මීට දශක කිහිපයකට පෙරදී පාසල්වල උසස් පෙළ සත්ව විද්‍යා විෂයට (Zoology) අදාළව ගෙම්බන්, කැරපොත්තන් වැනි සතුන් විච්ඡේදනය කිරීම (කැපීමට) සිසුන්ට නියමිතව තිබිණි. මෙහිදී කැරපොත්තාගේ ශරීරය කපා බැලීම ඉතා අප්‍රියජනක කාරියක් විය. එසේ වූයේ අප කවුරුත් හඳුනන කැරපොත්තා යනු අප විසින් පිළිකුලෙන් බලන සත්වයකු හෙයිනි. කැරපොත්තා ගැන එවැනි මතයක් තිබුණද කැරපොත්තා තරම් පිරිසිදු පළිබෝධ සත්වයකු තවත් නැති බව සත්ව විද්‍යාව කියා සිටියි. කැරපොත්තා නොහොත් ඉංග්‍රීසි බසින් හඳුන්වන ‘කොක්රෝච්’ (Cockroach) නමැති සත්වයා විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන්නේ ‘බ්ලැට්ටෝඩියා’ (Blattodea) යනුවෙනි. ලෝකයේ විවිධ කැරපොත්තන් විශේෂ 4000ක් පමණ සිටියද මිනිස් වාසයෙහි ජීවත් වන්නේ වර්ග 30ක් පමණක් බව පැවසෙයි.Sri Lanka Latest News
මෙලෙස විවිධ කතාබහට ලක්වන කැරපොත්තා ගැන ලියා තබමින් මෙම ලිපිය ආරම්භ කිරීමට හේතු වූයේ ඇයි? සැබැවින්ම මෙය එක්තරා සුවිශේෂ අපූරු කතාන්දරයකි. අපට මෙම කතාව මෙයට දින කිහිපයකට පෙර අසන්නට ලැබුණේ අපගේ යාබද ඉන්දියාවෙනි. එනම් මෙම දිනවලදී මුළුමහත් ඉන්දියාවම විශාල ආන්දෝලනයකට ලක්කර ඇත්තේ මෙම කැරපොතු කතාව හෙයිනි. මෙම අපූරු වතගොතින් කියැවෙන්නේ කැරපොත්තාගේ නාමය භාවිත කරමින් නවතම දේශපාලන පක්ෂයක් ඉන්දියාව තුළ පිහිටුවා ගැනීමටය. මෙය හඳුන්වා දී ඇත්තේ ‘කොක්රෝච් ජන්තා පාටි’ (Cockroach Janta Party) යනුවෙන් වන අතර, මෙහි සිංහල අරුත වන්නේ ‘කැරපොත්තා ජනතා පක්ෂය’ යන්න වෙයි. ලෝකයේ විවිධ රටවල සමහර සත්වයන්ගේ නාමයන් භාවිත කරමින් දේශපාලන පක්ෂ තිබුණද මේ ආකාරයේ කැරපොත්තාගේ නාමය භාවිත කරමින් පක්ෂයක් බිහිවීම වාර්තාවක් ලෙස සැලකිය හැකිය. මෙය ආරම්භ කරනු ලැබුවේ පසුගිය 2026 මැයි 16 වැනිදාය. මෙය විටෙක හඳුන්වා දී ඇත්තේ ඉන්දියානු උපහාසාත්මක දේශපාලන ව්‍යාපාරයක් වශයෙනි. මෙලෙසෙ මෙවැනි දේශපාලන පක්ෂයක් ඇරඹීමට නිමිත්තක් වූයේ එරට තුළ සිදුවූ එක්තරා සිදුවීමකි. මෙම තත්ත්වය නිසා විශාල අර්බුදයක් හටගත් අතර, මෙය ප්‍රධාන වශයෙන්ම බලපා තිබුණේ ඉන්දියාවේ තරුණ පරපුර වෙතය.
