• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Rajya Rahas

රනිල් හිරකිරීම පිටුපස ආන්දෝලනාත්මක හෙළිදරව්ව! වැලිකඩදී කරදරයක්! කෑම ආවේ පාන්දර 1ට! වැසිකිළිය කැඩිලා! රනිල් සජිත්ගෙන් ඉල්ලපු දේ! අනුරගෙන් ආ කෝල් එක! UNP භූතයෝ දෙන්නා ගේමක! තලතා-රුවන් දුම්මල වරම අතට ගනී! රනිල්ට තව කේස් 2ක් එනවා! ‘මව්රට’ට විශේෂයි..! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

August 30, 2025
in Exclusive, Rajya Rahas
Reading Time: 22 mins read
A A
Share on WhatsAppShare on Facebook

රනිල් අමාරුවේ

ලංකා ඉතිහාසයේ සුවිශේෂ වාර්තාවක් තබමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය සතියේ සිකුරාදා (22) දින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගනු ලැබීය. සිකුරාදා පෙරවරුවේ එම අත්අඩංගුවට ගැනීම සිදුවූ අතර හරියටම රාත්‍රී 10.00ට රනිල්ව දින හතරකට රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය පියවර ගත්තේය. මෙය ලංකා ඉතිහාසයේ වාර්තාවක් වන්නේ හිටපු ජනාධිපතිවරයකු අත්අඩංගුවට ගත් ඉතිහාසයේ පළමු අවස්ථාවත්, රක්ෂිත බන්ධනාගාරගත කළ පළමු අවස්ථාවත් මෙය වීම නිසාය. මහ මැතිවරණය පරාජයට පත්වී ගෙදර සිටි රනිල් පිටිපස්සා දොරෙන් පාර්ලිමේන්තුවට පැමිණ පාර්ලිමේන්තුවේ ඡන්දයකින් ජනාධිපති ධුරය තමන්ගේ නමට ලියාගෙන සිටියේ වාර්තාවක් තබාගෙනය. නමුත් අවසානයේදී රක්ෂිත බන්ධනාගාරගත වෙමින් තවත් නොබිඳිය හැකි වාර්තා දෙකක් තමන් සතු කරගැනීමට රනිල් එදින සමත් විය. බොහෝ දෙනා සිතා සිටියේ රනිල් අත්අඩංගුවට ගන්නවා නම් ගනු ඇත්තේ ආන්දෝලනාත්මක බැඳුම්කර වංචාව, පාස්කු ප්‍රහාරය, බටලන්ද ඝාතන වැනි ප්‍රකට චෝදනා යටතේ යැයි කියාය. නමුත් එම පරීක්ෂණ වෙනමම පැවැත්වෙමින් තිබියදී මීට මාස කීපයකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රනිල්ගේ ලන්ඩන් ගමනක් ගැන විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබිණි.Sri Lanka Latest News

සිය බිරිය වූ මෛත්‍රී වික්‍රමසිංහගේ උපාදි ප්‍රදානෝත්සවයකට සහභාගී වීමට රනිල් මෙසේ ලන්ඩනය බලා ගොස් තිබූ බවත්, පෞද්ගලික සංචාරයක් වූ ඒ සඳහා මහජන මුදල් රුපියල් ලක්ෂ 166කට අධික ප්‍රමාණයක් වැයකොට ඇති බවත් රනිල්ට එල්ල වී තිබූ ප්‍රධාන චෝදනාව විය. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට සති තුනකට ඉහතදී රනිල්ගේ පෞද්ගලික ලේකම්වරිය වූ සැන්ඩ්‍රා පෙරේරාගෙන් සහ එවක ජනාධිපති ලේකම්වරයා වූ සමන් ඒකනායකගෙන් ප්‍රකාශ සටන් කරගැනීමට පියවර ගෙන තිබිණි. මෙවැනි විමර්ශනයක් ආරම්භ කිරීමට නිමිත්ත වී තිබුණේ අදාළ සංචාරයෙන් පසු රනිල්ගේ පෞද්ගලික ලේකම්වරිය වන සැන්ඩ්‍රා අවස්ථා කීපයකදීම තමන්ට හිමි ගෙවීම් (පර්ඩියම්) ලබාදෙන ලෙස ඉල්ලා විදේශ අමාත්‍යාංශය වෙත ලියි යොමුකර තිබීමය. අදාළ සංචාරයේ ගෙවීම් පිළිබඳ ප්‍රශ්නයක් ඇති බව මුල් වරට එළියට ආවේ සැන්ඩ්‍රාගේ එම ලිපි ලිවීම හරහාය.

කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරගෙන යද්දී සියල්ලන්ම පාහේ අනාවැකි පළකොට තිබුණේ මේ සිදුවීම සම්බන්ධ කොට ගෙන කිසිදු විටක ආණ්ඩුව රනිල්ට අත නොතියනු ඇති බවකි. බොහෝ විට ඊට මුදල් අනුමත කළ එවක ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ පිටින් මෙය යනු ඇති බව බොහෝ දෙනාගේ අදහස විය. මේ සම්බන්ධයෙන් විමර්ශන වැඩිදුර සිදුකෙරෙද්දී පසුගිය සතියේ අප මේ පිළිබඳ තවත් විශේෂ අනාවරණයක් සිදුකරමින් කියා සිටියේ මේ වනවිට ඇමෙරිකානු තානාපති කාර්යාලයේත්, සිංගප්පූරු මහකොමසාරිස් කාර්යාලයේත් සේවය කරන ප්‍රොටෝකෝල් නිලධාරීන් ලංකාවට ගෙන්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන තිබූ බවකි. එමෙන්ම රනිල්ගෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට කැඳවීමක් කර ඇති බවද අපි සඳහන් කර සිටියෙමු. පසුගිය සිකුරාදා (22) දින රනිල්ගෙන් ප්‍රකාශයක් ගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළේ ඒ අනුවය.

මෙම අත්අඩංගුවට ගැනීමත් සමග එතෙක් සාමාන්‍ය අයුරින් පැවැති දේශපාලනය හිටි හැටියේම කැලඹී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණී. අවශ්‍ය තරම් වෙනත් බරපතළ චෝදනා තිබියදී මෙවැනි සුළු සිදුවීමකට රනිල් අත්අඩංගුවට ගනු ඇති බවක් කිසිවකුත් නොසිතීම ඊට හේතුව විය. එහිදී විපක්ෂය පවා කියා සිටියේ මෙය ආණ්ඩුව විසින් ගත් වැරැදි තීන්දුවක් යැයි කියාය. ආණ්ඩුව හරිනම් කළ යුතුව තිබුණේ අනෙකුත් චෝදනා ඇති හිටපු මැති ඇමැතිවරුන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රනිල්ව අත්අඩංගුවට ගත යුතුව තිබුණා යැයි කියාය. නිෂ්ක්‍රීය වී සිටි රනිල් යළිත් දේශපාලනයට පැමිණීමට ආණ්ඩුව පාර කැපුවා යැයි කියාය.

ගත්තේ සිස්ටම් එක බලන්න

කෙසේ වෙතත් අපට ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුවූයේ නිකන් ආවාට ගියාට නම් නොවේ යැයි කියාය. විශාල ඉදිරි සිදුවීම් ගණනාවක අතිශය තීරණාත්මක ආරම්භයක් ලෙස මෙය සිදුව ඇතැයි කියාය. අපට එන එක තොරතුරකින් කියැවෙන්නේ මෙම අත්අඩංගුවට ගැනීමට පෙර ආණ්ඩුව ඇතුළේ ඒ සම්බන්ධයෙන් යම් සංවාදයක් පැවැත්වී ඇති බවකි. එහිදී ආණ්ඩුවටද මෙවැනි තීරණාත්මක අත්අඩංගුවට ගැනීමකින් පසු ක්‍රියාපටිපාටිය සිදුවෙමින් යන ආකාරය පිළිබඳවත්, එවැන්නක් අවසානය දක්වා ගමන් කරන්නේද යන්න පිළිබඳවත්, එම සිදුවීම අතරමග නවතින්නේ නම් හෝ ඊට බාධා එල්ල වන්නේ නම් එය සිදුවන්නේ කුමන ස්ථානයෙන්ද යන්න පිළිබඳවත් සොයාගැනීමට අවශ්‍ය වී තිබිණි. සාමාන්‍යයෙන් සමාජයේ මුල්බැස ඇති මතයක් වන්නේ කිසියම් පරීක්ෂණයක යම් දේශපාලන ප්‍රබලයෙක් හෝ ප්‍රබල ව්‍යාපාරිකයෙක් සිටින්නේ නම් හෝ එම සිදුවීමට හිටපු ජනාධිපතිවරුන්ගේ අගමැතිවරුන්ගේ සහ මැති ඇමැතිවරුන්ගේ සම්බන්ධයක් ඇත්නම් එම විමර්ශන ඇතැම් තැන්වල සිරවෙන බවකි. ඉන් එහාට පරීක්ෂණ නොයන බවකි. ඒ නිසා විපක්ෂයේ ඇතමුන් රනිල් අත්අඩංගුවට ගෙන ආණ්ඩුව ඇනගත්තා.., ආණ්ඩුවට මේක බැක්ෆයර් වෙනවා.., ආණ්ඩුව කෙළවගත්තා යන කුමන කතා කීවද අප ඉතා වගකීමෙන් යුතුව වාර්තා කරන තොරතුරක් වන්නේ ආණ්ඩුව විසින් මෙම තීන්දුව ඉතා සිහිකල්පනාවෙන් යුතුව ගෙන ඇති බවකි. එම නිසා රනිල්ගේ අත්අඩංගුවට ගැනීමෙන් වැරැදි පාරවල්වල යන සමහරුන්ටද අප කියා සිටින්නේ ආණ්ඩුව මෙම තීන්දුව ගත්තේ සිස්ටම් එක දුවන ආකාරය පිළිබඳ පූර්ණ විස්තරයක් අතට ගැනීමට විනා වෙන කිසිදු හේතුවක් මත නොවේ යැයි කියාය.

