ඩලස් පළමුවරට සජිත්ගේ රැස්වීමක!
රාජිත තනිවම වෙළ මැද්දේ!
ගාමිණීට කළ දේ සජිත්ටත්?
මහින්දානන්ද ගුණතිලක ගැටුම!
ජනාධිපතිවරණ උණුසුම කෙමෙන් කෙමෙන් ඉහළ යද්දී ආණ්ඩුව ඇතුළේ, මැති ඇමැතිවරුන් අතර, නිලධාරීන් අතර ඇති අසහන, අමනාපකම්ද කෙමෙන් කෙමෙන් ඉහළ යෑම සාමාන්‍ය දෙයකි. විශේෂයෙන්ම ආණ්ඩුව වැටෙන බවට ඉව වැටුණොත් ආණ්ඩුව ඇතුළේ මැති ඇමැතිවරුන් අතර සහ නිලධාරීන් අතර ඇති එම අමනාපකම් දෙගුණ තෙගුණ වී එළියට පනින ආකාරයක් නිරන්තරයෙන්ම දැකගත හැකිය. පසුගිය සතියේ ආණ්ඩුව ඇතුළේද එවැනි ආකාරයේ උණුසුම් ජවනිකාවක් දැකගන්නට ලැබුණේ පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ සිදුවූ බව කියන ගුටිබැට හුවමාරුවක් හේතුවෙනි. සිද්ධියට මැදිවූ මන්ත්‍රීවරුන් දෙදෙනා වූයේ හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාත්, මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතාත්ය. දෙදෙනාම මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන පොහොට්ටුවේ ප්‍රබල මන්ත්‍රීවරුන් දෙදෙනෙකි. පසුගිය දිනෙක ගුණතිලක රාජපක්ෂ මහතා සහ ඔහුගේ පුත් නිලුපුල් රාජපක්ෂ තාවකාලික පැවිද්ද ලබාගැනීම හේතුවෙන් සමාජය අතර ඔහු දන්නා කියන චරිතයක් බවටද පත්ව තිබිණි.Sri Lanka Latest News
සාමාන්‍යයෙන් ගුණතිලක රාජපක්ෂ සැලකෙන්නේ සාමකාමී, නිහඬ චරිතයක් ලෙසටය. මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ සංවර්ධන කමිටු සභාපති ධූරය දැරුවේ මේ කියන ගුණතිලක රාජපක්ෂය. නමුත් කාලයක් තිස්සේ මහින්දානන්ද අලුත්ගමගේ තමන්ට යටිනුවර සංවර්ධන කමිටුවේ සභාපති ධුරය ලබාදෙන ලෙසට ගුණතිලක රාජපක්ෂගෙන් දිගින් දිගටම ඉල්ලීම් කර තිබිණි. මේ හේතුවෙන් අවසානයේදී එක් කොන්දේසියක් පිට යටිනුවර සංවර්ධන කමිටුවේ සභාපති ධුරය මහින්දානන්දට ලබාදීමට ගුණතිලක රාජපක්ෂ පියවර ගත්තේය. එම කොන්දේසිය වූයේ තමන් ඉදිරිපත් කරන සංවර්ධන ව්‍යාපෘති ඒ ආකාරයෙන්ම සම්මත කළ යුතු බවට වූ කොන්දේසියය. ඊට මහින්දානන්ද එකඟතාව පළකිරීම හේතුවෙන් යටිනුවර සංවර්ධන කමිටු සභාපති ධුරය මහින්දානන්දට පැවරීමට ගුණතිලක රාජපක්ෂ පියවර ගෙන තිබිණි.
නමුත් ප්රශ්නය පැනනැගුණේ පසුගිය වතාවේ ගුණතිලක රාජපක්ෂ විසින් ඉදිරිපත් කරනු ලැබ තිබූ යටිනුවර සංවර්ධන ව්‍යාපෘති බොහොමයක්ම පාහේ මහින්දානන්ද විසින් ඉවත් කොට ඔහුගේ ආසනයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ඇතුළත් කිරීමට පියවර ගෙන තිබීම නිසාය. මේ තත්ත්වය වාර්තා වීමත් සමග ගුණතිලක රාජපක්ෂ මහින්දානන්දගෙන් විමසීමක් කර තිබූ අතර, එහිදී දෙදෙනා අතර ඒ සම්බන්ධයෙන් උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබිණි.
ගැටුම පටන් ගනී
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සඳුදා ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරම්භ වූයේ මෙම පසුබිම යටතේය. රැස්වීම ආරම්භ වීමට පෙරාතුව මේ පිළිබඳ ගුණතිලක රාජපක්ෂ මහතා මහින්දානන්දගෙන් කරුණු විමසීමට පියවර ගෙන තිබූ අතර, එහිදීද දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවන අයුරු සියලු මැති ඇමැතිවරුන්ට දැකගත හැකි විය. වහාම මන්ත්‍රීවරු මැදිහත් වී දෙදෙනා දෙපසට කිරීම හේතුවෙන් අතපය වීසිකිරීමක් වැළකී ගියද මහින්දානන්ද සිටියේ ඒ පිළිබඳ දැඩි කෝපයට පත්වය. මේ හේතුව නිසාම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අතරතරදී පවා ‘මම බලාගන්නම්කෝ…’ යනාදී වචන පවසමින් මහින්දානන්ද සිය කෝපය පිට කළ ආකාරයක් දැකගත හැකිවිය. මේ තත්ත්වය තවත් උග්‍ර වූයේ දෙදෙනාම එකම පේළියේ අසුන්ගෙන සිටීම නිසාය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා විසින් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසන් කොට පිටව යෑමේදී කිසිවකුත් නොසිතූ පරිදි මහින්දානන්ද ගුණතිලක රාජපක්ෂ අසලට ගොස් ඔහුත් සමග නැවතත් කතාබහක් ඇති කරගන්නා ආකාරය අනෙකුත් මන්ත්‍රීවරුන්ට දැකගත හැකි විය. එහිදී මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම වහවහා එම ස්ථානයට පැමිණියේ ගැටුමක් ඇතිවන බවක් ඉවෙන් මෙන් වැටහුණු නිසාය.
මෙහිදී දෙදෙනා අතර සිදුවූයේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මත දෙකක් ඉදිරිපත් වී ඇති ආකාරයක් දැකගන්නට තිබේ. එක් මතයක් වන්නේ මහින්දානන්ද, ගුණතිලක රාජපක්ෂගේ කොලරයෙන් අල්ලා පහර කිහිපයක් ගසා තල්ලු කළ බවකි. තවත් මතයකින් කියැවෙන්නේ කොලරයෙන් අල්ලා පහරදීමක් සිදු නොවූ බවත්, මන්ත්‍රීවරුන් අතර ඇතිවූ උණුසුම් තත්ත්වය හේතුවෙන් ගුණතිලක රාජපක්ෂ පය පැකිලීි ඇදවැටුණු බවත්ය. මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් සිදුවන නිසා ඉදිරියේදී පොලිසිය ඒ පිළිබඳ අධිකරණය හමුවේ කරුණු වාර්තා කිරීමට නියමිතය. එහිදී ඇත්තටම සිදුවූයේ කුමක්ද යන්න පොලිසිය විසින් අධිකරණය හමුවේ කරුණු වාර්තා කරනු ඇත.
