වැලිගම ප්‍රදේශයේ හෝටලයක සිදුවූ වෙඩිතැබීමකට අදාළව අත්අඩංගුවට ගැනීමට අධිකරණය කළ නියෝගය මඟහරිමින් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දින 20කට ආසන්න කාලයක් සැඟව සිටියා. පසුව, මාර්තු 19 වැනිදා ඔහු මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට නීතිඥවරුන් පිරිසක් සමග පැමිණ භාරවූ අතර, එහිදී ඔහු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා සහ නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා දැක්වූ කරුණු පිළිබඳ අදහස් දක්වමින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන, සිය යූටියුබ් නාලිකාවට වීඩියෝවක් නිකුත් කර තිබෙනවා. පසුගිය 19 වැනිදා නිකුත් කළ එම වීඩියෝවේ ඇතුළත් කරුණු ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් මෙලෙස පහත පළකරමු.
අද උදේ 8.20ට දේශබන්දු තෙන්නකෝන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ගිහිල්ලා බංකුවක් උඩ වාඩිවෙලා ඉන්නවා කියලා නීතිපති දෙපාර්තමේන්තුවට සහ පොලිසියට පණිවුඩයක් එනවා. ඒ අනුව හොයලා බලද්දී තහවුරු වෙනවා දේශබන්දු තෙන්නකෝන් බෙන්ස් කාර් රථයක නැගලා තව පරිවාර කාර් තුනක් එක්ක මාතර මහෙස්ත්‍රාත් උසාවිය ඇතුළට ගිහිල්ලා තියෙනවා කියලා. මීට අදාළව අද උදේ ඔහු උසාවියට ගියාට මේ නඩුව කැඳෙව්වේ දවල් 12.30ට. නඩුව කැඳවපු වෙලාවේ මුලින්ම කරුණු දැක්වූවේ දේශබන්දු තෙන්නකෝන්ගේ නීතිඥවරයා. මම ඔහුගේ භාෂාවෙන්ම ඔහු කියපු දේවල් උපුටා දක්වන්නම්. Sri Lanka Latest News
නඩුව කැඳවපු අවස්ථාවේ දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් නීතිඥ ගිහාන් පතිරණගේ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා ඇතුළු නීතිඥවරු හත් දෙනෙක් පෙනීසිටියා. පැමිණිල්ල (සී.අයි.ඩී.) වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ දිනේෂා මුතුමාල මහත්මිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අදාළ විමර්ශන නිලධාරීන් සමග අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා පෙනීසිටියා. පොලිස් නීති කොට්ඨාසය වෙනුවෙන් නීතිඥ දිමුතු පැමිණිලා හිටියා. කරුණු දැක්වීම කළේ ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා විසින්.
මුලින්ම සැකකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥවරයා කියූ දේවල් ඔහුගේ භාෂාවෙන්ම මම කියන්නම්.
‘අද දින මෙම සැකකරු මෝසමක් මගින් මෙම අධිකරණයට බාරවෙලා තියෙනවා. බී 6314 කියන නඩුවේ කිසිම අවස්ථාවක ඔහු සැකකාරයෙක් කරලා නැහැ. මේ නඩුවේ 2025.02.27 නියෝග දෙකක් දීලා තියෙනවා කියලා ඔහු ඒ නියෝග දෙක ගැන සඳහන් කළා. මේ සැකකරු පහුගිය 7 වැනිදා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකළා. ඒක පහුගිය 10, 12, 17 වැනිදා කැඳෙව්වා. 17 වැනිදා ඊට අදාළ නියෝගය ලබාදුන්නා. දැනට ඔබතුමා ඉදිරිපිට සිටින මේ සැකකරු එම රීට් පෙත්සමේ තීන්දුවෙන් පසු අධිකරණයට ඇවිත් බාරවෙලා තියෙනවා. අභියාචනාධිකරණ තීන්දුවේ 21 පිටුවේ සඳහන් වෙලා තියෙනවා කම්ප්ලයි ඇන්ඩ් කම්ප්ලේන් කියන සංකල්පය ගැන. ඒ කියන්නේ අවනත වෙලා පැමිණිලි කළ යුතුයි කියන එක. ඒක පිළිඅරගෙන මේ සැකකරු ඇවිල්ලා අද අධිකරණයට බාරවෙලා තියෙනවා. එම අධිකරණ නියෝගය දුන්නේ 17 වැනිදා. ඊයේ දවසේ මේ සැකකරුට එන්න බැරි වෙන්න හේතුවක් තිබුණා. ඒ හේතුව තමයි ආරක්ෂාව. මේ සැකකරු පොලිස්පති විදියට පාතාලයට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව දිගටම යුද්ධය ප්‍රකාශ කළා. ඔවුන් අත්අඩංගුවට ගත්තා. ලංකාව ඇතුළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පාතාල සාමාජිකයන් අත්අඩංගුවට ගත්තා. විදෙස් රටවල සැඟවිලා සිටින අය ලංකාවට ගෙන්වලා අත්අඩංගුවට ගත්තා. ඒ නිසා ඔහුට ජීවිත තර්ජන තියෙනවා. එම තර්ජන නිසා තමයි 2024දී ඔහු පොලිස්පති ධුරයේ කටයුතු කිරීම අධිකරණයෙන් අත්හිටෙව්වට පස්සෙත් ඔහුට එස්.ටී.එෆ්. ඇතුළු විශේෂ ආරක්ෂාවක් ලබාදීලා තිබුණේ. ඒ ආරක්ෂාවේ ගැටලුව නිසා තමයි ඔහු ඊයේ අධිකරණයට ආවේ නැත්තේ. එහෙම එන්න බැරිවුණත් අද උදේ 8.20ට ඔහු අධිකරණයට ගරු කරලා ඇවිල්ලා තියෙනවා.
