මාලිමා ආණ්ඩුවට එරෙහිව ෆේස්බුක් මාධ්‍ය තුළ පෝස්ටුවක් පළකළ පුද්ගලයකුට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය නියෝජිතයකු නිවෙසට ගොස් දෝෂාරෝපණය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ. ඒ පිළිබඳව සහ ජනතා විමුක්ති පෙරමුණේ බිම් මට්ටමේ පවතින යම් යම් ගැටලු සම්බන්ධයෙන් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා අදහස් දැක්වීමක් සිදුකර තිබේ. පහත පළවන්නේ ්History with Nirmalයූටියුබ් නාලිකාවෙන් උපුටාගත්, දේවසිරි මහතාගේ එම අදහස් දැක්වීමේ කොටසකි.
මම වගේ අයට නිතරම නැගෙන චෝදනාවක් තමයි යූටියුබ් නාලිකාවෙන් ආණ්ඩුව හෝදනවා කියන එක. ඒකේ ඇත්තක් තියෙනවා. මොකද අපි වගේ අය ආණ්ඩුව පත්කිරීමටත් මහන්සි වුණු නිසා, ඒක හේදීමේ වගකීමකුත් තියෙනවා. හෝදනවා කියලා කියන්නේ අපිරිසිදු වෙනකොට පිරිසිදු කිරීමට දරන උත්සාහයනේ. ඒක අවශ්‍ය දෙයක්. ඒ අර්ථයෙන් ගත්තම මම මේ වීඩියෝව පළකරන්නේ විශේෂයෙන්ම බරපතළ සේදීමක් සඳහා. ඒකට ආසන්නම හේතුව තමයි ටික වේලාවකට කලින් ඉඳලා ෆේස්බුක් අවකාශයේ වීඩියෝවක් පළවෙලා තියෙනවා. ඒකේ තියෙන්නේ පේන විදියට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක් යම් නිවසකට ගිහින් ඒ නිවසේ සිටින පුද්ගලයකු සමග කතාකරනවා ඔහු පළකරපු ෆේස්බුක් සටහනක් පිළිබඳව. ඒකට ඒ පුද්ගලයා විරෝධය දක්වනවා. පේන විදියට ඔහු හැසිරෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ කෙනෙක් විදියට. මේක ගැන විශාල සාකච්ඡාවක් මේ වෙනකොටත් ෆේස්බුක් අවකාශයේ පවතිනවා. සාමාන්‍යයෙන් ආණ්ඩුවට කෙළින්ම සම්බන්ධ පිරිස් බොහොම තරයේ කියන දෙයක් තමයි මේක ආණ්ඩුව අපකීර්තියට පත්කිරීම සඳහා කරන ක්‍රියාවක් කියන එක. කොහොම වුණත් මේ ක්‍රියාව ප්‍රතික්ෂේප කළ යුතු දෙයක් විදියට හඳුනාගැනීම වැදගත්.
මගේ සාමාන්‍ය අවබෝධයට අනුව ආණ්ඩුව අපකීර්තියට ලක්කිරීම සඳහා දැනුවත්ව කරපු දෙයක් විදියට නම් මේක කරන්න තිබෙන ඉඩ බොහොම අඩුයි කියන එක. ඒකට හේතුව තමයි මේ පුද්ගලයා කවුද කියන එක පහසුවෙන් හඳුනාගන්න පුළුවන්, මෙහි ඉන්න සියලු දෙනා පහසුවෙන් හඳුනාගන්න පුළුවන් අය. දැනටමත් මම හිතන්නේ හඳුනාගෙන ඇති. ඒ පුද්ගලයාගේ දේශපාලන අනන්‍යතාව ලේසියෙන් හඳුනාගෙන ඒ සිද්ධියේ ඇත්ත හොයාගන්න එක අමාරුවක් නෑ. ඒක නිසා මගේ නම් දැනට තිබෙන අදහස සාමාන්‍යයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය මට්ටමේ ක්‍රියාධරයෙක් මේක කරන්න ඇති