ආණ්ඩුව ඇතුළේ ගිය මෙම සංවාදයෙන් තවදුරටත් කියැවුණේ පවතින ක්‍රමවේදය ඇතුළේ මෙවැනි තීරණාත්මක විමර්ශන අතරමග නවතින නිසා අත නොතබන බවට සමාජයේ මුල්බැස ගෙන ඇති පිරිසටද අත තබා සිස්ටම් එක වෙනස් කළ යුතු බවය. සාමාන්‍යයෙන් ලංකා ඉතිහාසයේ මෙතෙක් සිදුවූයේ ප්‍රබලයන් සම්බන්ධ වී සිටින ඕනෑම නඩු කටයුත්තකදී ඊට විවිධ පාර්ශ්වයන් හරහා බලපෑම් කොට කුමන හෝ තැනකින් එම විමර්ශන කඩාකප්පල් කිරීමය. ඒ අනුව ලංකා ඉතිහාසයේ කිසිදු අවස්ථාවක හිටපු ජනාධිපතිවරයකු ප්‍රශ්න කොට අත්අඩංගුවට ගැනීමක් දක්වා විමර්ශන ඉදිරියට ගොස් තිබුණේ නැත. ඒ අනුව එවැනි අත්අඩංගුවට ගැනීමක් කළහොත් සිස්ටම් එක ක්‍රියාත්මක වන්නේ කෙසේද, ඊට අදාළ පාර්ශ්වයන් හැසිරෙන්නේ කෙසේද, විමර්ශන කණ්ඩායම්, අධිකරණය, පොලිසිය, බන්ධනාගාරය, රෝහල ආදී ක්ෂේත්‍රයන් එවැනි සිදුවීමකදී කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳ දැකබලා ගැනීමේ අවශ්‍යතාවක් ආණ්ඩුවේ පිරිස් වෙතද තිබිණි. එවැනි විමර්ශනයකදී නිවැරැදිව කටයුතු කරන අංශ මොනවාද, විමර්ශන කඩාකප්පල් කිරීමට හෝ විමර්ශන නොමග යැවීමට හෝ විමර්ශනවලට බාධා කිරීමට කටයුතු කරන ක්ෂේත්‍ර මොනවාද, එවැනි අංශ ඇත්නම් ඒවා සකස් කරගත යුත්තේ කෙසේද යන්න පිළිබඳ නිරීක්ෂණය කිරීම ආණ්ඩුව පැත්තෙන් තිබූ සැලසුම විය.
කෙසේවෙතත් මීට සති 3කට ඉහතදී බොහෝ දෙනාගේ අදහස වී තිබුණේ මෙම විමර්ශනයේදී රනිල් වැරැදිකාරයා වුවහොත් ආණ්ඩුව රනිල්ට අත නොතියනු ඇතැයි කියාය. නමුත් එය එසේ නොවන බවත්, නීතිය සියල්ලන්ටම එක හා සමාන බවත්, වැරැද්දක් කර ඇත්නම් තරාතිරම නොබලා ඕනෑම අයකුට නීතිය ක්‍රියාත්මක වන බව රටට තහවුරු කොට පෙන්වීම සඳහාත් මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇති බව අපට එන ආරංචිවලින් කියැවෙන්නකි.

රනිල්ගේ පාර්ශ්වයෙන්ද මුලින්ම කියැවී තිබූ කාරණාව වූයේ ප්‍රශ්න කළාට අත්අඩංගුවට ගැනීමක් සිදු නොවනු ඇති බවකි. නමුත් ප්‍රශ්න කිරීම් සිදුවන ආකාරයට රනිල් වෙනුවෙන් පැමිණ සිටි නීතිඥවරු අවසන් පැය කීපයේදී බොහෝ දුරට රනිල්ව අත්අඩංගුවට ගනු ඇති බව වටහාගෙන සිටියහ. ඒ අනුව අන්තිම පැය කීපයේදී එම නීතිඥවරුන් රනිල්ට දැනුම් දී තිබුණේ බොහෝ දුරට අත්අඩංගුවට ගැනීමක් සිදුවනු ඇති බවත්, ඒ සඳහා සූදානම් වන ලෙසත්ය. නීතිඥවරුන් අනුමාන කළ ආකාරයටම සිකුරාදා දහවල් වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රනිල්ට දැනුම් දුන්නේ ඔහුව අත්අඩංගුවට ගැනීමට තීරණය කොට ඇති බවකි. එම ප්‍රකාශයත් සමග රනිල් ‘ෂොක්‘ වූ ආකාරයක් දැකගත හැකිවිය.
එම තීන්දුවත් සමග පවතින ක්‍රමවේදය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය වැඩ කොටස අකුරට ඉටුකරන බව සියලු දෙනාටම පැහැදිලි විය. ඉන් අනතුරුව ආරම්භ වූයේ අධිකරණ ක්‍රියාවලියය. මෙහිදී බොහෝ දෙනා සිතා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රනිල්ව අත්අඩංගුවට ගත්තද අධිකරණයේදී රනිල්ට ඇප ලැබෙනු ඇතැයි කියාය. ඒ අනුව සිකුරාදා පස්වරුවේ රනිල් සම්බන්ධයෙන් වූ අධිකරණ ක්‍රියාවලිය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී ආරම්භ වූ අතර, සවස 6.00ට පමණ මහෙස්ත්‍රාත්වරිය ඇප ලබාදීම සම්බන්ධයෙන් වූ තීන්දුව ප්‍රකාශ කිරීම පැය භාගයකට ප්‍රමාද කරන බව දැනුම් දීමට පියවර ගත්තාය. එහිදී බොහෝ දෙනා කලබලයට පත්වූයේ පැය භාගයකින් තීන්දුව ලබාදෙනවා යැයි කීවද රාත්‍රි 10.00 වනතුරුත් තීන්දුව ලබාදීම ප්‍රමාද වීම නිසාය. මෙසේ තීන්දුව ලබාදීම ප්‍රමාද වීමත් සමග විවිධ කටකතාවලට සමාජය ඇතුලේ තටු ලැබුණු ආකාරයක් දැකගන්නට ලැබිණි. ඇතැමුන් කියා සිටියේ ෂුවර් එකටම ජනාධිපතිගෙන් හරි ඉහළ තැන්වලින් හරි උපදෙස් ගන්න වුවමනා නිසා තීන්දුව දෙන එක පරක්කු කරනවා ඇති යැයි කියාය. තවත් කටකතාවකින් කියැවුණේ අනුරට කෝල් කරන්න යනවා ඇති යැයි කියාය. නමුත් අප ඉතා වගකීමකින් යුතුව මෙවර වාර්තා කරන්නේ කිසිදු තැනකින් ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවේ වෙනත් මැති ඇමැතිවරයකුට හෝ කිසිදු ආකාරයක ඇමතුමක් නොලැබුණු බවකි. සිස්ටම් එක ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ පූර්ණ විස්තරයක් ගත යුතු නිසා ඒ සියලු අංශ ඒ වනවිට සිටියේ නිරීක්ෂකයන්ගේ භූමිකාවේය. ඒ අතරවාරයේදී අවස්ථා ගණනාවකදීම අධිකරණ පරිශ්‍රයේ විදුලිය විසන්ධි වීම් සිදුවූ නිසා විදුලිබල මණ්ඩලයේ සේවකයන් ද එම පරිශ්‍රයට කැඳවීමට පියවර ගෙන තිබිණි. අවසානයේදී රාත්‍රී 10.00ට පමණ සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මහෙස්ත්‍රාත්වරිය අඟහරුවාදා (26) දින දක්වා රනිල්ව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය. ඒ අනුව කිසිදු බලපෑමකින් තොරව අධිකරණයද ක්‍රියාත්මක වන බවක් එම තීන්දුවත් සමග පැහැදිලි විය.

වැලිකඩ බාල්දිය

රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව සිකුරාදා රාත්‍රියේම මාංචු දැමූ රනිල්ව බන්ධනාගාර බස් රථයකින් වැලිකඩ බන්ධනාගාරයට ගෙනයෑම සිදුවිය. නමුත් රනිල්ගේ පළමු රැය ගෙවුණේ සාමාන්‍ය සිරකරුවන් සමග නොව වැලිකඩ බන්ධනාගාරයේ ඇති සාමාන්‍ය සැපපහසුකම් සහිත විශේෂ කාමරයකය. එය බන්ධනාගාරය ඇතුළේ ඇති එක්තරා ආකාරයක සාමාන්‍ය මට්ටමේ විවේක කාමරයකි. පසුගිය කාලයේදී බන්ධනාගාරගත කෙරුණු හිටපු පොලිස්පතිවරුන්, ප්‍රබල ලේකම්වරුන් මෙන්ම ප්‍රබල මැතිඇමැතිවරුන් පවා රඳවා තබා තිබුණේ සාමාන්‍ය මට්ටමේ සැපපහසුකම් ඇති මෙම විවේක කාමරයේය.

කෙසේ නමුත් මෙම විවේක කාමරයේ රඳවා සිටි රනිල්ට එදින රාත්‍රියේ අකරතැබ්බයන් කිහිපයකටම මුහුණ දීමට සිදුවිය. ඉන් ප්‍රධානම කාරණාව වූයේ වැසිකිළි කැසිකිළි පහසුකමය. විශේෂයෙන්ම එහි කොමෝඩ් එක නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම නිසා එය භාවිත කිරීම රනිල්ට විශාල ප්‍රශ්නයක් වී තිබිණි. ඒ අනුව බන්ධනාගාර සේවකයන් එය ප්‍රයෝජනයට ගත හැකි ආකාරයට සකස් කරන තුරු ඉවසා සිටීමට රනිල්ට සිදුවිය. එමෙන්ම රනිල් සිකුරාදා පෙරවරුවේ සිට රාත්‍රිය වනතුරුත් කිසිදු ආහාරයක් හෝ පානයක් ලබාගෙන නොතිබූ නිසා වැලිකඩට පැමිණි පසු රනිල් සිටියේ දැඩි කුසගින්නකය. ඒ වනවිටත් නිවසින් රනිල්ගේ කෑම වේල බන්ධනාගාරය වෙත ලබාදී තිබුණද එම කෑම වේල වටේටම ගොස් රනිල්ගේ අතට පත්වන විට පාන්දර 1.00 පමණ වී තිබිණි. ඒ වනවිට දැඩි කුසගින්නක සිටි රනිල් කෑම වේල ලැබුණු සැණින් කිසිදු ඉස්පාසුවකින් තොරව එය කාගෙන කාගෙන කරන ආකාරයක් දැකගත හැකි විය. එමෙන්ම කිසිදු දිනයක මෙම අත්දැකීම විඳ නොතිබුණු නිසාත්, අවම පහසුකම් පමණක් තිබීම නිසාත් රනිල්ට එදින වෙනදා මෙන් සුව නින්දක් ලැබුණු ආකාරයක්ද දැකගන්නට නොලැබිණි. එමෙන්ම රනිල් බොහෝ රෝගී තත්ත්වයන්ගෙන් පෙළීම නිසා ඊට පසු දිනම ඔහුව නිරීක්ෂණය කළ වෛද්‍යවරුන් රනිල්ව ජාතික රෝහලට මාරුකිරීමටත්, ඔහුට නිවසින් ආහාර ලබාදීමටත් නිර්දේශ කොට තිබිණි.

