ඉර පිපිලා. හඳ පරවෙලා. පුංචි පුංචි හුළං අහුරු ගතේ හිතේ වැදිලා යනවා. මල් පොට්ටු උඩ පිණි ඉහිලා. අලුත් ඉරේ ලා නිල් පාට එළිය පිණි බින්දු නිල්කැට වගේ. මල් පොට්ටු එක දෙක ඇහැ අරිනකොට පිණි බින්දු මල් පෙති අස්සෙන් බිමට පනිනවා. Sri Lanka Latest News
පුංචි පුංචි කුරුලු යාළුවො තැන් තැන්වල කයිවාරුව. රතඹලා ගෙඩියක් හොරෙන් ගත්ත කොණ්ඩ කුරුල්ලෙක් පස්ස නොබලම දුවනවා. නීල කොබෙයි කිරිල්ලියක් තාලෙට උකුල හොලවමින් කොහේද යනවා. ඒ ගම්මානයක්. වටපිටාව තාමත් හරි ලස්සනයි. ඉතිං අපි මේ ආවෙ වෙනස්ම ගමනක්. කොටින්ම කියනවා නම් මේ ආවෙ ඉස්කෝලයක් හොයාගෙන. අපිට මුණගැහුණෙ විදුහල්පතිණි ජී.ඒ.පී. සමරතුංග මහත්මිය.
මේ ඉස්කෝලේ නම හේන්පිටගෙදර ඥානසීහ කනිෂ්ඨ විද්‍යාලය. හරිම පුංචි ඉස්කෝලයක්. බැලූ බැල්මට පේන්න තියෙන්නේ ඉස්කෝලේ ගොඩනැගිලි දෙකයි. තව පුංචිම පුංචි ගොඩනැගිල්ලක් දෙකක් ඇරුණම ඉස්කෝලෙට මහලොකු දේවල් නෑ. විදුහල්පතිතුමිය ඉන්නෙත් එක ගොඩනැගිල්ලක පැත්තක තියෙන පුංචි කාමරේක. වීදුරු දාලා ලොකුවට හදපු කාමරයක් ඒ.සී. හයිකරපු තැනක්, විදුහල්පතිතුමියට හොඳ සැපට තියෙන මේසයක්, පුටුවක් ඒවා මොනවත් නෑ. විදුහල්පතිතුමිය එහෙට මෙහෙට යමින් කලබලෙන් දරුවන්ට උගන්වමින්, වැඩකටයුතු බලමින්, කරමින්, හොයමින් ඉන්නවා මිසක සැප විඳින බවක් නම් පේන්න නෑ. ඉස්කෝලේ ඉන්නේ දරුවෝ ටිකයි. මවුපියන් හැමෝම තමන්ගේ දරුවාව ඉහළට උස්සන්න කැපවෙලා ඉන්නේ. ඔක්කොම එක වගේ වැඩ කරනවා.

මේ ජයග්‍රහණය පිටිපස්සේ තියෙන රහස මොකක්ද කියලා අපි ඇහුවාම ගුරුතුමිය අපට කිව්වේ ‘මේක අපේ කැපවීමේ ප්‍රතිඵලය’ කියලා. මම ඇහුවා මේකේ ගෞරවය එන්න ඕනේ ඔබතුමියට නේද කියලා. එතුමිය කිව්වා, ‘අනේ නෑ, මට නෙවෙයි ඒ ගෞරවය එන්න ඕනේ’ කියලා. ඊට පස්සේ මම ඇහුවා එහෙනම් පහේ පන්තිය බාර ගුරුතුමිය නේද මේ ජයග්‍රහණය පිටිපස්සේ ඉන්න දැවැන්ත ශක්තිය කියලා. ඇය කිව්වා ‘ඔව්, ඇත්තටම පහේ පන්තියේ ගුරුතුමියට ඒ ගෞරවය හිමිවෙන්න ඕනේ, හැබැයි පහේ පන්තියේ ගුරුතුමියට විතරක් ඒ ගෞරවය හිමිවෙලා හරියන්නේ නෑ. මේ ඉස්කෝලෙ ඉන්න හැම කෙනෙක්ම, අනධ්‍යයන සේවකයාගේ ඉඳලා මේ ජයග්‍රහණය වෙනුවෙන් ඇපකැප වුණා…’ කියලා.
දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කැපවෙන්න සියලු ගුරුවරු සියලු අනධ්‍යයන සේවකයෝ එක මිටකට එක තැනකට ගන්නවා කියන එක විදුහල්පතිතුමියගේ දක්ෂතාවක් කියලයි මට හිතෙන්නේ. මොකද ඒකට හේතුව, මෙහෙම වැඩක් පිරිසක් එකතු කරගෙන කරන එක සෙල්ලමක් නෙවෙයි. එතුමිය අපූරු කතාවක් කිව්වා. ‘අපි දෙකේ පන්තියෙදිම දුර්වල ළමයි කවුද කියලා බලලා ඒගොල්ලන්ව වෙන් කරගන්නවා. වෙන් කරගෙන මමයි, අපේ ඉස්කෝලෙට ගුරුවරු විදියට ඇවිල්ලා ඉන්න ඩී.ඕ.ලයි එකතු වෙලා ඒගොල්ලන්ට උගන්වනවා. ඊට පස්සේ අපේ සුවිශේෂකරණය වෙච්ච ගුරුවරු ඉතුරු ටික බලාගන්නවා…’ ඒක තමයි කතන්දරේ. දැන් ජයග්‍රහණය ලැබුවට පස්සේ ජයග්‍රහණයෙන් ලකුණු දාගන්න හදන කීපදෙනෙක් අහල පහළ ගෙවල්වලිනුත් මතුවෙලා. අපි දැක්කා මිලියන ගානක් බලපු වීඩියෝවක් තියෙනවා. ඒ වීඩියෝවේ ඉන්නේ මේ ඉස්කෝලේ ළමයි. ඒ ළමයි එක්තරා ගුරුතුමියකගේ ගෙදර ගිහිල්ලා, ඒ ගුරුතුමිය මේ ජයග්‍රහණය ලබාදෙන්න කැපවුණා කියලා එතුමියම ලැජ්ජා බය පැත්තකට දාලා ෆේස්බුක් එකේ දාලා එහෙම තියෙනවා. හැබැයි ඉස්කෝලේ අම්මලා ආයෙත් ෆේස්බුක් එකේ දාලා තිබුණා මේ ජයග්‍රහණය අදාළ මනුස්සයට අයිති නෑ, මේ ජයග්‍රහණය අයිති ඉස්කෝලෙට කියලා. ඉස්කෝලේ ඉනෝකා ටීචර් තමයි පහේ පන්තිය බාරව හිටපු ගුරුතුමිය. දැන් ඇය වෙනත් ඉස්කෝලෙකට ගිහිල්ලා. ජයග්‍රහණය මේ ඉස්කෝලෙට ලැබෙනකොටත් ඇයට වෙන පත්වීමක් ලැබිලා. අපි දන්නේ නෑ අධ්‍යාපන අමාත්‍යාංශය මේ දේවල් කරන්නේ මොන නිර්ණායක යටතේද කියලා. සමහර විට මේවා ඉතාම සාධාරණ ගුරු මාරු වෙන්න ඇති. සමහර වෙලාවට ඒවා අසාධාරණ ගුරුමාරු වෙන්නත් බැරි නෑ. මොකද දක්ෂයි කියලයි දැනුණාම, හොඳයි කියලා දැනුණාම කොහෙ හරි තැනකට දාන එකත් සමහර තැන්වල සිද්ධ වෙනවා. හැබැයි අපි විශ්වාස කරන්නේ නෑ මේක එහෙම සිදුවීමක් කියලා. මොකද මේ අහල පහළ ඉන්න දරුවෝ වෙනුවෙන් ඇත්තටම කැපවෙච්ච උසස් පාසලකට තමයි ඇය ගිහිල්ලා තියෙන්නේ. ඒ පාසලේ විදුහල්පතිවරයාත්, මේ විදුහල්පතිතුමිය වගේම මනුස්සකම තියෙන, ගුණයහපත්කම තියෙන, දරුවන්ට උගන්වන එක හොඳ තැනක් දුන්නු, දරුවන්ට ආදරේ හොඳ තාත්තා කෙනෙක්. ඒක අපි කියන්නේ ඒ තාත්තාව දැකලා, ඒ විදුහල්පතිතුමාගේ හැසිරීම ගැන හරි අවබෝධයකින් යුතුව. එහෙම නැතුව කවුරුත් කිව්ව පලියටවත්, කාගේ හරි හිතලුවක් විදියටවත් කියන කතාවක් එහෙම නෙවෙයි.
