සිත්පිත් නුහුලන මහා ඝාතන හා කඳුළු කතාවලින් පිරුණු ඉතිහාසයක් ඇති අපේ රාජ්‍ය වංශකතාවේ තවත් අඳුරු පැතිකඩක් කියාපාන මහා අමානුෂික ඝාතන වැලක කඳුළු සඟවාගත් තැනක් ලෙස ඇහැලේපොළ වලව්ව හැඳින්විය හැකිය. එම වලව්ව දැන් ඉටි රූප සහිත කෞතුකාගාරයකි. ශ්‍රී දළදා මාලිගාව යටතේ පාලනය කෙරෙන මෙම ගොඩනැගිලි නවීකරණය කිරීම සඳහා රු. මිලියන 300ක මුදලක් වැයකර ඇත. Sri Lanka Latest News
මෙම කෞතුකාගාරය නිර්මා÷ණය කිරීමේදී ඉතිහාසයේ අතිශයින් වැදගත් බොහෝ කරුණු පිළිබඳ මතු පරපුරට වැරදි අවබෝධයක් ඇතිවන ලෙස එම කටයුතු සිදුකර ඇති බවට පාර්ශ්ව රැසකින් මේ වනවිට චෝදනා එල්ල වෙමින් පවතී. ඉන් ප්‍රධාන වන්නේ ඇහැලේපොළ වලව්වේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ඉටි පිළිරුවක් තැනීමයි. අපේ අවසන් රාජධානිය වූ මහනුවර 1815දී ඉංග්‍රීසින්ට යටත් කරදෙමින් සිදුවූ ඝාතන, කුමන්ත්‍රණ, රාජ්‍ය බිඳදැමීම සඳහා හතුරන් විසින් ඇටවූ උගුල් කේලාම්, රාජ්‍ය බලය තුළ ලිංගිකත්වය ඇතුළු මෙකී නොකී බොහෝ දේ මෙන්ම ආක්‍රමණිකයන්ගෙන් රට බේරාගැනීම සඳහා නොබියව සටන් වැදුණු විරුවන් ඝාතනය වූ ඉතිරි පිරිස හිරකර තැබූ මේ ඇහැලේපොළ වලව්ව මෑතක් වන තුරුම මහනුවර ප්‍රසිද්ධ රිමාන්ඩ් බන්ධනාගාරයයි.
මේ තැන හරිහැටි අවබෝධ කරගන්නේ නම් එය ලොව හොඳම දේශපාලන විද්‍යාගාරය බව අපේ හැඟීමයි. විදේශ ආක්‍රමණ හමුවේ රටක් අස්ථාවර කිරීම සඳහා යොදාගන්නා උපක්‍රම, අමාත්‍ය මණ්ඩලය අතර බල ලෝභය නිසා හටගන්නා ගැටුම් මෙන්ම රජුට මෙන්ම ඇමැතිවරුන්ට සිය ‘බිසෝවරුන්ගෙන්’ එල්ල වන බලපෑම් පිළිබඳ හොඳ අධ්‍යයනයක් සිදුකිරීමටත් ඒ තුළින් සාර්ථක රාජ්‍ය පාලනයට යොමුවීමටත් හොඳම තැන මෙම වලව්ව බව අපි කියමු.
මෙහි ඉටි රූප තැනීමේදී ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රුව එහි තැනීමත් රට බේරාගැනීමට එදා ඉංග්‍රීසින් සමග සටන් කළ විරුවන් අමතක කර දැමීමත් සංඝරාජ හිමි ඇතුළු මහා නාහිමිවරුන් වලව්වේ ප්‍රතිනිර්මාණය කිරීමත් බොහෝ පාර්ශ්වවල විවේචනයට ලක්වී ඇති අතර විශේෂයෙන් ඇහැලේපොළ කුමාරිහාමි ජීවතුන් අතර සිටියදී ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ උදහසට ලක්වී තිබීමත් එම උදහස නිසාම අමුඅමුවේ ඇය ඇතුළු ඇගේ දරු පැටවුන් කෲර වධ හිංසා පමුණුවා දියේ ගිල්වා මරාදැමීමත් සිදුවූ අතර, ඒ නිසාම ශෝකයට පත් නුවර ජනී ජනයා සතියක් පුරා තමන්ගේ නිවෙස්වල ළිප ගිනි මෙළවූයේ නැති බව ඉතිහාසය ලියා ඇත. එම සිදුවීම් පෙළත් සමග උඩරට රාජධානියේ බිඳවැටීම ආරම්භ වී ඇත.