අභියාචනාධිකරණ තීන්දුවේ සඳහන් කරලා තියෙන ආකාරයට අධිකරණයට අවනත වෙලා ඔහු ඇවිල්ලා ඉන්නවා…’ ඒ වගේම තවත් කරුණු ගණනාවක් කිව්වා. හැබැයි අධිකරණ නියෝගය මුලින්ම දෙන්නේ පෙබරවාරි මාසේ 27 වැනිදා. එදා ඉඳන් අද වෙනකල් දවස් 20ක් යනතුරු ඔහු ඒ අධිකරණ නියෝගයට ගරු කළේ නෑ. ඔහු හැංගිලා හිටියා. ඊට පස්සේ කිව්වා මේ නඩුවේ 1 ඉඳන් 7 වෙනකල් සැකකරුවන් විදියට නම්කරලා ඉන්න නිලධාරීන් ගැන. ඒගොල්ලෝ අධිකරණය ඉදිරියේ දිවුරුම් පිට සාක්ෂි දීලා යම් කරුණු වගයක් කියලා තියෙනවා. දැන් ඔවුන් ඊට වැඩිය වෙනස් ප්‍රකාශ කරනවා නම් ඒක අධිකරණයට කරන අපහාසයක්. නීතිපතිවරයා ඔවුන්ට විරුද්ධව කටයුතු කළ යුතුයි කියලා කිව්වා. ඒක දිවුරුම් පිට බොරු සාක්ෂි දීම වරදක් කියලා කිව්වා. මේක කියන්න හේතුව මොකක්ද කියලා ඔහු සඳහන් කළේ නෑ. මේක කියන්න හේතුව විදියට සඳහන් වෙන්න ඇත්තේ මේ නිලධාරීන් පිරිස ගිහිල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කටඋත්තර දීලා තියෙනවා. ඒ කටඋත්තරවල තියෙන්නේ තමන්ගේ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාගේ නියෝග මත ඔවුන්ගේ කීමට තමයි මෙහෙම ගිහිල්ලා වුණේ කියලා. එතකොට ඒ නිසා වෙන්න ඇති මේක කියන්නේ. මොකද ඔවුන් රජයේ සාක්ෂිකරුවන් කරලා දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව සාක්ෂි දෙයි කියලා බය ඔහුට ඇති. ඒ නිසා වෙන්න ඇති මේ කාරණාව කියන්න ඇත්තේ.
ඒ වගේම කිව්වා, සෙසු සැකකරුවන් 814/2024 කියලා රීට් පෙත්සමක් දාලා තියෙනවා අභියාචනාධිකරණයේ. ඒ රීට් පෙත්සම නැවත 21 වැනිදා කැඳවනවා කියලා කිව්වා. ඒ පෙත්සමට අනුව ඔවුන් අත්අඩංගුවට නොගන්නා බවට එකඟවෙලා තියෙනවා සහ ඔවුන් අත්අඩංගුවට ගන්න එපා කියලා නීතිපතිවරයා දැනුම්දුන්නා කියලා කිව්වා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරලා ජනමාධ්‍යවල ඒක පළවුණා කියලා කිව්වා. ඊට පස්සේ ඇප පනතේ 7 වැනි වගන්තිය ගැන සඳහන් කරලා තිබුණා. ඇප දීම තමයි නීතිය, ඇප නොදීම රීතිය කියලා කිව්වා. ඒ කියන්නේ ඇප පනත ගෙනාවෙම ඇප දෙන්න කියලා කිව්වා. යම් සීමිත අවස්ථාවලදී ඇප නොදී සිටිය හැකි බවත් ඔහු සඳහන් කළා. හැබැයි ඒ නොදී සිටීමේ හැකියාවට අදාළ කිසිවක් මේ අවස්ථාවේ දේශබන්දු තෙන්නකෝන්ට අදාළ වෙන්නේ නෑ කියලා කිව්වා. ඒ කියන්නේ දේශබන්දු තෙන්නකෝන් 2023 දෙසැම්බර් 30 වැනිදා වැලිගම මේ සිදුවීම වෙච්ච දවසේ ඉඳන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඔහු පොලිස්පති ධුරයේ රාජකාරි කරන එක අත්හිටුවනකල්ම ඔහු පොලිස්පති ධුරයේ කටයුතු කළා කිව්වා. ඔහු කිසිම අවස්ථාවක මේ නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් කරලා නෑ කිව්වා. ඒ වගේම ඔහු ඇප පිට ඉඳන් වරදක් කරන්නෙත් නෑ කිව්වා. ඒ නිසා ඔහු අනිවාර්යයෙන්ම ඔහුට ඇප ලබාදිය යුතුයි, ඇප පනතේ ඇප නොදී සිටීමට හේතු කිසිවක් දේශබන්දු තෙන්නකෝන් අතින් වෙලා නෑ සහ වෙන්නෙත් නෑ කියලා කිව්වා. ඒ වගේම 1998 සහකාර පොලිස් අධිකාරිවරයෙක් විදියට ඇවිල්ලා, 2024 වැඩ තහනම් වෙනකල්ම ඔහු තර්ජනයක් ඇතිවිය හැකි දේවල් කරලා තියෙනවා කිව්වා. ඒ නිසා ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගත කළොත් ඔහුට එහිදී ජීවිත හානියක් වීමට පවා ඉඩ තියෙනවා කියලා කිව්වා. එවැනි කරුණු දැක්වීමක් කරලා මේ සියලු කරුණු සලකා බලා සුදුසු යැයි හැඟෙන ඕනෑම කොන්දේසියක් මත ඇප ලබාදෙන්නයි කියලා ඉල්ලීමක් කළා.