කියලා. මේකෙන් එක්තරා විදියක බරපතළ ගැටලුවක් මතුවෙනවා. ඒක තමයි ජනතා විමුක්ති පෙරමුණ සමාජයේ දේශපාලන චර්යාවන් හැසිරවීම සඳහා කටයුතු කිරීමට උත්සාහ කරන ආකාරය. ඒක බොලඳ ප්‍රවේශයක් කියලා අපට කියන්න පුළුවන්. විශේෂයෙන් අවධාරණය කරන්න කැමැති අවස්ථා කීපයක් තියෙනවා. එකක් මේ සිදුවීම. අනිත් එක තමයි දින කීපයකට පෙර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අය ලංකාවේ ගොවීන්ගේ ප්‍රශ්න ගැන සම්මන්ත්‍රණ මාලාවක් කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ සම්මන්ත්‍රණයකට ගිහින් ඒක කඩාකප්පල් කිරීම සඳහා පිරිසක් දරපු උත්සාහයක්. ඒක පැහැදිලිවම අපට පේනවා ජනතා විමුක්ති පෙරමුණේ පහළ මට්ටමේ ක්‍රියාධරයන් පිරිසක් තමයි ඒ මැදිහත් වීම සිදුකරන්නේ කියලා. මේවා සම්පූර්ණයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත මූලස්ථානය පැත්තකින් තිබ්බත්, එම පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලන යාන්ත්‍රණයේ අනුදැනුමකින් තොරව සිදුවන අවස්ථා කියලා අපට කියන්න බෑ. විශේෂයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සම්බන්ධ සිදුවීම. මොකද ජනතා විමුක්ති පෙරමුණේ කාඩර් ජාලය කියලා කියන්නේ සාමාන්‍ය වශයෙන් සෑහෙන විනයකට අනුකූලව කටයුතු කරන පිරිසක්. ඒ අය සාමාන්‍යයෙන් වැරැදි ක්‍රියාවක් වුණත් ඒ අය කරන්නේ පක්ෂයේ අනුමැතිය යටතේ. පක්ෂයේ අනුමැතියකින් තොරව ආවාට ගියාට කටයුතු කරනවා කියලා හිතන්න අමාරුයි. මේ නිසා ඒ පක්ෂයට එහි වගකීමක් පැවරෙනවා අනිවාර්යයෙන්ම.
මෙතැනදී මම මගේ සැලකිල්ලට භාජනය කරන්නේ මෙහි තිබෙන දේශපාලන ඇඟවීම පිළිබඳ. මේකේ බරපතළ දේශපාලන ඇඟවීම් තිබෙනවා. අපි ජීවත් වෙන සමාජයේ තිබෙන ප්‍රධාන දෙයක් තමයි මහජනයා දේශපාලන වශයෙන් ඉතා සක්‍රීයයි. මේකේ තියෙන උත්ප්‍රාසජනක තත්ත්වය තමයි, මේ දේශපාලන සක්‍රීයත්වයේ ප්‍රතිඵලයක් විදියට තමයි ජාතික ජන බලවේගය බලයට පත්වෙන්නේ. එහෙම නැතුව ජනතා විමුක්ති පෙරමුණේ හයියක් නිසා නෙවෙයි. ඒක ඉතාම පැහැදිලිව තේරුම්ගත යුතු දෙයක්. මොකද ජනතා විමුක්ති පෙරමුණට කලින් තිබුණේ 3%යි. දැන් 3%ක්වත් නැහැ. උදාහරණයක් විදියට මමත් මේ 3% ඉන්නවා. නමුත් මම ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක් නෙවෙයි. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ විදියට ගත්තාම ඔවුන්ට තිබෙන සහයෝගය ඉතාම අඩු එකක්. ජනතා විමුක්ති පෙරමුණට වඩා පුළුල් දේශපාලන පෙනීසිටීමක් විදියට ජාතික ජනබලවේගය පෙනීසිටීම නිසා තමයි ඔවුන්ට මේසා විශාල ජනතා සහායක් ලැබුණේ. මේ ජනතා සහාය රටේ ජනයා අතර ඇතිවුණු ස්වේච්ඡා දේශපාලන ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක්. ඒක පැහැදිලිවම ප්‍රකාශයට පත්වුණා 2022 ජනතා නැගිටීම (අරගලය) හරහා. එහිම දිගුවක් විදියට අපිට සලකන්න පුළුවන් ජාතික ජන බලවේගය බලයට පත්වීම. ජනතා විමුක්ති පෙරමුණේ මේ ක්‍රියාකාරකම් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට හෝ ආණ්ඩුවට විරුද්ධව ෆේස්බුක්වල පෙනීසිටින කාට හරි හෝ විරුද්ධව ක්‍රියාත්මක වුණාට, එවැනි ක්‍රියාකාරකම් මේ සමාජයේ ජනයාගේ ස්වේච්ඡා දේශපාලන ක්‍රියාකාරීත්වයන්ට විරුද්ධව කරන යම්කිසි මර්දනකාරී මැදිහත් වීමක් විදියට තමයි අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මොකද මේ සම්බන්ධයෙන් මම ආණ්ඩුව පත්වෙන්න කලින් කල්‍යා පෙරේරා යූටියුබ් නාලිකාවේ හරිනි අමරසූරිය සමග සම්මුඛ සාකච්ඡාවක් කළා. එහිදී මම හරිනි අමරසූරියගෙන් මේ ප්‍රශ්නය පැහැදිලිවම ඇහුවා. විශේෂයෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉලක්ක කරගෙනයි ඒ ප්‍රශ්නය ඇහුවේ. ඒ අය ආණ්ඩුවට විරුද්ධව ජනතාව බලමුළු ගැන්වීමට බොහොම ඉඩකඩ තිබෙන තත්ත්වයක් තියෙනවා. එවැනි තත්ත්වයක් තුළ විශේෂයෙන් මර්දන යන්ත්‍රය, ඒ අයගේ ක්‍රියාකාරකම්වලට විරුද්ධ සාමාන්‍ය රාජ්‍ය මර්දනය යොමුවෙලා තියෙනවා. එවැනි අවස්ථාවක ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හැසිරෙන්නෙත් කලින් ආණ්ඩු හැසිරුණු ආකාරයටමද කියලා. හරිනි අමරසූරිය ඉතා පැහැදිලිව කිව්වා එහෙම නෑ කියලා. ඇය පැහැදිලිවම කිව්වා එවැනි ප්‍රවේශයක් නෙවෙයි, එවැනි ප්‍රශ්න පිළිබඳ වෙනත් ආකාරයකට ප්‍රවේශ විය යුතුයි කියලා. මම හිතන්නේ ඇය සඳහන් කළේ කිසිසේත්ම මේ දැන් ප්‍රවේශ වෙන ආකාරයක් ගැන නෙවෙයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ගොවි රැස්වීමට කරපු මැදිහත් වීම හෝ ෆේස්බුක් පළකිරීමට විරුද්ධව පාක්ෂිකයෙක් ගිහින් කරන මැදිහත් වීම ගැන නෙවෙයි හරිනි අමරසූරිය සඳහන් කරන්න ඇත්තේ. ඒ නිසා ඉතා පැහැදිලිව පේනවා මේක ඉතාම නරක ප්‍රවණතාවක්. ඒ විතරක් නෙවෙයි මේක සම්පූර්ණයෙන්ම ආණ්ඩුවේ පැවැත්මේ මූලික කොන්දේසි. පැවැත්මේ මූලික කොන්දේසිය තමා විසින්ම අහෝසි කරගැනීමේ මැදිහත් වීමක් විදියට සලකන්න පුළුවන්. වෙන විදියකට කියනවා නම් තමන්ගේ මිනී වළ තමන්ම කපාගැනීමක් විදියට හඳුන්වන්න පුළුවන් කියලා.
