චීනයේ වුහාන් නගරයෙන් 2020 ජනවාරි ජන්ම දායාදය ලද කොරෝනා වෛරසය විවිධ චරිත නිරූපණය කරන නළුවෙක් මෙනි. ඒ විවිධ නම්වලින් යළි යළි කරළියට එන හෙයිනි.
මුලින්ම කොරෝනාය. පසුව කොවිඩ්-19ය. අනතුරුව ඇල්ෆාය. පසුව ඩෙල්ටාය.
පෙරදී “පෙරදිග මුතු ඇටය” ලෙසින් නම් දැරූ අපේ රට කාට කාටත් (ඇතැම් දේශපාලනඥයන් සහ උසස් නිලධාරීන්ද ඇතුළුව) පින් සිද්ධ වෙන්න දැන් ජාත්‍යන්තරයේ “කප්” ගසා ඇත්තේ “කුඩු ප්‍රතිඅපනයන කේන්ද්‍රය” ලෙසිනි. ඊට හේතුව පාකිස්තානය ඇතුළු රටවල් ගණනාවකින් ලැබෙන “බඩු” යළි ප්‍රතිඅපනයනය කෙරෙන බැවිනි.
එහෙත් එසේ ප්‍රතිඅපනයනය කෙරෙන්නේ අපේ බී.ඕ.අයි. එකේ හෙවත් ආයෝජන මණ්ඩලයේ කිසිදු ලියාපදිංචියකින් තොරව නිසා පුරවැසියන් වශයෙන් අපට ඇත්තේ බලවත් කනගාටුවකි.
අපට අතිශයින්ම පශ්චාත්තාපයට යළිදු හේතුවන කරුණක් වී ඇත්තේ මත්කුඩු සේම තවත් මාරන්තික භාණ්ඩයක් බී.ඕ.අයි. එකේ ලියාපදිංචි නොකරම ප්‍රතිඅපනයනය කිරීමට සිදුවෙත්දැයි යන භීතියයි. ඒ කොරා්නා “නෝනා”ගේ නව ප්‍රභේදයයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය වෛදා්‍ය පර්යේෂණ කණ්ඩායම විසින් ලියාපදිංචි කරන ලද “උප්පැන්නයේ” ඒ ප්‍රභේදයේ නම සඳහන් වන්නේ “ඒ.වයි.28 නොහොත් බී. 1.617.2.2.28 ශ්‍රී ලන්කන් ලයිනේජ් AY.28.-B.1.617.2.28.SRI LANKAN LINEAGE යන උප ප්‍රභේදයක් වශයෙනි.
මේ වන විට මේ උප ප්‍රභේදය අපේ රටේ බස්නාහිර, දකුණ, ඌව, නැගෙනහිර, උතුර සහ උතුරුමැද යන පළාත්වල සිටින කොවිඩ් ආසාදිතයන්ගෙන් සියයට පනහත් හැටත් අතර පිරිසකට ආසාදනයවී තිබේ.
කොවිඩ්-19 වෛරසයේ ජාන විශ්ලේෂණය කෙරෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පර්යේෂණ කණ්ඩායම නිකුත්කරන ලද වාර්තාවෙහි යථෝක්ත විස්තර දැක්වේ.
මේ පර්යේෂණය කණ්ඩායමක සාමූහික ප්‍රයත්නයකි. ඒ සඳහා සමස්ත ලෝකවාසීන්ගේම කෘතඥතා ඔවුනට පිරිනැමිය යුතුවේ.
මේ කණ්ඩායමේ නායකත්වය දැරූවන් අතරින් ආචාර්ය චන්දිම ජීවන්දර මහතා එක් අයෙකි. ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය වෛදා්‍ය පීඨයේ ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල ජීවවිද්‍යා ආයතනයේ අධ්‍යක්‍ෂවරයායි.
ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසන අන්දමට මේ වන විට අපේ රට හැරෙන්නට ඉන්දියාව, ජර්මනිය, නෙදර්ලන්තය, කැනඩාව, දකුණු කොරියාව, ඩෙන්මාර්කය, එංගලන්තය, රුසියාව, බෙල්ජියම, ස්විස්ටර්ලන්තය, ඉතාලිය සහ ඇමෙරිකාව වැනි රටවලින් මේ උපප්‍රභේදය ආසාදිතයන් හඳුනාගෙන ඇත.
