ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සිය ජාතික ලැයිස්තුව සකස් කිරීමේදී දෘශ්‍යාබාධිත ජනතාව නියෝජනය කිරීම සඳහා අවස්ථාව ලබාදීම කැපීපෙනෙන සිදුවීමකි. ඒ අනුව, කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වන සුගත් වසන්ත ද සිල්වා එම පක්ෂයේ ජාතික ලැයිස්තුවට ඇතුළත් කර ඇත. ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී කවුන්සිලයේ සභාපති ධුරය හොබවන ඔහු සමාජ ක්‍රියාකාරිකයකුද විය. (Sri Lanka Latest News)
කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ලැබූ සුගත් වසන්ත ද සිල්වා පොතපත කියවන හොඳ සාහිත්‍ය රසිකයෙක් මෙන්ම තියුණු චින්තකයෙකුද වේ. එසේම ඔහු දශ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් විශාල සේවයක් කළ අයකු ලෙසද ප්‍රකටය.
පහත පළවන්නේ සුගත් වසන්ත ද සිල්වා මහතා ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුව සඳහා තෝරාගැනීමෙන් අනතුරුව Neth Fm Balumgala යූටියුබ් නාලිකාව සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවයි.
ආබාධි සහිත තැනැත්තෙක් ජාතික ලැයිස්තුවක් සඳහා ඇතුළත් වෙච්ච පළමු වතාවද මේක අපේ රටේ දේශපාලන ඉතිහාසයේ?
ජාතික ලැයිස්තුවකට ඇතුළත් වෙච්ච පළමු අවස්ථාව මේක. ඒ විතරක් නෙවෙයි ලංකා ඉතිහාසයේ මැතිවරණ ක්‍රියාවලිය තුළ අපේක්ෂකත්වය ලබපු පළමු අවස්ථාව.
අපේ රටේ පාර්ලිමේන්තුවේ මීට කලින් ආබාධ සහිත අයෙක් අසුන්ගෙන නැද්ද?
නැහැ.
ලෝක ඉතිහාසයේ එහෙම අවස්ථාවන්ට උදාහරණ තියෙනවද?
බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ බ්ලැන්කට් කියලා පුද්ගලයෙක් මන්ත්‍රී මණ්ඩලයට පත්වුණා. ඒ වගේම ඔහු අධ්‍යාපන අමාත්‍ය ධුරය දැරුවා. හැබැයි මම හිතන්නේ ඔහුට ධුර කාලය සම්පූර්ණ කරන්න බැරිවුණා.
පහුගිය වකවානුව පුරාම ආබාධ සහිත තැනැත්තන් මුහුණ දෙන විවිධ ප්‍රශ්න පිළිබඳ විවිධ සංවාද ඇතිවුණා. එවන් පසුබිමක ජාතික ලැයිස්තුව හරහා හෝ ආබාධ සහිත පුද්ගලයෙක් සක්‍රීය දේශපාලන යාන්ත්‍රණයට ඇතුළත් වීම, රටේ නීති හදන තැනට පැමිණීම වැදගත් වෙනවා නේද?
නිදහස් ශ්‍රී ලංකාවේ අවුරුදු 76ක් අපි ගතකරලා තියෙනවා. අපට 80 දශකයේදී ලැබෙනවා ආබාධිත වර්ෂයක්. ඊට පස්සේ 88දී ලැබෙනවා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක්. ඒකෙන් කියනවා ආබාධ සහිත පුද්ගලයන්ට ආණ්ඩුවේ රැකියා පුරප්පාඩුවලින් 3%ක් වෙන්කරන්න ඕනේ කියලා. ඒක සම්මත වෙලා දැනට අවුරුදු 36ක් වෙනවා. නමුත් ඒක යථාර්ථයක් වෙලා නෑ. ඊට පස්සේ 1996 ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පනත අපට ලැබෙනවා. ඒකෙන් අයිතිවාසිකම් තුනක් හතරක් අපට ලැබිලා තියෙනවා. නමුත් ඒවා භූමියේ යථාර්ථයක් වෙලා නෑ. 2003දී ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් එනවා. ඒකත් පොත් රාක්කවලට සීමා වුණා. 2014 ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරී සැලැස්මක් එනවා. දැන් අවුරුදු 10ක් ගතවෙලා. ඒකත් හමස් පෙට්ටියේ. මේක තමයි ඉරණම. අනිත් පැත්තෙන් ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය 2006-2007දී අපි අස්සන් කරනවා. ඒක 2016-2017දී අපි අනුමත කරනවා. දැන් අවුරුදු 8ක් ගතවෙලා තියෙනවා. තවම ඒක ලංකාව තුළ නීතියක් බවට පත්කරන්න දේශීය නීතිය ගොඩනගා ගන්න බැරිවෙලා තියෙනවා.
ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීති සම්පාදනයට විවිධ උත්සාහයන් ගත්ත බව තමයි ඔබේ මේ පැහැදිලි කිරීම ඇතුළේ කියැවෙන්නේ. ඒකේ තවත් පියවරක් විදියට තමයි ජාතික ජන බලවේගයේ, මේ වනවිට රටේ ජනාධිපති බලය හිමි කණ්ඩායමේ ජාතික ලැයිස්තුවට සුගත් වසන්ත ද සිල්වාගේ නම ඇතුළත් කිරීම. මේකත් අර කලින් ඔබ සඳහන් කළා වගේ තේරුමක් නැති දෙයක් වෙයිද?
ඒක අනාගතය විසින් තීරණය කරන්න ඕනේ දෙයක්. අපි පක්ෂයක් විදියට ජාතික ජන බලවේගය විදියට මේ මොහොතේ අපි පරාජිත පක්ෂයක් නෙවෙයි. අපි ජයග්‍රාහී පක්ෂයක්. අපට මාව හැර 29 දෙනෙක් තෝරන්න බැරිකමක් තිබුණේ නෑ. ඕනේ තරම් කට්ටිය හිටියා. හැබැයි ඔවුන් සංවේදී වුණා මේ ආබාධ සහිත වූවන්ගේ ප්‍රශ්න පිළිබඳ. මේ සංවේදීතාව එන්නේ කොතැනින්ද? අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා, විජිත හේරත් අපේ විෂය භාර අමාත්‍යවරයා තේරුම් ගන්නවා රටේ ජනගහනයෙන් 8.7%ක් ලක්ෂ 16කට වැඩි ප්‍රමාණයක් ආබාධ සහිත මිනිස්සු. මේ කණ්ඩායම තුළ කාන්තාවෝ ඉන්නවා 57%ක්. සාමාන්‍යයෙන් 52%ක් ඉන්න ජන සංයුතියේ 57%ක් ආබාධිත කාන්තාවෝ. අනිත් පැත්තෙන් රැකියා විරහිතභාවය. මොකක්ද ප්‍රතිඵලය? අපිට ලැබෙනවා ඉලක්කමක් 71%ක් පමණ ශ්‍රී ලංකාවේ ආබාධ සහිත තැනැත්තන් කිසිදු ආර්ථික කර්තව්‍යයක යෙදෙන්නේ නැත.
ඒ, රැකියාවක් කරන්න බැරි නිසාද?
බැරි නිසා නෙවෙයි. අවස්ථාවක් නැති නිසා. අවස්ථාවන් පටු නිසා. අපි වගකියන්න ඕනේ නැති ආර්ථික අර්බුදයකට, බංකොලොත්භාවයකට අපේ ඔළුව මත පතිත වුණානේ. ඒකත් එක්ක ආබාධ සහිත තැනැත්තන් සුළු පරිමාණව නිෂ්පාදනය කරපු භාණ්ඩවල අමුද්‍රව්‍යවල මිල ඉහළ ගියා. මිනිස්සුන්ට ඒක දරාගන්න බෑ. අපේ ඒ මිනිස්සුන්ගේ සුළු පරිමාණ අලෙවි ව්‍යාපාර කඩාගෙන වැටුණා. නමුත් ඒ මිනිස්සුන්ට අත දීමක් වුණේ නෑ. මොකක්ද උත්තරේ. මාසිකව ලැබෙන රුපියල් 5000ක ආබාධිත දීමනාව. මේකත් හරිම දුෂ්කර ගමන් මාර්ගයක් ඔස්සේ ගොඩක් සීමාවන් එක්ක තමයි ගන්න තියෙන්නේ. රුපියල් 5000කින් අද මොනවද කරන්න පුළුවන් කිසිම රස්සාවක් කරන්නේ නැති පවුලකට?
