්‍රී ලංකාවට අරගල කර නායකයන් පලවා හැරීම වූ කලී අලුත්ම අත්දැකීමකි. මාස දෙකක් ඇතුළට රටේ ජනාධිපති සහ අගමැති දෙදෙනාම අරගල කර පලවාහල ලාංකිකයෝ අද වන විට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහද පලවාහරින තෙක් අරගලය දිගුකර තිබේ. මේ වූ කලී ශ්‍රී ලංකාවට පමණක් නොව අරගලයෙන් බලය මාරු කරන්නට ගිය සෑම රටකටම පොදු ප්‍රතිඵලයකි. එහෙත් අරගල ගැන කවි ගී ලියන සමාජය එකී අරගලයන්ගේ අනුප්‍රාප්තිකයන් සහ ඔවුන් රට ගෙනගිය තැන් ගැන උගුර හඬවන්නේ නැත.
මෑතකාලීන ලෝකයට අරගලයකින් බලය මාරු කිරීම සම්බන්ධව ඇති හොඳම උදාහරණය ලැබෙන්නේ පිලිපීනයෙනි. දකුණු ආසියානු කලාපයෙ පිහිටි දූපත් රාජ්‍යයක් වන පිලිපීනය ස්පාඤ්ඤ යටත්විජිතයක්ව පැවැති රාජ්‍යයකි. දශක දෙකක් පමණ එරට පාලනය කළ ෆර්ඩිනන්ඩ් මාකෝස් නම් ඒකාධිපති පාලකයා වර්ෂ 1986 දී ජනතා අරගලයකින් පලවා හරින්නට එරට ජනයා සමත් වූහ. දැඩි ඇමෙරිකානු හිතවාදියකු වූ මාකෝස් ඩොලර් මිලියන 10කට වඩා එරට ජාතික ධනය කොල්ලකෑ අයකු වන අතර රත්‍රන්, මැණික් ඇතුළු වටිනා දෑ කොල්ලකෑ චෞර්යයෙක් ලෙසද හැඳින්වේ. මාකෝස් පලවා හැරීමෙන් අනතුරුව එරට ජනාධිපති ධුරයට පත්වූයේ කොරාසෝන් අඛීනෝය. ඇය මාකෝස් විසින් ඝාතනය කරන ලද බෙනීන්ග්නෝ අඛීනෝගේ වැන්දඹුවය.
කොරාසෝන් අඛීනෝගේ කර පිට වැටුණේ මුළුමනින්ම විනාශ කර හපකර තිබූ රටක් ප්‍රතිනිර්මාණය කිරීමය. එය කිසිසේත් පහසු කාර්යයක් නොවීය. මාකෝස්ගෙන් වරප්‍රසාදලත් දූෂිත නිලධාරීන් ඇයට නිරතුරුවම බාධා පමුණවන ලදී.
සාමකාමී ජනතා විප්ලවයක ජයග්‍රහණයක් ලෙස කොරාසෝන් අඛීනෝ පිලිපීන ජනාධිපති ධුරයට පත්වීමත් සමග දශක දෙකක තරම් කාලයක් එරට ක්‍රියාත්මක වූ මාකෝස්ගේ අත්තනෝමතික පාලනය අවසන් විය. අඛීනෝ බලයට පත්වූ සාමකාමී ආකාරය නිසා ඇයට පිලිපීන ජනතාව අතර මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව අතරේද හිමිවූයේ බලවත් ප්‍රසාදයකි.
ඇයගේ ජනාධිපති ධුරයේ මුල් මාස කිහිපය තුළ රට රැඩිකල් වෙනස්කම්වලට සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඇති කරන්නට පටන් ගත්තාය. අඛීනෝගේ පළමු නිර්භීත පියවරයන්ගෙන් එකක් වූයේ මාකෝස් අයථා ලෙස උපයාගත් ධනය පසුපස යාම සඳහා පැවරුණු යහපාලන රජය පිළිබඳ ජනාධිපති කොමිසම (PCGG) නිර්මාණය කිරීමයි. කෙසේ වෙතත්, ඇයගේ ජනාධිපති ධුර කාලයෙන් පසුව, මෙම කොමිසම තුළද බොහෝ අකටයුතුකම් සිදුවූ බව වාර්තා වේ. මාකෝස් හිතවාදීන් එහි කටයුතු සිතාමතාම අවුල් කරන්නට විය.