මේ උප ප්‍රභේදය පැතිරෙන අන්දම ගැන ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල ජීවවිද්‍යා ආයතනය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
ඩෙල්ටා ප්‍රභේදය ආසාදියන්ගේ සහ මේ උප ප්‍රභේදය ආසාදිතවූවන්ගේ රෝග ලක්‍ෂණ අතර වෙනස්කම් නැතත් මේ උපප්‍රභේදය ආසාදිත අය කෙරෙහි දින 90-180ත් අතර කාලයක් පවත්නා රෝග ලක්‍ෂණ නවයක් හඳුනාගෙන ඇත.
එහෙත් අසාමාන්‍ය හුස්ම ගැනීම, උදරාබාධ, මානසික අවපීඩනය, පපුවේ සහ උගුරේ වේදනාව, සංජානන ගැටලු, තෙහෙට්ටුව, හිසරදය, මාංශපේශිවල වේදනාව සහ අනිකුත් ශාරීරික වේදනා මේ උපප්‍රභේදය ආසාදිතයන් කෙරෙහි ඇතිවිය හැකිය.
ඉහත දැක්වෙන රෝග ලක්‍ෂණ අතුරෙන් “මානසික අවපීඩනය” සියයට පහළොවකට පමණ වැලඳිය හැකි ප්‍රවණතාවක් දැක්වේ.
ඒ.වයි.28 නොහොත් බී.1.617.2.2.28 ශ්‍රී ලන්කන් ලයිනේජ් නමැති උපප්‍රභේදය ලංකාවෙන් පළමවෙන්ම වාර්තාවී ඇත්තේ පසුගිය මැයි මාසයේදී බස්නාහිර පළාතෙන්ය.
මේ උපප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිල වශයෙන් සනාථ කර ඇත්දැයි විමසූ කල්හි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ “නැති” බවයි.
ඒ පිළිබඳ ඒ මහතා කළ විස්තරය මෙසේය.
නව වෛරස් ප්‍රභේදයක් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තහවුරු නොකෙරේ. එම සංවිධානයේ කාර්යභාරය විශේෂිත ප්‍රභේද හඳුනා ගැනීම පමණි.
උපප්‍රභේදයක් වශයෙන් නම් කරනු ලබන්නේ වෛරස් ප්‍රභේද නම්කරනු ලබන කණ්ඩායම විසිනි.
මෙරටින් (ලංකාවෙන්) සොයාගනු ලැබූ උපප්‍රභේදය “ඩෙල්ටා” ප්‍රභේදයේම උප ප්‍රභේදයකි. එහි “එස්” ජාන විකෘතිතා තුනකි.A701S, A222 A1078 සහ S 1078 යන ලෙසින් ඒවා හඳුන්වනු ලැබ තිබේ.
මේ අතර ඇමෙරිකානු “මර්ක්” සමාගම ජාත්‍යන්තරයට “ශුභ ආරංචියක්” සපයා තිබේ. එය නිරුදක කතරකට පොද වැස්සක් නොව “ධාරානිපාතයකි” කොරෝනා මාරයෙකි.
කොරෝනා ආසාදිතයකුට වෛද්‍ය උපදෙස් අනුව නිවෙසේ සිටම ගත හැකි “පෙත්තකි”.
