පසුගිය සතිය වන විට ජනාධිපතිවරයාට හිතවත් එක්තරා ව්‍යාපාරිකයකු දැනුම් දී ඇත්තේ ලබන මැයි මාසයේදී සජබයෙන් කණ්ඩායමක් ජනාධිපතිවරයාට සහාය පළකරමින් ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටිනවා යැයි කියාය. නමුත් අප මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ඉතා වගකීමෙන් යුතුව කියා සිටින්නේ සජබ කිසිදු මන්ත්‍රීවරයකු මැයි මාසයේදී හෝ ආණ්ඩුවට එක්වීමට සූදානම් නොමැති බවකි. අප පෙර කී ආකාරයටම එහෙට මෙහෙට පැන පැන රිළව් මෙන් දේශපාලනය කරන දෙතුන් දෙනකු සහ ආණ්ඩුව සමග හොර ගනුදෙනු කළ කිහිප දෙනකු හැරෙන්නට සජබ වෙන කිසිවකුත් ආණ්ඩුවට එකතු වීමට සූදානම් නොමැති බව මෙවරද අප වගකීමෙන් යුතුව ලියා තැබීමට සූදානම්ය. එමෙන්ම ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් සමග රෑට රෑට ඩීල් දැමූ එම නම් ලැයිස්තුව අප ජාතික මැතිවරණයක් ප්‍රකාශයට පත්කළ වහාම රටට හෙළිදරව් කිරීමටද සූදානම්ය. මන්ද යත් මෙවර ප්‍රධාන පෙළේ මැතිවරණයක් පැමිණෙන්නේ විශාල ජන අරගලයක් හමුවේ විධායක ජනාධිපතිවරයකුට පස්සා දොරෙන් පැන ගෙදර යෑමට සිදුවීමෙන් අනතුරුවය. එවැනි තත්ත්වයකදී තවදුරටත් මේ එහෙට මෙහෙට පනින දේශපාලන රිළවුන් පිළිබඳ ජනතාව දැනගත යුතු නිසා ඔවුන්ගේ නම් හෙළිදරව් කිරීමට අප කටයුතු කරන්නේ එය ජාතික වගකීමක් ලෙස සලකාය.Sri Lanka Latest News
තවත් මත විමසුමක්
කෙසේවෙතත් මතු ඇති දේශපාලන වටපිටාව හමුවේ ජනාධිපතිවරයා සිටින්නේ තවදුරටත් සිය අපේක්ෂකත්වය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම සඳහා කල් මරමින්ය. ඒ සඳහා මේ දිනවල ජනාධිපතිවරයා තමන් සමීපයේ සිටින ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට තවත් අලුත් තෙලක් බෙදමින් සිටින බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ, අප රටට හෙළිදරව් කළ මත විමසුම පසෙකින් තිබියදී තවත් අලුත් මත විමසුමක් සිදුකිරීම සඳහා තමන් එක්තරා ආයතනයකට භාරදුන් බව කියමිනි.
‘ජනාධිපතිවරණය ගැන එක සර්වේ එකක් නම් ඇවිත් තිබුණා. මම එක දැක්කා. ඒක හරි. නමුත් මට ඒ ගැන සෑහීමකට පත්වෙන්න බෑ. ඒ හින්දා මම තවත් කණ්ඩායමකට අලුත් සර්වේ එකක් කරන්න භාරදුන්නා. ඒකේ උත්තරේ මට එන්න තව සති හය හතක් යයි. ඒ කාලය අතරතුර වෙන පක්ෂවලින් ආණ්ඩුවට ගේන අය අරගෙන එන්න…’ යනුවෙන් ජනාධිපතිවරයා සිය සමීපතමයන්ට දැනුම් දී ඇති බව ආරංචිය. නමුත් මේ මත විමසුම සිදුකිරීමට ජනාධිපතිවරයා භාරදී ඇති ආයතනය කුමක්ද යන්න පිළිබඳ එහිදී කිසිදු අනාවරණයක් සිදුව නැත.