‘මහනුවර ඇහැලේපොළ වලව්ව යනු ඇහැලේපොළ මහ නිලමේ, කුමාරිහාමි, මද්දුම බණ්ඩාර ඇතුළු දරුවන් ජීවත්වූ නිවසයි. එම නිවසේ බිත්තිවලට කතාකළ හැකි නම් ඒ අතීතය හැඬූ කඳුළින් පවසනු ඇත.
වලව්වේ රජවරු මහනායක හිමිවරු හා ඇහැලේපොළ පවුලේ ඉටි රූ අඹා තිබේ. එය වලව්වකට කිසිසේත්ම නොගැළපෙන්නකි. ඇහැලේපොළ කුමාරිහාමි කෙරෙහි ඇතිවූ ප්‍රේමයක් නිසා වලව්වට රිංගන්නට ආ ශ්‍රීවික්‍රම රාජසිංහ රජුගේ ඉටි රුවක්ද වලව්වේ අඹා තිබේ. මද්දුම බණ්ඩාර ඇතුළු දරුවන් වනේ දමා කෙටීමට මෙන්ම හිසගසා දැමීමට අණ කළේද එම රජුය. අද එම රජු වලව්වට රිංගා ඇත.
රජවරුන්ගේ ඉටි රූ තැන්පත් කිරීමට තිබුණේ රජ වාසලේය. එසේ කළා නම් එය කිසිම ගැටලුවක් නොමැත. මහනායක හිමිවරුන්ගේ ඉටි රූ ජාත්‍යන්තර කෞතුකාගාරයේ හෝ දළදා මාලිගාවේම තැන්පත් කළා නම් තවත් වටින්නේය.
ඉංග්‍රීසින්ගේ දංගෙඩියට අභීතව මුහුණදී අවසානයේ හිස එංගලන්තයට රැගෙන ගොස් පරීක්ෂණ පැවැත්වූ කැප්පෙටිපොළ වීරයා මෙම වලව්වේද විසුවේය. එතුමන් ඇතුළු ඇහැලේපොළ පවුලේ ඉටි රූ නිර්මාණය කර මේ වලව්වේ තැන්පත්කිරීම වරදක් නැත.
එසේම රජ සමයේ මහනුවර පැවැති වලව් 18 විස්තර හා එම අධිකාරම්වරුන්ගේ, නිලමේලාගේ ඉටිරූ මෙහි ඇඹුවා නම් කොතරම් වටින්නේද? එසේම උඩරට ගිවිසුම අස්සන් කළ නිලමේවරුන්ගේ, අධිකාරම්වරුන්ගේ ඉටි රූ හා විස්තර ඇතුළත් කර තිබුණේ නම් තවත් වටින්නේ යැයි ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියෝ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසති.
මහනුවර ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ මාලිගාව ඇමෙරිකානු ආධාර යටතේ ප්‍රතිසංස්කරණය කළේ පසුගියදාය. එහි රජුගේ පිළිරුවක් ජීවමානව ඇත. එසේ තිබියදී රජු එම රජ මැඳුරින් ඇහැලේපොළ වලව්වට ගෙන ආවේ කුමන අරමුණකින්දැයි බොහෝ දෙනෙක් විමසති. ඇහැලේපොළ වලව්ව ප්‍රතිනිර්මාණය විය යුත්තේ එම වලව්ව හා සබැඳි කතාවලිනි. උඩරටට ආවේණික ඇඳුම් ආයිත්තම්වලින් සැරසුණු උඩරට එඩිතර කුල කාන්තාවන්ගේ තොරතුරුවලින් බව තවත් පාර්ශ්ව පවසති.
1815 පෙර කාලයේ අපේ රටේ රාජ්‍ය බලය උදුරා ගැනීමට ඉංග්‍රීසින් දැරූ විවිධ කූට උපක්‍රමවල කූටප්‍රාප්තිය සිදුවන්නේ 1815 දී මහනුවර මඟුල් මඬුවේදී අස්සන් කළ ‘උඩරට ගිවිසුම’ නම් ඉංග්‍රීසින්ට රට භාරකිරීමේ ගිවිසුම මගිනි. අපේ අවසන් රාජධානිය වෙනුවෙන් ගිවිසුම අස්සන් තබන ලද අයගේ නම් හෙළිකර ඇත. ඔවුන් නම් වශයෙන් මෙසේය.
