.
අවුරුදු ගානක් තිස්සේ හරිහම්බ කරගත්තු නෑදෑකම්වලටත් වඩා හයිය තියෙන හිතවත්කම් හොයාගෙන අපි ආයෙත් යාපනේ ආවා. පත්තර රස්සාව පටන්ගත්ත කාලේ ජීවිතේට පයගහලා නොතිබ්බ යාපනේ මට ටික කාලෙකින් මගේ ගෙදර වගේ හුරුපුරුදු තැනක් බවට පත්වුණා. එහෙම වෙන්නේ එකමත් එක දවසක සඳුදා හැන්දෑවක තුෂාර මහත්තයා මට කතා කරලා යාපනේ යන්න පුළුවන්ද කියලා අහපු දවසෙන් පස්සේ. එදා පාරක් තොටක් නොදැන පත්තර කන්තෝරුවේ වෑන් එකේ ආතක් පාතක් නැති පත්තරකාරයෙක් විදියට යාපනේට ආවා. තැන් තැන්වලින් අහගෙන හොයාගෙන යාපනේ එනකොට මට එදා යාපනේ ගැන කියලා දුන්නේ වවුනියාවේ පත්තර රස්සාව හරියටම කරන යාපනේ අර්ධද්වීපයෙන් වැඩිපුරම ප්‍රවෘත්ති ලංකාවට කියන මාධව කුලසූරිය සහෝදරයා. නිර්ලෝභීව එයාගේ තිබුණු හිතවත්කම් මට හදලා දීලා යාපනේ මිනිස්සු යාළුවෝ කරලා දීලා එයා එයාට විතරක් කරන්න පුළුවන්කම තිබුණු සමහර දේවල් මටත් කරන්න පුළුවන් විදියේ පරිසරයක් හැදුවා. ඒ පරිසරය අස්සේ තමයි මම තාමත් යාපනේ කරක්ගහන්නේ.
අපි යාපනේ ආවේ මේ වෙද්දී යාපනේ ඇත්තම තත්ත්වය මොකක්ද කියලා දැනගන්න. දකුණට ඇහෙන යාපනේ කතන්දර, දකුණට පෙනෙන යාපනේ පින්තූර, දකුණේ අයට දැනෙන යාපනේ උණුසුම, දකුණට හිතෙන යාපනේ ගැන දේවල් ටික ඇත්තද බොරුද කියලා හොයලා බලන්න අපිට හිතුණා. තාමත් තල් රුප්පා යට තැන් තැන්වල එහෙන් මෙහෙන් ක්ලේමෝ බෝම්බ මතුවෙනවද, තාමත් මේ සුදු වැලි මිදුලවල් උඩ එරමිණියා ගොතාගත්ත මිනිස්සු රෑට ඉස්සර යුද්දේ ගැන කයිවාරු ගහනවද, තාම කෝවිල් යනකොට පරණ පුරුදු පිච්ච මල් සුවඳ දැනෙනවද, තාම අයියර් පවුල්වල ඇත් දළ පාට තියෙන කෙල්ලෝ රතු පාට සාරි ඇඳන් කෝවිලට එනවද, මේ හැම දේම අපිට හොයන්න හිතුණා. Sri Lanka Latest News
දවසක් යාපනේ වීරයෙක් මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඔයා යාපනේ ගිහිල්ලා තියෙනවද කියලා. දකුණේ පත්තරවල, දකුණේ රූපවාහිනී චැනල්වල මහා වීරයෙක් බවට මතුකරපු යාපනේ හාදයෙක් තමයි ඒ කතාව මගෙන් ඇහුවේ. මම ඔහුට එදා කිව්වා මම යාපනේ හතර කොන දන්න මිනිහෙක් කියලා. ඔහු සමහර විට මට නොඇහුණාට අහල පහළ හිටපු අයත් එක්ක හිනාවෙන්න ඇති. ඒත් ඇත්ත කතාව යාපනේ මිනිස්සුන්ගේ හැබෑ වේදනාව, හැබෑ දුක, හැබෑ කඳුළ, හැබෑ යථාර්ථය දකුණට කියන්න නම් අවංකව යාපනේට මිශ්‍ර වෙන්න ඕනේ. යාපනේ කියලා කියන්නේ පිට දාරේ වටේ ඇවිදලා කතන්දර කියන්න පුළුවන් තැනක් නෙවෙයි. යාපනේ මිනිහෙක්ගේ ගෙදර නැවතිලා, ඒ මිනිහත් එක්ක තෝසේ වඩේ කාලා, ඒ මිනිහත් එක්ක කිරි ආප්ප කාලා, ඒ මිනිහත් එක්ක රෑට කයිය ගහලා, ඒ මිනිහත් එක්ක පාරේ ඇවිදලා, මළ ගෙදරට, මඟුල් ගෙදරට, දානේ ගෙදරට ගිහිල්ලා උන්ගේ ජීවිතේ අස්සේ කරක්ගහන මිනිහෙක්ට විතරයි යාපනේ ඇත්ත කතාව දැනගන්න පුළුවන්. අදත් මම කියනවා යාපනේට තියෙන ඇත්ත ප්‍රශ්නය දකුණට තියෙන ප්‍රශ්නවලට වඩා ගොඩක් වෙනස්. ඒ තමයි කුල ප්‍රශ්නේ. තවමත් යාපනේ කුල ප්‍රශ්නය ඉතා දරුණුවට තියෙනවා. යාපනේ මිනිස්සුන්ට මහින්ද ජනාධිපති වුණත්, රනිල් ජනාධිපති වුණත්, අනුර ජනාධිපති වුණත්, ප්‍රභාකරන් ජනාධිපති වුණත් ඒ කිසි එකක් වැඩක් නැහැ. ඒගොල්ලන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඒගොල්ලන්ගේ ඉස්පිරිතාලේ දොස්තර මහත්තයගේ කුලය මොකක්ද කියන එක. ඒගොල්ලන්ගේ නඩු අහන විනිසුරුතුමාගේ කුලය මොකක්ද කියන එක. ඒගොල්ලන්ගේ දිසාපති මහත්තයාගේ, ඒගොල්ලන්ගේ ග්‍රාමසේවකගේ කුලය මොකක්ද කියන එක තමයි ඒගොල්ලන්ට තියෙන වැදගත්ම ප්‍රශ්නය. ඊට වඩා ප්‍රශ්න ඒගොල්ලන්ට නෑ. අනිත් හැම දේම ඒ ප්‍රශ්නෙට යටයි. ඒක නිසා උතුරේ ඇවිදිනකොට හරියට කියවගන්න ඕනේ අන්න ඒක.
දැන් මේ කතාව කිව්වම මාත් එක්ක කීප දෙනෙක් තරහා වෙයි. අපි අහුවෙන අහුවෙන අයගෙන් ඇහුවා ඇත්තටම යාපනේ මේ වෙනකොට ඔය කියන දේශපාලන ප්‍රබෝධය තියෙනවාද කියලා. අපි දන්නවා අවුරුදු ගානකට පස්සේ දකුණේ මිනිස්සුයි උතුරේ මිනිස්සුයි දෙගොල්ලොම එකතු වෙලා හදපු එක දේශපාලන ප්‍රවාහයක් ලංකාවේ මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. ඒක අවුරුදු ගානකින් අපි දැකපු නැති දෙයක්. හැමදාම යාපනේ මිනිස්සු ඡන්දේ දුන්නේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට හෝ ඒ ආශ්‍රිත සංවිධානයකට. සම්බන්දන්ලා, විග්නේෂ්වරන්ලා, සුමන්තිරන්ලා එකතු වෙලා හදපු දේශපාලන ප්‍රවාහය ඉතැනින් ඉස්සරහට අරගෙන යන්න ශ්‍රීදරන්ට බාර වුණා. ශ්‍රීදරන් කියලා කියන්නේ ධර්මපුරම් ඉස්කෝලේ විදුහල්පතිවරයා කියලා අපි අහලා තියෙන්නේ. සමහරු කියනවා ඔහු විදුහල්පතිවරයා නෙවෙයි කියලා. අපි ඒක දන්නේ නෑ. හැබැයි ඔහු දේශපාලනික වශයෙන් උතුරේදී පොහොසත් නෑ කියන එකයි අපිට මේ වෙලාවේ තේරෙන්නේ.
දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනයේ අවසානය ළඟාවී ඇති බව දැන් අපිට දැනෙනවා. ඒකට හේතුව ප්‍රධාන වශයෙන්ම පේන්නේ ශ්‍රීදරන්ගේ දේශපාලන ක්‍රියාකාරකම්. ශ්‍රීදරන් එක පැත්තකින් සල්ලි මත වැඩකරන බවට චෝදනා එල්ල වෙනවා. ඔහුට ඩයස්පෝරාවෙන් එන සල්ලි ටික නිසා ඔහුට චෝදනාවක් එල්ල වෙලා තියෙනවා. ඒ වගේම විශාල ප්‍රශ්නයක් බවට පත්වෙන්නේ ඉරණමඩු ජලාශය සම්බන්ධ ගැටලුව. ඉරණමඩු ජලාශයේ වතුර බෙදාදීම සම්බන්ධයෙන් ඔහු වෙච්ච පොරොන්දු, ඒවා බිඳවැටීම, ඒ වගේම ශ්‍රීදරන්ගේ ප්‍රදේශය වෙලා තියෙන ධර්මපුරම් ප්‍රදේශය ඒ කියන්නේ කිලිනොච්චිය. කිලිනොච්චිය කියලා කියන්නේ කෘෂිකාර්මික අතින් හරි පොහොසත් තැනක්. හැබැයි ඊට අමතරවත් කිලිනොච්චියේ ඉඳලා ඉහළට තියෙන යාපනය දිස්ත්‍රික්කයේ බොහෝ කෘෂිකාර්මික ප්‍රදේශ තියෙනවා. ඒගොල්ලන්ට වතුර නෑ. ඉරණමඩු ජලාශයේ වතුර අතිරික්තයක් විදියට මුහුදට ගියාට මේ අයට වතුර බෙදලා දෙන්න ක්‍රමයක් හදන්න තාමත් ශ්‍රීදරන්ලට බැරිවෙලා තියෙනවා. ඔවුන් ක්‍රමයක් හදන්න උත්සාහ කරමින්, ඒ සඳහා පොරොන්දු වෙමින් හිටියට ඒක වෙන්නේ නැති නිසා මේ ගැටලුව දරුණු වෙලා තියෙනවා කියලයි අපිට තේරෙන්නේ. අපිට පෙනෙන්නේ. දැන් මේවා උතුරේ ලොකු ප්‍රශ්න.
උතුරේ මිනිස්සුන්ට ඇත්තටම මේ වෙලාවේ අවශ්‍ය කරලා තියෙන්නේ ඒගොල්ලන්ගේ හදවතට දැනෙන නායකයෙක්. ඒ අය නායකයෙක් හොයමින් යනවා. ඒ අය නායකයෙක් හොයමින් යනකොට අතරින් පතර තැන් තැන්වල මතුවෙන හතු පිපෙන්නා වගේ මිනිස්සු ඉඳහිට මේ අයගේ හදවතට දැනෙන්න පටන් අරගන්නවා. එහෙම දැනුණු එක්කෙනෙක් තමයි අර්චුනා කියලා කියන්නේ. අර්චුනා දේශපාලන වශයෙන් සත පහක වැඩක් නැති වුණාට ඔහු දැන් මුළු යාපනේම දන්නවා. අපිට ශ්‍රීදරන්ගේ නම වගේම අර්චුනාගේ නමත් අනිවාර්යයෙන්ම ඇහුණු තැනදී අපිට තේරුම් ගියා අර්චුනා කියලා කියන්නෙත් උතුරේ දේශපාලනයට විතරක් අනන්‍ය වෙච්ච ලක්ෂණයක් නොවන බව. අර්චුනා කියලා කියන්නේ ලෝක ද්‍රවිඩ දේශපාලනයේ මේ වෙනකොට සිටුවමින් යන පැළයක්. මේ පැලය විෂයිද, ගෑවුණාම කසයිද, මේ පැළයේ මල් පිපෙයිද, මේ පැළයේ ගෙඩි හැදෙයිද කියන හැම දේටම වඩා ඒගොල්ලන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ උතුරේ අලුත් දේශපාලන පැළයක් හිටවන්න. ඒ පැළයේ ගෙඩි හැදුණත් නැතත් ඒ පැළය ලොකු වෙන්න වතුර දාන්න, පොහොර දාන්න අවශ්‍ය සම්පත් කැනඩාවේ, ස්විට්සර්ලන්තේ, එංගලන්තේ, ඇමෙරිකාවේ ඉන්න ද්‍රවිඩ ජාතික හිතවතුන් විසින් සිද්ධ කරමින් යනවා. ඔහු හැම වෙලාවකම කියන්නේ ඊළමක් ගැන. ‘අපිට අසාධාරණයක් වෙනවා, දෙමළ මිනිහට නොසලකනවා’ කියන වචනය. මේක අතිශය භයානක සහ ඉතාම නරක වචන කීපයක්. නමුත් ඒ වචන තමයි ඔහු යාපනේ සහ කිලිනොච්චියේ ඉන්න ප්‍රධාන ධාරාවේ මිනිස්සු නොවන ග්‍රාමීය දෙමළ ජනතාව අල්ලගන්න පාවිච්චි කරන වචන ටික. ඒ වචන ටික ඔහු හොඳින්ම පාවිච්චි කරගෙන යන බව අපිට උතුරේ ඇවිදින වෙලාවේ තේරුණා.
