පොසොන් පොහොය කියන්නේ අවිහිංසාවාදයේ පණිවුඩය අපේ රටට දායාද වුණු ඓතිහාසික දවසට. තමන්ට හැකි උපරිමයෙන් දාන, සීල, භාවනා ආදී පුණ්යකර්මවල නිරත වෙනවා. රට පුරාම දන්සල් පවත්වමින්, සීලයක් සමාදන් වෙමින්, විවිධ පුණ්යකර්මවල නිරත වෙමින් මිනිස්සු ඒ දවසට වටිනාකමක් දෙන්න උත්සාහ කරනවා. ඒ වගේ පින්බර දවසක වටිනාකම කෙළෙසපු මහ පොළොව නූහුලන අපරාධයක් ගැන අපට අහන්නට ලැබුණා. ඒ තමයි තරුණයන් අටදෙනකු එක්ව සැලසුම්සහගතව බාලවයස්කාර දැරියක් සමූහ දූෂණයට ලක්කිරීම. මෙලෙස දූෂණයට ලක්ව තිබුණේ හංවැල්ල පහළ කොස්ගම ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවියක්. (Sri Lanka Latest News)
පොසොන් පොහොය යෙදී තිබුණු පසුගිය 21 වැනිදා මෙම දැරිය තම පුංචි අම්මාද සමග දන්සලකට ගොස් තිබුණා. ඉන් අනතුරුව ඇය සිය පෙම්වතා මුණගැසීමේ අරමුණෙන් පුංචි අම්මාට බොරුවක් කියා පිටව ගොස් ඇති බවයි හෙළිව තිබුණේ. ඒ අනුව, පොතක් මිලදී ගැනීමට අවශ්‍ය බව පවසා ඇය සිය පෙම්වතා හමුවීමට ඔහුගේ නිවෙසට ගොස් ඇති බව සඳහන්ය.
අනතුරුව නැවත පැමිණෙමින් සිටියදී මුහුණ දී තිබුණේ ඇය සිහිනෙකින් හෝ නොසිතූ සිදුවීමකටයි. හංවැල්ල ඇඹුල්ගම හන්දියේ ඔස්සේ පැමිණෙමින් සිටි ඇයව යතුරුපැදිවලින් පැමිණි තරුණයන් දෙදෙනකු විසින් බියගන්වා එක් යතුරුපැදියකට බලහත්කාරයෙන් නංවාගෙන තිබුණා. ඔවුන් විසින් දැරිය හංවැල්ල ජල්තර ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින ආදාහනාගාරයක් වෙත රැගෙන ගොස් ඇති අතර එහිදී ඔවුන් ඇයව දූෂණයට ලක්කර ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළිව ඇත. අනතුරුව එහි පැමිණි අදාළ තරුණයන්ගේ මිතුරන් තිදෙනකු විසින්ද ඇයව දූෂණයට ලක්කර ඇති බවත්, තවත් තරුණයකු විසින් ඔත්තු බලමින් සිට ඇති බවත් සඳහන්ය. ඇයව එම ස්ථානයට රැගෙන ආ තරුණයකු විසින්ම ඇයව ඇඹුල්ගම ප්‍රදේශයට ගොස් ඇරලවා තිබුණු අතර, ඇය නිවෙසට යෑමට මුදල් ඉල්ලූ විට ඇයට රුපියල් 40ක්ද ලබාදී තිබූ බවයි අනාවරණය වී ඇත්තේ.
කෙසේ වෙතත්, මේ ඛේදජනක සිදුවීමෙන් පසු ඇය හඬමින් සිටියදී එම ස්ථානය හරහා යතුරුපැදියකින් ගමන් කරමින් සිටි හංවැල්ල පොලිසියට අනුයුක්තව සේවය කරන නිශාන්ත රත්නසිරි සහ වීරක්කොඩි යන පොලිස් නිලධාරීන් ඇය දැක හැඬීමට හේතුව විමසා ඇත. ඒ අනුව පොලිස් නිලධාරීන් මෙම අපරාධය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ඒ පිළිබඳ පොලිස් කොස්තාපල් නිශාන්ත රත්නසිරි මහතා පැවැසුවේ මෙවැන්නකි.