රනිල් සජිත්ගෙන් කළ ඉල්ලීම

මේ ආකාරයට හිටපු ජනාධිපති රනිල් රක්ෂිත බන්ධනාගාරගත වන විට විපක්ෂ නායක සජිත් සිටියේ සිංගප්පූරුවේ සංචාරයක නිරත වෙමිනි. මෙම තොරතුර වාර්තා වීමත් සමග සජිත් කළේ සිය සිංගප්පූරු සංචාරය කෙටි කොට වහාම ලංකාවට පැමිණීමට තීන්දු කිරීමය. ඒ අනුව සජිත් ලංකාව බලා පැමිණිම සඳහා සිංගප්පූරුවේ චැන්ගි ගුවන්තොටුපළේ සිටියදීම විශේෂ ‘එක්ස්’ පණිවුඩයක් තබමින් මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය රටට කීමට පියවර ගත්තේය. එහිදී සජිත් කියා සිටියේ රනිල් අත්අඩංගුවට ගැනීම සහ බන්ධනාගාරගත කිරීම පිළිබඳ ඊට දින කීපයකට පෙරාතුව යූටියුබ්කරුවකු විසින් තොරතුරු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට තිබීම හරහා මෙය පසුපස ඇති සමස්ත ක්‍රියාවලිය ප්‍රශ්න කිරීමට සිදුවනු ඇති බවය. එය ප්‍රජාතන්ත්‍රවාදය නොවන බවය.

එපමණක් නොව ලංකාවට පැමිණි වහා අනිත් පැත්තට සජිත් කළේ වැලිකඩ බන්ධනාගාරයට ගොස් රනිල්ගේ සුවදුක් විමසා බැලීමය. බොහෝ දෙනා ඒ වනවිටත් සිතා සිටියේ සජිත්ගේ දේශපාලන ජීවිතය පුරාම රනිල් සජිත්ට කළ කුඩුකේඩුකම්, කකුලෙන් ඇදීම්, ගේම් ගැසීම්, පරාජයට පත්කිරීම් හේතුවෙන් සජිත් මේ මොහොතේ රනිල්ගේ පැත්තවත් නොබලනු ඇතැයි කියාය. නමුත් ඒ සියල්ල පසෙක තැබූ සජිත් නියම මහත්මයකු සේ ලංකාවට පැමිණි වහා කළේ සිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද කැටුව රනිල්ව බැලීමට වැලිකඩට යෑමය. එම මන්ත්‍රීවරුන් අතර මුජිබර් රහුමාන්, ජේ.සී. අලවතුවල, සුජිත් සංජය පෙරේරා ද සිටියහ. ඒ අනුව මේ මන්ත්‍රීවරුන් සමග සජිත් රනිල්ව හමුවී ඔහුගේ රෝගී තත්ත්වයන් පිළිබඳවත්, සිදුකළ යුතු ඉදිරි කටයුතු පිළිබඳවත් කෙටි සාකච්ඡාවක නිරත විය. මෙහිදී රනිල්ටත් සජිත්ටත් දෙදෙනාටම ඔවුනොවුන් සමග තනිව කතාබහ කිරීමේ අවශ්‍යතාවක් තිබිණි. එය වටහාගත් නිසාදෝ ටික වේලාවකින් පසු මුජිබරුත්, ජේ.සී.ත්, සුජිත් සංජයත් මඳක් පසෙකට වී ඔවුන් දෙදෙනාට තනිව කතාබහ කිරීමට අවස්ථාව සකස් කළහ. ඒ අනුව දෙදෙනා අතර කතාබහට ලක්වූයේ මොනවාද යන්න පිළිබඳ මන්ත්‍රීවරුන්ට හෝ දැනගැනීමට අවස්ථාවක් නොතිබිණි. නමුත් අප ඉතා වගකීමෙන් කියන කාරණාවක් වන්නේ කිසි කෙනකු නොදන්නා මෙම කතාබහේදී මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන් කනපිට පෙරළීම සඳහා අවශ්‍ය තීන්දු තීරණ රැසක් මෙම ගත් බවය.

සජිත් මොනවක් කළේ නෑ!

‘රාජ්‍ය රහස්’ තීරය කියවන සියල්ලන්ම දන්නා කාරණාවක් වන්නේ පසුගිය කාලවකවානුව පුරාම අප මෙම තීරය ඔස්සේ සජිත්ව විනාශ කිරීම සඳහා රනිල් ගැසූ ගේම්, රනිල් කළ කුමන්ත්‍රණ, රනිල් කළ සැලසුම් සියල්ලම අකුරක් නෑර රටට අනාවරණ කළ ආකාරයය. සජිත්ගේ දේශපාලන ජීවිතය ආරම්භ කළ දිනයේ සිටම රනිල් කළේ සජිත්ගේ ඔළුවට ගල් පෙරළීමය. විශේෂයෙන්ම සජිත් එජාපයෙන් ඉවත්ව සජබය බිහිකළ දා පටන්ම රනිල්ගේ එකම මෙහෙයුම වී තිබුණේ සජිත්වත් සජබයත් විනාශ කර දැමීමය. රනිල් මේ ආකාරයට සජිත්ව විනාශ කිරීමට තමන්ගේ පැය 24ම යෙදෙව්වද කිසිදු අවස්ථාවක සජිත් පෙරළා රනිල්ව විනාශ කිරීමට හෝ රනිල්ව පරාජය කිරීමට හෝ රනිල්ට එකට එක කිරීමට තත්පරයක්වත් කාලය යෙදවූයේ නැත. එවැන්නක් පිළිබඳ කිසිදු දිනක අප අසාවත් නැති අතර, ඒ සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවක එවැන්නක් වාර්තා කිරීමට හෝ අප කටයුතු කොට නොමැත. මන්ද සජිත් යනු එවැනි ජාතියේ පස්සෙන් පන්න පන්නා පහර දෙන, පළිගන්නා ජාතියේ පහත් දේශපාලකයකු නොවීම නිසාය. කවුරු පහර දුන්නද සජිත් කළේ ඊට කලබල නොවී තමන්ගේ පාඩුවේ රටේ ජනතාව සමග දේශපාලනය කිරීම පමණි.

බන්ධනාගාර සිරමැදිරියේ රනිල් සහ සජිත් අතර පැවැති විනාඩි කිහිපයක කෙටි සාකච්ඡාව පවා පැවැත්වුණේ මෙවැනි වෙනසක් දෙදෙනා අතර තිබියදීය. මෙහිදී රනිල් කතා කළේ දැඩි ලෙස කඩාවැටුණු මානසිකත්වයකින් යුතුවය. ඒ අනුව රනිල් තමන්ට ගොඩ ඒම සඳහා කෙළින්ම සජිත්ගෙන් උදව් ඉල්ලා සිටි ආකාරයක් දැකගත හැකි විය. එහිදී රනිල් සජිත්ගෙන් ඉල්ලා සිටියේ එකම එක ඉල්ලීමකි. ඒ, මෙම සටන අත් නොහරින ලෙසත්, ආණ්ඩුව විසින් ගෙනයන මෙම මර්දනයට එරෙහිව සටන් කරන ලෙසත්, තමන්ව එළියට ගැනීම සඳහා සිදුකරන මෙහෙයුමේ නායකත්වය සජිත්ට ගන්නා ලෙසත්ය. එහිදී දෙවරක් නොසිතාම සජිත් කියා සිටියේ රනිල්ව එළියට ගැනීමේ සටනට තමන් ස්ථිරවම නායකත්වය ලබාදෙනවා යැයි කියාය. එමෙන්ම රනිල්ව එළියට ගන්නා බවට පොරොන්දුවක්ද සජිත් මෙහිදී රනිල්ට ලබා දුන්නේය.

භූතයන් දෙන්නෙක්

රනිල්ව දිගටම රක්ෂිත බන්ධනාගාරයේ තබාගැනීමට කුමන හෝ පාර්ශ්වයක් සිතා සිටියා නම් එම සැලසුම වෙනස් වී ගියේ සජිත්, රනිල්ට දුන් මෙම වචනයත් සමගය. ඒ අනුව සජිත් බන්ධනාගාරයෙන් පිටත්ව ගිය වහාම මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් ලබාදෙමින්ද කියා සිටියේ අධිකරණ තීන්දු පිළිබඳ කල්තබා සමාජ මාධ්‍ය මෙහෙයවන පිරිස් ප්‍රකාශ ලබාදෙන්නේ නම් එය ප්‍රජාතන්ත්‍රවාදය නොවේ යැයි කියාය. මෙම ක්‍රියාවලියට එරෙහිව සජබය සටන් කරන බවද සජිත් එහිදී කියා සිටියේය.

මේ ආකාරයට සජිත් රනිල් බේරාගැනීමේ සටනට සූදානම් වෙද්දී එජාපය ඇතුළේ සිටින එක්තරා භූතයන් දෙදෙනකු සුපුරුදු පරිදි සජිත්ව මෙම මෙහෙයුමෙන් ඉවත් කොට තබා ඔවුන්ගේ නායකත්වයෙන් රනිල් බේරාගන්නා සටනක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබිණි. මේ භූතයන් දෙදෙනා රනිල්ට අතිශය සමීපතමයන් ලෙස කටයුතු කළද පසුගිය කාලයේදී බොහෝ පාර්ශ්ව චෝදනා කොට තිබුණේ ඔවුන් දෙදෙනා රනිලුත්, එජාපයත් විනාශ කරන භූතයන් දෙදෙනකු යැයි කියාය. අවස්ථා ගණනාවකදීම එජාපයේ උපනායකයකු වූ රවි කරුණානායක ප්‍රසිද්ධියේම කියා සිටියේ එජාපය විනාශ කරන භූතයන් දෙදෙනකු සිටින බවත්, එම භූතයන් දෙදෙනා එජාපය පමණක් නොව රනිල් වික්‍රමසිංහවද විනාශ කරමින් සිටින බවත්ය. මේ භූතයන් දෙදෙනා කවුරුන්ද යන්න පිළිබඳවත් ඔවුන් එජාපය ඇතුළේ කටයුතු කරන ආකාරය කෙසේද යන්න පිළිබඳවත් ඉදිරි සතියකදී ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අතිවිශේෂ හෙළිදරව්වක් කිරීමට අපද මේ වනවිට සියලු කටයුතු සූදානම් කොට අවසානය. කෙසේ වෙතත් මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ හෙළිකිරීමට සූදානම් වන්නේ සුපුරුදු පරිදි මෙම භූතයන් දෙදෙනා සජිත් නොමැතිව රනිල් බේරාගැනීමේ මෙහෙයුමක් කිරීමට ගොස් පළමු වටයෙන්ම ඇනගත් ආකාරයය.