ඊළඟට ජවිපෙට නැත්නම් මාලිමාවට තාමත් අර පරණ ප්‍රසිද්ධිය ආදරේ තියෙනවද? අනුර කුමාර දිසානායක මහත්තයා මෙහෙට ආපු වෙලාවේ ඔහුව බලන්න ලක්ෂ ගණන් සෙනඟ ආවා, ඔහුව බදාගන්නවා, ඒ අය ඔහුව බදාගන්නවා, ඔවුන් අතර තිබුණු මේ ප්‍රේමණීය ජවනිකා ටික ඇත්තද? ඔව්. අත්තටම උතුරට අනුර ආපු වෙලාවේ උතුරේ මිනිස්සු අනුරව බලන්න ආවා. ඒක අපි උතුරේ ඉන්න දේශපාලනික වශයෙන් සක්‍රීය අවුරුදු 76ක් වයස සාමාන්‍ය ගැමියෙක් එක්ක කතා කළා. තල් රුප්පාවක් යට, සුදු වැලි මිදුලක. ඔහු කිව්වේ මහින්ද රාජපක්ෂ ආපු වෙලාවේ බස් හයක් මම යැව්වා, පලෙයිවල මිනිස්සුන්ට ඇත්තටම ඒ වෙලාවේ ඕනේ දකුණෙන් එන ජනාධිපති බලන්න විතරයි. ඒ ආදරේ නිසාවත්, එයාට පක්ෂපාතී නිසාවත්, එයාට ඡන්දේ දෙන නිසාවත් නෙවෙයි. ලංකාවේ හැමදාම තිබුණු ප්‍රශ්නයක් තමයි ජනාධිපතිවරයෙක් පත්වෙලා ඔහු උතුරට ආවත් එන්නේ යාපනේට විතරයි. ඇත්තටම උතුරේ මිනිස්සුන්ගේ ජීවිතේ හරිම පුංචි කොටසක් යාපනේ කියන්නේ. යාපනේ කියන්නේ විශාල අර්ධද්වීපයක්. මේ අර්ධද්වීපය ඇතුළේ යාපනය නගරය කියන්නේ හරි පොඩි තැනක්. යාපනේ පුන්නාලේ පැත්තේ, මරදන්කේනි පැත්තේ, පලෙයිවල, ධර්මපුරම්වල, නෙල්ලිඅඩිවල, කන්කසන්තුරේ, වෙල්වැටිතුරේ, කොඩිකාමම්, කයිට්ස්, ඩෙල්ෆ්ට් මේ හැම ප්‍රදේශයකටම කිසිදු දේශපාලන නායකයෙක් එන්නේ නැහැ. ඉතින් ඔවුන් කැමැතියි මේ රටේ ඉන්න දේශපාලන නායකයෝ දකින්න. ඔවුන්ව ඇසුරු කරන්න, ඔවුන්ගේ සුවඳ දැනෙනකොට ඒ මිනිස්සු හොයාගෙන එනවා.
දකුණේ මිනිස්සු වගේ උතුරේ මිනිස්සුත් ආසයි මේ රට මගේ, මේ මගේ නායකයා, මේ රටට මම ආදරෙයි වගේ හැඟීම් ප්‍රකාශ කරන්න. එහෙම නැතුව ඒගොල්ලෝ මේක ඇතුළේ වෙනම තරහක් වෙලා, අමනාපයක් වෙලා, බෙදිලා, කෑලි කඩාගෙන වෙන්වෙලා යන්න අවශ්‍යතාවකින් ජීවත්වෙන මිනිස්සු නෙවෙයි. ඒ නිසා මාලිමාවට මේ වෙලාවේ උතුරේ පේන්න තියෙන දේශපාලන ජයග්‍රහණය තවදුරටත් ඉස්සරහට කරගෙන යන්න නම් මේවාට නොරැවටී වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒකට හේතුව තමයි තවම උතුරේ ඉන්නවා මහින්ද රාජපක්ෂට ආදරේ කරන, මහින්ද රාජපක්ෂගේ පෝස්ටර් තියෙන, මහින්ද රාජපක්ෂ නැත්නම් අපිට ජීවත් වෙන්න විදියක් නෑ කියලා හිතන මිනිස්සු. උතුරෙදී අපිට මුණගැහුණා රනිල් වික්‍රමසිංහ තමයි යුද්දේ මේ තත්ත්වයෙන් ගොඩදාලා දුන්නේ, රනිල් නිසා තමයි නැගෙනහිර සහ ප්‍රධාන එල්.ටී.ටී.ඊ. කණ්ඩායම් බෙදුනු කියලා කියන මිනිස්සු. උතුරේ තවම ඉන්නවා ද්‍රවිඩ සන්ධානයේ නම, සුමන්තිරන්ගේ නම, ශ්‍රීදරන්ගේ නම වෙනුවට සජිත් ප්‍රේමදාසගේ නම කියන මිනිස්සු. ඒක කවුරු හරි කෙනෙක් අපිට අභියෝගයක් කරනවා නම් අපිට පෙන්වන්න පුළුවන්. අපි ළඟ තියෙනවා පටිගත කරන ලද හඬ පට. මේ යථාර්ථය හරියට තේරුම් නොගත්තොත් එළඹෙන ප්‍රාදේශීය සභා ඡන්දය නිත්‍ය වශයෙන්ම ලොකු අභියෝගයක් වෙනවා මාලිමාවට.
යාපනේ එන එක ලේසි නෑ. පාරක් පාරක් ගානෙ පොලීසිය. ඒකෙ වරදක් නෑ. නතර කරනවා නතර කරනවා ඉවරයක් නෑ. කිසිම පාලනයකින් තොරව සියල්ල වෙනවා කියලා හිතෙනවා. මාන්කුලම් පොලිසියේ මහත්තුරු වගයක් හරිම ලස්සන නාට්‍යයක් පෙන්නුවා. ඒ මහත්තුරු වාහනේට අත දාලා නවත්තලා කිව්වා බ්‍රේක් ලයිට් පත්තු වෙන්නෙ නෑ කියලා. ඒක දැක්කෙ කොහොමද කියලා මම තාම හිතනවා. ඔය අතරෙ ඒ මහත්තයා ආදරෙන් කිව්වා ලයිට් හදාගෙන ඇවිල්ලා පෙන්නන්න කියලා.
‘මම ඉන්නෙ ගම්පහ, මට ආයෙ යාපනේ එන්න බෑ නෙ…’ කිව්වම එයා ඒකට කරන්න දෙයක් නෑ කියන එකයි මට කියලා දුන්නෙ.
‘ඒකට කරන්න දෙයක් නෑ…’ ඔහුගෙ අදහස.
ඒ මහත්තයා මට කෙළින්ම කිව්වා, පොඩි දඩයක් මම ලියලා දෙන්නම් ගෙවාගෙන යන්න කියලා කිසිම වරදක් නොකර. අපි මේ මහත්වරුන්ට කියන්නෙ මේ කාරණාව අපි දන්නවා උතුරයි දකුණයි අතර විරසකයක් තිබුණා ඉස්සර. යුද්ධෙ අග මුල ගැන උතුරට ගිහිල්ල හෙව්වොත් තේරෙයි යුද්ධෙ කියල කියන්නෙ වාර්ගික අර්බුදයක්වත් රටෙන් බාගයක් ඉල්ලල කරපු හැබෑ සටනක්වත් නෙමේ. ඒක වෛරය සහ අවස්ථාවන් අහිමිවීම. අපිට නැතුව දකුණට තියෙනවා කියන වේදනාව. මෙන්න මේ වගේ කාරණා මතයි මේ යුද්ධය නිර්මාණය වුණේ. තමරණීගේ කතාව, මිල්ලමේ කතාව මම ඔබට කියනවා පරිස්සමට නිකම් කියවන්න කියලා. එතකොට තේරෙයි මේ යුද්ධෙ කාගෙද, කවුද නිර්මාණය කළේ කියලා.
අපිට දැන් මේ වෙලාවෙ පේනවා උතුරෙන් මතුවෙලා එන සමහර චරිත. ඔවුන් වෛද්‍යවරු වුණාට මේ වෙලාවෙ රට ගනි තියන්න කොන්ත්‍රාත් එක අරන් ඉන්න මිනිස්සු කියලා අපිට පැහැදිලියි. ඉතින් මේගොල්ලො විවිධ නාට්‍ය නිර්මාණය කරමින් විවිධ ජවනිකා රඟපාමින් මේ වෙලාවේ ද්‍රවිඩ ජනතාවගේ උරුමය වෙනුවෙන් සටන් කරනකොට අපි පෙන්නනවා නම්, ‘උබලට ඉන්න බෑ මේකේ සැනසිල්ලෙ, අපි උබලට ඉන්න දෙන්නෙ නෑ’ වගේ හැසිරීම් ටිකක්, එහෙම වුණොත් මේක ඉතාම භයානක තැනකට එනවා. කවුරු හරි කෙනෙක් හිතන් ඉන්නව නම් උතුරේ මේ වෙනකොට ඉතාම සාමකාමී සහ නිදහස් පරිසරයක් තියනවා කියන එක, ඔව්, ඒක ඇත්ත. හැබැයි ඒක සදාකාලික නෑ. එහෙම තත්ත්වයක් සදාකාලිකව නිර්මාණය කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවා.
අපි උතුරට ආපු යුගවල අපි දැක්කා එහෙම මිනිස්සු පලෙයි පොලිසියේදී ආනන්ද රාජපක්ෂ කියල නිලධාරියෙක්. අපි දන්නෑ අද ඔහු කොහෙද කියලා. හැබැයි අදත් ආනන්ද රාජපක්ෂ මහත්තයාට කතාකරන්නේ ගාන්ධි කියලා. ඒ මිනිස්සු කියන්නේ උතුරේ මිනිස්සුන්ගෙ හදගැස්ම අඳුරගත්තු ඕ.අයි.සී.ලා උතුරේ හිටියා කියලා. එතකොට මේ මිනිස්සු තමයි මේ උතුරට එවන්න ඕනෙ ඉහළ තනතුරු තාන්න මාන්න තියෙන. එහෙම නැතුව එහෙට මෙහෙට කුට්ටම අනනවා වගේ නිලධාරි මාරුකරන උතුරේ අගක් මුලක්, දිගක් පළලක් නොදන්න මිනිස්සු උතුරට පත්කරල ඉවර වෙලා, මේ තත්ත්වය පාලනය කරන්න බෑ. යථාර්ථය හරියට අවබෝධ වෙන තාක්කල් උතුර අපිට ගැළපෙන විදියට නිදහසේ නිස්කලංකව තියන එකක් නෑ.