කොරාසෝන් අඛීනෝ ඇයගේ පූර්වගාමියා වූ මාකෝස් යටතේ ක්‍රියාත්මක වූ දැඩි මර්දන නීති අවලංගු කර, සිවිල් නිදහස යථා තත්ත්වයට පත් කළාය. වර්ෂ 1973 සිට ක්‍රියාත්මක වූ ‘මාර්කෝස්ගේ ව්‍යවස්ථාව’ අහෝසි කර දැමීම ඇගේ පාලන කාලයේ සිදුවූ වැදගත් ජනහිතකාමී ක්‍රියාවකි. අගමැති සැල්වදෝර් ලෝරල්ගේ සභාපතිත්වයෙන් ඇය ව්‍යවස්ථාදායක කොමිෂන් සභාවක්ද නිර්මාණය කළ අතර, එය ජාතිය සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට දායක විය. කෙසේ වෙතත් ධුරයේ අවසාන කාලය වන විට ඇයගේ පාලනය පිළිබඳවද නොයෙක් විවේචන මතුවන්නට වූ අතර ඇගේ ජනප්‍රිය බවද යම් තරමකට පහත බසින්නට විය. අරගල කර නායකයන් පලවාහල රටවල් අතරින් යම් තරමක හෝ සාර්ථක බවක් ලද එකම නායිකාව ලෙස කොරාසෝන් අඛීනෝ දැක්විය හැකිමුත් අද වන විට පිලිපීනයේ ජනතාවගේ දේශපාලක කියවීම තුළ 1986දී ඒකාධිපති මාකෝස් පලවා හරින්නට කළ මහා අරගලයේ වලංගුභාවය පවා යම් තරමකට ප්‍රශ්න කිරීමකට ලක්වන බව නොකියාම බැරිය.
ෆර්ඩිනන්ඩ් මාකෝස් පලවා හැරීමෙන් වසර 36ක් ගතවන විට පිලිපීන ජාතිකයන් මාකෝස් පවුල සමග තිබූ වෛරය මුළුමනින්ම අතහැර දැමුවා සේය. ලියුම්කරු එසේ පවසනුයේ පිලිපීන ජනයා තමන්ගේ වත්මන් ජනාධිපති ලෙස තෝරාගෙන ඇත්තේ නෙරපාහරින ලද මාකෝස්ගේ කනිටු පුත්‍රයා වූ ෆර්ඩිනන්ඩ් මාකෝස් (කනිෂ්ඨ) වීම නිසාය. බොන් බොන් මාකෝස් නමින් හැඳින්වෙන ඔහු එරට ජනප්‍රියතම නායකයා වී සිටීම අපට කියාපානුයේ දේශපාලනයේදී සදාකාලික සතුරෝ හෝ මිතුරෝ නොමැති බව නොවේද?
අරගල මගින් නායකයන් පලවා හල රාජ්‍යයන් ගැන කතාකිරීමේදී ලිබියාව ගැන කතා නොකරම බැරිය. අප්‍රිකානු මහද්වීපයේ පිහිටි අංක එකේ සුබසාධක රාජ්‍යයක් වූ ලිබියාව දශක ගණනක් පාලනය කළේ කර්නල් මුවම්මර් ගඩාෆි විසිනි. ප්‍රතිවාදී මත නොඉවසන්නෙක් වූ ගඩාෆි, දැඩි පාලනයක් ලිබියාව තුළ ක්‍රියාත්මක කළ බව ප්‍රකට කරුණකි. එහෙත් ලිබියානුවන් වෙනුවෙන් ඔහු බොහෝ සුබසාධක පහසුකම් ක්‍රියාවට නැංවූයේය. ඔහු එරට ජනයාට නොමිලේ සෞඛ්‍ය පහසුකම් ලබාදුන්නේය. අධ්‍යාපනයද ලබාදුන්නේ නොමිලේය. වෙනත් අරාබි සහ අප්‍රිකානු රාජ්‍යයන් කාන්තාවන්ගේ අධ්‍යාපන අයිතීන් දෙවැනි තැනට දමා කටයුතු කරද්දී ගඩාෆි ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශ්වයටම අධ්‍යාපන පහසුකම් නොමිලේ සැපයූවේය. එමතුදු නොව කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම ප්‍රාථමික අධ්‍යාපනය අනිවාර්ය කළේය. එහෙත් අරාබි වසන්තයෙන් ගඩාෆිටද ගැලවීමක් නොවීය. සාහසික ලෙස පහරදී ගඩාෆි මරාදැමීමෙන් පසු අරගලකරුවෝ එරටට නව පාලකයෙක් සහ පාලන ක්‍රමයක් සොයන්නට වූහ. ඒ අනුව ගඩාෆිගෙන් හිස්වූ ලිබියානු මුල් පුටුව හිමිවූයේ මුස්තාෆා අබ්දෙල් ජලීල්ටය.
මුස්තාෆා අබ්දෙල් ජලීල් යනු මුවම්මර් ගඩාෆිගේ කැබිනට් මණ්ඩලයේ අධිකරණ ඇමැතිවරයාය. කැරලිකරුවන් විසින් අල්ලා ගන්නා ලද ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීම සඳහා සාකච්ඡා කිරීමට ගඩාෆි නැගෙනහිර බෙන්ගාසි නගරයට යවන්නේ ඔහුය. එහෙත් ගඩාෆි ගැන කලකිරී සිටි ඔහු අවසන කැරලිකරුවන්ට සහාය පලකරන්නේය. ගඩාෆිගේ රජයෙන් ඉල්ලා අස්වූ මුල්ම නායකයා ඔහු වන අතර එම ඉල්ලා අස්වීම කැරලිකරුවන්ට නව උත්තේජනයක් ලබාදුන්නේය. ගඩාෆි මරාදැමීමෙන් පසු 2011 මාර්තු 05 හෝ ඊට ආසන්න දිනයක ලිබියාවේ නායකත්වය භාරගන්නා ඔහු වසරකුත් දින 156ක් එරට පාලනය කරන්නට සමත් විය. ඔහු බලයෙන් පහකිරීමෙන් අනතුරුව මොහොමඩ් අලි සලීම් 2012.08.08 වැනි දින ලිබියාවේ ජනාධිපති ධුරයට පත්වන අතර, ඔහුගේ තනතුර එක් දිනකට (2012.08.09) සීමාවන්නේය. ඉන් අනතුරුව මොහොමඩ් මාගරියාෆ්, නොවුරී අබුෂමීන්, අබු බකර් බයිරා, ෆායිස් අල් සරාජ් ඇතුළු ජනාධිපතිවරුන් නව දෙනකු එරට පාලනය කර ඇත. මේ අතරින් අබු බකර් බයිරාගේ පාලනයද මොහොමඩ් අලි සලීම්ගේ මෙන් එක් දිනකට සීමාවන්නේය. මොහොමඩ් අල් මෙන්ෆී එරට වර්තමාන ජනාධිපති ධුරය හොබවන අතර පසුගියදා එරට පාර්ලිමේන්තුව ගිනිතබා විනාශ කිරීමටද ඔහුගේ අනුගාමිකයන් මුල් විය. අදටත් ලිබියානුවෝ තමන්ට ගැළපෙන පාලකයකු සොයමින් අරගල කරමින් සිටී.
