ශ්‍රී ලංකා මහ බැංකුවේ නිකුතු සුරක්ෂිතාගාරයේ තැන්පත් කර තිබූ රුපියල් ලක්ෂ 50ක මුදලක් අතුරුදන්වීම සම්බන්ධයෙන් එම අංශයේ එදින සේවය කළ 15 දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගත් බව පොලිසිය පවසනවා.
ඊට අමතරව දර්ශන රැසක් ලබාගෙන ඒ ඔස්සේ ද විමර්ශන සිදුකරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
රුපියල් ලක්ෂ 50ක් අඩංගු මුදල් බණ්ඩලයක් අස්ථානගතව ඇති බවට මහ බැංකුවේ වෝහාරික මුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරී ඒ.ආර්. දයානන්ද මහතා පසුගිය දා කොටුව පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.
මහ බැංකු ගොඩනැගිල්ලේ අධි ආරක්ෂිත කලාපයක පිහිටි නවීන තාක්ෂණයෙන් යුත් ආරක්ෂිත කැමරා සවිකර ඇති භූගතව තිබෙන තෙවැනි මහලේ රාක්කයක තිබියදී මෙම මුදල් අස්ථානගත වී ඇති බවයි පැමිණිල්ලේ දැක්වෙන්නේ.
මුදල් තිබූ රාක්කයේ රුපියල් 5000 මුදල් නෝට්ටු 1000 බැගින් අඩංගු බණ්ඩල 8000ක් පමණ තිබී ඇති අතර, පෙරේදා රුපියල් බිලියන 25ක පමණ මුදලක් බැංකුවෙන් බැහැරට ගෙන ගොස් ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
මේ වන විට කොටුව පොලිසියේ විමර්ශන කණ්ඩායමක් මහ බැංකුව වෙත ගොස් 11 වැනිදා සේවයේ නියුතුව සිටි පිරිසෙන් ප්‍රකාශ ලබාගනිමින් සිටින බව සඳහන්.
ලක්ෂ 50කින් යුත් මුදල් බණ්ඩලය අත් වැරදීමකින් වෙනත් රාක්කයක් වෙත රැගෙන ගියේද යන්න සම්බන්ධයෙන් සැකයක් පැවතුන ද මේ සම්බන්ධයෙන් අපරාධයක් සිදු වූ ආකාරයට විමර්ශන සිදුකරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
ඊට අමතරව මහ බැංකුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් මුදල් ගණනය කිරීමේ පරීක්ෂණ කටයුතු සිදුකරමින් පවතිනවා.
dasathalankanews










