කැප්පෙටිපොළ, පුරන්අප්පු, ගොන්ගාලේගොඩ බණ්ඩා වගේ වීරයන්ගේ නම් අපි හැමෝම අහලා තියනවා. හැබැයි ඩේවිඩ්, කුමාරස්වාමි, කොබ්බෑකඩුව, රත්මලේ උන්නාන්සේ වගේ වීරයන්ගේ නම් අපි හුඟ දෙනෙක් අහලාවත් නැහැ.Sri Lanka Latest News
1818 නිදහස් සටන සහ 1848 නිදහස් සටන ගැන අපි හැමෝම අහලා තියනවා. හැබැයි මේ සුප්‍රකට සටන් දෙක අතරමැද තිබුණු අවුරුදු 33ක කාලවකවානුව තුළ අපේ රටේ තවත් අප්‍රකට අරගල හතක් දියත් වෙලා තියනවා. ඒවා ගැන අපි බොහෝ දෙනෙක් අහලා නැහැ.
එතකොට මේ කියන්න හදන්නේ බි්රතාන්ය අධිරාජ්‍යවාදයට එරෙහිව ලංකාව තුළ දියත්වූ අප්‍රකට නිදහස් අරගල කිහිපයක් ගැන. මේවා 1815 හෝ 1848 අරගලය තරම් ප්රබලව ව්‍යාප්ත වූ සටන් නොවෙයි. මේවා සාපේක්ෂව පුංචි පුංචි සටන්. හැබැයි ඒ හැම එකේම අරමුණ වුණේ බි්රතාන්ය පාලනය පෙරළා දැමීම. ඒ වෙනුවෙන් අපේ මිනිස්සුන්ට ජීවිත ඇතුළු බොහෝ දේවල් පරිත්‍යාග කරන්න සිද්ධ වුණා.
පෙබරවාරි 04 වැනිදා ලංකාවේ ජාතික නිදහස් දිනය. නිදහස ගැන කතාකිරීමේදී ලංකාවේ තිබෙන්නේ අරගල නොකර දිනාගත්ත නිදහසක් කියන එකත් සමහරු කියන කතාවක්. ඒ අය මේ ඉතිහාසය ගැන දැනුවත්ව සිටීම වැදගත්.
- 1820 ජනවාරි සටන
1815 සහ 1848 සුප්‍රකට සටන් දෙක අතර දියත් වූ පළමු අප්‍රකට නිදහස් සටන දියත් වුණේ 1820 වසරේ ජනවාරියේ. මේ සටන පටන් අරගෙන තියෙන්නේ ඌව බින්තැන්න ප්‍රදේශයෙන්. ඌව වෙල්ලස්ස සටනට වගේම මේ සටනටත් වැදි ජනතාව දහස් ගණනක් සම්බන්ධ වී තිබෙනවා. එතකොට මේ සටනේ රාජ ප්‍රතිරූපකයා වුණේ කුමාරස්වාමි කියලා කෙනෙක්. එතකොට ගණේගොඩ කියන දිසාවේ සිදුකළ පාවාදීමක් නිසා මේ සටන ගැන ඉංග්‍රීසින්ට කරුණු වාර්තා වෙනවා. ඒ අනුව 1820 ජනවාරි 12 වැනිදා මේ කුමාරස්වාමි කියන පුද්ගලයාව අල්ලාගෙන, නඩු අහලා ඔහුට මරණ දඬුවම නියම කරනවා. හැබැයි පස්සේ මරණ දඬුවම වෙනස් කරලා කුමාරස්වාමිව ජීවිතාන්තය දක්වා මුරුසියට පිටුවහල් කරනවා. ඉතින් මේ කුමාරස්වාමි කියන්නේ නිදහස වෙනුවෙන් එහෙම කැපකිරීමක් කළ කෙනෙක්. හැබැයි අපි කවුරුත් ඔහු ගැන දන්නේ නැහැ. - 1820 ඔක්තෝබර් සටන
1820 අවුරුද්දේම මාතලේ ප්‍රදේශයේ තවත් නිදහස් සටනක් දියත්වී තිබෙනවා. මේ සටනට මුල්වුණේ 1818 අරගලයටත් සම්බන්ධ කොබ්බෑකඩුව කියලා පුද්ගලයෙක්. කොබ්බෑකඩුවට අමතරව, කොස්වත්තේ රටේරාළ සහ හල්මිල්ලෑවැව උන්නාස්සේ කියන භික්ෂුව ඇතුළු ගිහි පැවිදි පිරිසක් මේ සටනට නායකත්වය දීලා තියනවා. හැබැයි මේ සටන පැතිරුණු සටනක් දක්වා වර්ධනය වෙන්න කලින්ම කොබ්බෑකඩුව අත්අඩංගුවට ගැනීමට ඉංග්‍රීසින් සමත් වෙලා