පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් අප කියා සිටියේ ජනාධිපතිවරයා ඇමෙරිකාව බලා පිටත්ව යෑමට ප්‍රථම ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සමග මුහුණට මුහුණ විශේෂ සාකච්ඡාවක් සූදානම් කිරීමට දැඩි උත්සාහයක් දැරූ බවකි. මුලින් එම සාකච්ඡාවට කොළ එළිය පත්තු වී තිබුණත් අවසන් මොහොතේ ඇමෙරිකානු බලධාරීන් විසින් අදාළ හමුව පැවැත්විය නොහැකි බව දැනුම් දුන් බවද අපි එහිදී වාර්තා කර සිටියෙමු. ඒ අනුව අප කී ආකාරයටම මෙවර ඇමෙරිකානු සංචාරයේදී ජනාධිපතිවරයා හා ජෝ බයිඩන් අතර මුහුණට මුහුණ සාකච්ඡාවක් පැවැත්වුණේ නැත.Sri Lanka Latest News
බයිඩන් එක්ක කතා කළාද?
නමුත් පසුගිය බ්‍රහස්පතින්දා දින ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් මාධ්‍යයට නිකුත් කළ ඡායාරූපයකින් දැක්වුණේ ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා හා එම මහත්මිය සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය එකට සිටින ආකාරයකි. එම ඒකකය මගින් නිකුත් කළ නිවේදනයකින් වැඩිදුරටත් කියැවුණේ බයිඩන් මහතා විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාව ඉතා මිත්‍රශීලීව පිළිගත් අතර සුහද කතාබහකින් අනතුරුව සමූහ ඡායාරූපයකට පෙනී සිටි බවකි. එය දකින බොහෝ දෙනාට එක්වරම හැඟෙන්නේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ කළ අනාවරණය අසත්‍ය බවත්, බයිඩන් හා රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් සිදුව ඇති බවත්ය.
හැමදාම කරන දේ!
නමුත් එවැන්නක් මෙහි සිදුව තිබුණේ නැත. මෙහිදී සිදුව තිබුණේ සාමාන්‍ය සම්ප්‍රදාය අනුව ජනාධිපති බයිඩන් සමග ඡායාරූපයකට පෙනී සිටීම පමණි. සාමාන්‍යයෙන් සෑම වසරකදීම පාහේ ජගත් මහ සමුළුව ඇමෙරිකාවේ පවත්වද්දී ඊට සහභාගි වන සියලු රාජ්‍ය නායකයන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබාදීම ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ සිරිතය. එසේ පැමිණෙන සියලු රාජ්‍ය නායකයන් හා ඔවුන්ගේ බිරින්දෑවරුන් සමග ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ ආර්යාව ඡායාරූපයකට පෙනී සිටීම සිදුකරනු ලබයි. මෙහිදීද සිදුව තිබුණේ එය මිස දෙදෙනා අතර මුහුණට මුහුණ සාකච්ඡාවක් නොවේ.
මහින්ද ඔබාමාත් කළා!
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද එවකදී ජගත් මහ සමුළුව ඇමතීම සඳහා ඇමෙරිකාව බලා ගිය අවස්ථාවලදී එවක ජනාධිපතිවරයාව සිටි බැරැක් ඔබාමා සමග සාකච්ඡාවක් ඉල්ලා සිටියද එම අවස්ථාව හිමිව තිබුණේ නැත. ඊට හේතු වශයෙන් දැක්වුණේ මහින්දගේ ආණ්ඩුවට එවකදී එල්ල වී තිබුණු මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාය. නමුත් ඔබාමාගෙන් සාකච්ඡාවක් නොලැබුණද මහින්ද එක්සත් ජාතීන්ගේ සම්මේලනය ඇමතීම සඳහා ඇමෙරිකාවට ගිය සෑම අවස්ථාවකදීම ඔබාමා යුවල සමග සම්ප්‍රදායානුකූලව සමූහ ඡායාරූපයකට පෙනී සිටීමේ අවස්ථාව රාජපක්ෂ යුවලට හිමිවිය. අද මෙන්ම එදාද ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් මහින්ද හා ඔබාමා හමුවූ බවට නිවේදන නිකුත් කරමින් මාධ්‍යයට නිකුත් කළේ එම ඡායාරූපයය.