මේ තත්ත්වය වෙනස් කරන්න එන සුගත් වසන්ත ද සිල්වා කියන්නේ කවුද?
මම මනුෂ්‍යයෙක්. දෙවැනුව මම අනන්‍ය වෙන්න කැමැතියි ආබාධ සහිත පුද්ගලයෙක් විදියට.
ඔබේ ආබාධය උපතින් අරගෙන ආපු දෙයක්ද? එහෙම නැත්නම් වෙනත් අනතුරක් නිසා සිදුවූ දෙයක්ද?
මම 1978දී පාසලේ ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉන්න අවස්ථාවක මගේ ඇහැට බෝලයක් වැදුණා. මම ගෙදර ගිහිල්ලා ඒ ගැන කිව්වේ නෑ. අතිශය හිතුවක්කාර දඟකාර චරිතයක් මගේ තිබුණේ. නමුත් මගේ අම්මට මගේ වෙනස්කම තේරුණා. ඇය මගේ එක ඇහැක් වහලා අනිත් ඇහෙන්න බලන්න කිව්වාම මට තේරුණා ඇහේ පෙනීම නැතිවෙලා කියලා. ඊට පස්සේ මාව රෝහල් කිහිපයකට අරගෙන ගිහින් අවුරුද්දක් විතර විවිධ ප්‍රතිකාර කළා. කාලයක් යද්දී ඇස් දෙකම පේන්නේ නැතුව ගිය නිසා ප්‍රතිකාර ගන්න එක මම නතර කළා. ඒ වෙද්දී මගේ වයස අවුරුදු 11යි. ඊට පස්සේ මම රත්මලාන අන්ධ විද්‍යාලයට එනවා. එහිදී සාමාන්‍ය පෙළ සමත් වෙනවා. ඊට පස්සේ මට උසස් පෙළ සඳහා සාමාන්‍ය පාසලකට යන්න සිදුවුණා. ඒ අනුව මම අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලට ගියා. ඒ පාසලේ ළමයි සහ ගුරුවරු මට පුදුම විදියට ආදරේ කළා. පුදුම විදියට සැලකුවා.
උසස් පෙළෙන් පස්සේ මොකද වෙන්නේ?
ඊට පස්සේ අපට අවුරුදු 3ක විතර විරාමයක් ලැබුණා. භීෂණ කාලේ කියලා සමහරු කියනවා. 88-89 කියනවා. මොන විදියට හැඳින්නුවත් විශ්වවිද්‍යාලය පටන්ගත්තේ 1990දී. මම කොළඹ විශ්වවිද්‍යාලයට ආවා. එහිදී මම මුලින්ම හැදෑරුවේ සිංහල, දේශපාලන විද්‍යාව සහ ඉතිහාසය. ඒ ප්‍රතිඵල අනුව මට ඉතිහාසය විශේෂවේදී උපාධියක් කරන්න අවස්ථාව ලැබුණා. අවුරුදු 3ක් ඒ උපාධිය කළාට පස්සේ ප්‍රථම පන්තියේ සාමාර්ථයක් එක්ක තමයි මම විශ්වවිද්‍යාලයෙන් එළියට එන්නේ.
ඔබ දේශපාලනයට සම්බන්ධ වෙන්නේ කොයි කාලෙද?
මගේ දේශපාලනය කියන එක ජානවලින්ම එන එකක්. අපේ තාත්තා සමසමාජ පාක්ෂිකයෙක්. සමසමාජ වෘත්තීය සමිති ක්‍රියාධරයෙක්. ඔහු ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කළේ. මගේ අම්මා සමසමාජ පක්ෂයට සම්බන්ධ නෑ. ඇය ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකාවක්. නමුත් සමසමාජයටවත්, ශ්‍රීලනිපයටවත් මම යොමුවුණේ නෑ, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයත් එක්ක තමයි මගේ ළැදියාව තිබුණේ.
88-89 කලහකාරී කාලේ සම්බන්ධයෙන් ඔබේ මතකය කොයි වගේද?
