අද අපි කැලෑ කොළමෙන් කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ මෙරට වන අලි ඝාතන රැල්ල, ඊට වගකිවයුත්තෝ කවුරුන්ද යන්න සහ ඊට විසඳුම් ලබාදිය යුත්තේ කෙසේද යන්න පිළිබඳවයි. මෙරට පාරිසරික ඛේදවාචකය අද වනවිට හිණිපෙත්තටම පැමිණ තිබේ. එය වර්තමානයේ අප සමාජයේ එක් ඛේදනීය පැතිකඩක් පිළිබිඹු වේ. භාතිය ඇතාගේ ස්වභාවික නොවූ මරණය නිසා තැතිගත් මෙරට සංවේදී සමාජය උඩුයටිකුරු කරමින් අලි ඇතුන් ඝාතන රැල්ලක් ක්‍රියාත්මක වෙමින් පවතී. Sri Lanka Latest News
ඇත්තටම අලි ඇතුන් ඝාතන රැල්ලක් තිබේද? බැලූ බැල්මට එසේ යැයි අපට අනුමාන කරන්න පුළුවනි. මන්ද එක් මසක් තුළ අලි ඝාතන රැසක් සිදුවී තිබේ. ජූලි 21 වැනි සඳුදා දිනයේ පමණක් වන අලි ඝාතන දහයක් සිදුවී ඇතැයි වාර්තා වී තිබේ.

මේ දවස්වල අපට නිතර අහන්න ලැබෙන මාතෘකාවක් තමයි අලි මිනිස් – ගැටුම. එහෙම නැත්නම් අලි – මිනිස් සහජීවනය නැති වෙච්ච එක ගැන. ඒක ගැන කතාකරන්න ප්‍රබල සාධකයක් වූයේ තුවාල ලබා සිට අප අතරින් අකාලයේ සමුගත්ත භාතිය ඇතාගේ මාතෘකාව ආයෙ කරළියට ඒමත් සමගය. සමාජයේ කොච්චර අය මේ මාතෘකාව කතාබහ කළත් 80%ක් දෙනාට මේ ප්‍රශ්නය ගැන හරි අවබෝධයක් නොමැත. මේ ගැටලුව කොහොමද ඇතිවුණේ? කවුද මේකට වගකියන්න ඕනේ? මේකට විසඳුම් තියෙනවද? මේ ප්‍රශ්නෙට උත්තර තියෙනවද? නැද්ද? කියලාවත් ගොඩක් දෙනා දන්නේ නැත.
ඇත්තටම අපේ රටේ අවුරුදු තුන්දාහක විතර කාලයක් තිස්සේ මානව ශිෂ්ටාචාරයත් එක්ක, සංස්කෘතියත් එක්ක, ආගමත් එක්ක බද්ධ වෙලා අපිත් එක්ක එකටම මහපොළොව බෙදාගෙන ජීවත් වුණු අලි ඇතුන් දැන් කොහොමද අපිත් එක්ක ගැටුමක් ඇති කරගෙන තියෙන්නේ? ඒකට ප්‍රධානම හේතුව කියලා අපි විශ්වාස කරන්නේ අවිධිමත් සංවර්ධනය, භූමිය බෙදාගැනීමේ ප්‍රශ්න සහ කැලෑ එළිපෙහෙළි කිරීම, යාවත්කාලීන නොවුණු අවිධිමත් කෘෂිකර්මාන්තය හා පෙට්ටි ගෙවල් සංකල්ප ඇතුළු මෙවැනි බොහෝ දේ නිසාය.
ඇයි අලි ඇත්තු අපේ රටට මෙච්චර වැදගත්? අලි ඇත්තුන්ගෙන් අපේ රටට විදේශ ආදායමක් එන්නේ කොහොමද? මෙන්න මේ වගේ කාරණාවලට විසඳුම් සොයන්න තමයි අපි රජයක්, එහෙම නැත්නම් බලධාරීන් හා නිලධාරීන්, පොදු ජනතාවගේ බදු මුදල්වලින් නඩත්තු කරමින් පත්කරගෙන තියෙන්නේ. ඒගොල්ලන්ගේ අතින් තමන්ගේ රාජකාරිය නිසි ලෙස සිදු නොවීමත් මේ ඛේදවාචකයේ තව අඳුරු පැතිකඩක් කියලා සමාජ කතිකාවතක් අද වනවිට ගොඩනැගිලා තියෙනවා.
