ගේම් ගැහිල්ල පටන් ගත්තා
අප පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරය අවසන් කළේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමෙන් පසු එජාපය සහ සජබය අතර ගොඩනැගෙමින් පැවැති සුහදතාව කඩාකප්පල් කිරීම සඳහා භූතයන් දෙදෙනකු නැවත වතාවක් තිරය පිටුපස සිටිමින් ගේම් ගැසීමට සූදානම් වන ආකාරය රටට අනාවරණ කරමිනි. පක්ෂ දෙක අතර ගොඩනැගෙමින් පැවැති මේ එකඟතාවට පක්ෂ භේදයකින් තොරව එක්සත් ජාතික පාක්ෂිකයනුත්, සමගි ජන බලවේග පාක්ෂිකයනුත් 100%ක් කැමැත්තෙන් සිටින බව සියලු දෙනාම දන්නා කාරණාවකි. ‘රාජ්‍ය රහස්’ තීරය ඔබ වෙත ගෙන එන අප ද ඒ බව නොදන්නවා නොවේ. පක්ෂ දෙකේම පාක්ෂිකයන් අලුත් නායකත්වයක් යටතේ හෝ මේ පක්ෂ දෙක එකතු වෙනවාට කැමැත්තෙන් සිටින බවද රහසක් නොවේ. නමුත් අප මෙම තීරයේ වාර්තා කරන්නේ සම්පූර්ණයෙන්ම 100%ක් නිවැරැදි තොරතුරුය. අප කිසි විටෙකත් හිතලු මත පදනම්ව මෙම තීරයේ අසත්‍ය කරුණු වාර්තා කරන්නේ නැත. අපගේ වගකීම වන්නේද ඉතා නිවැරැදි තොරතුරු පාඨකයා හමුවේ තැබීමය. එසේ නිවැරැදි තොරතුරු අප මෙම තීරය ඔස්සේ වාර්තා කරද්දී ඇතැමුන්ට ඒ සම්බන්ධයෙන් විවිධ විවේචන තිබිය හැකිය. මතුපිට සිට බලන්නෙකුට එජාපය සහ සජබය එකතු වීමට යද්දී ‘රාජ්‍ය රහස්’ තීරය ඊට බාධා කරන බවට හෝ ඊට අකුල් හෙළන බවට හෝ යම් සිතුවිල්ලක් පහළවිය හැකිය. නමුත් ඊට අපට කිරීමට කිසිවක් නැත. මන්ද යත් එය ඒ ඒ පුද්ගලයන්ගේ දේශපාලන දැනුම සහ දේශපාලන කියවීම අනුව සිදුවන්නකි. අප කරන්නේ තිරය පිටුපස සිදුවෙමින් පවතින සියල්ල ඒ අයුරින්ම රටට අනාවරණ කිරීම පමණි. එජාපය සහ සජබය අතර ගොඩනැගෙමින් පැවැති සුහදතාව කඩාකප්පල් කිරීම සඳහා පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය අවසන් කළ සිකුරාදා දිනය වනවිටම එජාපය පැත්තෙන් දේශපාලන ගේම් ගසන්නට පටන්ගෙන ඇති බව අප කියා සිටියේ ඒ තොරතුරු අනුවය.Sri Lanka Latest News
අප කළ එම අනාවරණය පැය 24ක් ඉක්ම යෑමටත් මත්තෙන් 100%ක්ම තහවුරු වූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාමණ්ඩිය වන රංජිත් විජේවර්ධන මහතාට සහ රනිල්ගේ මස්සිනා වන රුවන් විජේවර්ධන මහතාට අයත් පවුලේ පවත්පත් සමූහය වන ‘ලංකාදීප’ ‘සන්ඩේ ටයිම්ස්’ ‘ඩේලි මිරර්’ පුවත්පත් උපයෝගී කරගෙන එජාපය සහ සජබය අතර ගොඩනැගෙමින් පැවැති සමගිය බිඳදැමීම සඳහා සජබය සහ සජබ නායකත්වය ඉලක්ක කොට අසත්‍ය පුවත් පැළකිරීමේ මෙහෙයුමක් ආරම්භ කොට තිබීම හරහාය. ඒ අනුව රෝහලේ සිටියදීම සජබය ඇතුළේ මන්ත්‍රීවරුන් බිඳවීම සඳහාත්, සජබ මන්ත්‍රීවරු කණ්ඩායමක් කඩාගෙන එජාපය පැත්තට ගැනීම සඳහාත්, සජබ නායකත්වය අපහසුතාවට පත්කිරීම සඳහාත් මෙසේ අසත්‍ය පුවත් පැළකිරීම රනිල්ගේ පාර්ශ්වයෙන් ආරම්භ කොට තිබීම විශේෂ සිදුවීමක් විය.
රනිල්ගේ හැංගුණු ලෙඩේ
අධිකරණයේදී ඇප ගැනීම සඳහා නීතිඥවරුන් විසින් රනිල්ට රෝග ගණනාවක් ඇති බව පළමු වතාවට අධිකරණය හමුවේ අනාවරණ කරනු ලැබිණි. ඒ කියා සිටියේ ශාරීරික ලෙඩ රෝග ගැනය. අප දන්නා පරිදි නම් මෙම ශාරීරික ලෙඩ රෝගවලට අමතරව අතිභයානක නිධන්ගත දේශපාලන රෝගයක්ද රනිල්ට තිබේ. ඒ, වෙන මොකක්වත් නොව මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවත් පැළකරමින් දේශපාලන කිරීමේ නිධන්ගත රෝගයය. රනිල්ගේ දේශපාලන ජීවිතයේ ආරම්භක අවධියේ සිටම එම රෝගය වරින් වර ඉස්මතු වන ආකාරයක් දැකගන්නට ලැබිණි. එජාප නායකයා ලෙස වසර 30කට අධික කාලයක් කටයුතු කරද්දී එජාපය ඇතුළෙන් තමන්ට එරෙහිව ආ කැරැලි රැසකදීම රනිල්ගේ මෙම රෝගය ඉහළ නගින ආකාරයක් දැකගත හැකිවිය. ඒ අනුව සිය මස්සිනා වූ රුවන් විජේවර්ධනලාට අයත් ලංකාදීප පුවත්පත් සමූහය උපයෝගී කොටගෙන තමන්ට එරෙහිව කැරැලි ගසන්නන්ට සහ තම විරුද්ධවාදීන්ට එරෙහිව විවිධ අසත්‍ය පුවත් පැළකරමින් දේශපාලනය කිරීම රනිල්ගේ සිරිත විය. දේශපාලනඥයකු වූ විට ජනතාව සමග සිටිමින් දේශපාලනය කළ යුතු වුවද රනිල් කිසි විටෙකත් ජනතාව කෙරෙහි විශ්වාසය තැබූ දේශපාලඥයකු නොවීය. රනිල් විශ්වාස කළේ සිය පවුලේ පත්තරවලින් අසත්‍ය පුවත් පැළකරමින්, තම විරුද්ධවාදීන්ට පහර දෙමින්, තමන්ට අවශ්‍ය දේ සහ තමන් සිතන දේ ප්‍රකාශයට පත්කරමින් කරන දේශපාලනයය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකාවට නිදහස දිනා දුන් අභිමානවත් පක්ෂය වන, රටට ජනාධිපතිවරුන් අගමැතිවරුන් බිහිකළ දැවැන්ත පක්ෂය වන, කිසිවකුටත් බිඳලිය නොහැකි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති සිදුකළ එක්සත් ජාතික පක්ෂය රනිල්ගේ වසර 30කට අධික නායකත්වය යටතේ බින්දුවටම වැටීමය. අවසානයේදී හයෙන් පහක බලයක් සහිතව සිටි පක්ෂයක් රනිල්ගේ නායකත්වය යටතේ එකදු මන්ත්‍රීවරයකුට හෝ පාර්ලිමේන්තු යෑමට බැරි වූ තත්ත්වයකට පත්වූයේ ජනතාව සමග නොසිට පත්තර හරහා රනිල් කිරීමට ගිය දේශපාලන සූදුව නිසාය.
ලෙඩේ දරුණු වුණා
ඒ අනුව රනිල්ට ඇති මේ සුපුරුදු දේශපාලන රෝගය යළිත් ඉස්මතු වීමට පටන් ගත්තේ රනිල් රෝහලේ ගතකළ අවසන් දින දෙකේදී සිටමය. රනිල් බන්ධනාගාරගතව සිටි දිනයේත්, රෝහල්ගතව සිටි දින හතරේත් දිනකට දෙවරක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඔහුගේ දුක සැප බැලීම සඳහා බන්ධනාගාරයටත්, රෝහලටත් ගියේය. තමන්ට කුමන දේශපාලන කෙණෙහිලිකම් කළද, තමාව පරාජයට පත්කිරීම සඳහා එළිපිට කටයුතු කළද, තම පක්ෂය කැඩීම සඳහා කළ හැකි සියලු කුප්ප දේශපාලන ගේම් ගැසූවද ඒ සියල්ල අමතක කළ සජිත්, රනිල් කරදරේ වැටුණු අවස්ථාවේ රනිල්ගේ දුක සැප බැලීම සඳහාත්, ඔහුව නිදහස් කරගැනීම සඳහාත් කටයුතු කළේ කිසිදු තරහා මරහක් හිතේ තබා නොගෙන සද්භාවයෙන්ය. පළමු දවස් දෙක තුනේ හතරගාතේ වැටී සිටි රනිල් තමන්ව නිදහස් කරගැනීම සඳහා සටන් කරන ලෙසට සජිත්ගෙන් බැගෑපත්ව ඉල්ලා තිබූ නමුත් රෝහල්ගතව සිටි අවසන් දින දෙකේදී නැවත වතාවක් සිය සුපුරුදු ස්වභාවයට අනුගත වෙමින් දේශපාලන ගේම් ගැසීම ආරම්භ කිරීමට පියවර ගෙන තිබිණි. ඒ බව හොඳින්ම තහවුරු වූයේ රෝහලේ සිටි අවසන් දිනයේදී රනිල්ව බැලීමට සජිත් ගිය අවස්ථාවේදීය. එදින හිටපු ඇමැතිවරයකු මෙන්ම හිටපු එජාප මහලේකම්වරයකුද වූ අකිල විරාජ් කාරියවසම්ද රනිල් සමග රෝහල් කාමරයේ සිටියේය. එහිදී සජිත් පැමිණ රනිල්ගේ දුක සැප විමසීමෙන් පසු රනිල් සජිත්ට සඳහන් කොට සිටියේ ටිකක් අමුතු කතාවකි.
