චමින්ද කරපු වැඩෙන් සජිත්ට යකා නැගලා!
රනිල් ජනාධිපතිවරණයට එනවා කියන්නේ නැත්තේ ඇයි?
හතර දෙනාම ජපන් මුදල් ඇමැති හමුවෙන්න එක්කගෙන යයි!
අලුත් අවුරුද්දට හයියක්!
නව වසර ආරම්භයේදී විශාල දේශපාලන හයියක් සමග තීරණාත්මකව වැඩ ඇල්ලුවේ අන් කිසිදු පක්ෂයක් නොව, සමගි ජන බලවේගයය. ඒ, ශ්‍රීලනිපයේ දකුණේ බල කණුව වූ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ශාන් විජයලාල් ද සිල්වා මහතා සජබයට එක් කරගනිමිනි. මීට අමතරව කුරුණෑගල තවත් ප්‍රබල ශ්‍රීලනිප පවුලක පුරුකක් වූ දයාශ්‍රිත තිසේරාද සජබයට එක්කර ගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන තිබිණි. මීට අමතරව සජබය ප්‍රමුඛ දේශපාලන සන්ධානය බිහිකිරීම සඳහා නිදහස ජනතා සභාවේ ජී.එල්. පීරිස්, ඩිලාන් පෙරේරා ඇතුළු ප්‍රබලයන් රැසකගේ අනුමැතියද, සුළු පක්ෂ නායකයන් වන රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන් සහ පලනි දිගම්බරම් යන අයගේ අනුමැතියද අලුත් අවුරුද්ද ආරම්භයේදීම සජිත් විසින් ලබාගෙන තිබිණි.
එමෙන්ම රුපියල් බිලියන 50 ඉක්මවා විදුලි බල මණ්ඩලය ලාභ ලබමින් සිටියදී ජනතාව වෙනුවෙන් ඒ සහනය ලබා නොදීමට විදුලි බල මණ්ඩලය කටයුතු කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් ජනතාවට සහන ලබාදෙන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමටද සජිත් කටයුතු කොට තිබිණි.Sri Lanka Latest News
ආණ්ඩුවෙන් නිව්ස් ‘පැළ‘ කරයි!
මේ අතරවාරයේ අලුත් අවුරුද්දේ ආණ්ඩුව පැත්තෙන්ද වරින් වර යම් යම් ප්‍රවෘත්ති පැළ නොවුණා නොවේ. එසේ පැළවුණු එක් පුවතකින් කියැවුණේ විපක්ෂයෙන් ආණ්ඩුවට එක්වීම සඳහා සජබ ප්‍රධානීන් දෙදෙනකු සාකච්ඡා කරමින් සිටින බවකි. මීට අමතරව ආණ්ඩුව හදිසියේම විසුරුවා හරින පුවතක්ද, පාර්ලිමේන්තුව වාර අවසාන කරන පුවතක්ද එසේ ආණ්ඩුව පැත්තෙන් තමන්ට හිතවත් මාධ්‍ය ඔස්සේ පැළකිරීමට කටයුතු කොට තිබිණි. නමුත්, මේවා අතේ රෝල් බව මේ වන විට රටේ ජනතාව දැනුවත්ව සිටින නිසාම එවැනි පුවත් කිසිවකුත් ගණන් ගත් ආකාරයක් දැකගන්නට තිබුණේ නැත. එමෙන්ම ඒ සම්බන්ධයෙන් ජනතාව අතර ලොකු උනන්දුවක් තිබුණේද නැත. ආණ්ඩුව මීට වසරකට පමණ පෙර සිටම විපක්ෂයෙන් විසි ගාණක් එනවා, තිස් ගාණක් එනවා යැයි කියමින් වරින් වර පළකළ පුවත් අතේ පත්තු වී තිබීම ඊට හේතුව වී තිබිණි.
චමින්දගේ අස්වීම!
කෙසේ වෙතත් විවිධ කණ්ඩායම් සජබයට එක්කර ගනිමින් සහ ආණ්ඩුවේ ජනතා මර්දන වැඩපිළිවෙළට විරෝධය පා සියලු දෙනාම කළු ඇඳගෙන අවුරුද්දේ පළමු පාර්ලිමේන්තු රැස්වීමට යම් ශක්තියක් ගෙන පැමිණියද එදින සිදුවූ එක්තරා සිදුවීමකින් මේ සියල්ල කනපිට හැරී ගිය ආකාරයක් දක්නට ලැබිණි. ඊට හේතු වූයේ සජබ ප්‍රබල තරුණ මන්ත්‍රීවරයකු වන බදුල්ලේ චමින්ද විජේසිරි මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවට හදිසියේම ප්‍රකාශයක් කිරීම නිසාය. චමින්ද අඟහරුවාදා පෙරවරුවේම පාර්ලිමේන්තුවට පැමිණ කතානායකවරයා මුණගැසී සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට භාරදී සභාගැබට පැමිණීමට කටයුතු කොට තිබිණි. නමුත් ඒ වනතුරුත් සජිත් හෝ සජබයේ කිසිදු මන්ත්‍රීවරයකු හෝ චමින්ද ඉල්ලා අස්වන බවක් දැන සිටියේ නැත. ඒ අනුව චමින්ද සභාගැබට එද්දී එහි සජිත්, ගයන්ත, කිරිඇල්ල ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු අසුන්ගෙන සිටි ආකාරයක් දැකගත හැකි විය.
කෙසේ වෙතත් චමින්ද තමන් අද දිනයේ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව මෙහිදී සජිත්ට දැනුම් දීමත් සමග කිසිවකු නොසිතූ ආකාරයට සජිත් කෝපයට පත්වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ, ඉතා තීරණාත්මක අවස්ථාවකදී කිසිදු පූර්ව සාකච්ඡාවකින් තොරව මෙවැනි බරපතළ දේශපාලන තීන්දුවක් ගැනීම සම්බන්ධයෙනි.
සජිත්ට යකා නගී!
