• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Rajya Rahas

ආණ්ඩුවේ ‘කොන්ෆියුස්’ තියරිය අතේම පත්තු වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

June 2, 2024
in Exclusive, Rajya Rahas
Reading Time: 15 mins read
A A
බැසිල්ට කුණුහරුපෙන් බැන්න විමල්ලා බැසිල් එක්කම යළි ඩීල් දැපු හැටි අතේ පත්තු වෙයි! සියඹලාපිටිය නාඩගමේදී පොහොට්ටුවයි-ස්වාධීන 40යි එකතු වෙලා ගහපු ගේම! මහින්ද දුන් ලණුවක් විමල් අමුවෙන්ම ගිලියි! රනිල්ගේ රෙදි ගැලවෙයි! ඩීල් එක හෙළිවෙයි! (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

නීතිපතිගේ සේවා දිගුව ගැන චන්දිමට ප්‍රශ්නයක්!

විමල්-දිලිත් සන්ධානයෙන් එළියට එන ලස්සන නෝනා!

රනිල්ට දීපු හේතුව පළමුවරට එළියට එයි!

සජිත් මහ රෑ ‌ලොකු මෙහෙයුමක!

රංගේගේ මුට්ටිය කුඩු!

ජනාධිපතිවරණය නිසි කලට පවත්වන බවට මැතිවරණ කොමිසමෙන් නිල ප්‍රකාශය නිකුත්වී තිබියදී වසර 2කට ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය කල්දමා ජනාධිපතිවරයාට රට කරගෙන යෑමට ඉඩ දිය යුතු බවටත්, අවශ්‍ය නම් ඊට ජනමත විචාරණයක් පැවැත්වීමට පවා සූදානම් බවටත් එජාප මහලේකම් රංගේ බණ්ඩාර මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය පසුගිය සතියේ මහත් ආන්දෝලනයක් රට ඇතුළේ මතුකරලීමට සමත් විය.

‘සියලු කණ්ඩායම් එකතු වෙලා අවුරුදු 5කට බැරි නම් අවුරුදු 2ක කාලයක් සදහා ජනාධිපතිවරයාගේ කාලය දීර්ඝ කරලා දිය යුතු වෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණයත් මේ අවස්ථාවේ නොතබා පාර්ලිමේන්තුවේ කාලයත් තව අවුරුදු දෙකකින් දීර්ඝ කිරීම සුදුසුයි කියලා අපි යෝජනා කරනවා. මේකට පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන් එකට එකතු විය යුතුයි කියලා අපි බලකරනවා. අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ජනමත විචාරණයකට ගිහිල්ලා ජනමත විචාරණයකින් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී සහ වඩාත් ප්‍රායෝගික විදියට මේක තහවුරු කරගත යුතුයි කියලා අපි ඉල්ලා සිටිනවා..’ යනුවෙන් රංගේ කළ කතාව නිසා හිටිඅඩියේම ජනාධිපතිවරණය මුල්කරගෙන උණුසුම් වෙමින් පැවැති දේශපාලන කරළිය ගිනියම් වී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. පක්ෂ භේදයකින් තොරව විපක්ෂයේ සියලු පක්ෂ රංගේගේ මේ කතාවට විරෝධය පළකළාට අමතරව එජාපයේම සබරගමු ආණ්ඩුකාරවරයා වන නවීන් දිසානායකත්, එජාප උපනායකයකු වන රවි කරුණානායකත් රංගේට එරෙහිව අදහස් පළ කළ ආකාරයක් දැකගත හැකි විය.Sri Lanka Latest News

චන්ග් කොමිසම හමුවෙයි

මීට අමතරව රංගේගේ ප්‍රකාශයෙන් පසු මෙරට ඇමෙරිකානු තානාපතිනිය වන ජූලි චන්ග් මහත්මිය එදින පෞද්ගලිකවම මැතිවරණ කොමිසමේ සාමාජිකයන් මුණගැසී ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කොමිසමේ සාමාජිකයන් සමග අදහස් හුවමාරු කරගත්තාය. එහිදී කොමිසමේ සාමාජිකයන් ඇමෙරිකානු තානාපතිනියට දැනුම් දී තිබුණේ නියමිත පරිදි ජනාධිපතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම මේ වන විට සියලු කටයුතු සැලසුම් කොට අවසන් යැයි කියාය.

කෙසේ වෙතත් රංගේගේ මේ ජනමත විචාරණ කතාව සියලු දෙනාම සලකන්නේ නිකම් ආවාට ගියාට කී එකක් හෝ රංගේගේ හිතුමනාපයට කී එකක් නොව ජනාධිපතිවරයාගේද අනුදැනුම ඇතිව කී එකක් ලෙසටය. පසුගියදා පැවැති මාධ්‍ය හමුවලදී පවා සියලු දෙනාම ඒ බව අවධාරණය කර සිටීමට පියවර ගෙන තිබණි. විශේෂයෙන්ම මාධ්‍ය වාර්තා කොට තිබුණේ ජනාධිපතිවරයා විසින් ඒ වන විටත් ව්‍යවස්ථාදායක සභාවට කර තිබූ විශේෂ යෝජනාවක් හේතුකොට ගෙන මෙම සැකය තවදුරටත් වර්ධනය වී තිබිණි. එම යෝජනාව වී තිබුණේ වත්මන් නීතිපති සංජය රාජරත්නම් මහතාගේ නිල කාලය ලබන මාසයේදී අවසන් වීමට නියමිත බැවින් තවත් මාස 6ක සේවා දිගුවක් ඒ මහතාට ලබාදීම සඳහා ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවට යෝජනාවක් කොට ඇති බවට වූ පුවතය.

කතාව එළියට ආ තැන

මෙහිදී මුලින්ම බැලිය යුත්තේ රංගේ කී කතාව හෙතෙම වැඩිදුර නොහිතා කළ එකක්ද, එසේත් නැත්නම් සැලසුම්සහගතව කළ එකක්ද කියාය. රංගේ ඒ වනවිටත් මාධ්‍ය හමුවලට පැමිණ කර තිබූ යම් යම් ප්‍රකාශ හේතුවෙන් විහිළුකාරයකුගේ තත්ත්වයට පත්ව සිටීම හේතුවෙන් ඇතැමුන් කියා සිටියේ මෙය රංගේගේ තවත් විහිළුවක් වන්නට ඇතැයි කියාය. මන්ද පසුගිය කාලයේදී අවස්ථා කිහිපයකදීම රංගේ කියා සිටි කතාවක් වූයේ සජබයෙන් මන්ත්‍රීවරු 30ක් 40ක් එජාපයට ඒමට නියමිතව සිටිනවා යැයි කියාය. මැයි දිනයේදී සජබ මන්ත්‍රීවරුන් රැසක් එජාප වේදිකාවට නගිනවා යැයි කියාය. හර්ෂ, කබීර් හා ඉරාන්ද එජාපය සමග එකතු වීමට නියමිතව සිටිනවා යැයි කියාය. නමුත් රංගේ කී ඒ එක කතාවක්වත් සිදු නොවූ නිසා බොහෝ දෙනා කියා සිටියේ රංගේගේ මේ කතාවත් එවැනි ආකාරයේ විකට එකක් යැයි කියාය.