නම “මොල්නුපියර්විර්” MOLNUPIRVIR . එමගින් කිසි අවදානමක් නැති බව තහවුරු කර තිබේ. අත්‍යන්තයෙන්ම විශ්වාසදායකය. ආසාදිතයාට රෝහල්ගත වීමක් අවශ්‍ය නැත. එබැවින් එමගින් මියයාමේ ප්‍රවණතාවයද ඉතා අවමය. රෝහල්ගත වීමට අවශ්‍ය නොවන බැවින් පැතිරීමේ ඉඩකඩද සීමාවී ඇත. මේ වන විට තුන්වැනි අදියරේ සායනික කටයුතුවල අත්හදාබැලීම්ද අවසන්ය. භාවිතයට අවසර පතා වාර්තාද ඉදිරිපත් කර තිබේ. ඉදිරි දෙසතිය තුළ ඒ සඳහා අවසර (අනුමැතිය) ලැබෙතැයිද අපේක්‍ෂා කෙරේ. මේ ඖෂධය නිෂ්පාදනය ආරම්භ කර තිබුණේ කොරෝනා වෛරසය පිළිබඳ හැඟීමක් පවා නිෂ්පාදකයනට තබා මිහිතලය කිසිම කෙනකුට (චීන්නුන්ට හැර) ඇතිවී තිබුණු අවස්ථාවක නොවූවක්ද විය හැකිය. මන්ද මේ නිෂ්පාදනය ගැන කළලය හටගෙන තිබුණේ කොරෝනා වෛරසයක් ඇති බවක් රට්ටු දැනගත් 2020 මාර්තු මාසයටත් මාස දෙකකට පෙරය. එනම් 2020 ජනවාරි මාසයේදී බැවිණි. ආරම්භය මෙසේය. ඇමෙරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ නගරයේ “හැන්ඩ්ලර් ස්ක්වයා” හෝටලයේ 2020 ජනවාරි මාසයේදී දිනෙක ඉහළ පෙළේ සෞඛ්‍යාරෂක සමුළුවක් පවත්වා තිබේ. ඊට විද්‍යාඥයෝද, ව්‍යාපාරිකයෝද, ආයෝජකයෝද සහභාගි වූහ. ඒ සමුළුවට ජෝර්ජ් පේන්ටර් මහතාද සහභාගි වී සිටියේය. ඔහු ඖෂධ ප්‍රවර්ධනය සඳහා වන “එමෝරි” ආයතනයේ සභාපතිවරයාය.
එහිදී ඔහුට විණ්ඩි හොල්මන් හමුවී තිබේ. ඇය විද්‍යාඥවරියකි. එසේම “රිජ්බැක් බයෝතෙරපි්‍යුටික්ස්” ආයනයේ ප්‍රධාන විධායක නිලධාරිනියයි.
ඒ වන විටත් ජෝර්ජ් පේන්ටර් ජාතික සෞඛ්‍යායතනයට සම්බන්ධව කටයුතු කරමින් සිටියේය. එකිනෙකා හඳුනාගත් පසු දෙදෙනා සිය අභිප්‍රාය ප්‍රස්තුත කොට ගෙන සාකච්ඡා කළහ. දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ. සෙසු ප්‍රභූන් හැඳි ගෑරොප්පු සහ ඉහළ පෙළේ බෝතල් සමග ද්වන්ධ සටන් පවත්වද්දී මේ දෙදෙනා ඒ ගැන නොතකා ද්වි පාර්ශ්වික වට මේස සාකච්ඡාවේම නිමග්න වූහ.
අසල සිටි ප්‍රභූන්ට මේ දෙදෙනාගේ “මල්ල ලිහාගැනීම” කන්කරච්චලයක් වූ හෙයින් උන් තැනින් පන්නා දැමූ බවද කියත්. ඉන් අනතුරුව ඒ දෙදෙනා හෝටලයේ කොරිඩෝවේ මංතීරුවකට වී තර්ක විතර්ක කළ බවද පැවසේ.
ජෝර්ජ් පේන්ටර් ඒ අවස්ථාවේ අපේක්‍ෂා කරමින් සිටියේ තමාගේ “මොල්නුපියර්විර්” සම්බන්ධයෙන් පවත්වමින් තිබූ වෛරස පරීක්‍ෂණය සඳහා අරමුදල වැඩිකර ගැනීමය.
හොල්මන් “හොල්මං” වැ සිටියේ මේ පරීක්‍ෂණය ඉබෝලා සම්බන්ධයෙන් බවටය. කෙසේ හෝ දෙදෙනා පසුව කටයුත්ත කරගෙන ගියේ මේ ඖෂධය නිෂ්පාදනය කළ පසු රිජ්බැක් බයෝතෙරපි්‍යුටික්ස් ආයතනයෙන් මිලට ගනු ලබතැයි යන අපේක්‍ෂාවෙනි.