ඒකට උත්තර විදියට ජනාධිපති නීතිඥ, සහ නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහත්මයා කරුණු දැක්වීම පටන් ගත්තා. ඔහු කිව්ව ටික මම ඒ විදියටම කියන්නම්.
‘අද උදේම බෙන්ස් කාර් එකකින් සහ තවත් කාර් තුනකින් මේ අධිකරණයට විවෘත වරෙන්තුකරුවෙක් ඇවිල්ලා බංකුවක් උඩ වාඩිවෙලා ඉන්නවා කියන ආරංචිය වෙලයි අපි මෙහි ආවේ. ටයිකෝට් දාගෙන ආවත් ඔහු වරෙන්තුකරුවෙක්. උසාවිය මගහැරලා හැංගිලා ඉන්න වරෙන්තුකරුවෙක්. ඉන්න ඕනේ බංකුවල නෙවෙයි. අර කූඩුවේ. ඊට පස්සේ විවිධ උප්පරවැට්ටි දාගෙන කරපු රංගනය අද අවසන් වෙලා තියෙනවා. මේ ඉන්නේ සංවිධානාත්මක අපරාධකරුවෙක්. එදා මගේ කටින් කියැවුණා අභියාචනාධිකරණයේදී මේ පුද්ගලයා පොලිස්පති ධුරයට තබා කොස්තාපල් ධුරයටවත් සුදුසු නෑ කියලා. මම ඒ ගැන පසුව කල්පනා කළා. මම මේ රටේ පොලිස් කොස්තාපල්වරුන්ගෙන් ඉල්ලනවා මොහු පී.සී. කෙනකුට සමාන කිරීමෙන් පී.සී.ලාගේ හිත් රිදුණා නම් ඔවුන්ගෙන් සමාව ගන්නවා. මොකද මොහු සංවිධානාත්මක අපරාධකරුවෙක්. සංවිධාන්මක අපරාධකරුවෙක් නිසා පී.සී. කෙනකුට ඔහුව සමාන කෙරුවාම හිත් රිදුණා නම් සමාව අයැදිනවා. උගත් ජනාධිපති නීතිඥතුමා කිව්වා මොහු පාතාලයට අභියෝග කළා කියලා. ඒ වගේම තමයි මොහු මේ රටේ නීතිඥවරුන්ටත් කතා කළා. පාතාලය නැතිකරන්න බැරි නීතිඥවරුන් නිසා කියලා කිව්වා. නීතිඥවරුන් පාතාලය බේරනවා කියලා කිව්වා. එහෙම කිව්ව කෙනා අද නීතිඥවරුන් පිරිවරාගෙන උසාවියට ඇවිල්ලා ඉන්නවා.
ස්වාමිනි මේක නීතිමය කටයුත්තකට එහා ගිහින් කර්මය නඩු ඇසීමක්. දිට්ඨධම්මවේදනීය කර්මය තමයි මේ තැනැත්තාට පඩිසන් දීලා තියෙන්නේ. දිට්ඨධම්මවේදනීය කර්මය කියන්නේ මොකක්ද කියලා කාලයක් බුද්ධ පුත්‍රයෙක් වෙලා හිටපු මේ පුද්ගලයාට කියා දෙන්න ඕනේ නෑ කියලා හිතනවා.