‘මොනවද මේ කරන කැත වැඩ? මේ වගේ දේවල් කරන්න එපා. අපි මේ සන්ධානයක් හදන්න ලොකු වැඩ කොටසක් කරගෙන යන වෙලාවක ඔයගොල්ලෝ කාටවත් නොකියා මේ වගේ තීන්දු ගත්තාම අපි කොහොමද ඉස්සරහට යන්නේ?’ යනුවෙන් කියමින් සජිත් අතපය විසි කරමින් කතා කිරීම නිසා ආණ්ඩු පක්ෂයේ සිටි මැති ඇමැතිවරුන්ටද විපක්ෂය පැත්තේ යම් ගැටලුවක් මතුව ඇති බවක් දැකගන්නට ලැබිණි. එහිදී සජිත්ට නිවුණු හඬකින් උත්තර දුන් චමින්ද විජේසිරි, තමන් මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමට ගත් තීන්දුවට බලපෑ හේතු සාධක ඉදිරිපත් කරන්නට විය.
මම සර් එක්ක ඉන්නවා
‘නෑ සර් මම ගොඩක් හිතලයි මේ තීන්දුව ගත්තේ. මොකද මම පහුගිය කාලේ වෙච්ච දේවල් ගැන ලොකු කලකිරීමක හිටියේ. මට සර් එක්කවත්, පක්ෂය එක්කවත් කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ දේශපාලනය ගැන මම කලකිරිලා ඉන්නේ. ඒ වගේම මම ආණ්ඩුවට යන්නෙත් නෑ. දේශපාලනයෙන් අයින් වෙන්නෙත් නෑ. ටික කාලයක් මට ඉන්න දෙන්න. මම සර් වෙනුවෙනුයි, පක්ෂය වෙනුවෙනුයි දිගටම වැඩ කරනවා. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා…’ යනුවෙන් චමින්ද කියද්දී සජිත් තවත් කෝපයට පත්වූ ආකාරයකින් පිළිතුරු දෙන ආකාරය සියල්ලන්ටම දැකගත හැකි විය.
මම රනිල් වගේ නෙමෙයි!
‘ඕගොල්ලෝ හිතන්න එපා මම රනිල් වික්‍රමසිංහ කියලා. මාව බිත්තියට හේත්තු කරලා වැඩ කරන්න ලෑස්ති වෙන්න එපා. මම මේ හැමෝටම එක්කයි කියන්නේ. අපි වැඩ කරනවා නම් අවංකවම එකා වගේ වැඩ කරමු. මෙහෙම ගියොත් මටත් යම් යම් තීන්දු තීරණ ගන්න වෙනවා…’ යනුවෙන් කියද්දී සියලු දෙනාම තුෂ්ණිම්භූතව සජිත් දෙස බලා සිටි ආකාරයක්ද දැකගත හැකි විය.
කෙසේ වෙතත් ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේදී සිය කතාව සිදුකළ චමින්ද, විපක්ෂ නායක සජිත් තමන්ට දේශපාලනයේදී පියෙක් මෙන් උදව් උපකාර කළ බව කියමින් සජිත් ගැන විශාල වර්ණනාවක් කිරීමට කටයුතු කළේය. එමෙන්ම අඟහරුවාදා පස්වරුවේ සජිත්ට පණිවුඩයක් එවූ චමින්ද, තමන් සවස මාධ්‍ය හමුවක් පවත්වන බවත්, එහිදීද මෙම කරුණ පැහැදිලි කිරීමට කටයුතු කරන බවත් කියා සිටියේය. ඒ කී ආකාරයටම සවස පැවැති මාධ්‍ය හමුවේදීද සජිත්ව ඉහළින්ම වර්ණනා කරමින් කතා කළ චමින්ද, තමන් ඉදිරියේදීද නැවත වතාවක් දේශපාලනයට පිවිසෙන බවද සඳහන් කර සිටියේය. එමෙන්ම සක්වළ වැඩසටහන හරහා සජිත් රටේ පාසල් දරුවන් වෙනුවෙන් සිදුකරන මෙහෙය ඉතා ඉහළින් අගය කොට කතා කිරීමටද චමින්ද එහිදී පියවර ගත්තේය.
මඩ වැඩ පටන් ගනී!
කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂය සූදානමින් සිටියේ චමින්දගේ ඉවත් වීම හරහා සජබය ඇතුළේ ප්‍රශ්නයක් මතුව ඇති බවත්, සජබය දෙකඩ වී ඇති බවත් කියමින් විශාල ප්‍රචාරක ව්‍යාපාරයක් රැගෙන යෑමටය. නමුත් චමින්ද මාධ්‍ය හමුවේදී සජිත්ව වර්ණනා කරමින් නැවත දේශපාලනයට පිවිසෙන බව සඳහන් කිරීම නිසා ආණ්ඩුවට ඒ මාධ්‍ය චූන් එක ගැනීමට නොහැකි විය. නමුත් සුපුරුදු පරිදි චමින්ද ඉලක්ක කරගෙන ආණ්ඩුව පැත්තෙන් මඩ ප්‍රහාරයක් එල්ල කිරීම ආරම්භ වූයේ ඉන් අනතුරුවය. ඒ, මෙම ඉල්ලා අස්වීම පසුපස ලක්ෂ 900ක ගනුදෙනුවක් සිදුව ඇති බවටත්, චමින්දගෙන් පසුව පාර්ලිමේන්තුවට තේරීපත් වන ඊළඟ නියෝජිතයා වූ නයන වාසලතිලක නමැති කෝටිපති ව්‍යාපාරිකයා ඔස්ටේ්‍රලියානු පුරවැසියකු බවටත් වශයෙන් පුවතක් ප්‍රචාරය කිරීම හරහාය. ඇතැම් සමාජ මාධ්‍ය ජාල වාර්තා කොට තිබුණේ කෝටි 20ක් ලබාගෙන චමින්ද මන්ත්‍රීකමෙන් ඉවත් වූවා යැයි කියාය. මේ පිළිබඳව මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමටද පියවර ගත්තේය. මහින්දානන්ද එහිදී කියා සිටියේ ලක්ෂ 900ක් ලබාගෙන චමින්ද ඉල්ලා අස්වූ බව මාධ්‍ය වාර්තා කොට ඇති බවත්, චමින්දගේ පුටුවට එන ඊළඟ තැනැත්තා ඔස්ටේ්‍රලියානු පුරවැසියකු බවත්, මෙය පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක්කිරීමක් බවත්ය.