නමුත් ඊට වඩා යමක් මේ පසුපස තිබෙන බව බොහෝ දෙනා අදහස් දක්වා තිබූ නිසා අපද මේ පසුපස ඇති කතාව සම්බන්ධයෙන් යම් සොයාබැලීමක නිරත වීමු. එහිදී අපට දැනගන්නට ලැබුණේ රංගේ මේ කතාව ආවාට ගියාට කළ එකක් නොව හොඳට සැලසුම්සහගතකව කර තිබූ එකක් යැයි කියාය. එසේත් නැතිනම් රට ඇතුළේ අවුල්සහගත තත්ත්වයක් ඇතිකරලීම සඳහා එජාපයට හුරුපුරුදු ‘කන්ෆියුස් තියරිය’ අනුගමනය කරමින් කළ ආකාරයේ කතාවක් යැයි කියාය.

කන්ෆියුස් තියරිය

විපක්ෂය පැත්තට ලැබී තිබූ ඇතැම් තොරතුරුවලින් කියැවෙන්නේ පසුගියදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂයේ ඉහළපෙළ සාකච්ඡාවකදී මේ පිළිබඳ යම් කතාබහක් සිදුව ඇති බවකි. මෙහිදී දීර්ඝව සාකච්ඡා වී ඇති කරුණක් වන්නේ විපක්ෂයේ දේශපාලන සැලසුම් අඩාළ කරලීම සහ සජබය ‘කන්ෆියුස්’ කිරීමට සිදුකළ හැකි යෝජනා කුමක්දැයි කියාය. මෙහිදී යෝජනා රැසක්ම ඉදිරිපත්ව ඇති අතර ජනමත විචාරණයක් පැවැත්වීමේ යෝජනාවද ඒ අතර තිබී ඇති බව පැවැසේ. මෙහිදී රංගේ විසින් තමන් එම යෝජනාව මාධ්‍ය හමුවේ ඉදිරිපත් කිරීමට බාරගෙන ඇති බවද අපට ඇති එක් ආරංචි මාර්ගයකින් කියවුණු කරුණක් වී තිබිණි.

මේ ආකාරයට පසුගිය කාලය පුරාම එජාපය ‘කන්ෆියුස් තියරිය‘ අනුගමනය කරමින් පවතින දේශපාලන තත්ත්වය අවුල් කිරීම අරමුණු කරගෙන විවිධ ප්‍රකාශ රැසක්ම සිදුකර තිබූ ආකාරය දැකගන්නට පුළුවන. ඉන් ප්‍රධානම එකක් වූයේ සජබයෙන් මන්ත්‍රීවරුන් 30ක් 40ක් එජාපයට එක්වන බවට වූ පුවතය. ආණ්ඩුවෙන් පසුගිය අවුරුදු 2ක පුරාම වරින් වර මෙම පුවත සමාජය ඉදිරියට රැගෙන ආවේය. මුල් කාලයේදී මෙම පුවත එළියට දැමූ විට මාළුන්ට පොරි දැමූ විට කලබල වන්නාක් මෙන් දේශපාලනය කැළඹී ගියේය. මේ හේතුවෙන් එජාපයේ ඒ කන්ෆියුස් තියරිය තිතට වැඩකළ ආකාරයක් එකල දක්නට ලැබිණි. නමුත් වරදින විට සියල්ල එකදිගට වරදිනවා යැයි කියන්නා සේ මෙවර ඒ කන්ෆියුස් තියරිය පාරාවළල්ලක් වී එජාපයටම කැරකී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. විපක්ෂයේ සියලු පක්ෂ නායකයන් කියා සිටියේ ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය කෙසේවත් ජය ගැනීමට නොහැකි බව දැන පරාජයේ වේදනාවෙන් ප්‍රකාශ නිකුත් කරන තැනට එජාපය වැටී ඇති බව රටටම තහවුරු වූ බවක් රංගේගේ මේ ප්‍රකාශයෙන් දැකගැනීමට හැකිවූ බවය.

නීතිපතිගේ සේවා දිගුව?

කෙසේ වෙතත් මෙහි ඇති අනෙක් ගැටලුව වන්නේ නීතිපති සංජය රාජරත්නම් මහතාට මාස 6ක සේවා දිගුවක් ලබාදිය යුතු බවට ජනාධිපතිවරයා කර ඇති යෝජනාවට සමගාමීව මෙම ප්‍රකාශය එජාපය පැත්තෙන් නිකුත් වීමය. සංජය රාජරත්නම් යනු ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලන වශයෙන් බරපතළ අර්බුදයකට මුහුණ දී සිටියදී රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් පත්කරලීමට තිරය පිටුපස විශාල කාර්යභාරයක් සිදුකළ අයෙකි. අරගලය උච්චතම තැනට පත්වෙද්දී වරක් ගෝඨා මෝදර හමුදා කඳවුරේ ආරක්ෂිතව සිටියදී රනිල් වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත්කළ යුතු බවට යෝජනා රැගෙන ආ ටිරාන් අලස්, ශවේන්ද්‍ර සිල්වා වැනි පිරිස් අතර නීතිපති සංජය රාජරත්නම්ද සිටියේය. ඒ සඳහා අවශ්‍ය නීති උපදෙස් ලබාදුන්නේ සංජය රාජරත්නම් මහතාය. මේ බව අපි එකල ‘රාජ්‍ය රහස්’ තීරයේ වාර්තා කිරීමටද පියවර ගත්තෙමු.

ඒ අනුව ජනාධිපතිවරණ කටේ ජනමත විචාරණ යෝජනාවක් ආණ්ඩුව පැත්තෙන් පැමිණීමත්, නීතිපතිවරයාට මාස 6ක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයාගෙන් යෝජනාවක් ඉදිරිපත් වීමත් පසුපස යම් සැකයක් නීති ක්ෂේත්‍රයේ බොහෝ දෙනාට මතුව තිබූ ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව නීතිඥවරුන් බොහෝ පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හට ඇමතුම් ලබාදෙමින් කියා සිටි කාරණයක් වූයේ මීට පෙර නීතිපතිවරුන්ට සේවා දිගු ලබාදීමේ සම්ප්‍රදායක් තිබී නොමැති බවත්, ව්‍යවස්ථාදායක සභාවේදී මේ යෝජනාව ඉදිරිපත් වුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගන්නා ලෙසටත්ය. එහිදී විපක්ෂනායකවරයා තමන්ට හැම යෝජනාවකටම ව්‍යවස්ථාදායක සභාවේදී විරුද්ධ වීමට නොහැකි බවටත්, ඒ සඳහා හේතු ඉදිරිපත් කළ යුතු බවටත් පෙන්වා දෙද්දී ඔවුන් කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී එවක හිටපු නීතිපතිවරයාටද මේ ආකාරයේ සේවා දිගුවක් ලබාදීමට ගත් පියවරට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බවත්, පසුව නීතිපතිවරයා ඉන් ඉවත් වූ බවත්, මහින්දද එම යෝජනාව ඉවත් කරගත් බවත්ය.

