ලෝක මානවයා ගැන කතාකරන අපට අපගේ මානව ඉතිහාසය ගැනද සාඩම්බර විය හැකි, අගනා ඉතිහාසගත උරුමයකට හිමිකම තිබේ. ඒ ඉතිහාසය පිළිබඳ පුරාවිද්‍යානුකූලව විමසා බැලීම මෙම ලිපියේ අරමුණය. Sri Lanka Latest News
ලෝකයේ සමශීතෝෂ්ණ කලාපීය රටවල හිම යුගයක් පැවතිණි. එම ප්ලයිස්ටොසීන අවධියේ වර්තමානයේ අප වෙසෙන ශ්‍රී ලංකාවේද ආදිතම මානවයන් ජීවත් වී සිටි බවට අගනා සාධක පවතී. මෙම අවධිය වනවිට වඳවී ගොස් ඇති හස්ති විශේෂ, හිපපොටේමස් හා රයිනෝසිරස් ආදී සතුන්ගේ හමුවී ඇති පොසිල කොටස් ද එයට කදිම සාක්ෂියක් වෙයි. මානව වානරයකු ලෙස සැලකෙන හෝමෝ පිතකස්ගේ දත් කිහිපයක්ද ඒ පිළිබඳ කරනු ලැබූ පර්යේෂණවලදී හමුව තිබේ. ඒ විතරක් නොවේ, ‘හෝමෝ සිංහලෙයෙවුස්’ ලෙස නම්කර තිබෙන පැරණි මානවයකුගේ අවශේෂ ද හමුවී ඇත. මෙකී සොයාගැනීම්වල කාලයද වසර පනස් දහසේ සිට වසර ලක්ෂ දෙකක් (වසර 50, 000 – 200,000) අතර යැයිද අනුමාන කෙරේ.
එසේම රත්නපුර මැණික් නිධිවලින් ප්‍රාග් ඓතිහාසික මානවයා විසින් නිපදවන ලද ගල් ආයුධ රැසක් ද සොයාගෙන ඇත. මෙම ආයුධ සොයාගනු ලැබුවේ ස්ථරානුකූලව නොවන නිසාවෙන් කාල නිර්ණය කිරීමෙහිලා යම් අපහසු තත්ත්වයක් පැනනැගී තිබිණි. ඒ හැර ඉහත ස්ථානවලින් මෙන්ම තව තවත් ස්ථාන රැසකින් සොයාගනු ලැබූ රළු දළ ගල් මෙවලම් නිසාවෙන් මේ රට තුළ මහා ශිලා අවධියක් පැවැතී ඇති බවට නම් දළ තීරණයකට එළැඹිය හැකිය.
මධ්‍ය ශිලා යුගය පිළිබඳ නම් මූලික වශයෙන්ම අප රට තුළදීම නිවැරදි සාධක ලැබී තිබේ. ක්ෂුද්‍ර ශිලා මෙවලම් කර්මාන්තය සඳහා එදා මෙරට විසූ ජනතාව තිරිවාණා සහ කහඳ වැනි පාෂාණයන් භාවිත කර ඇති බව දක්නට ලැබේ. මෙය සුවිශේෂ ලක්ෂණයකි.
දැනට සොයාගෙන ඇති මානව විද්‍යාත්මක ලක්ෂණ අනුව පෙනීයනුයේ මධ්‍ය ශිලා යුගයේ මානව වර්ගය වන්නේ බළන්ගොඩ මානවයාය. මධ්‍ය කඳුකරයෙන් හා බටහිර කඳු ප්‍රදේශවලින් බළන්ගොඩ මානවයාගේ සංස්කෘතිය පිළිබඳ අගනා තොරතුරු රැසක්ම අනාවරණ කරගෙන තිබේ.
