කොරෝනා නුඹ හරිම පුදුමයි. ජීවිතවලට ගොඩාක් පාඩම් කියා දුන්නා. ජීවිත කඩා වැට්ටුවා ජීවිත වෙන්කෙරුවා. ජීවිත හැරගියා. ජීවිත සමුගත්තේ ආදරණියයන් ඇස් පනාපිට ඩැහැගෙන ගිහිල්ලයි. ඒ මිනියවත් දැකගන්න බැරිවන ලෙසයි. කොරෝනා නුඹ හරිම නපුරු හීනයක්, හරිම අකාරුණිකයි.
අපි දිනපතා කොරෝනා ගැන අහලා තිබුණට, දැකලා තිබුණට තමන්ට හැදුණාම සමාජයෙන් ලැබෙන සැලකිල්ල සමහර වෙලාවට ජීවිතයෙන් පලායන්න තරම් සිතන අවස්ථාද නැතුවා නොවේ. අපි උවමනාවෙන් කොරෝනා හදාගෙන එන්නේ නැහැ. කාටවත් එහෙම චෝදනා කරන්න හොඳ නැහැ. ගෙවල්වල තිබෙන නිරෝධායන දැන්වීමකින් පුළුවන් නැදෑයෝ, යාළුවෝ, අසල්වාසීන්ගේ මනුස්සකම තියෙනවාද කියලා හොඳට දැනගන්න. කොරෝනා හැදුණු ලෙඩෙක් දිහා භයානක සතෙක් දිහා බලනවා වගේ බලන්න එපා. අපි කවුරුත් මිනිස්සු. ආදරයෙන් කරුණාවෙන් මිනිස්සු දිහා බලන්න. ඔවුන්ට සලකන්න පුරුදු වෙන්න. අද මට වුණු දේ හෙට ඔයාට වෙන්න පුළුවන්. එදාට දැනෙයි ඒ අසරණකම. සමහරු කොරෝනා දකින්නේ ඒඩ්ස් වගෙයි. සමාජයේ ගැටෙනකොට කොතරම් ආක්ෂා වුණත් කොරෝනා මාරයාගෙන් ගැලවෙන්න බැරි අවස්ථා තියෙනවා. එහෙම මිනිස්සු මේ සමාජයේ අනන්තවත් ඉන්නවා.
එදා හරියටම මැයි 26 වැනිදා පාන්දර 4ට පමණ තද සීතලෙන් වෙව්ලන්න ගත්තා. පාන්දර 5 වෙනකම්ම ඇඳේ ඒ මේ අත පෙරළෙමින් සිටියා. පාන්දර නැඟිටිනකොට මාව වීසිවෙලා ගියා බැලන්ස් නැතුව වගේ, කොරෝනා ගැන අහලා තිබුණාට මේ මටත් හැදිලා තියෙන්නේ කොරෝනාද කියලා හිතට සැකයක් ආව වාර අනන්තයි. ටිකක් දවල් වෙනකොට උණ ගතිය උස්සන්න වුණා. නහය බරගතියෙන් ඔළුව කකියන්න ගත්තා. දින කිහපයක සිටම දණහිස් වේදනාව දැනුණත් මා එය ගණනකට ගත්තේද නැහැ. ඒ වගේම තුනටිය දෙපස වේදනාවක්ද තිබුණා. ඒ අවස්ථාවේ ගෙදර අයද බොහෝ බියට පත්වෙලයි සිටියේ. ඒ වෙද්දි මම සිනොෆාර්ම් එන්නතේ පළමු මාත්‍රාව අරගෙන දින දහයයි. මම හිතට ශක්තිය අරගෙන බෑගයකට ඇඳුම් 4ක්, සබන් කෑල්ලක්, දන්තාලේප, දත් බුරුසුවක්, පිඟානක්, කෝප්පයක් දමාගත්තේ කෙසේ හෝ රෝලකට ගොස් සැකය තහවුරු වෙනකන් නැවතී සිටීමේ අරමුණෙන්. ත්‍රීවීලරයක නැඟී ජයවර්ධනපුර රෝහල කරා යනවිට මා සේවය කරන ‘මව්රට’ පුවත්පත් කාර්යාලයෙන් දුරකතන ඇමතුමක් ලැබුණා. ඔවුන්ට මගේ අසනීප තත්ත්වය පැවැසූ පසු, ආසිරි මෙඩිකල් රෝහල වෙත ගොස් එහි ධඡෘ අංශයට පෙන්වන ලෙස කාර්යාලයෙන් මට දැනුම් දුන්නා. වෛද්‍යවරයා මා පරීක්ෂා කර මට ඇත්තේ කොරෝනා රෝග ලක්ෂණ යැයි පවසා ඡක්‍ඍ පරික්ෂණයක් කරන ලෙස දැනුම් දුන්නා. මම බොහෝ බියට පත්වුණා. නමුත් එම රෝහලේ ඡක්‍ඍ පරික්ෂණ කරන්නේ නැවතිලා සිටින රෝගීන්ට පමණක් බව ඔවුන් කිව්වා. ඔවුන් දැනුම් දුන්නේ ආසිරි සර්ජිකල් රෝහල වෙත යන ලෙසත්, ඡක්‍ඍ ප්‍රතිඵල ලැබීමට පැය 48ක් ගතවනව බැවින් එතෙක් නිවෙසට වී සිටින ලෙසයි.