ෆොන්සේකා උත්තර දෙයි!
කෙසේ වෙතත් කවුරුත් පුදුමයට පත්කරමින් ඊට පිළිතුරු ලබාදීමට කටයුතු කළේ වෙන කවුරුවත් නොව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාය. ෆොන්සේකා චමින්ද වෙනුවෙන් පෙනී සිටිමින් කියා සිටියේ චමින්ද යනු, ඪ8 රථයකින් පාර්ලිමේන්තු පැමිණ ඇල්ටෝ රථයකින් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී ගෙදර ගිය අයකු බවත්, ඇතැමුන් මෙන් C 90 එකකින් පාර්ලිමේන්තු පැමිණ, V8 එකෙන් ගෙදර යන අයකු නොවන බවත්ය. එමෙන්ම චමින්දගේ පුටුවට පැමිණීමට නියමිත නයන වාසලතිලක පිළිබඳවද ෆොන්සේකා මෙහිදී විශේෂ අනාවරණයක් කළේය. ඒ, ඔහු ඔස්ටේ්‍රලියානු ද්විත්ව පුරවැසියකු නොවන බවත්, ඔහුට ඔස්ටේ්‍රලියාවේ ස්ථිර නේවාසිකභාවය PR පමණක් ඇති බවත්ය. ඒ අනුව, මහින්දානන්ද පාර්ලිමේන්තුවට කළ කතාව සම්පූර්ණයෙන් අසත්‍යයක් බවද ෆොන්සේකා කියා සිටියේය.
කව්ද මේ වාසලතිලක!
ඒ අනුව අපද චමින්දගේ පුටුවට පැමිණීමට නියමිත මේ නයන වාසලතිලක පිළිබඳ යම් සොයාබැලීමක් කළෙමු. එහිදී අපට දැනගන්නට ලැබුණේ නයන වාසලතිලක ඔස්ටේ්‍රලියාවේ කන්ටේනර් බහාලුම් සම්බන්ධ ව්‍යාපාරයක නිරතව සිටින කෝටිපති ව්‍යාපාරිකයකු බවය. පසුගිය මහ මැතිවරණයේදී සජබයෙන් බදුල්ලට තරග කිරීමට කටයුතු කළ වාසලතිලක අවසන් වරට පැවැති ශ්‍රී ලංකා 20-20 ලීග් තරගාවලියේදී ගෝල් ටයිටන්ස් පිලේ හිමිකාරීත්වය දැරීමටද කටයුතු කොට තිබිණි. කුරුණෑගල සජබ මන්ත්‍රී නලින් බණ්ඩාර, නයන වාසලතිලකගේ සමීප හිතවතකු නිසා එවකදී නලින් බණ්ඩාරද ශ්‍රී ලංකා ලීග් තරග පිටියේ නිවේදකයකු වශයෙන් කටයුතු කරන ආකාරයක්ද දැකගන්නට ලැබිණි. මීට අමතරව සජබයට අසීරු අවස්ථා ගණනාවකදීම මූල්‍යමය වශයෙන් උපකාර කිරීමටද වාසලතිලක කටයුතු කොට තිබිණි. චමින්ද මේ කියන වාසලතිලකගෙන් ලක්ෂ 900ක් ගෙන මන්ත්‍රීකමෙන් ඉල්ලා අස්වූ බවට වූ මඩ ප්‍රචාරය දියත් වූයේ බොහෝ දුරට මේ නිසා විය යුතුය.
C 90 කතාව කිව්වේ ඇයි!
කෙසේ වෙතත් ෆොන්සේකා චමින්ද ගැන සඳහන් කරමින් මහින්දානන්දට ක්90 කතාවක් කියමින් පිළිතුරු දීම පසුපසද කිසියම් හේතුවක් තිබේ. ඒ, මීට පෙර අවස්ථාවකදී මහින්දානන්ද හා නලින් බණ්ඩාර අතර පාර්ලිමේන්තුවේ සිදුවූ උණුසුම් කතාබහකදී නලින් බණ්ඩාර, මහින්දානන්ද යනු ක්90 එකකින් පාර්ලිමේන්තු පැමිණි සේල්ස් රෙප් කෙනකු වශයෙන් රැකියාව කළ අයකු බව සඳහන් කර තිබීමය.
ආර්ථික ගැටුම!
මේ සියල්ල අතරවාරයේ සජබ ප්‍රමුඛ සන්ධානය ගොඩනැගීමේ මෙහෙයුම අවසන් අදියරට පැමිණ ඇති ආකාරයක් දැකගන්නට තිබේ. නමුත් තවමත් සජබයේ මන්ත්‍රීවරුන් සහ සජබයට එක්වීමට නියමිත මන්ත්‍රීවරුන් තැන් තැන්වල සිදුකරන හුදකලා ප්‍රකාශවලින් දෙපාර්ශ්වය අතර කිසියම් පරස්පරතාවක් මතුව ඇති ආකාරයක්ද දැකගන්නට නැතුවා නොවේ. සජබ ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පසුගිය සතිය වන විට මේ තත්ත්වය පැහැදිලිවම දැකගන්නට ලැබිණි. මෙහිදී සජබ ආර්ථික ප්‍රතිපත්තිය සකස් කළ හර්ෂ ද සිල්වා මහතා කර තිබූ යම් ප්‍රකාශයක් සහ ඊට පිළිතුරු වශයෙන් සජබයට එක්ව සිටින පොහොට්ටුවේ ආචාර්ය නාලක ගොඩහේවා මහතා ලබාදී තිබූ පිළිතුරක් හේතුකොට ගෙන ආර්ථිකය සම්බන්ධයෙන් යම් මත ගැටුමක් පවතින ආකාරයක් දැකගන්නට ලැබිණි. මේ සම්බන්ධයෙන් සජිත්ට පැමිණිලි කර සිටි බොහෝ දෙනා කියා තිබුණේ මේ තත්ත්වය වහාම විසඳාගත යුතු බවත්, සියලු දෙනා ආර්ථිකය නමැති මාතෘකාව මුල්කරගෙන එක මතයක සිට කතා කළ යුතු බවත්ය. විශේෂයෙන්ම මේ වන විට ආර්ථිකය බරපතළ අර්බුදයක සිරවී තිබීම නිසා ඉදිරි තීරණාත්මක මැතිවරණයකදී දේශපාලන වේදිකාවේ ප්‍රධාන මාතෘකාව ආර්ථික ගැටලුව වීම මත සියලු දෙනාම එක් හඬකින් කතා කළ යුතු බවද එහිදී සියලු දෙනාම සජිත්ට පෙන්වා දී තිබිණි. එමෙන්ම රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තියම සජබයද අනුගමනය කරන්නේ නම් ජනතාව එහි කිසිදු වෙනසක් නොදකින බවද, ජනතාව තලාපෙළන රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවට සුබසාධනය මුල්කොට ගෙන ක්‍රියාත්මක වන ජනතා හිතවාදී ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතු බවද එහිදී බොහෝ දෙනා සජිත්ට දැනුම් දී තිබිණි. ඒ අනුව සජිත් පසුගිය බදාදා දිනයේදී මේ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබිණි.