මේ විදියට මේ ජයග්‍රහණය පිටිපස්සේ විවිධාකාරයේ චරිත ඉන්නා වග අපිට කියනකොටම නොකියා බැරි කතාව තමයි මේ ජයග්‍රහණය පිටිපස්සේ ඉන්න මවුපියෝ ගැන. ඇත්තටම හේන්පිටගෙදර කනිෂ්ඨ විද්‍යාලය කියලා කියන්නේ විශාල විද්‍යාලයක් නෙවෙයි. ලොකු ළමයි ගොඩක් ඉන්න ඉස්කෝලෙකුත් නෙවෙයි. ලොකු පහසුකම් තියෙන ඉස්කෝලෙකුත් නෙවෙයි. මේ ඉස්කෝලෙට එන්න යන්න බස් එකක්වත් නෑ. ඉස්කෝලෙට දරුවෙක් දැම්මට පස්සේ ඒ දරුවව අරගෙන එන්න නම් පෞද්ගලිකව මොකක් හරි වාහනයක් පාවිච්චි කරන්න ඕනේ. ඒ පැත්තේ ඉන්න මිනිස්සු වැඩි දෙනෙක් බයිසිකල්වල තමයි තමන්ගේ දරුවෝ අරගෙන එන්නේ. එහෙම නැතුව මේක හයි ක්ලාස් ඉස්කෝලයක්වත්, ලොකු මිනිස්සුන්ගේ දරුවෝ ඉන්න ඉස්කෝලයක්වත් නෙවෙයි. එහෙම ඉස්කෝලෙක දරුවෝ 39 දෙනෙක් විභාගේ ලියලා, ඉන් 24 දෙනෙක් එක පාරම පාස් වෙනවා කියලා කියන්නේ අදහන්න බැරි දක්ෂතාවක්. ඉතින් ඒ නිසයි අපි මේ අපූරු පාසල හොයාගෙන ආවේ.
එක පන්තියකින්ම ළමයි 24 දෙනෙක් පාස් වුණු ලංකාවේ තවත් ඉස්කෝල ඇති. හැබැයි මේ ඉස්කෝලේ විශේෂයි. තියෙන්නේ ගොඩනැගිලි දෙකයි. පුළුවන් නම් අපි මේ දරුවන්ට තව ටිකක් නිදහසේ ඉගෙනගන්න ගොඩනැගිල්ලක්, පහසුකම් ටිකක් හදලා දෙන්න කැපවෙමු. එහෙම කවුරු හරි ඉන්නවා නම් කතාකරන්න. හේන්පිටගෙදර ඉස්කෝලෙට උදව් කරන්න. මේ දරුවන්ට අනාගතය හදන තැන. ගුණයහපත් මිනිස්සු, ගුණයහපත් ගුරුවරු, ගුණයහපත් අනධ්‍යයන කාර්ය මණ්ඩලය පවා මේ විදුහල්පතිතුමියට ශක්තියක් වෙනවා අපි ඇස් දෙකෙන් දැක්කා. ඒ නිසා අපි ඔබෙන් ඉල්ලන්නේ මේ 39න් 24ක් පාස්කරපු ඉස්කෝලේ ප්‍රතිඵලය 100%ක් කරගන්න ශක්තිය ලබාදෙන්න අපි වැඩ කරමු. රටක් විදියට අපිට ඒක කරන්න බැරි නෑ.

ජීවන පහන් තිළිණ










