මුලුමහත් ජනතාවම අන්ත අසරණව සිටින අතර , අවම මානව හැඟීමක් හෝ තිබෙන පාලකයෙකුට කිසිසේත්ම කළ නොහැකි ලෙස ආණ්ඩුව තෙල් මිල ඉහළ දමමින් තම අමානුෂික මුහුණුවර සහිත වියරු ස්වභාවය යළිත් එළිදක්වා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.
නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව පෙන්වා දී ඇත.
ජනතාවට මරු පහරක් එල්ල කළ වියරු ආණ්ඩුවක්
දිනපතා ජනතාවට මරුපහරවල් එල්ල කරන ආණ්ඩුව ඊයේ රාත්‍රියේ නවතම ප්‍රහාරය එල්ලකොට තිබේ.මුලුමහත් ජනතාවම අන්ත අසරණව සිටින අතර ,අවම මානව හැඟීමක් හෝ තිබෙන පාලකයෙකුට කිසිසේත්ම කළ නොහැකි ලෙස ආණ්ඩුව තෙල් මිල ඉහළ දමමින් තම අමානුෂික මුහුණුවර සහිත වියරු ස්වභාවය යළිත් එළිදක්වා ඇත.
ජීවන වියදම් පිළිබඳව අමාත්‍ය අනුකමිටුව අදාල තීන්දුව ගත් බව ආණ්ඩුව පවසන අතර මෙවන් ව්‍යසනයක් මොහොතක තෙල් මිල ඉහළ දමා ජනතාව අන්ත අසරණ කිරීමට ගත් තීන්දුවම සැහැසිය.අශිෂ්ට ය.
ලෝක වෙළඳපොලේ තෙල්මිල අසාමාන්‍ය ලෙස පහළ බැස තිබූ පසුගිය වසරේත් ආණ්ඩුව මෙරට තෙල්මිල ඉහළ දැමූ අතර ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යනවිට ලංකාවේද තෙල් මිල ඉහළ යන බවත් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහළ යනවිට ලංකාවේද තෙල් මිල පහළ යන බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන එදා කීවේය.
නමුත්,එදා තෙල්මිල අඩුවීමේ වාසියද ජනතාවට නොදුන් ආණ්ඩුවට අද වුවත් තෙල් ලීටරයක් රුපියල් 110ට වඩා අඩු මිලකට ලබා දිය හැකි වුවද දැවැන්ත මාෆියාවක් තුළින් ආණ්ඩුව ඒ වාසියද ජනතාවට අහිමිකොට තිබේ.
⏹තෙල් මිල ඉහල යාමත් සමඟ මුලු රටේම ආර්ථිකය ව්‍යාකූල වීම නොවැලැක්විය හැකි අතර පොදු ප්‍රවාහන කටයුතුද, බේකරි නිෂ්පාදන මෙන්ම සියලු ආහාර නිෂ්පාදනයන්හි මිළ ගණන් ද ඉතා ඉක්මනින්ම ඉහළ දැමීමට සිදුවනු ඇත.විශේෂයෙන්ම සාමාන්‍ය ජනතාව භාවිතා කරන පොදු ප්‍රවාහන සඳහා පාවිච්චි කරන ඩීසල් මිල අන් කවරදාටත් වඩා ඉහළ දමා ඇති අතර ආණ්ඩුවේ ජනතාද්‍රෝහී පිළිවෙත එයින් පැහැදිලි වේ. ඒ අනුව,අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙන්ම සියලු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වල මිල ගණන් ද ඉහළ යනු ඇත.
ඒ සමඟම ඉතා නුදුරේදීම විදුලි බිලද,ජල බිලද ඉහළ යනු ඇත.
⏹දැනටමත් දැඩිව අසරණව සිටින ධීවර ප්‍රජාවටද ඉන්ධන මිල ඉහළ දැමීමෙන් මරු පහරක් එල්ල වන අතර,ගොවිජනතාව,වතුකම්කරු ජනතාව,සුළුපරිමාණ වෙළෙන්දාගේ සිට සමස්ත ජනතාව මේ තීන්දුව හේතුවෙන් බරපතල ඛේදවාචකයකට හසුවනු ඇත.
මේ වනවිටත් ජනතාව ජීවත් වන්නේ දරාගත නොහැකි ජීවන වියදමකට යටවී වන අතර ආණ්ඩුවේ අලුත්ව තීන්දුවෙන් සිදුවන්නේ එය දෙගුණ තෙගුණ වීමය.
⏹2019 දෙසැම්බර් 01 වන දා ධන කුවේරයින්ට අනුකම්පා කොට ආණ්ඩුව බදු සහන ලබාදුන් අතර එයින් රාජ්‍ය බදු ආදායමෙන් 30% රටට අහිමි විය. ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කළ ඒ අසාර්ථක බදු ප්‍රතිපත්තියෙන් සිදුවූ බරපතල අත්වැරැද්ද තෙල් මිලෙන් සඟවා ජනතාව වෙත ඒ බරද පැටවීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී.
⏹ගජමිතුරන්ට සහන සලසන දැවැන්ත සීනි වංචාවකට,පොල්තෙල් වංචාවකට දොරටු විවර කළාක් මෙන්ම අවසානයේදී මෙරට මහ සයුර පවා වනසා දමන්නට හැකි අනතුරු රටට කැඳවාගත් ආණ්ඩුවකින් ජනතාවාදී තීන්දු බලාපොරොත්තු වීමද විහිළුවකි. බලයට පත්වූදා සිටම මේ ආණ්ඩුව ගත් ජනතාවාදී තින්දුවක් සොයා ගැනීම පවා දුෂ්කර වන නමුත් ජනතා විරෝධී තීන්දුනම් අප්‍රමාණ තිබේ.
⏹බලය ලබා ගන්නාතුරු තමන් තරම් ජනතාවාදී කිසිවෙක් නැති බවට පුරසාරම් දෙඩූ පිරිස අද බලය ලබාගෙන හැසිරෙන ආකාරය පිළිකුල් සහගත ය.ජනතාව තුළ එකී පිළිකුල එය පුපුරා යන මට්ටමට පැමිණ තිබේ.
ඉතිහාසයේ ඛේදනීයම තත්ත්වයක් තුළ අන්ත අසරණව සිටින ජනතාව මෙතරම් කුරිරු ලෙස පීඩාවට පත් කිරීමට තරම් ආණ්ඩුව සාහසික මුහුණුවරක් ගෙන ඇති අතර, මෙරට බිහිවූ දුර්දාන්තම ආණ්ඩුව තමන් බව මේවනවිට අවශ්‍ය තරමටත් වඩා මේ ආණ්ඩුව ඔප්පුකර තිබේ.
සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක සහ සමඟි ජනබලවේගයේ නායක