‘සජිත් දැන් ඔයා පරිස්සම් වෙන්න ඕනේ. දැන් මේ අය ඔයාගෙ පස්සෙත් එළවන්න පටන් අරන්. මට ආරංචියි ඉංජිනියර් කෝපරේෂන් එකේ වෙච්ච ප්‍රශ්නෙකට ඔයාගෙන් ප්‍රකාශයක් ගන්න ලෑස්ති වෙනවා කියලා. ඒ හින්දා දැන්ම තියලා හොඳ ලීගල් ටීම් එකක් ලෑස්ති කරගන්න…’ යනුවෙන් සිය සුපුරුදු කට්ට කෛරාටික ස්වරූපය ආරූඪ කරගෙන රනිල් කියද්දී ඔහු අසල සිටි අකිල කිසිවක් නොදන්නා ගානට ගල් ගිල්ලා සේ සිටි ආකාරයක් සජිත්ට දැකගන්නට ලැබිණි. ඒ අනුව දෙදෙනාගේම හැටි දන්නා සජිත්ට තමන්ට එරෙහිව කුමක් හෝ දේශපාලන ගේමක් කරකැවෙන ආකාරයක් ඉවෙන් මෙන් වැටහිණි. ඒ අනුව සජිත්, රනිල් කී එම කතාවට වචනයකින් හෝ උත්තර ලබාදීමට කටයුතු කළේ නැත. ඒ අනුව සජිත් කළේ වෙනදා මෙන්ම රනිල්ගේ දුක සැප විමසා ඉදිරි නීතිමය කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කොට රෝහලෙන් පිටව ඒමය.
සජිත් සිතූ ආකාරයටම රෝහලේ සිට එළියට පැමිණ පැය කීපයක් ඉක්ම යෑමට මත්තෙන් බළලා මල්ලෙන් එළියට පැන්න ආකාරයක් දැකගන්නට ලැබුණේ රනිල්ගේ පාර්ශ්වයේ නිවුස් ප්ලාන්ට් කරන (පැළ කරන) එක්තරා වෙබ් අඩවියක හිටි හැටියේම ‘සජිත් පසුපස අල්ලස් කොමිසම එළවන්නට පටන් ගනී’ යනුවෙන් කියමින් පුවතක් පළවීම හරහාය. සජිත් නිවාස අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරද්දී ඔහු යටතේ තිබූ ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් සිය බිරිය වූ ජලනි ප්‍රේමදාස මහත්මියට අයත් රූපලාවන්‍යායතනයක රාජකාරි සඳහා යොදවාගෙන ඇති බවට අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ලැබී ඇති බව එම පුවතින් ස`ඳහන් කොට තිබිණි. ඒ අනුව අල්ලස් කොමිසම සජිත්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට සූදානමින් සිටින බවද අදාළ පුවතේ වැඩිදුරටත් සඳහන්ව තිබිණි.
අදාළ වෙබ් අඩවිය කාගේ හෝ කීමකට අනුව කිසිදු සොයා බැලීමකින් තොරව මෙම පුවත පළ කළද වැඩේ වැරැදුණේ එම පුවත මීට වසරකට පෙරාතුව ද මේ අයුරින්ම මාධ්‍ය මගින් පළකොට තිබීම නිසාය. පසුගිය ඔක්තෝබර් මාසයේ ජනාධිපතිවරණ සමය වනවිට සජිත්ට මඩ ගැසීමට සහ ප්‍රහාර එල්ල කිරීම සඳහා මේ පුවත මේ අයුරින්ම මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීමට පිරිසක් කටයුතු කොට තිබිණි. ඒ අනුව කිසියම් පුද්ගලයකු සජිත්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටද පියවර ගෙන තිබිණි. නමුත් එය ජනාධිපතිවරණය ඉලක්ක කොටගෙන ගෙනගිය අසත්‍ය මඩ ප්‍රචාරයක් බව සියලු දෙනාටම පැහැදිලිවම දැකගන්නට ලැබිණ. එසේ තිබියදී මෙවර රනිල් රෝහලෙන් පිටවීමට පැය කීපයක් තබා නැවත වතාවක් කිසියම් පුද්ගලයකු මෙම පැමිණිල්ලම අල්ලස් කොමිසමට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණේ පුදුමසහගත ආකාරයටය. ඊට රනිල්ට හිතවත් මාධ්‍යවලින් ප්‍රචාරයක් ලබාදීමටද පියවර ගෙන තිබුණේ පුදුමසහගත ආකාරයටය. සජිත් පසුපස ආණ්ඩුව පන්නන බව රනිල් ඊට පැය කිහිපයකට පෙර සජිත්ටම කියා සිටින්නේ පුදුමසහගත ආකාරයටය. නමුත් විශේෂ සිදුවීම වන්නේ වසරකට ආසන්න කාලයක් තිස්සේ මෙම චෝදනාව සිදුකරන නමුත් අද වනතුරු එය තහවුරු කරගැනීමට හැකියාවක් ලැබී නොතිබීමය.
රුවන්ගේ වෙස්මුහුණ
ඉන් අනතුරුව එම පුවත පළකොට පැය කීපයක් ගතවීමට මත්තෙන් රනිල්ගේ මස්සිනා වන රුවන් විජේවර්ධනට අයත් ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත මෙහි ඊළඟ පියවර තබමින් සජබයට සහ සජිත්ට එරෙහිව සිය මුල් පිටුවේම පුවතක් පළකිරීමට කටයුතු කොට තිබිණි. කවුරුන් කෙසේ කීවද එජාපයේ නියෝජ්‍ය නායකයා වන රුවන් විජේවර්ධනද මේ වනවිට රනිල් වික්‍රමසිංහ මෙන්ම සජබයට එක් මුහුණක් පෙන්වමින් තිරය පිටුපස වෙනත් ආකාරයකට කටයුතු කරන දෙබිඩ්ඩෙක් බව තහවුරු වී අවසානය. රුවන් මේ දෙබිඩි චරිතය රඟපෑවේ අද ඊයේ නොව පසුගිය ජනාධිපතිවරණ සමයේ සිටම රුවන් මේ දෙබිඩි චරිතය රඟපෑමට කටයුතු කළේය. ඉකුත් ජනාධිපතිවරණ සමයේදී ඒ සම්බන්ධයෙන් අතිවිශේෂ අනාවරණයක් ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ කරමින් අප කියා සිටියේ රුවන්ගේ හයිඩ් පාර්ක්හි පිහිටි නිවසේ සජබය දෙකඩ කැඩීමේ සාකච්ඡා දියත් වූ බවත්, ඊට සජබ මන්ත්‍රීවරුන් සහභාගී කරවාගෙන සජිත් පරාජයට පත්කිරීමේ කුමන්ත්‍රණයක් සිදුකළ බවත්ය. අප ඒ අනාවරණය කළේම ‘හයිඩ් පාර්ක් කුමන්ත්‍රණය’ යන ශීර්ෂ පාඨය යටතේය. එසේ වුවත් රනිල් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු රනිල්ව බේරාගැනීම සඳහා බොරු මුහුණක් දමාගෙන සජිත්ව හමුවීමට පැමිණ උදව් ඉල්ලා බැගෑපත් වූයේද මේ කියන රුවන්මය. එසේ තිබියදීත් පසුගිය සඳුදා දින රුවන් විජේවර්ධනට අයත් ලංකාදීප මුල් පිටුවේ පළවූ පුවතකින් වාර්තා කොට තිබුණේ ‘විපක්ෂයේ ප්‍රබලයෙක් ළඟදීම අත්අඩංගුවට’ යැයි කියාය.

පළමුව වෙනත් වෙබ් අඩවියේ සජිත්ට එරෙහිව පළකළ පුවත අසත්‍යයක් වීමෙන් එය වැරැදුණු නිසා සිරිකොත අලුත්වැඩියා කිරීම සඳහා සිරිකොත අලුත්වැඩියා කිරීම සඳහා ඉංජිනේරු සංස්ථාවෙන් සේවකයන් යොදාගෙන ඇති බවට ලැබී ඇති පැමිණිල්ලකට අනුව එසේ විපක්ෂයේ ප්‍රබලයකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවත්, දැනටමත් හිටපු මහලේකම් අකිල විරාජ් කාරියවසම්ගෙන් අල්ලස් කොමිසම ප්‍රකාශයක් ලබාගෙන ඇති බවත් එම පුවතින් කියැවිණි. මුලින් වෙබ් අඩවිවල සජිත්ගෙන් ප්‍රශ්න කිරීමට යනවා යැයි පළවුවත් එය වැරැදුණු නිසා රුවන්ට අයත් පත්තරවල විපක්ෂයේ ප්‍රබලයකු අත්අඩංගුවට ගන්න යනවා යැයි කියමින් විවිධ ආකාරයේ පුවත් පළකොට සජිත්ව බියගැන්වීමත්, සජිත්ව අපහසුතාවට පත්කිරීමත්, ගොඩනැගෙමින් පවතින සජබ – එජාප සමගිය කඩාකප්පල් කිරීමත් එහි යටි අරමුණ වී තිබිණ.