තියනවා. පසුව 1820 ඔක්තෝබර් 29 වැනිදා කොබ්බෑකඩුව ඇතුළු සටනේ නායකයන් එල්ලා මරාදැමීම සිදුවෙනවා. ඉතින් ඒ අනුව මේ කොබ්බෑකඩුව කියන්නේ අපේ රටේ නිදහස වෙනුවෙන් ජීවිතය දීපු තවත් අප්‍රකට වීරයෙක්. එතකොට මේ සටන්වල විශේෂත්වය තමයි මේ සටන් දෙකම බි්රතාන්යයන් 1818දී පැනවූ යුද නීතිය අවලංගු කිරීමට පෙර දියත් වූ සටන් වීම. 1821 ජනවාරි 03 වැනිදා තමයි බි්රතාන්යයන් මේ යුද නීතිය අවලංගු කරන්නේ. - 1823 පෙබරවාරි සටන
1823 අවුරුද්දේ පෙබරවාරි මාසේ නුවරකලාවිය ප්‍රදේශයෙන් තවත් නිදහස් සටනක් මතුවෙලා තියනවා. නුවරකලාවිය කියන්නේ වර්තමාන අනුරාධපුර ප්‍රදේශය. අනුරාධපුරයේ තිබෙන නුවර වැව, කලාවැව සහ පදවිය වැව කියන වැව් තුනේ නම්වලින් තමයි නුවරකලාවිය කියන නම හැදිලා තියෙන්නේ. මේ සටනේ නායකයා රත්මලේ උන්නාන්සේ කියලා භික්ෂුන් වහන්සේ නමක්. වැඩිදුර යන්න කලින් මේ සටන මර්දනය කරලා රත්මලේ උන්නාන්සේ අත්අඩංගුවට ගන්න බි්රතාන්ය හමුදා සමත් වෙනවා. - 1823 මැයි සටන
මීළඟට 1823 අවුරුද්දේම මැයි මාසයේ මාතලේ ප්‍රදේශයෙන් තවත් නිදහස් සටනක් ගැන අහන්න ලැබෙනවා. මේ සටනේ ප්‍රධාන නායකයන් දෙන්නෙක් තමයි කහවත්තේ උන්නාන්සේ සහ කොස්වත්තේ රටේරාළ. පස්සේ 1823 අගෝස්තු 05 වැනිදා මේ දෙන්නාවම එල්ලා මරනවා. මේ සටනත් පටන් ගන්න කොටම මර්දනය කෙරෙනවා. එතෙන්දි 29 දෙනෙක් රාජද්‍රෝහී චෝදනාවලට වැරදිකරුවෝ වෙනවා. ඒ අතරින් මම කලින් කිවු දෙන්නා එල්ලා මරනවා. 13 දෙනෙක් ජීවිතාන්තය දක්වා රටින් පිටුවහල් කෙරෙනවා. තව කිහිපදෙනකුට කස පහර සහ වසර කීපයක සිර දඬුවම් ලැබෙනවා. මේ සටනේ විශේෂත්වයක් තමයි මේ සටනේ රාජ ප්‍රතිරූපකයා ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයෙන් පැමිණි ඉන්දියානු ජාතිකයෙක් වීම. ඔහුගේ නම ක්‍රිෂ්ණා හෙට්ටි. ඔහුට මේ සටනෙදි සිර දඬුවමක් තමයි ලැබෙන්නේ. මේක අද අපට පුංචි කතාවක් වුණාට මේ සටනට දායක වුණු අයට තමන්ගේ මුළු ජීවිතයම අහිමි වෙනවා. එල්ලා මැරුවේ දෙන්නෙක් විතරයි වුණාට 13 දෙනෙක් ජීවිතාන්තය තෙක් රටින් පිටුවහල් වෙනවා. ඒකත් මරණය වගේම ජීවිත අහිමි වීමක් තමයි. හැබැයි මේ වීරයෝ ගැන අපි කවුරුත් අහලා නෑ. - 1824 අගෝස්තු සටන
