ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය ඇමැතිවරයකුගේ මැර පිරිසකගේ ප්‍රහාරයට ලක්වූ කටාන අල් ඔබේදාන් ඇපරල් කර්මාන්ත ශාලාවේ හිමිකරු එම කර්මාන්ත ශාලාව ඉවත්කර ගැනීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.
පසුගිය 04 වැනිදා සිට එම කටයුතු ආරම්භ වී ඇති අතර, මූලික අදියර යටතේ එම කර්මාන්ත ශාලාවේ තිබූ විශාල රෙදි තොගයක් ගබඩාවලින් ඉවත් කර ඕමානයේ කර්මාන්ත ශාලාවක් වෙත යැවීමට හිමිකරු කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
කර්මාන්ත ශාලාව ඉවත්කර ගැනීමට විරෝධය පළකරමින් එහි සේවකයින් පිරිසක් විරෝධතා ව්‍යාපාරයක ද නිරත වී තිබෙනවා.
එහි භාණ්ඩ, කර්මාන්ත ශාලාවෙන් පිටතට ගෙන යෑමට නොහැකි වන ලෙස අවහිර කිරීමට ඔවුන් කටයුතු කර තිබූ බවයි වාර්තා වන්නේ.
පසුව පොලිසිය මැදිහත්ව විරෝධතාකරුවන් ඉවත් කර කර්මාන්ත ශාලාවේ අමුද්‍රව්‍ය ඉවත්කර ගැනීමට පහසුකම් සලසා දී තිබුණා.
පසුගිය මාර්තු 30 වැනිදා රාත්‍රියේ රාජ්‍ය ඇමැතිවරයාගේ හිතවාදීන් බව කියාගත් පිරිසකගේ ප්‍රහාරයට ලක්වීමෙන් පසු මෙම කර්මාන්ත ශාලාවේ හිමිකරු වන ඕමාන් ජාතික ව්‍යාපාරිකයා කටානේ පිහිටි සිය කර්මාන්ත ශාලා භූමිය වෙත කිසිම අවස්ථාවක පැමිණ නැහැ.
ආරංචි මාර්ග පවසන අන්දමට මෙම කර්මාන්ත ශාලාව හා එය පිහිටි භූමිය වෙනත් පෞද්ගලික ආයතනයකට විකිණීමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් සිදුකරමින් පවතී.
කර්මාන්ත ශාලාව වෙත වාහන කුලී පදනම මත ලබාදීමට යෑමේදී සිදුවූ ආරවුලක් මත රාජ්‍ය ඇමැතිවරයාගේ මැරයන් විසින් කර්මාන්ත ශාලාවේ හිමිකරුට හා ආරක්‍ෂක නිලධාරීන්ට අමානුෂික ලෙස පහරදී දේපළවලට ද හානි කර තිබුණා.
dasathalankanews