සන්ඩේ ටයිම්ස් අතේ රෝල

ඒ සියල්ල අතරවාරයේ රනිල් නිවසේ සිට එජාප සංවත්සරය පවත්වන ආකාරය පිළිබඳවද සැලසුම් කළේය. එහිදී රනිල්ගේ සැලසුම වී තිබුණේ විපක්ෂයේ සියලු නායකයන්ට ආරාධනා කොට ලොකු ෂෝ එකක් දමා මෙය සැමරීමටය. එමෙන්ම සජිත් සහ සජබය සමුළුවට ගෙන්වාගෙන ඒ හරහා විශාල පාක්ෂිකයන් පිරිසක් සමුළුවට සහභාගී කරවා ගැනීමද රනිල්ගේ සැලසුම වී තිබිණි. මෙය හොඳින්ම තහවුරු වූයේ පසුගිය ඉරිදා උදේම වෙළෙඳපොළට පැමිණී රුවන් විජේවර්ධනට අයත් ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතේ මුල් ශීර්ෂයෙන්ම ඊට අදාළ පුවතක් වාර්තා කොට තිබීම හරහාය. එම පුවතේ සඳහන්ව තිබුණේ මෙවර එජාප සමුළුව මහ ඉහළින් පැවැත්වීමට කටයුතු සැලසුම් කොට ඇති බවත්, ඊට සජබයටද ආරාධනා කිරීමට පියවර ගෙන ඇති බවත්ය. ඒ සම්බන්ධයෙන් පුවත්පත සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරට කතා කළ විට එජාප සමුළුවට සහභාගි වන බව සජබ මහලේකම්වරයා තහවුරු කළ බවද එම පුවතේ වැඩිදුරටත් සඳහන්ව තිබිණි. මෙම පුවත රුවන් විජේවර්ධනගේ ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතේ පළකොට තවත් පැය කීපයක් යෑමට මත්තෙන් එජාපය පාර්ශ්වයෙන් තමන්ට හිතවත් වෙබ් අඩවිවල පළකොට තිබූ තවත් පුවතක සඳහන් වූයේ සජිත් ඇතුළු සියලු සජබ මන්ත්‍රීවරුන්ට පනවා තිබූ එජාප පක්ෂ තහනම ඉවත් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇතැයි කියාය. මේ සියලු පුවත් ප්ලාන්ට් කිරීම හරහා රනිල් සැලසුම් කළේ සජබ මන්ත්‍රීවරු ලවා සජිත්ට බලපෑම් කොට සජිත්වත්, සජබයත් කෙසේ හෝ එජාප පක්ෂ සම්මේලනයට ගෙන්වා ගැනීමටය. එසේ ගෙනැවිත් සිරිකොත ඇතුළේ ලොකු ෂෝ එකක් දැමීමටය.
බොරුව හෙළිවුණා
නමුත් පැය කීපයක් යෑමට මත්තෙන් රනිල්ගේ සැලසුම බකල් වී ගියේ ඒ පුවත් සියල්ලක්ම අසත්‍ය ඒවා බව තහවුරු වීම නිසාය. ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතේ සජබයට එජාප සමුළුවට ආරාධනා කොට ඇති බවත්, සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර එම ආරාධනාව පිළිගෙන ඊට සහභාගි වන බව තහවුරු කර ඇති බව වාර්තා කොට තිබීම නිසාත් පුවත පළවූ සැණින් සජබ මන්ත්‍රීවරුන් ඒ සම්බන්ධයෙන් රංජිත් මද්දුමබණ්ඩාරගෙන් දිගින් දිගටම විමසීම් කිරීමට පියවර ගෙන තිබිණි. එහිදී ඒ සියලු දෙනාටම රංජිත් කියා සිටියේ එවැනි ආකාරයේ කිසිදු ආරාධනාවක් මේ දක්වා නිල වශයෙන් සජබයට ලැබී නොමැති බවත්, සන්ඩේ ටයිම්ස් පුවත්පත තමාට කතා නොකළ බවත්, තමන් සන්ඩේ ටයිම්ස් පුවත්පතට කිසිදු ආකාරයේ ප්‍රකාශයක් ලබාදී නොමැති බවත්ය. ඒ අනුව මෙම අසත්‍ය පුවත් පළකිරීම රනිල්ගේ පැත්තෙන් හිතාමතාම සිදුකරන්නක් බව සජබ මන්ත්‍රීවරුන්ටද වැටහිණි. ඒ අනුව සජබ මන්ත්‍රීවරුන්ද තීන්දු කළේ වහාම මාධ්‍ය හමු කැඳවා ඒ සම්බන්ධයෙන් රට දැනුවත් කිරීමටය. ඒ අනුව පළමු මාධ්‍ය හමුව පැවැත්වූයේ නලින් බණ්ඩාරය. නලින් බණ්ඩාර පැහැදිලිවම කියා සිටියේ ඔය කියන ආකාරයේ කිසිදු ආරාධනාවක් සජබයට ලැබී නොමැති බවත්, මළ ගෙදරකට ආරාධනාවකින් තොරව ගියද, මඟුල් ගෙදරකට ආරාධනාවකින් තොරව යා නොහැකි බවත්ය. එමෙන්ම නලින් එජාප – සජබ එකතු වීම සම්බන්ධයෙන් යන කතාවලට පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ සජබය යනු මේ වනවිට දැවැන්ත ඡන්ද සංඛ්‍යාවක් පවතින විපක්ෂයේ එකම පක්ෂය බවත්, අවශ්‍ය නම් ඕනෑම අයෙකුට සජබය සමග එකතු වීමේ ගැටලුවක් නොමැති බවත්ය.
සිරසත් අහුවුණාද?

මේ අතර සිරස ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලයේද පසුගිය සතියේ අපූරු පුවතක් ප්ලාන්ට් වී තිබූ ආකාරයක් දැකගන්නට ලැබිණ. එහි සඳහන්ව තිබුණේ රජයේ වියදමින් සිරිකොත පක්ෂ මූලස්ථානය අලුත්වැඩියා කිරීමකට අදාළව ලැබුණු පැමිණිල්ලකට අනුව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සජිත්ට අල්ලස් කොමිසමෙන් කැඳවීමක් ලැබී ඇති බවකි. නමුත් ඒ වනවිටත් එවැනි ආකාරයේ කිසිදු කැඳවීමක් සජිත්ට ලැබී නොතිබුණු පසුබිමක් යටතේ රනිල්ගේ නිව්ස් ප්ලාන්ට් මාධ්‍ය කල්ලිය සිරස මාධ්‍යයද අල්ලාගෙන ගේම් ගැසීම ආරම්භ කර ඇති බවක් පැහැදිලි විය. බොහෝ දුරට මෙම කණ්ඩායම සිරස මාධ්‍ය එ සඳහා යොදාගෙන ඇත්තේ ඉකුත් වතාවේ හිරු නාළිකාව යොදාගෙන හරිනි රනිල්ව බැලීමට මහ රෑ රෝහලට පැමිණි බවට අතේරෝලක් ගසා රටම හමුවේ පචවී තිබීම නිසා විය හැකිය. දැන හෝ නොදැන සිරසද රනිල්ගේ මේ මාධ්‍ය කල්ලියේ ප්ලාන්ට්වලට හසුව තිබූ ආකාරයක් මේ හරහා දැකගත හැකි විය.
මේ සිදුවීමෙන් පසු හර්ෂණ රාජකරුණාද මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව තහවුරු කොට සිටියේය. එහිදී මාධ්‍ය මගින් සජිත්ට එල්ල කොට ඇති චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය විමසද්දී හර්ෂණ පැහැදිලිවම කියා සිටියේ එවැනි ආකාරයේ කිසිදු කැඳවීමක් හෝ චෝදනාවක් සජිත්ට අල්ලස් කොමිසමෙන් ලැබී නොමැති බවත්, මේවා සියල්ලම මාධ්‍යයේ පළවී ඇති පුවත් පමණක් බවත්ය.
ඒ අනුව රනිල් රෝහලෙන් පිටවූ අවස්ථාවේ සිටම විවිධ වෙබ් අඩවි හරහාත්, රුවන් විජේවර්ධනට අයත් පුවත්පත් හරහාත්, සිරස සමාජ මාධ්‍ය ජාල හරහාත් ඇතැම් කණ්ඩායම් මේ සිදුකළ අසත්‍ය පුවත් පැළකිරීමේ මාධ්‍ය මෙහෙයුම පිළිබඳ පසුගිය අඟහරුවාදා දිනයේදී අප ‘මව්රට නිවුස්’ වෙබ් අඩවිය ඔස්සේ අතිවිශේෂ අනාවරණයක් කිරීමට පියවර ගත්තෙමු. ඒ අනුව සෙනසුරාදා දින සිට අඟහරුවාදා දිනය දක්වා ගෙවුණු දින 4ක කාලය තුළ රනිල්ගේ පැත්තෙන් ගෙනගිය මාධ්‍ය මෙහෙයුම් පිළිබඳ පැහැදිලි විස්තරයක් එම පුවතේ අපි සඳහන් කළෙමු. පහත පළවන්නේ පසුගිය අඟහරුවාදා දින අප පළකළ එම පුවතය.
මව්රටනිව්ස් හෙළිදරව්ව
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඒ මහතා නිදහස් කරගැනීම සදහා සමගි ජන බලවේගය සහ එහි නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් දැරූ අවංක උත්සාහයෙන් පසු එම පක්ෂ දෙක එකමුතු වනු ඇති බවට පක්ෂ දෙකේම සාමාජිකයන් බලාපොරොත්තු වුවද මේ වනවිට සුපුරුදු පරිදි එක්සත් ජාතික පක්ෂ නායකත්වය විසින් එම එකමුතුව කඩාකප්පල් කිරීම සදහා කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
රනිල් වික්‍රමසිංහ මහතා ඇප ලබා නිදහස් වී එළියට පැමිණි දිනයේ සිටම යම් යම් පිරිස් සජබය දෙකඩ කිරීමට සහ සජබ නායකත්වය අපහසුතාවයට පත් කිරීම සදහා සුපුරුදු පරිදි වික්‍රමසිංහ මහතාගේ මස්සිනා වන රුවන් විජයවර්ධන මහතාට අයත් පුවත්පත් ජාලය උපයෝගී කොටගෙන ප්‍රවෘත්ති ‘පැළ‘ කරමින් දේශපාලන ගේම් ගැසීම ආරම්භ කොට තිබීම ඊට හේතුව වී තිබේ.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලැබුණු දිනයේදීම යම් අයකු සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කොට අල්ලස් කොමිසම හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කියා තිබුණේ ප්‍රේමදාස මහතා යහපාලන ආණ්ඩුවේ අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරද්දී ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් ඒ මහතාගේ බිරිය වූ ජලනි ප්‍රේමදාස මහත්මියගේ ව්‍යාපාරික ස්ථානයේ රාජකාරී කටයුතු සදහා යොදවා ගැනීම හරහා පොදු දේපොළ අවභාවිත කොට ඇති බවත්, එය වික්‍රමසිංහ මහතාට එල්ල වී ඇති චෝදනාව හා සමාන එකක් වන නිසා ඒ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කළ යුතු බවත්ය.
