‘විධායක ජනාධිපති ධුරයේ වඩාත්ම විනාශකාරී උරුමය වී ඇත්තේ ක්‍රමානුකූලව බලය සංකේන්ද්‍රණය වීමයි. අනුප්‍රාප්තික ජනාධිපතිවරු තම ‘ජනාධිපති’ තනතුර භාවිත කර ඇත්තේ පාර්ලිමේන්තුව දුර්වල කිරීමට, අධිකරණය හැසිරවීමට, ස්වාධින කොමිෂන් සභා දේශපාලනීකරණය කිරීමට සහ පොදු ක්ෂේත්‍රය මිලිටරීකරණය කිරීමටය. 17, 19 සහ 21 වැනි යහපත් චේතනාවෙන් කරන ලද ව්‍යවස්ථා සංශෝධන පවා අර්ධ හෝ තාවකාලික සහනයක් පමණක් ලබා දුන්නේය. 18 සහ 20 වැනි ස්වයං ක්‍රියාවලි සේවා ප්‍රති-සංශෝධන මගින් මෙම වාසි නැවත නැවතත් අවලංගු කරන ලද අතර, එමගින් පාලනය නොකළ ජනාධිපති බලතල විධායක ක්‍රමය යටතේ මහජන වගවීම සම්පූර්ණයෙන්ම අතුරුදන් වී ඇති අතර, ප්‍රජාතන්ත්‍රවාදී සහභාගිත්වය සැබෑ පාලන තන්ත්‍රයක් වෙනුවට විධිමත් දෙයක් බවට පත්ව ඇත. එහි සැබෑ ප්‍රතිඵලය වන්නේ යම් රටක් අර්බුදයෙන් අර්බුදයට යෑමයි…’ Sri Lanka Latest News
‘විධායක ජනාධිපති ධුරය’ ආශ්‍රිත කරගෙන මෙසේ ඇසෙන බැරෑරුම් කතාන්දරය කුමක්ද? මෙය කියා සිටින්නේ කවරකු විසින්ද? මෙහි කියැවෙන විධායක ජනාධිපති ධුරය අදාළව ඇත්තේ වෙනත් කිසිදු රටකට නොව, අපගේ රට වන ශ්‍රී ලංකාවට පමණි. එනම් පසුගිය දශක කීපයක් පුරාම ශ්‍රී ලංකාව තුළ මහත් ආන්දෝලනාත්මක ලෙස කතාබහට ලක්වූ විෂයයක් වූයේ විධායක ජනාධිපති ධුරයයි. මෙරට නොයෙකුත් පාර්ශ්ව ගණනාවක් විසින් ඉදිරිපත් කරන ලද විවිධ මතිමතාන්තර රාශියකින් මෙම වතගොත සමන්විත විය. මෙහිදී මූලික වශයෙන් හෙළිවූ ප්‍රධානතම කරුණ වූයේ මෙරට විධායක ජනාධිපති ධුරය ස්ථාපිත කෙරී දැනට වසර 47ක් ගතව ඇතත්, මෙතෙක් එවැනි තනතුරක කිසිදු අහෝසි කිරීමක් දක්නට නැත. මෙම ලිපියේ ඉහළින් ලියූ කතාව කුමක්දැයි දැන් සොයා බලමු. ඉහත එම වතගොත අපට අසන්නට ලැබුණේ මෙයට දින කීපයකට පෙරදීය. එනම් ප්‍රකට ඉංග්‍රීසි පුවත්පතක පළකෙරුණු එක්තරා විශ්ලේෂණාත්මක ලිපියක එසේ සඳහන්ව තිබිණි. වත්මන් ජාතික ජන බලවේග රජය යටතේදීද මෙම විධායක ජනාධිපති ධුරය ඒ ආකාරයෙන්ම පවතින බව එම ඉරිදා ඉංග්‍රීසි පුවත්පතේ දීර්ඝ ලිපිය කියා සිටියි. මෙම දීර්ඝ විශ්ලේෂණයේ සුවිශේෂ කරුණු මොනවාදැයි අපි සොයා බලමු
‘විධායක ජනාධිපති ධුරයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවය තේරුම් ගැනීමට එහි මූලාරම්භය නැවත සලකා බැලීම වටී. 1971-72 දී පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේදී එවක විපක්ෂ නායක ජේ.ආර්. ජයවර්ධන විසින් ජනාධිපති ආකෘතියක් යෝජනා කළේය. එහෙත් විධායක ජනාධිපතිවරයකුට ක්‍රියාත්මක කළ හැකි අධික බලතලවලින් මුලින්ම ප්‍රතිලාභ ලබන්නේ තමන් බව දැන සිටියද අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක විසින් එම යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කළාය. එවැනි බල සංකේන්ද්‍රණයක් ශ්‍රී ලංකාව වැනි රටකට නුසුදුසු බව අවබෝධ කරගැනීම තුළ ඇගේ ප්‍රතිපත්තිමය විරෝධය මුල්බැස තිබිණි. පසුව ජේ.