අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය පිහිටා ඇති කපුරැල්ල උණුදිය තෙත්බිම් ප්‍රදේශය ලංකාවේ මේ දක්වා හමුවූ පළමු භුතාප තෙත් බිම ලෙස ඉතිහාසගත වෙනවා.Sri Lanka Latest News
භුමි ප්‍රමාණයෙන් හෙක්ටයාර් 20.1 ක ප්‍රමාණයක් සහිත මෙම තෙත් බිම් කොටස සංරක්ෂණය කර ගැසට් කිරීම සඳහා පරිසර අමාත්‍යංශය සහ ඊට අනුබද්ධිත ආයතන වන ජාතික ජල සම්පත් මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටිනවා.
සාමාන්‍යයෙන් ලංකාවේ උණුදිය උල්පත් කුඩා පොකුණු ලෙස පැවතුණත්, කපුරැල්ලේදී දක්නට ලැබෙන්නේ පුළුල් ප්‍රදේශයක් පුරා පැතිරුණු උණුදිය වගුරු ස්වභාවයක්.
පොළොව අභ්‍යන්තරයේ ඇති පාෂාණ ස්ථර මගින් රත්වන ජලය, බුබුළු දමමින් මතුපිටට පැමිණෙන ආකාරය මෙහිදී දැකගත හැකියි.මෙහි ජලයේ උෂ්ණත්වය සාමාන්‍ය තෙත්බිම් වලට වඩා වැඩි බැවින්, ඒ සඳහා ඔරොත්තු දෙන සුවිශේෂී බැක්ටීරියා සහ ක්ෂුද්‍ර ජීවී විශේෂ මෙහි වාසය කරන අතර උණුසුම් පරිසරයක වැඩෙන ජලජ ශාක සහ විවිධ පක්ෂීන් රැසකට මෙම තෙත්බිම වාසස්ථාන සපයනවා.
සාමාන්‍ය තෙත්බිම්වලට වඩා වෙනස් වූ භූ විද්‍යාත්මක ලක්ෂණ පෙන්වන මෙම භූතාප තෙත්බිම් ලෝකයේ ඉතා සීමිත සංඛ්‍යාවක් පවතින අතර , එබැවින් ලංකාවේ මේ වන තෙක් හඳුනාගන්නා ලද එක ම උණුදිය තෙත්බිම වන්නේ කපුරැල්ල තෙත්බිම නිසා මෙම තෙත්බිම සංරක්ෂණය කිරීම ඔස්සේ භූ විද්‍යාව සහ උණුදිය උල්පත් පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ පර්යේෂණ සඳහා අවස්ථාව විවර වන අතර පාරිසරික තිරසර සංචාරක කර්මාන්තයන් සඳහා ද අවකාශය උදාකරගත හැකි බව කියවෙනවා.
පෙරේදා (12) දින අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි මෙම කපුරැල්ල උණුදිය තෙත්බිම සංරක්ෂණය කිරීමට අදාළ නිරීක්ෂණ කටයුතු ගරු පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර මෙම අවස්ථාව සඳහා ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්තුමිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් සහභාගී වුනා..
තිරසර ජෛව ගෝලයක් සදාහරිත ජීවිතයක් සඳහා වන ප්‍රතිපත්ති ක්‍රියාවට නංවමින් මෙවැනි වූ සංරක්ෂණය කළ යුතු පරිසර පද්ධති මතු පරපුර සඳහා දායාද කිරීමට රජය විසින් ඉදිරියේ දී ද කටයුතු කරනු ඇති.