ඇත්තටම කලහකාරීද? නැත්නම් ඒ කලහය කියන එක උත්තරාරෝපිතව ආපු දෙයක්ද?
ටයර් සෑයේ ජීවිත දැවෙනකොට ඒක කලහයක් කියලා කියන්න බෑ නේද?
එතැනට කවුද තල්ලු කළේ. 81 සංවර්ධන සභා මැතිවරණයක් කියලා එකක් තියලා යාපනේ පුස්තකාලය ගිනි තිබ්බා. ඒක ඉබේ වෙච්ච දෙයක් නෙවෙයි. ස්වභාවික ගින්නක් නෙවෙයි. 83 ජූලියත් ස්වභාවිකව ඇතිවෙච්ච දෙයක් නෙවෙයි. හමුදා සොල්දාදුවන් 13 දෙනෙක් මැරිච්ච සිදුවීමත් එක්කනේ මේක බැඳෙන්නේ. 83 ජූලියෙන් පස්සේ ජනතා විමුක්ති පෙරමුණයි නව සමසමාජ පක්ෂයයි තහනම් කරපු එක ස්වභාවික දෙයක් නෙවෙයි. ජනතා විමුක්ති පෙරමුණේ පිබිදීම එවක දේශපාලන නායකත්වය දැනගත්තා. ඒ දැනගැනීමෙන් පස්සේ ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන බිමෙන් අයින් කරන්න දරපු උත්සාහයක් විදියට ඒ පක්ෂය තහනම් කළා. මේවා එකක්වත් ඉබේ සිද්ධ වෙච්ච දේවල් නෙවෙයි. මේවා දේශපාලන ව්‍යාපෘතිවල ක්‍රියාකාරකම් විදියට තමයි ආවේ. 88-89 ටයර් සෑයවල්වල මිනිස්සු දැවුණු එක ඇත්ත. හැබැයි මේ කිසිවක් අස්වාභාවික ලෙස ඉබේ හටගත් සිදුවීම් නෙවෙයි. දේශපාලන ක්‍රියාවලියක ප්‍රතිඵලය හැටියට සිදුවෙච්ච දේවල්.
ඒ කාලයේ ගැන ඔබේ මතකය මොන වගේද?
අපි ඒ කාලේ හිටියේ ගාල්ලේ, කරන්දෙණිය, අම්බලන්ගොඩ, බලපිටිය කියන සීමාවේ. අපේ ගෙදර හිටියේ අයියයි, මල්ලිලා දෙන්නයි මායි. අපේ ගෙදරට එන යාළුවෝ ඔක්කොම පිරිමි අය. පිරිමි යාළුවෝ නිතර රැස්වෙන ගෙයක් වුණාම ඒ ගෙදර අපි බූරුවා ගැහුවත්, කැරම් ගැහුවත් මොනවා කළත් හැමෝම ඒ දිහා බලන්නේ දේශපාලන මුහුණුවරකින්. දේශපාලන ක්‍රියාකාරිකයොත් අපිත් එක්ක සම්බන්ධ වුණා. සියලු තොරතුරු අපට ලැබුණා. පත්‍රිකා ලියන දේවල්, සටන් පාඨ ලියන දේවල්. මට ඒ කාලේ ලොකු භාෂා හැකියාවක් තිබුණා. ජේ.වී.පී. එක නියෝජනය කරන ජනතාවාදී වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මම ඒ කාලේ කරුණු ලියලා තියෙනවා. ඒ කාලේ අපිත් එක්ක ඉගෙනගත්ත සහෝදරවරු අතුරුදන් වුණා. දවසක් බස් එකේ එනකොට අම්මා කෙනෙක් මගේ සීට් එක ළඟ ඉඳගෙන හීල්ලුවා. එයා තවත් දේවාලෙකට ගිහින් එනගමන්. මම ඇහුවා ඇයි අම්මේ කියලා. එයා ප්‍රාර්ථනා කරනවා පුතා එන්න කියලා. දේශපාලන ඝාතනය මම අනුමත කරන්නේ නෑ. හැබැයි හැමෝටම ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. ජීවන අරගලයේ යෙදෙන්න අයිතියක් තියෙන්න ඕනේ. දේශපාලන මතයක් නිසා ඝාතනය වීම අපි අනුමත කරන්නේ නෑ. අපි කියන්නේ ඒක මතවාදී තලයෙදි අපි බේරගමු කියලා.