මේ අතර තුරේදී කොරෝනා පැතිරෙන්නට විය. මාර්තු 19වැනිදා ලෝකයට අගුළු වැටුණේය. ඒ සමගම “මොල්නුපියර්විර්” ඖෂධය සායනික පරීක්‍ෂණවලට යෙදවිය යුතු විය.
අප්‍රේල් මාසයේ ඒ කටයුත්ත ඇරඹිණි. ඒ හාම “මර්ක්” සමාගම නිෂ්පාදනය මිලට ගැනීමට ඉදිරිපත් විය. එම සමාගම ඉබෝලා, එච්.අයි.වී. වැනි වෛරස් රෝග සඳහා වන ඖෂධ සම්බන්ධයෙන්ද ඉතා සාර්ථකත්වයක් පෙන්වූ මහජන සෞඛ්‍ය ප්‍රවර්ධනය පිළිබඳ කීර්තිමත් දීර්ඝ ඉතිහාසයක්ද ඇති සමාගමකි.
ඉන් පසු මහා පරිමාණයෙන් සායනික පර්ක්‍ෂ පවත්වා නියාමන අංශවලින් අධිකාරි බලය (අනුමැතිය) ගැනීමටද කටයුතු කෙරිණි.
රෝගී වන ඕනෑම කෙනකුට එන්නතක් වශයෙන් නොව පෙති වශයෙන් ඖෂධය සැපයීමට හැකිවන අන්දමටද සකස් කෙරිණි.
බයෝ තාක්‍ෂණික නවමං පිළිබඳ සංවිධානය පවසන අන්දමට වෛරස ප්‍රතිරෝදක ඖෂධ වර්ග 246ක් දැනට නිෂ්පාදනය කෙරී තිබේ. “ෆයසිර්” වැනි මහා පරිමාණයේ දැවැන්ත සමාගම් මෙන්ම “වේරු” වැනි ඉතා සුළු පරිමාණයේ ආයතනද මේ ඖෂධ පෙති වශයෙන් වෙළෙඳ පොළට යෙදවීමට කටයුතු කරයි. ලිවර්පූල් විශ්වවිද්‍යාලයේ ඖෂධ වේදය සහ චිකිත්සක (ප්‍රතිකාර) වේදය පිළිබඳ මහාචාර්ය කූ Khoo මහතා පවසන කොරෝනා වෛරසය පැතිරයාමත් සමාගම ජීවිත හානි සංඛ්‍යාවද දිනෙන් දිනම වර්ධනය වූවේය.
ඒ හාම මහජන උද්ඝෝෂණ රැල්ලද වර්ධනය වූවේය. ඒ නිසා ජාත්‍යන්තරයේ බොහෝ රටවල්ද ආයෝජකයෝද, නව ඖෂධයක් සොයාගැනීම සඳහා මුදල් යෙදෙව්වා නොවේ. අතීතයේ සිට මේ දක්වා නොවූ විරූ අන්දමට මුදල් ලක්‍ෂ, දස ලක්‍ෂ ගණනින් “පොම්ප” කළා පමණි.
මහා බි්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සමග ඒකාබද්ධවූ මහා පරිමණයේ ඖෂධ නිෂ්පාදන ආයතනයක් වූ “ඇංග්ලෝ ස්වේඩිශ්” සමාගමද 2020 මැද භාගයේදී ඖෂධ නිෂ්පාදන මහා ධාවන තරගයට අනුගත විය. ඒ ආයතනයේ ප්‍රධාන විධායකවරයා වූ “සෝරියට” පුවත් පතට මෙසේ පවසා තිබිණි.
“මේ ඖෂධය නිෂ්පාදනය කරල නම් අපට වැය කළ මුදලවත් සොයන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ. මේ ඖෂධ අවශ්‍ය වෙන්නෙ කොයි තරම් කාලෙකටද කියල කවුරුවත් දන්නෙත් නෑ. එන්නත ප්‍රතිඵලදායක නම් රෝගයේ (වෛරසයේ) පැවැත්මකුත් නෑ. එතකොට මේ එන්නත මිලට ගන්න තරම් අවශ්‍ය වෙන කෙනකුත් නෑ. එතකොට ඉලීලීමකුත් නෑ.”
මොල්නුපියර්විර් පෙත්ත හදන්නේ ඇමෙරිකාවේය. අප ජීවත් වන්නේ ශ්‍රී ලංකාවේය. දෙරට අතර පරතරය සැතපුම් දහස් ගණනකි. දුරුකතර ගෙවා ඒ පෙත්ත අපට ලැබෙන විට අපේ හොඳ පණ ගිහින් තියෙන්නත් බැරි නැත.
ඒ නිසා හොඳම දෙය “දුවන මුවන් දැක නොදමන් නෙලූ පලා” කීවා සේම, නැතහොත් “අතේ සිටින කුරුල්ලා පඳුරේ සිටින කුරුල්ලන් දෙදෙනකුටද වඩා වටී” යන කියමන සේම අප කළ යුත්තේ අපේ සම්පත්වලින් ප්‍රවේසම් වීමය.
මේ ටික කීවේ පසුගියදා සිට (ඔක්ාතෝබර් පළමු වැනිදා) ගුවන් තොට විවෘත කර ඇති බැවිනි. විදේශගතව සිට එන දේශීයයන්ට මෙන්ම විද්ශිකයන්ටද ගුවන් තොටුපළේදී කිසිදු පී.සී.ආර්. පරීක්‍ෂණයකින් තොරව අවුත් සමාජගත වන්නට කිසි “කචල් එකක්” නැත.
ඒ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය සැප්තැම්බර් 28 වැනි දින නිකුත් කළ නිවේදනයක සඳහනි. ඊට අදාළ “තාක්‍ෂණික” කමිටු තීරණය අනුව එසේ කෙරුණු බවද නිවේදනයේ සඳහන්ය.
එසේ කළ හැක්කේ ගුවන්ගත වීමට පෙර පැවැත්වූ පී.සී.ආර්. පරීක්‍ෂණවලින් ඍණාත්මක තත්ත්වයක් පෙන්නුම් කළේ නම් සහ පූර්ව එන්නත්කරණයකට ලක්ව සිටියේ නම් පමණි. එසේ නොවී නම් ජෛව බුබුළක් යටතේ ඔවුන් ලැගුම් ගැනෙන හෝටලයට යාමෙන් අනතුරුව පී.සී.ආර්. පරීක්‍ෂණවලට භාජනය කෙරෙන බවත්ය.
විදේශගතව සිට මව් රටට එන ලාංකිකයනට ගුවන් තොටුපොළ්දී හෝ ඔවුන් ලැගුම් ගැනෙන හෝටලයකදී හෝ පී.සී.ආර්. පරීක්‍ෂණ පැවැත්වෙන බවත් එමගින් ලැබෙන ප්‍රතිඵල ඍණාත්මක නම් සිය නිවෙස්වලට යා හැකිය. අනතුරව දින දහයකින් පසුව පැවැත්වෙන ඊළඟපරීක්‍ෂණයේදීද ප්‍රතිඵල පෙර පරිදිම ඍණාත්මක නම් ඔහුට හෝ ඇයට සමජගත වීමට ඉඩ ලැබේ.
ඔය නිවේදනයේ කරුණු පැහැදිලි කිරීම්ය.
විදේශයෙන් එන අයටත් අපෙන් බෝවෙන්න පුළුවන්.
“මොන අන්දමේ පරීක්‍ෂණ පවත්වලා ඍණාත්මක බව තහවුරු කරගෙන විදේශයෙන් පැමිණි තැනැත්තා සමාජගත කළත් අපේ රටේ ඉන්න අයගෙන් ඔහුට වෛරසය ආසාදනය වෙන්න බැරිකමකුත් නෑ” යැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාගේ මතයයි.
“අනිත් අතට මොන අන්දමේ වැට කඩුලු දැම්මත් බැන්දත් වෛරසය එනව නම් එනවා. ඇල්ෆා කොවිඩ්-19 ප්‍රභේදය ආවේ ඒ වාගෙ ආරක්‍ෂාව සලසා තිබුණු අතරේය. ඩෙල්ටා ප්‍රභේදය ආවෙත් ඒවාගෙය. විදේශයෙන් පැමිණි අය තාවකාලිකව ලැගුම් ගන්නා හෝටල්වලටත් දැඩි වගකීමක් තියෙනවා වෛරසය පැතිරීම වැළකෙන අයුරින් කටයුතු කිරීමට” ඒ මහතා වැඩිදුරටත් කීවේය.