කෙසේ වෙතත් දෙදෙනා අතර උණුසුම් කතාබහ යද්දී වටපිටාවේ සිටි මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම එම සිද්ධිය සිය ජංගම දුරකතනවලින් පටිගත කරන ආකාරයක්ද දැකගත හැකි විය. බොහෝ මන්ත්‍රීවරුන් මහින්දානන්දට පෞද්ගලිකව අකැමැති බවක් දැකගන්නට ඇති නිසා ඔවුන් මෙම සිද්ධිය සිය ජංගම දුරකතනවලින් පටිග කරනු අවට සිටි පිරිස්වලටද දැකගන්නට ලැබිනි.
කෙසේ වෙතත් කලබලය අතරතුර ගුණතිලක රාජපක්ෂ මහතා කිසිවකුත් නොසිතූ අයුරින් පඩිපෙළෙහි ඇදවැටෙන ආකාරය සියලු දෙනාටම දැකගන්නට ලැබිණි. ඒ සමගම ඒ අසල සිටි අගමැති දිනේෂ්ගේ පුත් යදාමිණි ගුණවර්ධනද බිම ඇදවැටෙනු දැකගත හැකි විය. එහිදී ගුණතිලක රාජපක්ෂ පළමුව පපුව රිදෙන බව කියමින් කෑගසන්නට වීම නිසා සියල්ලන්ම බියට පත්වුණේ ඔහුට කලකට පෙර බයිපාස් සැත්කමක් සිදුකොට තිබීම නිසාය. නමුත් එසැණින් ඔහු නැවත කෑගසන්නට වූයේ ‘මගේ කකුල කැඩිලා… මගෙ කකුල කැඩිලා…’ යැයි කියාය. ඒ අනුව වහාම ගුණතිලක රාජපක්ෂ රෝහල්ගත කිරීමට පියවර ගැනිණි. ඒ, නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලටය.
මෙහිදී සියලු දෙනාටම පැනනැගුණු පළමු ප්රශ්නය වූයේ ගුණතිලක රාජපක්ෂ නාරාහේන්පිට යුද හමුදා රෝහලට ඇතුළත් කිරීමට උපදෙස් ලබාදුන් පුද්ගලයා කවුරුන්ද යන්න කියාය. මන්ද යත් සාමාන්‍යයෙන් ඕනෑම පුද්ගලයකු හදිසි අනතුරකට ලක්වූ විට ඇතුළත් කරනු ලබන්නේ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයටය. එසේ ඇතුළත් කිරීමේදී සිදුවූ අනතුර සම්බන්ධයෙන් පළමුව හදිසි අනතුරු ඒකකයේ පිහිටුවා ඇති පොලිස් මැදිරියේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදිය යුතුය. එසේ වුවහොත් සිද්ධිය එළියට ඒම වැළැක්වීමට නොහැකි නිසා කවුරුන් හෝ දුන් උපදෙසකට අනුව වහාම ගුණතිලක රාජපක්ෂ ඇතුළත් කරනුයේ නාරාහේන්පිට යුද හමුදා රෝහලටය. එහිදී කිසිදු පොලිස් පොතක සටහනක් දැමීමට අවශ්‍ය නොවන නිසා ගුණතිලක රාජපක්ෂ හමුදා රෝහලට ගෙන ගිය බව බොහෝ දෙනාගේ අදහස විය.
මේ ආකාරයට ගැටුම සමාජයෙන් වසං කරලීමට කවුරුන් හෝ උත්සාහ දැරුවද විනාඩි ගණනක් ඇතුතළ සිද්ධිය එළියට ආවේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු විසින් වට්ස්ඇප් පණිවුඩ මගින් පිටත සිටි අයට මේ පිළිබඳ කළ දැනුම්දීම නිසාය. ඒ අනුව යම් යම් මාධ්‍යද මෙම ගැටුම පිළිබඳ වාර්තා කිරීමත් සමග සිද්ධිය තවදුරටත් රහසක් ලෙස තබාගැනීමට මෙම මෙහෙයුම පසුපස සිටි පිරිස් හට නොහැකි විය.
ඒ සමගම සිද්ධිය සමතයකට පත්කිරීම සඳහා ඉහළ පෙළේ සාම මෙහෙයුමක්ද ආණ්ඩුව පැත්තෙන් ක්‍රියාත්මක වූ ආකාරයක් අඟහරුවාදා දිනයේදී දැකගත හැකි විය. ඒ, ආණ්ඩුවට සම්බන්ධ ඉහළම චරිතයක් ගුණතිලක රාජපක්ෂගේ සුවදුක් බැලීම සඳහා නාරාහේන්පිට යුද හමුදා රෝහලට පැමිණිමත් සමගය. අප මෙම පුද්ගලයා පිළිබඳ සියලු තොරතුරු දන්නා නමුත් මේ අවස්ථාවේදී ඔහුගේ නම්ගම් හෙළිකිරීමට අප කටයුතු නොකරන්නේ සදාචාරාත්මක හේතු මතය. කෙසේ වෙතත් මෙම පුද්ගලයා යම් සාම මෙහෙයුමකට පැමිණි බවක් ඔහු විසින් ඉදිරිපත් කළ යෝජනා හේතුකොටගෙන ගුණතිලක රාජපක්ෂ පවුලේ උදවියට දැනගන්නට ලැබිණි. නමුත් ඒ වන විටත් ගුණතිලක රාජපක්ෂගේ සුවදුක් බැලීමට පැමිණි බොහොමයක් හිතවතුන් ඔහුට උපදෙස් ලබාදී තිබුණේ මෙය අපරාධමය සිද්ධියක් ලෙස සලකා අපරාධ නීතිය යටතේ මහින්දානන්දට එරෙහිව කටයුතු කළ යුතු යැයි කියාය. ඒ වනවිට ගුණතිලක රාජපක්ෂ පරීක්ෂා කළ යුද හමුදා රෝහලේ වෛද්‍යවරුන් ඔහුගේ දකුණු පාදයේ ඉහළට වන්නට අස්ථි බිඳීමක් සිදුව ඇති නිසා ශල්‍යකර්මයකට භාජනය කළ යුතු බව දැනුම් දීම හේතුකොටගෙන මන්ත්‍රීවරයා සිටියේද මහින්දානන්ද සමග දැඩි කෝපයෙන් යුතුවය.
පැමිණිල්ල පුතාගෙන්
ඒ අනුව, අඟහරුවාදා දහවල් වන විට ගුණතිලක රාජපක්ෂගේ පුත් නිලුපුල් රාජපක්ෂ කොටුව පොලිසිය හමුවේ ඉදිරිපත් කළ පැමිණිල්ලත් සමග සිද්ධියේ තොරතුරු නිල වශයෙන් එළියට පැමිණි ආකාරයක් දැකගත හැකි විය. එහිදී මහින්දානන්දට එරෙහිව කොටුව පොලිසිය හමුවේ පැමිණිල්ලක් කළ නිලුපුල් රාජපක්ෂ, එහිදී මාධ්‍ය හමුවේ සඳහන් කර සිටියේ මෙවැනි ප්‍රකාශයකි.
‘තාත්තාගේ දණහිසේ ඉඳලා ඉණ දක්වා අස්ථි බිඳීමක් වෙලා තියෙනවා. තාත්තගෙන් ස්ටේට්මන්ට් එකක් ගන්න මේ වෙලාවේ පොලිස් නිලධාරීන් ඇවිල්ලා ඉන්නවා. ඊට පස්සේ ඔවුන්ට ජනාධිපති ලේකම් කාර්යාලයට ගිහින් විමර්ශනයක් කරලා උසාවිය දැනුවත් කරන්න වෙයි. මේ වෙච්ච අසාධාරණයට නීතිය ක්‍රියාත්මක වෙයි කියලා දැඩි විශ්වාසයෙන් ඉන්නවා. ලොකු මනුස්සයගේ ඉඳලා පොඩි මනුස්සයා දක්වාම නීතිය සමානව ක්‍රියාත්මක වෙයි කියලා විශ්වාසයක් තියෙනවා….’
මීට අමතරව ශල්‍යකර්මයට භාජන වීමට ප්‍රථම ගුණතිලක රාජපක්ෂ මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමටද පියවර ගත්තේය. එහිදී ගුණතිලක රාජපක්ෂ කියා සිටියේ මෙවැන්නකි.
ගුණතිලක කියපු කතාව
‘මම මහනුවර දිස්ත්‍රික්කයේ වගේම යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ සංවර්ධන කමිටු සභාපති ධුරයන් දැරුවා. යටිනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සංවර්ධන කමිටු සභාපති ධුරය තමාට ලබාදෙන ලෙස මහින්දානන්ද මන්ත්‍රීවරයා මාගෙන් කීප විටක්ම ඉල්ලීම් කළ නිසා ඒ තනතුර මා ඔහුට ලබාදීමට පියවර ගත්තේ මා විසින් ක්‍රියාත්මක කිරීමට සූදානම් කොට පැවැති සංවර්ධන කටයුතු ඒ ආකාරයෙන්ම සිදුකරගෙන යන බවට ලබාදුන් පොරොන්දුව මතයි. පසුගිය 30 වැනිදා මා එම සංවර්ධන කමිටු සභාපති ධුරයෙන් ඉවත් වූ පසු මහින්දානන්ද මන්ත්‍රීවරයා එම ධුරයේ වැඩ භාරගෙන මා විසින් ආරම්භ කිරීමට සූදානම් කොට පැවැති රුපියල් මිලියන 55ක සංවර්ධන ව්‍යාපෘති නවතා දමා වෙනත් ව්‍යාපෘති ආරම්භ කිරීමට පියවර ගෙන තිබුණා. මා මේ පිළිබඳ ප්‍රශ්න කිරීම හේතුවෙන් තමයි අපි අතර උණුසුම් කතාබහක් ඇති වුණේ.
නමුත් රාජ්‍ය සේවයේ උත්තරීතර ආයතනය වන ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඒ තරම් පහත් විදියට ඔහු හැසිරෙයි කියලා මම හිතුවේ නෑ. ඒ හැසිරීම මන්ත්‍රීවරයකුට තියා රස්තියාදුකාරයෙකුටවත් ගැළපෙන්නෙ නෑ. මම මේ සම්බන්ධයෙන් කොටුව පොලිසියට පැමිණිල්ලක් කරලා තියෙන්නේ. දැඩි නීතිමය පියවර ගන්න කියලා මම පොලිසියෙන් ඉල්ලලා තියෙන්නේ. පොලිසියෙ නිලධාරීන් පැමිණ මගෙන් ප්‍රකාශ ගත්තා. මම සියලු තොරතුරු පැවසුවා. මහින්දානන්ද මන්ත්‍රීවරයා කියන විදියට ජනාධිපති ලේකම් කාර්යාලයේ සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කරන්න කියලා මමත් පොලිසියෙන් ඉල්ලීමක් කලා. එතකොට කවුද ඇත්ත කියන්නේ කියලා හැමදෙනාටම වැටහේවි. අධිකරණ වෛද්‍ය නිලධාරියා පැමිණ අදාළ විමර්ශන කටයුතු කළා. මේ සිද්ධිය කිසිම ආකාරයකින් යටපත් කරන්න මම ඉඩ දෙන්නේ නෑ. නීතියෙ යුක්තිය ඉටුකර ගැනීම සඳහා ගත යුතු සෑම පියවරක්ම මම ගන්නවා. මේ බාධා හිරිහැර එල්ල කළා කියලා මම සැලෙන්නේ නෑ. පක්ෂයේ වගේම මහනුවර ජනතාව වෙනුවෙන් මගේ වගකීම් මම නොඅඩුවම ඉටුකරනවා….’ යනුවෙන් ගුණතිලක රාජපක්ෂ එහිදී කියා සිටියේය.
මේ අනුව ඍජුවම මහින්දානන්දට චෝදනා එල්ල වීම නිසා මාධ්‍ය මහින්දානන්දගෙන් ඒ පිළිබඳ විමසද්දී මහින්දානන්ද කියා සිටියේ බහින්බස් වීමක් සිදුවූ නමුත් ගැටුමක් සිදුවූයේ නැතැයි කියාය. කලබලය අතරතුර මන්ත්‍රීවරයා පඩිපෙළේ ඇදවැටීම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවද මහින්දානන්ද මාධ්‍ය වෙත සඳහන් කොට තිබිණි.
කෙසේ වෙතත් සිද්ධියේ හොඳම හරිය දැකගන්නට ලැබුණේ ඉන් අනතුරුවය. ඒ, ඉතා සූක්ෂ්ම ලෙස ‘ගහලා නෑ, ඇදගෙන වැටිලා…’ යන මතය තහවුරු වන ආකාරයේ මාධ්‍ය මෙහෙයුමක් දියත් වීමය. ඒ අනුව යම් පාර්ශ්වයක් තමන්ට හිතවත් මාධ්‍ය අල්ලාගෙන මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබූ ආකාරයක්ද දැකගන්නට ලැබිණි.
නමුත් මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ආරම්භ වී ඇති අතර, දැනටමත් ඔවුන් යුද හමුදා රෝහලට ගොස් ගුණතිලක රාජපක්ෂගෙන් සහ ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් එහි නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කොටගෙන ඇති බවක් ආරංචිය. ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත පොලිසිය අධිකරණය හමුවේ සිද්ධිය පිළිබඳ කරුණු වාර්තා කරනු ඇත.
රාජිත තනිවෙයි
පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කළ පුවතකින් දැක්වුණේ සජබ මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අඟහරුවාදා දිනයේ ආණ්ඩුවට එක්වීමේ සූදානමින් සිටින බවට වූ පුවතකි. මුලින්ම මෙම පුවත වාර්තා කොට තිබුණේ ආණ්ඩුවට හිතවත් වෙබ් අඩවිවලය. ඒ පිළිබඳ පසු විපරම් කරගෙන යද්දී එම සතියේ රාජිත හා ජනාධිපතිවරයා අතර අතිශය රහසිගත සාකච්ඡාවක් සිදුව ඇති බවත්, එහිදී ජනාධිපතිවරයා රාජිත සමග සිටින බව කියා සජබ මන්ත්‍රීවරුන් රැගෙන ආණ්ඩුවට පැමිණීමට සූදානම් වන ලෙස දැනුම් දී තිබූ බවත්, ඒ අනුව රාජිත ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බවටත් වූ පුවත වාර්තා කිරීමට අපි පියවර ගත්තෙමු.
සාමාන්‍යයෙන් රාජිත සැලකෙන්නේ ඕනෑම සිද්ධියක් පිළිබඳ අතිශයෝක්තියෙන් යුතුව කතා කරන චරිතයක් ලෙසටය. අතීත දේශපාලන සිදුවීම් පිළිබඳ කතා කිරීමට ගියත්, වර්තමාන දේශපාලන සිදුවීම් සම්බන්ධයෙන් කතාකිරීමට ගියත් රාජිත අතිශයෝක්තියෙන් යුතුව අදහස් දක්වන බව බොහෝ දෙනාගේ අදහසය. ආණ්ඩුව සමග සාකච්ඡා පැවැත්වීමේදීත් රාජිත ආණ්ඩුවේ බලධාරීන්ට දැනුම්දී තිබුණේ තමන් සමග සජබ මන්ත්‍රීවරුන් 20කට අධික පිරිසක් සිටින බවකි. ඕනෑම මොහොතක මෙම කණ්ඩායම තමන් සමග ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බවද එහිදී කියවිණි. ආණ්ඩුව පසුගිය කාලය පුරාම සජබෙන් 20ක් එනවා, 30ක් එනවා යැයි කියමින් පුරසාරම් කතා කියන්නට වූයේ රාජිත දුන් මේ ලණු ගිලලාය. නමුත් කිසිදු සජබ මන්ත්‍රීවරයෙක් ආණ්ඩුව සමග එක්වීමට කටයුතු කළේ නැත. අවසානයේදී රාජිත සිතා සිටියේ ගම්පහ සජබ මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම හෝ තමන් සමග ආණ්ඩුවට එක්වනු ඇති බවකි. නමුත් අජිත් මාන්නප්පෙරුමද පසුගිය සතියේ මාධ්‍ය හමුවක් පවත්වා කියා සිටියේ ජනාධිපතිවරයා සමග කුමන හිතවත්කම් තිබුණද සජබය අතහැර ආණ්ඩුවට එකතු වීිමට තමන්ට පිස්සුවක් නැතැයි කියාය. ඒ අනුව කිහිප දෙනකු සමග පසුගිය 4 වැනිදා ආණ්ඩුවට එකතු වීමට රාජිත සැලසුම් කර තිබුණද මාන්නප්පෙරුමගේ මෙම මාධ්‍ය හමුවෙන් පසු ඔහුගේ ආණ්ඩු ගමන සම්පූර්ණයෙන්ම කඩාවැටිණි.
ඒ සමගම මෙතෙක් රාජිත සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ පැවැති මතයද එම සිදුවීමත් සමග දැඩිව ඉහළට ආ ආකාරයක් දැකගන්නට තිබිණි. මෙතෙක් ආණ්ඩුව පැත්තෙන් කියැවුණු මතය වූයේ රාජිත සමග තවත් 20ක විතර කණ්ඩායමක් පැමිණෙන්නේ නම් පමණක් රාජිත ආණ්ඩුවට එක්කර ගත යුතු බවත්, එසේ නොමැතිව රාජිත තනිවම නම් කිසිසේත්ම ආණ්ඩුවට එකතු කරගත යුතු නැති බවත්ය. එසේ රාජිත තනිවම ආණ්ඩුවට ගතහොත් ජනතා අප්‍රසාදය ආණ්ඩුව කෙරෙහි එල්ල වීම වැළැක්විය නොහැකි බවත්, ඊට වඩා රාජිත සජබය ඇතුළේ තැබීම ආණ්ඩුවට වාසියක් බවත්, රාජිත සජබයෙන් ගැළවීම සජබයට වාසියක් බවත් එම මතවලින් වැඩිදුරටත් කියවී තිබිණි. ඒ අනුව, රාජිත පමණක් ආණ්ඩුවට ගැනීම අවසන් මොහොතේ අතහැර දැමීමට ආණ්ඩුව කටයුතු කොට තිබිණි.
රාජිතගේ තෙල බෙදිල්ල
කෙසේ වෙතත් 04 වැනිදා රාජිත ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බවට වූ පුවත සජබ ප්රධානීන්ටද වාර්තා වී තිබීම නිසා සජබයද ඊට කල් තියා සූදානම් වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව, 04 වැනි අඟහරුවාදා දින පාර්ලිමේන්තුව ආරම්භ කිරීමෙන් පසු රාජිත පැති මාරුකළහොත් ඊට දැක්විය යුතු ප්‍රතිචාරය කුමක්ද යන්න සහ සජබය කළ යුතු කතා ආදිය සැලසුම් කළ සජබය එදින පාර්ලිමේන්තු පැමිණියේ යම් සැලසුමක් අතැතිවය. එමෙන්ම එවැන්නක් සිදුවුවහොත් සිදුකළ යුතු සමාජ මාධ්‍ය මෙහෙයුම පිළිබඳවද සජබය කල් තියා සැලසුම් කොට තිබිණි.
ඒ අනුව රාජිත අඟහරුවාදා දින පාර්ලිමේන්තු පැමිණ සජබ මන්ත්‍රීවරුන් සමග අසුන්ගෙන සිටියද සජබ මන්ත්‍රීවරුන් වැඩිය රාජිතව මායිම් කරන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. නමුත් රාජිත ඔවුන් සමග එදින කතා කළේ අපූරු කරුණක් පිළිබඳවය. ඒ, විවිධ පාර්ශ්වවලින් තමන්ට ලැබී ඇතැයි කියන මත විමසුම් ගණනාවක ප්‍රතිඵල පිළිබඳවය.
‘මං ගාව ඉන්දියාව කරපු මත විමසුමක ප්‍රතිඵල තියෙනවා. ඒ වගේම ඔත්තු සේවා කරන මත විමසුම්වල ප්‍රතිඵලත් මට සතියෙන් සතිය එවනවා. ඒවයේ විදියට සජිත්ට තියෙන්නෙ 23%යි. අනුරට 21%යි. රනිල්ට 19%යි. මේ නිසා අපි ජනාධිපතිවරණය දිනන්න නම් රනිල් – සජිත් එකතු කරන්න ඕනෙ…’ යනුවෙන් කියමින් රාජිත මන්ත්‍රීවරුන්ට තෙල බෙදද්දී එක් තරුණ කටකාර සජබ මන්ත්‍රීවරයෙක් විහිළුවට මෙන් කියා සිටියේ, ‘අනේ ඇමැතිතුමා ඉන්දියාව කරලා තියෙනවා කියන ඔය සර්වේ එකෙයි, ඔත්තු සේවා කරලා තියෙනවා කියන සර්වේ එකෙයි කොපියක් අපිටත් දෙන්නකො බලන්න’ යැයි කියාය. එවිට රාජිත ‘හරි හරි මම පෙන්නන්නම්’ යනුවෙන් සඳහන් කොට ඇති බවක් ආරංචිය. පසුව මන්ත්‍රීවරුන් රාජිත කී මෙම කතාව සජිත්ට දැනුම්දීමට පියවර ගත් නමුත් සජිත් ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවක්ද ආරංචිය.
රනිල්ගෙන් පණිවුඩයක්
පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප විශේෂ පුවතක් ලෙස හෙළිදරව් කර සිටියේ මහින්ද විසින් ජනාධිපතිවරයා වෙත දෙනු ලැබ තිබූ පොරොන්දු ඉටුකිරීම සඳහා අවසන් දිනය ලෙස ජූලි 15 බවට දැනුම් දී ඇති බවත්, එදිනට ප්‍රථම සජබයෙන් ආණ්ඩුවට එක්කර ගන්නවා යැයි කී මන්ත්‍රීවරුන් 25 දෙනා එක්කොටගෙන පෙන්වන ලෙසත්ය. එමෙන්ම වහාම පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් පවත්වන ලෙස මෙතෙක් පොහොට්ටුවෙන් කළ දැනුම් දීමටද මහින්ද විසින් රනිල්ට එම පණිවුඩවලින් යළි මතක් කර දී ඇති බවද අපි සඳහන් කර සිටියෙමු. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් සහ මහින්දගේ පාර්ශ්වයෙන් පණිවුඩ ගෙනයෑම සඳහා නියෝජිතයන් දෙදෙනකු බැගින් නම්කොට තිබූ බවක්ද, ඔවුන් දෙදෙනා පසුගිය සති කිහිපය පුරාම ඒ පැත්තෙන් මේ පැත්තටත්, මේ පැත්තෙන් ඒ පැත්තටත් පණිවුඩ ගෙනගිය බවක්ද අපි සඳහන් කර සිටියෙමු. මේ අවස්ථාවේදී එම පණිවුඩකරුවන්ගේ නම්ගම් හෙළි නොකළද ඉදිරියේදී මේ සියලු දෙනාගේ නම් අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ හෙළිදරව් කිරීමටද සූදානම්ය.
කෙසේ වෙතත් පසුගිය සතියේ ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් මහින්දගේ පාර්ශ්වයට විශේෂ පණිවුඩයක් ලැබිණි. එම පණිවුඩයෙන් කියැවුණේ ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා එකඟතාව පළකොට ඇති බවය. නමුත් ඒ සම්බන්ධයෙන් දින වකවානු සඳහන් කිරීමක් එම පණිවුඩවල දැකගන්නට ලැබුණේ නැත. කෙසේ වෙතත් මෙම පණිවුඩය එක්වරම පිළිගැනීමට මහින්ද පාර්ශ්වය සූදානම් වූයේ නැත. එම පණිවුඩය ලැබුණු සැණින් මහින්ද කියා තිබුණේ, ‘මම නම් ඕක විශ්වාස කරන්නේ නැහැ. මේගොල්ලෝ ජුලි 15 වෙනකම් වැඩේ කල් අදින්න තමයි ඔය පණිවුඩය අපට එවන්නේ…’ යැයි කියාය.
අපට ඇති තොරතුරුවලට අනුව බැසිල්ද ආණ්ඩුවෙන් ලැබුණු මෙම පණිවුඩය එතරම් විශ්වාස කොට නැත. බැසිල්ගේ ද අදහස වී තිබුණේ මහින්ද ලබාදී තිබූ අවසන් දිනය දක්වා කල් ගැනීමට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් උපක්‍රමයක් ලෙස මෙම පණිවුඩය එවා තිබූ බවකි.
කන්ෆියුස් තියරිය
මීට අමතරව එය ආණ්ඩුවේ උපක්‍රමයක් බවට බැසිල් පිලට තවත් තහවුරු වූයේ අප පසුගිය සතියේ අනාවරණ කළ පරිදිම ආණ්ඩුව පැත්තෙන් ‘කන්ෆියුස්’ තියරිය යොදාගනිමින් සමාජ මනස අවුල්සහගත තත්ත්වයට පත්කරන පුවත් කිහිපයක්ම මාධ්‍යවල පළ කොට තිබීම නිසාය. ඉන් එක් පුවතකින් කියැවුණේ ජනාධිපතිවරණයෙන් පසු මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා අතුරු සම්මත ගිණුමක් සම්මත කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවය. තවත් පුවතකින් කියැවුණේ ජනාධිපතිවරයා සිරිකොතේ රැස්වීමක් කැඳවා මැතිවරණයට සූදානම් වන ලෙසට පක්ෂයට දැනුම් දෙමින් හිස්ව තිබූ තනතුරු රැසක්ම පිරවීමට පියවර ගත් බවකි.
මේ අතර, පසුගිය සතියේදී බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපතිවරයා අතර තවත් විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වී ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. මෙහිදීද බැසිල් පාර්ලිමේන්තුව වහාම විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට දැඩිව බලපෑම් කොට ඇති බවද දැනගන්නට ඇත.
එසේම, ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍යවරයකු වන කංචන විජේසේකර මහතා ලබන 16 වැනි දින මාතර මහ රැලියක් පවත්වා රනිල්ව ප්‍රධාන ආරාධිතයා ලෙස රැගෙන ඒමට සැලසුම් කර තිබූ බවක් මීට පෙර අප ‘රාජ්‍ය රහස්’ තීරයෙන් වාර්තා කළෙමු. එය වර්ජනය කරන ලෙසට පොහොට්ටුවෙන් මාතර සංවිධායකවරුන්ට පණිවුඩ ගිය ආකාරයත්, පසුව කංචන එය රනිල්ගේ රැස්වීමක් නොව ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් විසින් කරන රැස්වීමක් බව පොහොට්ටු සංවිධායකවරුන්ට දැනුම්දී ඇති බවත් අපි මෙම තීරයෙන් පෙන්වා දුන්නෙමු. කෙසේ වෙතත් පසුගිය සතිය වන විට මෙම තත්ත්වය තවත් වෙනස් වී එය ජනාධිපතිවරයා සහභාගි වන දේශපාලන රැලියක් නොව, ගාල්ල දිස්ත්‍රික්කයේ ඉඩම් අහිමි ජනතාවට ඔප්පු බෙදාදීමේ උත්සවයක් බවට පත්කොට ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
ගාමිණීට කළ දේ සජිත්ටත්?
පසුගිය සතියේ මාධ්‍ය වාර්තා කොට තිබූ එක්තරා පුවතකින් කියැවුණේ සජබයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග කිරීමට සූදානමින් සිටින සජිත් ප්‍රේමදාස මහතාට අල්ලස් කොමිසම මගින් පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බවය. 2015-2019 සමයේ සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවට භාරදී ඇති වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදෙන ලෙස කතානායකවරයාගෙන් අල්ලස් කොමිසම ඉල්ලීමක් කොට ඇති බවද එම පුවතින් වැඩිදුරටත් කියැවිණි. මෙම පුවත දුටු බොහෝ දෙනකුට එක්වරටම සිහියට නැගෙන්නට වූ අනෙක් පුවත වූයේ මීට හරියටම අවුරුදු 30කට පෙර එනම් 1994දී සිදුවූ සිදුවීමකි. එම සිද්ධිය නම්, එවක එජාපයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග බිමට පිවිසි ජනප්‍රියම නායකයා වූ ගාමිණී දිසානායක මහතාට එරෙහිව එවක ආණ්ඩුව අල්ලස් කොමිසම හරහා දියත් කළ විමර්ශනයකි.
1994 පැවැති මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ චන්ද්‍රිකා පොදු පෙරමුණු ආණ්ඩුව පිහිටුවීමෙන් අනතුරුව ජනාධිපතිවරණයට සූදානම් වූයේ සිය ප්‍රතිවාදී අපේක්ෂකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා තරගයට පිවිසෙනු ඇතැයි සිතාය. මැතිවරණ ප්රචාරක යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම සකස් කොට තිබුණේ රනිල් ඉලක්ක කොටය. චන්ද්‍රිකාලා සිතා සිටියේ රනිල් පැමිණියහොත් ජනාධිපතිවරණය අත උඩින් චන්ද්‍රිකාට ජයගත හැකි වනු ඇතැයි කියාය. නමුත් චන්ද්‍රිකාලා අන්ද මන්ද කරමින් යළිත් එජාපය ඇතුළට පැමිණි ගාමිණී දිසානායක මහතා එජාප ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීමට සමත් විය. ඒ අනුව, ජනාධිපතිවරණය ජයගැනීම සඳහා ඒ අවස්ථාවේදී වැඩි ඉඩක් ගාමිණී සතුව පැවැතිණි.
එවැනි තත්ත්වයක් මතුවීමත් සමග ගාමිණී ඉලක්ක කොට ඉතා පහත් මට්ටමේ මෙහෙයුම් රැසක්ම චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන් ක්‍රියාත්මක විය. සම්පූර්ණයෙන්ම අසත්‍ය මඩ ප්‍රචාර රැසක්ම ගාමිණී ඉලක්ක කරගෙන නිර්මාණය විය. අවසානයේදී ගාමිණීට එරෙහිව අසත්‍ය පැමිණිල්ලක්ද අල්ලස් කොමිසම හමුවේ ගොනුවිය. එවක අල්ලස් කොමිසමට තමන්ට හිතවත් කිහිප දෙනකු පත්කර තිබීම නිසා මේ හරහා ගාමිණීට එරෙහිව විශාල මඩක් එල්ල කිරීමට චන්ද්‍රිකාගේ ආණ්ඩුව සැලසුම් කොට තිබිණි. පැමිණිල්ල ලෙස ඉදිරිපත් කර තිබුණේ ආණ්ඩුවෙන් ගාමිණීට ලබාදී තිබූ වාහනයක් විකුණා ඇති බවට වූ චෝදනාවය. කෙසේ වෙතත් මෙම පැමිණිල්ල දඩමීමා කරගෙන ගාමීණීට විශාල ප්‍රහාරයක් එල්ල කළ අතරවාරයේ කොටි බෝම්බයෙන් ගාමිණී ජීවිතක්ෂයට පත්විය. පසුකාලීනව අල්ලස් කොමිසම මගින් සිදුකරනු ලැබූ විමර්ශනයේදී අදාළ චෝදනාවෙන් ගාමිණී නිදොස් කොට නිදහස් කිරීමට අල්ලස් කොමිසම කටයුතු කොට තිබිණි.
1994දී එජාප ජනාධිපති අපේක්ෂක ගාමිණී ඉලක්ක කොට දියත් කෙරුණු මඩ ප්‍රචාරය මෙසේ හදිසියේම මතක් වූයේ ඊට අවුරුදු 30කට පසු, එනම් 2024දී සජබ අපේක්ෂක සජිත් ඉලක්ක කොට අල්ලස් කොමිසමට ඉදිරිපත්ව ඇති පැමිණිල්ලක් මුල් කරගෙනය.
මීට අමතරව පසුගිය සතියේදී සජබය මුල්කරගෙනඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලක්ද විනිසුරු මංජුල රත්නායක මහතා ඉදිරියේ විභාගයට ගැනිණි. ඒ, බි්රතාන්ය පුරවැසියකු බව තහවුරු වූ ඩයනා ගමගේ මහත්මිය ජාතික ලැයිස්තුවෙන් පත්කිරීම හරහා සජබ මහලේකම්වරයා වරදක් සිදුකර ඇති බවට වූ පැමිණිල්ලකි. මෙය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර තිබුණේ වයි.ජී. සමන් නිශාන්ත නමැත්තෙකි.
මේ අතරවාරයේ ආණ්ඩුවේ ප්‍රබලම අයකුගෙන් පසුගිය සතියේ සජිත්ට දුරකතන ඇමතුමක් ලැබිණි. මෙම ඇමතුමේදී ආණ්ඩුවේ ප්‍රබල තනතුරක් දරන මෙම තැනැත්තා අතිශය රහසිගත කරුණු කිහිපයක්ම සජිත්ට දැනුම් දීමට පියවර ගත්තේය.
‘මෙන්න මේවා මෙන්න මේවා ආණ්ඩුව පැත්තෙන් ඔයාට විරුද්ධව ලෑස්ති කරගෙන යනවා. ඒ හින්දා මේවා ගැන හොඳ අවධානයෙන් ඉන්න. ඒවට මුහුණ දෙන්න ලෑස්ති වෙන්න. ඒ වගේම මේ පැත්තෙන් ඔයාව ටාගට් කරලා පල්ලෙහාටම බැහැලා පහත් විදියට ගහන්න ඔක්කොම ලෑස්ති කරගෙනයි යන්නේ. ඒවටත් ලෑස්ති වෙන්න…’ යනුවෙන් මෙම ප්‍රබලයා සජිත්ට දැනුම් දුන්නා පමණක් නොව, පවතින දේශපාලන වටපිටාව පිළිබඳ දීර්ඝ වශයෙන් සජිත් සමග සාකච්ඡා කිරීමටද හෙතෙම කටයුතු කොට තිබිණි.
පොහොට්ටුවෙන් තීන්දුවක්
ආණ්ඩුව පසුගිය සතියේදී ආන්දෝලනාත්මක විදුලි පනත සම්මත කරගැනීමට පියවර ගත්තේ අධිකරණය මගින් ලබා දුන් සංශෝධනද සහිතවය. මීට අමතරව ආර්ථික පරිවර්තන පනත යනුවෙන් තවත් ආන්දෝලනාත්මක පනතක් ඉදිරියේදී සම්මත කරගැනීමට සූදානම් වන බවට දැනටමත් ආණ්ඩුව පැත්තෙන් ප්‍රකාශ වී අවසානය. කෙසේ වෙතත් පසුගිය සතිය වනවිට පොහොට්ටුව ඇතුළේ පැවැති සාකච්ඡා වට ගණනාවකදීම කියවී තිබුණේ විදුලි පනතට කෙසේ වෙතත් මෙම ආර්ථික පරිවර්තන පනතට අත එසවුවහොත් පොහොට්ටුවේ දේශපාලනය එතැනින් අවසන් වීම නොවැළැක්විය හැකි යැයි කියාය. ඒ තරමටම ආර්ථික පරිවර්තන පනත භයානක බව එහිදී සාකච්ඡාවට ලක්ව තිබිණි. ඒ අනුව, ආර්ථික පරිවර්තන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුවහොත් පොහොට්ටුව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී පිරිස අතර සාකච්ඡාවට බඳුන් විය. එම සාකච්ඡාවේදී යෝජනා ගණනාවක්ම ඉදිරිපත් වූ ආකාරයක් දැකගත හැකි විය.
එහිදී ඉදිරිපත් වූ ප්‍රධානතම යෝජනාවක් වූයේ මෙම පනතට පොහොට්ටුව පක්ෂයක් ලෙස විරුද්ධ විය යුතු බවය. එසේ විරෝධය ප්‍රකාශ කොට පළමු වටයේදී සැලකිය යුතු පොහොට්ටු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් විපක්ෂයට ගොස් අසුන්ගත යුතු බවටද එහිදී තවත් යෝජනාවක් ඉදිරිපත් වූ ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව, අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ විපක්ෂයේ මෙම අසුන්ගැනීම පියවර දෙකකින් සිදුකිරීමට පොහොට්ටුව අවසානයේදී තීන්දු කොට ඇති බවය. එහි පළමු පියවර වී ඇත්තේ ආර්ථික පරිවර්තන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන අවස්ථාවේදී පොහොට්ටුවෙන් කොටසක් ගොස් විපක්ෂයේ අසුන් ගැනීමය. දෙවැනි පියවර වී ඇත්තේ පොහොට්ටුවේ ජානධිපති අපේක්ෂකයා නම්කරන මොහොතේ අනෙක් කොටස විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කිරීමය. එය ජනාධිපතිවරණයට හරියටම දින 45ක් තබා සිදුකිරීමටද පොහොට්ටුව තීන්දු කොට ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
අනුරගේ බස් එක
මේ දිනවල දේශපාලන ක්ෂේත්රයේ ප්‍රධානම මාතෘකාවක් බවට පත්ව ඇත්තේ වෙන කිසිවක් නොව බස් කතාය. ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සක්වළ වැඩසටහන යටතේ පාසල්වලට බස් රථ ලබාදීමේ වැඩපිළිවෙළ ජවිපෙ විසින් දැඩිව විවේචනයට ලක්කිරීම නිසාය. ජවිපෙ එය හඳුන්වන්නේ බස් බෙදිල්ලක් යැයි කියාය. එය ඕනෑම කෙනකුට කළ හැකි එකක් බව ජවිපෙ මතයය.
මීට අමතරව ජවිපෙ මීට කලකට ඉහතදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද බස් මාතෘකාවක් මුල්කරගෙන බරපතළ ලෙස පහර ගැසීය. ඒ, මැතිවරණ සමයේදී මහින්දගේ රුව බස්වල දැවැන්ත ස්ටිකර් ලෙස අලවා ප්රචාරක කටයුතු සිදුකිරීම නිසාය. මෙසේ බස් රථ මහින්දගේ ස්ටිකර්වලින් පුරවා ප්රචාරක කටයුතු සිදුකිරීම එවකදී දැඩිව විවේචනය කිරීමට ජවිපෙ පියවර ගෙන තිබිණි.
කෙසේ වෙතත් මේ වන විට ජවිපෙටද බස් ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුව ඇත. ඒ, ලබන 16 වැනිදා සිදුකිරීමට නියමිත ජවිපෙ නායක අනුරගේ ලන්ඩන් සංචාරය මුල්කරගෙනය. මෙහිදී ජවිපෙට සහාය දක්වන විදෙස්ගත සිංහල ඩයස්පෝරාව කෝටි ගණනක් වියදම් කර අනුරගේ රුව සහිත ස්ටිකර්වලින් ලන්ඩනයේ බස් රථ සැරසීමට පියවර ගෙන තිබිණි. මේ හරහා ලන්ඩන් රැස්වීමට විශාල ප්‍රචාරයක් ලබාදීමට ජවිපෙ ක්‍රියාකාරීන් සැලසුම් කර තිබුණද, කිසිවකුත් නොසිතූ පරිදි එය ජවිපෙට භූමරංගයක් ලෙස ආපසු කැරකී ගියේ ඊට සමාජ මාධ්‍යවලින් දැඩි විරෝධයක් එල්ල වීමත් සමගය. එදා මහින්දගේ රුව සහිත බස් රථවලට බැණවැදුණු ජවිපෙ මෙදා අනුරගේම රුව යොදා ලන්ඩනයේ බස් රථ සැරසීමට පියවර ගෙන ඇති බවත්, ඒ අකාරයට කෝටි ගණන් වියදම් කර බස් රථ සරසනවාට වඩා ලංකාවේ අසරණ දරුවන්ට පරිගණකයක් ලබාදීම වැදගත් බවත් එසේ එල්ලවූ සමාජ මාධ්‍ය මාධ්‍ය ප්‍රහාරවලින් වැඩිදුරටත් කියැවිණි.
මේ තත්ත්වයත් සමග තමන්ගේ වැඩේ වැරැදී ගිය වටහාගත් ජවිපෙ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් එම ලන්ඩනයේ බස් රථය සත්‍ය එකක් නොව, ඒ.අයි. තාක්ෂණයෙන් නිර්මාණය කළ එකක් බවට බොරු ප්‍රචාරයක් ගෙන ගියේය. නමුත් ඊටද සමාජ මාධ්‍ය ජාලවලින් දැඩි ප්‍රහාරයක් එල්ල වූයේ එය ඒ.අයි. තාක්ෂණයෙන් නිර්මාණය කළ එකක් නොව, සත්‍ය එකක් බවට තහවුරු වී තිබීම නිසාය.
මීට අමතරව පසුගිය සතියේ ජවිපෙට තවත් අකරතැබ්බයන් කිහිපයකටම මුහුණ දීමට සිදුවූ ආකාරයක් දැකගත හැකි විය. ඉන් පළමු එක වූයේ 20/20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති පළමු තරගයට මාලිමාවට හිතැති පිරිස් අනුර කුමාරගේ රුව රැගත් පෝස්ටර් ක්‍රීඩා පිටියේ සිට ලෝකයටම පෙනෙන්නට උස්සාගෙන සිටීමය. සාමාන්‍යයෙන් ක්‍රීඩාවට දේශපාලනය රැගෙන ඒම සිදු නොවුණත් තරගය පරාජයට පත්වීමත් සමග සමාජ මාධ්‍ය ජාලවල ඊට එරෙහිව විශාල හඬක් නැගෙන ආකාරය දැකගත හැකි විය. එමෙන්ම කවදාවත් නැතිව අනුර කුමාර ෆේස්බුක් සටහනක් තබමින් ලංකාව සහභාගී වූ පළමු තරගයට සුබපැතීමටද කටයුතු කොට තිබිණි. තරගය පරාජයට පත්වීමත් සමග සමාජ මාධ්‍ය ජාලවල පළවූ පෝස්ටුවලින් අනුරගේ සුබපැතීමද දැඩිව විවේචනය කිරීමට කටයුතු කොට තිබූ ආකාරයක් දැකගත හැකිවූයේ ‘ඉඳලා ඉඳලා විෂ් කරපු තරගයත් පරාදයි.. ආයෙ නම් විෂ් කරන්න එපා…’ යැයි කියමිනි.
මීට අමතරව ලෝක ප්‍රකට ව්‍යාපාරිකයකු වූ ටෙස්ලා අධිපති ඉලෝන් මස්ක් සම්බන්ධයෙන් ජවිපෙ ආර්ථික කමිටුවේ ප්‍රධානී සුනිල් හඳුන්නෙත්ති මහතා කළ ප්‍රකාශයක්ද පසුගිය සතියේ මහත් ආන්දෝලනයට ලක්විය. හඳුන්නෙත්ති එහිදී කියා සිටියේ ඉලෝන් මස්ක් නමැති හාදයා ආර්ථික ඝාතකයකු යැයි කියාය. ඊටද බරපතළ ප්‍රහාරයක් එල්ලවීමත් සමග එම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටීමට සුනිල් හඳුන්නෙත්ති කටයුතු කොට තිබිණි.
රනිල්ගෙන් පාටියක්
මේ දිනවල තැන් තැන්වල විවිධ දේශපාලන සන්ධාන ගොඩනැගීම මෙන්ම විවිධ හමුවීම් සහ සුපිරි සාදයන්ද පැවැත්වෙන ආකාරයක් දැකගන්නට පුළුවන. පසුගිය සතියේ මෙම තීරය ඔස්සේ අප වාර්තා කළ පුවතකින් පෙන්වා දුන්නේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පොහොට්ටුවේ සියලු මැති ඇමැතිවරුන්ට ජනාධිපතිවරයා වෙනුවෙන් වෝටර්ස් එජ්හිදී සුපිරි සාදයක් පවත්වා ඇති බවය. මේ සතියේදී කියන්නට යන්නේ වෝටර්ස් එජ් හෝටලයේ පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ පැවැති තවත් එවැනිම ආකාරයේ සුපිරිම සාදයක් පිළිබඳවය. මෙවර සාදය සංවිධාන කර තිබුණේද ප්‍රසන්න රණතුංගමය. නමුත් හදිසියේ විදෙස්ගත වීම නිසා ප්‍රසන්න එහි අවසන් සංවිධාන කටයුතු ඇමැති මණ්ඩලයේ සිටින තවත් පොහොට්ටු ප්‍රබලයකු වූ කංචන විජේසේකරට පැවරීමට කටයුතු කර තිබිණි. ජනාධිපතිවරයාට සහාය පළකිරීම වෙනුවෙන් මෙම සාදයට අරාධනා කර තිබුණේ පොහොට්ටුවේ සියලු පසුපෙළ මන්ත්‍රීවරුන්ටය. පසුගිය සතිය පාර්ලිමේන්තු සතියක් වූ බැවින් පොහොට්ටුවේ සියලු පසුපෙළ මන්ත්‍රීවරුන් මෙම සාදය සඳහා එක්ව සිටි ආකාරයක් දැකගත හැකි විය. ඉහළම සංගීතය සමග සුපිරිම ඝනයේ සිංගල් මෝල්ට් විස්කි ඇතුළු මත්පැන්ද, රස මසවුළුද මෙහි නොඅඩුව තිබෙනු දැකගත හැකි විය.
ජනාධිපතිවරයා මෙම සාදයට සහභාගි වූයේ තරමක් ප්‍රමාදවය. ඊට හේතු වූයේ මහින්දානන්ද අලුත්ගමගේ සමග ගැටුමකින් අනතුරුව වැටී කකුල කඩාගත් බව කියන පොහොට්ටු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂගේ සුවදුක් බැලීමට ජනාධිපතිවරයා යුද හමුදා රෝහලට ගොස් තිබීම නිසාය. ඉන් අනතුරුව ජනාධිපතිවරයා කෙළින්ම පැමිණියේ වෝටර්ස් එජ් හෝටලයේ පැවැති මෙම සාදයටය. මෙසේ ජනාධිපතිවරයා සාදයට පැමිණෙද්දී මන්ත්‍රීවරුන් සිංගල් මෝල්ට් විස්කි බී බඹර පදමේ සිටින ආකාරයක් දැකගත හැකි විය. පොහොට්ටු මන්ත්‍රීවරුන් දිගින් දිගටම පෙරැත්ත කිරීම නිසා ජනාධිපතිවරයාද අවසානයේ සිංගල් මෝල්ට් විස්කි විදුරුවක රස බැලීමට කටයුතු කළ ආකාරයක් දැකගත හැකි විය.
ඒ අකාරයට සියලු මන්ත්‍රීවරුන් සුහදව පිළිගත් ජනාධිපතිවරයා වෝටර්ස් එජ් හෝටලයේ ඇතුළත පිහිටි කාමරයක මන්ත්‍රීවරුන් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටද පියවර ගත්තේය.
ඩලස් සජිත්ගේ සාකච්ඡාවේ
මේ ආකාරයට ආණ්ඩුව විවිධ සාකච්ඡා සාද පවත්වද්දී පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේ තවත් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. එය පැවැත්වුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි. ඊට සමගි ජන සන්ධානයේ පක්ෂ නායකයන් සියලු දෙනාටම ආරාධනා කිරීමට සජිත් පියවර ගෙන තිබිණි. කොළඹින් පිට සිටීම හේතුවෙන් හකීම් සහ දිගම්බරම් ඊට සහභාගි වීමට නොහැකි බව කල් තියාම සජිත්ට දැනුම්දී තිබිණි. ඒ අනුව සාකච්ඡාවට මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුදින්, ජී.එල්. පීරිස් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
මෙහිදී මෙතෙක් සමගි ජන සන්ධානයේ සාකච්ඡාවලට සහභාගි නොවූ විශේෂ අමුත්තෙක්ද ප්‍රධාන මේසයේ අසුන්ගෙන සිටි ආකාරයක් දැකගත හැකි විය. ඒ අමුත්තා වෙන කවුරුවත් නොව නිදහස ජනතා සභාවේ ප්‍රධානියකු වන ඩලස් අලහප්පෙරුම මහතාය. ඉතා සුහදව පැවැති මෙම සාකච්ඡාවේදී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් ඩලස්ද විශේෂ කරුණු ගණනාවක්ම ඉදිරිපත් කළ ආකාරයක් දැකගත හැකි විය.