මේ රීට් පෙත්සමේ 1 වගඋත්තරකරු කවුද කියලා බලන්න. 1 වගඋත්තරකරු ඔබතුමා. මේ පෙත්සමේ කියලා තියෙනවා 41 ඡේදයේ, වසාගත් දොරවල් සහිතව ඔබතුමා කුමන්ත්‍රණයක් කළා කියලා. එහෙම අපහාස කරපු මේ සැකකරුට ඔබතුමා ගාවටම ඇවිත් ඇප ඉල්ලන්න වෙලා තියෙනවා. ඒක තමයි මම කිව්වේ මේක දිට්ඨධම්මවේදනීය කර්මය කියලා. අපි උසාවි නියෝග අභියෝගයට ලක්කරනවා. ඒත් මෙච්චර පහතට වැටිලා අභියෝගයට ලක්කරන්නේ නෑ. එතුමා වැඩකරලා සිංහ ලීලාවෙන් කියලා හිතාගෙන වෙන්න ඇති මෙතැන ඇවිදින් බංකුවේ වාඩිවෙලා ඉන්නේ. ඒක සිංහ ලීලාවක් නෙවෙයි. මෙම සැකකරු පැරාමිලිටරි කණ්ඩායමක් යොමුකළා කියලා ඔබතුමා තීන්දුවේ කියලා තියෙනවා. ඒ වචනය හොඳ වැඩියි. මේ වැඩේට යොදාගෙන තියෙන්නේ ඔහු යටතේ නඩත්තු වෙන සී.සී.ඩී. කණ්ඩායමක්. රජයේ ගිනිඅවි යොදාගෙන තියෙන්නේ. මේක පැරාමිලිටරි කණ්ඩායමක් නෙවෙයි හිට් ස්කොඩ් එකක්. ප්‍රහාරක කණ්ඩායමක්. ඔවුන් අදාළ ගමන ගිහින් තියෙන්නේ රාජකාරි ජංගම දුරකතන ඕෆ් කරගෙන. 8.30ට ගිහින් තියෙන්නේ. හයිවේ එක මගහැරලා ගිහින් තියෙන්නේ. මොකද සී.සී.ටී.වී.වලින් වහං වෙන්න. හරක් කටාගේ ගෝලයෝ අල්ලන්න හදිසි වැටලීමක් කියලා තමයි ගිහින් තියෙන්නේ. හැබැයි හයිවේ එකේ ගිහින් නෑ. ගිහින් තියෙන්නේ සාමාන්‍ය පාරේ. 8.30ට පිටත් වෙලා තියෙන්නේ. මහ රැ තමයි එහෙට ගිහින් තියෙන්නේ. සී.සී.ඩී. එකේ ඕ.අයි.සී. ඇතුළු ඕ.අයි.සී.ලා තුන්දෙනෙක් ගිහින් තියෙනවා. සැකකාර කාන්තාවක් අල්ලන්න ගියා කියලත් මේගොල්ලෝ කියලා තියෙනවා. හැබැයි කාන්තා නිලධාරිනියක් අරන් ගිහින් නෑ. මීට පෙර මේ සී.සී.ඩී. එකේම මේ වගේ වැටලීමක් කරන්න කණ්ඩායමක් ගිහින් තියෙනවා. ඒ කියන්නේ 28- 29 විශේෂ කණ්ඩායමක් මාතරට ගිහින් තියෙනවා. එහෙනම් ඒක විශේෂ වැටලීමක් නම් ඒ කණ්ඩායමට කියලා මේ වැටලීම කරවන්න තිබුණා. හැබැයි ඒක කළේ නෑ. මේ කණ්ඩායම වෙනමම යැව්වා. මේක තෝරාගත්තු කණ්ඩායමක්.
මොවුන් ගිහින් වෙඩි තියද්දී වැලිගම පොලිසිය හිතලා තියෙන්නේ පාතාල කල්ලියක් කියලා. වැලිගම ජංගම රථයේ හිටපු හමුදා නිලධාරීන් දෙදෙනාගෙන් එක්කෙනෙක්ගේ ගිනි අවිය වැඩකරලා නෑ. එහෙම වැඩ කළා නම් ඔබතුමාට සැකකරුවෝ 8ක් නම්කරන්න වෙන්නේ නෑ. අනිත් 7 දෙනාම ඉවරයි. මේ සැකකරු පමණයි එහෙම වුණා නම් මේ නඩුවේ ඉන්නේ. වෙඩි වැදී තුවාල ලැබූ නිලධාරියා රෝහලට ඇතුළත් නොකර, අධිවේගයට ගිහින් තියෙනවා. ඒ අවස්ථාවේදී වැලිගම පොලිසියේ දැනුම්දීමක් මත අධිවේගයේ පරීක්ෂා කරද්දී පරීක්ෂා කරන්න දීලා නෑ.