පන්ති මාලාවට ඔබ සහභාගි වුණාද?
පන්ති මාලාව කරලා තියෙනවා. මම ඒ කාලේ පොත් පිස්සෙක් බවට පත්වෙලා හිටියා. මගේ අයියා ඒ සඳහා ලොකු පෙලඹීමක් ඇතිකළා මට. ඇස් පේන්නේ නැති වුණත් පොත් කියවන්න මාව පෙලඹෙව්වා. ඒ අනුව මම පොත්පත් ගොඩක් කියෙව්වා. මම පන්ති පහට යනකොට ලොකු දේශපාලන කියවීමකුත් එක්කයි ගියේ. ඒ සාකච්ඡාවලටත් මම මැදිහත් වෙලා තියෙනවා.
ඔබේ සහෝදරයත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය කළාද?
සමහර විට කරන්න ඇති කියලා මම හිතනවා.
දෘශ්‍යාබාධිත තැනැත්තෙක් විදියට සක්‍රීය දේශපාලනයට යොමුවෙන්න ඔබට තියෙන හැකියාව අනෙක් අයට සාපේක්ෂව අඩුයි. ඒ නිසා ඔබට පක්ෂය තුළ පැවරුණු වගකීම මොකක්ද?
නිශ්චිත වගකීම් පැවරෙන්නේ නැහැ. මම කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු කාලේ, 90-94 කාලේ ජනතා විමුක්ති පෙරමුණට ලොකු හඬක් තිබුණේ නෑ. ඒ වෙලාවේ ශක්තිමත්ව තිබුණේ ස්වාධීන ශිෂ්‍ය සංගමය. ස්වාධීන ශිෂ්‍ය සංගමය කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපක්ෂ සංවිධානයක්. ස්වාධීන ශිෂ්‍ය කණ්ඩායම නොවන කණ්ඩායම් විදියට අපට එකතු වෙන්න සිද්ධ වුණේ ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය ව්‍යාපාරයත් එක්ක නෙවෙයි. කොළඹ විශ්වවිද්‍යාලයේ අපේ නායකයෝ එකතු කරගෙන ඒගොල්ලෝ කළේ ස්වාධීන නොවන, යූ.ඇන්.පී. නොවන කණ්ඩායම් එකතු කරලා තමයි එක්සත් ශිෂ්‍ය සංවිධානය ගොඩනැගුවේ. 90 තමයි ආයෙත් ඒ ශිෂ්‍ය සභාව පටන්ගත්තේ.
මේ සමගම ජාතික චින්තන ධාරාව මතුවුණා. මහාචාර්ය නලින් ද සිල්වා ප්‍රමුඛ කණ්ඩායම ඒකරාශී වීමෙන්. ඊට පසුකාලීනව චම්පික රණවක ඇතුළු කණ්ඩායමක් එකතු වෙලා ජනතා මිතුරෝ කියලා සංවිධානයක් බිහිවෙනවා. අපේ එක්තරා රැස්වීමකදී තමයි මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක, ජනතා විමුක්ති පෙරමුණ කියන නම කොළඹ විශ්වවිද්‍යාලය ඇතුළේ රාව ප්‍රතිරාව දෙන විදියට කතා කළේ. එතකල්ම ජනතා විමුක්ති පෙරමුණ එළිපිට දේශපාලනිකව හැසිරුණේ නෑ.
ශිෂ්‍ය ව්‍යාපාරයෙන් පස්සේ ඔබ ජාතික ක්‍රියාන්විතයන්ට සම්බන්ධ වුණාද?
ඔව්. සමහර වෙලාවට.
ජාතික ලැයිස්තුවට ඔබේ නම එන තැනට ඔබ පත්වෙන්නේ කොහොමද?
