කොවිඩ් 19 සංචරණ සීමා ඉවත් කළ දින සිට බත්තරමුල්ල, සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අසල මේ දිනවල දෛනිකව දක්නට ඇත්තේ දිගු පෝලිමකි.
සංචරණ සීමා පනවා පනවා තිබූ කාලසීමාව තුළත් ඉන් පසු මේ දක්වාත් කිසියම් කෙනෙකුට විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමට අවශ්‍ය වන්නේනම් ඒ සඳහා අයදුම් පත් බාරදීමට දින කිහිපයකට පෙර දිනයක් වෙන්කර ගැනීමට දැන් සිදුව තිබේ.
එසේ තිබියදීත් මෙලෙස අඛණ්ඩව දිගු පෝලිම් දක්නට ලැබීම විශේෂ සිදුවීමකි.
“සාමාන්‍යයෙන් අපි ඕන් ලයින් ඩේට් එකක් වෙන්කරගන්න කෙනෙකුට දිනය හම්බ වෙන්නේ තව දවස් 10ක් 12ක් විතර ඉස්සරහා දිනයක්. ඒ දිනෙත් ඇප්ලිකේෂන් එක බාරගන්න දිනේ. දැන් දවස ගානේ පාස් පොර්ට් ගන්න එන පිරිස හුඟක් වැඩියි. අපේ ස්ටාෆ්වලට මේ ඉල්ලීම වෙනදා වගේ කවර් කරගන්නත් අමාරුයි. මේ එන ඇප්ලිකේෂන්වලින් වැඩි හරියක්ම තරුණ අයගේ. මේ වැඩිවීම අසාමාන්‍ය වැඩිවීමක්. මීට කලින් යුද්දේ කාලෙදී ටිකක් වැඩියෙන් ආවා. ඒ හුඟ දෙනෙක් උතුරු සහ නැගෙනහිර අය. දැන්නම් රට පුරාම තරුණ අය පුදුම විදිහට තමන්ගේ පාස්පෝර්ට් එක හදාගන්න එනවා” යි මේ පිළිබඳව කළ විමසීමකදී ආගමන හා විගමන දෙපාර්තුමේන්තුවේ අයෙක් පැවසීය.