මෙම චෝදනාව ඉකුත් ඔක්තෝබර් මාසයේදී මේ ආකාරයටම සජිත් ප්‍රේමදාස මහතා අපහසුතාවයට සහ පරාජයට පත්කිරීම සදහා රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය විසින්ම අල්ලස් කොමිසම වෙත ඉදිරිපත් කොට තිබූ එකක් බවත්, නැවත වතාවක් එය අලූත් පැමිණිල්ලක් ලෙස පෙන්වමින් විපක්ෂනායකවරයා අපහසුතාවයට පත්කිරීම සදහා වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය විසින් අල්ලස් කොමිසම වෙත සිදුකර ඇති එකක් බවත් සජබ මන්ත්‍රීවරුන්ගේ අදහස වී තිබේ.
එමෙන්ම වික්‍රමසිංහ මහතාගේ මස්සිනා වන රුවන් විජයවර්ධන මහතාට අයත් සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක මේ සතියේ මුල් පිටුවේම තවත් පුවතක් වාර්තා කරමින් කියා තිබුණේ ලබන 6 වැනිදා පැවැත්වීමට නියමිත එජාප සංවත්සරය සදහා සජබය ඇතුළු විපක්ෂයේ සියලූම පක්ෂවලට ආරාධනා පත් යැවීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කොට ඇති බවකි.
එමෙන්ම සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන් කළ විමසීමකදී ඊට අදාළ ආරාධනා පත්‍රය තමන්ට ලැබුණු බව ඒ මහතා විසින් පුවත්පතට තහවුරු කළ බවද එම පුවතේ සදහන්ව තිබිණ.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් සජබ මන්ත්‍රීවරුන් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන් විමසද්දී ඒ මහතා සදහන් කොට ඇත්තේ තමන්ට එවැනි ආකාරයේ කිසිදු ආරාධනා පත්‍රයක් එජාපයෙන් නොලැබුණු බවත්, තමන් කිසිදු අවස්ථාවකඑම පුවත්පතට ප්‍රකාශයක් ලබා නොදුන් බවත්ය. තමන්ගේ නම භාවිත කරමින් එම පුවත්පත අසත්‍ය පුවතක් පළ කොට ඇති බවද සජබ මහලේකම් මද්දුමබණ්ඩාර මහතා මෙහිදී තමන්ට කතාකළ සියලූ දෙනාට දැනුම් දී ඇත.
මෙහිදී අපට ඇති තොරතුරුවලින් කියවෙන්නේ අද වනතුරු එජාප සම්මේලනයට සහභාගී වන ලෙසට වූ නිල ආරාධනාවක් එජාප පාර්ශ්වයෙන් සජබ ප්‍රධානීන් වෙත හෝ පක්ෂයේ මහලේකම්වරයා වෙත ලැබී නොමැති බවකි. ඒ අනුව එජාප සම්මේලනයට පාක්ෂිකයන් සහභාගී නොවනු ඇති බවට වූ බියෙන් මෙසේ සජබ නායකයන්ද ඊට සහභාගී වන බවට වූ අසත්‍ය පුවත් නිර්මාණය කොට පාක්ෂිකයන් ඊට ගෙන්වා ගැනීම මෙහි සැබෑ අරමුණ විය හැකි බව සජබ මන්ත්‍රීවරුන්ගේ අදහස වී තිබේ.
එමෙන්ම නැවත වතාවක් සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රහාර එල්ල කොට සජබය දෙකඩ කිරීම සදහා මෙසේ වික්‍රමසිංහ මහතා විසින් සිය මස්සිනා වූ රුවන් විජයවර්ධන මහතාට අයත් පුවත්පත් උපයෝගී කොටගෙන අසත්‍ය පුවත් පළ කරමින් සිටින බවද සජබ මන්ත්‍රීවරුන්ගේ අදහස වී තිබේ.
මීට අමතරව පසුගිය සදුදා දින රුවන් විජයවර්ධන මහතාට අයත් පුවත්පත් සමාගමේ සිංහල පුවත්පතක තවත් පුවතක් ‘පැළ’ කරමින් කියා තිබුණේ විපක්ෂයේ ප්‍රබලයෙක් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි කියාය. ඉංජිනේරු සංස්ථාවේ සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවක් මුල්කරගෙන මෙම අත්අඩංගුවට ගැනීම සිදුකිරීමට නියමිතව ඇති බවද එහි සදහන්ව තිබිණ.
කෙසේවෙතත් අප කළ සොයාබැලීම්වලදී තහවුරු වූයේ එම පුවතද සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් යැයි කියාය.
මෙහි ඇති හාස්‍යජනකම තරුණ වන්නේ මේ ආකාරයට මෙම පුවත්පත ඇතුළේ සිටිමින් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයේ වුවමනාවට අසත්‍ය පුවත් ‘පැළ’ කරන පිරිස් අනෙක් අතට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට දිගට හරහට දුරකතන ඇමැතුම් ලබා දීමට කටයුතු කොට තිබීමය.
එමෙන්ම මෙවැනි ආකාරයේ අසත්‍ය පුවත් පළකරන්නේ කව්ද, ඒ පසුපස සිටින කණ්ඩායම් කව්ද යන්න පිළිබදව මේ වනවිට සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය විසින් හදුනාගෙන ඇති බවද දැනගන්නට තිබේ.
කෙසේවෙතත් රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවේ සිටියදී සහ රෝහල්ගතව සිටියදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා දිනපතාම පාහේ උදේ සහ සවස වික්‍රමසිංහ මහතාගේ සුවදුක් විමසීමට බන්ධනාගාරයට සහ රෝහලට ගියද ඉකුත් ජනාධිපතිවරණ දෙකෙහිදීම ප්‍රේමදාස මහතා පරාජයට පත්කිරීම සදහා තිරය පිටුපස විශාල කාර්යභාරයක් වික්‍රමසිංහ මහතා විසින් සිදුකළ බව මේ වනවිට රටම දන්නා කරුණකි. පසුගිය ජනාධිපතිවරණයේදී වික්‍රමසිංහ මහතා ප්‍රසිද්ධ වේදිකාවේදී කියා සිටියේ අනුරව ජරාජයට පත්කිරීමට සජිත්ට නොහැකි බවත්, අනුර ජයග්‍රහණය කරන බවත්ය.
එසේ සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත්කිරීම සදහා වික්‍රමසිංහ මහතාගේ පවුලට අයත් සිංහල, ඉංග්‍රීසි පුවත්පත් සමූහය විශාල වශයෙන් පාවිච්චි කළ බවද සියලූ දෙනා දන්නා කරුණක් බවට පත්ව ඇත.
ඒ අනුව පසුගිය දින කිහිපයේ සිදුවූ සිදුවීම් හරහා නැවත වතාවක් දැකගැනීමට ඇත්තේ වික්‍රමසිංහ මහතා සහ ඔහුට සමීප කිහිප දෙනකු සජිත් ප්‍රේමදාස මහතා අපහසුතාවට පත්කිරීමට සහ සමගි ජන බලවේගය දෙකඩ කිරීම සදහා රුවන් විජයවර්ධන මහතාට අයත් පුවත්පත් සහ සහාය දක්වන වෙබ් අඩවි කිහිපයක් නිර්ලජ්ජිත ආකාරයට උපයෝගී කරගනිමින් සිටින බවකි.
සංවත්සරය කැන්සල්
අප මෙම හෙළිදරව්ව සිදුකොට පැය කීපයක් යෑමට මත්තෙන් තවත් අපූරු පුවතක් එජාපය පැත්තෙන් පළවිය. ඒ, සෙනසුරාදා (06) විපක්ෂයේ පක්ෂ නායකයන් සහ සජබයත්, සජිත්වත් සිරිකොතට ගෙන්වා ලොකු ෂෝ එකක් දමා පැවැත්වීමට සැලසුම් කර තිබූ එජාප සංවත්සරය හිටිහැටියේම අවලංගු කිරීමට පියවර ගැනීමය. ඒ සඳහා බලපා තිබූ ප්‍රධානම හේතුව වී තිබුණේ රනිල්ගේ පාර්ශ්වයෙන් සජිත්ව වැට්ටවීමට ගෙනගිය අසත්‍ය ප්‍රචාරයන් සියල්ලම පුස්සක් බවට පත්ව තිබීම නිසාය. ඒ හරහා සජිත් වැටෙන්නේ නැති බවත්, සජබය දෙකට කැඩෙන්නේ නැති බවත් එජාප ප්‍රබලයන්ට තහවුරු වී තිබීමත් ඊට බලපා තිබිණ. මේ ලැජ්ජාව මකාගැනීම සඳහා රනිල්ගේ ඇති අසනීප තත්ත්වයන් තවම සුවවී නැති බවත්, රනිල්ගේ බිරිය වූ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය රනිල්ට විවේක ගන්නා ලෙස දැඩිව බලපෑම් කරමින් තිබීම නිසාත් එජාප සම්මේලනය කල් දැමීමට තීන්දු කළ බව එජාපය පැත්තෙන් පසුව ප්‍රචාරය කිරීමට පියවර ගෙන තිබිණි.
සජිත් අත්අඩංගුවට?
කෙසේ වෙතත් පසුගිය බදාදා වනවිට එජාපයට හිතවත් වෙබ් අඩවිවල තවත් අපූරු පුවතක් පළවූ ආකාරය දැකගත හැකි විය. මුලින් මුලින් රුවන්ගේ පවුලේ පත්තරවල සජිත්ගෙන් ප්‍රශ්න කිරීමට සූදානම් වන බව කියා සිටියත්, වෙබ් අඩවිවල පළවූ මෙම පුවතින් කියැවුණේ සජිත්ව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතිනවා යැයි කියාය. නමුත් එය ද සම්පූර්ණයෙන්ම බොරුවක් බවට පත්වූයේ එවැනි කිසිදු තත්ත්වයක් සිකුරාදා වනතුරුත් මතුව නොතිබීම නිසාය.
