ජාතික ජන බලවේගය සහ පොදුජන එක්සත් පෙරමුණ එකව සභාව පිහිටවූ ගාල්ල මහ නගර සභාවේ අයවැය ලේඛනය ඉකුත් 15 වනදා වැඩි ජන්දයෙන් පරාජයට පත්වීමත් සමග ඊයේ (24) දෙවන වරටත් අයවැය ඡන්ද විමසීම පැවැත්වුණි.Sri Lanka Latest News
එහිදී අයවැයට පක්ෂව ඡන්ද 21ක් සහ විරුද්ධව ඡන්ද 15ක් ලැබී තිබුණි.
ඒ අනුව වැඩිඡන්ද 6කින් අයවැය සභා සම්මත වූ බවට දැනුම්දෙමින් නගරාධිපති සුනිල් ගමගේ මහතා සභාව කල්තබා පිටව ගොස් තිබුණි.
ගාල්ල මහ නගර සභාවේ මන්ත්‍රී සංයුතිය සභික ධූර 36කින් සමන්විතය.
කෙසේවෙතත් නගරාධිපතිවරයා විසින් සභාව කල්තබා පිටවීමත් සමග සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් නාගරික ලේකම්වරියට සභාවෙන් පිටවයෑමට ඉඩ නොදී සභාව තුළ රඳවාගෙන විපක්ෂ මන්ත්‍රීවරයෙකු නගරාධිපති ආසනයේ අසුන්ගෙන යළිත් වරක් ඡන්ද විමසීමක් කැඳවීමට කටයුතු කළේය.
එහිදී විපක්ෂව ඡන්ද 17 ලැබුණු අතර සභිකයින් 19 දෙනෙකු සභාවේ සිටියේ නැත.
ඒ සමගම උණුසුම් වූ සභාව පාලනය කිරීමට පොලිසිය කැඳවීමට ද සිදුවිය.
අද අයවැය ඡන්ද විමසීමට පෙර විපක්ෂයේ මන්ත්‍රීවරුන් නගර සභාව ඉදිරිපිට විරෝධතා පුවරු රැගෙන විරෝධතාවයකද නිරතවිය.
මෙලෙස ගාල්ල මහ නගර සභාවේ හටගත් තත්ත්වය පිළිබඳව නාගරික කොමසාරිස් ගෙන් සිදුකළ විමසීමකදී සඳහන් කෙරුණේ ඡන්ද විමසීම පිළිබඳ තීරණය පසුව දැනුම්දෙන බවය.