ආණ්ඩුකාර බ්‍රවුන්රිග්, ඇහැලේපොළ සහ දිසාවේවරු වන මොල්ලිගොඩ, වැඩිමහල් පිළිමතලාවේ, බාල පිළිමතලාවේ, මොනරවිල, බාල මොල්ලිගොඩ, දුල්ලෑව, රත්වත්තේ, මිල්ලෑව, ගල්ගම සහ ගලේගොඩ යන අයයි. අස්සන් සඳහා සාක්ෂීන් වූයේ ඩොයිලි, සහ ඔහුගේ පෞද්ගලික ලේකම් ජේම්ස් සදර්ලන්ඩ් යන අයයි.
ඉතිහාස සාක්ෂිවලට අනුව රට ඉංග්‍රීසින්ට භාරදීම දක්වා වූ බල අරගලය ආරම්භ වන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු හා ඇහැලේපොළ දිසාව අතර ඇතිවන්නා වූ ගැටුමක අවසන් ප්‍රතිඵලයක් ලෙසය. තවත් පැතිකඩ රැසක් ඇතත් ආසන්නතම සිදුවීම් පෙළ නිර්මා÷ණය වන්නේ එමගින් බව පැවැසේ.
ඉතිහාසය ලේඛනවලට අනුව ඇහැලේපොළ කුමාරිහාමි, ගොඩහෙළ කැප්පෙටිපොළ නිලමේගේත් මොනරවිල කුමාරිහාමිගේත් බාල දියණියයි. මොනරවිල කැප්පෙටිපොළගේ නැගණියයි. ඇහැලේපොළ අධිකාරම්ගේ බිරිඳ වේ. වීර මද්දුම බණ්ඩාරගේත් ලොකු බණ්ඩාරගෙත් මවයි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉතා කෲර ලෙස මෙතුමිය මරාදැමූ බව ඓතිහාසික වාර්තාවල සඳහන්ව ඇත.
මේ තොරතුරු සමගම ඇහැලේපොළ මහ නිලමේගේ තොරතුරු ද විමසා බැලීම වටී.
ඇහැලේපොළ නිලමේ කියන්නේ මහනුවර රාජධානියේ අවසන් කාලයේ සිටි විවාදාපන්න චරිතයකි. සමහර ඉතිහාසඥයන් ඔහුට චෝදනා කරන්නේ ලංකාව ඉංග්‍රීසින්ට පාවාදීමට ඔහු මුල් වූ බවයි. ඇහැලේපොළ චරිතයේ නොදන්නා පැතිකඩ කිහිපයක් විමසා බැලීමට ගත් උත්සාහයකි මේ.
මාතලේ දිස්ත්‍රික්කයේ ‘ඇහැලේපොළ ගමේ උපන් ඇහැලේපොළ මහ නිලමේගේ පියා වූයේ පඩිකාර නිලමේය. මව කොස්සින්නේ කුමාරිහාමිය. ඇහැලේපොළ අදිකාරම ක්‍රිස්තු වර්ෂ 1773දී උපන් බවට ඉතිහාසය සාක්ෂි දරයි. ඔහු විවාහ වුණේ පසුකාලීනව හටගත් 1818 ඌවේ කැරැල්ලේ නායකත්වය ගත් කැප්පෙටිපොළ දිසාවගේ නැගණිය වූ මොනරවිල කුමාරිහාමි සමගය.
පිළිමතලව්වේ අදිකාරම් ඔහුගේ මාමා විය. මේ නිසා උඩරට රදළයන් අතර ඔහුට ඉහළ තැනක් හිමිවිය. මධ්‍යම ප්‍රමාණයේ සිරුරකින් හෙබි ඇහැලේපොළ සාමාන්‍ය උසින් යුත් පුද්ගලයෙක් බව ඉංග්‍රීසි වාර්තාවලින් පෙනෙයි. එකල සිරිත අනුව ඔහු කොණ්ඩය පස්සට පීරා බැඳ තිබිණි. මුහුණ වසා සිටි තද රැවුළ මනා සේ කොටකර කපා තිබිණි. ඇහැලේපොළ විජේසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර අමරකෝන් යනු ඔහුගේ සම්පූර්ණ නමයි.