එසේ නම් පසුගිය සතිය පුරාම විවිධ අසත්‍ය පුවත් පළකරමින් සජිත්වත්, සජබයත් අපහසුතාවට පත්කරමින් රනිල්ගේ පැත්තෙන් මේ ආකාරයේ තුට්ටු දෙකේ මාධ්‍ය මෙහෙයුමක් දියත් කර තිබුණේ ඇයි? එසේ කොට තිබුණේ වෙන කිසිවක් නිසා නොව සජිත්වත් සජබයත් බියගන්වා කෙසේ හෝ සජබය එජාප සම්මේලනයට ගෙන්වා ගැනීමටය. නමුත් මේ ආකාරයේ කුපාඩි මාධ්‍ය මෙහෙයුමක් දියත් කිරීම හරහා අවසානයේදී සිදුවූයේ ගොඩනැගෙමින් පැවැති සජබ – එජාප හිතවත්කම පළුදු වීමය. රනිල්ගේ දේශපාලන සුජාතභාවය සම්බන්ධයෙන් යළිත් වතාවක් බරපතළ ප්‍රශ්නයක් මතු වීමය. එජාප සංවත්සරය විහිළුවක් බවට පත්වීමය. රනිලුත්, රනිල්ගේ ගෝලබාලයනුත් ගෙනගිය බොරුව රට හමුවේ හෙළිවීමය. ඒ අනුව අප මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ තවත් අනාවැකියක් කීමට සූදානම්ය. ඒ, එජාප-සජබ එකතුව සිදුවීම සඳහා ඉතා යහපත් පසුබිමක් ගොඩනැගෙමින් පැවැතියදී හිතාමතාම එය කඩාකප්පල් කළ රනිල්ටත්, රනිල් වටේ සිටින ගෝලයන් දෙතුන් දෙනාටත්, රනිල්ගේ නිවුස් ප්ලාන්ට් කල්ලියටත් වසර ගණනක් තිස්සේ පැරදි පැරදී හෙම්බත්ව සිටින අහිංසක එජාප පාක්ෂිකයන්ගේ සාපයෙන් මිදීමට නොහැකි යැයි කියාය.
එමෙන්ම මෙහි ඇති හාස්‍යජනකම සිදුවීම වන්නේ තිරය පිටුපස සිටිමින් මෙසේ සජිත්ට ප්‍රහාර එල්ල කරන නාට්‍යය දිගින් දිගටම රඟ දක්වන අතරවාරයේ රනිල්ට සජිත්ට කතා කිරීමටද අවශ්‍යව තිබීමය. ඒ අනුව රනිල් තම සමීපතමයන් ලවා අවස්ථා කීපයකදිම සජිත්ට දුරකතන ඇමතුම් ලබාදීමට පියවර ගෙන තිබිණි. ඉන් එක් අයෙක් වන්නේ රනිල්ගේ පෞද්ගලික ලේකම්වරිය වන සැන්ඩ්‍රා පෙරේරාය. එමෙන්ම නිවුස් ප්ලාන්ට් කල්ලියේ අයෙක්ද සජිත්ට දිගින් දිගටම කතාකොට මේ බව දැනුම් දීමට පියවර ගෙන තිබිණි. නමුත් තමන් සද්භාවයෙන් යුතුව කටයුතු කරද්දී තිරය පිටුපස රනිල් සහ රනිල්ගේ පාර්ශ්වය ගැසූ දේශපාලන ගේම ඒ වනවිටත් මනාව වටහාගෙන සිටි සජිත්, තමන්ට පණිවුඩ රැගෙන ආ ඒ කිසිවකුත් තඹේකට මායිම් කළේ නැත. ඒ කිසිදු ඇමතුමකට ප්‍රතිචාර දැක්වූයේ නැත.
අලුත්ම සෙල්ලම
ඒ අනුව තමන් ගෙන ගිය නිව්ස් ප්ලාන්ට් සෙල්ලම අතේ පත්තු වී ඇති බව වටහාගත් රනිල් ඇතුලු මාධ්‍ය නඩය ඉන් ගැලවීම සඳහා පසුගිය සිකුරාදා දිනය වනවිට තවත් අලුත් සෙල්ලමක්ද පටන්ගෙන තිබිණ. ඒ, මෙම සම්පූර්ණ සෙල්ලම සිරස මාධ්‍ය පිට දමා අත සෝදාගැනීමටය. ඒ අනුව ඔවුන් සිකුරාදා දින එක්තරා වෙබ් අඩවියක පළකොට තිබූ පුවතක සිරස්තලය වී තිබුණේ, ‘විපක්ෂ නායක සජිත් සීඅයිඩී ගෙනියන්න හැමෝටම කලින් නිව්ස්ෆස්ට් වැට පනී‘ යැයි කියාය.
ආණ්ඩුවත් අර්බූදයක
මේ සියලු සිදුවීම් මැද්දේ කිසිවකුටත් නොපෙනෙන, කිසිවකුටත් නොවැටහෙන බරපතළ අර්බුද ගණනාවකට ආණ්ඩුවද මුහුණ දෙමින් සිටින ආකාරයක් දැකගන්නට තිබේ. නමුත් ආණ්ඩුවේ ප්‍රධානීන් පවා ඒ බරපතළ අර්බුද සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ කතාකරන ආකාරයක් හෝ ඒ අර්බුද විසඳීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා ආකාරයක් තවමත් දැකගන්නට නැත. ඒ වෙනුවට පෙනෙන්නට ඇත්තේ ජනප්‍රිය මාතෘකා කරළියට ගෙනැවිත් සැබෑ ප්‍රශ්නය යටගැසීමේ හෝ අමතක කරවීමේ ක්‍රියාවලියක් ආණ්ඩුව පැත්තෙන් දියත් වෙමින් පවතින බවකි. ඒ අනුව මේ වනවිට රටේ සෑම තැනකම කතාබහට ලක්වන්නේ පාතාල සාමාජිකයන් පස්දෙනකු ඉන්දුනීසියාවේ සිට මෙරටට කුදලාගෙන ආ ආකාරය ගැනය. හිටපු මැති ඇමැතිවරුන් පෝලිමේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත්, අධිකරණයටත්, අල්ලස් කොමිසමටත් යන ආකාරය ගැනය.
එසේ නම් මේ වනවිට කවුරුත් කතා නොකරන ආණ්ඩුව හමුවේ ඇති බරපතළ අර්බුද සහ අභියෝග මොනවාද?
ඉන් පළමුවැන්න වන්නේ මෙම මස ආරම්භ වීමට නියමිතව ඇති ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ලංකාවට එරෙහිව සම්මත වනු ඇතැයි කියන යෝජනාවය. මේ සම්බන්ධයෙන් අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ දිගින් දිගටම කරුණු වාර්තා කරමින් කියා සිටියේ මෙවර ලංකාවට එරෙහිව බරපතළ යෝජනාවක් ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වීමේ ඉඩක් මතුව ඇති බවත්, බොහෝ දුරට එය සම්මත වීමේ ඉඩක්ද නිර්මාණය වී ඇති බවත්ය. අප මේ සම්බන්ධයෙන් කළ අනාවරණ කිරීම්වලින් පසුව කියැවුණේ විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා මෙවර ජිනීවා මානව හිමිකම් කොමිසමට ලංකාව නියෝජනය කරමින් සහභාගි වනවා යැයි කියාය. නමුත් ජිනීවා ප්‍රශ්නයේ දිග පළල පිළිබඳ නිවැරදි අවබෝධයක් විජිතට හෝ ඇත්දැයි අපට සැකසහිතය. අප කළ මෙම අනාවරණයන්හි බරපතළකම මෙවර ජිනීවා සමුළුවේදී විජිතට වැටහෙනු ඇති බව අපගේ විශ්වාසයය.
අප එසේ කියන්නේ මෙතරම් බරපතළ තත්ත්වයක් මතුව පැවැතියදීත් පසුගිය මාස කීපය පුරාම ජිනීවාහි පිහිටි ලංකාවේ නියෝජිත කාර්යාලය සහ මෙරට බලධාරීන් අතර ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයේ සම්බන්ධීකරණයක් සිදුව නොමැති බවට වාර්තා වී ඇති නිසාය. අවම වශයෙන් පසුගිය වතාවේ විජිත ජිනීවා සැසිවාරයට සහභාගි වී සිය ප්‍රකාශය හරහා පොරොන්දු වූ ඇතැම් කරුණු පවා මේ තාක්ම ඉටුව නොමැති වීමද මේ වනවිට බරපතළ අර්බුදයක් බවට පත්ව තිබේ.
ඩයස්පෝරාව ශක්තිමත්
බොහෝ දේශපාලන විශ්ලේෂකයන් අදහස් පළකරමින් කියා සිටින්නේ මේ වනවිට යුරෝපා රටවල සිටින දෙමළ ඩයස්පෝරාව ඉතා ශක්තිමත්ව සිටීම හේතුකොට ගෙන මෙවර ලංකාවට එරෙහි යෝනාව සම්මත වීමේ වැඩි ඉඩක් පවතිනවා යැයි කියාය. මෙම දෙමළ ඩයස්පෝරාව කෙතරම් ශක්තිමත්ද කියනවා නම් ජනාධිපතිවරයා මීට මාස කිහිපයකට ඉහතදී සිදුකළ සිය ජර්මානු සංචාරය අතරතුරදී එරට චාන්සලර්වරයා හමුවීමට පවා අවස්ථාවක් ලැබුණේ නැත. ජර්මනියේ දෙමළ ඩයස්පෝරාව එරට දේශපාලනයේ දැඩි බලපෑම්සහගත කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම හේතුවෙන් ඔවුන්ගේ බලපෑම මත ජර්මන් චාන්සලර්වරයා අනුර හමු නොවූ බවක් බොහෝ දෙනාගේ අදහස වී තිබේ. ඒ අනුව යම් හෙයකින් ලංකාවට එරෙහි යෝජනාව සම්මත වුවහොත් එය යුරෝපා කොමිසම මගින් ශ්‍රී ලංකාවට ලබාදෙන ජී.එස්.පී. ප්ලස් සහනය කෙරෙහිද අහිතකර ලෙස බලපානු ඇති බව බොහෝ දෙනාගේ අදහසය. එසේ වුවහොත් මෙරට ආර්ථිකයට තවත් බරපතළ ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් මේ හරහා මතුවනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.
ෂැංහයි කිව්වෙ නැත්තෙ ඇයි?