ඒ වෙලාවේ ජගත් නිශාන්ත කියන නිලධාරියා පාන්දර 3.30ට සී.සී.ඩී. අධ්‍යක්ෂට කෝල් එකක් අරන් තියෙනවා. 3.40ට විතර සී.සී.ඩී. අධ්‍යක්ෂ මේ සැකකරුට (පොලිස්පතිට) කතා කරනවා. ඔහු ආන්සර් කරනවා. පාන්දරත් මේ අය සන්නිවේදනයේ ඉඳලා දිගටම ඇලට් එකේ ඉඳලා තියෙනවා. මේ වෙඩිවැදුණු නිලධාරියා ප්‍රථමාධාර නොදී ළඟම රෝහලට ගෙනියන්නේ නැතුව ඔහුව වාහනයේ බිම දාගෙන තමයි ගිහින් තියෙන්නේ. හයිවේ එකේදී ඇහුවාම කියලා තියෙන්නේ පොලිස්පතිගේ වැඩකට ආවා කියලා. මෙයාලා හයිවේ එකෙන් එදා පැනලා ආවා නම් මේ කතාව වෙනස් වෙන්න තිබුණා. ඩබ්ලිව් 15 හෝටලයේ අය අත්අඩංගුවට අරගෙන මොකක් හරි කතාවක් ගොතන්න තිබුණා. මේක ප්‍රහාරක කණ්ඩායමක්. විවිධ උප්පරවැට්ටි දාපු, යටිකූට්ටු වැඩ කරපු කෙනෙක් තමයි අද මේ ඉන්නේ. බංකුවල නෙවෙයි මේ අය ඉන්න ඕනේ කූඩුවේ ඉන්න ඕනේ. මොහුගේ සම්පූර්ණ නම තෙන්නකෝන් මුදියන්සේලාගේ වංශාලංකාර දේශබන්දු තෙන්නකෝන්. මොහු රීට් එකේ නම දාලා තියෙන්නේ බාගෙට. රීට් එකේ දිවුරුම් ප්‍රකාශයේ ඔහු පදිංචි වෙලා ඉන්නවා කියලා දාලා තියෙන ගංගානි ඉඩමේ, හෝකන්දර දකුණ නිවස ගැන හොයලා බැලුවා. ඒ ලිපිනය කාගෙද?
මේ ඉඩම අයිති කාන්තාවකට. නිලානි වාසනා කියන කාන්තාවගෙන් 2016.04.08 වැනිදා මේ ඉඩම අරගෙන තියෙන්නේ උලුවිටකේ බෝධිවංශ කියන කජුවත්ත රජමහා විහාරයේ විහාරාධිපති හාමුදුරුවෝ. මේ ඉඩම අයිති භික්ෂුන්වහන්සේ නමකට. මේ තැනැත්තාගේ බිරිඳයි දරුවයි අතුරුදන් වෙලා හිටියේ. අභියාචනාධිකරණය නඩුව කැඳෙව්වට පස්සේ නැවත නිවසට ඇවිල්ලා තියෙනවා. කොළඹ උසාවියේ වෙඩිතියන්න ගිනි අවිය ගෙනාපු සෙව්වන්දි වගේ තමා මෙයා හැංගිලා හිටියේ. මෙයාගේ නිවසට, මෙයාගේ ආරක්ෂාවට එස්.ටී.එෆ්. සහ ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් හිටියා. එයාලට ඉන්න කුටියකුත් ගෙදර තිබුණා. ඔය ආරක්ෂාවත් දාලා තමයි මෙයා පැනලා ගිහින් හැංගිලා හිටියේ. ඊයේ මොහුගේ නිවස පරීක්ෂා කළා. නිවසේ තිබිලා මත්පැන් බෝතල් 785ක් හොයාගෙන තියෙනවා. එහි වටිනාකම රුපියල් කෝටියකට වැඩියි. ග්‍රීන් ලේබල් වර්ගයේ බෝතල් පවා තිබිලා තියෙනවා විසි ගණනක්. හැම්පර්ස් එකසිය ගණනක් තිබුණා. රාජ්‍ය සේවකයකුට තුටු පඬුරු ගන්න බෑ. හැබැයි හැම්පර්ස් අරගෙන තිබුණා. රාජකාරි පිස්තෝලය ඇඳුම් අස්සේ හංගලා තිබිලා අහුවුණා.
මේ පලාගිය අපරාධකරු ආරක්ෂාව නැතුව කොහොමද හිටියේ? බලයේ ඉද්දී ස්කොඩ් එකක් එක්ක පාරවල් වහලා කාටවත් යන්න බැරි වෙන්න ආරක්ෂාව ඇතුව ගියපු මේ පුද්ගලයා ආරක්ෂාව නැතුව තනියම හැංගිලා හිටියේ කොහොමද? දේශපාලකයෝ සහ එක එක්කෙනා එක්ක ඩීල් දාලා තමයි මේ සැකකරු හිටියේ. උසාවියට ආවේ හැංගිලා සූක්ෂ්ම අපරාධකරුවෙක් වගේ. මේ සැකකරු මාකඳුරේ මදූෂ් සහ හරක්කටා වගේ අපරාධකරුවන්ට වඩා සූක්ෂ්ම අපරාධකරුවෙක්. මොහුගේ නමට එක දේපළක් නෑ. එක වාහනයක් නෑ. නිල නොවන ගෙවල් 8ක් ගැන තොරතුරු ලැබුණා. අම්පිටියේ ගෙදරක් ගැන තොරතුරු ලැබිලා පරීක්ෂා කළා. එහි සේවකයෝ ප්‍රකාශ කළේ මේක දේශබන්දු තෙන්නකෝන්ට අයිති වෙන්න ඇති, ඔහු තමයි එන්නේ කියලා. ඔවුන් දන්නෙත් නෑ ගේ අයිති කාටද කියලා. 2021 සිට ඡන්ද හිමි නාමලේඛනයේ මොහුගේ නම නෑ, මොහු අබිරහස් පුද්ගලයෙක්. මදූෂ්ට හරක්කටාට වඩා මොහු සූක්ෂ්මයි.