මීට අමතරව නීතිපති දෙපාර්තමේන්තුවේ විශ්‍රාම ගිය නිලධාරීන්ද සජිත්ට කතා කොට කියා සිටි කරුණක් වූයේ මෙය හොඳ පූර්වාදර්ශයක් නොවන බවත්, මීට පෙර මෙවැන්නක් සිදුව නැති බවත්ය. ඔවුන්ද ඒ සඳහා හේතු ගණනාවක් සජිත්ට පෙන්වා දී තිබීම විශේෂ සිදුවීමක් විය. පසුව සජබ නීතිඥවරුන් කණ්ඩායමකට මේ සම්බන්ධයෙන් සොයාබලන ලෙස උපදෙස් දුන් සජිත්, හිටපු නීතිපතිවරුන් සම්බන්ධ සියලු සිදුවීම්වල නඩු වාර්තා ගෙන්වාගෙන ඒවා විමර්ශනය කිරීමටද පියවර ගෙන තිබිණි.

ඩයනාගේ නිව්ස් එක?

මේ සියල්ල අතරවාරයේ එක් නීතිඥවරයෙක් පසුගිය සතියේ ජනාධිපතිවරයාගේ පවුලට අයත් සන්ඩේ ටයිම්ස් පුවත්පතේ නමක් ගමක් නොමැතිව පළකොට තිබූ පුවතක් සම්බන්ධයෙන්ද සජිත්ගේ අවධානය යොමුකර සිටියේය. එම පුවතින් කියා තිබුණේ බි්‍රතාන්‍ය පුරවැසිභාවය හේතුකොට ගෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිවූ ඩයනා ගමගේට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ නඩු පැවරීමට ඇති හැකියාව පිළිබඳ සොයාබලන ලෙසට නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවකි. සාමාන්‍යයෙන් ආණ්ඩුවේ ඉහළම තැන් දැනුවත්ව මෙවැනි පුවත් පළවන නිසා මෙම නීතිඥවරයා සජිත්ට දැනුම්දී තිබුණේ ඩයනාට අපරාධ නඩුවක් ගොනුකිරීම හරහා සජබයේ නීත්‍යනුකූලභාවය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ උත්සාහයක් මේ පසුපස තිබිය හැකි යැයි කියාය. නමුත් ඩයනාගේ නඩු තීන්දුවෙන් පසු සජිත් පක්ෂයේ ඉහළම නීතිඥ කණ්ඩායමක් කැඳවා එම තීන්දුව පක්ෂයට බලපාන්නේද යන්න සම්බන්ධයෙන් උපදෙස් ලබාගෙන තිබූ අතර, ඔවුන් සජිත්ට දැනුම්දී තිබුණේ ඩයනාගේ තීන්දුවෙන් සජබයට කිසිදු බලපෑමක් නොවන බවටය.

චන්දිමට ප්‍රශ්නයක්

කෙසේ වෙතත් ජනමත විචාරණ කතාව අස්සේ නීතිපතිවරයාගේ සේවා දිගු යෝජනාව කරළියට පැමිණිමත් සමග මාධ්‍ය හමුවකට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා මෙම යෝජනාවෙන් අනාගතයේ මතුවිය හැකි බරපතළ කරණු ගණනාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කිරිමට පියවර ගත්තේය. එහිදී චන්දිම කියා සිටියේ මෙවැනි කතාවකි.

‘නීතිපති කියන්නේ ව්‍යවස්ථාව අනුව බලතල විශාල ප්‍රමාණයක් තිබෙන විශාල වගකීමක් දරන පුද්ගලයෙක්. රටේ නීතිපතිගේ සහතිකය නැතිව පාර්ලිමේන්තුවේ සම්මත කරන කිසිදු පනතක් නීතියක් බවට පත් කරන්න බෑ. පනතක ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව යමෙක් අභියෝග කළොත් රජය වෙනුවෙන් පෙනී සිටින්නේ නීතිපතිවරයා. ඕනෑම කෙනෙකුට අපරාධයක් සම්බන්ධයෙන් අධි චෝදනා භාර දීමේ තීරණය කරන්නේ නීතිපතිවරයා. පොලිසියට නඩු පැවැරිමට සඳහා විධානයක් නිකුත් කිරිමේ බලය තිබෙන්නේ රටේ නීතිපතිවරයාට. මැතිවරණ පනත යටතේ නඩුවක් ගොනු කළොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න බලය තිබෙන්නේ නීතිපතිවරයාට.
වර්තමාන නීතිපති තනතුර දරන සංජය රාජරත්නම් මහතා ගෞරවනීය පුද්ගලයෙක්. නමුත් එතුමාගේ ගෞරවයත් කෙලෙසන පරිදි නීතිපතිවරයාගේ ධුර කාලය මාස 6කින් දීර්ඝ කරන ලෙස ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායක සභාවෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා. වර්තමාන නීතිපතිවරයා ජුනි මාසයේ විශ්‍රාම ගිය පසුව එම තනතුර සඳහා සුදුසුකම් තිබෙන්නේ අයේෂා ජිනසේන මහත්මියටයි.
නමුත් වර්තමාන නීතිපතිවරයාට සේවා දිගුවක් ලබාදුන්නොත් දෙසැම්බර් මාසය වනතුරු එතුමාට නීතිපති ධුරයේ කටයුතු කරන්න පුලුවන්. වර්තමාන අග්‍රවිනිශ්චයකාරතුමා ඔක්තොම්බර් මාසයේ විශ්‍රාම යාමට නියමිතයි. සම්ප්‍රදාය අනුව නීතිපතිට හැකියාව තිබෙනවා අග්‍රවිනිශ්චයකාරවරයා ලෙස පත්විම් ලබන්න ජ්‍යෙෂ්ඨත්වය අනුව. ආණ්ඩුව සහ ජනාධිපතිවරයා මේ සැරසෙන්නේ අනියම් ආකාරයට රටේ අධිකරණයටත් බලපෑමක් සිදුකරන්නද කියල ප්‍රශ්නය මතුවෙනවා.
නීතිපතිවරයාට සේවා දිගුවක් ලබාදෙන්න නියමිත කාලය ඇතුළත තමයි ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ. නීතිපතිට සේවා දිගුවක් ලබාදෙන ලෙස ඉල්ලිම කරන්නේ තවත් සති 6කින් ජනාධිපති අපේක්ෂකයෙක් වෙන්න සිටින පුද්ගලයා. ඔහුට විරුද්ධව මැතිවරණ පැමිණිල්ලක් ආවොත් ඒ වෙනුවෙන් තීන්දුවක් ගන්න වෙන්නේ සේවා දිගුවක් ලබන වර්තමාන නීතිපතිවරයාට.
රටේ තිබෙන නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය සියල්ලට පහර ගහලා රට වියවුලකට පත්කරලා තමන්ගේ දේශපාලන අභිමතාර්ථ ඉටුකර ගැනීමට ජනාධිපතිවරයා උත්සාහ කරනවා. මේවැනි කටයුතුවලට රටේ ජනතාව ඉඩලබා නොදිය යුතුයි. පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු සහ ජනාධිපතිවරයා ජනතාව පිළිගත් පිරිසක් නෙවෙයි. ඒ නිසා ජනාධිපතිවරණයක් සහ පාර්ලිමේන්තු මැතිවරණයක් අනිවාර්යයෙන් පැවැත්විය යුතුයි. මැතිවරණයක් නොපවත්වා ඉන්න ඒ අනුව බෑ. මැතිවරණයකින් අලුත් පාර්ලිමේන්තුවක් පත් කරගන්නා තෙක් වර්තමාන පාර්ලිමේන්තුවට ජනතාව වෙනුවෙන් තීරණ ගන්න නොහැකියි.
ඒ වගේම ජනතාව ප්‍රතික්ෂේප කරපු පිරිස මොනවා කිව්වත් ජනතා ඡන්දයෙන් පත්වුණු මන්ත්‍රීවරුන්ට ඔවුන් කියන දේවල්වලට එකඟ වෙන්න බෑ. ඒ වගේම ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ අත්තනෝමතික තීරණ ගැනීමට හැකියාව තිබෙන්නේ තව මාස 3ක් වගේ කාලයක්. ඉන්පසුව රටේ නිවැරදි දේ ක්‍රියාත්මක කරන්න නිවැරදි මගට රට ගෙනියන්න සමගි ජනබලවේග ආණ්ඩුවක් තුළින් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වය තුළින් අපි සුදානම්. ඒ වගේම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් වන යමක් සිදුවුවහොත් අනිවාර්යෙන්ම සමගි ජනබලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා.’