ඒ අනුව මෙම භූතයන් දෙදෙනා මුලින්ම කළේ සජිත් ඉවත් කොට රනිල් බේරාගන්නා මෙහෙයුම තමන් අතට ගැනීම සඳහා විපක්ෂයේ අනෙකුත් පක්ෂ නායකයන්ට කොළඹ මල් පාරේ පිහිටි එජාප කාර්යාලයේ විශේෂ සාකච්ඡාවක් සඳහා ආරාධනා කිරීමය. ඒ අනුව එක් භූතයෙක් මෙම සාකච්ඡාවට ආරාධනා කළ යුතු පිරිස් පිළිබඳ එහි සිටින නිලධාරීන්ට විශේෂ දැනුම්දීමක් කොට තිබිණි. ඒ අනුව කියා තිබුණේ, මහින්දට, මෛත්‍රීට, චන්ද්‍රිකාට පවා මෙම සාකච්ඡාවට ආරාධනා කරන ලෙසය. ඒ අනුව සජිත්ට ඊට ආරාධනා නොකිරීමට මේ භූතයා මුල් වටයේදී තීන්දු කොට තිබුණත් අවසානයේදී ඊට අනෙකුත් පක්ෂ නායකයන්ගෙන් විරෝධය පළවනු ඇති බව සිතූ නිසා සජිත් ඊට සහභාගි නොවන තැනට ආරාධනා කිරීමට පියවර ගෙන තිබිණි. ඒ, සජිත්ට රනිල්ගේ පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා ලවා දුරකතන ඇමතුමක් දී ඊට ආරාධනා කිරීම හරහාය. සැන්ඩ්‍රා සජිත්ට කතාකරන විට සජිත් සිටියේ වැලිගම පැවැති උත්සවයකට සහභාගි වෙමිනි. ඒ අනුව සැන්ඩ්‍රා මල් පාරේ සාකච්ඡාවට පැමිණෙන ලෙස සජිත්ට ආරාධනා කරද්දී සජිත් කියා සිටියේ තමන් මේ වනවිට වැලිගම පැවැත්වෙන උත්සවයකට සහභාගි වී සිටින බවකි. කෙසේවෙතත් මේ භූතයා සජිත්ට මෙසේ දෙකටදෙවාරයේ ආරාධනා කළේ සජිත් සහ රනිල් අතර වැලිකඩදී පැවැති කෙටි සාකච්ඡාව සම්බන්ධයෙන් මෙලෝ හසරක් නොදැනය. ඒ අනුව මේ භූතයා මල් පාරේ සාකච්ඡාවට සියලු විපක්ෂයේ ප්‍රබලයන්ට ආරාධනා කළත් ඊට මහින්ද හෝ මෛත්‍රී හෝ චන්ද්‍රිකා හෝ සහභාගි නොවීම විශේෂ සිදුවීමක් විය. සහභාගි වූ කීප දෙනාද කියා සිටියේ රනිල් බේරාගැනීමේ සටනක් දියත් කරන්නේ නම් අනිවාර්යයෙන්ම සජබය සහ සජිත් එහි නායකත්වය ගත යුතු බවත්, සජබය නොමැතිව කරන කිසිදු කටයුත්තකින් කිසිදු ඵලක් නොලැබෙනු ඇති බවත්ය. ඒ අනුව එම සාකච්ඡාව අවසන් වූයේ කිසිදු ප්‍රතිඵලයකින් තොරවය.

පළමු සාකච්ඡාව කඩාකප්පල් වූවා කියා මේ භූතයා සිය අඩිය පස්සට ගත්තේ නැත. ඒ අනුව භූතයාගේ දෙවැනි මෙහෙයුම වූයේ විපක්ෂයේ සියලු කණ්ඩායම් එක් සාකච්ඡා මේසයකට කැඳවා රනිල් වෙනුවෙන් විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීමය. ඒ අනුව ඊට තෝරාගත්තේ කොළඹ අමාරි හෝටලයය. ඊට සියලු පක්ෂවලට මෙන්ම පක්ෂ නායකයන්ටද, රනිල් යටත් මැති ඇමැතිකම් කළ සියලු පිරිස්වලටද ආරාධනා කිරීමට මේ භූතයා කටයුතු කොට තිබිණී. ඒ අනුව මෙම සාකච්ඡාවට ජී.එල්. පීරිස්, මෛත්‍රීපාල සිරිසේන, නාමල් රාජපක්ෂ ඇතුළු හිටපු මැති ඇමැතිවරු රැසක් සහභාගි වී සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි. කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ අදාළ සාකච්ඡාව පැවැත්වීමෙන් පසු සමාජ මාධ්‍ය ජාලවල එම ඡායාරූපය දමා විශාල ප්‍රහාරයක් එල්ල කිරීමට පටන් ගෙන තිබීමය. එහිදී බොහෝ දෙනා අදහස් දක්වා සිටියේ රනිල් වැනි චෝදනා එල්ල වී අයකු බේරාගැනීමට එවැනිම ආකාරයේ බරපතළ චෝදනා සහිත පුද්ගලයන් එකට එකතු වී ඇති බවත්, හොරු සියල්ලන්ම එකම මේසයකට පැමිණ ඇති බවත්ය. එමෙන්ම එම සාකච්ඡාවේ සිටි කිසිවකුගේ මුහුණවල සිනාවක සේයාවක් හෝ දැකගැනීමට නොලැබීම නිසා හොරු දැනටමත් බියවී සන්ධාන ගසන්නට සූදානම් වන බවද බොහෝ දෙනා අදහස් දක්වා තිබිණී. එමෙන්ම පසුගිය කාලයේදී නාමල්ට යම් පිළිගැනීමක් සමාජයේ මතුවෙමින් පැවැති ආකාරයක් දැකගන්නට ලැබුණද මෙම සාකච්ඡා මේසයේ අසුන්ගැනීම හරහා නාමල්ට සමාජ මාධ්‍යයෙන් ප්‍රබල ප්‍රහාරයක් එල්ල වී තිබූ ආකාරයක්ද දැකගත හැකි විය. ඒ අනුව භූතයාගේ දෙවැනි මෙහෙයුමද ලත් තැනම ලොප් වූ ආකාරයක් දැකගන්නට ලැබිණ. සජිත් හෝ සජබය නොමැතිව රනිල් වෙනුවෙන් කරන කිසිදු මෙහෙයුමක් වැඩකට නැති එකක් බව එම සිදුවීම හරහා සියල්ලන්ටම පැහැදිලි විය.

රුවන් සජිත් හමුවන්න එයි

කෙසේ වුවත් රනිල් සහ සජිත් අතර පැවැති සාකච්ඡාවේදී රනිල් පැහැදිලිවම සජිත්ට දැනුම් දී සිටියේ සජිත්ගේ නායකත්වයෙන් මෙම සටන ආරම්භ කරන්නැයි කියාය. රනිල් ඒ බව එජාප නියෝජ්‍ය නායකයා මෙන්ම සිය ඥාතියාද වන රුවන් විජේවර්ධනටද දැනුම් දී තිබිණි. ඒ අනුව රුවන් පසුගිය සති අන්තයේ සජිත් හමුවීම සඳහා විපක්ෂ නායක කාර්යාලයට පැමිණියේය. දෙදෙනා අතර පැවැති සාකච්ඡාවේදී පැහැදිලිවම සජිත් කියා සිටියේ සජබය මෙම සටනේදී නායකත්වය ගැනීමට සූදානම් නමුත් එය වෙනත් තැන්වල සිට හෝ වෙනත් පුද්ගලයන් සමග නොව සියලු දෙනාටම පොදුවේ එක්රැස් විය හැකි ස්ථානයක් වන විපක්ෂ නායක කාර්යාලයේ සිට සිදුකිරීමට සූදානම් බවය.

රනිල්ගේ කීමට රුවන් විපක්ෂ නායක කාර්යාලයට පැමිණ මේ ආකාරයට සජිත් සමග සාකච්ඡා කළද පසුගිය කාලයේදී රුවන්ද වැඩ කළේ රනිල්ගේ කීමට අනුව සජිත්වත්, සජබයත් විනාශ කිරීමේ මෙහෙයුමේය. අපි ඒ බව අවස්ථා කීපයකදීම මෙම තීරයේ වාර්තා කිරීමටද පියවර ගත්තෙමු. වරෙක අප ඉකුත් ජනාධිපතිවරණ සමයේදී සජබ මන්ත්‍රීවරුන් කඩාගැනීම සඳහා රුවන් විජේවර්ධනගේ හයිඩ් පාර්ක් නිවසේ පැවැති රහස් සාකච්ඡාවක් පිළිබඳ තොරතුරු අනාවරණ කර සිටියෙමු. එය අප නම් කළේ ‘හයිඩ්පාර්ක් කුමන්ත්‍රණය’ යන නමිනි. රුවන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට සජබ මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන, නිරෝෂන් පෙරේරා වැනි මන්ත්‍රීවරුන්ද සහභාගි වී සිටි ආකාරය අපි එහිදී රටට අනාවරණ කළෙමු. එමෙන්ම රුවන් විජේවර්ධනගේ පවුලට අයත් ඉංග්‍රීසි සිංහල පුවත්පත් සියල්ල සජිත්ගේ චරිතය ඝාතනය කිරීම සඳහාත්, සජිත්ව පරාජයට පත්කිරීම සඳහාත් ඒකාබද්ධ මෙහෙයුම් දියත් කර තිබූ ආකාරය පිළිබඳවද අප මෙම තීරයේ සාක්ෂි සහිතවම තොරතුරු වාර්තා කළෙමු. එහෙව් රුවන් රනිල්ගේ කීමට සජිත්ව මුණගැසීම සඳහා විපක්ෂ නායකවරයා මුණගැසී උදව් ලබාගැනීම සඳහා පැමිණි විට කර ඇරීමට සජිත් කටයුතු කළේ නැත. නියම මහත්මයකු සේ දුන් වචනයට ගරු කරමින් රනිල් බේරාගැනීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව එහිදී සජිත් රුවන්ට දැනුම් දී සිටියේය.