අද පැමිණිල්ලට සිතාසියක් දෙන්නේ නැතුව පාළු ගෙයි වළං බිඳින්න තමයි අද උදේ ආවේ. උදේ 8.30ට හොර පූසෙක් වගේ ඇවිත් වාඩිවෙලා ඉන්නවා….’ යනුවෙන් ජනාධිපති නීතිඥ, සහ නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහත්මයා තවත් දීර්ඝ කරුණු දැක්වීමක් සිදුකළා.
දිලීප පීරිස් මහතා තවදුරටත් මෙලෙස කියා සිටියා.
‘මොහු නීතියට ඉහළින් උද්දච්ච මානසිකත්වයකින් ඉන්න කෙනෙක්. ඒක නිසා තමයි මේ විදියට අධිකරණය මහහරිමින් සිටියේ. මේ නඩුවට අද සී.අයි.ඩී. එකට අපිට නොතීසි දීලා නෑ. මෝෂන් එකේ පිටපතක් දීලා නෑ. ඔහු 27 ඉඳන් කොහෙද හිටියේ? ඒ ගැන සොයාබැලිය යුතුයි. නඩු තීන්දුව දෙන්න තිබ්බේ 17 උදේ. 17 උදේ ඇවිල්ලත් නඩු තීන්දුව කල්දාන්න හැදුවා. අපි විරුද්ධ වුණු නිසා තමයි තීන්දුව එදා ලැබුණේ. අද ඇවිදින් කියනවා අධිකරණයට ගරුකරලා නීතියට ගරු කරලා බාරවෙනවා කියලා. 27 ඉඳන් කොහෙද හැංගිලා හිටියේ. අපි 26 දෙනකුගෙන් ප්‍රකාශ ගත්තා. 27 ඉඳන් මේ වෙනකල් ලංකාව පුරා ඔහුව හෙව්වා. පොලිස් සම්පත් කොච්චර නාස්ති කරන්න ඇද්ද ඔහුව හොයන්න.
වැලිගම ඕ.අයි.සී.ට නියෝග නිකුත් වුණා. ඔහු ඇවිදින් බාරවුණා. නමුත් මේ කියන පුද්ගලයා ඇවිදින් බාරවුණේ නෑ. දවස් 20ක් තිස්සේ හැංගිලා ඉඳලා අද ටයිකෝට් දාගෙන ඇවිල්ලා අධිකරණයේ බංකුවේ වාඩිවෙලා ඉන්නවා. අභියාචනාධිකරණ නඩු තීන්දුවේ තියෙනවා නීතියේ අධිපත්‍යය ගැන. නීතියේ ආධිපත්‍යය නැතිවුණොත් අරගල වගේ දේවලින් ආයතන අත්පත් කරගන්න විදිය ගැන ඒකේ තියෙනවා. මේක නීතියේ ආධිපත්‍ය ගැන සහ ආයතනවල විශ්වාසය ගැන තියෙන එකක්.
මේ සිද්ධියට අදාළ මරණ පරීක්ෂණය හදිසියේ අවසන් කරලා හදිසියේ තීන්දුව දුන්නා සහ මේකට දේශපාලනය අදාළයි වගේ එකක් මොහුගේ පාර්ශ්වයෙන් කියලා තිබුණා. මේකේ විමර්ශන 2024.10 වැනි මාසේ සී.අයි.ඩී. එකට බාරදුන්නේ. මොවුන් කියලා තිබුණා දොරවල් වහගෙන කුමන්ත්‍රණකාරීව නඩු විභාග කළා කියලා. ඒක සම්පූර්ණ වැරැදියි. ඔහු කියනවා මේ නඩුව සී.අයි.ඩී. එකට බාරදුන්නට පස්සේ තමයි මේ අයගේ ඉහමොළ රත්වෙලා මේගොල්ලෝ බය වුණේ. මේ නඩුවේ මරණ පරීක්ෂණය අවසන් වුණේ මේ ආණ්ඩුව එන්නත් කලින්. මේ නඩුවේ තීන්දුව පරක්කු වෙන්න හේතුව තමයි රසපරීක්ෂක වාර්තා නොලැබීම. ඒක මේගොල්ලෝ අධිකරණයේ ප්‍රකාශ කළේ නෑ. වෙන කතාවක් තමයි පෙන්නන්න හැදුවේ. මේක ඓතිහාසික නඩුවක්. මේක පිටු 83ක ඔබතුමාගේ තීන්දුවක් තියෙනවා. සාමාන්‍ය මරණ පරීක්ෂණවල සමහර මහෙස්ත්‍රාත්වරු එහෙම ලියන්නේ නෑ. ඔබතුමා පිටු 83ක තීන්දුවක් ලියලා තියෙනවා.
