පසුගිය 2023 වසරේ ඔක්තෝබර් 26 වැනිදා පිටපත් කිරීම කටයුතු ආරම්භ කළ ලංකාවේ දැවැන්තම සෙල්ලිපිය වූ දිඹුලාගල සෙල්ලිපියේ අන්තර්ගතය ප්‍රකාශ කිරීමට දින 14ක් ගතවන බව පුරාවිද්‍යා නිලධාරීන් ප්‍රකාශ කළ නමුදු මේ වනවිට මාස හතරකට ආසන්න කාලයක් ගත වුවද සෙල්ලිපිය පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති වීම සැකකටයුතු තත්ත්වයක් බව දිඹුලාගල ආරණ්‍ය සේනාධිපති පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර හිමිපාණන් පැවසූහ. (Sri Lanka Latest News)
දිඹුලාගල ආරණ්‍ය සේනාසයේදී පසුගිය 26 වැනිදා විශේෂ පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් උන්වහන්සේ මේ තත්ත්වය පිළිබඳ දැඩිව අවධානය යොමුකරන ලෙස ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන් සහ සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කළහ.
උන්වහන්සේ එහිදී අවධාරණය කළේ සෙල්ලිපියෙන් කියැවෙන ඉතිහාසය හා අර්ථකථනය මෙතෙක් හෙළි නොකිරීම පිටුපස යම් සැලසුම්සහගත කුමන්ත්‍රණයක් පවතින බවට දැන් නම් තමන්ටත් සැක සිතෙන බවය.
තවද මේ වනතුරුත් සෙල්ලිපිය නැරඹීමට යෑමේ දුෂ්කරතා මතුව ඇති හෙයින් ඉතා කඩිනමින් සෙල්ලිපිය නැරඹීමට ප්‍රවේශ මාර්ගයක් සහ ස්ථානයේ ආවරණයක් සහ ආලෝක පද්ධතියක් සවිකිරීමට කටයුතු කරන ලෙසද උන්වහන්සේ ඉල්ලූහ.
දිගින් අඩි 50 ක් සහ උසින් අඩි 09 ක් පමණ ඇති මෙම ශිලා ලේඛනය, ක්‍රිස්තුපූර්ව පළමු සහ තුන්වැනි සියවස අතර පූර්ව බ්‍රාහ්මීය අක්ෂරවලින් ලියා ඇති බව ඒ පිළිබඳ ගවේෂණය කළ පුරාවිද්‍යා ගවේෂකයෝ ප්‍රකාශ කරති.
අප මේ පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව සහකාර අධ්‍යක්ෂ එම්.ජී. රත්නපාල මහතාගෙන් දුරකතනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඊළඟ අදියර වන්නේ විශාලතම සෙල්ලිපිය ආරක්ෂා කිරීමත්, එය නැරඹීමට ප්‍රවේශ මාර්ග ඉදිකිරීම, සහ එම ස්ථානයට විදුලි ආලෝක සපයා දීමත් බවයි.
lankasara