හර්ෂ අනුර ගැටුමක!
මේ අතරවාරයේ හර්ෂ හා ජවිපෙ නායක අනුර කුමාර දිසානායක අතරද කිසියම් විවාදයක් මතුව තිබිණි. ඒ, ඩොලර් අර්බුදය මුල්කරගෙන ජවිපෙ කළ ප්‍රකාශයකට හර්ෂ දී තිබූ පිළිතුරක් හේතුකොට ගෙනය. එහිදී හර්ෂ කියා තිබුණේ ජවිපෙට මෙම ආර්ථික අර්බුදය විසඳිය හැකි බව තමන් කිසිසේත්ම විශ්වාස නොකරන බවය. ඒ අනුව අනුර ගාල්ලේ පැවැති සමුළුවේදී මීට ප්‍රසිද්ධියේම උත්තර ලබාදීමට පියවර ගත්තේය. එහිදී අනුර කියා සිටියේ, ‘රනිල් ෂඵත් එක ගෙනාවා. හර්ෂ ‘හා’ කිව්වා. රනිල් ෑඡත් එකට හානි වෙන විදිහට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කළා. හර්ෂ ‘හා’ කිව්වා. රනිල් ජාතික සම්පත් විකුණන්න පිඹුරුපත් හැදුවා. හර්ෂ ‘හා’ කිව්වා. රනිල් අසීමිතව බදු ගහනවා. හර්ෂ ‘හා’ කිව්වා. හැබැයි දේශපාලනයේදී සජිත්ට පක්ෂයි රනිල්ට විරුද්ධයි. එක්කෝ ඒවා කියනකොට හර්ෂ ඔළුවෙන් හිටගෙන, නැත්නම් දේශපාලනය කරනකොට ඔළුවෙන් හිටගෙන’ යැයි කියාය.
සුබසාධනයට මුල්තැන!
කෙසේ වෙතත් සජිත් කැඳවා තිබූ විශේෂ සාකච්ඡාවේදීද මාතෘකාව වී තිබුණේ මේ ආර්ථික ප්‍රතිපත්තිය යන මාතෘකාවය. එහිදී මේ සම්බන්ධයෙන් පුළුල් සංවාදයක් ඇතිවූ ආකාරයක් දැකගන්නට ලැබිණි. මෙහිදී සජිත් කියා සිටියේ ආර්ථිකය ගැන කතා කරද්දී පක්ෂයේ සියලු දෙනාම මෙන්ම පක්ෂයට එක්වීමට සිටින සියලු දෙනාමත් එක හඬකින් කතා කළ යුතු යැයි කියාය.
‘රනිල් මේ අරන් යන ආර්ථික ප්‍රතිපත්තියට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. අපේ ආණ්ඩුවක් යටතේ අපි මේ වගේ ජනතාව පීඩාවට පත්කරන ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නේ නෑ. අයි.එම්.එෆ්. එකත් එක්ක දිගටම කටයුතු කරන එකේ කිසි ගැටලුවක් නෑ. අපි ඒ ස්ථාවරයේ ඉන්නවා. හැබැයි එතැනදී අපි ජනතාව ගැන හිතලා, ජනතාව වෙනුවෙන් කරන සුබසාධන වැඩපිළිවෙළටත් ප්‍රමුඛත්වයක් දෙන්න ඕනේ. ජනතාවගේ පැත්තෙන් වෙන්න ඕනේ දේවල් ටික ආණ්ඩුවක් විදියට අපි ඉටුකරන්න ඕනේ…’ යනුවෙන් සජිත් කියද්දී සාකච්ඡාවට එක්ව සිටි හර්ෂ සහ ඉරාන් වික්‍රමරත්න යන දෙදෙනාම ඊට පක්ෂව අදහස් දැක්වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඔවුන් දෙදෙනාද පෙන්වා දුන්නේ ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත්, ජනතාව වෙනුවෙන් සුබසාධන වැඩපිළිවෙළක් දියත් කළ යුතු බවත්ය. කෙසේ වෙතත් ඉටුකළ නොහැකි ජනප්‍රිය පොරොන්දු ප්‍රකාශ නොකළ යුතු බවත්, කළ නොහැකි දේ නොකියා ඉතා ප්‍රවේශමෙන් යුතුව කළ හැකි දේ පමණක් කිව යුතු බවත් මෙහිදී හර්ෂ සහ ඉරාන් සඳහන් කර සිටියහ. ඒ අනුව අවසානයේදි සියලු දෙනාම එක මතයකට පැමිණ තීන්දු කළේ සන්ධානයක් ගොඩනගද්දී දැනට පවතින ආර්ථික ප්‍රතිපත්ති යම් යම් වෙනසකට ලක්කොට සියලු දෙනාටම එකඟ විය හැකි ජනතාවට සහන සලසන ආර්ථික ප්‍රතිපත්තියක් එළිදැක්විය යුතු බවකි.
හතරදෙනාම එකට ගනී!
ඒ අනුව, සජිත් බ්‍රහස්පතින්දා දිනයේදී සජබ සන්ධානයේ ආර්ථික විශේෂඥයන් වන හර්ෂ, කබීර්, ඉරාන් යන තිදෙනාටත්, සන්ධානයට එක්ව සිටින පොහොට්ටුවේ හිටපු ආර්ථික ප්‍රබලයා වන ආචාර්ය නාලක ගොඩහේවාටත් විශේෂ අවස්ථාවක් සඳහා සහභාගි වන ලෙස ආරාධනා කිරීමට පියවර ගත්තේය. ඒ, මේ වන විට දිවයිනට පැමිණ සිටින ජපාන මුදල් අමාත්‍යවරයා වන සුසුකි ෂුනිචි මහතා සමග සිකුරාදා දිනයේදී පැවැත්වීමට නියමිත විශේෂ සාකච්ඡාවට එක්වන ලෙසටය. ඒ අනුව, පසුගිය සතිය වන විට සජබයේ සිටින ආර්ථික විශේෂඥයන් තිදෙනා වූ හර්ෂ, ඉරාන්, කබීර් හා පොහොට්ටුවේ ආර්ථික ප්‍රබලයා වූ නාලක ගොඩහේවා අතර පැවැති යම් යම් මතභේද දුරුකොට ඒ සියලු දෙනා එක මතයකට ගැනීමට සජිත්ට හැකියාව ලැබිණි.
තවත් විදෙස් සංචාරයක්!
පසුගිය කාලය පුරාම විපක්ෂය විසින් ජනාධිපතිවරයාට එල්ල කළ එක් චෝදනාවක් වූයේ සෑම මාසයකම ජනාධිපතිවරයා විදෙස් සංචාරයකට එක්වීමට පියවර ගෙන තිබුණා යැයි කියාය. පිටරට යෑමට නොහැකි වුවහොත් අඩුම තරමේ ජනාධිපතිවරයා ලංකාවේ හෝ මොන යම් පළාතක සංචාරයකට එක්ව සිටි බවද පසුගිය කාලයේදී විපක්ෂය චෝදනා නගා තිබිණි. ආණ්ඩුව පැත්තෙන් නම් කියැවුණේ ජනාධිපතිවරයා එසේ ගියේ නිල සංචාරයන්වලට බවත්, ඒ හරහා රටට යම් වාසියක් ගෙන ඒමට ජනාධිපතිවරයා කටයුතු කොට ඇති බවත්ය. කෙසේ වෙතත් මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ කියන්නට යන්නේ මේ සති අන්තයේ ජනාධිපතිවරයා සිදුකිරීමට නියමිත විශේෂ විදෙස් සංචාරයන් දෙකක් පිළිබඳවය. ඉන් පළමුවැන්න වන්නේ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ආර්ථික සමුළුව පිළිබඳවය. එය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ සෙනසුරාදා (13) දිනයේදීය. ඉන් අනතුරුව ජනාධිපතිවරයා නොබැඳි ජාතීන්ගේ සමුළුවට සහභාගි වීම සඳහා උගන්ඩාවට යෑමට නියමිතව ඇත.
කනනාදන් එළියට!
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මේ උගන්ඩා සංචාරයත් සමග තවත් විශේෂ පුද්ගලයකුද යළි කරළියට පැමිණ තිබේ. ඒ, වෙන කවුරුවත් නොව උගන්ඩාවේ ශ්‍රී ලංකා තානාපති වන වේළුපිල්ලේ කනනාදන්ය. වේළුපිල්ලේ කනනාදන් සැලකෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අතිශය සමීප අයකු ලෙසටය. වරක් මහින්දට තිරුපති වන්දනා කිරීමට යෑම සඳහා පෞද්ගලික ජෙට් යානාවක් උගන්ඩාවේ සිට ලංකාවට එවීමට කටයුතු කොට තිබුණේද මේ කියන කනනාදන්මය. එමෙන්ම පසුගිය කාලයේදී ශ්‍රීලන්කන් ගුවන් යානා දෙකක මුද්‍රිත ද්‍රව්‍ය මෙටි්‍රක් ටොන් ගණනාවක පෙට්ටි විශාල ප්‍රමාණයක් රැගෙන ගිය බවට ඉංග්‍රීසි මාධ්‍ය වාර්තා කොට තිබුණේද උගන්ඩාවටය. මේ නිසා උගන්ඩාවේ තානාපතිවරයා වන වේළුපිල්ලේ කනනාදන් මෙරට මාධ්‍ය අතර බොහෝ ප්‍රකට චරිතයක් බවට පත්ව තිබිණි.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා නිල සංචාරයකට උගන්ඩාවට පැමිණෙන බවට දැනුම් දීමත් සමග තානාපති කනනාදන්ද ඒ පිළිබඳ යුහුසුළු වෙමින් කටයුතු කළ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව නිල හමුවීම්වලට අමතරව තවත් අංග ගණනාවක් ජනාධිපතිවරයාගේ සංචාරයට එක්කිරීමටද කනනාදන් කටයුතු කර ඇති බව පැවැසේ. ඒ අතර ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් හමුවීම, රට ඇතුළේ සුපිරි සංචාර කිහිපයක් සංවිධාන කිරීම ආදිය ඇති බව දැනගන්නට තිබේ.
තවත් දෙන්නෙක් යනවා!
මේ අතර, ජනාධිපතිවරයාගේ සංචාරයට ලංකාවෙන් තවත් විශේෂ අමුත්තන් දෙදෙනකුද එක්වීමට නියමිතව ඇති බව රාජ්‍ය රහස් තීරයට ආරංචිය. ඉන් එක් අයකු වන්නේ ජනාධිපතිවරයාගේ පරිසර කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු වන රුවන් විජයවර්ධන මහතාය. එමෙන්ම එම සංචාරයට රුවන් සමග ඔහුගේ සමීප යෙහෙළියකද සහභාගි වීමට නියමිතව ඇති බව වර්තා වේ. ඇය ව්‍යාපාරික ගනුදෙනුවලට සූර තැනැත්තියක බවද දැනගන්නට ඇත.