ඒ කොයිහැටි වෙතත් නීතිපතිවරයාගේ සේවා දිගු යෝජනාව සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිව ඇත්තේ ලබන සතියේදීය.

මේ අතර, රංගේ සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් පසුව නැවත වතාවක් එජාපයේ ඉහළ පෙළ රැස්වීමක් පසුගිය සතියේ රැස්විය. එහිදී ජනමත විචාරණ කතාවට නොව වෙනත් කරුණක් මුල්කරගෙන ජනාධිපතිවරයා රංගේට දෙස්දෙවොල් තබා ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එම සාකච්ඡාවේදී ආන්දෝලනයට තුඩුදුන් ජනමත විචාරණ කතාව පක්ෂයෙන් නිවැරැදි කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත්ව ඇතත්, ඊට අනුමැතිය හිමිව නැති බවක්ද සඳහන්ය. ඇතැම් විට පක්ෂය කලින් සාකච්ඡා කොට ගත් තීන්දුවක් නිසා එම යෝජනාව ප්‍රතික්ෂේප වී තිබුණා විය හැකිය.

ගෝඨාභය එළියට

ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන මේ දිනවල අලුත් සන්ධාන හතු පිපෙනවා වගේ බිහිවන ආකාරයක් දැකගත හැකිය. පසුගිය සතියේ බිහිවූ එවැනි එක් සන්ධානයක් වූයේ විමල් – උදය – දිලිත් දේශපාලන සන්ධානයය. පසුගිය කාලය පුරාම දේශපාලන කරළියේ ගිය විවිධ කතාවලින් කියැවුණේ විමල් ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට සූදානමින් සිටිනවා යන්නය. අනෙක් අතට මව්බිම ජනතා පක්ෂය බිහිකරමින් දිලිත් රට වටේ කියමින් ගිය කතාව වූයේ තමන්ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටිනවා කියාය. නමුත් විමල් – දිලිත් යන දෙදෙනා වෙනුවට අලුත්ම ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් මෙම සන්ධානයෙන් ඉදිරිපත් කිරීමට මේ වනවිට තීන්දු කොට අවසන්ය. මෙවර ‘රාජ්‍ය රහස්’ තීරයෙන් අප අනාවරණ කිරීමට සූදානම් වන්නේ විමල් – දිලිත් සන්ධානයෙන් එළියට එන නව ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද කියාය.

ඊට පෙරාතුව මෙම නව සන්ධානය බිහිකිරීම පසුපස සිටි සැඟවුණු අමුත්තා සම්බන්ධයෙන්ද යමක් සඳහන් කළ යුතුය. මෙම නව සන්ධානයට සිංහල – බෞද්ධ බලවේග ඒකරාශී කරලීම සඳහා තිරය පිටුපස විශාල මෙයෙුමක් දියත් කළ පුද්ගලයෙක් සිටියේය. ඒ, වෙන කවුරුවත් නොව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාය. පසුගිය කාලයේදී ගෝඨා සක්‍රීය දේශපාලනයේ නොමැති බව පෙනෙන්නට තිබුණත් මෙම සන්ධානය සඳහා පාර්ශ්වයන් එකතු කිරීමේදී හෙතෙම විශාල කාර්යභාරයක් සිදුකොට ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

අපේක්ෂකයා යහම්පත්

කෙසේ වෙතත් මෙම නව සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා කවුද? අපේක්ෂකයා යැයි කීවද මෙම සන්ධානයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින්නේ අපේක්ෂකයෙක් නොව අපේක්ෂිකාවකි. ඇය වෙන කවුරුවත් නොව හිටපු ජනාධිපති ගෝඨා විසින් නැගෙනහිර ආණ්ඩුකාර ධුරයට පත්කළ අනුරාධා යහම්පත් මහත්මියය.

අනුරාධා යනු හිටපු ජනාධිපති ගෝඨා බලයට ගෙනා වියත්මග කණ්ඩායමේ සිටි ප්‍රබල චරිතයකි. එමෙන්ම ඇය සිංහල – බෞද්ධ බලවේග නියෝජනය කරන කාන්තාවක් ලෙසද ප්‍රකටය. ගෝඨා සමග සමීපව කටයුතු කළ අයකු ලෙසද අනුරාධා එවකදී ප්‍රසිද්ධව සිටියාය.