ඒ අවස්ථාවේ මම දෙලොවක් අතර තනිවුණා. මොකද ගෙදර සිටින්නේ වයසක මවුපියන් දෙපළ පමණයි. ගෙදර ගියොත් මට කොරෝනා නම් අසරණ වෙන්නේ ඔවුන්ය. කෙළින්ම මම ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත ගියා. එහිදි ඇන්ටිජන් සහ ඡක්‍ඍ පරික්ෂණ කළා. ඒ සඳහා වියදම් වුණේ රුපියල් 6,500ක් වැනි මුදලකි. ඇන්ටිජන් පරික්ෂණයේ ප්‍රතිඵල පැයක් ඇතුළත ආවා. එහිදී පොසිටිව් බව තහවුරු වුණා. ඒ වෙලාවේ හිතට දැනුණු බිය තනිකම වගේම ජීවිතයත් මරණයත් අතර සටනක් බව හිතට දැනුණාම දැනෙන හැඟීම, එහෙම හැදුණු කෙනෙක්ට විතරයි කියලයි මම නම් හිතන්නේ. පසුව ජයවර්ධනපුර රෝහලේ කොරෝනා රෝගීන් සිටින වාට්ටුවට ඇතුළත් වුණා. එදාම රෑ 11ට පමණ ආරක්ෂිත ඇඳුම් ඇඳගත් හෙදියක් ඇවිත් මට පැවැසුවේ මාලබේ පිහිටි නෙවිල් ප්‍රනාන්දු රෝහලට යන්න ලෑස්ති වෙන්න කියලයි.
ජීවිතයේ කවදාවත් ඇම්බියුලන්ස් එකක ගිහිල්ලා නැති මට පුදුම බයක් අසරණකමක් දැනුණේ තනියම එවැනි ගමනක් යෑමට සිදුවීම නිසා. ඇම්බියුලන්ස් එකට දාලා වහනකොට මිනි පෙට්ටියක දාලා වහනවා වගේ හැඟීමක් දැනුණේ මට විතරද? ඒකේ හිටපු රියැදුරු මහතා කියා සිටියේ “බයවෙන්න එපා. අපි නෙවිල් ප්‍රනාන්දු එකට යන්නේ. ්ක් දාන්නේ නැහැ. මොකද හොඳ නැති නිසා. ජනේලය ඇරගන්න” කියලා මට ජනේලය පෙන්නුවා. ඒ කාරුණික වචනවලට අදටත් පිං දෙනවා. ඒ අසරණකමේ තිගැස්ම අදටත් ඇම්බියුලන්ස් සද්දේ ඇහෙනකොට ඇස්වලට කදුළු උණනවා. මඳ දුරක් යන විට ඇම්බියුලන්ස් එක ඇතුළේ ලයිට් දැම්මා.