ඉන්දියානු තරුණ පරපුර මෙසේ මහත් කලබැගෑනියකට සහ කෝපයකට පත්වූ සිදුවීම කුමක්ද? පසුගිය මැයි 15 වැනිදා ඉන්දියාවේ අගවිනිසුරුවරයා වන සුර්ය කාන්ත් (Surya Kant – Chief Justice of India) විසින් මතභේදාත්මක ප්‍රකාශයක් සිදුකළේය. එක්තරා සමාජ රැස්වීමකදී ඔහු ප්‍රකාශ කර තිබුණේ ඉන්දියාවේ වත්මන් සමාජ ක්‍රියාකාරීන් සහ රැකියා විරහිත තරුණයන් කැරපොත්තන් සහ සමාජයේ පරපෝෂිතයන් ලෙස හඳුන්වා දිය හැකි බවයි. අගවිනිසුරුවරයාගේ මෙම ප්‍රකාශය පැය ගණනක් ඇතුළතදී ඉන්දියාවේ තරුණ පරපුර අතර දැඩි කෝපයක් සහ වෛරයක් ඇති කළේය. එහෙයින් මෙයට නායකත්වය දුන් තරුණ පරපුර විසින් හරියටම දිනකට පසුව ඉහත ‘කැරපොත්තා ජනතා පක්ෂය’ ආරම්භ කිරීමට පියවර ගත්තේය. මේ සඳහා මුල්වී කටයුතු කිරීමට එක් ඉන්දියානු තරුණකු පෙරමුණ ගත් අතර, ඉන් පසුව තවත් තරුණ නායකන් කිහිප දෙනකු ඔහුගේ මග යමින් ව්‍යාපාරය ශක්තිමත් කිරීමට කටයුතු කළේය. එම තරුණ නායකයා කවරෙක්දැයි පසුව සොයා බලමු. මෙම තරුණ ව්‍යාපාරය අන්තර්ජාලයේ සමාජ මාධ්‍ය හරහා අතිශයින්ම ප්‍රකට වන්නට විය. එනම් ඉන්ස්ටග්‍රෑම් අඩවිය හරහා තරුණ තරුණියන් 3,50,000ක් එක් දිනක් තුළ ලියපදිංචි වූ අත අතර, ඔවුන්ට මිලියන 20කට අධික අනුගාමිකයන්ද එක්විය.
දැන් අප මෙම කතාවේ යම් සන්ධිස්ථානයකට පැමිණ සිටින්නෙමු. කැරපොත්තා ජනතා පක්ෂය බිහිකිරීමට පෙරමුණ ගත් තරුණ ඉන්දීය නායකයා කවරෙක්ද? දැනට 30 වැනි වියේ පසුවන මොහුගේ නාමය වන්නේ අභිජීත් දීප්කේ (Abhijeet Dipke)ය. මොහු මුලින් ජනමාධ්‍යවේදය හදාරා මාධ්‍යවේදියකු ලෙස කටයුතු කර ඇති අතර, ඔහු දැනට මහජන සම්බන්ධතා පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය, ඇමෙරිකාවේ බොස්ටන් විශ්වවිද්‍යාලයේ හදාරමින් සිටියි. බොස්ටන් විශ්වවිද්‍යාලය යනු වසර 187ක ඉතිහාසයක් ඇති ලෝකයේ තිබෙන කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වෙයි. 2025 වසරේදී මෙම විශ්වවිද්‍යාලයේ සිසුන් 38,000ක් ඉගෙනුම ලබමින් සිටින බව වාර්තා පෙන්වා දෙයි. අභිජීත් දිප්කේ නමැති තරුණයා මීට පෙරද ඉන්දියාවේ ප්‍රකට දේශපාලන පක්ෂයක් වන ‘ආම් අදාමි පක්ෂයේ’ කටයුතුවලට සම්බන්ධ වී ඇත. මේ නිසා ඔහු ඉන්දියානු දේශපාලන සන්නිවේදකයකු සහ ක්‍රියාකාරිකයකු ලෙස ප්‍රකටය. අද ඔහු ඉන්දියාවේ තරුණ පරපුර සහ අනෙකුත් ජනතා පාර්ශ්ව අතර අතිමහත් ජනප්‍රියත්වයකට පත්ව ඇත්තේ මෙම කැරපොතු පක්ෂ දේශපාලනය හරහාය. සමාජ මාධ්‍ය වේදිකාවලට අමතරව ඔහු පසුගියදා ඇමෙරිකාවේ සිට ඉන්දියාවට පැමිණ නවදිල්ලි නගරයේදී සාමකාමී විරෝධතාවක්ද සංවිධාන කළේය. ඒ සඳහා ලක්ෂ ගණනක පිරිසක් සහභාගි වී ඇති බව ප්‍රකාශ වෙයි.