මේ සඳහා බලධාරීන් ගෙන ඇති පියවරවල් මොනවාද? කම්මලේ සිටින බල්ලා සේ වගේ වගක් නැතුව සිටිනා බව තමයි පෙනී යන්නේ. ඇමැතිවරයා තමන්ගේ විෂය පථය පිළිබඳ මෙලෝ සංසාරයක් නොදන්නවා සේම, කවුරුන් හෝ ලියා දෙන කොළයක් බලා විකාර දෙඩවීම අද වනවිට ප්‍රසිද්ධ කාරණයක් බවට පත්ව තිබේ. මෙරට ජනතාව බලාපොරොත්තු වුණේ එවැනි විගඩම් නොවේ. ප්‍රශ්නයට උත්තර සෙවීම නිලධාරීන්ගේ වගකීමය. කුමන්ත්‍රණයක් සිදුවේ නම් එය විධිමත්ව සොයාබැලීම සිදුකළ යුත්තේ රජය විනා පොදු ජනතාව වන අප නොවේ. පොදු ජනතාවට කළ හැක්කේ යෝජනා ඉදිරිපත් කොට ඒවා ක්‍රියාත්මක වන අයුරු බලා හැකි සහයෝගයක් දීම පමණි.
වාර්තා වන අන්දමට ජූලි මස 20 වැනිදා වනවිට මෙරට සමස්ත අලි ඇතුන්ගේ මරණ සංඛ්‍යාව 238කි. වසරක හරි අඩක් වනවිට තත්ත්වය මෙසේ නම් වසර අවසානය වනවිට එය කෙසේ විය හැකිද? නොඅනුමානයෙන්ම එය 500 ඉක්මවා යනු ඇත. රටේ ප්‍රධානියාම කලකදී පැවසූ පරිදි අලි 500කගේ කන්දක් කෙසේ වනු ඇතිද? ඒ ගැන සිතා බැලීමට නිසි කාලය පැමිණ ඇත. කටින් බතල හිටවනවා යැයි කියමනක් අප සමාජයේ තිබේ. අද එය ක්‍රියාත්මක වෙමින් තිබේ. වනජීවීයට ප්‍රශ්න ගොඩක් ඇත. ඒවා විසඳීම නිලධාරීන්ගේ වගකීමකි. මෙරට වැඩියෙන්ම මුදල් උපයන රාජ්‍ය දෙපාර්තමේන්තුව වන්නේ වනජීවී දෙපාර්තමේන්තුවයි. එහෙත් හදිසි ආපදා තත්ත්වයකදී පාවිච්චියට ගැනීමට ගිලන් රථයක් හෝ ඔවුන් සතුව නැත. මේ දවස්වල අලි වසන්ත කාලය පැමිණ ඇත. මින්නේරිය, කවුඩුල්ල, උඩවලව, යාල සංචාරකයන්ගෙන් පිරී ඇත. මුදල් ලැබෙන්නේ මිලියන ගණනින්ය. එහෙත් වනජීවී සංරක්ෂණයට ලැබී ඇත්තේ බින්දුවකි. යම්කිසි සිද්ධියක් සිදු වූ විට ඊට පිළියම් නොසොයා වෙන කාගේ හෝ පිටින් එම සිද්ධිය යැවීම අද වනවිට විලාසිතාවක් වී ඇත. වර්තමාන වනජීවී අමාත්‍යවරයා හා නිලධාරීන් සිදුකරමින් පවතින්නේ එයයි.
අලි සංහාරය වන රටක් යැයි හංවඩු ගැසුණහොත් මෙරටට සංචාරකයන් නොපැමිණෙනු ඇත. ආරක්ෂක අංශ, ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බළකාය, ග්‍රාමාරක්ෂක බළකාය, බුද්ධි අංශ සියල්ලම එකතු කරගෙන නිසි වැඩපිළිවෙළක් හා ක්‍රමවේදයක් යටතේ මෙකී ක්‍රියාවලිය කෙසේ හෝ නැවැත්වීමට කටයුතු කළ යුතුය. එය සිදුවිය යුත්තක් බව කැලෑ කොලමේ අපි දැඩිව විශ්වාස කරමු. එය නිද්‍රාශීලීව කළ නොහැකි බවත් ඇමැතිවරයා හා වනජීවී දෙපාර්තමේන්තුවේ ලොකු පුටුවලට මතක් කරදිය යුතුය. අප විසින් මෙසේ කරුණු කාරණා ගෙනහැර දක්වමින් ජනතාව දැනුවත් කරනු ලබන්නේ හුදෙක් වනජීවීන්ගේ, පරිසරයේ හා මේ රටේ උන්නතිය සඳහා බවද, ඉන් එහා ගිය කිසිදු පටු අරමුණක් හෝ පරමාර්ථ අපට නොමැති බවද අවධාරණය කරමු.

සමන් හල්ලොලුව