මම හිතන්නේ මේක සම්බන්ධයි පුළුල් ප්‍රශ්නෙකට. මෙතැන තියෙනවා ආණ්ඩුවේ දේශපාලන කළමනාකරණය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක්. අපි දන්න විදියට ජනතා විමුක්ති පෙරමුණ මේ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය ප්‍රධාන වශයෙන් හසුරුවන ප්‍රධාන බලවේගය. ආණ්ඩුව පත්වෙන්න කලිනුත් මම කිව්වා ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරකසභාව තමයි මේ යාන්ත්‍රණය මෙහෙයවන්න නියමිත කියලා. ඒකේ හොඳ පැතිත් තියෙනවා. ඒක වෙන විදියකින් කියනවා නම් මේ ආණ්ඩුවට තිබෙන ශක්තිය වගේම දුර්වලතාවත් ඒක. ජනතා විමුක්ති පෙරමුණ තමයි මාලිමා ආණ්ඩුවට තිබෙන ශක්තිය වගේම දුර්වලතාවයත්. ඒ කියන්නේ ඒ අයට තියෙනවා බොහොම ශක්තිමත් යාන්ත්‍රණයක්. ඒ වගේම ඒ අයගේ දුර්වලතාව තමයි මේ අපි ජීවත් වෙන යුගයේ ආණ්ඩුවක කටයුතු දේශපාලන වශයෙන් කළමනාකරණය කරන්නේ කොහොමද කියන අවබෝධය ඒ අයට නැති එක කියලයි මම හිතන්නේ. මොකක්ද මේ අපි ජීවත් වෙන යුගය කියලා කියන්නේ? ඒක තේරුම් ගන්න එක වැදගත්. අපි ජීවත් වෙන මේ යුගය ජනයා අතිශයින් දේශපාලන වශයෙන් සක්‍රීය වකවානුවක්. හැමෝටම වගේ ෆේස්බුක් ගිණුමක් තියෙනවා. එහෙම නැත්නම් ඉන්සටර්ග්‍රෑම්, ටික්ටොක් වගේ ඉහළ ප්‍රතිශතයක් මේ පහසුකම් පාවිච්චි කරලා තමන්ගේ දේශපාලන ප්‍රකාශන එළිදක්වනවා. ඒ නිසා මේ කිසි කෙනෙක් කැමැති නෑ මේ දේශපාලන ප්‍රකාශන මර්දනයට ලක්කරනවට. මම හිතන්නේ ඒක අපි ජීවත් වෙන යුගයේ ඉතාම සාධනීය දේශපාලන ලක්ෂණයක්. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ කල්පනා කරනවා නම් මේ විදියට මැදිහත් වෙලා ජනයාගේ ස්වේච්ඡා දේශපාලන ක්‍රියාකාරකම් නවත්තන්න පුළුවන් කියලා, මම හිතන්නේ ඒක ඒ අයගේ විශාල අනවබෝධයක්.
ජාතික ජන බලවේගයට තමයි දැනට යම්කිසි දේශපාලන ස්ථාවරත්වයක් සහිත ආණ්ඩුවක් යම්කිසි කාලයක් පවත්වාගෙන යෑමේ විභවය තියෙන්නේ. වෙන කාටවත් විකල්ප ආණ්ඩුවක් වීමේ හැකියාවක් නෑ. ඒ වගේම මේ අයට පාර්ලිමේන්තුවේ විශාල බලයක් තියෙනවා. ඒ නිසා මේ අයට විශාල වාසිදායක තත්ත්වයක් තිබෙනවා ආණ්ඩුවක් පවත්වාගෙන යන්න. එවැනි තත්ත්වයක් තිබියදී ඒ අය මෙවැනි අපරිණත විදියේ සහ කාලයට නොගැළපෙන විදියේ මාවතක් තෝරාගෙන තිබෙනවා නම්, මම හිතන්නේ ඒ අය විශාල අපකීර්තියකට ලක්වෙන පියවරක් තමයි ගනිමින් ඉන්නේ. මෙවැනි තත්ත්වයක් තුළ ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ කරන්නේ පෙරටුගාමීන්ගේ ගොවි රැස්වීමට පහර දීම සහ ෆේස්බුක් ගිණුම් හිමියාට එරෙහිව කටයුතු කිරීම (වීඩියෝවේ තියෙන විදියට) වගේ දෙයක් නම් පැහැදිලිවම අපට පෙන්නුම් කරන්න පුළුවන් ඒ අය ගමන් කරන්නේ ඉතාම භයානක මාවතක. භයානක කියන්නේ අර්ථ දෙකකින්. එක පැත්තකින් ඒක බොහොම මර්දනකාරී මාවතක්. අපි ජීවත් වෙන්නේ ජනයා සක්‍රීය ලෙස දේශපාලන ක්‍රියාකාරීත්වයට මැදිහත් වෙන වකවානුවක. ඒ මැදිහත් වීමට මීට පෙර තිබුණට වඩා හැකියාවන් තියෙනවා. මීට පෙර මිනිස්සුන්ට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න මේ තරම් හැකියාවක්, අවස්ථාවක් තිබුණේ නෑ. පත්තර වගේ මාධ්‍ය තිබුණේ යම්කිසි පිරිසකට. පත්තරේට හැමෝටම ලියන්න බැහැ. රූපවාහිනියේ, ගුවන්විදුලියේ කතා කරන්න හැමෝටම බෑ, ලොකු රැස්වීමක් පවත්වලා කතාකරන්නත් හැමෝටම බෑ. ඒක කරන්න පුළුවන් කිසියම් ප්‍රභූ පිරිසකට විතරයි. නමුත් දැන් එහෙම නෙවෙයි. දැන් ඕනෑම කෙනකුට ජංගම දුරකතනයක් තියෙනවා නම් තමන්දේ දේශපාලන අදහස ටික්ටොක් වීඩියෝවක් විදියට, ෆේස්බුක් පෝස්ට් එකක් විදියට දාලා තමන්ගේ අදහස ප්‍රකාශ කරන්න පුළුවන්. සමාජ මාධ්‍ය මර්දනය කරන්න යන නීතිවලට ගොඩක් වෙලාවට මම නම් විරුද්ධයි. මොකද ඕනේ තරම් හේතු තියෙනවා. බොරු කියනවා, අපහාස කරනවා කියලා. ඉතාම යහපත් අභිලාසයකින් වුණත් ඒවා මර්දනය කිරීම නිසා ඇතිවෙන ප්‍රතිවිපාක බරපතළයි. ඒ කියන්නේ එමගින් අපේ අදහස් ප්‍රකාශ කිරීමට තියෙන අවකාශය සීමා වීමක් සිදුවීම මහජනයාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සම්බන්ධයෙන් බරපතළ තත්ත්වයක්. මම හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණ පැත්තේ තමයි බෝලේ තියෙන්නේ. වෙන කාටවත් නෙවෙයි. කවුරුත් දන්න දෙයක් ඒ අය සතුව තමයි දේශපාලන අධිකාරී බලය තිබෙන්නේ. කැබිනට් මණ්ඩලය සතුවත් බලය තියෙනවා තමයි, නමුත් ඒ බලය අවසාන වශයෙන් කේන්ද්‍රගත වෙලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරකසභාවේ. අපි දන්න විදියට වෙන පක්ෂවලත් මධ්‍යම කාරකසභා තිබුණට ඒවා නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ නෑ. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ එහෙම එකක් නෙවෙයි තියෙන්නේ. ඒගොල්ලන්ගේ යම්කිසි මධ්‍යගතභාවයක් තියෙන පක්ෂයක්. ඒගොල්ලන්ට පුළුවන් ඒ අයගේ සාමාජිකත්ව ජාලය මත බලපෑම් කරන්න. දැනටමත් ඒක කළේ කවුද කියන එක දන්නවා. නොදැනුවත්ව සිද්ධ වුණා නම් මේ වෙනකොටත් ඒක දැනගෙන තියෙන්න ඕනේ. ඒක අමාරු දෙයක් නෙවෙයි. ඒ නිසා ඒ අයට තියෙන වගකීමක් තමයි මේ තත්ත්වය අනිවාර්යයෙන් වෙනස් කළ යුතු වෙනවා. මොකද මේක වෙන විදියකට කියනවා නම් ‘ගුරු ගීතය’ යුගය නෙවෙයි. හරි ප්‍රසිද්ධයි ‘ගුරු ගීතය’ චිත්‍රපටය. මේක දුයිෂෙන්ලාගේ කාලේ නෙවෙයි. දුයිෂෙන් කියලා කියන්නේ පක්ෂයෙන් පත්කරලා, ගම්වලට යවනවා, ඒ ගමේ කටයුතුවලට එයා නායකත්වය දෙනවා. ඒ දුයිෂෙන්ලගේ යුගය නෙවෙයි මේක. හැබැයි අවාසනාවකට ජනතා විමුක්ති පෙරමුණේ පරිකල්පනය හැදිලා තියෙන්නේ දුයිෂෙන්ලාගෙන්. ඒක අවුරුදු 100කට එහා පැත්තේ දෙයක්නේ. අවුරුදු 100කට එහා පැත්තේ රුසියාව වගේ සන්නිවේදනය නැති සමාජයක් නෙවෙයි අද අපේ සමාජය. ඕනෑම තැනක ඉන්න කෙනකුට පුළුවන් අද දේශපාලන සංවාදයකට මැදිහත් වෙන්නේ. ඒ සංවාදය පාලනය කරන්න බෑ. මේගොල්ලෝ බොහොම යහපත් චේතනාවෙන් වැඩ කරන අය වෙන්න පුළුවන් දුයිෂෙන්ලා වගේ. හොඳම වර්ගයේ දුයිෂෙන්ලාට වුණත් මේ යුගයේ දේශපාලනයේ පැවැත්මක් නෑ. ඒගොල්ලන්ට කාර්යභාරයක් නෑ. අද දේශපාලනය කියලා කියන්නේ ඊට වැඩිය එහා ගිය දෙයක්. ඒ නිසා ගම්වල ඉන්න හැම කෙනෙක්ම දේශපාලන ක්‍රියාකාරීන්. ඒ අයගේ ක්‍රියාකාරකම් හැසිරවීමට ඒ අයගේ ක්‍රියාකාරකම් මර්දනය කිරීමට අයිතියක් නෑ. ඒ වගේම හැකියාවක් නෑ. හැකියාවක් නෑ කියලා කියන්නේ තාවකාලිකව පුළුවන්. නමුත් ඒ සඳහා විශාල මහජන විරෝධයක් එනවා. ඉතාම වැදගත් දේ තමයි මාලිමාව බලයට පත්වෙන්නෙත් ඒ මහජන විරෝධය මතින්. ඒ නිසා මේක බැරෑරුම්ව ගත්තේ නැත්නම් ඒක බරපතළ දෙයක්. ඒ නිසයි මම ‘හෝදනවා’ කියන එකෙන් අදහස් කරන්නේ. දැන් කුණු ගෑවිලා තියෙන්නේ. අනිවාර්යයෙන් මේ කුණු ටික හෝදගන්නම වෙනවා. අපිට පුළුවන් ඊට අවශ්‍ය සේදුම් කුඩු දෙන්න. හැබැයි හෝදගන්න එක තමන්ම තමයි කරගන්න ඕනේ. නමුත් හේදීම වෙනුවෙන් අපට කරන්න පුළුවන් දේ අපි කළ යුතුයි. මේ ආණ්ඩුව හෝදගත්තේ නැත්නම්, යම් ස්ථාවරභාවයක් සහිත ආණ්ඩුවක් ලේසියෙන් ගොඩනගන්න බැහැ. දැන් තියෙන තත්ත්වය ඇතුළේ පවත්වාගෙන යා හැකි ස්ථිරසාර ආණ්ඩුවක් පත්වෙයි කියලා හිතන්න බැහැ. මොනවා වුණත් අද උතුර සහ දකුණ අතර ඇතිවෙලා තියෙන සංහිඳියාව ඉතා වැදගත් දෙයක්. ඒක ලේසි තත්ත්වයක් නෙවෙයි. අන්ත ජාතිකවාදී බලවේගයක් නැවත බලයට පත්වුණොත් උතුර තුළ ඇතිවෙන අසහනය තවදුරටත් වැඩිවෙනවා. එහෙම වුණොත් ඒක බරපතළයි. ඒ විතරක් නෙවෙයි අන්ත දක්ෂිණාංශික ආණ්ඩු එනවා කියලා කියන්නේ සමාජයේ පහළින් විශාල වශයෙන් අසහනයක් වර්ධනය වෙනවා. ඒක නිසා තමයි විශාල වශයෙන් ගැමි ජනයා මේ ආණ්ඩුවට ඡන්දේ දුන්නේ. ඒ නිසා මම හිතනවා මේ ආණ්ඩුව හෝදාගැනීම අවශ්‍ය දෙයක්. ඒ සඳහා අපි හැකිතාක් දුරට ඒ සේදීමේ ව්‍යාපෘතියේ නිරත වෙන්න අපිට සිද්ධ වෙනවා. එහෙම නැති වුණොත් දේශපාලන වශයෙන් තත්ත්වය බොහොම බරපතළ වෙන්න පුළුවන්.
History with Nirmal යූටියුබ් නාලිකාවෙනි