ක්‍රිස්තු වර්ෂ 1806 දී මීගස්තැන්නේ අදිකාරම් මියයාමෙන් පසුව උඩගම්පහ දිසාවේ හැටියට රජු පත්කළේ ඇහැලේපොළ නිලමේ විසිනි. ඇහැලේපොළ දෙවැනි වුණේ මහ අදිකාරම් තනතුර දැරූ පිළිමතලාවේ නිලමේට පමණි. පිළිමතලව්වේ රාජද්‍රෝහී වීම නිසා මරණයට පත්කිරීමෙන් පසු ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මහා අදිකාරම් ධුරයට පත් කළේ ඇහැලේපොළ විසිනි. ඒ, ක්‍රිස්තු වර්ෂ 1812 දීය. එම පදවිය ලැබීමෙන් පසු ඔහුගේ නමට දීර්ඝ අභිධානයක් එක්වූ අතර, එම අභිධානය ඇහැළේපොළ සන්නසේ මෙසේ සඳහන්ව තිබේ.
‘පුවර දනකර තේජතෙජහිරාම උතුම් ශ්‍රී වික්‍රම රාජසිංහ අප දෙව්රාජෝත්තමයාණන් වහන්සේ සකල නාගරාග සම්පූර්ණ සෙංඛඞ ශෛලාභිධාන ශ්‍රී වර්ධන පුරයෙහි නවරත්න වර වීර රාජකීය වදාරනා සමයෙහි ශ්‍රී ලංකාධිපති එම දෙවි මහා රාජෝත්තමයාණන් වහන්සේ අග්‍රාමාත්‍ය පද ප්‍රාප්ත වූ හෙවත් රන් ආවුද මංඩපේ ලේකම් ගිලීමලේ බඹරබොටුව සාරාමරුනින්ද විදන විහාර දේවාල ගබඩාගම් හා සබරගමු දිශාව ඇතුළුව මහනුවර අධිකාරම් නිලය කරවන විසඬ වරවංශාභිජාත ඇහැලේපොළ විජසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර සෙනෙවිරත්න අමරකෝන් පණ්ඩිත මුදියන්සේ…’
මෙම වර්ණනාත්මක හේතු පාඨයෙන් පැහැදිලි වන්නේ ඇහැලේපොළ නිලමේ මහා අදිකාරම් ධුරයට පත්කරන්නට තරම් දැඩි විශ්වාසයක් රජු තුළ පැවැති බවයි. නැතහොත් සියලු විශ්වාසවන්තයන් රජුගෙන් ඉවත් වෙද්දී ඇහැලේපොළට ප්‍රධාන තනතුර භාරදී ඔහුගේ හිතවත්කම වැඩිකර ගැනීමට රජු සිතුවා වන්නටත් පුළුවන. උඩරට සිංහාසනය නායක්කාර් රජවරුන් සතුව පැවැතීම ගැන රදළවරුන් කලක සිට පසුවුණේ නොකැමැත්තෙනි. ඇහැලේපොළ අදිකාරම්ගේ අදිටන වුණේ ද යළිත් උඩරට සිහසුන සිංහලයන් අතට පමුණුවා ගැනීමය.
ඇහැලේපොළ අදිකාරම්ගේ දෙවැනි අදිකාරම් ලෙස පත්ව සිටියේ උනම්බුව දිසාවය. ක්‍රිස්තු වර්ෂ 1812 දී උනම්බුව මියයෑමෙන් පසුව ඒ තනතුරට පත්කළේ අහැලේපොළගේ පරම හතුරකු වූ සත් කෝරළේ දිසාපති ධුරය හෙබවූ මොල්ලිගොඩයි. එය ඇහැලේපොළ අසතුටු කළ සිද්ධියක් බව නිසැකය.
ඇහැලේපොළ සබරගමුවට
රජු, ඇහැලේපොළ අදිකාරම් සබරගමු දිසාව පාලනයට ඉන්පසු පිටත් කළේය. සබරගමුව ඊට පෙර පැවැතියේ හිටපු මහඅදිකාරම් පිළිමතලව්වේ යටතේය. ඇහැලේපොළ සබරගමුවට පත්කර එවීමට හේතු වූ විවිධ කරුණු පැවසුණත් ජනප්‍රවාදයක එන්නේ ඇහැලේපොළ කුමාරිහාමිට හිත ගිය රජු ඇහැලේපොළ සබරගමුවට පිටත් කර යැවූ බවය. කුමාරිහාමි සමග අනියම් ඇසුරට රජු කළ ඉල්ලීම ඇය ප්‍රතික්ෂේප කළ බවත් කියැවේ.