මෙයට වසර හැත්තෑවකට පමණ පෙර, එනම් 1956 – 61 කාලවකවානුවේදී පුරාවිද්‍යාඥ පී.ඊ.පී. දැරණියගලයන් විසින් බෙල්ලන්බැඳිපැලැස්ස ප්‍රදේශයේදී සිදුකරන ලද කැණීම්වලින් මෙරට ප්‍රාග් ඉතිහාසය සහ බළන්ගොඩ මානවයා පිළිබඳ වැදගත් වූ සාධක රැසක් සොයාගැනීමට සමත් විය. එහිදී සිදුකරන ලද කැණීම්වලදී හමුවී ඇති අවශේෂයන් අතර මිනිස් ඇටසැකිලි දොළහක පමණ කොටස් සොයාගෙන තිබිණි. මෙකී අවශේෂ පිළිබඳ එවක කේ.එල්.ආර්. කෙනඩි සහ දැරණියගල යන පුරාවිද්‍යාඥයන් දෙපළ එක්ව සිදුකරන ලද පරීක්ෂණවලදී මිනිසාගේ අවධි තුනක් පිළිබඳ කදිම මත තුනක් ඉදිරිපත් කර තිබිණි. ඒ අනුව එම අවදි තුන,
1 හෝමෝ සිංහලෙයුස් (නියැන්ඩර්තාල්)
2 හෝමෝ සිංහලෙයුස් (ඉරෙක්ටස්)
3 හෝමෝ සෙපියන් බළන්ගොඩෙන්සීස් වෙයි.
අප රටේ (ශ්‍රී ලංකාවේ) ප්‍රාග් ඉතිහාසය විමසා බලන විට එය ගොඩනැගීමේදී ලංකාවේ උතුරු දෙසත්, දකුණුදිග වෙරළබඩත් පිහිටා තිබූ රතු පැහැති වැලි සහ පස් තට්ටු වඩා වැදගත් බවක් පවතින බව පුරාවිද්‍යාඥයකු වූ වේලන්ඩ් පෙන්වා දී ඇත. ඒ මෙයට හරියටම වසර එකසිය එකොළහකට පෙර, එනම් 1915 වසරේදීය.
එසේම පුරාවිද්‍යාඥ සිරාන් දැරණියගලයන් විසින් ඉරණමඩු සංයුතිය නමින් එවක හඳුන්වනු ලැබූ මෙකී ස්ථරවල නියමාකාර ලෙස පර්යේෂණ අරඹනු ලැබුවේ හැත්තෑව දශකයේදීය. මෙකී සංයුතියට අයත් වූ බූන්දල ප්‍රදේශයේ ලෙවන්ගොඩ, වැල්ලෙගංගොඩ, පතිරාජවෙල යන ප්‍රදේශවල සිදුකරන ලද කැණීම්වලින් මධ්‍ය ශිලා යුගයට අයත් ගල් මෙවලම් ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක් සොයාගනු ලැබීය.
මෙම වෙරළබඩ ප්‍රදේශයේ පැවැති ජ්‍යාමිතික හැඩය සහිත මධ්‍ය ශිලා යුගයේ ගල් මෙවලම් දකුණු ඉන්දියාවේද එයට සමාන පස් තට්ටුවලින්ද සොයාගෙන තිබිණි. එසේ හමුවූ එම සාධක අදින් වසර විසිපන් දහසකට පමණ එහා ඉතිහාසයක් පවතින බවටද නිගමණය කෙරිණි. ඒ තාප සංදීප්තතා කාල නිර්ණය සලකාය.
එසේම එකී පස් තට්ටුවලට මීටර් හතක් පමණ යට පිහිටි පස් තට්ටු වෙනුවෙන් ලබාගෙන ඇති කාල නිර්ණ වසර 74,000 – 64,000 අතර වූ බැව් ප්‍රකාශ විය. එකී පස් තට්ටු තුළින් ලබාගන්නා ලද ශිලා මෙවලම් ඉතාම ආදීම ලක්ෂණ පිළිඹිබු කර තිබිණි. තවද ඉරණමඩු සංයුතියට අයත් වන පතිරාජවෙලින් හමුව තිබූ කළපු බෙල්ලන්ගේ අවශේෂවලට ක්‍රි.පූ. 3,310ක ඉතිහාසයක් පවතින බවද පෙනී ගියේය. මෙය ඉන්දියානු කාල නිර්ණය සමග ගැළපීමක් නොතිබුණද එහි ඉතිහාසය අවම වශයෙන් වසර 28,000කට එපිට අවධියක් එකී සංයුතියේ මධ්‍ය ශිලා යුගයේ ක්ෂූද්‍ර මෙවලම් අයත් විය හැකි බවට පුරාවිදු මත පළකෙරිණි.
