2014 ඔක්තෝබර් මාසයේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ හමුවීමට ගොස් ඔහුට ලංකාවේ සංචාරයක් සඳහා ආරාධනා කළේය. ඊට පෙර 2013දී මහින්ද ලිඛිතව පාප්වහන්සේට ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කරමින් ලිපියක් ලීවේය. මහින්දට අවශ්‍ය වූයේ 2014 ජනාධිපතිවරණය කැඳවීමට පෙර පාප්වහන්සේව ලංකාවට ගෙන්වා ගැනීමය. පාප්වහන්සේව ලංකාවට ගෙන්වා ගැනීමේ මහින්දගේ උත්සාහය සාර්ථක කරගැනීමට ලංකාව සහ වතිකානුව අතර සම්බන්ධීකරණය කළේ කාදිනල් මැල්කම් රංජිත් හිමිය. කෙසේ හෝ ජනාධිපතිවරණයට කලින් නැත්නම් ජනාධිපතිවරණය අතරතුර පාප්වහන්සේව ගෙන්වා ගැනීම මහින්දගේ ඉලක්කය විය. එහෙත් පාප්වහන්සේට ලංකාවට නොයන ලෙස මානව හිමිකම් සංවිධාන බලපෑම් කළේ මහින්දගේ ආණ්ඩුවට එරෙහිව එල්ල වී තිබූ යුද අපරාධ නිසාය. මේ විරෝධය යටපත් කොට මහින්දගේ ආරාධනාව පිළිගැනීමට පාප්වහන්සේ එකඟ කරගැනීමට කාදිනල් හිමි විශාල කාර්යභාරයක් කළේය. හරියටම ජනාධිපතිවරණයට වසරක් තියා එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය පාප්වහන්සේව හමුවීමට ගියේ පාප්වහන්සේගේ පැමිණීම සහතික කරගැනීමටය. පාප්වහන්සේ ආරක්ෂක ලේකම්වරයෙක් හමුවීම මානව හිමිකම් සංවිධානවල විවේචනයට ලක්වුණත් ඒ හමුවීම පවා සම්බන්ධීකරණය කළේ කාදිනල් මැල්කම් රංජිත් හිමියන්ය. Sri Lanka Latest News
පාප්වහන්සේ ලංකාවට ඒමට කැමැත්ත පළ කළත් මහින්ද ජනාධිපතිවරණයක් කැඳවන මොහොතේ ලංකාවේ සංචාරය කිරීමට එකඟ වූයේ නැත. ජනාධිපතිවරණයට පසුව ලංකාවේ සංචාරය කිරීමට ඔහු කැමැත්ත පළ කළේය. පාප්වහන්සේ ලංකාවට එන විට මහින්ද පරාජය වී නව ජනාධිපතිවරයෙක් පත්වී තිබිණි.
පසුගියදා ජනාධිපති අනුර නව පාප්වහන්සේ ලියෝට ලංකාවේ සංචාරය කරන ලෙස ආරාධනා කළේය. ඔහුගේ නිල ආරාධනය පාප්වහන්සේට භාරදුන්නේ බිමල් රත්නායක ඇමැතිවරයාය. පසුගිය මාර්තු මාසයේ ඔහු වතිකානුවට ගොස් ආරාධනය භාරදුන්නේය. පාප්වහන්සේගේ සංචාරය සඳහා ආණ්ඩුව සහ වතිකානුව අතර සම්බන්ධීකරණය කරන්නේත් කාදිනල් හිමිය.
අනුරගේ සහ කාදිනල් හිමිගේ අරමුණ පාප්වහන්සේගේ සංචාරයට පෙර පාස්කු ප්‍රහාරයේ විමර්ශන අවසන් කිරීමය. වතිකානු ආරංචි මාර්ග කියන්නේ ආණ්ඩුව ඒ පොරොන්දුව වතිකානුවට දී ඇති බවය. කාදිනල් හිමි ඒ සඳහා ආණ්ඩුවට බලපෑම් කරන බව පැහැදිලිය. මේ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස පසුගියදා අධිකරණය ගෝඨාභයට විදේශ ගමන් තහනමක් පැනවීය. 2013 කාදිනල් හිමිගේ සම්බන්ධීකරණයෙන් ෆ්‍රැන්සිස් පාප්වහන්සේව ලංකාවට ගෙන්වා ගැනීමට ආරාධනා කළ ගෝඨාභය මෙදා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලදී චූදිතයෙක් බවට පත්වීම දෛවෝපගත සිද්ධියකි. පාප්වහන්සේ ලංකාවට පැමිණෙන විට ගෝඨාභයට පාස්කු ප්‍රහාර චෝදනා එල්ල කොට ඔහුව අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව ක්‍රියා කරනවාදැයි පැහැදිලි නැත.