මීට අමතරව තවත් සුවිශේෂ පුද්ගලයකුද ජනාධිපතිවරයා උගන්ඩාවේ රැඳී සිටින දින කිහිපය තුළ එරට සංචාරය කිරීමට නියමිතව ඇති බව විශ්වාසකටයුතු ආරංචිවලින් දැනගන්නට තිබේ. ඔහු කවුද, ජනාධිපතිවරයා උගන්ඩාවේ රැඳී සිටියදී ඔහුද උගන්ඩාවට පැමිණෙන්නේ කුමකටද යන්න ඉදිරි ‘රාජ්‍ය රහස්’ තීරයකදී රටට හෙළිදරව් කිරීමට අප සූදානම්ය. බොහෝ දෙනා සැක කරන්නේ මෙම සංචාරය අතරතුරදීද ඉතා තීරණාත්මක සාකච්ඡා කිහිපයක් සිදුවීමට ඉඩ ඇතැයි කියාය.
දැන් ජනතාව දැනුවත්!
මීට පෙර අවස්ථා ගණනාවකදී අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ තොරතුරු හෙළිදරව් කරමින් සජබයෙන් ආණ්ඩුවට එක්වන මන්ත්‍රීවරු ගැන කියමින් ආණ්ඩුවට හිතවත් මාධ්‍යවල පළවූ අතේ රෝල් ගැන සඳහන් කිරීමට පියවර ගත්තෙමු. අප කළ අනාවරණ හේතුවෙන්ම මේ වන විට ජනතාවද එවැනි පුවතක් දුටු සැණින් ‘අයියෝ මේක ආණ්ඩුවේ අතේ රෝලක්’ යැයි කියන තරමට තොරතුරු අතින් දැනුවත්ව සිටින ආකාරයද දැකගැනීමට පුළුවන. මෙවර අප කියන්නට යන්නේද පසුගිය සතියේ ආණ්ඩුව පැත්තෙන් පළවූ තවත් එවැනි අතේ රෝල් පුවතක් පිළිබඳවය. ඒ, එජාප කළමනාකරණ කමිටුව රැස්වී ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කළ බවත්, ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරයට එක්වීම සඳහා සජබ ප්‍රබලයන් දෙදෙනකු සමග සාකච්ඡා කරමින් පවතින බවත්, ඔවුන් දෙදෙනාද ඊට සහාය දැක්වීමට සූදානමින් සිටින බවත්ය. මෙම පුවතද අතේ රෝලක් බව ඉදිරි දින කිහිපය ඇතුළත රටට බලාගැනීමට හැකිවනු නියතය.
රනිල් නිහඬ ඇයි!
ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් එජාපය පැත්තෙන් මේ ආකාරයේ විවිධ අතේ රෝල් පුවත් පළවුවද ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ ආකාරයක් මෙතෙක් දැකගන්නට නැත. ඊටද එක්තරා විශේෂ හේතුවක් තිබේ. මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිදරව් කිරීමට සූදානම් වන්නේ ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කිසිවක් නොකීමට බලපා ඇති හේතුවකි. ඒ, වෙන මොකක්වත් නොව ජ්‍යොතිෂමය කාරණයකි.
පසුගිය මහ මැතිවරණ පරාජයෙන් පසු ඇත්ත වශයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා සිටියේ දේශපාලනයෙන් සමුගෙන විශ්‍රාම සුවයෙන් සිටීමටය. නමුත් ඒ අවස්ථාවේදී රනිල්ගේ එම අදහස වෙනස් කළේ වෙන කවුරුවත් නොව, ඔහුට අතිශය සමීප ජ්‍යොතිෂවේදීන් කිහිප දෙනෙකි. ඔවුන් රනිල් හමුවී ලබාදී තිබූ ජ්‍යොතිෂමය උපදෙසින් කියැවුණේ මේ මොහොතේ දේශපාලනයෙන් සමු නොගන්නා ලෙසත්, තවත් අවුරුදු දෙකක් යෑමට මත්තෙන් ඉතා ප්‍රබල තනතුරක් හිමිවීමේ ග්‍රහ යෝගයක් මතුවීමට නියමිත බවත්ය. ඒ හරහා රටේ ඉහළම තැනකට පත්වීමේ වාසනාව රනිල්ට හිමිවන බවද ඔවුන් එහිදී පවසා තිබිණි. මහ මැතිවරණය පරාජයට පත්වී රනිල් වසරක පමණ කාලයක් පාර්ලිමේන්තුවට පැමිණීම කල් මැරුවේද මෙම ජ්‍යොතිෂ උපදෙස නිසාය.
රාහු-ගුරු සුසංයෝගය
ජ්‍යොතිෂවේදීන් මෙහිදී රනිල්ට පෙන්වා දී තිබුණේ නැවත වතාවක් රාහු, ගුරු සුසංයෝගයක් රනිල්ගේ ග්‍රහචාරය අනුව මතු වන බවත්, ඒ හරහා මෙම තනතුරු ලාභය හිමිවන බවත්ය. 1993 හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ අභාවය සිදුවන අවස්ථාවේදීද මේ ආකාරයටම රනිල්ට රාහු, ගුරු සුසංයෝගයක් බලපා තිබිණි. ඒ අනුව ප්‍රේමදාස පමණක් නොව, ලලිත්-ගාමිණී ඇතුළු ජ්‍යෙෂ්ඨයන් සියලු දෙනාම අභාවප්‍රාප්ත වී රනිල්ට නිකමම අගමැති තනතුර හිමිවූ ආකාරයක් දැකගත හැකි විය. ඒ ආකාරයෙන්ම 2022 වන විට නැවත වතාවක් රාහු ගුරු සුසංයෝග වී රටේ ඉහළම තනතුරකට යෑමට අවස්ථාව උදාවන නමුත්, එම සුසංයෝගයේ බලය අවසන් වූ වහාම තනතුරේ බලය අහිමි වන බව මෙම ජ්‍යොතිෂවේදීන් රනිල්ට දැනුම් දී තිබිණි. පසුගිය කාලසීමාවේම රනිල් කටයුතු කර තිබුණේ මෙම ජ්‍යොතිෂමය උපදෙස ඔළුවේ තබාගෙනය.