‘අපි දෙන්නා 21 වැනිදා 119 රාජකාරියේ සිටියේ. ඒ අනුව අපි ජල්තර ප්‍රදේශයේ මාර්ග සෝදිසියේ නිරත වුණා. ඒ අතරතුර ආටිගල හන්දියේදි ගෑනු ළමයෙක් අපේ බයික් එකට අත දැම්මා. මේ ළමයා හඬමින් හිටියේ. අපි බයික් එක නවත්වලා ළමයා ළඟට ගිහින් අඬන්නේ ඇයි කියලා ඇහුවා. එතකොට එයා කිව්වා මාමේ මාව විනාශ කළා කොල්ලෝ 6 දෙනෙක් කියලා. දරුවා මගේ අතේ එල්ලෙමින් හඬා වැලපුණා. අපි මේ ළමයාවත් අරගෙන ත්‍රිරෝද රථයකින් ජල්තර ප්‍රදේශයට ගියා. යනකොට ඇඹුල්ගම හන්දියේ මඤ්ඤොක්කා දන්සලක් ළඟ සිද්ධියට සම්බන්ධ කොල්ලෝ පස්දෙනාම හිටියා. පැනපු ගමන් දෙන්නෙක් අල්ලගෙන එක්කෙනෙකුට මාංචු දැම්මා. එතකොටම අනිත් කොල්ලා අපිව පෙරළගෙන පැනලා දිව්වා. අපි මේ කොල්ලවයි ගෑනු දරුවවයි දාගෙන හංවැල්ල පොලිසියට ඇවිත් ස්ථානාධිපතිතුමාට බාර දුන්නා…’
මෙම සිදුවීමේ ප්‍රධාන සැකකරු වන දැරිය යතුරුපැදියේ නංවාගෙන ආදාහනාගාරයට ගෙන ගිය තරුණයා ඇතුළු සෙසු සැකකරුවන් කඩුවෙල සහ නවගමුව යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 19 සහ 21 යන වයස්වල පසුවන්නන්ය. යතුරුපැදිකරු ඇතුළු සෙසු සැකකරුවන් දැරිය දූෂණය කිරීමට පෙර ඇය සිය පෙම්වතා අතින්ද එදිනම දූෂණයට ලක්ව ඇති බවත්, එලෙස දූෂණය කළ බව පෙම්වතා සිය මිතුරන්ට පවසා ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළිකරගෙන තිබිණි.
කෙසේ වෙතත් අවසානයේ සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කෙරුණු අතර, සැකකරුවන් අටදෙනා ජුනි 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. සිදුවීම සම්බන්ධව හංවැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් කුමාර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඉන්දික සහ ළමා හා කාන්තා කටයුතු කාර්යාංශයේ ස්ථානාධිපතිනී උප පොලිස් පරීක්ෂිකා තෙන්නකොන් මහත්මිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.
තරුණ වියට එළැඹෙන දරුවන්ගෙන් වැඩිපිරිසක් වැඩිහිටියන්ගෙන් ගිලිහෙනවා. ඒ වගේම බොහෝ වැඩිහිටියන් තම දරුවන් ගැන සොයාබැලීම ඕනෑකමින්ම මගහරිනවා. එදා සමාජයේ වගේ නොවෙයි, වර්තමානයේ දරුවන්ට ප්‍රේම සබඳතාවක් කියන එක බොහොම සැහැල්ලු දෙයක් වෙලා. වටිනාකමක් නැහැ. අතීතයේ මිනිස්සු ආදරය වින්දා. පෙම් හසුන් ලිව්වා. නමුත් අද තාක්ෂණික මෙවලම්, සමාජ මාධ්‍ය ජාල සමග දවසේ වැඩි කාලයක් ගතකරන දරුවන්ගේ මනස විකෘතිභාවයට පත්ව තිබෙනවා. අද ආදරයකට මුලපුරන්නේම කාමුක හැඟීම් ඔළුවේ තබාගෙනයි.
බොරු ආදරය නිසා මෙවැනි විනාශයකට පත්වුණු එකම දැරිය ඇය පමණක් නොවෙයි. මෙවැනි සිදුවීම් මීට පෙරත් ඕනෑ තරම් වාර්තා වුණා. නමුත් මේ සිදුවීම්වල වරද ඇත්තේ කොතැනද කියා සොයන්න කිසිවකුත් වෙහෙස වුණේ නැහැ. මෙවැනි සිදුවීමක් වාර්තා වූ සැණින් බොහෝ පිරිස් උත්සාහ ගන්නේ එම සිදුවීමට අදාළ පුවත් පළකරමින් තම තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වල නරඹන්නන් ප්‍රමාණය ඉහළ දමා ගැනීමටයි.
මෙවැනි අපරාධ, විෂමාචාර වැළැක්වීමට නම් දරුවන්ගේ ආකල්ප සිතුවිලි වෙනස් කිරීමයි කළ යුත්තේ. ප්‍රේමයේ ඇති උත්තරීතර බව, දරුවන්ට කියාදිය යුතුයි. ඒ ගැන කියැවෙන පොත්පත්, සිනමා පට, ගීත දරුවන්ට කියවීමට, රස විඳීමට ඉඩ සලසාදිය යුතුයි. නමුත් වර්තමාන දරුවන් නරඹන්නේ, රස විඳින්නේ හරසුන්, කාමුක, කඨෝර, හිත් දූෂණය කරන සංගීත, සිනමා නිර්මාණයි. ඒවායේ අහිතකර බලපෑම නිසා වර්තමාන දරු පරපුරෙන් බහුතරයකගේ හිත් දූෂණය වී ඇති බව නොරහසකි.