ජාතික ජන බලවේගය ජනාධිපතිවරණ මෙහෙයුමේදී ආබාධ සහිත තැනැත්තන්ගේ අන්තර්කරණ කණ්ඩායමක් ගොඩනැගුවා. ඒ කණ්ඩායම විවිධ විද්වතුන්, බුද්ධිමතුන්, සමාජ ක්‍රියාකාරිකයන්, ආබාධ සහිත තැනැත්තන්ගෙන් සමන්විතව ක්‍රියාත්මක වුණේ. අපි ඒ හරහා ජාතික ජන බලවේගය ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙළක් යෝජනා කරලා සාකච්ඡා පවත්වමින් ඒවා ගොඩනැගුවා. ඒකත් එක්ක ඊළඟට අපට පුළුවන් වුණා ආබාධ සහිත තැනැත්තන් කැඳවමින් එම ප්‍රතිපත්තිය එළිදැක්වීමට. ඒ වගේ ක්‍රියාකාරකම් එක්ක තමයි අපට යන්න සිදුවුණේ.
මම රජයේ රැකියාවක් කළා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සමාජ සේවා නිලධාරියෙක් විදියට. ඒ නිලධාරීන්ගේ මට්ටම හැටියට රජයේ නිලධාරියකුට කිසියම් පුද්ගලයෙක් ප්‍රවර්ධනය කිරීම හෝ අගතියට ලක්කිරීමට කටයුතු කරන්න බැහැ වේදිකාවල. අපිට හැම වෙලාවෙම කරන්න සිදුවුණේ තිරෙන් පිටුපස සංවිධානාත්මක වැඩකටයුතු. ඒකත් එක්ක තමයි අපි ඉස්සරහට ආවේ. නමුත් විශ්‍රාම යන්න මට තව මාස 32ක් තියෙනවා. මම තීරණය කළා මේ හැංගිමුත්තම හැමදාම කරන්න බෑ, මගේ ආබාධ සහිත ප්‍රජාවටත්, මගේ පක්ෂයටත් මම මීට වැඩිය වගකීම්සහගතව මැදිහත් වෙන්න ඕනේ කියලා. මම මගේ බිරිඳත් එක්ක කතාකරලා, අයියලත් එක්කත් කතා කරලා තීරණයක් ගත්තා විශ්‍රාම යන්න. ඒ අනුව මම විශ්‍රාම ගත්තා. දැන් මට ආයතන සංග්‍රහය බලපාන්නේ නෑ. ඒ නිසා මට දේශපාලන කටයුතු කරන්න නිදහස තියෙනවා.
ඔබේ බිරිඳත් දෘශ්‍යාබාධිතයිද?
ඔව්.
මේ ප්‍රශ්නයෙන් කාගේ හරි හිත රිදෙනවා නම් මම මුලින්ම සමාව ඉල්ලනවා. කෙනෙක් කියන්න පුළුවන් ඇස් දෙකම හොඳට පෙනෙන, අතපය හොඳට තියෙන පුද්ගලයෝ ගණනාවක් පහුගිය දශක ගණනාව ඇතුළේ රට පාලනය කළා. හැබැයි දැන් අපි කොතැනද ඉන්නේ කියලා. එහෙම තියෙද්දී ඇස් පේන්නේ නැති තවත් පුද්ගලයෙක් ඔය 225 දෙනා අතර පුටුවක වාඩි කළා කියලා රටට සිදුවෙන සුගතිය මොකක්කද කියලා කවුරු හරි ප්‍රශ්න කළොත් මොකක්ද ඔබට දෙන්න තියෙන පිළිතුර?