ආණ්ඩුව මුහුණ දෙන දෙවැනි අර්බුදය වී ඇත්තේ ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මතුවෙමින් පවතින ගැටලුසහගත තත්ත්වයය. විශේෂයෙන්ම ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ලොව සියලු රටවල් ඉලක්ක කොට පැනවූ තීරුබදු හේතුවෙන් මේ වනවිට ඇමෙරිකාවට එරෙහිව ප්‍රබල බල කඳවුරක් චීනය පෙරටු කොටගෙන නිර්මාණය වෙමින් පවතින ආකාරයක් දැකගන්නට තිබේ. පසුගිය සතියේ චීනයේ ෂැංහයි සමුළුව පැවැත්වුණු අතර, ඊට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ආදීහු පවා සහභාගි වී සිටියහ. මේ හරහා සාම්ප්‍රදායික පසමිතුරන් ලෙස කටයුතු කළ චීනය සහ ඉන්දියාව එක් කඳවුරකට ගොනුවී ඇමෙරිකාවට එරෙහි වෙළෙඳ යුද්ධයකට සිය අවි ආයුධ මුවහත් කරමින් සිටින ආකාරයක් දැකගන්නට පුළුවන. මෙම කඳවුරට ඉදිරියේදී බොහෝ දුරට ඇමෙරිකාවට එරෙහි තවත් ප්‍රබල රටක් වන බ්‍රසීලයද එක්වීමට නියමිතව ඇති ආකාරයක් දැකගන්නට තිබේ.
වමට බර මාලිමාවට ආරාධනා නෑ
ලංකාවේ මේ වනවිට පවතින්නේ වමට බර ආණ්ඩුවක් බව ජාත්‍යන්තරයේ විශ්වාසයය. චීනය හැරුණු විට මේ කලාපයේ වමට බර ආණ්ඩුවක් ලෙස පවතින්නේ මාලිමා ආණ්ඩුව පමණි. නමුත් චීනය ප්‍රමුඛව පැවැත්වුණු ෂැංහයි සමුළුවට වමට බර ආණ්ඩුවක් ඇතැයි කියන ලංකාව සහභාගි නොවීම බරපතළ කාරණාවක් බවට පත්ව තිබේ. ඒ අනුව මේ සම්බන්ධයෙන් සොයා බලද්දී අපට දැනගන්නට ලැබුණේ චීනය ලංකාවට ඊට ආරාධනා කොට නොමැති බවකි. ආසියානු කලාපයේ පාකිස්තානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය ආදී සියලු රටවලට චීනය ආරාධනා කොට තිබියදී ලංකාවට පමණක් ආරාධනා කොට නොතිබීම පසුපස යම් ගැටලුවක් ඇති බව අමුතුවෙන් කිවයුතු නැත. එමෙන්ම ආණ්ඩුව මෙහි ඇති බරපතළකම දන්නවාදැයි කියන්න දන්නේ නැත.
කෙසේ වෙතත් අප කළ සොයාබැලීමකදී තවදුරටත් අනාවරණ වූයේ මෙම ආරාධනා නොකිරීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය බීජිංහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් විමසීමක් පවා කොට ඇති බවය. එහිදී ඔවුන් දැනුම්දී ඇත්තේ අදාළ ආරාධනා කිරීම සම්පූර්ණයෙන්ම චීන ආණ්ඩුවේ කැමැත්තට අනුව සිදුව ඇතැයි කියාය. තවදුරටත් විමසද්දී ඔවුන් ගැළවිල්ලට කියා ඇත්තේ සාමාන්‍යයෙන් චීනය එක් රාජ්‍ය නායකයකුට චීනයට පැමිණෙන ලෙසට ආරාධනා කරන්නේ වසරකට එක් වතාවක් පමණක් යැයි කියාය. ජනාධිපතිවරයා මේ වසරේදී චීන සංචාරයක නිරත වූ බැවින් මෙම සමුළුවට ඔහුට ආරාධනා කර නොමැති බවද චීනය පැත්තෙන් ප්‍රකාශ වී ඇති බවක් ආරංචිය. එමෙන්ම ලබන ඔක්තෝබර් මාසයේදී අගමැතිනි හරිනි අමරසූරිය චීන සංචාරයක නිරත වීමට නියමිත බැවින් ජනාධිපතිවරයාට මෙම සමුළුවට ආරාධනා නොකළ බවද චීනය පැත්තෙන් කියැවී ඇති බවක් ආරංචිය.
ලංකාව හැලුවාද?
කෙසේ වෙතත් මෙවැනි වැදගත් සමුළුවක් පැවැත්වීම හරහා කලාපයේ බිහිවීමට නියමිත නව ආර්ථික සන්ධානයෙන් ලංකාව ඉවත් කොට තිබීම පිළිබඳවද මෙහි බොහෝ දෙනාට සැකයක් මතුව තිබේ. ජනාධිපතිවරයාගේ චීන සංචාරයෙන් පසු අප මෙම තීරයේ වාර්තා කළේ චීනය ලවා කරගත යුතු කාර්යයන් රැසක ලැයිස්තුවක් ජනාධිපතිවරයා සිය සංචාරය අතරතුරදී චීනයට ලබාදුන් බවකි. ඒ සියල්ලටම පාහේ චීනයෙන් අනුමැතිය ලැබී තිබුණු අතර, ගිවිසුම් 70කට අධික ප්‍රමාණයක් දෙපාර්ශ්වය අතර අස්සන් කිරීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව චීන සංචාරයෙන් ලැබෙන ප්‍රතිලාභ හරහා ජනාධිපතිවරයා රටත්, ආණ්ඩුවත් ගොඩ දැමීමට සූදානම් වන බවද අප එහිදී සඳහන් කර සිටියෙමු.
නමුත් මේ සියල්ලම කනපිට පෙරළුණේ චීන සංචාරයේදී ආණ්ඩුව දුන් පොරොන්දුවක් ඉටුකිරීමට නොහැකි වීම මුල්කොට ගෙනය. ඒ වෙන කිසිවක් නොව චීන පර්යේෂණ නෞකාවන්ට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමට අවසර ලබාදීම ආණ්ඩුව දිනෙන් දින කල් දැමීමය. එහි ප්‍රතිඵලය වූයේ චීනය විසින් දෙන බව කී සියලු සහන සහ කරන බව කී ආයෝජන මේ දක්වාම ඉටු නොකිරීමය. අත්සන් කළ ගිවිසුම් කොළවලට පමණක් සීමා වීමය. ඊට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් චීනය මෙම ෂැංහයි සමුළුවට ලංකාවට ආරාධනා නොකළා දැයි කියන්න දන්නේ නැත. එමෙන්ම චීනය මුල්කොට ගෙන ගොඩනැගෙන ආර්ථික සන්ධානයට ලංකාව ඇතුළු කර නොගැනීමට තීරණය කළාදැයි කියන්න දන්නේ නැත.
එමෙන්ම ලංකාව විසින් ඇමෙරිකාවෙන් තීරුබදු සහන ලබාගැනීම සඳහා ට්‍රම්ප් රජයට පොරොන්දු වී ඇති යෝජනා ලයිස්තුව චීනයට ලැබී ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එහිදී චීනයට ලබා නොදෙන වරප්‍රසාද සහ බදු සහන රැසක් මෙහිදී ලංකාවෙන් ඇමෙරිකාවට යෝජනා කොට ඇති බවක්ද ඔවුන්ට වාර්තා වී ඇති බව පැවසේ. බොහෝ දෙනා කියන්නේ ඊට ක්ෂණික ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් චීනය මෙම ආර්ථික සමුළුවට ලංකාවට ආරාධනා නොකළා යැයි කියාය.
අනෙක් අතට චීනය හා සමානවම මේ වනවිට ඉන්දියාවද ලංකාවට විශාල වශයෙන් බලපෑම් කරමින් සිටින රටක් බවට පත්ව තිබේ. ඉතිහාසයේ සිටම අවස්ථා ගණනාවකදී ඉන්දියාව ඍජුව සහ වක්‍රව ලංකාවට කළ බලපෑම්වලට උදාහරණ ඕනෑ තරම් තිබේ. ඒ අනුව ඉන්දියාවද මේ වනවිට සිටින්නේ චීනය සමග පුළුල් ආර්ථික සන්ධානයකට යෑමට සූදානමින්ය. එමෙන්ම ලංකාවට තවත් සමීප රටක් වූ රුසියාවද මෙම ආර්ථික සන්ධානයට එක්ව සිටින ආකාරය දැකගන්නට පුළුවන. මීට අමතරව පසුගිය කාලයේදී ඇමෙරිකාව සමග බොහෝ සමීපව කටයුතු කළ පාකිස්තානයද චීනය, රුසියාව, ඉන්දියාව ප්‍රමුඛ කොටගෙන ගොඩනැගෙන ආර්ථික සන්ධානයට තම රටද එක්කර ගන්නා ලෙසට දැනටමත් යෝජනා ඉදිරිපත් කොට අවසානය. ඒ අනුව ආසියානු කලාපයේ සියලු රටවල් චීන සන්ධානයට එක්වද්දී ලංකාව හුදෙකලා වීම එහි අනාගතයට එතරම් සුබවාදී එකක් නොවන බව පැහැදිලිවම කිව හැකිය.
ආණ්ඩුව හදිසි ඡන්දෙකට
අනෙක් අතට මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප තවත් අතිවිශේෂ හෙළිදරව්වක් සිදුකිරීමට සූදානම්ය. ඒ, ආණ්ඩුව ඇතුළේ හදිසි මහ මැතිවරණයකට යොමුවීම සම්බන්ධයෙන් මතුව ඇති විශේෂ සාකච්ඡාවක් පිළිබඳවය. දැනට මාස කීපයකට පෙරාතුව සිටම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වරින් වර අවධාරණය කරන කාරණයක් වන්නේ 2028 වසරේදී ආණ්ඩුවට විදේශ ණය ගෙවීම ආරම්භ කිරීමට සිදුවීමට නියමිතව ඇති බවත්, එහිදී 2028දී ණය ගෙවීමට නම් දැනට 4%ක මට්ටමේ ඇති ආර්ථික වර්ධන වේගය 5% ඉක්මවා යන මට්ටමකට පත්කර ගත යුතු බවත්ය. නමුත් ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුවේ පුරෝකථනයන්ට අනුව ඉදිරියේදී ලංකාවේ ආර්ථික වර්ධන වේගය තවදුරටත් අඩුවනු ඇති බව අනාවරණ කර ඇති පසුබිමක 2028දී යළිත් වතාවක් ලංකාව ණය ගෙවාගත නොහැකි බංකොලොත් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක් මතුව ඇති බව සජිත්ගේ තර්කය වී තිබේ. ඒ අනුව සජිත් කියන්නේ 2028 වසර ලංකාවට ඉතා තීරණාත්මක වසරක් යැයි කියාය.