ඇම්බියුලන්ස් එකෙන් බැසගත් මට රෝහලේ ආරක්ෂක අංශයෙන් දැනුම් දුන්නේ තුන්වැනි තට්ටුවට යන ලෙසයි. මම එහි ගොස් මට ඇඳක් ලැබෙනා තුරු එහි වූ කොරිඩෝවේ පුටුවක වාඩිවී සිටියා. ඒ වෙලාවේ හිතට තනිකමක් පාළුවක් දැනුණා. වෛද්‍ය කාර්ය මණ්ඩලය සිටින්නේ වීදුරුවලින් වෙන්කරන ලද කාමරයක බව මා දැක්කා. වෙලාව රාත්‍රි 11.30ට පමණ ඇති. එතැනින් යන නංගි කෙනෙක් ඇහුවේ “රෑට කාලද ඉන්නේ අක්කා, කාලා නැත්නම් නුඩ්ල්ස් තියෙනවා…” කියලයි. ඒ නංගිව පසුව හඳුනාගන්න ලැබුණා. ඇය කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ ගුරුවරියක් වන ඉමායා පෙරේරා. එහෙම කතාකරලා ඇහුවාම මගේ හිතට ලොකු ශක්තියක් ආවා. මට ලැබුණේ හත්වැනි වාට්ටුවේ 20 වැනි ඇඳයි. මම ඇඳ අස්කරගෙන දින 10ක නිරෝධායන කාලයකට ලෑස්ති වුණා. රාත්‍රියේ දවල් වෙච්ච මහන්සියට හොඳටම නින්ද ගියා.
පසුදා උදෑසන 6ට පමණ මා අවදිවන විට උදෑසන තේ පානය කරන්න සියලු දෙනාට එන්න කිව්වා. සෑම අවස්ථාවකම තේ, කෑම, බෙහෙත් ගන්න කියලා ශබ්ද විකාශන යන්ත්‍ර මගින් දැනුම් දෙනවා. එක් රෝගියකුට මේ දින 10 ඇතුළත ගෙදරින් බඩු ගෙන්වාගත හැක්කේ දෙවතාවක් පමණයි. ඒ දරුවන්ට පාවිච්චි කරන පොත්පත්, දැනට භාවිත කරන බෙහෙත්, ළදරුවන් සහ මවුවරුන් සඳහා විශේෂිත පිටි වර්ග සහ ඇඳුම් පමණයි. එලෙස නිවෙස්වලින් එවන ද්‍රව්‍ය රෝහලේ ආරක්ෂක අංශයට භාර දුන් පසුව උදෑසන උදේ 11ට සහ සවස 4ට එම භාණ්ඩ ආරක්ෂක අංශයෙන් ලබාගන්න පුළුවන්. මේ දේවල්වලට අමතරව වෙනත් කිසිම දෙයක් ගෙදරින් ගෙන්වා ගැනීමට අවසර නැහැ. අවශ්‍ය සෑම දෙයක්ම හැකි අයුරින් රෝහල් කාර්ය මණ්ඩලය සපයනවා. ඒ, සම්පූර්ණයෙන්ම නොමිලේ.
ඒ දින දහය ඇතුළත හැම වාට්ටුවකටම වැඩකළ හැකි කණ්ඩායම් නායිකාවක් (ලීඩර්) කෙනෙක් පත්කරගන්නවා. වාට්ටු 8ට ලීඩර්ස්ලා අටදෙනෙක් සිටිනවා. එක්කෙනෙක් නිරෝධායන කාලය අවසන් කරනකොට තව කෙනෙක් ඒ සඳහා පුහුණු වෙනවා. එයා තමයි වාට්ටුවට අවශ්‍ය සියලු දේවල් වෛද්‍ය අංශය ඇතුළු කාර්ය මණ්ඩලයට දැනුම් දෙන්නේ. ඒක හොඳ සාර්ථක ක්‍රමයක් වෛද්‍යවරු සහ රෝගීන් අතර සම්බන්ධතාව ගොඩනගන්න. මේ නායිකාව තමයි වාට්ටුවේ රෝගීන්ට අවශ්‍ය බෙහෙත්, තේ, කෑම, අවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් ලැයිස්තු ගිහින් කියන්නේ. වාට්ටුවට අවශ්‍ය කෑම ලබාගන්නේත් ඇය විසින්මයි. වාට්ටුවල නිරෝධායනය වන අනෙක් රෝගීන්ද ඇයට සහාය වෙනවා.