ශ්‍රී ලංකාවේ ශිලා ලේඛන අධ්‍යයන කටයුතුවලට මුල් අවධියේ පදනමව පැවතුණේ යුරෝපීය නියමයන් බවද පැවසේ. එසේ වුවද යුරෝපයේ මධ්‍ය ශිලා මෙවලම් නිර්මාණ යුගය ලෙස සැලකෙනුයේ අදින් වසර 12,000 කට එපිටය. ඒ අවසාන ග්ලැසියර් අවධියේ නිමාව සිදුවූ සමය වේ.
තත්ත්වය එසේ වුවද අප රටේ මෙකී ජ්‍යාමිතික ශිලා මෙවලම් නිර්මාණය අදින් වසර 35,000ක පමණ පෙර සිට පැවැතී ඇති බවට සාධක සොයාගෙන තිබීම අතිශය සතුට දනවන කරුණකි. ඒ ශ්‍රී ලාංකික මානව ඉතිහාසය ඒසා දුරකට පැතිර තිබූ බවට පවතින සාධක නිසාවෙනි. ඒ වෙනුවෙන් වැදගත්ම සාධක රැසක් අප රට අභ්‍යන්තරයෙන්ම ලැබී තිබේ. උදාහරණයක් ලෙස සලකන විට මානියන්ගම බෙලිලෙන, රාවණා ඇල්ල, හෙණගහපුගල, බණ්ඩාරවෙල, කිතුල්ගල බෙලිලෙන, කෑගල්ල අළුලෙන, කුරුවිට බටදොඹ ලෙන, බෙල්ලන්බැඳිපැලැස්ස, පාහියන් ලෙන යනාදී ස්ථානවලදී මෙකී සාධක හමුවී තිබේ. එසේ බලන විට ඉහත කී මෙවලම් කර්මාන්තය භාවිත කළ ‘බළන්ගොඩ මානවයා’ අප රට පුරාම ව්‍යාප්තව සිට ඇති බවට මේවා කදිම සාක්ෂිය. අප රට පුරාම මෙකී සංස්කෘතියට අයත් ප්‍රාග් ඓතිහාසික ජනාවාසද විශාල ප්‍රමාණයක් හමුවී ඇති අතර, එවැන්නක් හමුනොවී ඇත්තේ යාපනය අර්ධද්වීපයෙන් පමණි.
තවද කුරුවිට – බටදොඹ ලෙනෙන් හමුවී තිබෙන ජ්‍යාමිතික ශිලා ක්ෂුද්‍ර මෙවලම් මෙයින් වසර 11,500 – 28,500 දක්වා කාල නිර්ණය කොට ඇති අතර, බූන්දලින් ලැබී තිබුණු ගල් ආයුධවල කාල පරාසය වසර 28,000කට අයත් වන බවය. එසේ බලන විට බූන්දල සහ කුරුවිට පැරණිම සාධක විමසීමේදී එක හා සමාන බවද පෙනේ. එයින් ගම්‍ය වන්නේ මෙකී මානවයා වෙරළාසන්නයේත්, රට අභ්‍යන්තරයේත් එකම කාල පරාසයක් තුළදී පැතිර ගොස් සිට ඇති බවය. ඒ අනුව ඉහත සාධක සනාථ කරනුයේ අප රටේ මධ්‍ය ශිලා යුගය අදින් වසර 25,000කට ඉපැරණි බවය.
