ජනාධිපතිවරයා සිය ඉන්දීය සංචාරයේදී ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිත, ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති සර්ජියෝ ගෝර් මහතාද හමුවී සාකච්ඡා පැවැත්වීමට පියවර ගත්තේය. මීට පෙරද අප මෙම තීරයේ වාර්තා කර සිටියේ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනය ඇමතීම සඳහා පසුගිය සැප්තැම්බරයේදී නිව්යෝර්ක් නුවරට ගිය අවස්ථාවේදීද මේ කියන සර්ජියෝ ගෝර් හමුවී සකාච්ඡා සිදුකොට තිබූ බවකි. එහිදී සර්ජියෝ ගෝර් ජනාධිපතිවරයාට දැනුම්දී තිබුණේ තමන්ට ඕනෑම අවස්ථාවකදී ජනාධිපති ඩොලන්ට් ට්‍රම්ප් මහතා සමග සාකච්ඡා කළ හැකි බවත්, අවශ්‍යතාවක් ඇත්නම් ඕනෑම අවස්ථාවක තමන්ට ඇමතුමක් ලබාදෙන ලෙසත්ය. ඒ බව අප එවකදී රාජ්‍ය රහස් තීරයෙන් වාර්තා කිරීමට පියවර ගත්තෙමු.Sri Lanka Latest News
කෙසේ වෙතත් නවදිල්ලියේදීද දුරකතනය ඔස්සේ කළ සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපතිවරයා හා ගෝර් අතර විශේෂ හමුවක් සංවිධාන විය. එම හමුවේදී තීරණාත්මක කරුණු කීපයක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව ගෝර් ජනාධිපතිවරයාට විශේෂ සඳහනක් කිරීමට පියවර ගත්තේය. ඒ, තමන් ලබන අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට සැලසුම් කොට ඇතැයි කියාය. මේ වනවිට ඇමෙරිකානු රජයෙන් වෙරළාරක්ෂක නෞකා කීපයක් ලංකාවට ලබාදී ඇති අතර ඊළඟ වෙරළාරක්ෂක නෞකාව ලබාදෙන දිනයේදී සර්ජියෝ ගෝර් ලංකාවට පැමිණීමට සූදානමින් සිටින බවක් ඒ අනුව දැනගන්නට ඇත. කෙසේ වෙතත් මේ සාකච්ඡාවේදී දෙදෙනා අතර කතාබහට ලක්වූයේ මොනවාද යන්න ගැන තොරතුරු නැතත් පැය භාගයකට අධික කාලයක් පුරා දෙදෙනා අතර තීරණාත්මක සාකච්ඡාවක් පැවැති බවක් නම් පැහැදිලිය.