රෝගීන් අනුව කෑම වර්ගීකරණය කරලයි තියෙන්නේ. තුන්වේලටම කෑම පැකට් පාර්සල් කරලා වාට්ටුවේ අංකය සඳහන් කළ ලේබල් අලවා කණ්ඩායම් නායිකාවට භාර දෙනවා. ඩයබිටික් ඩයට්) දියවැඩියා රෝගින්ට, ( මදර් ඩයට්) දරුවන් ලැබෙන්න සිටින මව්වරුන්ට, නෝමල් ඩයට්) සාමාන්‍ය අයට, වයිට්කරි කුඩා දරුවන්ට, :බ්ලෙන්ඩර් ඩයටි මාස 6ට වැඩි දරුවන්ට ආදී වශයෙන් අදාළ පාර්සලයේ සඳහන් කර තිබෙනවා. මුල් දිනවලදි බොහෝ වෙලාවට බෙහෙත් වශයෙන් ලැබුණේ විටමින් සී පෙති 5ක්, විටමින් ඩී පෙත්තක්. උණුවතුර හීටර්ස් තිබෙනවා හැකි සෑම වෙලාවකම රත්කරගෙන දුම අල්ලගන්න පුළුවන්. ඒ දුම් අල්ලාගැනීමෙන් තමයි හුස්ම ගන්නට පහසු වෙන්නේ. ඒ වගේම විෂබිජ විනාශ වෙනවා.
දිනපතාම සෑම රෝගියකුටම බිත්තරයක් සහ සුප් ලබාදුන්නා. ඒ, ශක්තිය ලැබෙන්නයි. ඒ වගේම වාට්ටුවට අවශ්‍ය මාස්ක්, පිටි, සීනි, තේකොල, සමපෝෂ වැනි දේවල් සහ රෝගීන්ට අවශ්‍ය නම් ඇඳුම්, ඇඳ ඇතිරිලි, සෙරෙප්පු, දන්තාලේප වැනි දෑ ගැන සඳහන් කරලා අදාළ අංශයට දුන්නාම ඒ සෑම දෙයක්ම ඊට පසු දිනයේදී නොමිලේ ලබාදෙනවා.
නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කොරෝනා වාට්ටු තිබෙන්නේ කාන්තා පාර්ශ්වයට පමණයි. කොවිඩ් ආසාදිත වුණු කුඩා පිරිමි දරුවන්ට සිය මව සමග රෝහල්ගත වීමේ පහසුකම එහි ලබාදී තිබෙනවා.
වාට්ටු පිරිසිදු කරන කටයුතු සිදුකළේ වාට්ටුවල සිටින අප විසින්මයි. සේවකයෝ එන්නේ නැහැ. බාත්රූම් සෝදන්න උදේ 9ට සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් ඇඳගත්තු සේවකයෝ එනකොට රෝගීන්ට අයින්වෙන්න කියලා එනවුස් කරනවා. අපි වාට්ටුව අතුගෑවා. පොළොව පිරිසිදු කළා. කසළ රැගෙන ගියා. වෙලාවට එනවුස් කරනවා කුණු බෑග් අරන් එන්න කියලා, එතකොට වාට්ටුවේ නායකයන් කුණු ගෙනිහිල්ලා දානවා. සෑම වාට්ටුවකටම රූපවාහිනියක් තිබෙනවා. ඒ නිදහසද අපට භුක්ති විඳින්න ලැබුණා. මෙතැනට එන සෑම රෝගියෙක්ම සිහි තබාගත යුතු දෙයක් තිබෙනවා. මේ සියලු දෙනා කොරෝනා හැදිලා අසරණ වෙලයි මෙතැනට ඇවිත් තිබෙන්නේ. අප මේ එන්නේ සුරසැප විඳින්නට නොවන බවත්, රෝගය සුව කරගෙන කොරෝනා මාරයාගෙන් ගැළවීමට බවත් සිහි තබාගත යුතුයි. හැමෝම හැමෝටම හැකි ශක්තියෙන් එකිනෙකාට උදව් කළා.