සබරගමුවට පැමිණි ඇහැලේපොළ දිසාව පළාතේ කෘෂිකාර්මික කටයුතු දියුණු කරමින් සාමාන්‍ය ජනතාවගේ ශුභ සිද්ධිය උදෙසා කටයුතු රාශියක් කළේය. ඔහු තාවකාලිකව පදිංචිව සිටියේ රත්නපුර බටුගෙදර මුත්තෙට්ටුවෙගමය. එය තල්අතු සෙවිලි කළ තාවකාලික නවාතැනක් විය. ඒ නවාතැන අසල කොඩිතුවක්කු හතක් පිහිටුවා තිබුණු බවත් නිතිපතා මිනිසුන් 350ක් එහි ගැවසුණු බවත් ජෝන් ඩොයිලි සිය දිනපොතේ සඳහන් කර තිබේ. මේ අතර එම නවාතැන පිහිටි වත්තේ කම්හල් තනන ලෙසත් ඇහැලේපොළ උපදෙස් ලබාදී ඇත. ඉංග්‍රීසින් සිතා ඇත්තේ මේ කම්හල් තනන්නේ ආයුධ රැස්කිරීමට බවය.
ඓතිහාසික ලේඛන අනුව, බටුගෙදරගම සබරගමුවේ දිසාපතිට අතිරේක ආදායමක් ලබාගැනීම සඳහා නිල බලයෙන්ම අයත් නින්දගමක් විය. බටුගෙදර ග්‍රාමයේ අංගම්මන පිහිටි මිහිටිය කන්දේ පහත් බිමේ සිට අඩි 800ක් ඉහළින් වැවක් තනා ඇත. එම වැවේ සිට ඇළකින් ජලය ගෙනැවිත් ප්‍රදේශයේ අක්කර සිය දහස් ගණනක් වගාකරවූ බවත් පැවැසේ.
එම වැව් ජලය අදත් රත්නපුර ජනතාව ප්‍රයෝජනයට ලබාගනිති. තිරිවානාකැටිය බටුගෙදර ඔස්සේ ගලායන වේල්ල අදත් හඳුන්වන්නේ ‘ඇහැලේපොළ වේල්ල’ යන නමිනි. බටුගෙදර ගම්මානයේ සිටින අතර ඔහු අංගම්මන රජමහා විහාරයේ ගොඩනැගිලි ඉදිකරවා එයට ඉඩම් ද පූජා කර ඇත.
වර්තමානයේ රත්නපුර පුරාවිද්‍යා කාර්යාලය පවත්වාගෙන යන දෙමහල් ගොඩනැගිල්ල (ෆර්ගසන් විදුහලට යාබදව ඇති) ඇහැලේපොළ තම හිතගිය කාන්තාවන් ඇසුරු කිරීමට අන්තඃපුරයක් ලෙස භාවිත කළ බව පැවැසෙයි. ඉතා අලංකාර මේ ගොඩනැගිල්ලේ ඉහළ මාලය දැව සොල්දරයකින් යුක්තය. සිංහල වාස්තු විද්‍යාව මෙන්ම ඉංග්‍රීසි වාස්තු විද්‍යා ලක්ෂණත් මෙහි දැකගත හැකිය. මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යා ස්මාරකයක් ලෙසත් ප්‍රකාශ කර ඇති අතර, සතුරු උවදුරු අවස්ථාවක දී පලායාමට මේ වලව්වේ සිට කළුගඟට ආරක්ෂිත උමගක් ඉදිකර තිබූ බවත් පැවැසෙයි. පසුගිය කාලයේදී ඒ අසල ගොඩනැගිලිවලට ගෙපල් කැපූ අවස්ථාවලදී උමං මාර්ගයක සලකුණු හමුව තිබීමෙන් එහි යම්කිසි සත්‍යතාවක් ඇති බව සනාථ වේ.