ආර්. ජයවර්ධන යටතේ එක්සත් ජාතික පක්ෂය විසින් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර, විධායක ජනාධිපති ක්‍රමය නිර්මාණය කළේය. නමුත් ඉන් පසු වසරවලදී එක්සත් ජාතික පක්ෂයේ බොහෝ දෙනෙක් එය හඳුන්වාදීම ගැන කනගාටු වූහ. එදා මෙම අත්හදා බැලීම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ ස්ථිර විකෘතියක් බවට පත්ව තිබිණි. මෙලෙස ස්ථාපිත කරන ලද විධායක ජනාධිපති ධුරය, ඒකාධිපතිවාදයේ සංස්කෘතියක් මුල් බැසගෙන ඇති අතර, රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ඛාදනය කර ඇත. විධායක ජනාධිපති ධුරය බලය අනිසි ලෙස භාවිත කිරීමට පහසුකම් සැලසුවා පමණක් නොව, වාර්ගික බෙදීම් ගැඹුරු කළේය. මෙරට වාර්ගික සිවිල් යුද්ධය දිගුකිරීමටද දායක විය. එසේම ප්‍රජාතන්ත්‍රවාදී ආයතන නිරන්තරයෙන් අඩපණ කළ පාලන විලාසයක්ද සක්‍රීය කළේය.
ඉහත ආකාරයට එම විශ්ලේෂණය විසින් විධායක ජනාධිපති ධුරයේ ආදීනව ගැන අවධාරණය කරයි. වර්තමානයේ මෙම ජාතික ජන බලවේගය රජය යටතේ විධායක ජනාධිපති ධුරය හැසිරවෙන්නේ කෙසේදැයිද විශ්ලේෂණය තවදුරටත් කියා සිටී. මෙම රජය යටතේ අද ශ්‍රී ලංකාව තීරණාත්මක සන්ධිස්ථානයක සිටින බවද, එහෙයින් රට නව මාවතකට පිවිසීමේ අවස්ථාවක් ලැබී ඇති බවද අවධාරණය කරයි. විශ්ලේෂණයේ එම පරිච්ඡේදයන් කියා සිටින්නේ කුමක්දැයි සොයා බලමු.
‘ශ්‍රී ලංකාවේ පාලන අසාර්ථකත්වයන් බොහොමයකට මූලික හේතුව ලෙස පිළිගැනෙන පද්ධතියක් වන්නේ විධායක ජනාධිපති ක්‍රමයයි. දශක ගණනාවක දේශපාලන අස්ථාවරත්වය, ආර්ථික අර්බුද සහ ආයතනික පරිහානියෙන් පසු ජාතියට අවසානයේදී විනාශකාරී අතීතයකින් මිදී නව මාවතකට පිවිසීමට දැන් අවස්ථාවක් ලැබී තිබේ. දැන් ජාතික ජන බලවේගය සහ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ප්‍රතිසංස්කරණවාදී රජයක් සමග තීරණාත්මක ක්‍රියාමාර්ග ගැනීමට කාලය පැමිණ තිබේ. රජය නොයෙකුත් පොරොන්දු ලබාදී ඇත. එහෙත් කනගාටුවට කරුණ නම් ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් මාස 09කට පසුවත්, ජාතික ජන බලවේගය ප්‍රමුඛ පරිපාලනය තවමත් විශ්වසනීය ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ආරම්භ කර නොමැත. මෙම ප්‍රමාදය දැනට මහජන කලකිරීමකට පත්ව ඇත. ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ වඩාත් ඛේදජනක උත්ප්‍රාසයක් නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් පක්ෂ සහ දැන් ජාතික ජන බලවේගය ඇතුළු සෑම ප්‍රධාන පක්ෂයක්ම පාහේ යම් අවස්ථාවකදී විධායක ජනාධිපති ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා සිටීමයි. එහෙත් යම් පක්ෂයක් බලයට පත්වන සෑම අවස්ථාවකම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පහසුවෙන්ම