කෙසේ වෙතත් විමල්ලාගේ අලුත් සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවලදී මුලින් නම් දෙකක් ඉදිරිපත් වී තිබිණි. ඉන් එක් නමක් වූයේ අනුරාධා යහම්පත්ගේ නමය. අනෙක් නම වූයේ සීතා අරඹේපොල මහත්මියගේ නමය. නමුත් සීතා අරඹේපොල මේ වන විට ජනාධිපතිවරයාට සමීපව කටයුතු කරන රාජ්‍ය අමාත්‍යවරියක ලෙස ප්‍රකටව සිටින නිසාත්, අමාත්‍යවරියක වශයෙන් හිමිවිය යුතු වරප්‍රසාද ඉල්ලා යවන ලද ලිපියක කුඩයක් හා විදුලි පන්දමක්ද ලබාදෙන ලෙසට කළ ඉල්ලීම හේතුකොට ගෙන සමාජ මාධ්‍යවලින් එල්ලවූ දැඩි ප්‍රහාරය හේතුවෙනුත් සීතා අරඹේපොලගේ නම ප්‍රතික්ෂේප කිරීමට පිරිස පියවර ගෙන තිබිණි. අලුත් චරිතයක් ලෙස අනුරාධා යහම්පත්ගේ නම පිරිස විසින් ස්ථිර කර තිබුණේ ඒ වෙනුවටය.

අපගේද අදහස වන්නේද ජනාධිපතිවරණයක් වැනි තීරණාත්මක සටනකදී අනුරාධා යහම්පත් වැනි චරිතයක් ගෙන ඒම ඉතා හොඳ තෝරාගැනීමක් ලෙසය. මන්ද යත් අනුරාධා යනු දූෂණ චෝදනා එල්ල වී නොමැති පිරිසිදු චරිතයකි. සිංහල – බෞද්ධ පසුබිම නියෝජනය කරන, ව්‍යාපාරික පවුලකින් පැවැත එන, උගත්කමක් සහ පෞරුෂයක් ඇති චරිතයකි. ඒ අනුව ඇය ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන්නේ නම් බොහෝ දෙනා පෙන්වා දෙන්නේ චන්ද්‍රිකාගෙන් පසු ජනාධිපතිවරණ ඡන්ද සටනට ඉදිරිපත් වන ප්‍රබලම අපේක්ෂිකාව වනු ඇත්තේ අනුරාධා යහම්පත් යැයි කියාය.

අමුණුගම මගින් යයි

කෙසේ වෙතත් කිරි කළයට ගොම බින්දුවක් වැටුණා සේ විමල් – දිලිත් සන්ධානය අස්සන් තැබූ දිනයේදීම තවත් විශේෂ සිදුවීමක් සිදුවිය. ඒ, දිලිත්ගේ මව්බිම ජනතා පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ ආචාර්ය සරත් අමුණුගම මහතා ඉල්ලා අස්වීමය. සරත් අමුණුගම සැලකෙන්නේ කීර්තිමත් පරිපාලන නිලධාරියකු, ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු ලෙස මෙන්ම උගත් බුද්ධිමතකු ලෙසටය. දිලිත්ගේ මව්බිම ජනතා පක්ෂය බිහිකරද්දී එම වේදිකාවේ සිටි වැදගත්ම දේශපාලකයා ලෙස සැලකුණේද සරත් අමුණුගමය. ඒ අනුව සන්ධානයට අස්සන් කළ දිනම දිලිත් වෙත එක් පේළියක් සහිත ලිපියක් යොමුකළ සරත් අමුණුගම ඉන් තමන් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බවටත්, ඔබට සුබ පතන බවටත් දිලිත්ට දැනුම් දීමට පියවර ගෙන තිබිණි. නමුත් ඉල්ලා අස්වීමට බලපෑ කිසිදු හේතුවක් සිය ලිපියේ සඳහන් කිරීමට අමුණුගම කටයුතු කොට නොතිබිණි. කෙසේ වෙතත් ඊට පසු දින මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් අමුණුගම කියා තිබුණේ තමන් කිසිදු දිනෙක ජාතිවාදී දේශපාලනයක් සිදුකළ අයකු නොවන බවත්, ජාතිවාදී දේශපාලනය තමන්ට නොගැළපෙන නිසා තමන් දිලිත්ගේ පක්ෂයෙන් ඉවත් වූ බවත්ය.

ෂෙහාන්ව හලයි

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන පොහොට්ටුව සිය මැතිවරණ ඡන්ද සටන පසුගිය 26 වැනිදා ආරම්භ කළේ අනුරාධපුර කලාවැව ආසනයෙනි. පොහොට්ටුව සැලසුම් කර ඇත්තේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරන තෙක් මේ ආකාරයේ රැස්වීම් 50ක් එක දිගට සංවිධාන කිරීමටය. කෙසේ වෙතත් අනුරාධපුර රැලියේදී පොහොට්ටුව පැත්තෙන් ආණ්ඩුවට විශේෂ සංඥාවක්ද දෙනු ලැබිණි. ඒ, ආණ්ඩුවට හිතවත්ව කටයුතු කරන පොහොට්ටුවේ ඇමැතිවරුන්ට තවදුරටත් පොහොට්ටුව තුළ ඉඩක් නොමැති බවට වූ පණිවුඩයය. පොහොට්ටුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ චන්ද්‍රසේනලාට අමතරව ඉහළින්ම සිටි දේශපාලන පවුල වූයේ සේමසිංහ පවුලය. ශෙහාන් සේමසිංහ එම පවුලෙන් පාර්ලිමේන්තු පැමිණ මේ වන විට මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරය දරමින් සිටී. නමුත් අනුරාධපුර රැස්වීම සංවිධාන කරද්දී පොහොට්ටුව හිතාමතාම ශෙහාන් සේමසිංහට රැස්වීමට පැමිණෙන ලෙස ආරාධනා කිරීමෙන් වැළකී සිටියේය. ඒ අනුව බොහෝ දෙනා පෙන්වා දෙන්නේ පොහොට්ටුව එළිපිටම සේමසිංහලාව හැලීම හරහා තවදුරටත් ආණ්ඩුව සමග එක්ව කටයුතු කරන පොහොට්ටු මන්ත්‍රීවරුන්ට පක්ෂයේ දොර වසා ඇති බව නොනිල වශයෙන් දැනුම් දීමට මේ හරහා පියවර ගෙන ඇති බවය.