ලංකාවේ පැවැති තත්ත්වය පැහැදිලිව වටහාගෙන තිබූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද විදේශ ණය ගෙවීම ආරම්භ කිරීමට යෝජනා කර තිබුණේ 2033 වසරය. නමුත් එවක ජනාධිපතිව සිටි රනිල් තමන් විශාල ජයග්‍රහණයක් ලැබූ බව රටට පෙන්වීම සඳහා 2028 වසරේ සිට ණය ගෙවන බව සඳහන් කරමින් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් කිරීමට පියවර ගත්තේය. රනිල් සැලසුම් කළේ එය විශාල ජයග්‍රහණයක් ලෙස පෙන්වමින් ජනාධිපතිවරණයට යන්නටය. රනිල් ගහපු මේ ගේම සජිත් පෙන්වද්දී සජබයේ සිටින ආර්ථික ඔස්තාර්ලා යැයි කියාගන්නා කිසිවකුත් ඒ ගැන වචනයක් හෝ කතා කළේ නැත. අඩුම තරමේ සජිත් කියපු කතාව සත්‍යයක් හෝ යැයි කියා කියන්නටවත් ඔවුන්ගේ දිව නැමුණේ නැත. ඒ අනුව ආණ්ඩුවේ පිරිස් මේ සම්බන්ධයෙන් සජිත්ගෙන් සාක්ෂි ඉල්ලද්දී සජිත් ප්‍රසිද්ධියේම ආණ්ඩුව සහ මූල්‍ය අරමුදල අතර අස්සන් කළ ගිවිසුමෙන් ඊට අදාළ කොන්දේසි පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය.
මේ බව මාලිමා ආණ්ඩුවද නොදන්නවා නොවේ. ඒ අනුව දැනට ඇති ආර්ථික වාතාවරණය හමුවේ 2028 වසරේදී නැවත වතාවක් ආර්ථික අර්බුදයකට ආණ්ඩුවට මුහුණ දීමට සිදුවුවහොත් ඊට මුහුණ දෙන ආකාරය පිළිබඳව ඔවුන්ද ඉතා රහසිගතව ගණන් බැලීමක් කොට ඇති බව ආරංචිය. ඒ අනුව පසුගිය කාලසීමාවේදී මේ පිළිබඳ මාලිමාව ඇතුළේ සිදුකර ඇති ඉතා සියුම්, රහසිගත සහ සූක්ෂ්ම දේශපාලන විශ්ලේෂණයකින් අනතුරුව ඔවුන්ද කිසියම් දේශපාලන සැලැස්මක් මේ වනවිට සකස් කොටගෙන අවසන් බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ඇත. එහි ප්‍රධානත්වය ජවිපෙ විසින් දරා ඇති බවද ආණ්ඩුව පැත්තෙන් ලැබෙන තොරතුරුවලින් කියැවෙන්නකි.
අනුරගේ ටි්‍රලියන කතාව
පසුගියදා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව මේ වනවිට ටි්‍රලියනයක මුදල් ඉතිරි කොට ඇති බව ජනාධිපතිවරයා පවසා සිටියේ නිකන් ආවාට ගියාට නොවේ. එවැනි දැවැන්ත මුදලක් ආණ්ඩුව එකතු කරගැනීමට සමත්ව තිබුණේ පසුගිය අයවැයෙන් ඇතැම් ව්‍යාපෘති සඳහා වෙන්කර මුදල්වලින් 20%ක්වත් වියදම් කිරීමට ඇතැම් අමාත්‍යාංශ සමත්ව නොතිබීම නිසාය. එසේ මුදල් ඉතිරි කොට ගෙන 2027 වසර වනවිට ඉන් විශාල ප්‍රයෝජනයක් ගැනීම ආණ්ඩුවේ සැලසුම වී ඇති බවක් ආරංචිය.
මෙම තොරතුර වාර්තා වීමත් සමග අපද ආණ්ඩුවේ මේ හදිසි මහ මැතිවරණ සැලැස්ම පිළිබඳවත්, එහි ගමන් මාර්ගය පිළිබඳවත් විශේෂ සොයාබැලීමක නිරත වීමු. ඒ අනුව අපට ලැබුණු තොරතුරුවලින් කියැවෙන්නේ ආණ්ඩුවේ මෙම දේශපාලන කාලසටහනට අනුව 2026 අවසානය වනවිට හෝ 2027 මුල් කාර්තුව වනවිට ආණ්ඩුව රටට දුන් ප්‍රධාන පොරොන්දුවක් වූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සිදුකොට අලුත් ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කොට ඇතැයි කියාය. ඒ අනුව නැවත වතාවක් පාර්ලිමේන්තු ක්‍රමය රටේ ස්ථාපිත කිරීම ජවිපෙ සැලසුම වී තිබේ. ඒ අනුව විධායකය අහෝසි කොට අලුත් ව්‍යවස්ථාවක් යටතේ 2027 වසර අවසාන භාගයේදී මහ මැතිවරණයක් පැවැත්වීම ආණ්ඩුවේ සැලසුමය.
ඒ අනුව ආණ්ඩුව සැලසුම් කර ඇත්තේ 2027 වසර සඳහා ලබන වසර අවසානයේදී ඉදිරිපත් කරන අයවැය හරහා මේතාක් ඉතුරු කරගත් ටි්‍රලියනයකට අධික මුදල්වලින් ජනතාවට සහන ලබාදෙන ජනප්‍රිය අයවැයක් ඉදිරිපත් කොට මහ මැතිවරණයකට යෑමටය. එසේ මහ මැතිවරණයකට ගොස් නැවත වතාවක් මාලිමා රජයම බලයට පැමිණියහොත් නව ජනවරම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත පෙන්වමින් ණය ගෙවීමේ කාලය තවත් වසර කීපයකින් දිගු කරගැනීම ආණ්ඩුවේ සැලැස්ම වී ඇත. යම් හෙයකින් මාලිමා ආණ්ඩුව බලයට පත් නොවී වෙනත් රජයක් බලයට පත්වුවහොත් 2028 වසරේ විදේශ ණය ගෙවීම ආරම්භ කිරීමට මෙන්ම රට යළිත් බංකොලොත්භාවයට පත්වුවහොත් ඊට මුහුණ දීමට සිදුවනු ඇත්තේ නව ආණ්ඩුවටය. අප කළ සොයාබැලීමේදී 2028 වසරට මුහුණ දීම සඳහා ආණ්ඩුව සකස් කොට ගෙන ඇති රහසිගත සැලැස්ම ඒ ආකාරයය.
රනිල් පොහොට්ටුව ආයෙත් කැඩුවාද?
පසුගිය මහ මැතිවරණයේදී 3%ට බැස්ස පොහොට්ටුව නාමල්ගේ නායකත්වය යටතේ පළාත් පාලන මැතිවරණය අවසන් වනවිට 10% දක්වා ඉහළ නංවා ගැනීමට සමත් වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. මේ නිසාමදෝ අවසන් වරට පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යෝජනාවක් කරමින් කියා සිටියේ එජාපය පොහොට්ටුව සමග සන්ධානාගත විය යුතු යැයි කියාය. මේ බව මීට සති කීපයකට ඉහතදී රාජ්‍ය රහස් තීරය ඔස්සේ වාර්තා කරමින් අප කියා සිටියේ රනිල් එසේ කීවේ සද්භාවයෙන් නොව තමන් සමීපයේ සිටි පොහොට්ටුවේ ප්‍රධානීන් වන කංචන විජේසේකර, ශෙහාන් සේමසිංහ, රෝහිත අබේගුණවර්ධන වැන්නවුන් නැවතත් පොහොට්ටුව සමග එක්වීමට සාකච්ඡා ආරම්භ කර තිබීම නිසා බවය. ඔවුන් එසේ එක්වුවහොත් තමන්ගේ නායකත්වය තවදුරටත් පිරිහෙන බව රනිල් දැන සිටීම ඊට හේතුවය. නමුත් රනිල්ගේ මේ යෝජනාව තලතා, නවීන් ඇතුළු කණ්ඩායමක් දැඩි විරෝධය පළකළ බවද අපි එහිදී වාර්තා කර සිටියෙමු.
කෙසේ වෙතත් රනිල් සිරගතව සිටියදී විපක්ෂයේ කණ්ඩායමක් කොළඹ හෝටලක සංවිධාන කර තිබූ රැස්වීමකට නාමල්ද සහභාගි වී තිබිණි. ඒ හරහා නාමල් මෙතෙක් පක්ෂය ඇතුළේ රැකගෙන ආ ජනප්‍රියත්වය යම් තරමකට පහත වැටුණු ආකාරයක්ද දැකගන්නට තිබිණි.
මේ අතර එජාප සම්මේලනය නිමිති කොටගෙන මේ වනවිට නැවතත් පොහොට්ටුව ඇතුළේ යම් මත ගැටුමක් රනිල් විසින් නිර්මාණය කර ඇති ආකාරයක් දැකගන්නට තිබේ. රනිල්ට හිතවත් රුවන්ගේ පුවත්පත් වාර්තා කොට තිබුණේ එජාප සම්මේලනයට රනිල් විපක්ෂයේ පක්ෂවලටද ආරාධනා කරනවා යැයි කියාය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාමල්ද කියා සිටියේ එවැනි ආරාධනාවක් ලැබුණහොත් පොහොට්ටුවට ඊට සහභාගි වන බවකි. නමුත් පොහොට්ටුවේ මහලේකම්වරයා වන සාගර කාරියවසම් ඊට තරමක් වෙනස් අදහසක් ප්‍රකාශ කරමින් කියා සිටියේ එජාපය සහ පොහොට්ටුව යනු පක්ෂ දෙකක් යැයි කියාය.
බැසිල්ගේ තීන්දුව
මේ අතර, පසුගිය සතියේ හදිසියේම පොහොට්ටුවේ හිටපු ප්‍රබලයකු වූ මහාචාර්ය රංජිත් බණ්ඩාර සිය ෆේස්බුක් පිටුවේ නාමල් රනිල් බේරාගැනීමේ මෙහෙයුමට සම්බන්ධව සිටීම සම්බන්ධයෙන් දැඩි විවේචනය පළකොට ලිපියක් පළකොට තිබූ ආකාරයක් දැකගත හැකි විය. අප කවුරුත් දන්නා අන්දමට රංජිත් බණ්ඩාර යනු පොහොට්ටුවේ මහමොළකරු වූ බැසිල් රාජපක්ෂගේ අතිසමීපතමයෙකි. බොහෝ දෙනා කියන්නේ මේ රංජිත් බණ්ඩාරගේ හඬ නොව, බැසිල්ගේ හඬ යැයි කියාය. ඒ අනුව රංජිත් බණ්ඩාර සිය ෆේස්බුක් පිටුවේ තබා තිබුණේ මෙවැනි සටහනකි.