ශ්‍රී ලංකාවේද ඉතා ජනප්‍රිය අප්‍රිකානු නායකයෙක් වන ඉඩි අමීන්ද ජනතා විරෝධය හමුවේ රටින් පලාගිය අයෙකි. මූල්‍ය අක්‍රමිකතා පුද්ගල ඝාතන වැනි අපරාධ චෝදනා රැසක් ඇති ඉඩි අමීන් සෞදි අරාබියට පලාගිය පසු එරට ජනාධිපති ධුරය හිමිවනුයේ යූසුෆ් ලුලේටය. වර්ෂ 1979 අප්‍රේල් 13 වැනිදා බලයට පැමිණි ඔහු එම වසරේම ජූනි 20 වැනිදා බලයෙන් පහකරන ලදී. හිටපු පාලක ඉඩි අමීන්ට එරෙහි පැමිණිලි ටිකවත් භාරගෙන නිම කිරීමට පෙර ඔහුගේ පාලනය නිමවිය. එරට ඊළඟ පාලකයා වූයේ ගොඩ්ෆ්‍රී බිනායිසාය. දින 327ක පාලන කාලයකින් පසු මහජන කැරැල්ලකින් ඔහුද නෙරපා දමන අතර, පාවුලෝ මුවන්ගා එරට ඊළඟ අගමැති වන්නේය. එහෙත් දින 10ක පමණ කෙටි කලකට පසු ඔහුටද ඉල්ලා අස්වන්නට සිදුවන්නේය. අනතුරුව 1980 මැයි මස සිට වසරකට ආසන්න කාලයක් ජනාධිපති කොමිසමක් මගින් අසීරුවෙන් එරට පාලනය ගෙනයන අතර, මිල්ටන් ඔබොටේ 1980 දෙසැම්බර් 17 වැනිදා එරට අගමැති ධුරයට පත්කර ගන්නා ලදී. වසර හතරකට පමණ පසු ඔහු නෙරපා හරින අතර යුසේවී මුසවේනි කලක සිට එරට පාලනය කරයි.
ටියුනීසියාව 1989 සිට 2009 දක්වා දශක දෙකක් පාලනය කළ ආබ්දීන් බෙන් අලීද ජන අරගලයක් මගින් පලවාහරින ලද නායකයෙකි. අරාබි වසන්තයේ පළමුවැනි වින්දිතයා වන බෙන් අලී, 2011 ජනවාරි 14 වැනිදා බලයෙන් පහකරනු ලැබීය. ඔහුගෙන් පසු එරට අන්තර්වාර පාලකයා වූයේ පාර්ලිමේන්තුවේ කතානායකයා වූ ෆාවුඩ් මෙබාසාය. ඔහුගේ පාලනයෙන් පසු මෙන්සෙෆ් මරුසුකී එරට ජනාධිපති ධුරයට ව්‍යවස්ථාදායක සභාව විසින් තෝරගත් අතර වසර දෙකකට පමණ පසු පැවැති මැතිවරණයෙන් බෙජී එසෙබ්සි එරට ජනාධිපති ධුරයට පත්වන ලදී. ඒ, 2014 වසරේදීය. එසෙබ්සී, 2019 තෙක් සිය ධුරය හොබවන ලද අතර, අනතුරුව 2019 ජුනි මාසයේදී මොහොමඩ් එනැකියුර් අන්තර්වාර අගමැතිවරයා ලෙස පත්විය. කයිඩ් සයිඩ් 2019 වසරේ එරට ජනාධිපති ධුරයට පත්වන අතර අද දක්වාම එරට පාලනය කරයි.
මේ ආකාරයෙන් බලන කල රාජ්‍ය නායකයන් සැලකිය යුතු ප්‍රමාණයක් අරගල මගින් බලයෙන් පහකර ඇති අතර, ඉන් බහුතරයකම අනුප්‍රාප්තික නායකයන් ජනතා අපේක්ෂාවන් වෙත ළඟා වීමට අසමත් වූ බැවින් නැවත නැවත සිදුවූ අරගල හරහා බලයෙන් පහ කරන ලද බව පැහැදිලි වේ. ඒ අනුව බලන කල ‘ජන අරගල’ නොනවතින රැලි බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවේ පමණක් නොවන බව නම් පැවසිය හැක.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු










