සජබය ඇතුළේ ඉන්න ටයිකෝට් ඩීල්කාරයෝ!
පළමු දවසෙම පාර්ලිමේන්තුය හොල්ලපු කව්ද මේ යාපනේ අර්චුනා!
රනිල්ගේ ඉන්දීය ගමන!
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හදිසියේම ඉන්දීය සංචාරයක නිරත වීමට සූදානමින් සිටින බව වික්‍රමසිංහ මහතාගේ මාමාගේ මෙන්ම රනිල්ගේ මස්සිනා වන රුවන් විජයවර්ධනගේ පවුලේ පුවත්පත වන ලංකාදීප හරහා පසුගිය සතියේ පුවතක් පළකිරීමට පියවර ගෙන තිබිණි. එහි සඳහන් වූයේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයෙහි ඉන්දෝර්හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ දෙසුමක් පැවැත්වීම සඳහා රනිල් එසේ ඉන්දියාව බලා පිටත්ව යන බවකි. එමෙන්ම එම ගමනේදී ඉන්දීය රජයේ ප්‍රධානීන් කිහිප දෙනකු මුණගැසී සාකච්ඡා කිරීමට රනිල් සූදානමින් සිටින බවද ලංකාදීප පුවත්පතේ පළකර තිබූ පුවතේ සඳහන් විය.Sri Lanka Latest News
රනිල්ගේ පවුලට අයත් මෙම පුවත්පත හිටි හැටියේම මේ ආකාරයේ පුවතක් පළකිරීම පසුපස කිසිවකු නොදත් කතාවක්ද තිබේ. රනිල්ගේ දේශපාලන ජීවිතය මුළුල්ලේම ඔහු රටට පෙන්වා දුන් චිත්‍රයක් වූයේ ජාත්‍යන්තර සබඳතා ඇත්තේ තමන්ට පමණක් යැයි කියාය. එමෙන්ම නව ජනාධිපතිවරයා වශයෙන් අනුර කුමාර දිසානායක මහතා පත්වීමත් සමග ඔහු මුලින්ම ඉන්දියාවේ සංචාරයක නිරත වන බවද රනිල් දැන සිටියේය. ඒ අනුව මහ මැතිවරණය පරාජයට පත්වීමත් සමග රනිල් සැලසුම් කළේ කෙසේ හෝ අනුර ඉන්දියාවට යෑමට පෙර ඉන්දියාවට ගොස් අනුරට කලින් තමන්ට ඉන්දීය රජයෙන් ආරාධනා ලැබුණු බව රටට පෙන්වීමටත්, අනුරට කලින් තමන් ඉන්දීය බලධාරීන් සමග සාකච්ඡා කළ බව රටට පෙන්වීමටත්ය. රනිල්ගේ මේ හදිසි ඉන්දීය ගමන සංවිධාන කෙරුණේ ඒ අනුවය.
රනිල් මෙම සංචාරය ඉන්දියාවේ ආරාධනාව මත සිදුකරන එකක් බව රටට පෙන්වන්නට හැදුවත් ඇත්ත වශයෙන්ම එය නිල සංචාරයක් නොව රනිල්ගේ පෞද්ගලික සංචාරයකි. රනිල් ඊට සිය බිරිය වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද එක්කොට ගෙන සිටින්නේ ඒ නිසාය. එහිදී ලබන 30 වැනිදා දක්වා දින 9ක් ඉන්දියාවේ ගතකරන රනිල්, සිය බිරිය සමග ඉන්දියාවේ ඓතිහාසික ස්ථාන රැසක් මෙන්ම වන සතුන් නැරඹීමටද සැලසුම් කර ඇති බවක් දැනගන්නට ඇත.
කෙසේ වෙතත් ඒ බවක් නොපෙන්වා රනිල් තමන්ගේ පවුලේ පුවත්පත වූ ලංකාදීපය හරහා බොරු පුවතක් පළකරමින් කියා සිටියේ තමන් මේ යන්නේ ඉන්දියාවේ ආරාධනාව මත නිල සංචාරයකට බවකි. රනිල් මේ ආකාරයේ අතේ පැලවෙන පුවත් පවුලේ මාධ්‍ය හරහා පළ කළේ වරක් දෙවරක් නොවේ. රනිල්ගේ වසර 50ක දේශපාලනය පුරාම ඔහු කළේ තමන්ට දේශපාලන වශයෙන් අවාසිසහගත පරිසරයක් නිර්මාණය වෙද්දී එය වෙනතකට යොමුකරලීම සඳහා ලංකාදීප වැනි පවුලේ පුවත්පත් හරහා බොරු පුවත් පළකිරීමය. ඒ සඳහාම කැපවුණු දෙතුන් දෙනකු අදටත් ලංකාදීපය තුළ සිටී. රනිල් සිතා සිටින්නේ මේ දෙතුන් දෙනා අල්ලාගෙන ලංකාදීපය තුළ පුවත් ප්ලාන්ට් කළ පමණින් රටේ ජනතාව ඒවා හිස් මුදුණෙන් පිළිගන්නවා යැයි කියාය. නමුත් දැන් ජනතාව එතරම් මෝඩ නැත. පිට පිට මහ මැතිවරණ දෙකකදී කිසිදු එජාප සාමාජිකයකුට මන්ත්‍රීකමක් හෝ ජනතාව ලබා නොදුන්නේ ඒ නිසාය. ඉකුත් මහ මැතිවරණයෙන් රනිල් කුජීත වෙන්නටම පැරැදුණේද ඒ නිසාමය.
එන කෙනාට කොහොමත් දෙනවා
කෙසේ වෙතත් ඉන්දියාවේ පමණක් නොව කුමන රටක හෝ වේවා හිටපු ජනාධිපතිවරයකු ඒ රටට එන්නේ නම් එහි මධ්‍යම රජයෙන් හෝ පළාත් ආණ්ඩුවලින් එම හිටපු රාජ්‍ය නායකයාට යම් පහසුකමක් සලසනු ලබයි. විශේෂයෙන්ම එම හිටපු රාජ්‍ය නායකයා ඉල්ලීමක් කරනු ලැබුවහොත් ඒ ආණ්ඩුවල ඉහළ පෙළේ නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමද සිදුකරනු ලබයි. නමුත් ඇතැම් රාජ්‍ය නායකයන් හෝ ආණ්ඩුවේ ඉහළ පෙළේ මැති ඇමැතිවරුන් එම ඉල්ලීම් පළමු වටයේදීම ප්‍රතික්ෂේප කරනු ලබයි. මේ තත්ත්වය දන්නා රනිල් සිය ඉන්දීය සංචාරයේදී පහසුවෙන් හමුවිය හැකි ඉහළ නිලධාරීන් සහ මැති ඇමැතිවරුන් කිහිප දෙනකුම හමුවීම සඳහා ඉල්ලීම් කොට ඇති බවක්ද දැනගන්නට ඇත. ඒ, වෙන මොකක්වත් නිසා නොව කෙසේ හෝ ඔවුන් හමුවී ඡායාරූපයක් ගෙන තමන් ඉන්දීය රජයේ ඉහළ නිලධාරීන් හමුවී සාකච්ඡා කළ බව කියමින් සිය මාමාට අයත් ලංකාදීප පුවත්පතේ හෝ එම වෙබ් අඩවියේ පළකරවා ගැනීමටය. දැන් රනිල්ගේ දේශපාලනය තනිකරම දුවන්නේ එවැනි ප්ලාන්ට් නිවුස්වලින්ය.
අනුරත් ඉන්දියාවට
කෙසේ වෙතත් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද මේ වනවිට සැලසුම් කර ඇත්තේ දෙසැම්බර් දෙවැනි සතියේදී සිය පළමු නිල සංචාරය ලෙස ඉන්දියාවේ සංචාරය කිරීමටය. මීට පෙර අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ සිය පළමු සංචාරය ලෙස ජනාධිපතිවරයා බොහෝ දුරට මැදපෙරදිග රටක් හෝ ඉන්දියාව තෝරාගනු ඇතැයි කියාය. ඊට හේතුව වශයෙන් අප පෙන්වා දුන්නේ මේ වනවිට ආණ්ඩුව අඩු මිලට ඉන්ධන ලබාගැනීම සඳහා මැදපෙරදිග රටවල් තුනක් සමග සාකච්ඡා කරමින් සිටින බවත්, රජයන් සහ රජයන් අතර ඇතිකරගන්නා ගිවිසුම් ඔස්සේ ඉන්ධන ආනයනය කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙමින් ඇති බවත්, ජාත්‍යන්තර තලයේ ඉහළ පිළිගැනීමක් ඇති ඇමෙරිකාවේ වාසය කරන ලංකාවේ කීර්තිමත් මහාචාර්යවරයකු ඒ සඳහා මැදිහත් වී ඇති බවත්, බොහෝ දුරට මෙම සාකච්ඡා සාර්ථක අවසානයක් කරා ළඟාවෙමින් ඇති බවත්ය. ඒ අනුව ජනාධිපතිවරයා අදාළ ගිවිසුම්වලට අස්සන් කිරීම සඳහා පළමුව මැදපෙරදිග රටක සංචාරය කරනු ඇති බවද අපි එහිදී අනාවරණ කළෙමු. එම ගිවිසුම් අස්සන් කිරීම පමා වුවහොත් බොහෝ දුරට ජනාධිපතිවරයා සම්ප්‍රදාය අනුගමනය කරමින් පළමුව ඉන්දියාවේ සංචාරය කරනු ඇති බවද අපි එහිදී සඳහන් කර සිටියෙමු.
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මෙම ඉන්දීය සංචාරය ලංකාව පැත්තෙන් ගත්විට අතිශය තීරණාත්මකය. ඊට හේතුව වී ඇත්තේ ජනාධිපතිවරයාගේ මෙම ඉන්දීය සංචාරය දෙස මුළු ජාත්‍යන්තර ප්‍රජාවම සමීපව බලාසිටින නිසාය. මෙහිදී ජනාධිපතිවරයාට මුහුණ දීමට ඇති ලොකුම ගැටලුව වී ඇත්තේ හිටපු ජනාධිපතිවරයා වශයෙන් රනිල් ඉන්දියාව සමග අස්සන් කොට ඇති ගිවිසුම්ය. විශේෂයෙන්ම රනිල්ගේ සමයේදී ත්‍රිකුණාමල තෙල් ටැංකි ඉන්දියාවට පැවරීමට රනිල් කටයුතු කළේය. එමෙන්ම මන්නාරමේ පුනර්ජනනීය විදුලි බලාගාර ඉදිකිරීම ඉන්දියාවේ අදානි සමාගමට ලබාදුන්නේය. ඊට අමතරව කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉදිකිරීම් සිදුකරන්නේද අදානි සමාගමය.
නමුත් ජනාධිපතිවරණය ජයගැනීමත් සමග විශේෂ ප්‍රකාශයක් සිදුකළ ජනාධිපතිවරයා කියා සිටියේ මෙම ගිවිසුම් සම්බන්ධයෙන් යළි අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාවක් පැනනැගී ඇතැයි කියාය. එමෙන්ම කිසිවකුටත් ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ ඒකාධිකාරය අත්පත් කරගැනීමට ඉඩදිය නොහැකි බවද ජනාධිපතිවරයා කියා සිටියේය. ජනාධිපතිවරයා හිටිහැටියේම මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීමට හේතු වන්නට ඇත්තේ සිය ඉන්දීය සංචාරයට ප්‍රථම ඉන්දියාව සම්බන්ධයෙන් දරන ස්ථාවරය පිළිබඳ කිසියම් ඉඟියක් ලබාදෙන ලෙසට ජනාධිපතිවරයාට ලබාදුන් උපදෙස් නිසා විය හැකිය. ඒ කෙසේ වුවත් සිය ඉන්දීය සංචාරයට ප්‍රථම ජනාධිපතිවරයා මේ ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීම හරහා ඉන්දීය සංචාරය අතරතුර සාකච්ඡා මේසයේදී ඉන්දීය ආයෝජන පිළිබඳ මෙම මාතෘකාව ප්‍රධාන තැනක් ගනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයය.
අනෙක් අතට ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් අතීතයේ සිටම ඉන්දියාව සිටින්නේ ඉතා සමීපව නිරීක්ෂණය කරමිනි. විශේෂයෙන්ම ඉන්දීය සාගර කලාපය තුළ සිදුවන චීන බලපෑම් ඉන්දියාව කිසිසේත්ම රුස්සන්නේ නැත. පසුගිය කාලවකවානුව පුරාම චීනය ලංකාව සමග සමීපව කටයුතු කිරීමට එරෙහිව සහ චීන යුද නෞකා සහ පර්යේෂණ නෞකා ඉන්දීය සාගර කලාපයට ඇතුළු වීමට ඉඩ දීම සම්බන්ධයෙන් ඉන්දියාව නිරතුරුවම ලංකාවට විරෝධය පළකර තිබුණේද මේ හේතුව මතය. 2015 සිටම අවස්ථා ගණනාවකදී ඉන්දියාව මෙම විරෝධය ප්‍රසිද්ධියේම ලංකාවට පළකොට තිබූ අතර, ඇතැම් අවස්ථාවල ආණ්ඩු වෙනස්වීම්වලට පවා එම සිදුවීම් දුරදිග ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. මේ හේතුව නිසාම හිටපු ජනාධිපති රනිල් මෙම දෙසැම්බරය දක්වා චීන නෞකාවන්ට ශ්‍රී ලංකා සාගර කලාපයට ඇතුළු වීම තහනම් කිරීමට පියවර ගෙන තිබිණි.
ඒ අනුව ජනාධිපතිවරයාගේ මෙවර ඉන්දීය සංචාරයේදී මෙම චීන මාතෘකාවද සාකච්ඡා මේසයේදී ඉහළින්ම බර තැබෙන මාතෘකාවක් වනු ඇති බව නොඅනුමානය.
විජිතගේ කටින් පැන්නාද?
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය ආරම්භ කිරීමටත් පෙරාතුවම ඒ පිළිබඳ කිසියම් ආන්දෝලනයක් පසුගිය සතිය වනවිට මතුව තිබිණි. ඒ, අදාළ සංචාරය සම්බන්ධයෙන් දෙරටේ විදේශ අමාත්‍යාංශ මගින් නිල නිවේදන නිකුත් වීමටත් ප්‍රථම ශ්‍රී ලංකාව පැත්තෙන් ඒ සම්බන්ධයෙන් නොනිල ප්‍රකාශයක් නිකුත් වීම හේතුකොට ගෙනය. එම ප්‍රකාශය නිකුත් කළේ වෙන කවුරුවත් නොව විදේශ අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළකරමින් ඇමැති විජිත හේරත් මහතාය. විජිත එහිදී කියා සිටියේ ජනාධිපතිවරයා දෙසැම්බර් මාසයේදී ඉන්දීය සංචාරයක නිරත වීමට තීරණය කොට ඇතැයි කියාය.
දෙරටින්ම නිල නිවේදන නිකුත් වීමට ප්‍රථම විජිතගේ කටින් මෙම ප්‍රකාශය නිකුත් වීමත් සමග ඉන්දියාවද කිසියම් අපහසුතාවකට පත්වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. සාමාන්‍යයෙන් විදෙස් රාජ්‍ය නායකයෙකුගේ නිල සංචාරයක් සංවිධාන කිරීමේදී වැදගත් කරුණු රාශියක් සලකා බැලෙයි. ඒ අනුව එම සංචාරය තහවුරු කොට දින වකවානු තීන්දු වන්නේ අදාළ සියලු කරුණු කාරණා සලකා බැලීමෙන් අනතුරුවය. විදේශ අමාත්‍යාංශය මගින් එම කාලවකවානුව නිවේදනය කරනු ලබන්නේ ඒ සියලු කරුණු අවසන් කිරීමෙන් පසුවය. නමුත් ඉන්දියාව පැත්තෙන් හෝ ලංකාව පැත්තෙන් එවැනි නිල නිවේදනයක් නොමැතිව විජිත මෙම ප්‍රකාශය සිදුකිරීමත් සමග ඉන්දියාවේ මාධ්‍යද එය උපුටා දක්වමින් වාර්තා කිරීමට පියවර ගැනීම නිසා නවදිල්ලියටද එය ගැටලුවක් බවට පත්වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ, සම්ප්‍රදාය ඉක්මවා යමින් අදාළ ප්‍රකාශය සිදුකොට තිබීම නිසාය.
අනුර ඊළඟට යන තැන
කෙසේ වෙතත් ඉන්දීය සංචාරයෙන් අනතුරුව සිදුකෙරෙන ජනාධිපතිවරයාගේ මීළඟ සංචාරය පිළිබඳවද මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ විශාල කතාබහක් මතුව තිබේ. බොහෝ දෙනා කියා සිටින්නේ ජනාධිපතිවරයාගේ ඊළඟ නැවතුම චීනය වනු ඇතැයි කියාය. කෙසේ වෙතත් අපට ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ ජනාධිපතිවරයා සිය මැදපෙරදිග සංචාරය පිළිබඳවද විශාල උනන්දුවකින් පසුවන බවය. යම් හෙයකින් තෙල් ගිවිසුම් සම්බන්ධයෙන් සිදුකෙරෙන සාකච්ඡා සාර්ථකව අවසන් කරගැනීමට හැකි වුවහොත් ජනාධිපතිවරයා සියල්ලට පෙරාතුව මැදපෙරදිග සංචාරය සිදුකරනු ඇත. එසේ නැතහොත් ඉන්දීය සංචාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා චීන සංචාරය සිදුකරනු ඇති බව දැනගන්නට ඇත.
අදානිට ලංකාව නැතිවෙයිද?
මේ සියල්ල අතරවාරයේ ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය ආරම්භ වීමට ප්‍රථම විශාල දේශපාලන බෝම්බයක් ඉන්දියාව පැත්තෙන් පත්තු වූ ආකාරයක්ද දැකගන්නට ලැබිණි. ඒ, ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයට අත ගසා සිටින ඉන්දියාවේ ධනපතියන් අතර දෙවැනි ස්ථානයේ සිටින ගෞතම් අදානිට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක් ඉදිරියේ එරට බලධාරීන් විසින් නඩු පැවරීමය. එහිදී චෝදනාව වී තිබුණේ බලශක්ති ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපෘති ලබාගැනීම සඳහා අදානිගේ සභාපතිත්වයෙන් යුත් ‘අදානි ග්‍රීන් එනර්ජි’ නමැති සමාගම මගින් ඉන්දීය රජයේ නිලධාරීන්ට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක මුදලක් අල්ලස් වශයෙන් ලබාදී ඇති බවය. එහිදී අදානිට මෙන්ම අදානිගේ ඥාතියකු වන සාගර් අදානි හට මෙම චෝදනාව එල්ල කිරීමට ඇමෙරිකානු නීති බලධාරීන් පියවර ගෙන තිබේ. එමෙන්ම අදානිගේ බලශක්ති සමාගම 2020 – 2024 කාලසීමාවේදී ව්‍යාජ සහ ආයෝජකයන් නොමග යවනසුළු තොරතුරු ඉදිරිපත් කොට ඩොලර් බිලියන 3ක් වටිනා ණය සහ බැඳුම්කර මිලදී ගෙන ඇති බවද ඇමෙරිකානු නීතිවේදීන් පෙන්වා දී ඇත. ඒ අනුව මේ වනවිට අදානිට එරෙහිව ඇමෙරිකාවේ අධිකරණය තුළ ගොනුකර ඇති නඩුව හේතුකොට ගෙන ලංකාවටද යම් ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බව බොහෝ දෙනාගේ අදහසය.
ඊට හේතුවී ඇත්තේ වෙන කිසිවක් නොව අදානි ලංකාවේ දැවැන්ත ආයෝජන කිහිපයක්ම මේ වනවිට සිදුකොට තිබීම නිසාය. ඉන් ප්‍රධාන එකක් වන්නේ ජෝන් කීල්ස් සමාගම සමග ඒකාබද්ධව සිදුකොට ඇති කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියය. එහි කටයුතු ලබන වසරේ මුල් කාර්තුවේදී ආරම්භ කිරීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.
කෙසේ වෙතත් මේ සඳහා අදානි සමාගමට මුදල් ආයෝජනය කිරීම සඳහා ඇමෙරිකානු රජයේ අනුමත ආයතනයකින් ඩොලර් මිලියන 553ක ණය මුදලක් හිමිව තිබේ. ඒ, ඇමෙරිකානු රජය හරහා ක්‍රියාත්මක වන ඩී.එෆ්.සී. ආයතනය හරහාය. මෙම ඩී.එෆ්.සී. ආයතනය අදානි සමාගම සමග හෝ ශ්‍රී ලංකාව සමග ආයෝජනයක් සිදුකළ පළමු වතාව ලෙස මෙය සැලකේ.
ඒ අනුව මෙහි භයානක තත්ත්වය වී ඇත්තේ යම් හෙයකින් ඇමෙරිකාවේ පනවා ඇති නඩුව මගින් අදානි සමාගම වැරැදිකරු යැයි තීන්දු වුවහොත් ඇමෙරිකානු රජය හරහා අදානිගේ සමාගම ලංකාවේ සිදුකොට ඇති ආයෝජනවලට කුමක් සිදුවනු ඇද්දැයි කියාය. යම් හෙයකින් අදානි වැරැදිකරු වුවහොත් ලංකාවේ ව්‍යාපෘතිවලට සිදුකොට ඇති ඇමෙරිකානු ආයෝජනවල අනාගතය කුමක් වනු ඇද්ද යන්න පිළිබඳව විශාල ප්‍රශ්නයක් මේ වනවිට මතුව තිබේ.
සාගලයි රුවනුයි
10 වැනි පාර්ලිමේන්තුව ආරම්භ වූයේත්, ජනාධිපතිවරයා රාජාසන කතාව පැවැත්වූයේත් පසුගිය බ්‍රහස්පතින්දා (21) දිනයේදීය. එදින සියලු අලුතින් පත්වූ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව හමුවේ දිවුරුම් දුන්නද සමගි ජන බලවේගයෙන් සහ සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවෙන් තේරීපත්වූ මන්ත්‍රීවරුන් සියලු දෙනා සභාගැබේ සිටියේ නැත. පසුගිය මහ මැතිවරණයෙන් සිලින්ඩරයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් හිමිව තිබූ අතර, සජබයට මන්ත්‍රී ධුර 5ක් හිමිව තිබිණි. නමුත් පාර්ලිමේන්තුව ආරම්භ වූ දිනයේදී සිලින්ඩරයෙන් ඊට නම්කොට තිබුණේ රවී කරුණානායක මහතාත්, සජබයෙන් රංජිත් මද්දුමබණ්ඩාර මහතාත් පමණි. ඊට හේතුවී තිබුණේ මේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර මුල් කරගෙන සිලින්ඩරය ඇතුළේත්, සජබය ඇතුළේත් විවිධ අර්බුද පැනනැගී තිබීම නිසාය.
මෙහිදී බරපතලම අර්බුදය මතුව තිබුණේ සිලින්ඩරයේය. ඒ, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙහි ලේකම්වරිය වූ ශ්‍යාමිලා ප්‍රනාන්දු විසින් එක් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස රවී කරුණානායක මහතා නම්කොට ඇති බවට මැතිවරණ කොමිසම වෙත දැනුම් දීමත් සමගය.
මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමත් සමග සිලින්ඩරයෙන් ඉදිරිපත් වූ චාමර සම්පත්, අනුරාධ ජයරත්න, රෝහිත අබේගුණවර්ධන හැරුණු විට අනෙක් සියලු දෙනාම පරාජයට පත්ව තිබුණු නිසා සිලින්ඩරයේ නායකයා වශයෙන් රනිල් සැලසුම් කොට තිබුණේ එම පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකට සිය පවුලේ ඥාතියා වූ රුවන් විජේවර්ධනත්, සිය සමීප හිතමිතුරා වූ සාගල රත්නායකත් පත්කිරීමටය. ඒ අනුව මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව සිලින්ඩරයේ මහලේකම් වූ ශ්‍යාමිලා ප්‍රනාන්දු සිය නිවෙසට ගෙන්වා ගත් රනිල ඇයට මේ බව දැනුම් දීමට පියවර ගත්තේය. සාමාන්‍යයෙන් වෙනදා නම් රනිල් කියන දෙයක් හිස් මුදුනෙන්ම පිළිගෙන ඒ අයුරින්ම කිරීමට ශ්‍යාමිලා කටයුතු කළත් එදින ශ්‍යාමිලාගෙන් දැකගන්නට ලැබුණේ ඒ සුපුරුදු මුහුණ නම් නොවේ. ඒ වෙනුවට ඇය කළේ කෙළින්ම රනිල්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමය. එපමණක් නොව රනිල්ගේ නිවෙසින් පිටවූ ශ්‍යාමිලා වහාම මේ බව පක්ෂයේ නායකයා වූ රවීට දැනුම් දීමටද පියවර ගත්තේය. ඒ සමගම රවීට රනිල් ගහන්නට යන ගේම හොඳහැටි පැහැදිලි විය. ඒ, මෙම අවස්ථාවේදී සාගල සහ රුවන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යවා යළිත් යම් තීරණාත්මක තත්ත්වයක් රටේ පැනනැගුණහොත් ඉන් එක් අයකු ඉවත් කොට රනිල්ට පාර්ලිමේන්තුවට පැමිණීමේ අවස්ථාව සලසා ගැනීමට බවය. නමුත් මහ මැතිවරණයට පෙර රවිලා සමග අස්සන් කළ අවබෝධතා ගිවිසුමේ එවැනි කිසිදු එකඟතාවක් සඳහන් නොවුණු නිසා රවී ශ්‍යාමිලාට දැනුම් දී සිටියේ අදාළ එකඟතාවට අනුව යමින් තම නම මැතිවරණ කොමිසමට යවන ලෙසටය. සිලින්ඩරය සහ රවී අතර ගැටුම පටන්ගත්තේ ඒ සමගමය.
වජිරට කොන්ත්‍රාත්තුවක්
කෙසේ වෙතත් මේ බව වෙනත් පාර්ශ්වයන් දැනගත් වහා තමන්ට පහර පිට පහර වදින බව දැන සිටි රනිල් එය වෙනතකට හරවාලීම සඳහා වහාම එජාප සභාපති වජිර අබේවර්ධනට කතාකොට මාධ්‍ය හමුවක් පවත්වා සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර තලතාටත්, කංචනටත් ලබාදීමට සැලසුම් කර ඇති බව ප්‍රසිද්ධ කරන ලෙස දැනුම් දී සිටියේය. ඒ අනුව රනිල්ගේ කීමට වජිරද මාධ්‍ය හමුවක් කැඳවමින් එම කොන්ත්‍රාත්තුව ඉටුකිරීමට පියවර ගත්තේය.
මේ අතර, ජාතික ලැයිස්තු ධුරය හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධනට ලබාදිය යුතු බවටද යෝජනාවක් එම පාර්ශ්වයෙන් ඉදිරිපත් වී තිබිණි. එම යෝජනාව පැමිණි වහා සියලු දෙනාම එක හඬින් රනිල්ට දැනුම් දී තිබුණේ දිනේෂ්ව කිසිසේත්ම ජාතික ලැයිස්තුවෙන් නම් නොකරන ලෙසය. පසුගිය මැතිවරණයේදී දිනේෂ් කිසිවකුටත් උදව් නොකළ මහා බොරුකාරයකු බවට සියලු දෙනාම ප්‍රකාශ කර සිටීම නිසා දිනේෂ්ගේ නම මුල් අදියරෙන්ම විසිවී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි.
ඒ අනුව, සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ ගැටලුව විසඳා ගැනීම සඳහා පසුගිය සතියේ එක දිගටම මල් පාරේ පිහිටි රනිල්ගේ කාර්යාලයේ සාකච්ඡා පිට සාකච්ඡා පැවැත්විණි. මෙහිදී විවිධ පුද්ගලයන්ගේ නම් කරළියට පැමිණි ආකාරයක් දැකගත හැකි විය. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වයෙන් යෝජනා කොට තිබුණේ ෆයිසර් මුස්තාෆා හට එම ජාතික ලැයිස්තු ධුරය ලබාදීමටය. පොහොට්ටු පාර්ශ්වයෙන් යෝජනා කොට තිබුණේ කංචන විජේසේකරගේ නමය.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී තවත් පැත්තකින් කිසියම් මෙහෙයුමක් දියත් විය. ඒ, ශ්‍රීලනිපයේ හිටපු ප්‍රබලයකු වන කැස්බෑවේ චන්දන කත්‍රිආරච්චිට මෙම මන්ත්‍රී ධුරය ලබාදිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වීමය. එම යෝජනාවට අමතරව හිටපු මන්ත්‍රීවරුන් 56 දෙනකු අස්සන් කළ ලිපියක්ද ඉදිරිපත් වූ ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව බොහෝ දෙනා කියා සිටියේ රනිල් ගහපු ගේමට පිළිතුරු ලබාදීම සඳහා මෙය රවීගේ පැත්තෙන් ගහපු ගේමක් යැයි කියාය. කෙසේ වෙතත් සිකුරාදා වන තෙක්ම සිලින්ඩරයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නමක් යෝජනා කර තිබුණේ නැත.
සජබයෙත් අවුලක්
සිලින්ඩරයේ ජාතික ලැයිස්තු ප්‍රශ්නය මේ ආකාරයට ඉදිරියට ඇදී යද්දී සජබයද ජාතික ලැයිස්තු ප්‍රශ්නය මුල්කරගෙන යම් ගැටලුවකට මුහුණ දී සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ, සජබයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5ට පත්කරන පුද්ගලයන් කවුරුන්ද යන්න තීරණය කරගත නොහැකිවය. ඊට බලපා තිබූ ප්‍රධානම කරුණ වූයේ මහ මැතිවරණයට පෙර සජිත් සජබ ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රී ධුරය බැගින් සජබය සමග සිටින සුළු ජාතික පක්ෂ නායකයන් වූ රවුෆ් හකීම්ටත්, රිෂාඩ් බදියුදීන්ටත්, දිගම්බරම්ටත් ලබාදෙන බවට පොරොන්දු වී තිබීමය. ඒ අනුව සජබයට ඉතිරි අනෙක් ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් ආසනයක් අනිවාර්යයෙන්ම පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරට ලබාදිය යුතුව තිබිණි. ඒ අනුව ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට විශාල ඉල්ලුමක් ආවේ විවිධ පාර්ශ්වවලින් එම මන්ත්‍රී ධුරය තමන් වෙත ලබාදෙන ලෙසට දිගින් දිගටම සජිත්ගෙන් ඉල්ලා තිබීම නිසාය. මෙහිදී ඇතැමුන් කියා සිටියේ මුස්ලිම් කොංග්‍රසයට ඔවුන්ගේ පක්ෂයෙන් ජාතික ලැයිස්තුවක් හිමිව තිබීම නිසා සජබ ජාතික ලැයිස්තුවෙන් තවත් මන්ත්‍රී ධුරයක් ලබාදීම නොකළ යුතු යැයි කියාය.
මීට අමතරව පාර්ශ්ව ගණනාවක්ම පක්ෂයට දැනුම් දී තිබුණේ අදාළ මන්ත්‍රී ධුරය ඉරාන් වික්‍රමරත්නට ලබාදිය යුතු බවකි. මන්ද යත් ඉරාන් මෙවර සිටියේ මහ මැතිවරණයට තරග කිරීමට නොවේ. නමුත් සජබ ප්‍රධානීන් ඉරාන්ව මහ මැතිවරණයට තරග කිරීමට එකඟ කරවා ගත්තේ යම් හෙයකින් ඔහු පැරැදුණහොත් ජාතික ලැයිස්තුවෙන් ඔහුව පාර්ලිමේන්තුවට රැගෙන එන බවට පොරොන්දුවක් ලබාදෙමිනි. ඒ අනුව එම පොරොන්දුව ඉටුකළ යුතු බව සජබ ප්‍රධානීන් සජිත්ට දැනුම් දී තිබිණි. අනෙක් අතට හිරුණිකාද මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය කාන්තාවකට ලබාදීමට තීරණය කොට ඇත්නම් ඊට සුදුසු එකම කාන්තාව තමන් යැයි කියාය. මීට අමතරව මල්වතු මහා නාහිමියන්ද සජිත්ට ලිපියක් යොමුකරමින් දැනුම් දී තිබුණේ මහනුවර සජබ නායකයා වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබාදීම සුදුසු යැයි කියාය.
සාකච්ඡා පටන් ගනී
මේ ආකාරයට සජබ ජාතික ලැයිස්තුවට විශාල ඉල්ලුමක් මතුවී යම් ප්‍රශ්නයක් බවට පත්වන ලකුණු පහළ වන විට සජිත් කළේ එම ගැටලුව විසඳා ගැනීම සඳහා යම් යම් පාර්ශ්ව සමග පෞද්ගලිකවම සාකච්ඡා ආරම්භ කිරීමය. ඒ අනුව සජිත් සජබය සමග සිටින සුළු පක්ෂ නායකයන් වූ රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන් සහ පී. දිගම්බරම් යන පක්ෂ නායකයන් මුණගැසීමට ඔවුන්ගේ කොළඹ පිහිටි නිවෙස්වලට ගියේය. එහිදී කියැවුණු එක් කාරණාවක් වූයේ දිගම්බරම්ට දෙන බවට පොරොන්දු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් කොළඹින් තරග කර පරාජයට පත්වූ මනෝ ගනේෂන් පැමිණීමට සූදානමින් සිටිනවා යැයි කියාය. නමුත් එහිදී පැනනැගුණු තවත් ප්‍රශ්නයක් වූයේ දිගම්බරම්ට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය මනෝට ලබාදෙන්නේ නම් එය වැරැදි බවත්, මැතිවරණයෙන් පරාජයට පත්වූ අයෙකුට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර නොදෙන බවට පක්ෂය ඇතුළේ ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බවත්ය. එසේ නම් පැරැදුණු අයෙකු වෙනුවට දිගම්බරම්ගේ පක්ෂයෙන් අලුත් මුහුණක් පාර්ලිමේන්තුවට නම් කළ යුතු බවටද එහිදී යෝජනා වී තිබිණි.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දිවුරුම් දුන් බ්‍රහස්පතින්දා (21) දිනය වන විටත් සජබයට හැකිවී තිබුණේ ලැයිස්තු මන්ත්‍රීවරුන් හතර දෙනාගෙන් එක් අයකු පමණක් නම්කිරීමටය. ඒ, වෙන කවුරුවත් නොව පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරය.
සජිත්ට කැරැල්ලක්
මේ ආකාරයට සජබ ලැයිස්තු මන්ත්‍රී ධුර මුල්කරගෙන ප්‍රශ්නයක් පැනනගිද්දී සජබය ඇතුළේ පක්ෂ නායක සජිත්ට එරෙහිවද කැරැල්ලක් දියත් වූ ආකාරයක් පසුගිය සතියේදී දැකගන්නට ලැබිණි. මේ කැරැල්ල දියත් කිරීම සඳහා මූලිකත්වය ගෙන තිබුණේ වෙන කිසිවකුත් නොව සජබය ගොඩනැගූ දා සිටම රනිල් සමග ඩීල් දමමින් රනිල්ගේ වුවමනා එපාකම් ඉටු කරමින් සජබය ඇතුළේ ප්‍රශ්න ඇතිකළ පිරිස්ය. මේ පිරිස සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප අනන්තවත් කරුණු හෙළිදරව් කළෙමු. රනිල් ජනාධිපති ධුරයට පත්වූ දින සිටම රනිල් සමග ඩීල් දැමූ පිරිස් පිළිබඳවත්, රනිල් හමුවීමට නිතර නිතර ජනාධිපති ලේකම් කාර්යාලයට රිංගූ පිරිස් පිළිබඳවත්, රනිල් නුවරඑළි ගිය අවස්ථාවේදී සජබ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු පවුල් පිටින් නුවරඑළි ගොස් මත්පැන් නිෂ්පාදනාගාරයක් ආරම්භ කිරීම සඳහා රනිල්ගෙන් බලපත්‍රයක් ලබාගත් හැටිත්, විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයකුට නොලැබී තිබියදී රජයේ විමධ්‍යගත අරමුදලෙන් කෝටි ගණන් ලබාගැනීමට කටයුතු කළ සජබ මන්ත්‍රීවරුන් ගැන අප මෙම ‘රාජ්‍ය රහස්’ තීරයෙන් වරින් වර කරුණු හෙළිදරව් කළෙමු. එහිදී සදාචාරාත්මක හේතු මත ඔවුන්ගේ නම්ගම් හෙළි නොකර ‘දවල් මිගෙල් රෑ දනියෙල්’ රඟපෑ සජබ මන්ත්‍රීවරුන් පිළිබඳ අවස්ථා ගණනාවකදීම හෙළිදරව් කළෙමු.
කෙසේවෙතත් සජබයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ හරීන් ප්‍රනාන්දුත්, මනුෂ නානායක්කාරත් සිය ප්‍රතිපත්ති පාවාදී ඇමැති ධුර ලබාගෙන ආණ්ඩුවට එක්වීමෙන් පසු හරීන් සිදුකළ පළමු කතාවේදීම කියා සිටියේ ඊළඟ ජනාධිපතිවරණයේදී සජබ අපේක්ෂකා විය යුත්තේ සජිත් නොව, හර්ෂ ද සිල්වා යැයි කියාය. හරීන් එම ප්‍රකාශය කළේ ආවාට ගියාට නොව රනිල් දැනුවත්වය. මන්ද මුල සිටම රනිල්ට අවශ්‍යව තිබුණේ සජබය ඇතුළේ ගැටුම් ඇතිකොට සජබය දෙකට තුනට කඩා සජිත්ව ඉවර කරන්නටය. රනිල් ජනාධිපති පුටුවට පැමිණි දින සිටම දියත් කළේ සජිත්ව විනාශ කරන මේ න්‍යාය පත්‍රයය. අවසානයේදී තමන් පරදින බව ඉර හඳ මෙන් පැහැදිලිවම දැන දැනත් රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ දිනන්නට සිටි සජිත්ගේ කකුලෙන් ඇද සජබ ඡන්ද කඩා සජිත්ව පරද්දන්නටය.
රනිල්ගේ මේ න්‍යාය පත්‍රය දියත් කිරීම සඳහා රනිල් එදා සිටම සජබය ඇතුළේ සිටි මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම පාවිච්චි කළේය. ඉන් ඉදිරියෙන්ම සිටියේ වෙන කවුරුවත් නොව හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, ගයන්ත කරුණාතිලක, කාවින්ද ජයවර්ධන, යම්තාක් දුරකට ඉරාන් වික්‍රමරත්න වැනි මන්ත්‍රීවරුන්ද මේ ගොඩේ සිටියහ. මේ මන්ත්‍රීවරුන් විවිධ ක්‍රම හරහා උපයෝගී කොට ගනිමින් සජිත්ව සහ සජබය වට්ටවන වැඩේ රනිල් හීන් නූලෙන් කරගෙන ගියේය.
වරක් ගාල්ලේ ඉඩම් ඔප්පු බෙදාදීමේ උත්සවයකට ගයන්ත ගෙන්වා ගැනීමට රනිල්ට හැකියාව ලැබිණි. එදා ගයන්ත සහ රනිල් වේදිකාවේ එකට සිටින ඡායාරූප පළකරමින් සජබය මහත් අපහසුතාවකට පත්කිරීමට රනල් කටයුතු කළේය.
කැරලි නායකයෝ
මීට අමතරව කබීර්, හර්ෂ, ඉරාන් යන තිදෙනාම සජබ ආර්ථික ප්‍රතිපත්තියට වඩා විශ්වාස කළේ රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තියය. ඔවුහු නිතරම රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය වර්ණනා කරමින් එය තවදුරටත් ඉදිරියට ගෙන යා යුතු බවත්, එසේ නොවුණහොත් රට අර්බුදයකට ගමන් කරනු ඇති බවත් ප්‍රසිද්ධියේම කියා සිටියහ. මේ හේතුව නිසාම සජබ ආර්ථික ප්‍රතිපත්තිය ජනගත කළ බ්ලූ ප්‍රින්ට් ප්‍රතිපත්ති කොපමණ ඉදිරිපත් කළත් ජනතාව රනිල් සහ සජබය අතර වෙනසක් දුටුවේ නැත. ජනතාව සිතුවේ දෙකම එකක් යැයි කියාය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ප්‍රසිද්ධ ආර්ථික වැඩපිළිවෙළක් හෝ ඉදිරිපත් නොකළ මාලිමාවට මිනිස්සු පෝලිමේ ගිහින් කතිරය ගැසීමය.
ඊළඟට පාර්ලිමේන්තු මුදල් කමිටුවේ සභාපති ධුරය ලබාගැනීමේ සිදුවීමේදී හර්ෂ සහ රනිල් අතර ඉතා සමීප සබඳතාවක් පැවැති ආකාරයක් රටටම දැකගන්නට ලැබිණි. රජයේ මුදල් කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදිය යුතුව තිබීම නිසා එවක විපක්ෂය ඊට හර්ෂ ද සිල්වා නම්කළත් රනිල් උපක්‍රමිකව ඊට ඉඩ දුන්නේ නැත. ඒ වෙනුවට රනිල් කළේ ආණ්ඩු පක්ෂයේ අයකු මුදල් කමිටුවේ සභාපති ධුරයට පත්කිරීමය. මේ නිසා අවස්ථා ගණනාවකදීම හර්ෂ ගොස් මුදල් කමිටු සභාපති ධුරය තමන්ට ලබාගැනීම සඳහා රනිල් සමග සාකච්ඡා කිරීමට කටයුතු කොට තිබිණි.
හර්ෂට එම තනතුර ලබාදීම සඳහා සජිත් ඇතුළු සජබය පාර්ලිමේන්තුව ඇතුළේත්, ඉන් පිටතත් විශාල සටනක් දියත් කළද මුදල් කමිටු සභාපති ධුරය හිමිකර ගැනීමෙන් පසු හර්ෂ එම කමිටු රැස්වීමක් සඳහා එක් අවස්ථාවකදී රනිල්ටද ආරාධනා කිරීමට පියවර ගෙන තිබිණි. සාමාන්‍යයෙන් මුදල් කමිටු රැස්වීමකට ජනාධිපතිවරයාට ආරාධනා කරන්නේ නැති වුවත් රනිල් ඒ වනවිට ජනාධිපති ධුරයේ සිටීම නිසා කිසිවකුත් හර්ෂගේ එම ආරාධනා කිරීම ගැන ප්‍රශ්න කිරීමට ගියේ නැත. එමෙන්ම රනිල් ඊට සහභාගි වීම පිළිබඳ ඔහුගෙන් ප්‍රශ්න කිරීමටද කටයුතු කළේ නැත.
මීට අමතරව රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය යටතේ එක්තරා අවස්ථාවක ගැටලුවක් පැනනැගුණු අවස්ථාවක මුදල් කමිටුව මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ටද ආරාධනා කිරීමට කටයුතු කළේය. ඒ අනුව එවක සිටි විපක්ෂ නායකවරයා වූ සජිත්ද එම අවස්ථාවට සහභාගි විය. නමුත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ සජිත්ට අදහස් දැක්වීමට ඉඩ නොදිය යුතු බවට ආණ්ඩු පක්ෂයේ සිටි මන්ත්‍රීවරුන් ඉල්ලද්දී හර්ෂ, ආණ්ඩු පක්ෂයට මන්ත්‍රීවරුන් වැඩි ප්‍රමාණයක් සිටින බව දැන දැනම ඒ සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට ඉඩ ලබාදීමය. එම ඡන්ද විමසීමෙන් ආණ්ඩු පක්ෂය ජයග්‍රහණය කිරීම නිසා අන්තිමේදී සජිත්ට සිදුවූයේ මුදල් කමිටු රැස්වීමේදී කිසිම ප්‍රශ්නයක් නොවිමසා නිහඬව සිටින්නය.
කබීර් කරපු දේ
කබීර් සම්බන්ධයෙන් ගත්තද ඇත්තේ එවැනි තත්ත්වයකි. රනිල් ජනාධිපති ධුරයට පත්වූ දින සිට රනිල් මාන බැලුවේ කබීර්ව ආණ්ඩුවට ගන්නය. කබීර්ද තමන්ගේ වැඩ කරගැනීමට රනිල් සමග සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේය. රනිල්ගේ පණිවුඩ සජබයට අරගෙන ආවේය. ඒ නිසාම රනිල් සිතුවේ අවශ්‍යම මොහොතේදී කබීර් ආණ්ඩුවට එක්වෙනු ඇතැයි කියාය. නමුත් කබීර් අන්තිම මොහොතේදි රනිල් පරදින බව දැන ආණ්ඩුවට එක්වීමෙන් වැළකී සිටියේය. ඒ නිසා රනිල් කළේ කබීර් හන්තානෙන් අක්කර ගණනක ඉඩමක් ඉල්ලා ආණ්ඩුවට ඉදිරිපත් කර තිබූ ලිපියක් මාලිමාව පැත්තට ලීක් කිරීමය. මාලිමාව එම ලිපිය අරගෙන පහුගිය කාලයේදී කබීර්ටත්, සජබයටත් ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළේය. ඒකෙන් වුණේ සජබය රට හමුවේ දැඩි අසීරුතාවයට පත්වීමය.
හර්ෂලාද රනිල් සමග සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යමින් ආණ්ඩුවෙන් කෝටි ගණන් විමධ්‍යගත අරමුදල් ලබාගැනීමට කටයුතු කළේය. ඒ අනුව මෙවර අප ඉතා වගකීමෙන් යුතුව තවත් රහසක් රාජ්‍ය රහස් තීරයෙන් හෙළිදරව් කිරීමට සූදානම්ය. ඒ, හෙට අනිද්දා වනවිට මේ ආර්ථික ඔස්තාර්ලා ආණ්ඩුවෙන් වරප්‍රසාද ගත් ආකාරය ඇතුළත් ලැයිස්තු දෙකක් එළියට ඒමට නියමිතව ඇති බවය. එවිට මේ හැංගි හැංගි වෙස් බැන්ද සියල්ලන්ගේම රෙදි රට ඉදරියේ ගැළවෙනවා නොඅනුමානය.