තරිඳු ජයවර්ධන, භාරත තෙන්නකෝන් වගේ මාධ්‍යවේදීන් මේක හැඳින්නුවේ නීතිපති දෙපාර්තමේන්තුව, පොලිසිය ට්‍රැක් එකට ගත්තු නඩු තීන්දුවක් කියලා. මේක ඇගයීමකට ලක් කළා. ජනතා පරමාධිපත්‍ය ගැන කතාකරන, ජනතා පරමාධිපත්‍යයක් තහවුරු වෙන, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු වෙන විදියේ නඩු තීන්දුවක් තමයි අභියාචනාධිකරණයෙන් ලැබුණේ. අභියාචනාධිකරණයේ වැඩබලන විනිසුරු ලෆාර් විනිසුරුවරයාගේ තීන්දුව සිංහලට පරිවර්තනය කරලා සියලු පුරවැසියන්ට කියවන්න පුළුවන් වෙන විදියට සැලැස්විය යුතුයි….’
ඒ වගේම දිලීප පීරිස් මහතා මේ කරුණුත් සඳහන් කළා.
‘සැකකරුගේ ආරක්ෂාව ගැන නීතිඥවරයා කතා කළා. හැබැයි සැකකරු මේ ආරක්ෂාව මොනවත් නැතුව තමයි ගිහිල්ලා හැංගිලා හිටියේ. ඔහුගේ ආරක්ෂාව ප්‍රශ්නයක් නෑ, රිමාන්ඩ් බන්ධනාගාරගත කරන්න. මාතර බන්ධනාගාරයට නියෝගයක් දෙන්න පුළුවන් ඔබතුමාට, ඔහුගේ ආරක්ෂාව තහවුරු කරන්න කියලා. ඔහුව වෙනම රැඳෙව්වත් කමක් නෑ. ඔහුගේ ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔහු අභියාචනාධිකරණයට දුන්නේ බොරු ලිපිනයක්.
මොහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා කිව්වා ඔහුව හම්බවුණේවත් නෑ, ඔහුට කතාකළේවත් නෑ කියලා. හැබැයි ඔහුව හම්බවෙලා නීතිඥවරයෙක් දිවුරුම් පෙත්සමක් අස්සන් කරගෙන තියෙනවා. මම ඔහුගේ නම කියන්නේ නෑ හොඳ නැති නිසා. මේ පුද්ගලයා පොලිසියට බයත් නෑ, නීතියට බයත් නෑ, අධිකරණයට බයත් නෑ. ඒ විදියට තමයි හැසිරුණේ. වරෙන්තුකරුවෙක් ඇවිල්ලා මෙහෙම වාඩිවෙලා ඉන්නවා නෙවෙයි. ඔහු ඉන්න ඕනේ කූඩුවේ. මම පුදුමයට පත්වුණා ඔහු හොරෙන් ඇවිදිල්ලා බංකුවේ වාඩිවෙලා හිටියේ කොහොමද කියලා. දේශබන්දු තෙන්නකෝන් යටතේ තමයි සී.සී.ඩී. එක තියෙන්නේ. අපි වගේ මහජන මුදලින් වැඩකරන අය තමයි සී.සී.ඩී. එකේ ඉන්නේ. ඒගොල්ලන්ට බෑ කාගෙවත් කොන්ත්‍රාත් කරන්න. ඒගොල්ලන්ට බෑ පොලිස්පතිගේ කොන්ත්‍රාත් කරන්න. මේක හිට් ස්කොඩ් එකක්. මේක ප්‍රහාරක කණ්ඩායමක්. ජනවාරි 01 සුබ නැකතට මොකද වෙන්නේ කියන අදහස තමයි එදා වෙඩිතියලා ඒගොල්ලෝ කරන්න හැදුවේ. වෙඩිවැදිලා මැරුණු එක්කෙනාට දේශබන්දු තෙන්නකෝන්ගේ මැදිහත් වීමෙන් පොලිසියෙන් සල්ලි දුන්නා.
ඊට අමතරව ටිරාන් අලස් මැදිහත් වෙලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට කියලා, ජනාධිපති අරමුදලෙනුත් සල්ලි අරන් දුන්නා. රට වෙනුවෙන් දිවිපුදපු රණ විරුවෙකුටවත් මෙහෙම සල්ලි දීලා නෑ. මෙච්චර මෙහෙම වන්දි දීලා නෑ. වැලිගම එච්.කිව්.අයි. උණ්ඩ හඳුන්වලා දීලා තියෙනවා. ඔහුට උණ්ඩ හඳුන්වලා දෙන්න හේතුව මොකක්ද? වැලිගම ඕ.අයි.සී.ට නියෝග දෙන්න ඇත්තේ මේ පුද්ගලයා. මොහු ඒ නඩුවෙත් සැකකරුවෙක් කළ යුතුයි. ඒ වගේම තමයි වැලිගම නෙප්චූන් කියන හෝටලයේ සී.සී.ටී.වී. එක. සී.සී.ටී.වී. දර්ශනය ක්‍රයිම් ඕ.අයි.සී. ඇවිත් අරගෙන ගියා කියලා කියනවා. මේ වනවිට එහි දිගින් දිගටම දර්ශන සටහන් වෙලා ඒක මැකිලා ගිහින් තියෙනවා. ඒවා ගන්න පුළුවන් වෙයිද, බැරිද කියලා තාම කියන්න බෑ. සාක්ෂි වසං කිරීමට, සාක්ෂි විනාශ කිරීමට වැලිගම ක්‍රයිම් ඕ.අයි.සී.ත් අත්අඩංගුවට ගත යුතුයි. ඔබතුමාගේ විචක්ෂණභාවය නිසා තමයි මේ බොහෝ දේ හෙළිදරව් වුණේ. මේ සියල්ල වෙද්දී මොහු පොලිස්පති. සී.අයි.ඩී. එකට විමර්ශන දුන්නම තමයි මේගොල්ලෝ බය වුණේ….’