එසේම මෙම අපරාධයන් වැළැක්වීම සඳහා ආදරය සහ ලිංගික ක්‍රියාකාරකම් ගැන දරුවන් දැනුවත් කිරීමද අතිශයින්ම වැදගත්ය. ඒ දේවල් දරුවන්ට සඟවා, ඉතා රහසිගත දේ බවට පත්කිරීම හරහා දරුවන් තුළ ඒ පිළිබඳ කුකුසක් ඇතිවන අතර, ඒවා රහසිගතව අත්හදා බලන්නටද ඔවුහු ඒ හරහා පෙලඹෙති. එබැවින් නිසි වයසේදී දරුවන්ට ඒ පිළිබඳ උගන්වන්නට ගුරුවරුන් මෙන්ම මවුපියන්ද කටයුතු කළ යුතුය. බොහෝ නිවෙස් තුළත් ආදරය කියන මාතෘකාව තහනම් දෙයක් වී ඇත. නිවසේ රූපවාහිනියේ සිප වැලඳගැනීමක් රූපවාහිනියෙන් විකාශය වුණොත් බොහෝ විට වැඩිහිටියන් විසින් තැනල් එක මාරුකරනවා. නැතිනම් රූපවාහිනිය නිවාදමනවා. ඒ හරහා දරුවන්ට එම සිදුවීම් ගැන ඇතිවන්නේ බලවත් කුකුසකි. ඒ හේතුවෙන්ම දරුවන් විරුද්ධ ලිංගිකයන්ගේ ආදරය සොයා යෑමට නිතැතින්ම පෙලඹෙනවා. ආනෙකුත් සියලු ප්‍රශ්න දරුවන් සමග කතාකරන්න මවුපියන් කටයුතු කළත්, ලිංගික අධ්‍යාපනය පමණක් දරුවන්ගෙන් වසං කරනවා.
අපේ කතානායිකාව වූ පාසල් දැරිය මෙම ඛේදවාචකයට මුහුණ දී තිබුණේ තම වැඩිහිටියන්ට බොරු කියා අනාරක්ෂිත ගමනක් ගොස් තිබූ නිසයි. තම පෙම්වතා හමුවෙන්න යන බව නොකියා, වෙනත් ගමනක් යන මුවාවෙන් ඇය ගොස් තිබුණේ පෙම්වතාගේ නිවෙසටයි. ඒ හරහා ඇය මුහුණ දී තිබුණේ බරපතළ අනතුරුදායක තත්ත්වයකටයි. ඒ නිසා සෑම දරුවකුම තම මවුපියන්ට, වැඩිහිටියන්ට සත්‍යය පවසන ගුණගරුක දරුවන් බවට පත්කළ යුතුය. ඒ සඳහා මුල් අඩිතාලම දැමිය යුත්තේ දරුවන්ගේ මවුපියන් විසින්මය.
මිනිස්සුන්ගේ කාර්යබහුලත්වය නිසාම ආදරය කරුණාව ඔවුන්ගේ හිත්වලින් ගිලිහිලා ගිහින්. ගුණධර්ම පිරිහිලා ගිහින්. දරුවන්ව දහම් පාසලට යවන්නේ නැතිව ඒ වෙලාවේදිත් ටියුෂන් පන්තියකට යවන්නයි වර්තමානයේ මවුපියන් කටයුතු කරන්නේ. නමුත් සැබෑ ලෙසම සිදුවිය යුත්තේ දරුවන් තුළ ගුණ ධර්ම වර්ධනය කිරීමයි. යහපත් දේ අහන්නට දකින්නට සලස්වා, සත්පුරුෂ මිතුරන්, ගුණගරුක වැඩිහිටියන්ගේ ඇසුර දරුවන්ට නිතර ලැබීමට සැලැස්විය යුතුයි. දහම් පාසල ඒ සඳහා කදිම තෝතැන්නක්. එවිට සමාජයටත් යහපත් දරුවන් පිරිසක් බිහිවනු ඇත.
තමන්ව මේ ලොවට බිහිකර රැකබලා ගන්නා මවුපියන්ව, ශිල්ප උගන්වන ගුරුවරුන්ව, සහෝදර සහෝදරියන්ව බොරු කියා රවටන්න කිසිදාක ඔබේ දරුවාට ඉඩ තබන්න එපා. එහෙම වුණොත් ඒ බොරුවේ භයානක ආදීනව කවදා හෝ දවසක අත්විඳින්නට සිදුවන්නේ ඔබේ දරුවාටමයි.
![](https://sinhala.mawratanews.lk/wp-content/uploads/2022/06/nilanthi-1.jpg)
නිලන්ති රේණුකා