එමෙන්ම ජනාධිපතිවරණය පරාජයට පත්වීමෙන් පසුව නැවත වතාවක් හර්ෂලා සූදානම් වූයේ රනිල්ගේ එජාපයත්, සජබයත් පූට්ටු කිරීමටය. ඒ අනුව ජනාධිපතිවරණ පරාජයෙන් පසු දිනම සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මුණගැසුණු හර්ෂ, කාවින්ද, හෝමාගම සජබ සංවිධායක එරන්ද වැලිඅංගේ සහ හිරුණිකා යෝජනා කොට තිබුණේ සජබ නායකත්වය හර්ෂට භාරදෙන්න යැයි කියාය. නමුත් ඒ අවස්ථාවේදී එය විහිළුසහගත යෝජනාවක් නිසා ඊට වැඩි ආයුෂ තිබුණේ නැත. නමුත් එය එතැනින් අවසන් වූයේ නැත. සජබය සහ රනිල්ගේ එජාපය එක්කිරීම සඳහා රනිල්ට, මහින්දට දේශපාලන කපුකම් කළ කොළඹ පන්සලක තවත් හොර සාකච්ඡා වටයක් ආරම්භ විය. ඊට රනිල්ගේ මස්සිනා වූ රුවනුත්, හර්ෂ ඇතුළු කිහිප දෙනකුත් එක්ව සිටියහ. එහිදී එජාපය සහ සජබය එකතු කරන ලෙස සජිත්ට විශාල බලපෑමක් ආ ආකාරය එදා අපි ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිදරව් කිරීමට කටයුතු කළෙමු. මෙම සාකච්ඡාවලදී රුවන් පෙන්වූයේ රනිල් එජාප නායකත්වයෙන් ඉවත් වන බවත්, ඉන් අනතුරුව තමන් එජාප නායකයා වන බවත්, එවිට පක්ෂ දෙකම එක්කළ හැකිවනු ඇති බවත්ය. නමුත් ඒ මොහොතේදීම අප කියා සිටියේ රුවන්ලා මේ කරන්නේ අමු බොරුවක් බවත්, රනිල් කිසිදු අවස්ථාවක එජාප නායකත්වයෙන් ඉවත් නොවන බවත්ය. අද වනවිට එය 100%ක්ම තහවුරු වී තිබේ. ඒ අනුව එදා රුවන් සහ හර්ෂ කර තිබුණේ දැන දැනම කුමන්ත්‍රණයක් බවට මේ වනවිට බොහෝ දෙනා තුළ සැක මතුව තිබේ. මන්ද යත් ඡන්ද තිස් ගණනක් නොව, ඡන්ද 100ක් පැරැදුණත් රනිල් කිසිදු අවස්ථාවක එජාප නායකත්වය අත් නොහැර මැරෙන තුරුම එජාප නායකත්වයේ සිටින බව මේ වනවිට තහවුරු වී අවසානය. ඒ, වෙන හේතුවක් නිසා නොව රුවන්ට සහ සාගලට එජාප නායකත්වය බාරදෙන තෙක් එය අල්ලාගෙන සිටීම රනිල්ගේ අරමුණ වී ඇති නිසාය.
සජිත්ට වඩා ගන්නවා
ඉන් අනතුරුව මහ මැතිවරණ සමයේදී හර්ෂ තැන් කීපයකදීම කියා තිබූ කතාවක් වූයේ තමන් සජිත්ට වඩා එක ඡන්දයක් හෝ ගන්නවා යැයි කියාය. එසේ වැඩි ඡන්ද ගෙන තමන් සජබ නායකත්වය ගන්නා බවද හර්ෂ එහිදී කියා තිබිණි. හර්ෂ කර තිබූ මෙම කතාවේ හඬපටද සජිත් වෙත ලැබී තිබූ අතර, රාජ්‍ය රහස් තීරය වෙතද එම හඬ පට ලැබී තිබිණි. නමුත් ඒ අවස්ථාවේදී අප ඒවා අනාවරණ නොකළේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් අතරතුරදී එවැන්නක් හෙළිදරව් කිරීම හරහා සජබයට අවාසිදායක තත්ත්වයක් නිර්මාණය වන නිසාය. අන්තිමේදී හර්ෂ කොළඹින් මනාප 81,473ක් ගනිද්දී සජිත්, හර්ෂට වඩා මනාප 64,000කට එහා ලබාගනිමින් මනාප 145,611ක් ලබාගෙන තිබිණ.
කෙසේ වෙතත් සජිත් ගැනද සජබය ගැනද අපටද ප්‍රශ්න නැතුවා නොවේ. ප්‍රධාන විපක්ෂය ලෙස ඉකුත් මැතිවරණ සමයන්වලදී අප සජබයට වැඩි ප්‍රචාරයක් ලබාදීමට පියවර ගත් බව සත්‍යය. සජබය පමණක් නොව විපක්ෂයේ වෙනත් පක්ෂයක් ප්‍රධාන විපක්ෂය ලෙස කටයුතු කරන්නේ නම් ඒ හා සමානම ප්‍රචාරයක් ඒ ප්‍රධාන විපක්ෂය වෙත ලබාදීමට අප සූදානම්ය. මන්ද අප හැමදාමත් ආණ්ඩු වෙනුවෙන් පෙනී සිටිනවාට වඩා විපක්ෂය වෙනුවෙන් පෙනී සිටීමට කටයුතු කළේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා රටේ ශක්තිමත් විපක්ෂයක් තිබිය යුතු නිසාය. ඒ අනුව අප සජබය සහ සජිත් සම්බන්ධයෙන් ඇති විවේචනය පිළිබඳ ලබන සතියේදී විශේෂ හෙළිදරව්වක් කිරීමට සූදානම්ය. එහිදී සජිත්ටද පහර වැදීමට පුළුවන. හර්ෂලා, කබීර්ලාටද පහර වැදීමට පුළුවන. ටයි කෝට් අඳින ඩීල්කාරයන්ටද පහර වැදීමට පුළුවන. ඊට අපට කිරීමට දෙයක් නැත. මොවුන් සමග අපට කිසිදු පෞද්ගලික ප්‍රශ්නයක්ද නැත. මන්ද දේශපාලනයේදී මොනවා වුවත් නොබෙදුණු ශක්තිමත් විපක්ෂයක් තිබිය යුතු බව අපගේ ස්ථාවරයය.
පුංචි ඡන්දය එනවා
මේ වනවිට ජාතික තලයේ මැතිවරණ දෙකක් අවසන් වී තිබුණද තවත් මැතිවරණ දෙකක් පැවැත්වීමට ඉතිරිව තිබේ. ඉන් පළමු මැතිවරණය වන්නේ පළාත් පාලන මැතිවරණයය. එය ලබන ජනවාරියේ පැවැත්වීමට මේ වනවිට සියල්ල සූදානමින් පවතී. ඒ අනුව සජබයට ගම් මට්ටමේ ශක්තිමත් යාන්ත්‍රණයක් සකස් කරගැනීමට ලැබෙන පළමු අවස්ථාව වන්නේ මෙම පළාත් පාලන මැතිවරණයය. එහිදී මෙතෙක් දුටු පරණ මුහුණු වෙනුවට අලුත් තරුණ මුහුණු එළියට ගෙනැවිත් ජනතාවට හඳුන්වාදී මේ ජරාජීර්ණ වූ ඩීල් දේශපාලනය අවසන් කිරීමට සජබය වගබලාගත යුතුව ඇත. පක්ෂ විනාශ කරන මේ ටයිකෝට්කාර ඩීල්කාරයන් පසෙකට දමා එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී හෝ අලුත් දේශපාලන ගමනක් යෑමට සජිත් වගබලාගත යුතුව ඇත.
කබීර් තවත් ගේමක
මෙම ඩීල් දේශපාලනයේ අලුත්ම ජවනිකාව දැකගන්නට ලැබුණේ මහ මැතිවරණ පරාජයෙන් පසුව පැවැත්වූ සජබයේ පළමු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය. එහිදී මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ආරම්භ වීමට පළමුව ගිය රාවයකින් කියැවුණේ කබීර් සජබයේ කිහිප දෙනකුටම කතාකොට විපක්ෂ නායක ධුරය තමන්ට ලබාගැනීම සඳහා සහාය දෙන ලෙසට ඉල්ලීමක් කොට ඇති බවය. මෙම කරුණ පක්ෂයේ ප්‍රධානීන්ට වාර්තා වූයේ සජබය සමග සිටින සුළු ජාතික පක්ෂ නායකයකුටද කබීර්ගෙන් මෙම ඉල්ලීම ඉදිරිපත් වීමෙන් පසුවය. හෙතෙම මෙම තොරතුර අදාළ තැන්වලට දැනුම් දෙමින් කියා තිබුණේ කබීර් මේ අයුරින් විපක්ෂ නායක ධුරය ලබාගැනීම සඳහා තමන්ගේ සහාය ඉල්ලා සිටි බවත්, තමන් එය ප්‍රතික්ෂේප කළ බවත්ය. ඒ සම්බන්ධයෙන් සොයා බැලීමේදී කබීර් සජබ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුටම කතාකොට මේ ආකාරයේ ඉල්ලීමක් ඉදිරිපත් කොට ඇති බව වාර්තා විය. නමුත් කිසිවකුගෙන් ඊට සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණු නිසා අවසානයේදී පළමු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගි වුවද කිසිවක් නොකියා කබීර් නිහඬව පසෙකට වී සිටි ආකාරයක් දැකගත හැකි විය.
යාපනයේ අර්චුනා
පසුගිය බ්‍රහස්පතින්දා (21) පැවැති 10 වැනි පාර්ලිමේන්තු ආරම්භක දිනයේදී විශේෂ සිදුවීම් කිහිපයක්ම සිදුවූ ආකාරය දැකගත හැකි විය. එහිදී ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයටත් වඩා සමාජ මාධ්‍ය ජාලවල අවධානය දිනාගෙන තිබුණේ අලුතෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව පැමිණි මන්ත්‍රීවරයකු විපක්ෂ නායකවරයාට අයත් ආසනයේ අසුන්ගෙන සිදුකළ නාඩගමය. එහිදී පාර්ලිමේන්තු සේවකයකු පැමිණ එම නවක මන්ත්‍රීවරයාට අදාළ ආසනය විපක්ෂ නායකවරයාගේ බව පවසා ඉන් ඉවත් වන ලෙස දැනුම් දුන්නද මෙම තරුණ මන්ත්‍රීවරයා ඔහු සමගද එකට එක කියමින් දිගටම එම අසුනේ වාඩිවී සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි. එය ඔහු විසින්ම වීඩියෝ කොට පසුව සමාජ මාධ්‍ය ජාලවලට යොමුකර තිබූ ආකරයද දැකගත හැකි විය.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුවක සාමාන්‍යයෙන් මෙවැන්නක් සිදු නොවන නිසා මෙම වීඩියෝවට සමාජ මාධ්‍ය ජාලවල විශාල විරෝධයක් එල්ල වන ආකාරයක් දැකගත හැකි විය. එමෙන්ම සියලු දෙනාම මේ නවක මන්ත්‍රීවරයා කවුරුන්ද යන්න සොයා බැලීමට උනන්දු වූ ආකාරයක්ද දැකගත හැකි විය. එහිදී ඇතැම් මාධ්‍ය සහ ඇතැම් පිරිස් මෙම නවක මන්ත්‍රීවරයා මාලිමාව නියෝජනය කරමින් යාපනයෙන් තේරීපත්වූ වෛද්‍ය අර්චුනා රාමනාදන් බව වාර්තා කිරීම නිසා බොහෝ දෙනා සමාජ මාධ්‍යවල මාලිමාවට එරෙහිව ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කර තිබූ ආකාරයක්ද පෙනෙන්නට තිබිණි. නමුත් ආණ්ඩුව පැත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් හෙතෙම මාලිමාවේ සාමාජිකයකු නොව යාපනයෙන් ස්වාධීන පක්ෂයකින් තරග වැදී පාර්ලිමේන්තු පැමිණි අයකු බව සඳහන් කොට තිබිණි. ඒ අනුව සියලු දෙනාම මේ අර්චුනා රාමනාදන් කවුරුන්ද යන්න පිළිබඳ සොයා බලන්නට වූහ.
අර්චුනා රාමනාදන් යනු යාපනයේ තරුණ වෛද්‍යවරයෙකි. වරක් අර්චුනා චාවකච්චේරි රෝහලේ වැඩ භාරගැනීමට ගිය අවස්ථාවේදී එහි අනෙකුත් වෛද්‍යවරුන් සහ රෝහල් සේවකයන් ඔහුට විරෝධය පළකර ඇති බවක්ද ආරංචිය. කෙසේ වෙතත් ජනතාව අතර ජනප්‍රිය චරිතයක් නිසා අර්චුනා පළමුව උතුරේ ප්‍රධාන පක්ෂවලින් තරග කිරීමට අවස්ථාව ඉල්ලා තිබිණි. පළමුවෙන්ම ඔහු ගොස් තිබුණේ දෙමළ ජාතික සන්ධානය වෙතටය. නමුත් දෙමළ ජාතික සන්ධානය ඔහුට නාමයෝජනා ලබාදීම ප්‍රතික්ෂේප කර තිබිණි. පසුව එවක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යාපනයේ සංචාරයක නිරත වද්දී සජිත්ව හමුවූ අර්චුනා උතුරෙන් තරග වැදීම සඳහා අවස්ථාව ඉල්ලා තිබිණි. ඒ අවස්ථාවේදී සජිත් අර්චුනාට සජබයෙන් නාමයෝජනා ලබාදීමට කැමැත්තෙන් පසුවුවත් උතුරේ සියලු සජබ සංවිධායකවරුන් ඊට විරෝධය පළකරමින් සජිත්ට දැනුම් දී තිබුණේ අර්චුනා යනු පාලනය කළ නොහැකි චරිතයක් යැයි කියාය. ඒ අනුව සජබයද අවසානයේදී අර්චුනාට නාමයෝජනා ලබාදීමෙන් වැළකී සිටියේය. ඒ අනුව ස්වාධීන පක්ෂයකින් තරග කළ අර්චුනා වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබිණි.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු ආසන සිද්ධියේ කලබලයෙන් පසු නැවත වතාවක් සිය ෆේස්බුක් ගිණුමේ වීඩියෝවක් පළකර තිබූ අර්චුනා කියා තිබුණේ තමන් අදහන්නේ ප්‍රභාකරන් යැයි කියාය. එදින තමන්ට එවා තිබූ ලිපියෙහි ඕනෑම ආසනයක අසුන්ගන්නා ලෙසට කර තිබූ දැනුම්දීම නිසා තමන් විපක්ෂ නායක පුටුවේ අසුන්ගත් බවද කියා සිටි අර්චුනා, තවත් වසරකින් හෝ දෙකකින් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වී උතුරු පළාත් සභාවට තරග කිරීමට සූදානමින් සිටින බවද එහිදී සඳහන් කර තිබිණි.