කල්දමනු ලබයි. වත්මන් රාජ්‍ය පරිපාලනය යටතේදීද මෙම කරදරකාරී ප්‍රවණතාව නැවත මතුව තිබේ. මැතිවරණ සමයේදී ජාතික ජන බලවේගයේ නායකයන් ප්‍රකාශ කළේ 2024 ජනාධිපතිවරණයෙන් පසුව අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ අවසාන විධායක ජනාධිපතිවරයා වනු ඇති බවයි. එවැනි ප්‍රකාශයන් ගණනාවක්ම පසුගිය මැතිවරණ සමයේදී අසන්නට ලැබිණි…’
‘මෙම රජය පත්ව මාස නවයක් ගතවී ඇතත් මෙම ක්‍රියාවලිය සඳහා කිසිදු මාර්ග සිතියමක්, ධවල පත්‍රිකාවක්, ව්‍යවස්ථා කමිටුවක් සහ කෙටුම්පතක්ද නොමැත. මෙලෙස දෘශ්‍යමාන ප්‍රගතියක් නොමැතිකම සාධාරණ ලෙස මහජන කනස්සල්ලට හේතු වී තිබේ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අත්‍යාවශ්‍ය බවත්, රජයේ ධුර කාලය අවසන් වීමට පෙර විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවත්, පසුගියදා අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී නැවත වරක් අවධාරණය කළාය. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සඳහා සැබැවින්ම කැපවී සිටින අයට ප්‍රතිපත්තිමය හා ප්‍රායෝගික විසඳුමක් තිබේ. දැන් සිටම මෙම ක්‍රියාවලිය ආරම්භ කරන්න. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට පාර්ලිමේන්තු පාලන ක්‍රමයක්, ශක්තිමත් ස්වාධීන කොමිෂන් සභා, පළාත්වලට බලය බෙදාහැරීම සහ අධිකරණ ප්‍රතිසංස්කරණද ඇතුළත් විය හැකිය. මේ සියල්ල ප්‍රජාතන්ත්‍රවාදී වගවීම සහ පුරවැසි සහභාගිත්වය මත පදනම් වේ. මෙහිදී සිවිල් සමාජය, නීති විශේෂඥයන්, දේශපාලන පක්ෂ සහ ජාත්‍යන්තර හවුල්කරුවන්ද මෙම ක්‍රියාවලියේ කොටස්කරුවන් විය යුතුය. හිස් පොරොන්දුවලින් හෙම්බත්ව ඇති ජනගහනයක විශ්වාසය දිනාගැනීම සඳහා විනිවිදභාවය සහ මහජන සහභාගිත්වයද ඉතා වැදගත් වනු ඇතිය…’
‘ඉංග්‍රීසි බසින් මෙම සුවිශේෂ විශ්ලේෂණය පසුගිය ඉරිදා ඉංග්‍රීසි පුවත්පතකට සිදුකරනු ලබන්නේ මෙරට සිටින ප්‍රවීණ නීතිවේදියකු මෙන්ම මානව හිමිකම් විමර්ශකයකුද වන අහමඩ් යූසුෆ් විසිනි. ඔහු කලක් සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මෙන්ම හිටපු විදේශ අමාත්‍ය, අභාවප්‍රාප්ත ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙසද කටයුතු කර ඇත. ජාතික මානව හිමිකම් කොමිසමේ සාමාජිකයකු ලෙසද කටයුතු කර ඇති ඔහු, දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ නීතිඥයකු ලෙසද කටයුතු කරනු ලබයි.
විධායක ජනාධිපති ධුරය යනු හුදෙක්ම දෝෂ සහිත ආයතනයක්ම පමණක් නොවේ. එය ශ්‍රී ලංකාවේ විභවය අඩපණ කළ දේශපාලන සංස්කෘතියක ප්‍රතිමූර්තියකි. ජනවාර්ගික ගැටුම්, ආර්ථික ව්‍යසනය, මානව හිමිකම් උල්ලංඝනයන් වැනි රට මුහුණ දුන් සෑම විපතක්ම මෙම ආයතනයේ පාලනයකින් තොරව බලය මගින් උග්‍ර කර ඇත…’

ප්‍රියන්ත හෙට්ටිගේ