ඒ අනුව රාහුගෙන් තමන්ට තිබූ බලය, රාහු මාරුවත් සමග අවසන් වූ බව රනිල් නොදන්නවා නොවේ. නමුත් ගුරුගේ බලය තවමත් පවතින නිසා ගැටලුවක් නොමැති අතර, ලබන මැයි 01 වැනිදා සිදුවීමට නියමිත ගුරු මාරුවත් සමග මෙම රාහු – ගුරු සුසංයෝගයේ බලය සම්පූර්ණයෙන්ම අවසන් වන බවද රනිල් නොදන්නවා නොවේ. පසුගිය කාලයේදී රනිල් මේ සියලු දේශපාලන තීන්දු තීරණ ගත්තේ මේ තත්ත්වය හොඳ හැටි හිතේ තියාගෙනය. ඒ අනුව රනිල් සිටින්නේ මැයිවලින් පසුව මතුවන දේශපාලන තත්ත්වය හොඳ හැටි විශ්ලේෂණය කර බලා තමන්ගේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමටය. අප මෙය ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කරන්නේද ඉතා වගකීමෙන් යුක්තවය.
හදිසි වෙන්න එපා!
ඒ අනුව, අප රනිල් වටා සිටින ඔහුගේ හිතවතුන්ටද කියා සිටින්නේ රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවක් කීමට ඉක්මන් නොවන ලෙසටය. මන්ද යත් යම් හෙයකින් රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට කැට තියා කියන මේ පිරිසට යම් හෙයකින් අවසානයේ රනිල් ජ්‍යොතිෂ උපදෙස් මත ජනාධිපතිවරණයට නොඑන බව ප්‍රකාශ කළහොත් සිදුවන්නේ පසුගිය කාලයේදී අනාවැකි කී ජ්‍යොතිෂවේදීන්ට අත්වූ ඉරණමටම මුහුණ දීමටය.
තවත් නාට්‍යයක්!
2024 මැතිවරණ වසරක් බව මේ වන විටත් ප්‍රකාශයට පත්ව අවසන්ය. ඒ අනුව නියත වශයෙන්ම මෙම වසර ඇතුළතදී ජනාධිපතිවරණය පැවැත්විය යුතුමය. මීට අමතරව අවශ්‍ය නම් මේ වසර ඇතුළත දී මහ මැතිවරණයද පැවැත්වීමට හැකියාව තිබේ. ඒ අනුව ප්‍රධාන පෙළේ ජාතික මැතිවරණ දෙකම මේ වසරේදී පැවැත්වෙනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයය. හුඟ දෙනෙක් කියන්නේ පළමුව ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇතැයි කියාය.
කෙසේ වෙතත් පවතින තත්ත්වය හමුවේ මොනයම් මැතිවරණයක් පැවැත්වුණද එය ආණ්ඩුවට අතිශය අවාසිදායක බව අමුතුවෙන් කිව යුතු නැත. ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් රනිල් ඊට ඉදිරිපත් නොවනු ඇති බවටද, ඉදිරිපත් වුවද ජයග්‍රහණය කළ නොහැකි වනු ඇති බවටද බොහෝ දෙනා තුළ විශ්වාසයක් පවතී. මේ නිසා ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් බේරාගැනීම සඳහා විවිධ විකල්ප යෝජනාද ආණ්ඩුවට මේ වන විට ඉදිරිපත් වෙමින් පවතින බවක් දැකගන්නට තිබේ. ඉන් ප්‍රධානම එකක් වී තිබෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවය. අතීතයේදී නම් මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ මාතෘකාව ජනතාව අතර අතිශය ජනප්‍රිය එකක් වුවද පසුගිය කාලය පුරාම එය අහෝසි කරන බවට ලබාදී තිබූ පොරොන්දු කඩකිරීම හේතුවෙන් මේ වන විට එම මාතෘකාවට ඇත්තේ අවම වටිනාකමකි. එමෙන්ම මේ මොහොතේදී ප්‍රධාන විපක්ෂය වන සජබයත්, ජවිපෙත් ඊට සහාය දක්වනු ඇතැයි සිතිය නොහැකිය.
ප්‍රධාන නළුවා කව්ද!
කෙසේ වෙතත් ජනාධිපතිවරණය ජයගැනීම අසීරු බව වැටහී යෑමත් සමග ඊළඟ නාටකය රඳගදැක්වීම මේ වනව පටන් ගෙන ඇති බවක්ද දැකගන්නට තිබේ. මේ සඳහා මූලිකත්වය ගෙන ඇත්තේ පැති මාරුකිරීමට ප්‍රකට එක්තරා ජ්‍යෙෂ්ඨ දේශපාලන චරිතයකි. ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට වූ නාටකය කරළියට ගෙන ඒමේ මෙහෙයුම භාරවී ඇත්තේ මේ කියන ජ්‍යෙෂ්ඨ දේශපාලකයාටය. ඒ සඳහා තිරය පිටුපස නළු නිළියන් සහ සංවිධාන රැසක්ද, ඊට උපයෝගී කරගත යුතු වචන රැසක්ද සූදානම් කොට ඇති බවක් දැකගන්නට ඇත. ඒ අනුව මේ ජ්‍යෙෂ්ඨ දේශපාලන චරිතය ඉදිරියේදී නායක හිමිවරුන් මුණගැසෙමින් මෙම නාටකය රඟදැක්වීම ආරම්භ කිරීමට නියමිතව ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. එමෙන්ම ඉදිරියේදී කාදිනල් හිමියන් හා විවිධ සංවිධාන හමුවී කෙසේ හෝ මෙම නාටකය තවදුරටත් ඉදිරිරයට ගෙනයාමට ඔවුන් සැලසුම් කර ඇති බවක්ද දැකගන්නට තිබේ. මේ සඳහා ආණ්ඩුව පැත්තෙන්ද විවිධ වරප්‍රසාද ඔවුන්ට ලබාදී ඇති බවක් ආරංචිය. විශේෂයෙන්ම අයවැයෙන් මේ සඳහා මුදල් වෙන්කොට විවිධ කාර්යාල පහසුකම් ලබාදී ඇති බවක්ද, මෙම නාටකයේ ප්‍රධාන චරිත රඟදක්වන පවුල්වලට විවිධ තනතුරු ලබාදී ඇති බවක්ද ආරංචිය. ඒ අනුව අවසාන වශයෙන් ජනාධිපතිවරණ සටනින් ගැලවීම සඳහා මෙම නාටකය තුරුම්පුවක් ලෙස රඟදැක්වීමට ආණ්ඩුව සියලු සැලසුම් සකස් කොට ඇති බවක්ද වාර්තා වේ.