‘ඒ රාත්‍රී තුනක, දින හතරේ මෙහෙයුම අවසන්’SLPPහි අනාගතය ආරක්ෂා කිරීම පිළිබඳ පුංචි මතක් කිරීමක්’
මහාචාර්ය රංජිත් බණ්ඩාර,
කොළඹ විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය
පසුගිය සිකුරාදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගත් මොහොත සිට ඇප ලැබුන 26 වැනිදා දක්වා කාලය මට ‘රාත්‍රී තුන සහ දින හතරේ මෙහෙයුම’ ලෙස හඳුන්වා දියයුතු යැයි සිතුණා. ඒක එතරම්ම මෙහෙයුම් ගති ලක්ෂණ පෙන්නුම් කළහ. ඒත දැන් එය අවසන්. අපි තවදුරටත් අවධානය වෙනතකට යොමු නොකළ යුතුය. අපි අපේම මාර්ගයට හැරවිය යුතුය. මගේ අවබෝධයේ හැටියට අපිට පොහොට්ටුකාරයන් ලෙස මේ මොහොත යනු පරාවර්තනයේ, අවංකභාවයේ සහ එකමුතුකමේ කාලයයි.
රනිල්ගේ කාර්යභාරය
රනිල් වික්‍රමසිංහ මහතා අපගේ අවබෝධයේ හැටියට අප පක්ෂයේ දැක්ම හෝ වටිනාකම් කිසිදා බෙදා හදාගෙන නැත. ඔහු නිසැකවම අපගේ දේශපාලන අනන්‍යතාවය විනාශකලා එය විකෘති කළා. ජනතාව අපට භාරදුන් රාජපක්ෂ උරුමයට හානි කළා. රාජපක්ෂවරුන්ගේ දේශපාලන අනාගතය තීරණාත්මක ලෙස විනාශ කළා.
ඔහුව ‘ගැළවුම්කරුවෙකු’ ලෙස දකින අය නිවැරදිව ඔහුව කියවීමට අපොහොසත් වී ඇති බව අපගේ අදහසයි. ඔහුගේ දේශපාලන ඉතිහාසය පෙන්වන්නේ එකම සත්‍යයක්. ඔහුගේ දේශපාලනයේදී සේවය කරන්නේ ඔහුටම පමණි. පක්ෂයට නොවේ. ජනතාවට නොවේ. ජාතියට නොවේ. සෑම විටම බොරදියේ මාළු බෑමට දක්ෂය.
අපි අමතක නොකළ යුතුය. ඔහු විසඳන බව කියන අර්බුද, යහපාලන යුගයේදී ඔහුගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදන කළ ඒවාම වේ.
අප ඔහුට පෞද්ගලිකව අනුකම්පාව දැක්වූවත්, ඔහු විසින් අප පක්ෂයට සිදුකරන ලද හානිය තවදුරටත් නොබලා සිටිය නොහැක.
බෙදීමේ අනතුර
රනිල් ශක්තිමත් වන්නේ අප බෙදී සිටින විට පමණි.SLPP ප්‍රබලයන් සහ කැපීපෙනෙන සාමාජිකයින් තනි තනිව ඔහුගේ ගාලට ඇදෙන විට, අපගේ සාමූහික බලය දුර්වල වීම අනිවර්යයි. එය අප අත්දැක්කා. අදත් අත්දකිමින් ඉන්නවා.
‘රාත්‍රී තුන සහ දින හතර මෙහෙයුම’ අපට මතක් කර දෙන එක ඇත්තක් නම් අපගේ අනන්‍යතාවයම අවදානමට පත්ව ඇති බවයි. එම වැරැද්ද නැවත සිදු කළහොත්,SLPP ඔහුගේ පැවැත්මට පමණක් මෙවලමක් බවට නැවතවාරයක් පත්කරගනු ඇත.
අතීතයෙන් උගතයුතු පාඩම්
අප මහනුවර දිස්ත්‍රික්කයේ මැතිවරණ ව්‍යාපාර මෙහෙය වන අවදියේ අප පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා මට කදිම උපදෙසක් දුන්නා.
‘ක්ෂණික ජයග්‍රහණ අපේක්ෂා නොකරන්න. දේශපාලනයේ වැදගත් වන්නේ කාලය සහ ඉවසීමයි.’
ඒ ප්‍රඥාව අදටත් සත්‍යයි. අපට වෙනත් කෙනෙකු විය නොහැක. අපේ ආරම්භක වටිනාකම් මත අපිම ගොඩනගන්න යුතුය. අපේම දේට පක්ෂපාතී විය යුතුය. අපේම අරමුණට විශ්වාසවන්තව සිටිය යුතුය.
එක්සත් වීමට කැඳවීම
මෙය SLPP නායකයන්ට, සංවිධායකයන්ට, සහ ආධාරකරුවන් තම අවධානය ගැඹුරුන් යොමුකළ යුතු මොහොතයි. අපගේ ව්‍යාපාරය නැවත රනිල්ට විකුණන්න එපා. ඔහුගේ අසාර්ථකත්වයේ බර ඔහුටම දරන්න ඉඩ දෙන්න. ඔහු සමග අපට ගමනක් නැත.
අපගේ යුතුකම SLPP අඛණ්ඩතාව ආරක්ෂා කිරීමයි. එකමුතුකම, විනය, සහ ආරම්භක දැක්මට කැපවීම අපගේ ශක්තියයි.
එක්ව ඉදිරියට
ජනතාව ීඛඡඡ වෙත භාර දුන්නේ ශක්තිය, ස්ථාවරත්වය සහ ජාතික වටිනාකම් ආරක්ෂා කිරීමට අප පොරොන්දු විය යුතුයි. එම පොරොන්දුව අවස්ථාවාදී සන්ධාන හරහා ඉටු කළ නොහැක. අපේ මාවත පැහැදිලිය. ජවය සහ බලය අප සතුව ඇත. ඒ බාහිර උපාමාරුවලට එරෙහිව සිටීම අප හැකියාව ලබාගත යුතුයි.
ීඛඡඡ හි අනාගතය. ශ්‍රී ලංකාවේ අනාගතය. එය එකම මග මත රඳා පවතී. අපට ඇත්තේ අපගේ අනන්‍යතාව ආරක්ෂාකරගෙන ඉදිරියට යාමක් මිස කලබලයට සන්ධාන ගතවීමක් නොවේ.
ස්තුතියි
විජේට තහනමක්?
මීට සති කීපයකට ඉහතදී තමිල්නාඩු සිනමාවේ සුපර් ස්ටාර් ලෙස සැලකෙන තලපති විජේ ලංකාවේ කච්චතිව් දූපත පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය. එහිදී ඔහු කියා සිටියේ 1976දී ඉන්දිරා ගාන්ධී විසින් ලංකාවට පවරා දුන් කච්චතිව් දූපත යළි ඉන්දියාවට පවරාගත යුතු යැයි කියාය. විජේ මෙසේ ප්‍රකාශ කොට සති කීපයක් ගිය තැන ජනාධිපතිවරයා සිය යාපනය සංචාරය අතරතුරදී හදිසියේම කච්චතිව් දූපතට ගියේය. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ලංකා භූමිය කිසිදු අවස්ථාවක කිසිවකුට පවරා දීමට තමන් කටයුතු නොකරනවා යැයි කියාය. මේ හරහා ජනාධිපතිවරයා තලපති විජේටත්, තමිල්නාඩුවටත්, ඉන්දියාවටත් කිසියම් පණිවුඩයක් දුන් බව බොහෝ දෙනාගේ අදහස වී තිබිණි.
ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කළේ කච්චතිව් දූපත සම්බන්ධයෙන් ඉන්දීය අධිකරණයේ පවරා ඇති නඩුව යළි ආරම්භ කිරීමට ඔන්න මෙන්න තිබියදීය. එම නඩුව ආරම්භ වීමට නියමිතව ඇත්තේ ලබන 15 වැනි දිනය. එමෙන්ම ඉන්දීය විදේශ ඇමැති එස්. ජයශංකර් කච්චතිව් දූපත ලංකාවට පවරා දීම කොංග්‍රස් ආණ්ඩුව කළ ඓතිහාසික වරදක් බවත්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිද විශේෂ එක්ස් පණිවුඩයක් තබමින් කොංග්‍රස් ආණ්ඩුව කච්චතිව් දූපත හිතාමතාම අත්හැරියා යනුවෙන් සටහනක් තබා තිබූ පසුබිමෙකත්ය.
ඒ අනුව කච්චතිව් දූපත සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන නඩුවේදී යම් හෙයකින් ඉන්දීය අධිකරණය ඉන්දියාවට වාසිසහගත නඩු තීන්දුවක් ලබාදුනහොත් ජනාධිපතිවරයා කළ ප්‍රකාශයත් සමග එය ඉන්දියාව සහ ලංකාව අතර අර්බුදකාරී තත්ත්වයකට ගමන් කිරීමක් බව අමුතුවෙන් කිවයුතු නැත.
එමෙන්ම තලපති විජේ පසුගිය කාලයේදී ලංකාවට පැමිණ තමන්ගේ අලුත්ම චිත්‍රපටයේ රූගත කිරීම් සිදුකිරීමට පියවර ගෙන තිබිණි. එම චිත්‍රපටයේ නම වන්නේ ‘ජනනායගම් යන්නය. දැනටමත් උතුරේ යන රාවයකින් කියැවෙන්නේ තලපති විජේගේ මෙම චිත්‍රපටය උතුරේ ප්‍රදර්ශනය කිරීම තහනම් කිරීමට ආණ්ඩුව සූදානමින් සිටිනවා යැයි කියාය. මෙම කටකතාව උතුරේ දරුණුවටම යන නිසා ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් පවා ප්‍රකාශයක් කොට තිබුණේ එවැනි ස්ථාවරයක ආණ්ඩුව නැතැයි කියාය. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ කච්චතිව් ගමනත්, යාපනයේ ගොස් සිදුකළ මෙම ප්‍රකාශයත් හරහා ඉන්දියාව සමග යම් මතගැටුමක් නිර්මාණය වෙමින් පවතින ආකාරයක් මේ වනවිට දැකගන්නට පුළුවන.