මේ සටනින් අවුරුද්දකට පස්සේ 1824 අගෝස්තු මාසයේ තවත් නිදහස් සටනක තොරතුරු අපට අහන්න ලැබෙනවා. මේකට නායකත්වය දීලා තිබෙන්නෙත් භික්ෂුන් වහන්සේ නමක්. උන්වහන්සේගේ නම සඳහන් වෙන්නේ නැහැ. ඊට අමතරව, නෙල්ලියේ පුංචි රාළ සහ වන්නකු රාළගේ පුංචි රාළ කියන දෙදෙනා ඇතුළු පිරිසක් මේකට සම්බන්ධ වෙලා තිබෙනවා. ආයුධ සන්නද්ධ වැදි ජනතාව ඇතුළු පන්සීයක විතර පිරිසක් තමයි මේ සටන පටන් අරගෙන තියෙන්නේ. මේ සටනේ රාජ ප්‍රතිරූපකයා හාරිස්පත්තුවේ සෙව්රාළ කියලා කෙනෙක්. ඉංග්‍රීසි හමුදා මේ සටන මර්දනය කිරීමේදී විශාල පිරිසක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒ අතරින් 50 දෙනකුට මරණ දඬුවම ලැබෙනවා. අනිත් අයට සිර දඬුවම් ඇතුළු විවිධ මට්ටමේ දඬුවම් හිමිවෙනවා. - 1834 බි්රතාන්ය විරෝධී කුමන්ත්‍රණය
1834 අවුරුද්දේ අපට තවත් වෙනස් විදිහේ සටනක් ගැන අහන්න ලැබෙනවා. මේකට මූලික වෙලා තියෙන්නේ මොල්ලිගොඩ කියන උඩරට නායකයා. ඔහු 1818 සටනේදී ඉංග්රීසින්ගේ ජයග්‍රහණයට උදව් කරලා ඒ වෙනුවෙන් විශාල වරප්‍රසාද ලබමින් සිටි කෙනෙක්. ඔහු තමයි මේකට මුල් වෙන්නේ. මේක ඇත්තටම සටනකට වඩා ඉංග්‍රීසි පාලනය පෙරළා දැමීමට දියත් කළ සූක්ෂ්ම කුමන්ත්‍රණයක්. මෙතැනදී ඔවුන් කළ දේ තමයි ඉංග්‍රීසි නිලධාරීන් සාදයකට කැඳවලා ඔවුන්ට වස දීලා ඝාතනයට ලක් කරන එක. මෙතෙන්දි ඉංග්‍රීසි පාලනය පෙරළා දැමීමට ප්‍රංශයෙන් ආධාර ලබාගන්නත් මොල්ලිගොඩ සැලසුම් කරලා තියනවා. හැබයි ඉංග්‍රීසින්ට කල්තියා මේ සැලසුම ගැන තොරතුරු අනාවරණය වෙනවා. ඒ අනුව මොල්ලිගොඩ ඇතුළු සිය දෙනෙක් අත්අඩංගුවට අරගෙන නඩු පවරනවා. හැබැයි පසුව ඔවුන් මේ නඩුවෙන් නිදහස් වෙලා තිබෙනවා. - 1843 සටන
මෙතෙක් පෙන්වා දුන් අප්‍රකට නිදහස් අරගලවල අවසාන සටන වාර්තා වෙන්නේ 1843 දුම්බර ප්‍රදේශයෙන්. මේ සටනේ රාජ ප්‍රතිරූපකයා ඩේවිඩ් කියලා කෙනෙක්. මේ සටන පටන් ගන්න කලින්ම මේකට නායකත්වය දීපු දීනිස්, ඩේවිඩ්, ඩිංගිරාළ, චන්ද්‍රගුප්ත, සීලවංශ සහ සරණංකර කියන භික්ෂුව අත්අඩංගුවට ගැනීමට ඉංග්‍රීසින් සමත් වෙලා තියනවා. මෙතෙන්දි රාජ ප්‍රතිරූපකයාව එල්ලා මරන්න තීරණය වුණත් පස්සේ ඒක අවුරුදු 14ක සිර දඬුවමකට සීමා වෙනවා. අනිත් අයට විවිධ මට්ටමේ සිර දඬුවම් ලැබෙනවා. මේවා තමයි 1818 සහ 1848 කියන කාලවකවානු අතර අපේ රටේ දියත් වූ අප්‍රකට නිදහස් අරගල.
අද අපි කාටත් මේවා අමතක වෙලා තිබුණාට මේ අප්‍රකට අරගල වෙනුවෙන් අපේ රටේ විශාල පිරිසක් ජීවිත ඇතුළු බොහෝ දේවල් පරිත්‍යාග කළා.
ආචාර්ය කුමාරි ජයවර්ධන රචනා කරපු Perpetual Ferment: Popular Revolts in Sri Lanka in the 18th and 19th Centuries කියන පොතේ සහ ගුණසේන සමාගම විසින් ප්‍රකාශයට පත්කළ ලාංකේය ඉතිහාසය කියන වෙළුම් පහක ග්රන්ථයට මහාචාර්ය මාලනී ඇඳගම විසින් සැපයූ ලිපියකත් මේ කරුණු ඇතුළත් වෙනවා. වැඩි විස්තර අවශ්‍ය අයට ඒවා කියවා බලන්න පුළුවන්.
ඉසුරු ප්‍රසංග