ඒ සෑම මහලකම වාට්ටු 8ක් තිබෙනවා. වාට්ටු අටේම රෝගීන් සඳහා සෑම මහලකම කෙළවරේ දුරකතනයක් තිබෙනවා. ඒ, තමන්ට කිසියම් අපහසුතාවක් ඇතිවුණාම වෛද්‍යවරුන්ට ඒ බව දැනුම් දෙන්නයි. එක වාට්ටුවක රෝගින් 20 පමණ සිටිනවා. බොහෝ වෙලාවට පළමු වාට්ටුවේ සිටින්නේ කොරෝනා ආසාදිත වෛද්‍යවරුන්, හෙදියන් සහ සෞඛ්‍ය සේවයේ නියුතු අයයි. එහෙම දාන්නේ රෝගීන්ගේ ශරීරයේ සීනි මට්ටම, ඔක්සිජන්, ප්‍රෙෂර් වැනි දෙවල් බලාගන්න පහසු වෙන්නයි. එයාලටත් මේ රෝගීන්ට උදව්කරන එකෙන් ලොකු පිනක් ලැබෙනවා. ඒ වාට්ටුව තිබෙන්නේද වෛද්‍ය කාර්යමණ්ඩලය ආසන්නයේමයි. තුන්වැනි මහලේ වෛද්‍යවරු රෝගීන් ළඟට එන්නේ නැහැ. ඊට හේතුව එහි සිටින්නේ අසාධ්‍ය රෝගීන් නොවන නිසයි.
එහෙත් පළමු මහලේ සිටින්නේ අසාධ්‍ය රෝගීන්. ඔවුන්ව බලන්න වෛද්‍යවරු සෞඛ්‍යාරක්ෂිත ඇඳුම් ඇඳගෙන වාට්ටුවට එනවා. එහෙම අසාධ්‍ය රෝගියකුට සලකන්න ලැබීම ගැන මම ජීවිතයේ සතුටු වෙනවා. ඒ, රාජගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන දිසානායක සහෝදරියටයි. ඇය ජීවිතයත් මරණයත් අතර සටනක සිට මෙලොවට ආව කෙනෙක්. දින ගණනක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා කොරෝනාවෙන් බේරීමට ඇයට හැකි වුණා. සොයිසා රෝහලේ හෙද පත්වීම ලැබී දින හතරකදී කොරෝනා පොසිටිව් වූ හෙදියක් පළමු මහලේම සිටියා. ඇය කුරුණෑගල පදිංචි සකුනි නංගියි. ඇය සෑම රෝගියකුට ඔක්සිජන්, ෂුගර්, සේලයින් වගේම ලේ සාම්පල් ගන්න කාරුණික හදවතකින් තමන්ගේ නිරෝධායන කාලය ගැනවත් නොසිතා උපකාර කළා. ඒ රෝගීන් වෙනුවෙන් කළ උපකාරවලට තව තවත් ජීවිත පණගන්වන්නට ඇයට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ. මෙවැනි හොඳ ගතිගුණ තියෙන අය අප අතර සිටින එකට මගේ ඇස්වලට කඳුළු ඉනුවා.
වෛද්‍යවරු, හෙදියන්, ගුරුවරු, සුළු සේවකයන්, කුඩා දරුවන්, ගැබිනි මවුවරුන් විධායක ශ්‍රේණියේ අයට කිසිම නිලයක් තානාත්තරයක් නොමැතිව කොරෝනා මාරයා සමග සටන් කරන්න සිදුවෙලා තිබුණු බව මම ඇස්පනාපිටම දැක්කා. මේ සියලු දෙනාටම ජීවිතයේ අනිත්‍ය බව වටහාගන්න පුළුවන් වුණා.
සල්ලි තියෙනවා, ලොකු රස්සාවක් කරන්නේ කියලා හිතන්න එපා. අපි හැමෝම ඇවිත් ඉන්නේ කොරෝනා ව්‍යසනයෙන් ගොඩ එන්නයි. එකිනෙකාට උදව්කරන්න හැමෝම පරිස්සම් කරගන්න. වෛද්‍යවරු වාට්ටුවට එන්නේ නැහැ කියලා බණින්න එපා. ඔවුන්ට හැදුණොත් අපිට බෙහෙත් උගුරක්වත් දෙන්න කවුරුත් නැතිව යනවා. ඉතින් ඒ අයව පරිස්සම් කරගන්න.
සමහර වෙලාවට කොරෝනා හැදිලා අම්මා ජීවිතයෙන් සමුඅරන් ගිහින්. මිනියවත් දකින්නේ නැතුව ඇගේ දරුවන් නෙවිල් ප්‍රනාන්දු රෝහලට ගෙන එනකොට ඔවුන්ගේ පියා කොස්ගම නිරෝධායන මධ්‍යස්ථානයට ගෙනිහින්. මෘත දේහයේ අවසන් කටයුතු දකින්නේ සහෝදර සහෝදරියන් විතරයි. ඒ අවස්ථාව කොතරම් ඛේදනීයද? ඉපදිලා මාස 4ක බිලිඳෙක් අම්මා එක්ක ඇවිත් සිටියා. ඒ, අතුරුගිරියේ ඔරුවල පදිංචි නිසංකා නංගියි. ඇය වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහලට එනකොට අම්මා පොසිටිව් වෙලා නවගමු රෝහලට ගෙනිහිල්ලා. ඒ වගේම ගැබිනි මවුවරුත් හිටියා.
