5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් අංශයේ අධ්‍යක්ෂවරයා ඔක්තොම්බර් 07 දක්වා රක්ෂිත බන්ධනාගාර කර තිබේ.Sri Lanka Latest News
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සැකකරු අද (23) කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය හමුවට ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඔහු ඔක්තෝබර් මස 7 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.
පසුගියදා පැවති ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් උපකාරක පන්ති ගුරුවරයෙකු විසින් ආදර්ශ ප්‍රශ්න පත්‍රයකට ඇතුළත් කර විභාගයට පෙර දින වට්ස්ඇප් හරහා මුදා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ රහස්‍ය තොරතුරු බාහිරට ලබාදීමේ චෝදනා මත ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ අදාළ මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.
කුරුණෑගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් මෙම සැකකරු එම ප්‍රදේශයේ ම පදිංචි 57 හැවිරිදි අයෙකු බවට අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරයි.