එසේම ‘බළන්ගොඩ මානවයා’ගේ මෙවලම් අතර තිබී සොයාගෙන ඇති සෙසු ආයුධ වන්නේ කහඳ සහ තිරුවාණාවලින් සාදාගෙන තිබූ විශාල කෙටීම් ආයුධ, කළුගල්, තිරුවාණාවලින් නිමවාගෙන තිබූ මිටි ලෙස භාවිත කළ ආයුධ සහ ඇඹරුම් ගල්ය.
මොවුන්ගේ ඇතැම් ගල් ආයුධ තුළින් ඔවුන් සතුව පැවැති උසස් ශිල්පීය දැනුම මොනවට විදහා පා ඇති බවද, එසේ හමුවී ඇති ඇඹරුම් ගල්වලින් පැහැදිලි වන්නේ තමන්ට ආහාරයට සුසුසු ධාන්‍ය ඒවා උපයෝගී කොටගෙන අඹරාගෙන ඇති බවය.
ඒ අතර මධ්‍ය ශිලා යුගයේ මානවයා තම ආහාර පිණිස සතුන් දඩයම් කර ඇති බවද, ඔවුන් වඩාත් මසට ගෙන ඇත්තේ මීමින්නා, වැලිමුවා, හාවා, ඉත්තෑවා වැනි කුඩා ක්ෂීරපායි සතුන් බවද හමුවී ඇති සාධක තුළින් සනාථ වේ. ඒ අතර ඉඳහිට විශාල සතුන් ආහාරයට ගෙන ඇති බවද පෙනේ. කෙසේ වෙතත් ඔවුන්ගේ ආහාරයේ ප්‍රධානම තැනක් බෙල්ලන්ට හිමිව තිබූ බවටද පවතින සාධක බොහෝය.
ශ්‍රී ලංකාවේ ඌව ප්‍රදේශයේ කඳුකර වනාන්තර එළිපෙහෙළි කරන්නටද ඔවුන් ක්‍රියාකර ඇති බව පෙනේ. මේ නිසාම බණ්ඩාරවෙල, හෝර්ටන් වැනි ප්‍රදේශයන්හි පතන මෙන්ම තෘණ භූමි ඇති කළාද විය හැකිය. එසේ කරන්නට ඇත්තේ ඔවුන්ගේ දඩයම් කටයුතුවලට එය පහසුවක් වන්නට විය හැකිය.
පුරාවිදු සිරාන් දැරණියගලගේ මතය වන්නේ බළන්ගොඩ මානවයා හෙවත් මධ්‍ය ශිලා යුගයේ මිනිසා ඉන්දියාවෙන් පැමිණ ඇති බවය. ශ්‍රී ලංකාව ඉන්දියානු භූමිය සමග ක්‍රි.පූ. 9,000 වන තෙක්ම එක්ව පැවැතී ඇත. දෙරට අතර එදා ඇතිවූ සබඳතාව හේතුවෙන් මෙම මානවයා ඉන්දියාවෙන් මෙරටට සංක්‍රමණය වන්නට ඇත. කෙසේ වෙතත් හිමකඳු දියවීම හේතුකොට ගෙන මුහුදු ජල මට්ටම ඉහළ යාම නිසාවෙන් ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් වෙන්ව තිබේ.
එසේ එක්ව තිබූ රට මුහුදු ජලය ඉහළ යාම නිසා රටවල් දෙකක් වීමේ ප්‍රතිඵලය කරණ කොටගෙන එදා ඉන්දියාවෙන් මෙරටට සංක්‍රමණය වූ මානව වර්ගයා මෙරට තනිවූවා විය හැකිය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ වෙසෙන වැදි ජනතාවට මෙම ‘බළන්ගොඩ මානවයා’ කායික වශයෙන් සමානත්වයක් උසුලන බවද පුරාවිදු මතය වේ.
(පුරාවිද්‍යාඥයන් වන ආචාර්ය සිරාන් දැරණියගල හා ඊ.ජේ. වේලන්ගේ පර්යේෂණ තොරතුරු ඇසුරෙනි)

නන්දන ඩී. කෙහෙල්ගමුව