‘මම මේ වෙනුවෙන් පෙනී සිටිනවා. ඒකෙ කිසිම ගැටලුවක් නෑ. පහුගිය කාලේ රනිල් මට කරපු කිසිම දෙයක් මම මේ වෙලාවේ හිතන්නේ නෑ. මේක ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්‍රශ්නයක්. ඒ හින්දා අපි මේ වෙනුවෙන් සටන් කරනවා. හැබැයි මට ඔය මල් පාරේ රැස්වීම්වලටයි එක එක හෝටල්වල තියෙන රැස්වීම්වලටයි නම් එන්න කියන්න එපා. ඒවට මම එන්නේ නෑ. ඒ වෙනුවට මම විපක්ෂ නායක කාර්යාලයේ සාකච්ඡාවක් කැඳවනවා. විපක්ෂ නායක කාර්යාලය කියන්නේ පොදු තැනක්. ඒක සජබ කාර්යාලයවත්, කාගෙවත් පෞද්ගලික තැනක්වත් නෙවෙයි. විපක්ෂයේ ඉන්න ඔක්කොටම එකතු වෙන්න තියෙන පොදු තැන එතැන….’ යනුවෙන් සජිත් කියද්දී රුවන් ඊට සිය පූර්ණ එකඟතාව පළ කළේය. එමෙන්ම එජාපයේ භූතයන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන රැස්වීම්වලට තමන්ගේ සම්බන්ධයක් නොමැති බවද රුවන් එහිදී සජිත්ට දැනුම් දී සිටියේය.

‘මම ඒ රැස්වීම ගැන මොනවත් දන්නේ නෑ. ඒවට මම සම්බන්ධත් නෑ. මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ එකම දෙයයි. මේ වෙලාවෙ රනිල් වෙනුවෙන් පෙනීසිටින්න කියලා විතරයි….’ යනුවෙන් රනිල්ගේ ඉල්ලීම මත රුවන් කියද්දී සජිත් ඊට සිය එකඟතාව පළ කළේය. ඒ අනුව සජිත් ඒ මොහොතේම පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර දැනුම් දී සිටියේ වහාම විපක්ෂ නායක කාර්යාලයේ රැස්වීමක් සංවිධාන කරන ලෙසත්, ඊට විපක්ෂයේ සියලු පක්ෂ නායකයන්ට සහ නියෝජිතයන්ට ආරාධනා කරන ලෙසත්ය. නමුත් එම රැස්වීමට පොහොට්ටුව නියෝජනය කරන කිසිවකුත්, දයාසිරි ජයසේකරත් පැමිණ සිටියේ නැත. සාකච්ඡාව ආරම්භ කරන විට පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් මද්දුමබණ්ඩාරට දැනුම් දී සිටියේ පොහොට්ටුව විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වෙන සාකච්ඡාවලට සහභාගි වන්නේ නැතැයි කියාය. නමුත් පැමිණ සිටි අනෙක් සියලු විපක්ෂ නියෝජිතයන් සමග සජිත් රනිල්ව එළියට ගන්නා සටන පිළිබඳවත්, ඊට නායකත්වය දෙන ආකාරය පිළිබඳවත් අධිකරණ දිනයේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳවත් දීර්ඝව අදහස් දැක්වීය.

නාමල්ට සජිත් කතාකරයි

මෙම හමුවෙන් අනතුරුව පොහොට්ටුවේ නියෝජිතයන් නොපැමිණීම සම්බන්ධයෙන් සජිත් නාමල් සමග දුරකතන සාකච්ඡාවක නිරත වීය. එහිදී සජිත් නාමල්ට පෙන්වා දුන්නේ විපක්ෂ නායක කාර්යාලය යනු විපක්ෂයේ සියලු දෙනාටම හමුවී සාකච්ඡා කළ හැකි පොදු ස්ථානයක් බවත්, එය සජබයේ කාර්යාලය නොවන බවත්ය. මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායකවරයා වශයෙන් කටයුතු කරද්දී පවා පොදු විපක්ෂයේ සාකච්ඡා ඕනෑතරම් මහින්දගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වුණු බවද සජිත් එහිදී නාමල්ට පෙන්වා දුන්නේය. සජිත්ගේ මෙම පැහැදිලි කිරීමෙන් පසු නාමල්ද සජිත්ට කියා සිටියේ නියත වශයෙන්ම ඊළඟ සාකච්ඡාවට පොහොට්ටු මහලේකම් සාගරව සහභාගි කරවීමට තමන් කටයුතු කරනවා යැයි කියාය.

ඊට පසු දිනයේදී සජිත්ගේ ප්‍රධානත්වයෙන් තවත් විශේෂ රැස්වීම් දෙකක් විපක්ෂ නායක කාර්යාලයේ කැඳවා තිබිණි. ඒ අනුව පෙරවරුවේ සජබ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වීමටත්, පස්වරුවේ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම කැඳවීමටත් සජිත් පියවර ගෙන තිබිණි. ඒ වනවිට එජාප භූතයන් දෙදෙනා විසින් කැඳවා තිබූ සියලු සාකච්ඡා අසාර්ථක වීම නිසා සජිත් සහ සජබය නොමැතිව තවදුරටත් රනිල් බේරාගැනීමේ සටන ඉදිරියට ගෙන යා නොහැකි බව ඔවුන්ටද වැටහී ගොස් තිබිණි. ඒ අනුව මේ භූතයන් දෙදෙනාගෙන් නූල් සූත්තර ගේම් ගසන සූත්තර භූතයා සජිත්ගේ මෙම සාකච්ඡා කඩාකප්පල් කිරීම සදඟා තවත් විශේෂ මෙහෙයුමක් තිරය පිටුපස දියත් කරමින් තිබිණි. ඒ, රනිල්ට හුරුපුරුදු පත්තරවල බොරු පුවත් පැළකිරීමේ පුරුද්ද මේ සූත්තර භූතයා විසින්ද භාවිතයට ගැනීමය. ඒ පුවත් පැළකිරීම හරහා සූත්තර භූතයාගේ සැලසුම වී තිබුණේ රනිල්ව බේරාගැනීම සඳහා වහාම ක්‍රියාත්මක විය යුතු බවට සජබ මන්ත්‍රීවරුන්ගෙන් සහ පක්ෂ නායකයන්ගෙන් සජිත්ට බලපෑම් එල්ල කිරීමය. ඒ අනුව කොළඹ ජාතික රෝහලේ එජාපයට සම්බන්ධ වෛද්‍යවරයකුද අල්ලාගෙන තමන්ට අවශ්‍ය ආකාරයට ඔහුව හසුරුවමින් මේ සූත්තර භූතයා කළේ මාධ්‍යවල පැළකළ පුවතින් කියැවුණේ රනිල්ගේ සුවදුක් විමසීම සඳහා මහ රෑ කොළඹ ජාතික රෝහලට රනිල්ගේ බිරිය වූ මෛත්‍රී වික්‍රමසිංහ සමග අගමැති හරිනි අමරසූරිය මැතිනියද පැමිණි බවකි. මෙම පුවත පැළකිරීම හරහා සූත්තර භූතයාගේ සැලසුම වී තිබුණේ ‘අන්න හරිනිත් ඇවිල්ලා රනිල්ව බලලා ගිහිල්ලා. දැන් රනිල් තමයි චරිතෙ. අපිත් රනිල් එක්ක යන්න ඕනේ..’ යනුවෙන් කියමින් සජබ මන්ත්‍රීවරුන් ලවා සහ පක්ෂ නායකයන් ලවා සජිත්ට බලපෑම් කරවීමය.

හරිනි පෙරළා පහර දෙයි

නමුත් මේ සූත්තර භූතයාගේ වැඩේ පැය 24ක් ඉක්ම යෑමටත් මත්තෙන් ආපහු කැරකී ගියේ අදාළ පුවත සම්පූර්ණයෙන් අසත්‍යයක් බවට අගමැති කාර්යාලයෙන්ම නිල නිවේදනයක් නිකුත් වීමත් සමගය. මේ සූත්තර භූතයා නොදැන සිටියාට සඳුදා රාත්‍රියේ මෙම පුවත වෙබ් අඩවිවල පළවන විට හරිනි සිටියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ අසුන්ගෙනය. ඒ අනුව කැබිනට් රැස්වීම ආරම්භ වී මොහොතක් යෑමට මත්තෙන් එක් අමාත්‍යවරයකු හරිනි සම්බන්ධයෙන් පුවතක් වාර්තා කොට ඇති බවට වූ පුවත කැබිනට් මණ්ඩලයට වාර්තා කර සිටියේය. ඒ සමගම හරිනි ඇතුළු සියලු කැබිනට් මණ්ඩල සාමාජිකයන් එක වරම සිනාසුනද මොහොතක් යෑමට මත්තෙන් එම පුවතේ ඇති බරපතළ තත්ත්වය මේ සියලු දෙනාටම වැටහී ගියේය.