රත්නපුර ජාතික කෞතුකාගාරය පිහිටුවා ඇති ඓතිහාසික ‘ඇහැලේපොළ වලව්ව’ ඇහැලේපොළ අදිකාරම් බටුගෙදර නවාතැන් ගෙන සිටි කාලයේ තැනවූ බව ජනප්‍රවාදයේ පැවැසෙයි. ඊට පෙර සබරගමුව පාලනය කළ පිළිමතලව්වේ මහා අදිකාරම් එම ගොඩනැගිල්ල නිල කටයුතුවලට තැනවූ බවටද විශ්වාසයක් පවතී.
සබරගමුවේ සිටින අතර ඇහැලේපොළ දිසාව කන්ද උඩරට රාජ්‍යය නායක්කර් වංශිකයන්ගෙන් බේරාගැනීමට ඉංග්‍රීසින් සමග සම්බන්ධතා ගොඩනගමින් සාකච්ඡා කිරීම ආරම්භ කර ඇත. ඉංග්‍රීසි නියෝජිත ජෝන් ඩොයිලි ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී.
ඩොයිලිගේ ඔත්තුකරුවකු වන වත්තල අප්පු වර්ෂ 1811 දී ඇහැලේපොළ හමුව ඇත. ඉන් පසු ඩොයිලි සහ ඇහැලේපොළ අතර හිතවත්කමක් ගොඩනැගී තිබේ. ඇහැලේපොළ සබරගමුවේ රන්කරුවන් ලවා ඔටුන්නක් සහ රන් කඩුවක් තැනවීමට පටන් ගත් අතර ඔහු පැවැසුවේ ඒවා හදන්නේ රජුට තෑගි කිරීමට බවයි. නමුත් රජුට එය ආරංචි වී තිබුණේ රජවීම සඳහා ඇහැලේපොළ කකුධ භාණ්ඩ තනවන බවයි. සතුරන්, ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට කේලාම් කියමින් ඇහැලේපොළ අමාරුවේ දමා ඒ තනතුර ලබා ගැනීමට උත්සාහ කළ අතර, මොල්ලිගොඩ නිලමේ ඒ අතර මුල් තැනක සිටි රදළයෙක් බව ජනප්‍රවාදයේ පැවැසේ.
ඇහැලේපොළ හා රජු අතර ගැටුම්
1813 හා 1814 අවුරුදු ගෙවී ගියේ ඇහැලේපොළ හා රජු අතර අසමගිය තවත් වර්ධනය කරමින්. උඩරට රදළයන් රාශියක් ද රජුගෙන් ඒ වනවිට ඈත්වෙමින් සිටියේය. සබරගමුවේ ඇත්ගාල් පැවැත්වීමේ නියෝගය කඩකිරීම, ඇලපාත නිලමේගේ දේපළ ආරවුල, ඉංග්‍රීසින් සමග රහසේ සම්බන්ධතා පැවැත්වීම වැනි කරුණු රාශියක් නිසා උරණ වූ රජු ඇහැලේපොළ අදිකාරම්ට රජ වාසලට වාර්තා කරන ලෙස හසුන් පතක් යවා තිබේ. ඒ වනවිට බදු බර නිසා සබරගමුවේ ජනතාව අතර නොසන්සුන් බවක් හටගෙන තිබිණි. තමා සූදානම් කළ තුටු පඬුරු නිමවා නොතිබූ නිසාත් ඇහැලේපොළ දිසාව රජුට තල්පතක් යවමින් රජු හමුවීමට කල් ඉල්ලා සිටියේය.
මේ තල්පත රැගෙන යන පණිවුඩකරු ගම්පොළ දී මොල්ලිගොඩ දිසාවට හමුවිය. ඔහු කළේ එම හසුන්පත වෙනස් කර රජු කෝපවන පරිදි නැවත ලියා පණිවුඩකරු අත යැවීමය. එය කියැවූ රජුගේ කෝපය තවත් වැඩිවී ඇත. මේ අතර සබරගමුමේ දිසාව තනතුරින් ඇහැලේපොළ ඉවත් කර මොල්ලිගොඩ දිසාව පත්කළ බව ඇහැලේපොළට ආරංචි වී තිබේ.