ශාන්ත පීතර විදුහලේ ගුරුවරියක් වූ ඉරෝමි මහත්මිය කොරෝනා හැදිලා ඇවිත් සිටියා. ඇගේ දුවලා දෙන්නාටත්, ස්වාමියාටත් කොරෝනා පොසිටිව් වෙලා. ඇය ඇස්ට්‍රාසෙනිකා එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන දින 4යි. එයාලා ගෙදරින් පිටවෙනකොට ප්‍රාර්ථනය කළේ නිරෝධායන මධ්‍යස්ථානවලට අපි හතරදෙනාම ගෙදරින් පිටවෙලා එනවා වගේම නැවත අපට ගෙදර යන්න ලැබෙන්න කියලයි. ඒක ඇහුවාම මගේ හිතට දැනුණේ කොරෝනාවලට මිනිසුන්ගේ තියෙන මරණ බය කොච්චරද කියලායි. මේවා ඇහුණාම හිතට දුකක් දැනුණා. පවුල් වෙන්කරන්න කොරෝනා කොච්චර සමත්වෙලාද? මේ සියලු දෙනා දෙවියන් බුදුන් සිහිකර ඉල්ලුවේ ජීවිතයයි.
රෝහලෙන් පිටවන තැන තිරයක් දාලා වෙන්කළ තැනක් තියෙනවා. සමහර දිනවලදි එතැන තමයි කොරෝනා සමග සටන් කරලා ජීවිතය හැරයන්න වෙච්ච මළ සිරුරු තියලා තියන්නේ. ට්‍රොලියේ සුදුපාට ප්ලාස්ටික් බෑගයක මළ සිරුරු දමා තිබෙනවා. සමහර දවසට මළ සිරුර මිනී පෙට්ටියට දාලා තියෙනවා. ඒ අයිතිකාරයන් ගෙනියන්න එනකන් විය හැක. මේ දේවල් දකිනකොට ඇස්වලට කදුළු උනනවා.
ඒ වගේම නිරෝධායන කාලය අවසන් කරලා ගෙදර යනකොට සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබාදෙන ඇම්බියුලන්ස් රථයක නිවෙසට ගෙනගොස් ඇරලනවා. ඒ බව නිරෝධායනය අවසන් කරන දින වෛද්‍ය කාර්යමණ්ඩලය විසින් රෝගීන්ට දැනුම් දෙනවා.
කොරෝනා හොඳ වුණත් මහන්සි නම් වෙන්න එපා. එහෙම වුණොත් වෙලාවක ඇදගෙන වැටෙයි. රෝහලෙන් ගියත් ටික දවසක් යනකන් වෛද්‍යවරයකුගෙන් අසා විටමින් එකක් පාවිච්චි කරන්න. හොඳට ශක්තිය එන්න කන්න. හුස්ම ගන්න අමාරු නම් ස්ටීම් කරන්න. දුරකතන ඇමතුම්වලට උත්තර දෙන එක සීමා කරන්න. එහෙම කළේ නැත්නම් හුස්ම ගන්න අපහසු වෙලා කොරෝනා මාරයාගෙන් ගැලවෙන්න ලැබෙන්නේ නැහැ. ඔබ කොරෝනා ආසාදිත වෙලා නිරෝධායනයට යනවා නම් සැහැල්ලු ඇඳුම් 4ක්, පිඟානක්, කෝප්පයක්, හැන්දක්, දත් බෙහෙත්, දත් බුරුසුවක්, සබන්, රබර් සෙරෙප්පු දෙකක්, තුවායක් උණුවතුර බෝතලයක්, මාස්ක් කිහිපයක්, කොට්ට උරයක් අරගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔබේ ප්‍රදේශය භාර ඡ්‍යෂ මහතාව දැනුවත් කරන්න. අපේ තුන්වැනි මහලේ හිටිය වෛද්‍යවරු වගේම හෙදියන් පැමිණ සිටියේ කුරුණෑගල හෙද විදුහලෙන්. එයාලා ගෙදර යන්නේ මාස තුනකට වරක්.
