අද ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත වාර්තා කල රුසියානු ගගනගාමීන් තිදෙනා යුක්රේනයට අයත් වර්ණයන්ගෙන් සැරසී සිටිම සිය ජනාධිපතිවරයා යුක්රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව විරෝධය පෑමකි විය හැකි යැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
කසකස්ථානයේ පිහිටා ඇති රුසියාවට අයත් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයකින් ජාත්‍යන්තර අභ්‍යවකාශය මධ්‍යස්ථානය බලා පිටත් වූ රොකට් යානයකින් ගගනගාමීන් තිදෙනා එහි පැමිණ තිබුනි.
ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය යනු රුසියාව, ඇමරිකාව, කැනඩාව, ජපානය සහ යුරෝපීය රටවල් කිහිපයක් එක්ව පවත්වාගෙන යන ඒකාබද්ධ ව්‍යාපෘතියකි.
එය මෙහෙයවනු ලබන්නේ ලෝක බලවතුන් දෙදෙනා වන ඇමරිකාව සහ රුසියාව වන අතර දෙපාර්ශවය අතර පවත්නා ගැටුම් නොසලකා දශක දෙකක් පුරා අඛණ්ඩව එය සාර්ථකව පවත්වාගෙන ඒමට එක්සත් ජනපදය සහ රුසියාව කටයුතු කර ඇත.
පැය තුනක අඛණ්ඩ අභ්‍යවකාශ ගමනකින් අනතුරුව ජාත්‍යන්තර අභවකාශ මධ්‍යස්ථානයට ලඟා වූ රුසියානු ගගනගාමීන් වන ඩෙනිස් මැට්වීව්, ඔලෙග් ආර්ටෙමියෙව් සහ සර්ජි කෝර්සකොව් මෙලෙස යුක්රේන වර්ණයන්ගෙන් යුතු ඇඳුම් වලින් පෙනී සිටියා.
ගගනගාමීන් සඳහා සම්මත රුසියානු නිල ඇඳුම සරළ නිල් පැහැති වන අතර, ගුවන් ගත වීමට පෙර ඔවුන් එම ඇඳුමින් සැරසී සිටි අතර මධ්‍යස්ථානයේ පෙනී සිටින විට ඔවුන්ගේ ඇඳුමේ වරණයන් වෙනස් වී තිබුනා.
කෙසේ වෙතත් රුසියාවේ පිහිටි පාලක මධ්‍යස්ථානය සාර්ථක ගුවන් ගමන වෙනුවෙන් ඔවුනට සුබ පතා තිබුනා.
කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වන රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය, ගගනගාමීන් යුක්රේනයට සහයෝගය දක්වන බව ප්‍රතික්ෂේප කළේය.
ඒ වෙනුවට ඔවුන් කියා සිටින්නේ ගගනගාමීන් තිදෙනාම රුසියානු Bauman මොස්කව් කාර්මික විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන් වන බැවින් ඔවුන් එම විශ්ව විද්‍යාලයේ ලාංඡනයේ වර්ණ වලින් සැරසී ඇති බවයි.
රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු, ලොව පුරා ජනතාව යුක්රේනයට සහයෝගීතාවය සහ සහයෝගය දැක්වීම සඳහා එහි ජාතික කොඩියේ වර්ණ භාවිතා කර ඇත.
එමෙන්ම මේ පිළිබඳව ගගනගාමීන්ගෙන් විමසීමක් කලද ඔවුන් ප්‍රකාශ කලේ වරණයන් තෝරාගැනීම සිය අයිතියක් බවයි.
කෙසේ වෙතත් ගගනගාමීන් තිදෙනාම සිය සේවය නිමකිරීමෙන් පසුව තවත් මාස 6කින් පෘථිවියට ලඟාවීමට නියමිතයි.

තිලාන් ජයසේකර
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට










