වර්තමානයේ දේශපාලනික නායකයන්ගේ ප්‍රකාශ පිළිබඳ ජනතා විශ්වාසය, බොහෝ දුරට පලුදු වී ඇත. එනමුත් අතීතයේ මෙරට දේශපාලන නායකයන් ප්‍රකාශිත අදහස් පිළිබඳ ජනතාව වැඩි විශ්වාසයක් තැබූ අතර, දේශපාලන නායකයෝ විසින්ද ජනතාව වෙත ලබාදෙන පොරොන්දු හැකිතාක් දුරට ඉටුකිරීමට උත්සාහ ගත්හ.Sri Lanka Latest News
සිය ජනතා මෙහෙවර පිළිබඳ විශ්වසනීය ප්‍රකාශ
ප්‍රේමදාස මහතා, එවන්වූ සිය ප්‍රකාශ සනාථ කිරීම තුළින් ජනතා විශ්වාසය දිනාගැනීමට හා රැකගැනීමට නිරතුරුව උත්සාහ ගත් දේශපාලකයෙකි. ඔහු සිදුකළ ප්‍රකාශ සහ පොරොන්දු ජනතාව ඉදිරියේ සනාථ කිරීම ඔහුගේ අපේක්ෂාව විය. මෙවන් ආකාරයට, විවිධ ජනහමු සහ දෙස් විදෙස් සමන්ත්‍රණ ඇසුරේ සිදුකළ ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශ හා අදහස් දැක්වීම් පිළිබඳ ජනතාව තුළ පැවැතියේ දැඩි විශ්වාසයකි. එවන් ජනතා විශ්වාසය නිසාම ප්‍රේමදාස මහතා කවර හෝ අවස්ථාවක අදහස් දැක්වීමේදී එය අනාගතයේ සනාථභාවයට පත්වීම පිළිබඳ සැලකිලක් දැක්වීය. ප්‍රේමදාස මහතා විසින්, සිය මහජන මෙහෙවර තුළදී ප්‍රකාශිත එවන් අදහස් රැසකි.
අද අප සිදුකළ යුත්තේ පැරණි පිළිතුරු ප්‍රශ්න කිරීමයි
1989 වසරේ ඔක්තෝබර් මාසයේ එක්තරා දිනකදී, මෙරට දුගී දුප්පත්කම දුරුකරලීමේ ජනසවිය වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් පැවැති සමුළුව අමතමින් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළ අදහස මෙලෙස සඳහන් කළ හැකිය.
‘මේ ලෝකය නිරතුව වෙනස් වෙනවා. එමෙන්ම මිනිසාත් වෙනස් වෙනෙවා. නමුත් මේ වෙනස්වන ලෝකයේ අපි වෙනස් වෙන්න කැමැති නැහැ. අපි ලෝක යථාර්ථය තේරුම් ගෙන වෙනස් විය යුතුය ඒ අනුව අද අප කළ යුත්තේ, පැරණි ප්‍රශ්න සඳහා පිළිතුරු සෙවීම නොවේ. අද අප වෙතින් සිදුවිය යුත්තේ පැරණි පිළිතුරු ප්‍රශ්න කිරීමයි….’
එදා ප්‍රේමදාස මහතා විසින් ප්‍රකාශිත මෙම අදහස ඔහු එම ප්‍රකාශය සිදුකිරීමට පෙර මෙන්ම ඉන් පසුවද වත්මන දක්වාම සත්‍යයක් බව පෙනී යයි. ඒ අනුව මෙරට කවර හෝ ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් පාලකයන් විසින් විවිධාකාරී ලෙසින් තිරසාර ලෙසින් විසඳුම් ලබා දුන්නද, මෙකී බොහෝ වැඩපිළිවෙළ වැඩි කල් යෑමකට ප්‍රථම කල් ඉකුත් වූ විසඳුම් බවට පත්වී ඇත.
එදා ප්‍රේමදාස මහතා මෙම අදහස ප්‍රකාශිත දුපත්කම දුරුකරලීමේ ජනසවිය වැඩසටහන
දරිද්‍රතාව දුරුකරලීමේ සැබෑ වැඩසටහනක් ලෙසින්, සෙසු පාලකයන් ක්‍රියාත්මක නොවීම හේතුවෙන්, එයම නැවත පිළිතුරු සෙවිය යුතු ප්‍රශ්නයක් බවට පත්වී ඇත.
සංවර්ධිත ලෝකයේ රටවලට කළ අභියෝගය
1980 වසරේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ලෙසින් ප්‍රේමදාස මහතා ජාත්‍යන්තර නිවාස වසර යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේදී සිය සමුළු ඇමතුමේදී මෙවන්වූ අදහසක් ප්‍රකාශ කරයි.
‘සංවර්ධනය වන රටවලින් අප ඉල්ලා සිටිනුයේ ලෝක මට්ටමේ පුණ්‍යාධාර නොවේ. පුණ්‍යාධාර තුළින් දුපත්කම තුනීකළ හැකියැයි අපි විශ්වාස නොකරමු. දුපත්කම දුරුකරලිය හැක්කේ සූරාකෑම නැතිකිරීමෙන් පමණි.’
මෙයට වසර හතළිස්පහකට ප්‍රථම ප්‍රේමදාස මහතා විසින් ප්‍රකාශිත මෙම අදහස සැබෑවක් බව ජාත්‍යන්තර ලෝකයේ අතීත මෙන්ම වත්මන් ක්‍රියාකාරීත්වය දෙස බැලීමේදී තහවුරු වේ.
ඇති හැකි රටවලට, නැතිබැරි රටවලට උදවු නොකිරීමේ පූර්ව දැක්ම
ප්‍රේමදාස මහතා ජාත්‍යන්තර සමූළු සඳහා පෙර සූදානම්ව කතාවන් පැවැත්වුවද, මෙරට ජනතාව හා නිලධාරීන් ඇමතීමේදී තම සිතැඟි පරිදි ඇමතුම් කළේය. 1987 කතරගම ගම්උදාව ප්‍රදර්ශනයේ සමාරම්භක දිනයේදී සිය කතාවේදී ඔහු මෙවන් අදහසක් ප්‍රකාශ කරයි.
‘පොහොසත් යැයි සම්මත ලෝකයේ රටවල්, අද අප වැනි සංවර්ධන අපේෂාවෙන් සිටින රටවල් සඳහා සහාය ලබාදෙනවා. නමුත් එවන්වූ රටවලට අපට සහායක් හෝ සහයෝගිතාවක් ලබාදීමේ ප්‍රශ්නාර්ථයක් කිසියම් වූ දිනකදී ඇතිවිය හැකියි. එය කිසියම් දිනකදී ලොව පැතුරුණු වසංගතයක් ලෙසින් පැමිණිය හැකියි. එවන් අවස්ථාවක් සඳහා අප පූර්ව සූදානමක් ලෙසින්, සෑම ජීවන ක්ෂේත්‍රයක් තුළින්ම සවයං සංවර්ධනයක් සඳහාවූ අදිටනින් නිරතුරු කටයුතු කළ යුතුය.’
එදා ප්‍රේමදාස මහතාගේ එම ප්‍රකාශය සනාථ කරමින් ඉන් වසර ගණනාවක් ඉක්ම යෑමේදී කොවිඩ් උවදුර මුළු ලොවටම බලපා, සැබෑ ලෙසින් ඇති හැකි රටවලට නැතිබැරි රටවලට සහාය වීම ගැටලුවක් විය.
මුල්වරට සර්ව ආගමික චින්තනයක්
එමෙන්ම කතරගම ගම්උදාව ප්‍රදර්ශන භූමිය ඇසුරේ ඔහුගේ අදහසක් පෙරදැරිව, සියලු ආගම් එකම ගොඩනැගිල්ලක් තුළින් සංකේතවත් වන සර්ව ආගමික මධ්‍යස්ථානයක් නිර්මාණය විය. 1987 ජුනි මස 23 දින පෙරවරුවේ එය විවෘත කරමින් එහි රැස්ව සිටි පිරිස ඇමතු ප්‍රේමදාස මහතා,
‘ආගම යන්න සර්වකාලීන අදහසක්. සෑම ආගමක් තුළින් කියවෙන්නේ හැමට ළෙන්ගතුවූ සෙනෙහසකි. එහි වෛරය හෝ භේදයක් පිළිබිඹු නොවේ. එවන්වූ තත්ත්වයක් තුළ කවර ආගමිකයකුට හෝ වෙනත් කවර හෝ ආගමිකයකු හා ගැටුමක් වෛරයක් ඇතිකරගත නොහැකිය. අප කවර ආගමිකයකු වුවද, අන් ආගමිකයන් සඳහා ගරුත්ව දිවියක් ගතකරයි නම්, ඔහු සර්ව ආගමික මිනිසකු ලෙසින් සමාජ බුහුමන් ලබයි’.
බෞද්ධ ආගමික ප්‍රතිපත්ති ගරුකරන රාජ්‍ය නායකයකු ලෙසින් ප්‍රකට ප්‍රේමදාස මහතා මෙවන්වූ සර්ව ආගමික සංකල්පයක් සමගින් එය සැබෑ ලෙසින්ම ස්ථාපිත වූ සර්ව ආගමික මධ්‍යස්ථානයක් ගම්උදාව ප්‍රදර්ශන භූමිය තුළ ස්ථාපිත කිරීම තුළින්, එම සංකල්පය සඳහා පෙනීසිටීම හා එය සැබෑකර ගැනීම සඳහා දැක්වූ උනන්දුව පෙනීයයි.
ගමේ සංවර්ධනය ගම්වැසියන්ගේ එකඟත්වය මත
මෙරට බොහෝ පාලයන්ට වඩා, සංවර්ධනය හා එහි ඵලදායීතාව පිළිබඳ ප්‍රේමදාස මහතා වෙනස්වූ අදහසක් දැරූ අතර, සිය මතය සාධාරණය කිරීම සඳහා නිරතුරුව පෙනී සිටියේය. ඒ සඳහා ඔහු නිරතුරුව නිදසුන් කොට ගත්තේ තමන් වඩාත් ඇලුම් කළ ජනතාව අතර වඩාත් ආකර්ෂණීය වූ ගම්උදාව ව්‍යාපාරයයි.
1991 වසරේ, කඹුරුපිටිය ගම්උදාව ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවේදී ප්‍රේමදාස මහතා විසින් ප්‍රකාශිත මෙම අදහසින් එය වඩාත් තහවුරු වේ.
‘අපේ නූතන ඉතිහාසයේ මුල්වරට ගම්උදාව ව්‍යාපාරය විසින් තීරණ ගැනීමේ අයිතිය ගම්වලට ලබාදී තිබෙනවා. ගමේ, ගම්වැසියන්ගෙන් තෝරාගන්නා ග්‍රාමෝදය මණ්ඩලයේ සාමාජිකයන් තමයි, මෙම තීරකයන් ලෙසින් කටයුතු කරන්නෙ. ඒ අනුව සිය ගම පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය සමගින් වරප්‍රසාදය ගම්වැසි ජනතාව වෙත ලබාදී ඇත. කාර්යාල තුළදී නිලධාරීන් විසින් ගම පිළිබඳ තීරණ ගැනීම වැරදි සංවර්ධන උපාය මාර්ගයකි. එවන්වූ වැඩපිළිවෙළක් කිසිදා සාර්ථක නොවුණු ඇත. මෙය සංවර්ධනය පිළිබඳ කාර්යයේ නියුතු දේශීය නිලධාරීන් මෙන්ම, ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා සහාය දක්වන විදෙස් ආධාර ආයතන උපදේශකයන්ද, අවබෝධ කරගත යුතුය.’
මෙම අදහස් දැක්වීම තුළ ප්‍රේමදාස මහතා තම ග්‍රාම සංවර්ධන ප්‍රතිපත්තිය හා ක්‍රියාකාරීත්වය පිළිබඳ ඉතා පැහැදිලි අදහස් දැක්වීමක් සිදුකර ඇත.
ඉන් ප්‍රකාශ වූයේ ගමේ සංවර්ධනය ගමේ අවශ්‍යතාවට අනුව සිදුවිය යුතු බවත්, ඒ සඳහා කාර්යාල තුළදී රාජ්‍ය නිලධාරීන් හා දෙස් විදෙස් ව්‍යාපෘති උපදේශකයන්ගේ අදහස් එයට අනුකූල විය යුතුය යන්නයි.
බහුතර සමාජ සංවර්ධනයට දායක වූ පිරමීඩ සංකල්පය
ප්‍රේමදාස මහතා විසින් ක්‍රියාත්මක කළ ග්‍රාමීය සංවර්ධන ක්‍රියාපිළිවෙත මෙරට බහුතර ගම්වැසි ජනතාවගේ එකඟතාව මත ක්‍රියාත්මක වියයුතු බවත්, එවිට එහි සාර්ථකත්වය රටේ සමස්ත සංවර්ධනය සඳහා ශක්තිමත් පදනමක් වන බවත් ඔහුගේ අදහස විය.
ඉහතින් සඳහන් වූ 1987 කතරගම ගම්උදාව ප්‍රදර්ශන සමාරම්භයේදී ප්‍රේමදාස මහතා මෙම අදහස සනාථ වන මෙවන් ප්‍රකාශයක් සිදුකර ඇත.
‘ජාතිය පිරමීඩයක් වගෙයි. පිරමීඩය තේජාන්විත විලාසයෙන් පිහිටා තිබෙන්නේ ස්ථිර පදනමක් මතය. ප්‍රමුඛ වූ සමාජ තීරක සීමිත පිරිස් කවර වූ තීරණ උඩ සිටගනු ලැබුවද, එහි පදනමේ සිටින බහුතර සැබෑ ප්‍රතිලාභීන් ඒ සඳහා දක්වන ප්‍රතික්‍රියාව මත එහි සැබෑ ක්‍රියාකාරීත්වයේ සාර්ථකත්වය රඳා පවතී. අප රටේ බහුතර ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක සංවර්ධන කාර්යන්හිදී අප විසින් අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත එයයි…..’
ජනතා අත්දැකීම් තුළින් උගත් පාඩම් භාවිතය
සංවර්ධනය පිළිබඳ ජනතාව තුළින් ක්‍රියාත්මක වශයෙන් ලැබූ අත්දැකීම දැඩිව විශ්වාස කළ ප්‍රේමදාස මහතා, ජනතා අත්දැකීම් පදනම් වූ සංවර්ධන කාර්යයන් නිරතුරුව අධ්‍යයනය කොට එය ජාතික සංවර්ධන වැඩසටහන් සඳහා දායක කරගනු ලැබීය. එපමණක් නොව එකී සංවර්ධන අත්දැකීම තමන් ජනතාව වෙතින් උගත් බව ප්‍රසිද්ධ ප්‍රකාශ තුළින් පැවැසීමට තරම් ඔහු නිහතමානී විය.
1987 වසරේ සැප්තැම්බර් මස ජනතා අයිතියට පත්කළ යාපහුව ප්‍රදේශයේ ඉදිවූ උදාගම් ව්‍යාපාරයේ 500 වැනි ආදර්ශ ගම්මානය විවෘත කළ අවස්ථාවේ පැවැත්වූ කතාවේදී එම අදහස මෙලෙසින් ප්‍රකාශ විය.
‘අප නිවාස සංවර්ධනයේදී තෝරාගෙන තිබෙන්නේ කෙළින්ම ජනතාවගෙන් ඉගෙන ගන්නා ක්‍රමයයි. ඒ අනුව හොඳම ආයෝජනය ජනතාව වෙනුවෙන් සිදුකරන ආයෝජනයයි. එය දුගී දුප්පතුන් සඳහා සිදුකරන විට එහි අගය වඩාත් වර්ධනය වේ. අප සැබෑ සංවර්ධනය පිළිබඳ ඉන් උගත් පාඩම් බොහෝය. එකී ජනතා පාඩම් හේතුවෙන් අප මෙතෙක් නිවැරදි යැයි සිතූ සමහරක් පිළිවෙත් තුළින් ඉවත් වීමට හෝ ඒවා වෙනස් කිරීමට සිදුවේ. ඒ අනුව අප සංවර්ධන කාර්යයේ සුවිශේෂ වෙනස්කම් සිදුවේ. එය ‘ජන සහභාගීත්ව සංවර්ධන ක්‍රියාවලිය’ ලෙසින් වෘත්තිකයන් විසින් හඳුන්වා දෙනු ලැබීය….’
ජාතික සංවර්ධනයේදී ද්විපාර්ශ්වීය වගකීම් හුවමාරුව
ඕනෑම සංවර්ධන කාර්යයකදී පෙරමුණ ගත යුත්තේ රජයය යන්න සාමාන්‍ය පිළිගත් සම්ප්‍රදායයි. එනමුත් 1984 වසරේ මෙරට ආරම්භ වූ ‘නිවාස දසලක්ෂය වැඩසටහනේ’දී, මෙම තත්ත්වය වෙනස්වූ අතර ලෝක සංවර්ධන ක්‍රියාවලියටද එය නව අත්දැකීමක් විය. මේ හේතුවෙන් එහි ක්‍රියාකාරි අත්දැකීම් සමගින් ලොව වෙනත් රටවල් ජනතාව මුල්වූ රජය දායකවූ නිවාස හා ජනාවාස සංවර්ධන වැඩසටහන පිළිබඳ උනන්දුවෙන් කරුණු විමසීය. ඒ හේතුවෙන් 1987 ජගත් නිවාස වසර සමරමින් එම වසරේ ඔක්තෝබර් මස 12 වැනි දින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ සැසිය ඇමතූ ප්‍රේමදාස මහතා,
‘ශ්‍රී ලංකාව තුළ නිවාස දසලක්ෂය වැඩසටහනේ ක්‍රියාකාරීත්වයත් සමගින්, එතෙක් රටක සංවර්ධනය පිළිබඳ වගකීම් දැරූ පාලකයන් සහ එකී වැඩසටහනේ ප්‍රතිලාභ ලැබූ ජනතාව අතර බල හුවමාරුවක් සිදුවී තිබෙනවා. රජය ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහනක ප්‍රතිලාභ ලබාගැනීම වෙනුවට මෙහිදී ජනතාව අදාළ සංවර්ධන වැඩසටහනේ මෙහෙයුම්කරුවන් බවට පත්වී තිබෙනවා. එය සංවර්ධනයේ සාර්ථක ප්‍රතිඵල ලැබූ වෙනස්වූ අත්දැකීමක්…’ යනුවෙන් පැවැසීය.
වරප්‍රසාදයක් නොවුණු ඉටුකළ යුතු යුතුකමක්
රටක සංවර්ධනයේ ප්‍රතිලාභ පාලකයන් විසින් අවශ්‍ය පරිදි ජනතාව වෙත ලබාදිය යුතු යැයි සිතූ යුගයක ප්‍රේමදාස මහතාගේ අදහස හා ක්‍රියාකාරීත්වය එයට වෙනස් මගක් ගත්තේය. එම වෙනස්වූ ක්‍රියාකාරකම පිළිබඳ ඔහු මෙරටදී මෙන්ම විදෙස් රටවලදීද නොබියව පැවැසීය.
1987 වසරේ අප්‍රේල් මස 06 දින ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැති එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසම ඇමතූ අවස්ථාවේදී ප්‍රේමදාස මහතා එම අදහස මෙලෙසින් ප්‍රකාශ කළේය.
‘සංවර්ධනය යනු ජනතා වරප්‍රසාදයක් නොවේ. එය මානව අයිතියකි. කවුරුන් හෝ සිතනවා නම්, එය ජනතාව වෙත ලබාදෙන සේවාවක් ලෙසින් එය නිවැරදි නොවේ. සැබෑ ජනතා සේවකයන් විසින් පොදු ජනතාවගේ අයිතිවාසිකම් ඉෂ්ට කිරීමක් ලෙස සංවර්ධන කාර්යයන් ඉටුකළ යුතුය…..’
විවේකයක් නොමැතිව විසඳුම් සෙවීම
සමාජ ව්‍යසනයක් වූ දුපත්කම නැතිකිරීම සඳහා හැකි ඉක්මනින් විසඳුම් සෙවිය යුතු බවට විශ්වාස කළ ප්‍රේමදාස මහතා ඒ බව නිරතුරුව ප්‍රකාශ කළේය.
1991 වසරේ සැප්තැම්බර් මස 25 දින පැවැති ජනසවිය වැඩසටහන පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ දී ප්‍රේමදාස මහතා මෙම අදහස මෙසේ අර්ථ දක්වා ඇත.
‘බොහෝ රටවල බරපතළම සමාජ ප්‍රශ්නය දිළිඳුකමයි. තුන්වැනි ලෝකයේ අප වැනි රටවලට එය වසංගත තත්ත්වයක් උදාකරයි. වසංගතයක් යනු හදිසි විසඳුම් සෙවිය යුතු අවශ්‍යතාවකි. එවන් වූ අවස්ථාවකදී කිසිවකුටත් විවේකගත නොහැක.’
රාජ්‍ය සේවයේ නිලධර අභියෝගය
ප්‍රේමදාස මහතා සමගින් කවර හෝ රාජකාරි ඉටුකළ නිලධාරියකුට ඔහු සිතැඟි පරිදි එකී කාර්යය ඉටුකිරීම මොන තරම් දුෂ්කර වූ අභියෝගයක් ද යනු හොඳින් දනී. වරෙක ඔහු විසින් සිය ආයතන ප්‍රගති සමාලෝචන රැස්වීමකදී එහි රැස්ව සිටි නිලධාරීන්ට මෙසේ පැවැසීය.
‘දුප්පත්කම සහ හිසට සෙවණක් නොමැතිකම නිසා මෙරට විශාල ජන කොටසක් දුක්විඳිති. නිලධාරීන් වශයෙන් තමුන්නාන්සේලාගේ රාජකාරි වගකීම හා සමාජ යුතුකම වන්නේ එකී ජනතාව ඉන් මුදාගැනීමයි. එවන්වූ සමාජ මෙහෙවරක් ඉටුකිරීමේදී අපගේ පෞද්ගලික න්‍යායපත්‍රයන් යටතේ කටයුතු කළ නොහැකි වේ. අප හැමදෙනා විසින් උපරීම උත්සාහ ගත යුත්තේ හැකි ඉක්මනින් එම ජනතාව එකී ආගාධයෙන් මුදාගැනීමයි…’
වරෙක අගමැති ධුරය දරමින් සහ ඉන් අනතුරුව මෙරට විධායක ජනාධිපතිවරයා ලෙසින්, ප්‍රේමදාස මහතා විසින් සිය ජනතා මෙහෙවර ඉටුකිරීමේදී නිරතුරුව ප්‍රකාශිත අදහස් බොහෝය.
ඒවා එකිනෙක නිරතුරුව සනාථ කරමින් කටයුතු කළ ප්‍රේමදාස මහතා තම ජන මෙහෙවර සම්බන්ධයෙන් එදා ප්‍රකාශිත බොහෝ අදහස්, එදාටත් වඩා අද සහ හෙට දිනට වඩාත් ගැළපෙන බව පෙනේ.

ලක්විජය සාගර පලන්සූරිය
.