‘ලංකාවේ බොහෝ තැන්වල මොහුව හෙව්වා. ප්‍රභාකරන්ව හොයනවාටත් වැඩිය හෙව්වා. ප්‍රභාකරන්ව හොයනවා වගේ තමයි මොහුව හෙව්වේ….’
‘මොහු සුදු කරපටි අපරාධකරුවෙක්. වයිට් කොලර් ක්‍රිමිනල් කෙනෙක්. මොහු සමාජ දේශපාලන ආගමික මුදල් බලය නිසා තමයි මෙහෙම හිටියේ. මදූෂ්ලට හරක්කටාට වඩා මොහු භයානකයි. ඔහු අදෘශ්‍යමාන බලවේගයක්. ගෝස්ට් කෙනෙක්….’
‘ගරු අභියාචනාධිකරණය ඔබතුමාට නියෝගයක් දීලා තියෙනවා. ඒ තමයි මොහුට සැඟවෙන්න ආධාර අනුබල දුන්න අයට විරුද්ධව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා. ඒ අනුව, අපි විමර්ශන කරන්න ඕනේ මොහුට සැඟවිලා ඉන්න, මොහුට උදව් කළේ කවුද කියලා. මොහුගෙන් ප්‍රකාශ සටහන් කරගන්න ඕනේ. මොහු දවස් 20ක් දක්වා හැංගිලා හිටියා. දවස් 40ක්වත් ඊට අදාළව විමර්ශන කරන්න වෙනවා. ඒ ගැන මොහුගෙන් ප්‍රශ්න කරන්න වෙනවා. 10 වැනිදා උදේ ෆයිල් කරලා 10 වැනිදාම නඩුව ගත්තා. අපිට කිව්වෙත් නෑ. ඒ වගේම තමයි අදත් මේක කරන්න හැදුවේ. මේ නඩුව 21 වැනිදා කැඳවනවා. මීට අදාළ අනිත් අයටත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි. මීට අදාළ අනිත් සැකකරුවනුත් මොහුත් සමග කූඩුවේ සිටිය යුතුයි. නීතියේ ආධිපත්‍යය ගැන කතාකළ යුතුයි. මොහුට ලැජ්ජාවක් නැති වෙන්න පුළුවන්. හැබැයි අපිට ලැජ්ජාවක් තියෙනවා. ඒ නිසා නීතියේ ආධිපත්‍යය තහවුරු වෙන විදියේ නියෝගයක් ලබාදිය යුතුයි. නීතියේ ආධිපත්‍ය තහවුරු වෙන විදියට වැඩ සිදුවිය යුතුයි. මොහුගේ ජංගම දුරකතනය සහ සියලු විද්‍යුත් උපකරණ සී.අයි.ඩී. එකට බාරදෙන නියෝගයකුත් ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මොහුට ආධාර අනුබල දුන්න සැඟවෙන්න ආධාර අනුබල දුන්න අය සම්බන්ධයෙනුත් විමර්ශනයක් කළ යුතුයි. ඒ අනුව මේ සියලු කරුණු සලකා බලලා මේ පුද්ගලයා රිමාන්ඩ් භාරයට පත්කළ යුතුයි. මේ අවස්ථාව මොහුට ඇප දිය යුතු අවස්ථාවක් නෙවෙයි. ඒ නිසා මොහු රිමාන්ඩ් භාරයට පත්කළ යුතුයි…’ කියලා දිලීප පීරිස් මහත්මයා කරුණු දැක්වූවා.
දවල් 2.00ට තමයි මහෙස්ත්‍රාත්වරයා දෙපැත්තේම කරුණු විමසා බලලා නියෝගය ප්‍රකාශයට පත්කළේ. ඇප දෙනවද නැද්ද කියන නියෝගය හෙට ලබාදෙන්න තීන්දු කළා. එතෙක් දේශබන්දු තෙන්කෝන් රිමාන්ඩ් කරන්න නියෝග කළා. ඔහු විත්ති කූඩුවට වෙලා පැය එකහමාරක් තිස්සේ හිටගෙන හිටියා. ඔහුව රිමාන්ඩ් කරන්න නියෝග කළාට පස්සේ ඔහුව ගෙනිහිල්ලා බන්ධනාගාර කූඩුවට දැම්මා. ඊට පස්සේ වතුර තිබහා හැදිලා ඔහු වතුර එකකුත් අරගෙන බිව්වා. ඒක තමයි අද උසාවියේදී වුණේ.
MediaLK යූටියුබ් නාලිකාවෙනි