හරිනි සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය විවිධ තොරතුරු වාර්තා කළ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර ‘රාජ්‍ය රහස්’ තීරයෙන්ද හරිනි සහ ආණ්ඩුව ඇතුළේ ඇති මතගැටුම අප සමබන්ධයෙන් අවස්ථා කීපයකදීම වාර්තා කළේ සාධක සාක්ෂි සහිතවමය. ඒ නිසා අප පළකළ කිසිදු පුවතක් හරිනිගේ පාර්ශ්වය විසින් කිසිදු අවස්ථාවක ප්‍රතික්ෂේප කළේ නැත.
නමුත් මෙවර තත්ත්වය එසේ නොවීය. රනිල් සම්බන්ධ කොට එක්තරා වෙබ අඩවියක පළකර තිබූ මෙම අසත්‍ය පුවත සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල රැස්වීමේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. මෙහිදී හරිනිද අවධාරණය කළේ ‘ඉට්ස් අ සීරියස් මැටර්’ යැයි කියාය. ඒ අනුව කැබිනට් මණ්ඩලයේදී හරිනි උපදෙස් ලැබුණේ ඒ සම්බන්ධයෙන් වහාම නිවේදනයක් පළකරන ලෙසටය. ඒ අනුව එම නිවේදනය අඟහරුවාදා උදේම මාධ්‍යයට නිකුත් කිරීමට අගමැති කාර්යාලය කටයුතු කළේය. නමුත් දහවල් වනවිට මෙම අසත්‍ය පුවත සැහැල්ලුවට නොගෙන දැඩි ක්‍රියාමාර්ග ගතයුතු බවට වූ මතයක් ජනාධිපතිවරයාට ලැබී තිබිණි. ඒ අනුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා, හරිනි බිමල් ඇතුළු කණ්ඩායම හදිසියේම සඳුදා දහවල් රැස්විය. ඒ වනවිටත් ඒ පිළිබඳ අනුරගේ පැත්තෙන් නීති උපදෙස් ලබාගෙන තිබූ බවක්ද ‘රාජ්‍ය රහස්‘ තීරයට ආරංචිය. ඒ අනුව මෙම සාකච්ඡාවේදී හරිනි දැඩි ස්ථාවරයක සිටිමින් කියා සිටියේ මෙය කිසිසේත්ම සැහැල්ලුවෙන් ගතයුතු නැති බවත්, ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවත්ය. එමෙන්ම එහිදී හරිනි විශේෂ තර්කයක්ද ජනාධිපතිවරයාට ඉදිරිපත් කළේය. ඒ, මෙම පුවත සත්‍යයක් නම් එම පාර්ශ්වය එය ඔප්පු කළ යුතු බවත්, තමාගේ නිවැරැදි බව තමන්ට ඔප්පු කළ හැකි බවත්ය.

‘ඔය කියන වෙලාවට මම එතැනට ගියා නම් ඒ අයට සීසීටීවීවලින් මම එතැන හිටියා කියලා ඔප්පු කරන්න පුළුවන්. මම ඉන්න ගෙදර පැය 24ම සීසීටීවී දාලයි තියෙන්නේ. මම මගේ ගෙදර සීසීටීවී ඔක්කොම දෙන්නම්. එදා රෑ 7.00ට විනාඩි කිහිපයක් තියා මම වැඩ ඉවර කරලා ගෙදර ආවා. ඊට පස්සේ මම ආයෙත් ගෙදරින් එළියට ආවේ පහුවදා රාජකාරියට යන්න බලාගෙන. මට ඒක ඕනෙ වෙලාවක ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්..‘ යන්න එහිදී හරිනි ගෙනා තර්කය විය. ඒ අනුව අවසානයේදී තීන්දු වූයේ එම අසත්‍ය පුවතට එරෙහිව විමර්ශන අංශ වෙත පැමිණිලි කිරීමටත්, ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත්ය. මීට අමතරව ඊට පසු දිනම මාධ්‍ය හමුවකට එක්වෙමින් හරිනි මේ පුවත ප්‍රතික්ෂේප කරමින් අදහස් දැක්වීමටද කටයුතු කළාය.

සජිත්ට ආ කෝල් එක

සජිත්ගේ ප්‍රධානත්වයෙන් සජබ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ආරම්භ වූයේ මේ අතරවාරයේය. ඒ වනවිටත් ඇතැම් සජබ මන්ත්‍රීවරුන් මෙම පුවත අසත්‍යයක් බව දැන සිටියේ නැත. ඒ අනුව, සූත්තර භූතයා සැලසුම් කළ ආකාරයටම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ආරම්භයේදීම ඇතැම් සජබ මන්ත්‍රීවරුන් ‘අන්න හරිනිත් ඊයේ රෑ රනිල්ව බලන්න ගිහින්’ යනුවෙන් කියමින් සජිත්ට යම් බලපෑමක් එල්ල කිරීමට පටන්ගෙන තිබිණි. සජිත් ඒ කිසිවකින් කලබලයට පත් නොවූ නමුත් සජිත් රැස්වීමට පැමිණියේ පාර්ශ්ව කිහිපයකටම එම පුවතේ සත්‍ය අසත්‍යතාව සොයා බලන ලෙසට භාර කරමිනි. ඒ අනුව රැස්වීම ආරම්භ වී මොහොතක් යද්දී සජිත්ගේ ජංගම දුරකතනයට එක්තරා ඇමතුමක් ලැබිණි. ඇමතුමේ අනෙක් පස සිටි පුද්ගලයා සජිත්ට දැනුම් දී සිටියේ අදාළ පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත්, හරිනි රනිල් හමුවීමට ගොස් නොමැති බවත්ය. ඒ අනුව සජිත් අදාළ දුරකතන සංවාදය අවසන් කොට ඒ අවස්ථාවේදීම මන්ත්‍රීවරුන්ට දැනුම් දී සිටියේ හරිනි-රනිල් හමුව සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් බවත්, එය කිසිවකු විසින් ගෙතූ අතේ රෝලක් බවත්ය. සජිත්ගේ මෙම අනාවරණයත් සමග රනිල් වෙනුවෙන් පෙනී සිටි ඇතැම් මන්ත්‍රීවරුන්ගේ මුහුණු මැලවී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. නමුත් සජිත් කියා සිටියේ කුමන තත්ත්වයක් යටතේ වුවද තමන් සහ සජබය රනිල් බේරාගැනීමේ සටන අත්නොහරින බවය. ඊට අවශ්‍ය නීති සහාය මෙන්ම අනෙකුත් ශක්තියද පක්ෂය මගින් ලබාදෙන බව සජිත් එහිදී කියා සිටියේය. ඒ අනුව රනිල්ව බේරාගැනීම සඳහා එජාපය සහ සජබය අතර සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීම සඳහා මන්ත්‍රී කමිටුවක් පත්කිරීමටද සජිත් පියවර ගත්තේය.

ප්‍රෙෂර් නැගලා

මේ අතරවාරයේ සජිත් රනිල් රෝහල්ගතව සිටි දින කීපයේම උදය වරුවේත්, සවස් වරුවේත් රනිල්ගේ දුක සැප බැලීම සඳහා ජාතික රෝහලට ගොස් තිබිණි. ඊළඟ නඩු දිනය අඟහරුවාදාට යෙදී තිබුණු බැවින් එදින පෙරවරුවේත් සජිත් රනිල්ගේ දුක සැප බැලීම සඳහා ජාතික රෝහලට ගියේය. ඒ වනවිටත් රනිල්ගේ නීතිඥවරු 2017 වසරේ සිටම රනිල්ගේ වෛද්‍ය වාර්තා එකතු කරමින් අධිකරණයට කරුණු වාර්තා කිරීම සඳහා සූදානම් වන ආකාරයක් සජිත්ට දැනගන්නට ලැබිණි. අඟහරුවාදා උදේ වරුව වනවිට තත්ත්වය කෙතරම් උණුසුම් වී තිබුණාද කියනවා නම් රනිල්ගේ රුධිර පීඩනයද බොහෝ සේ ඉහළ ගොස් තිබිණි. වෛද්‍යවරුන් පෙරවරුවේ රනිල්ව පරීක්ෂා කරද්දී එය 190ද ඉක්මවා ගොස් තිබූ බව වාර්තා කොට තිබිණි. නමුත් අඟහරුවාදා සවස් වරුවේ රනිල්ට ඇප හිමිවීමෙන් පසු වෛද්‍යවරුන් නැවතත් ඔහුගේ රුධිර පීඩනය වාර්තා කොට තිබූ අතර, ඒ වනවිට එය සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබුණේ 83-120ක් ලෙසටය.

හොර ලෙඩක් අරගෙනද?

කෙසේ වෙතත් රනිල් ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ සිටින්නේ ඇත්තටම ලෙඩක් පවතින නිසාද, එසේත් නැත්නම් ඇතැම් වෛද්‍යවරුන් සමග පවතින හිතවත්කම් නිසා රනිල් මෙසේ දැඩිසත්කාර ඒකකයේ සිටිනවාද යන්න පිළිබඳ පැහැදිලිවම දැනගැනීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ටද අවශ්‍යව තිබිණි. ඒ අනුව සඳුදා රාත්‍රියේ ආණ්ඩුවේ ප්‍රබලම අයෙකු රනිල්ව පරීක්ෂා කරන වෛද්‍ය කණ්ඩායමේ අයෙකුට කතාකොට විස්තර විමසා ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එහිදී රනිල්ට පවතින රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් සත්‍ය විස්තරය ආණ්ඩුවේ ප්‍රබලයාට අදාළ වෛද්‍යවරයා විසින් වාර්තා කරද්දී ආණ්ඩුවේ ප්‍රබලයාද පුදුමයට පත්ව ඇති බවක් දැනගන්නට ඇත.

‘රනිල්ගේ හෘදය වස්තුවේ වෑල්ව් හතරෙන් තුනක්ම බ්ලොක් වෙලා තියෙන්නේ. මේක ඉස්සෙල්ලාම හඳුනාගෙන තියෙන්නේ සිංගප්පූරුවේ ගිහිල්ලා 2017 වසරේදී කරපු පරීක්ෂණයකදී….’ යැයි වෛද්‍යවරයා කියද්දී ආණ්ඩුවේ ප්‍රධානියා විමසා ඇත්තේ ‘පපුවේ නාල හතරෙන් තුනක්ම අවහිර වෙලා නම් මනුස්සයෙක් ජීවත් වෙලා ඉන්න එක පුදුමයක්නේ?’ යැයි කියාය. එහිදී අදාළ වෛද්‍යවරයා ඊට ලබාදී තිබුණේ අමුතුම පිළිතුරකි.

‘නෑ, මෙතැන අපිට විශේෂ තත්ත්වයක් දැකගන්න පුළුවන් වෙලා තියෙනවා. එහෙම දෙයක් වෙන්නේ ඉතාම කලාතුරකින්. රනිල්ගේ හාට් එකට කිට්ටුවෙන් තමයි මේ බ්ලොක්ස් තුනම ඇවිල්ලා තියෙන්නේ. හැබැයි රනිල්ගේ වාසනාවකට අර නාල තුන බ්ලොක් වෙද්දී හදවතට ලේ යන්න වෙනම තාවකාලික ලයින් එකක් ඇරිලා තියෙනවා. ඒකෙන් තමයි පහුගිය කාලේ හාට් එකට බ්ලඩ් පම්ප් කරලා තියෙන්නේ. හැබැයි ඒක ඕනෙ වෙලාවක නවතින්න පුළුවන්. රනිල් ඒ රිස්ක් එක අරන් තමයි ඉඳලා තියෙන්නේ. ඒ හින්දා දැනටමත් එතුමාගේ ජීවිතේ ගැන යම් අවදානමක් තියෙනවා….’ යනුවෙන් හිටපු වෛද්‍යවරයා හා ආණ්ඩුවේ ප්‍රබලයා අතර සංවාදයේදී වෛද්‍යවරයා විසින් අනාවරණ කොට ඇති බව දැනගන්නට ඇත.