ප්‍රහාරය සූදානම්!
එමෙන්ම මෙම නාටකයකට සජබ සහ ජවිපෙද සම්බන්ධ කරගැනීමේ උත්සාහයක් පවතින නමුත්, සජබ සහ ජවිපෙද දැනටම තීන්දු කොට ඇත්තේ ඊට එරෙහිව දැඩිව ප්‍රතිචාර දැක්වීමටය. විශේෂයෙන්ම ජවිපෙ මෙම නාටකය පසුපස සිටින ප්‍රධාන නළු නිළියන් සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් කිරීමට සූදානමින් සිටින බවද ආරංචිය. එම හෙළිදරව්වෙන් පසු අප සතුව ඇති තවත් තොරතුරු රැසක්ද රටට හෙළිකිරීමට අප සූදානම්ය.
උතුරට නායකයෙක්!
මීට සති දෙකකට ඉහතදී අප ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකළ විශේෂ අනාවරණයකින් කියා සිටියේ නායකත්වය සඳහා උතුරේ ප්‍රධාන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය තුළ විශාල සටනක් මතුව ඇති බවය. දැනට එහි නායකත්වය හොබවන ආර්. සම්බන්දන් මහතා රෝගාතුරව සිටීම හේතුවෙන් එහි නායකත්වය තරුණයකුට භාරදිය යුතු බවටත්, මෙම වසර මැතිවරණ වසරක් වීම හේතුකොට ගෙන වහාම එය සිදුකළ යුතු බවටත් පක්ෂය ඇතුළෙන්ම මතුවුණු යෝජනා හේතුකොට ගෙන මෙම නායකත්ව සටන ආරම්භ වූ බව අපි එහිදී කියා සිටියෙමු. එමෙන්ම ඒ සඳහා දකුණේ සහ ජාත්‍යන්තරයේ ජනප්‍රිය චරිතයක් වූ එම්.ඒ. සුමන්තිරන් මහතාත්, උතුරේ ජනප්‍රිය චරිතයක් වූ ශ්‍රීධරන් මහතාත්, නැගෙනහිර ජනප්‍රිය චරිතයක් වූ යෝගේශ්වරන් මහතාත් ඉදිරිපත්ව සිටින බවත්, බොහෝ දුරට පක්ෂය ඇතුළේ පවත්වන ඡන්දයකින් නායකත්වය තීරණය වනු ඇති බවත් අපි එහිදී සඳහන් කර සිටියෙමු.
අප කළ එම අනාවරණය 100%ක්ම තහවුරු කරමින් මේ වන විට දෙමළ ජාතික සන්ධානය තීරණය කොට ඇත්තේ මේ මස අවසානයේදී පක්ෂය ඇතුළේ ඡන්දයක් පවත්වා පක්ෂයේ නව නායකයා පත්කර ගැනීමටය. ඒ සඳහා 325 දෙනකුට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීමටද දෙමළ ජාතික සන්ධානය තීරණය කොට ඇති බව දැනගන්නට තිබේ. දැනට ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ මෙම ඡන්ද සටනින් සුමන්තිරන් ඉදිරියෙන්ම පසුවන බවය.
ෆොන්සේකාගේ ඉල්ලීම!
මෙවර ජනාධිපතිවරණයේ සජබ අපේක්ෂකයා වෙන කවුරුවත් නොව සජිත් ප්‍රේමදාස මහතා බව එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කොට තිබුණද අවස්ථා දෙක තුනකදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඊට පරස්පර අදහස් ප්‍රකාශ කර තිබූ ආකාරයක් දැකගත හැකි විය. එක් අවස්ථාවකදී ෆොන්සේකා මහතා කියා තිබුණේ ජනතාව ඉල්ලා සිටින්නේ නම් තමන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට සූදානම් යැයි කියාය. එමෙන්ම සජබ ජ්‍යෙෂ්ඨයන් නොමැතිව අවස්ථා දෙක තුනකදී ජනාධිපති අපේක්ෂකත්වය ඉලක්ක කරගෙන වෙනම රැස්වීම් කිහිපයක් සංවිධාන කිරීමටද ෆොන්සේකා කටයුතු කර තිබිණි. මේ නිසාම බොහෝ දෙනා සැක පහළකොට තිබුණේ සජිත් සහ ෆොන්සේකා අතර යම් දේශපාලන ගැටුමක් මතුව ඇති බවටය.
කෙසේ වෙතත් පසුගිය සතියේදී සජිත් සහ ෆොන්සේකා එකට දේශපාලන උත්සවයකට සහභාගි වී සිටි ආකාරයක් දැකගත හැකි විය. ඒ, සජිත්ගේ සක්වල වැඩසටහන යටතේ මීගමුවේ පාසලකට ස්මාර්ට් පන්ති කාමරයක් ලබාදීමේ උත්සවයකටය. ඊට එක්ව සිටි ෆොන්සේකා සජිත් සමග ඉතා සුහදව කතාබහ කළා පමණක් නොව, සිය ආසනය වන කැලණියටද සක්වළ වැඩසටහන යටතේ ස්මාර්ට් පන්ති කාමරයක් ලබාදෙන ලෙසට සජිත්ගෙන් ඉල්ලීමක්ද කළේය. සජිත්ද ඊට වහාම පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ ඉදිරියේදී කැලණියේ දරුවන්ටද ස්මාර්ට් පන්ති කාමරයක් ලබාදීමට තමන් කටයුතු කරනවා යැයි කියාය.