ජාන විශ්ලේෂණයක් අවශ්‍යයි
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතාගේ මතය එන්නත් කිරීමම ප්‍රමාණවත් නොවන බවයි. ජාන විශ්ලේෂණ පර්යේෂණයක්ද අත්‍යාවශ්‍යය.
පූර්ණ එන්නතකරණයට පාත්‍ර වුවත් පී.සී.ආර්. පරීක්‍ෂණයෙදී ඍණාත්මක බව පෙන්නුම් කළත් ඒ තැනැත්තාට රෝග ලක්‍ෂ ඇත්නම් හෝ එවැනි කෙනකු ඇසුරු කර ඇත්නම් හෝ ඒ තැනැත්තා පිළිබඳ අධීක්‍ෂණයක් කළ යුතුයි. එවන් අය සඳහා ජාන විශ්ලේෂණ පරීක්‍ෂණයක් කර වෛරස් ජානය හඳුනාගත යුතුයි. එසේ නොමැතිව රට විවෘත කිරීම නොකළ යුත්තකි. මේ තීරණය ගත යුතුව තිබුණේ ජාන විශ්ලේෂණ පරීක්‍ෂණ පහසුකම් වර්ධනය කළාට පසුවයි.
උද්ධච්ච තීන්දුවක්
සෞඛ්‍ය වෘත්ත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ්
කිසිම එන්නතකින් සියයට සියයක ආරක්‍ෂාවක් ලැබෙන්නෙ නෑ. ඒකෙන් කෙරෙන්නෙ මරණය සහ මරණාසන්න ස්වභාවය අවම කිරීමකි. වෛරසය ආසාදනයවීම හෝ සම්ප්‍රේෂණය මෙයින් නවතින්නේ නෑ. ඒ අනුව පූර්ණ එන්නත්කරණය කළ බව කියන නිර්නායකයක් මත බැහැරියකු මෙරටට වද්දාගැනීම යන්නෙහි පැහැදිලි අර්ථකථනය යනු වෛරසය තව කෙනකුට ආසාදනය කළහැකි අයකු එමෙන්ම සම්ප්‍රේෂණය කළ හැකි අයකු කිසිදු වගවිභාගයක් නොමැතිව සමාජගත කිරීමකි.
වෙනත් රටවල පී.සී.ආර්. පරීක්‍ෂණ පැවැත්වීමේ ආදීනව දෙකක් ඇත. පළමුවැන්න එම පරීක්‍ෂණයක සංවේදීතාව පවත්නේ සියයට හැත්තෑවකි. දෙවැන්න පී.සී.ආර්. පරීක්‍ෂණයකට යටත් කළ අයකු ගුවන්ගත වූ විට දින දෙක තුනකින් ඒ සංවේදීතා වෙනස් විය හැකියි.
ඒ අනුව පී.සී.ආර්. පරීක්‍ෂණය කළ සංචාරකයන්ට මෙරටට පැමිණීමට ඉඩදීම යනු ආසාදිතයන් ගෙන්වා ගැනීමකි. අනිත් අතට සංචාරකයන් වශයෙන් මෙරටට එන්නේ ඉන්දියාව, බංග්ලාදේශය සහ පාකිස්තානය වැනි කොරෝනා වෛරසය ඉහටත් උඩින් පැතිරුණු රටවලින්. ඉන්දියාවෙ මරණ සංඛ්‍යාව කොපමණද?
මේ අයට අවශ්‍ය රටට වසන්තය උදාවුණා කියන පණිවුඩේ දෙන්නයි. කොවිඩ් 19 වෛරස් රැලි ආ සෑම වෙලාවකම සෞඛ්‍ය අංශත් මහජනතාවත් දිවා රෑ නොබලා කරන කැපවීමෙන් සහනශීලී තත්ත්වයක් ඇතිකර ගන්නවා. ඒ අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශය ගන්නා උද්ධච්ච තීන්දුවකින් යළිත් රැල්ලක් ඇතිවෙන තැනට මං පෑදෙනවා.
චන්ද්‍රසේන මාරසිංහ