අපි රෙදි අඳින්නේ, කපු හිටවලා, කපු කැටලා, නූල් අඹරලා, රෙදි වියලා, මහලා කපලා නෙවෙයිනේ අඳින්නේ. රෙදි වියන්න වෙනම කට්ටියක් ඉන්නවා. රෙදි කපන්න කට්ටියක් ඉන්නවා. මහන්නත් කට්ටියක් ඉන්නවා. මට ඇස් නොපෙනීම නිසා මට අහිමි වෙන කොටසක් තියෙනවා. හැබැයි මගේ අනෙක් දේවල් හොඳට වැඩකරනවනේ. මට හොඳ සවන් පත් තියෙනවා. මගේ අවබෝධය බුද්ධිය හොඳින් ක්‍රියාත්මක වෙනවා. මම ඉගෙනගත්ත දේවල් තියෙනවා. ඇස් පෙනුණු පලියට දේශපාලනඥයෙක් වෙන්නේ කොහොමද? මට ඒක තේරෙන්නේ නෑ. කන් ඇහුණු පලියට දේශපාලනඥයෙක් වෙන්නේ කොහොමද? මේගොල්ලන්ට නිසි ආකාරයෙන් ඇහුණා නම්, පෙනුණා නම් අපේ රටේ ආබාධ සහිත පුද්ගලයන් 70%ක් රැකියා විරහිතව ඉන්නේ කොහොමද? අපි හැම වෙලාවෙම ඉන්න ඕනේ අනිත් මිනිස්සුන්ට පින් කරගන්න පුළුවන් පින් කෙත් විදියටද? අපි මනුෂ්‍යයෝ නෙවෙයිද? ඡන්දේ දවසට අපිව වඩම්මවගෙන ගිහිල්ලා මොකක් හරි ලකුණකට කතිරය ගස්සගෙන ආපහු ගිහින් දාන්න මේකද මනුස්සකම? මේකද අපි උරුම කරගත්ත ශිෂ්ටසම්පන්නකම? මේකද අපිට ආගම් විසින් කියාදෙන දර්ශනය? නෑ. පාර්ලිමේන්තුවේ ආබාධ සහිත තැනැත්තෙක් ගිහින් වාඩි කරන්නේ සංකේතාත්මකව නෙවෙයි. ඒක තමයි ජාතික ජන බලවේගයේ හැඩය. ඔවුන් අවධාරණය කරන දේ. අනුර කුමාර දිසානායක සහෝදරයගේ ජාතිය ඇමතීමේ විනාඩි කිහිපයක කතාව තුළ පවා ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ ඔහුගේ දැක්ම එළියට ආවා. ඒකට හේතුව අපි ගැනත් ඔහුගේ ඔළුවේ වැඩකරන නිසා. ආබාධිත අය වෙනුවෙන් කරපු සමුළුව වෙලාවේ අනුර කුමාර සහෝදරයා පැය දෙකහමාරක් අපිත් එක්ක හිටියා. ආබාධිත මිනිස්සු අරගෙන ගිහින් කරන දේශපාලන රංගනයක් නෙවෙයි ඒක.
ජාතික ලැයිස්තුවට නම් නම වැටුණා. ඒක හුදු සංකේතයක් විතරද? නැත්නම් අත්තටම ජාතික ලැයිස්තුව යටතේ ඔබට පාර්ලිමේන්තුවේ අසුනක් හිමිවෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවද?
බලාපොරොත්තුවක්, කැමැත්තක් තියෙනවා. හැබැයි ඒක පක්ෂයේ තීරණයක්. පක්ෂය තීරණය කළොත් මේ අවස්ථාව දිය යුතුයි, මේ අවස්ථාවේදී මට නිශ්චිත භූමිකාවක් කරන්න පුළුවන් කියලා විශ්වාස කරනවා නම් මම ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් ඒ කර්තව්‍යයට උරදෙනවා.
අවස්ථාව ලැබුණොත් මොනවද ඔබට කරන්න පුළුවන්?
අපිට අභියෝග රාශියක් තියෙනවා. අපිට ක්‍රියාත්මක කරන්න වෙනවා පැති කිහිපයකින්. එකක් තමයි සුබසාධනය. දෙවැනි එක බලගැන්වීම. අනෙක් පැත්තෙන් අයිතිවාසිකම් සහ නීතිමය ව්‍යුහය පැත්තෙන් විශාල වෙනස්කම් කරන්න සිදුවෙනවා. මේ ක්‍රියාවලි තුනම එක සමානව යන ක්‍රමයකට ගියොත් තමයි ආබාධ සහිත ප්‍රජාව ගොඩගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපි අවධාරණය කරන දෙයක් තියෙනවා ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්. ආබාධ සහිත ප්‍රජාවගේ ප්‍රශ්න වෙනුවෙන් අයවැය ලේඛනයෙන් නිශ්චිත කොටසක් වෙන්කරන්න ඕනේ. මම හිතනවා ඉදිරි අයවැයෙන් ඒකට අවස්ථාව ලැබෙයි කියලා.
Neth Fm Balumgala යූටියුබ් නාලිකාවෙනි