එයාලත් ගෙදර එනකන් එයාලාගේ ආදරණීයයන් බලන් ඉන්නවා. ඔවුන් ගෙදර යන්න ඉස්සෙල්ලා දිනයේ කොරෝනා රෝගීන් සතුටු කරන්න වගේම ඔවුන්ගේ මානසික මට්ටම නංවන්න සංගීතයෙන් වගේම සින්දු කියලා අපිව සතුටට පත්කරන්න අමතක කළේ නැහැ. ඔවුන්ගේ ඒ නිහතමානීත්වයට අදටත් හිස නමා ආචාර කරනවා.
රෝහලෙන් සනීපවෙලා ගෙදර බලා පිටව යන්න මොහොතකට පෙර අපිත් එක්ක සිටිය කොරෝනා සමග සටන් කළ ශෂිකා කළමුල්ල, වාට්ටුවේ ජනේලය මත අලවා තැබු සටහනයි මේ.
“අප පැමිණ ඇත්තේ හොඳම නිවහනට වේ. දුක සැප සමසේ දරා, නව සාමාජිකයන් සුහදව පිළිගනිමින්, සතුටු මතක පමණක් රැගෙන පිටව යා යුතුව ඇත…”
හැකි සෑම කෙනෙක්ගෙන්ම මම ඉල්ලන්නේ මේ වගේ කොරෝනා රෝගීන් සිටින මධ්‍යස්ථානවලට උදව් කරන්න. ඒක මහඟු පිනක්. මොකද මේවායේ සිටින්නේ ජීවිතය ඉල්ලන මිනිස්සු දස දහස් ගානක්.
ඒ වගේම ලෙඩ වුණදා සිට මා තනි නොකළ, විටෙන් විට මා ගැන සොයා බලා මට ශක්තියක් වූ ‘මව්රට’ කර්තෘ මණ්ඩල ප්‍රධානි තුෂාර ගුණරත්න මහතා, උපුල් ජෝශප් ප්‍රනාන්දු මහතා ඇතුළු ‘මව්රට’ කර්තෘ මණ්ඩලයටත්, නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිරෝධානය සඳහා මා යොමු කිරීමට උදව් උපකාර කළ හෙට්ටිගේ මහතා ඇතුළු වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වෛද්‍ය බිමන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු වෛද්‍ය කාර්යමණ්ඩලයටත්, මා වෙනුවෙන් දුරකතන ඇමතුමක් දී, කෙටි පණිවුඩයක් එවා දුක සැප විමසූ සියලුම දෙනාටත් බොහොම පින්…
කොළඹ ශාන්ත පීතර විදුහලේ ඉරෝමි ගුරු මහත්මිය, ඇඳුම් නොමැති අවස්ථාවේ ඇඳුම් ලබාදී මට උදව් කළා. ඇගේ දියණිය වන කොළඹ ශාන්ත ජෝශප් විදුහලේ ඉමායා පෙරේරා ගුරු නැගණියටත්, මම වේදනාවෙන් කෙඳිරිගාන විට මට නින්ද යනකන් මසාජ් කළ මොරටුව රාවතාවත්තේ අරෝෂා සොහොයුරියටත්, ගොඩාක් පින්…. ඒ වගේම කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 504 ග්‍රාම නිලධාරි වසමේ විජේනායක ග්‍රාම නිලධාරි මහතා වගේම ප්‍රදේශය භාර ඡ්‍යෂ චමින්ද ධනංජය මහතා පැමිණ උපදෙස් සහ විෂබිජ නාශක ලබාදීමෙන් වගේම නිරෝධායන දැන්වීම් අලවා සහය ලබාදුන්නා. විටෙන් විට අප ගැන විමසුවා. බොහොමත්ම ස්තුතියි වගකීම් නොපිරිහෙළා ඉටුකළ ඔබතුමන්ලාට.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වෛද්‍ය සඳමාලි මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලයටත් ගිලන් රථයේ රියැදුරු මහත්වරුන්ටත් හිස නමා ආචාර කරනවා. ගොඩාක් පින් ඔබ සැමටම…. තවත්රෝ ගීන් දසදහස් ගණනක් සුවපත් කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා.

නිලන්ති රේණුකා