මෝදි අනුරට කතා කළාද?

මේ අතරවාරයේ පළමු සැලසුම ආපිට කැරකීමෙන් පසු එජාපයේ භූතයෝ දෙදෙනා තවත් මෙහෙයුමක්ද මාධ්‍ය ඔස්සේ දියත් කිරීමට කටයුතු කළහ. එහිදී හදිසියේ පළවූ පුවතකින් කියැවුණේ රනිල් සම්බන්ධයෙන් කතාකිරීම සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අනුරට දුරකතන ඇමතුමක් ලබාදී තිබූ බවකි. මෙම පුවත කොතරම් දරුණුවට ගියාද කියනවා නම් මොහොතක් යෑමට මත්තෙන් එය මෙරට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඇතුළටද ගියේය. එමෙන්ම ඇතැමුන් ජනාධිපතිවරයාටද කතාකොට එම පුවතේ ඇත්ත නැත්ත සොයා බලන්නට උත්සුක වූහ. එහිදී මේ බව ඇසූ වහාම සිනාව පාලනය කරගත නොහැකිව ජනාධිපතිවරයා කියා තිබුණේ, ‘අනේ මට නම් ඔය කියන කවුරුවත් රනිල් ගැන අහලා කෝල් කළේ නෑ. අඩු තරමේ ඔය තානාපති කාර්යාලවල ඉන්නවා කියන රනිල්ගේ යාළුවෙක්වත් නිකමටවත් මගෙන් ඒ ගැන ඇහුවේ නෑ….’ යැයි කියාය. ඒ අනුව අපද ඒ පිළිබඳ කළ සොයා බැලීමකදී කිසිවකුත් රනිල් ගැන විමසීමට ජනාධිපතිවරයාට ඇමතුම් ලබාදී නොමැති බව තහවුරු විය. එසේ වුවත් එජාපය රනිල් සම්බන්ධයෙන් තානාපති කාර්යාල දැනුවත් කිරීම අලි සබි්‍රටත්, ජී.එල්. පීරිස්ටත්, රුවන් විජයවර්ධනටත් පැවරීමට පියවර ගෙන තිබිණි. එහිදී සියලු තානාපති කාර්යාලවලින් ඔවුන්ට පෙරළා දැනුම් දී තිබුණේ මෙය රට ඇතුළේ අභ්‍යන්තර ප්‍රශ්නයක් නිසා ඊට ඔවුන්ට මැදිහත් විය නොහැකි බවකි.

විපක්ෂය උගුලක අහුවුණාද?

කෙසේ වෙතත් රනිල්ට ඇප ලබාදුන් අඟහරුවාදා දිනයේදී සිදුවූ තවත් විශේෂ සිදුවීම් කීපයක්ද දැකගන්නට ලැබිණි. ඉන් පළමුවැන්න වූයේ ‘නඩුව ආරම්භ වීමටත් ප්‍රථම රනිල් වෙනුවෙන් පෙනීසිටීමට නීතිඥවරු 300ක් උසාවියට ආවා..’ යනුවෙන් කියමින් උසාවිය ඇතුළේ ඡායාරූප පවා ඇතැමුන් විසින් සමාජ මාධ්‍යවල පළකර තිබීමය. දෙවැන්න වූයේ විවිධ දේශපාලනඥයන්ගේ සහ පක්ෂවල අවශ්‍යතාව පරිදි කණ්ඩායම් වශයෙන් සෙනග උසාවිය අසලට ගෙන්වා නඩුව විමසන අවස්ථාවේදී උද්ඝෝෂණ දියත් කිරීමය. ඒ අනුව රනිල්ට ඇප ලබාදෙමින් මහෙස්ත්‍රාත්වරිය නිකුත් කළ තවත් නියෝගයකින් කියැවුණේ මෙසේ අධිකරණයේ විනය කඩකරමින් ඡායාරූප පළකළ පිරිස් සම්බන්ධයෙන් සහ අධිකරණ කටයුතුවලට බාධා කරමින් හැසිරුණු පිරිස් සම්බන්ධයෙන් වහාම විමර්ශනය කොට අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසය. ඒ අනුව අධිකරණ කටයුතුවලට බාධා කිරීම, අධිකරණයට තර්ජනය කිරීම සහ අධිකරණයට අපහාස කිරීම යන චෝදනා තුන යටතේ මේ පිරිස් හට නඩු පැවරීමට නියමිත බවද රාජ්‍ය රහස් තීරයට ආරංචිය. දැනටමත් ඒ ආකාරයට කටයුතු කළ දේශපාලනඥයන් ඇතුළු 20 දෙනකුගේ නම් සහ ඡායාරූප විමර්ශන කණ්ඩායම් විසින් අනාවරණ කොට ගෙන ඇති බවද දැනගන්නට තිබේ.

කෙසේ වෙතත් මෙම සිදුවීම පසුපස ඇති තවත් අමුතු දෙයක්ද බොහෝ දෙනකුට දැකගන්නට ලැබිණි. ඒ, අඟහරුවාදා දිනයේදී අධිකරණය අසලට පිරිස් රැස්වන බවට කල්තියා දැනුම්දී තිබියදී පවා පොලිසිය ඒ සම්බන්ධයෙන් කිසිදු පූර්ව ක්‍රියාමාර්ගයක් නොගැනීමය. සාමාන්‍යයෙන් වෙනදා නම් මේ ආකාරයට අධිකරණයක් ආසන්නයට සෙනග ගෙන්වන බව කල්තියා ප්‍රකාශ කොට තිබියදී හෝ කොළඹට පෙළපාලි පැමිණෙන බව දැනුම් දී තිබියදී හෝ පොලිසිය කරන්නේ කල්තියාම ඒ ඒ ප්‍රදේශවල අධිකරණ හමුවට ගොස් ඊට එරෙහිව තහනම් නියෝග ලබාගැනීමය. නමුත් එදින ඒ කිසිවක් සිදුවන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. එමෙන්ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු විසින් මෙසේ පැමිණෙන පිරිසට එරෙහිව කඳුළු ගෑස් හෝ ජල ප්‍රහාර හෝ එල්ල කිරීම වැනි කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙස චක්‍රලේඛයකින්ම පහළ නිලධාරීන්ට දැනුම් දී තිබූ බවක්ද ආරංචිය. ඒ අනුව බොහෝ දෙනා කියා සිටියේ විපක්ෂයේ කණ්ඩායම් යම් උගුලකට හසුකර ගැනීමේ අරමුණෙන් පොලිසිය මෙම ක්‍රියාමාර්ගය දියත් කළා යැයි කියාය. මන්ද යත් අධිකරණය හමුවේ නඩුවක් කැඳවා ඇති විටක ඊට එරෙහිව අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණ පවත්වන්නේ නම් එය පැහැදිලිවම අධිකරණයට කරන අපහාසයකි. අධිකරණ කටයුතුවලට සිදුකරන බාධාවකි. අධිකරණයට අනියමින් කරන තර්ජනයකි. ඒ අනුව බොහෝ දෙනාට මේ වනවිට සැක මතුව ඇත්තේ මෙය විපක්ෂය හිතාමතාම උගුලකට හසුකර ගැනීමේ අරමුණෙන් පොලිසිය සිදුකළ එකක් බවකි. එමෙන්ම නඩු කටයුත්ත ආරම්භ කිරීමට පෙර නඩු තීන්දු පිළිබඳ සමාජ මාධ්‍යවල පුවත් පළකළ අයට එරෙහිවද මේ වනවිට වෙනමම විමර්ශනයක් ආරම්භ වී ඇති බවද ආරංචිය.

ඇප ලැබීමෙන් අනතුරුවද රනිල් දින දෙකක් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය. ඒ අනුව සජිත් බදාදා දිනයේදීත් රනිල්ගේ සුවදුක් විමසීම සඳහා ජාතික රෝහලට ගියේය. ඒ වනවිට රනිල්ගේ පපුවේ එක්ස්-රේ එකක් ගැනීමේ කටයුතු සිදුවෙමින් තිබිණි. ඊට විනාඩි 20ක පමණ කාලයක් ගතවන නිසා සජිත් කළේ රනිල්ට තමන් යන බව ඉඟියකින් පවසා පිටව යෑමය. එසේ පැමිණි සජිත් වාහනයට නගිද්දීම රනිල්ගෙන් දුරකතන ඇමතුමක් ලැබිණි රනිල් එහිදී කියා සිටියේ එදින තමන්ව සාමාන්‍ය වාට්ටුවකට දමනු ඇති බවත්, එවිට තමන් සිටින වාට්ටුව සජිත්ට දැනුම් දීමට කටයුතු කරන බවත්ය.

භූතයාත් ඇවිත්

එම හමුවෙන් පසු සජිත් කෙළින්ම පැමිණියේ විපක්ෂ නායක කාර්යාලයේ ආරම්භ වීමට නියමිත තිබූ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමටය. පළමු පක්ෂ නායක රැස්වීමට නොපැමිණි බොහෝ පිරිසක් එදින ඊට එක්ව සිටි ආකාරයක් දැකගත හැකි විය. විශේෂයෙන්ම රනිල් සමීපයේම සිටින චාමර සම්පත් දසනායක රැස්වීමට පැමිණීමට පෙර මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ ‘රනිල් හිරේ ගියා… සජිත් ගොඩගියා… සජිත්ගෙ ග්‍රහයා හොඳවුණා..’ යැයි කියාය. කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ සජිත්ට එරෙහිව කුමන්ත්‍රණ පිට කුමන්ත්‍රණ දියත් කරමින් සිටි එජාපයේ සූත්තර භූතයාද විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මෙම පක්ෂ නායක රැස්වීමට එක්ව සිටීමය.

