ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමෙන් ඇති වූ ‘මොන්තා’ සුළි කුණාටුව හෙට (28) දිනයේ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවයි.Sri Lanka Latest News
එම සුළි කුණාටුව ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගොඩබිම දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා පැවසීය.
මේ තත්ත්වය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුර, උතුරු-මැද, වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පැ.කි.මී. 50-60ක් පමණ විටින් විට හමන තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද සුළං පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එමෙන්ම උතුරු අක්ෂාංශ 05ත් 15ත් සහ නැඟෙනහිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු ප්‍රදේශවල, නැවත දැනුම් දෙනතුරු ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ. මේ වන විට එම ප්‍රදේශයේ ධීවර කටයුතුවල යෙදී සිටී නම් එම මුහුදු ප්‍රදේශවලින් ඉවත් වන ලෙසත් උපදෙස් දෙනු ලැබේ.
නැවත දැනුම් දෙනතුරු, කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකළපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවික කටයුතුවලන් වැළකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ.
ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාව, මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනු ලැබේ.
මේ ගැඹුරු පීඩන අවපාතය ඊයේ (26) උදෑසන 5.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර 720ක් පමණ දුරින් ඊසාන දෙසින් කේන්ද්‍රගත වී පැවතුණි. ඊයේ (26) පෙරවරු 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලෙස මි. මී. 55.3ක් මීගමුව ප්‍රදේශයෙන් වාර්තා විය.
අද (27) දිනයේ උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණුවලින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ (26) පෙරවරුව වන විට දිස්ත්‍රික්ක 18ක පවුල් 7407ක පුද්ගලයන් 29,458ක් බලපෑමට ලක්වී සිටි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
පසුගිය 18 වැනි දින පමණ සිට තද සුළං, තද වැසි, ක්ෂණික ගංවතුර, කණ්ඩි කඩා වැටීම්, ගස් කඩා වැටීම්, නාය යෑම්, අකුණු අනතුරු හේතුවෙන් දිවයිනට මේ ආපදා තත්ත්වය ඇතිවී තිබේ. මේ තත්ත්වය හේතුවෙන් ඊයේ (26) පෙරවරුව වන විට මිය යෑම් 04ක් සිදු වී ඇත.
තුවාල ලැබූ සංඛ්‍යාව 02කි. පූර්ණ නිවාස හානි දෙකක් වන අතර, අර්ධ නිවාස හානි 759කි. ඥාති නිවාස වන පවුල් 49ක පුද්ගලයන් 202ක් සිටිති. ආරක්ෂක ස්ථාන 02ක පවුල් 11ක පුද්ගලයන් 45ක් සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ. රාජාංගණය, කලාවැව, අංගමුව, දැදුරු ඔය, පොල්ගොල්ල ජලාශවල වාන් දොරටු ඊයේ පෙරවරුව වන විට විවෘතව තිබිණ.