අපිට උතුරට ගියාට පස්සෙ දැනුණු පෙනුණු සහ ඇහුණු දේවල් ඒ. තවම ඉන්නවා අනුර කුමාර දිසානායක කියන සිහින චරිතයට ආදරේ කරන මිනිස්සු. අනුර කුමාර දිසානායක කියල කියන්නෙ දෙමළ සිනමාවේ නළුවෙක් වගේ කියලා කියන මිනිස්සු උතුරෙ ඉන්නවා. හැබැයි ඒක වැඩිකල් තියෙන්නෙ නෑ. අනුර කුමාර දිසානායකට එහෙම නැත්නම් හරිනි අමරසූරියට මේ වෙලාවෙ කරන්න පුළුවන් දේවල් තියෙන්නෙ ටිකයි. ඒ වෙනුවට ක්‍රියාත්මක වෙන්න ඕනේ ඊට පහළ ඉන්න නිලධාරීන්, මැති ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් ඒ වැඩේ හරියට නොකළොත් පොලිසිය හෝ වෙනත් කණ්ඩායම් මේ තත්ත්වය හොඳටම අවුල් කළොත් නොහිතන ප්‍රතිඵල ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා ආනන්ද රාජපක්ෂලා වගේ අය එහෙම නැත්නම් උතුරෙ කලින් හිටපු ඉතාම දක්ෂ නිලධාරීන් ආයෙත් උතුරට ගෙනල්ලා, ඉහළ තනතුරුවලට පත්කරලා, උතුර සාමකාමී කළ යුතුයි කියන එක නම් අපිට පෙනුණු දෙයක්.
උතුරෙ මිනිස්සුන්ට යුද්ධයක් අවශ්‍ය නෑ. කවුරු හරි කෙනෙක් කියනව නම් මේ මිනිස්සුන්ට යුද්ධයක් ඕනෙ කියලා, නෑ. ඒ මිනිස්සු තමයි යුද්ධෙට වැඩිපුර බය. මොකද දකුණෙ ඉඳන් ඈතට දැක්ක යුද්ධෙට වඩා උතුරෙ ඉඳන් ළඟට දැක්ක යුද්ධේ කොච්චර අප්‍රසන්නයිද කියල එල්.ටී.ටී.ඊ. එකේ නිලධාරීන්ට බෙහෙත් කරපු වෙදමහත්තයා රත්නම් හැමදාම අපිට කියනවා. ඒ නිසා මේවා අපි හිතන තරම් ලේසියෙන්, පහසුවෙන් මිනිස්සුන්ගේ හිත් ඇතුළට දාලා ඒ මිනිස්සු ආපහු යුද්ධෙකට ගන්න බෑ. නමුත් කවදා හරි දවසක එහෙම දෙයක් වෙන්න බැරි නෑ කියන එක මතක තියාගෙන වැඩ කළෝතින් කියලයි උතුරට ගිය අපට තේරුණේ. ඒ නිසා නෝනාවරුනි, මහත්වරුනි සමාවෙන්න තල්රුප්පා යට තාම මල් පිපෙනවා. පාදසලං හඬ ඇහෙනවා. පිච්ච මල් ගවසපු හිස කෙස් අස්සෙ තාම තාන් සුවඳ දැනෙනවා.
මේ ආදරණීය යාපනය, නල්ලූර් කෝවිල පාමුල අපිට හම්බවෙච්ච සීනූ. අපේ සංස්කෘතියත් එක්ක කොච්චර ආදරණීය විදියට ගැළපෙනවද කියන එක අපිට දැනුණා. ඇගේ භරත නැටුමයි, අපේ උඩරට නැටුමයි, තව කෙනෙක්ගෙ පහතරට නැටුමයි එකට එකතු කරලා නල්ලූර් කෝවිල ඉදිරියේ රඟ දක්වන්න පුළුවන් දවසක් වෙනුවෙන් තමයි අපි හීන දැක්කේ. අද ඒ දවස උදාවෙලා තියෙනවා. උතුර දකුණ යාකරන්න අනුර කුමාරලට පුළුවන් වුණා. දේශපාලනයෙනුත් ඒක එහෙම කරන්න පුළුවන් වුණා. ඡන්ද ප්‍රතිඵලයෙනුත් ඒක එහෙම කරන්න පුළුවන් වුණා. ඉතින් අපි මිනිස්සු විදියටත් මේ වැඩේ කරමු. එහෙම වුණොත් අපිට අපේ රටක්, ශ්‍රී ලංකාවක්, ශ්‍රී ලාංකිකයෙක් කියල රට පුරා කියන්න පුළුවන් උතුරෙ මිනිස්සුයි දකුණෙ මිනිස්සුයි එක වේදිකවේ එක තැනක මුණගැහෙන්න පුළුවන් වෙයි.

ජීවන පහන් තිළිණ