රැස්වීම ආරම්භයේදීම සියලු පක්ෂ නායකයෝ රනිල්ට ඇප ලබාගැනීමේදී සජිත් විසින් දැක්වූ දායකත්වයට විශේෂ ස්තුතියක් පිරිනැමීමට පියවර ගත්හ. එහිදී දැකගන්නට ලැබුණු අනෙක් විශේෂම සිදුවීම වූයේ සූත්තර භූතයාද කෘත්‍රිම වේශයක් මවාගෙන සජිත්ට ස්තුති කරමින් අමුතු රඟපෑමක නිරත වීමය. බොහෝ දෙනා සූත්තර භූතයාගේ මේ රඟපෑමට රැවැටුණද සජිත් නම් ඒ රඟපෑමට හසු නොවුණු ආකාරයක් ඔහුගේ මුහුණේ ඉරියව්වලින් සියලු දෙනාටම පෙනී ගියේය. ඒ සූත්තර භූතයාගේ රඟපෑම, රඟපෑමක්ම බව මනාව තහවුරු වූයේ එදින රාත්‍රියේ සිය නිවසේ සිටි හිතවතුන් කිහිප දෙනකුට මේ සූත්තර භූතයා කළ ප්‍රකාශයක් හරහාය. එහිදී මේ සූත්තර භූතයා කියා තිබුණේ ‘මම අද සජිත් ඉස්සරහා නියම රඟපෑමක් රඟපෑවා. අද ඉඳලා මම රඟපාන්නේ සජිත් තමයි නායකයා කියන තැන ඉඳගෙන. හැම තිස්සෙම විපක්ෂ නායක කාර්යාලයට ගිහිල්ලා මම ඒකම කියනවා. ඔබතුමා තමයි නායකයා කියලා. හැමෝටමත් කියනවා සජිත් තමයි නායකයා කියලා. හැබැයි මම මැද්දෙදි ගේමක් ගහනවා විපක්ෂ නායක කාර්යාලයේ කෑම මේසේ රෙද්දත් කඩාගෙන එළියට එන විදියට….’ යැයි කියාය. මේ ප්‍රකාශයෙන්ම මේ කියන සූත්තර භූතයාගේ අරමුණ පැහැදිලිය. මේ සූත්තර භූතයා කිසිදු අවස්ථාවක එජාප-සජබ එක්වීමකට ඉඩ දෙන්නේ නැති බවය. ඊට හේතුව සූත්තර භූතයාගේ එකම අභිප්‍රාය වී ඇත්තේ කෙසේ හෝ එජාප නායකත්වය ලබාගැනීම නිසාය. යම් හෙයකින් එජාපය හා සජබය එකතු වුවහොත් තමන්ට ඒ අරමුණ කිසිසේත්ම ඉටුකර ගැනීමට නොහැකි බව සූත්තර භූතයා දනී.
මේ ආකාරයටම පසුගිය ජනාධිපතිවරණය සජිත් පරාජය වීමත් සමගම සජබ පාක්ෂිකයන් කනගාටු වෙද්දී රනිල් පැරැදුණද මේ සූත්තර භුතයා සිටියේ ඉහවහා ගිය සතුටකිනි. අනුරගේ ජයග්‍රහයෙන් අනතුරුව සූත්තර භූතයා හමුවීමට ගිය බොහෝ දෙනකුට ඔහු කියා තිබුණේ ‘අපේ ගේම හරිනේ. අපි ගැහුවේ සජිත්ගේ දේශපාලනය ඉවර කරන ගේමක්. දැන් සජිත් පරාදයි.. අනුර දිනුවා. අපි ඊයෙත් රනිලුයි මමයි අනුරයි විජිතයි එකට හිටියේ….’ යැයි කියාය. එදා එසේ කී සූත්තර භූතයා අද සූදානම් වන්නේ කොයි අවස්ථාවක හෝ විපක්ෂ නායක කාර්යාලයේ කෑම මේසයේ රෙද්දත් කඩාගෙන එළියට බසින්නටය.

රනිල්ට තව කේස් දෙකක් එනවා!

නමුත් අද වනවිට මේ සූත්තර භූතයන්ගේ ඉහමොළ රත්වී ඇත්තේ තමන්ගේ නායකයා වූ රනිල්ටද පමණක් නොව එජාපයේ ඉහළ ඇවරියටම එරෙහිව නඩු පිට නඩු උසාවිය හමුවේ ගොනුවෙමින් පවතින නිසාය. ඒ අනුව මෙවර රාජ්‍ය රහස් තීරය ඔස්සේ අද අප තවත් අනාවැකියක් කීමට සුදානම්ය. ඒ, රනිල්ගේ ලන්ඩන් නඩුවට අමතරව තවත් ප්‍රබල නඩු දෙකක් ඉදිරි සති කීපය ඇතුළත රනිල්ගේ නම ඉදිරියෙන් අධිකරණයේ ගොනුවීමට තීන්දු වී ඇති බවය. ඉන් එකක් වන්නේ 2015 යහපාලන ආණ්ඩු කාලයේදී රාජගිරියේ පිහිටි සබීතා පෙරේරාට අයත් දැවැන්ත ගොඩනැගිල්ල කෝටි ගණනකට කෘෂිකර්ම අමාත්‍යාංශයට බදු ගැනීමේ සිදුවීමය. එම ගනුදෙනුවට දුමින්ද දිසානායකගේ නම කියැවුණද එය පසුපස රනිල් සිටි බවට මේ වනවිට විමර්ශන කණ්ඩායම් අනාවරණ කොටගෙන ඇති බව ආරංචිය. මීට අමතරව රනිල් ජනාධිපතිවරයාව සිටියදී පාසල් සඳහා ස්මාර්ට් බෝඩ් ලබාදීමේ ව්‍යාපෘතිය හරහා දැවැන්ත දූෂණයක් සිදුව ඇති බවටද මේ වනවිට විමර්ශන කණ්ඩායම් තොරතුරු අනාවරණ කොට ගෙන තිබේ. ඊටද ඍජුවම රනිල් සම්බන්ධ බවට තහවුරු වන ලියවිලි විමර්ශකයන් විසින් අනාවරණ කොට ගෙන ඇති බවක් ‘ රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

ආයෙමත් නිවුස් ප්ලාන්ට් වෙයි

කෙසේ වෙතත් සූත්තර භූතයා මේ ආකාරයට එජාපයේ මුල් පුටුවට ඇස ගසාගෙන එජාප-සජබ එකතුව කැඩීමට දන්නා හැම ගේමක්ම ගැසුවත් එජාපයේ අනෙකුත් නායකයන් වන මහලේකම් තලතා, නියෝජ්‍ය නායක රුවන්, රවී වැනි කණ්ඩායම් නම් සිටින්නේ පක්ෂ දෙක මේ මොහොතේ හෝ එකතු විය යුතුය යන ස්ථාවරයේ බව ආරංචිය. එහිදී විපක්ෂ නායක සජිත් ඉදිරියෙන් තබාගෙන එම කටයුත්ත සිදුකළ යුතු බව ඔවුන්ගේ ස්ථාවරය වී ඇති බවද ආරංචිය.

ඇප ලැබීමෙන් අනතුරුව දින 3ක් රනිල් ගත කළේ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේය. පසුගිය සිකුරාදා පෙරවරුවේ රනිල් සාමාන්‍ය වාට්ටුවකට මාරු කිරීමට පියවර ගැනුණි. නමුත් සිකුරාදා දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ඉතා අසීරුවෙන් සහ රෝගී තත්ත්වයෙන් සිටියා යැයි කියූ රනිල්ගේ රනිල්ගේ ටිකට් කැපීමට රෝහල් බලධාරීන් කටයුතු කර තිබීමය. ඒ අනුව රනිල් සිකුරාදා පස්වරුවේ සුපුරුදු පරිදි සිය නිවස බලා පිටත්ව ගියේය. ඒ අනුව බොහෝ දෙනා සිතා සිටියේ පසුගිය දින කීපයේ සිදුවූ ආකාරයට රනිල් සජිත් සමග එකට එක්ව සමගියෙන් යුතුව සජිත්ට තැන දී දේශපාලනය කරනු ඇතැයි කියාය. නමුත් ඒ වෙනුවට සිදුවූයේ හාත්පසින්ම වෙනස් දෙයකි. එනම් රනිල් ටිකට් කපා ගෙදර පැමිණීමත් සමග එජාපයේ භූතයන් සුපුරුදු පරිදි නිවුස් ප්ලාන්ට් කරමින් සජිත්ට ප්‍රහාර එල්ල කරන මෙහෙයුමක් ආරම්භ කොට තිබිණි. ඒ අනුව පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සජිත් ඉලක්ක කර ගැසූ මඩක් නැවත අලුත් කර ගැසීමට මෙම කණ්ඩායම පියවර ගත්හ. එදා සජිත්ට මෙම පිරිස්ම චෝදනා එල්ල කර තිබුණේ නිවාස අධිකාරියේ සේවකයන් සජිත්ගේ බිරියගේ සැලුන් එකේ සේවයට යොදාගෙන තිබුණා යැයි කියාය. ඒ අනුව එම චෝදනාවම නැවත අලුත් වටයකින් ආරම්භ කරමින් හරියටම රනිල් ටිකට් කපා ගෙදර එන දිනයේ විවිධ වෙබ් අඩවි මගින් වාර්තා කිරීමට පියවර ගෙන තිබිණි. ඒ, රනිල්ට පොදු දේපොළ යටතේ එල්ල වූ චෝදනාවම සජිත්ටද එල්ල වී ඇති බව කියමිනි. මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ලැබුණු බවද එහි සඳහන්ව තිබිණ.

එමෙන්ම රනිල් එළියට පැමිණි සිකුරාදා දිනයේදීම විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් රනිල්ගේ ප්‍රධානත්වයෙන් මල් පාරේ පිහිටි එජාප පක්ෂ කාර්යාලයේ පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. ඒ අනුව රනිල් සහ එජාපයේ සිටින භූතයන් නැවතත් සූදානම් වන බව පෙනී යන්නේ තමන්ට සුපුරුදු ආකාරයට සජිත්ට ප්‍රහාර එල්ල කිරීම සහ සජබ ප්‍රධානත්වයෙන් නිර්මාණය වන විපක්ෂයේ පුළුල් සන්ධානය කඩාබිඳ දැමීමට බවක් දැකගන්නට තිබේ.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

පොලිසියේ තුන්දෙනෙක් ඉන්දුනීසියාවට ගිහිල්ලා ගහපු සුපිරිම ගේම! Sri Lanka Latest News

Next Post

ලබ්බට තිබ්බ අත පුහුලටත්! ඊළඟට මහින්ද? Sri Lanka Latest News

MORE NEWS

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.