දැන් ඔබ මෙම කතාවේ යම් හැරවුම් ලක්ෂ්‍යයකටද පැමිණ සිටින්නේය. කිසිදු කාලයක දේශපාලන ඉතිහාසයේ අසන්නට නොලැබුණු මෙම උපහාසාත්මක කැරපොතු දේශපාලනය ලොව බොහෝ පාර්ශ්වවල දැඩි අවධානය යොමුකර ඇත. එනම් ඉන්දියානු වත්මන් දේශපාලන පාර්ශ්වවල කතාබහට ලක්ව ඇත්තේ නුදුරු අනාගතයේදී මෙම තරුණ පාර්ශ්වද දේශපාලනයට පිවිස මහත් ආන්දෝලනයක් ඇතිකරන බවය. මෙහිදී හෙළිවන තවත් සුවිශේෂ කතාවක්ද ඇත. එනම් කැරපොත්තා ජනතා පක්ෂයේ නිර්මාතෘ සහ නායක අභිජීත් දීප්කේ විසින් ප්‍රකාශ කර ඇති සමාජ දර්ශනයයි. ඔහු පසුගියදා නවදිල්ලියේදී පැවැති ශිෂ්‍ය විරෝධතාවයේදී එක්තරා ඉන්දීය ජනතා නායකයකුගේ දර්ශනය සමාජගත කර ඇත. එනම් ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්මාතෘ මෙන්ම උදාර ථෙරවාදී බෞද්ධ නායකයකු වූ ආචාර්ය බී.ආර්. අම්බෙඩ්කාර්ගේ සමාජ දර්ශනය අභිජීත් දීප්කේ විසින් මහත් අගැයීමකට ලක්කර ඇත. එනම් ඔහු විසින් ආචාර්ය අම්බෙඩ්කාර්ගේ ස්වයං චර්තාපදාන ග්‍රන්ථය අතැතිව වේදිකාවට පැමිණ තම මත ප්‍රකාශයන් සිදුකළේය. මෙහිදී ඉන්දියාවේ වත්මන් දේශපාලන නායකයන් වෙත ගැඹුරු දේශපාලනික පණිවුඩයක් ගෙන ආවේය. එනම් වත්මන් පාලකයන් තරුණ පරපුරෙහි අධ්‍යාපන අයිතිය සහ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවට මත ප්‍රකාශ විය. ඉන්දියාවේ පීඩිත ජනතාව වෙනුවෙන් සමාජ සමානාත්මතාව සහ යුක්තිය උදෙසා මහා සටනක් දියත් කළ නායකයා වන්නේ ඉහත පැවැසූ ආචාර්ය අම්බෙඩ්කාර්ය. මෙම සුවිශේෂ කතාව තවත් විග්‍රහ කරන්නේ මෙසේය.
පසුගිය කාලයේ ඉන්දියාවේ මිලියන සංඛ්‍යාත සිසුන්ගේ අනාගතය අඳුරු කළNEET (නීට්) නමැති විභාග වංචාව හමුවේ තමන් පාලකයන්ගේ මර්දනයට බියගැන්වීම්වලට යටත් නොවන බැව් අභිජීත් දීප්කේ පසුගියදා ප්‍රකාශ කර ඇත. එසේම තම සටන මෙහෙයවන්නේ ආචාර්ය අම්බෙඩ්කාර් ශ්‍රීමතාණන් විසින් නිර්මාණය කරන ලද ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ උත්තරීතර රාමුව තුළ සිටිමින් බවත් ඔහු අවධාරණය කර ඇත. එමෙන්ම ආචාර්ය අම්බෙඩ්කාර් යනු කුල පීඩනයට සහ සමාජ අසාධාරණයට එරෙහිව තම ජීවිතයේ අවසාන භාගයේදී ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සමග ථෙරවාදී බෞද්ධ දර්ශනය වැලඳගත්, අවිහිංසාව සහ සත්‍යය වෙනුවෙන් පෙනීසිටි ශ්‍රේෂ්ඨ නායකයෙකි. එසේ නම් මෙම සටන මෙහෙයවන වත්මන් ඉන්දීය තරුණ නායකයා බෞද්ධයෙක්ද යැයි විවිධ මතිමතාන්තර ප්‍රකාශ වී ඇත. එහිදී ප්‍රකාශ වී ඇත්තේ අභිජීත් දීප්කේ යනු ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ප්‍රසිද්ධ ‘දාලිත්’ පවුලක උපත ලැබූවෙක් බවයි. ‘දාලිත් ප්‍රජාව’ යනු ආචාර්ය අම්බෙඩ්කාර්ගේ මගපෙන්වීම යටතේ හින්දු කුල පීඩනයට එරෙහිව එකල සමූහ වශයෙන් ථෙරවාදී බුදුදහම වැලඳගත් සමාජ ප්‍රජාවයි. ඒ අනුව අභිජීත් දීප්කේ බෞද්ධයෙක් යැයි සිතිය හැකිය. කෙසේ හෝ මෙම නවතම තරුණයා වත්මන් මෝදි රජයේ පාලනයට සහ හින්දු කුලවාදයට යම් තර්ජනයක් එල්ල කරනු ඇතිය. අභිජීත් දීප්කේ යනු අනාගත ඉන්දීය නායකයෙක්ද?

ප්‍රියන්ත හෙට්ටිගේ