1814 දී එක්නැලිගොඩ නිලමේ ඇහැලේපොළගේ හසුන්පතක් රැගෙන ඩොයිලි හමුවන්නට ගොස් ඇත. රජුගේ අකටයුතුකම් නිසා වැසියන් විඳින පීඩාව ගැන එම හසුන්පතේ සඳහන්ව තිබේ. ඇහැලේපොළ තීරණය කර තිබුණේ රජු යළිත් තමන් කැඳවුවහොත් මහනුවරට නොයාමටය. ඉංග්‍රීසින්ගේ උදව්වෙන් උඩරට රජු වීමේ අදහස මේ වනවිට ඔහු තුළ මතුවෙමින් පැවැතිණි. ඇහැලේපොළ කටයුතු සංවිධානය කරමින් සිටියේ 1814 සිංහල අවුරුද්ද පසු වූ විගසම රජු පන්නා දැමීමේ කැරැල්ල සබරගමුවෙන් ආරම්භ කර උඩරටට ව්‍යාප්ත කිරීමටය.
සබරගමු කැරැල්ල
ඒ අනුව, එම කැරැල්ල සබරගමුවෙන් ආරම්භ කළ අතර, ඒ සඳහා ඇහැලේපොළට පක්ෂපාතී සිය ගණනක් එක්වුණත් කැරැල්ල උඩරටට ව්‍යාප්ත කිරීමට තරම් ප්‍රමාණවත් මිනිසුන් සහ තුවක්කු ඔවුන් සතුව නොතිබිණි. ඒ සඳහා බලාපොරොත්තු වූ සහාය ඉංග්‍රීසින්ගෙන් ලැබුණේද නැත. මේ නිසා රජුගේ නියෝග මත සබරගමුවට පැමිණි මොල්ලිගොඩ පහසුවෙන් කැරැල්ල මර්දනය කළේය. සටනේ දී අල්ලාගත් සබරගමුවේ වැසියන් 47 දෙනෙක් මහනුවරට රැගෙන ගොස් උල තබා මරණයට පත්කර තිබේ.
මොල්ලිගොඩගේ ප්‍රධාන අරමුණ වුණේ ඇහැලේපොළ අත්අඩංගුවට ගැනීමය. නමුත් එය සාර්ථක නොවිණි. වෙස්වළාගත් ඇහැලේපොළ අදිකාරම් රත්නපුර සිට අඟුලක නැගී කළුගඟ ඔස්සේ යාත්‍රා කොට රයිගම් කෝරළයේ ගල්පාත තොටුපළෙන් ගොඩබැස බේරී පලාගොස් ඇත. ඒ අනුව ඉංග්‍රීසි පාලන පෙදෙසට ගිය ඔහුට ඉංග්‍රීසින්ගේ රැකවරණය ලැබිණි. ඇහැලේපොළ පසුව ඉංග්‍රීසි ආණ්ඩුකාර බ්‍රවුන්රිග් ඔහු හමුවී රැකවරණය ලබාගැනීමට පොරොන්දු කරගෙන ඇත. කෝපයට පත් රජු කළේ ඇහැලේපොළ කුමාරිහාමි සහ දරු තිදෙනා ම්ලේච්ඡ ලෙස මරණ දණ්ඩනයට පත්කිරීමටය. නුවර කලාවියේ දිසාවේ තනතුර දැරූ පුස්සැල්ලේ නිලමේ ද ඇහැලේපොළ සමග ලිපි ගනුදෙනු කළ බවට චෝදනා කරමින් පවුල ද දරුවන් ද සමග මරා දමනු ලැබීය.
ඉංග්‍රීසින් 1815 දී උඩරට යටත්කර ගත් පසුවත් රජ වීමේ සිහිනයක සිටි ඇහැලේපොළ පසුව ඉංග්‍රීසින්ගේ සැකයට භාජනය වීම නිසා මුරුසි දිවයිනට පිටුවහල් කරනු ලැබ, 1829 දී මියගියේය.
මෙහි අනෙක් කතා නායකයා වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඇහැලේපොළ නිලමේවරයාගේ සහාය ඇතුව උඩිස්පත්තුවේදී ඉංග්‍රීසින් විසින් අල්ලා ගන්නා ලද අතර, පසුව ඔහුව ඉන්දියාවේ ගෝවේ ප්‍රදේශයට පිටුවහල් කිරීමට ඉංග්‍රීසින් කටයුතු කරනු ලැබීය.
සරත් සමරනායක – කැන්ඩි ප්‍රයිම්
(අන්තර්ජාල මූලාශ්‍රවලින් සමන්විත වේ)










