වෛද්‍ය උපකරණවල හිගය, ඖෂධ හිගය සහ ප්‍රමිතියෙන් තොර වීම රෝගී සත්කාර ගැටලු සහ නොසැලකිලිමත්කම හේතුවෙන් රෝගීන්ගේ ජීවිත රැසක් මේ දිනවල අහිමි වූ බවත් මේ තත්ත්වය සුළුකොට තැකිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
රට පුරා රෝහල්වල ඇති බාල ඖෂධ කඩිනමින් භාවිතයෙන් ඉවත් කළ යුතු බවත් රෝගීන්ගේ ජීවිත මතින් ගොස් සිය මඩිය තරකොට ගැනීමට කටයුතු කළ පාර්ශ්ව සම්බන්ධයෙන් රජය දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ බංකොලොත් මේ රටේත් බාල ඖෂධ මාෆියාව ක්‍රියාත්මක වීම පිළිකුලට කරුණක් බව යි.
පේරාදෙණිය ශික්ෂණ රෝහලෙන්, නුවරඑළිය රෝහලෙන්, රාගම ශික්ෂණ රෝහලෙන්, කොළඹ ජාතික අක්ෂි රෝහලෙන්, පානදුර මූලික රෝහලෙන්, අනුරාධපුර ශික්ෂණ රෝහලෙන්, කුලියාපිටිය රෝහලෙන් ජීවිත විශාල සංඛ්‍යාවක් අහිමි වූ බවත් මේ ලැයිස්තුව දිහා බලන විට බාල ඖෂධ සහ ඖෂධ ක්ෂේත්‍රයේ සිදුව ඇති වංචාවන් නිසා පරීක්ෂණවලින් නුසුදුසු යැයි තහවුරු වූ ඖෂධ වර්ග භාවිතය නිසා ව්‍යවසනකාරී තත්ත්වක් ඇති ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (18) පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න ඉදිරිපත් කරමිනි.
එහි දී විපක්ෂ නායකවරයා සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ ආණ්ඩුව ප්‍රශ්න රැසක් ඉදිරිපත් කරමින් මේ ගැටලුවලට විසඳුම් ඉල්ලා සිටියේය.
ආණ්ඩුව විසින් මෙවැනි ගැටලු සහ ප්‍රශ්න ජනතාවට අනාවරණය කරන රාජ්‍ය නිලධාරීන්ට බොරු පරීක්ෂණ සිදු කරන බවත් මෙවැනි ව්‍යාජ පරීක්ෂණ සිදු කර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන්ගේ කට වසා රටේ ලක්ෂ 220ක් වූ ජනතාව මරණ මංචකයට ගෙන යන පහත සෞඛ්‍ය ප්‍රතිපත්තිය පරාජය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ ඝාතන හිතාමතාම සිදුකරන සාපරාදී අපරාධ බවත් මේ සම්බන්ධයෙන් වගකිය යුතු සියලු දෙනාටම සමගි ජන බලවේග රජයක් යටතේ දඩුවම් ලබා දීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් මෙහි දී පැවසීය.










