මාස ගණනාවක් පුරාවට අතුරුදන්ව සිටි දෙබරගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කළ බඹරගල අභයවංශ හිමිපාණන්ගේ බවට සැකකරන අස්ථි කොටස් සේනාසනයට යාබද ඝණ කැලෑවේ තිබී හමු වී තිබෙනවා.Sri Lanka Latest News
ඒ සේනාසන භූමියේ සිට කිලෝ මීටර් 02ක් පමණ දුරක තිබී බවයි වාර්තා වන්නේ.
මී කැඩීමට කැලෑවට ගිය පිරිසක් විසින් මෙම අස්ථි කොටස් මුලින්ම දැක ඇති බවයි පොලිසිය පැවසුවේ.
පසුව ඔවුන් විසින් ඒ බව කුච්චවේලි පිච්චමල් විහාරවාසී කැප්පෙටියාවේ අරණ විහාරයේ හිමියන්ට දැනුම් දී තිබුණා.
පසුව ඒ බව උන්වහන්සේ විසින් කුච්චවේලි පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව, කුච්චවේලී පොලීසිය පෙරේදා (04) එහි ගොස් කළ පරීක්ෂාවේදී ගසක් පාමුල තිබූ එම අස්ථි කොටස් අතුරුදන්වූ භික්ෂුවගේ බවට හඳුනාගෙන තිබෙනවා.
අභයවංශ හිමියන් භාවිතා කළ උපැස් යුවල, ඖෂධ කිහිපයක් හා චීවරයේ කොටස්ද එහිදී හමුවීම හේතුකොටගෙන මෙම අස්ථි කොටස් අතුරුදන් වූ භික්ෂුවගේ බව පොලීසිය විශ්වාසය පල කරනවා.
අතුරුදන් භික්ෂුව කලක් බටහිර වෛද්‍යවරයෙක් ලෙස සේවයේ නිරතව සිට ඇති අතර, අවසන් වරට කොස්ගම සාලාව රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරියා ලෙස සේවයේ නිරතව සිට තිබූ බවයි වාර්තා වන්නේ.
අභයවංශ හිමියන් භාවනානුයෝගීව සිටි සේනාසනය පිහිටා ඇත්තේ වන සතුන් බහුල වනාන්තරය මැදයි.
උන්වහන්සේ අතුරුදන්ව ඇත්තේ වන මැදින් තනිවම වැඩම කරමින් සිටියදී බවයි පැවසෙන්නේ.
පසුව මාසයකට වැඩි කාලයක් තිස්සේ යුද හමුදාව පොලිස් විශේෂ කාර්ය බලකාය උන්වහන්සේ සොයා සෝදිසි මෙහෙයුම් සිදු කළත් තොරතුරක් නොවූ තැන එම මෙහෙයුම්ද නවතා තිබුණා.
අභයවංශ හිමියන්ගේ බවට කොටස් හමු වූ ස්ථානයට ත්‍රිකුණාමලය වැඩ බලන මහේස්ත්‍රාත් ඒ.එස්.එම්. සාහිර් පැමිණ පරීක්ෂණ පවත්වා වැඩිදුර වාර්තාවක් කුච්චවේලි සංචාරක මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළා.
සිද්ධිය සම්බන්ධයෙන් පුල්මුඩේ සහකාර පොලිස් අධිකාරී චරිත ඒ.බී. ජයසුන්දරගේ උපදෙස් මත කුච්චවේලි පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.ඩී. පද්මනන්දන ඇතුලු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.