කෙසේ වෙතත් මේ වන විට ජනාධිපතිවරයා සහ පොහොට්ටුව අතර කිසියම් කඹ ඇදිල්ලක් මතුවෙමින් පවතින ලකුණුද දැකගන්නට නැතුවා නොවේ. අවස්ථා ගණනාවකදීම මහින්ද ප්‍රසිද්ධියේම ආණ්ඩුවේ වැඩකටයුතු විවේචනය කළ අතර, නිවේදන නිකුත් කරමින් ආණ්ඩුවේ ලාභ ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය දැඩිව විවේචනය කිරීමටද පියවර ගත්තේය. මේ නිසාම පසුගිය දින කිහිපයේ පොහොට්ටුව ඇතුළේ පැවැති අතිශය රහසිගත සාකච්ඡාවලදී ජනාධිපතිවරයාට සිය තීන්දුව ප්‍රකාශයට පත්කිරීම සඳහා කොන්දේසියක් මෙන්ම අවසන් දින ලබාදීමක් සිදුකිරීමටත්, එම කොන්දේසි ඉටු නොවන්නේ නම් ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් අපේක්ෂකයකු නම්කිරීමටත් යෝජනා වී තිබිණි. බොහෝ විට එම අපේක්ෂකයා කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා බව මේ වන විට තහවුරු වී තිබේ.

මහින්දගෙන් පණිවුඩයක්

පොහොට්ටුව විසින් ගනු ලැබූ තීන්දුවට අනුව පසුගිය සතිය වන විට මහින්ද තුන්වැනි පාර්ශ්වයක් අතේ ජනාධිපතිවරයාට අතිශය රහසිගත පණිවුඩ කිහිපයක්ම යවා තිබිණ. ඒ පණිවුඩ මොනවාද යන්න සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු නැතත්, අපට දැනගන්නට ඇති නිල නොවන ආරංචි මාර්ගවලින් කියැවෙන්නේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පොහොට්ටුව සමග මතුව ඇති ප්‍රශ්න වහාම විසඳා ගන්නා ලෙස මහින්ද එම පණිවුඩයෙන් ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවකි. පෙළක් ආරංචි මාර්ගවලින් කියැවෙන්නේ ධම්මිකට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය දී රනිල්ට අගමැති අපේක්ෂයා වන ලෙස මෙම පණිවුඩවලින් දැනුම්දී ඇති බවකි. තවත් ආරංචි මාර්ගවලින් කියැවෙන්නේ රනිල් ජනාධිපති අපේක්ෂකත්වය ලබාගෙන ධම්මිකට අගමැති අපේක්ෂකත්වය ලබාදීමට සූදානම් වන්නේ නම් වහාම ධම්මික අගමැති ධුරයට පත්කරන ලෙසට යෝජනා කර ඇති බවකි. තවත් ආරංචි මාර්ගවලින් කියැවෙන්නේ ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් පොහොට්ටුවට දැනුම්දී ඇති කරුණක් ලෙස සජබයෙන් මන්ත්‍රීවරු 25ක් පමණ ආණ්ඩුවට එක්වීමට නියමිත බවට කර ඇති දැනුම්දීමට අනුව ජුනි 15 වන විට එම පොරොන්දුව ඉටුකර පෙන්වන ලෙසටය. එසේ නොමැති නම් ජුනි 17 වැනි දින පොහොට්ටුව තම තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට සැලසුම් කර ඇති බව මහින්ද මෙම පණිවුඩ හරහා ජනාධිපතිවරයාට දැනුම්දී ඇති බවක්ද ආරංචිය.

ලන්සාගෙන් යෝජනාවක්

ඒ අනුව, මෙම පසුබිම යටතේ ජනාධිපතිවරයා විසින් පත්කොට ඇති මැතිවරණ මෙහෙයුම් කමිටුව පසුගිය සතියේ රැස්විය. ඊට ජනාධිපතිවරයාට අමතරව ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද, කංචන නිමල් ලංසා ඇතුළු මැති ඇමැතිවරු රැසක් එක්ව සිටි ආකාරයක් දැකගත හැකි විය. මෙම සාකච්ඡාවේදී බොහෝ දෙනා ජනාධිපතිවරයාට පෙන්වා දෙනු ලැබූ කාරණයක් වූයේ නියත වශයෙන්ම පොහොට්ටුව ධම්මිකව අපේක්ෂකයා ලෙස නම් කිරීමට සූදානමින් සිටින බවකි. එම නිසා වහාම ඊට පෙරාතුව ආණ්ඩුව පැත්තෙන් ප්‍රතිචාර දැක්විය යුතු බවද එහිදී මැති ඇමැතිවරු ජනාධිපතිවරයාට පෙන්වා දුන්හ.

මෙහිදී ආන්දෝලනාත්මකම ප්‍රකාශය කළේ නිමල් ලංසාය. ලංසා ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේ තවදුරටත් බැසිල් සමග සාකච්ඡා කොට පලක් නැති බවත්, වහාම බැසිල් සමග කරන සාකච්ඡාවලින් ඉවත් නොවුණහොත් බැසිල් විසින් ජනාධිපතිවරයාව රැවැටීමට ලක්කරනු ඇති බවත්ය.

‘තවදුරටත් ඔබතුමා බැසිල් එක්ක සාකච්ඡා කරන්න යන්න එපා. මොකද බැසිල් මේ කරන්නේ ඔබතුමාව රවට්ටන එක. අපිට ආරංචියි ඒගොල්ලෝ 17 වැනිදාට පොහොට්ටුවේ අපේක්ෂකයාව එනවුන්ස් කරන්න යනවා කියලා. ඒ අය ඒක එනවුන්ස් කරන්න ඉස්සෙල්ලා ඔබතුමා ජනාධිපතිවරණයට එනවා කියලා එනවුන්ස් කරන්න.’ යනුවෙන් ලංසා ජනාධිපතිවරයාට පෙන්වා දෙද්දී ප්‍රසන්න සහ අලුත්ගමගේද ඊට සමාන අදහසක් දරමින් කතා කළ ආකාරයක් දැකගත හැකි විය.

නමුත් ජනාධිපතිවරයා මේ සියල්ලටම පිළිතුරු දුන්නේ තමන්ට හුරුපුරුදු ‘හ්ම් හ්ම්’ යන න්‍යායෙන්ය.

මාතරින් එළියට

කෙසේ වෙතත් කංචන විජේසේකර මේ වන විට සූදානමින් සිටින්නේ ලබන 16 වැනිදා මාතර දැවැන්ත රැලියක් සංවිධාන කොට ජනාධිපතිවරයා මාතරට ගෙන ඒමටය. කංචන පොහොට්ටුව නියෝජනය කරන මන්ත්‍රීවරයකු වුවද මෙම රැස්වීමට කංචන පොහොට්ටුවේ නායක මහින්දට හෝ රාජපක්ෂවරුන්ට ආරාධනාවක් සිදුකොට නොමැත. ඒ අනුව බොහෝ දෙනා සලකන්නේ ආණ්ඩුව පොහොට්ටුවෙන් නිල වශයෙන් වෙන්වීම සලකුණු කරන පළමු රැස්වීම මෙම මාතර රැස්වීම විය හැකි යැයි කියාය. ඒ අනුව පසුගිය සතිය වන විට පොහොට්ටුවෙන් මාතර සියලු සංවිධායකවරුන්ට සහ පක්ෂයේ අනුබද්ධ සංවිධානවලට විශේෂ පණිවුඩයක් යොමුකොට තිබිණි. ඒ, කංචනගේ මාතර රැස්වීම වර්ජනය කිරීමට පියවර ගන්නා ලෙසට දැනුම් දෙමිනි. මීට ප්‍රතිචාර දක්වමින් කංචන මේ වන විට මාතර පොහොට්ටු සංවිධායකවරුන්ට පණිවුඩ යවමින් දැනුම්දී ඇත්තේ එය ජනාධිපතිවරයා සහ සියලු ඇමැතිවරුන් සහභාගි වන රැස්වීමක් විනා මහජන රැස්වීමක් නොවන එකක් යැයි කියාය.

රාජිත පනිනවා

මේ අතර, මේ සිදුවීම් දාමයෙන් පසුව ඉදිරි සතියේදී සිදුවීමට නියමිත තවත් විශේෂ කාරණයක්ද ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ හෙළිදරව් කිරීමට මෙවර අප සූදානම්ය. ඒ, සජබයෙන් ලබන 04 වැනි අඟහරුවාදා ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින මන්ත්‍රීවරයකු පිළිබඳවය. පසුගිය මාස දෙක තුන තිස්සේම අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වරින් වර හෙළිකළ කාරණයක් වූයේ සජබය ඇතුළේ සිටින මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම ජනාධිපතිවරයා සමග ඉතා සමීපව ගනුදෙනු කරමින් ජනාධිපතිවරයාගෙන් සහ ආණ්ඩුවෙන් විවිධ වරප්‍රසාද ලබාගෙන ඇති බවකි. ඇතැම් මන්ත්‍රීවරුන් තම හිතවතුන්ට අරක්කු ස්කාගාර ආරම්භ කිරීම සඳහා ආණ්ඩුවෙන් ලයිසන් රැගෙන දී තිබූ බවද අප මෙම තීරයෙන් වාර්තා කළෙමු. එමෙන්ම පසුගියදා පොල්හේන්ගොඩ ඉරාන් වික්‍රමරත්න මහතාගේ කාර්යාලයේදී සජබ මන්ත්‍රීවරුන් දහ දෙනකු හමුවූ බවත්, එම හමුව කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා විසින් කැඳවා තිබූ බවත්, එම හමුවේදී රාජිත සේනාරත්න, අජිත් මාන්නප්පෙරුම සහ කාවින්ද ජයවර්ධන යන මන්ත්‍රීවරුන් පමණක් ආණ්ඩුවට එක්විය යුතු බවට වූ මතයේ සිටිමින් අදහස් දක්වා තිබූ බවත් අපි මෙම තීරයෙන් වාර්තා කළෙමු.

කෙසේ වෙතත් අප මෙම පුවත ‘රාජ්‍ය රහස්’ තීරයේ වාර්තා කිරීමෙන් පසු කාවින්ද ජයවර්ධනත්, අජිත් මාන්නප්පෙරුමත් තරගයට මෙන් සජිත්ට කතාකොට තම ආසනවල සක්වල වැඩසටහන් දියත් කරන ලෙසට ඉල්ලීම් කොට තිබිණි. ඒ අනුව කිසිදු වෙනසක් නොදක්වා සජිත්ද පසුගිය සතියේ ගම්පහ සහ ජාඇල යන ආසන දෙකටම සක්වල වැඩසටහන යටතේ පාසල් දෙකකට ස්මාර්ට් පන්ති කාමර ලබාදීමට පියවර ගත් අතර, ඊට කාවින්දත්, අජිත් මාන්නප්පෙරුමත් එක්ව සිටි ආකාරයක්ද දක්නට හැකි විය.

රනිල් හමුවුණා

තත්ත්වය මෙසේ තිබියදී පසුගිය අඟහරුවාදා රාජිත සේනාරත්න සහ ජනාධිපතිවරයා අතර විශේෂ හමුවක් පැවැත්විණි. මෙහිදී පැවැති සාකච්ඡාවේදී තීන්දු වී ඇත්තේ ලබන 04 වැනි දින රාජිත විශේෂ ප්‍රකාශයක් කොට ආණ්ඩුවට එක්වීමටය. මීට පෙරාතුව පැවැති සාකච්ඡාවලදී රාජිත දිගින් දිගටම දැනුම් දී තිබුණේ සජබයෙන් 25ක පමණ මන්ත්‍රී කණ්ඩායමක් තමන් සමග ආණ්ඩුවට එකතු වීමට සූදානමින් සිටිනවා යැයි කියාය. සාමාන්‍යයෙන් රාජිත සැලකෙන්නේ අතිශයෝක්තියෙන් කතාකරන ‘කිව්වොත් බොරුවක් – දුන්නොත් ලණුවක්’ න්‍යායේ පිහිටා කටයුතු කරන මන්ත්‍රීවරයකු ලෙසටය. ඒ බව ජනාධිපතිවරයාද නොදන්නවා නොවේ. ඉකුත් අඟහරුවාදා පැවැති අවසන් සාකච්ඡාවේදී ජනාධිපතිවරයා රාජිතට දැනුම්දී ඇත්තේ ආණ්ඩුවට රැගෙන එනවා යැයි කියූ එම සජබ මන්ත්‍රීවරුන් 25 දෙනාද රැගෙන 04 වැනිදා ආණ්ඩුවට පැමිණීමට කටයුතු කරන්නැයි කියාය. නමුත් රාජිත මෙහිදී ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ මේ වන විට එවැනි කණ්ඩායමක් තමන් සමග නැති බවත්, තමන් සමග තවත් මන්ත්‍රීවරුන් දෙදෙනකු ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බවත්ය. බොහෝ විට රාජිත ජනාධිපතිවරයාට දැනුම් දුන් අනෙක් දෙදෙනා විය හැක්කේ කාවින්ද ජයවර්ධනත්, අජිත් මාන්නප්පෙරුමත්ය. නමුත් මේ වන විට ගැටලුව වී ඇත්තේ රාජිත සමග ආණ්ඩුවට එකතු විය යුතු බවට අදහස් දැක්වූ අජිත් මාන්නප්පෙරුම හෝ කාවින්ද ජයවර්ධන පවා රාජිත සමග ආණ්ඩුවට එකතු වීමට කටයුතු කරයිද යන්න කියාය.

සජිත්ගෙන් ගේමක්

මේ තත්ත්වය පසුගිය සතියේ සජිත්ටද වාර්තා වී තිබිණි. සජිත්ට කතා කළ මන්ත්‍රීවරුන් බොහෝ දෙනා කියා සිටියේ රාජිත මේ මොහොතේ ආණ්ඩුවට යෑම සජබයට ඇති ලොකුම වාසිය යැයි කියාය. මෙහිදී රාජිතගේ දේශපාලන ඉතිහාසයම පිරී ඇත්තේ මෙවැනි පැනිලිවලින් බවත්, ඒ හේතුවෙන්ම රාජිත මේ වන විට ජනතාව අතර පාරාජිකා වී ඇති දේශපාලනඥයකු බවට පත්ව ඇති බවත් සජිත්ට පෙන්වා දුන් එම මන්ත්‍රීවරු කිසිසේත්ම රාජිතව නැවැත්වීමට උත්සාහ නොකරන ලෙසද සජිත්ගෙන් ඉල්ලා සිටියහ.

කෙසේ වෙතත් මෙම තත්ත්වය යටතේ සජිත් සිටියේ වෙනම සැලැස්මක් ඔළුවේ තබාගෙනය. ඒ, රාජිතගේ ආණ්ඩු පැනීම සිදුවන්නට ඉඩදී ඒ වෙනුවට රටේ කීර්තිමත්, නමගිය ප්‍රබලයන් කිහිප දෙනකුම සජබයට එක්කර ගැනීමේ මෙහෙයුමක නිරතවය. ඒ අනුව පසුගිය සතියේ පිට පිට දින දෙකක් කොළඹ එක්තරා ප්‍රකට දේශපාලන නිවෙසක මධ්‍යම රාත්‍රිය ඉක්මවා යන තෙක්ම අතිශය රහසිගත සාකච්ඡා වට දෙකක් පැවැත්වීමට සජිත් පියවර ගෙන තිබිණි. ඒ අනුව සජිත් මේ වන විට සූදානමින් සිටින්නේ ලබන සතියේදී රාජිතගේ ආණ්ඩුවට පැනිල්ලත් සමගම සජබයට එක්වන කීර්තිමත් පුද්ගලයන් තුන්දෙනකුගේ නම් එළියට දැමීමටය.

බැසිල් කී රහස

මේ ආකාරයට රාජිත ලබන 04 වැනිදා ඇමැතිකමක් ගෙන ආණ්ඩුවට එක්වීමේ පුවත පොහොට්ටුවේ ප්‍රධානීන්ටද වාර්තා වී තිබිණි. ඒ අනුව පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙක්ම බැසිල් රාජපක්ෂ මහතා මුණගැසී මේ සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් ඔහුගේ අදහස විමසා සිටීමට පියවර ගත්හ. එහිදී මෙතෙක් කිසිවකුත් නොදැන සිටි අතිශය රහසිගත කරුණු ගණනාවක්ම බැසිල්ගෙන් මෙම මන්ත්‍රීවරුන්ට දැනගන්නට ලැබිණි. විශේෂයෙන්ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති ධුරය බාරදීමට මුල්වූ ප්‍රධාන කාරණාවද මෙහිදී පළමු වතාවට බැසිල්ගේ කටින් එළියට පැන්නේය.

‘මම මුදල් ඇමැති විදියට කටයුතු කරද්දී ඉන්දියාවෙන් ඩොලර් බිලියන 4ක ණයක් ගැනීමට කටයුතු කළා. ඒ සල්ලි අපට හම්බවුණේ කොටස් වශයෙන්. හැබැයි ගෝඨාභය ජනාධිපතිතුමාට කොරෝනා වසංගතයත් එක්ක ඩොලර් ප්‍රශ්නය කළමනාකරණය කරගන්න බැරිවුණා. ඒ වෙලාවේ රනිල් ඇවිල්ලා ගෝඨාභය ජනාධිපතිතුමාට කිව්වා එයාගේ අතේ ඩොලර් බිලියන 6ක් තියෙනවා කියලා. එයා ආපු ගමන් ඒ ඩොලර් බිලියන 6 රටට ගේන්න පුළුවන් කියලත් රනිල් අපට කිව්වා. ගෝඨාභය අන්තිමේදී රනිල්ට ජනාධිපතිකම දෙන්න තීන්දු කළේ මේ ඩොලර් බිලියන 6 කතාව හින්දා. අපි ඒ වෙලාවේ කිව්වේ එහෙනම් ආණ්ඩුව අරන් යන්න අපි අවුරුද්දක් සහාය දෙනවා කියලා. හැබැයි අන්තිමට ඒ කියපු ඩොලර් කතාව සම්පූර්ණයෙන් බොරුවක් වුණා. මේගොල්ලන්ට එක ඩොලර් එකක්වත් රටට ගේන්න බැරි වුණා. ඒ හින්දා තමයි අපිට ආපහු හැරෙන්න සිද්ධ වුණේ..‘ යනුවෙන් බැසිල් මෙහිදී සිය හිතවතුන්ට දැනුම් දී ඇති බවක් ආරංචිය.

සජබෙන් එන 25

එමෙන්ම බැසිල් හා රනිල් අතර පැවැති සාකච්ඡාවේදී දිගින් දිගටම රනිල් දී තිබූ පොරොන්දුවක්ද මෙහිදී එළියට පැමිණ තිබිණි. ඒ, සජබයෙන් මන්ත්‍රීවරු 25ක් ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බවට වූ කතාවය. බැසිල්-රනිල් හමුවූ සෑම අවස්ථාවකදීම රනිල් එම කතාව කියා සිටීම නිසා අවසන් සාකච්ඡාවේදී බැසිල් දැනුම්දී ඇත්තේ එසේ නම් ජුනි 15ට ප්‍රථම සජබයෙන් එම මන්ත්‍රීවරු 25 දෙනා ආණ්ඩුවට එක්කර ගැනීමට කටයුතු කරන ලෙසය. එසේ වුවහොත් ජනාධිපතිවරයාට පොහොට්ටුවේ සහාය ලබාදෙන බව දැනුම් දී ඇති බැසිල්, ජුනි 15 රෑ 12 වන විට එය කරගත නොහැකි වුවහොත් ජුනි 16 වැනිදා පොහොට්ටුව තීන්දුවක් ගන්නා බවද ජනාධිපතිවරයාට දැනුම්දී තිබේ. ඒ අනුව අප මුලින් කී පරිදිම මහින්ද තුන්වැනි පාර්ශ්වයක් අතේ රනිල්ට යවා ඇති පණිවුඩය මගින් මේ බව දැනුම්දීමට පියවර ගෙන ඇති බව පැවසේ.

ඒ අනුව, පොහොට්ටුව මීට පෙර සැලසුම් කර තිබුණේ ලබන 17 වැනිදා විශේෂ සමුළුවක් පවත්වා පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමටය. නමුත් පසුගිය දින කිහිපයේම පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් රාජපක්ෂවරුන්ට දැනුම්දී තිබුණේ මේ ආකාරයට අපේක්ෂකයා නම් කළහොත් ජනාධිපතිවරණය දක්වා දීර්ඝ කාලයක් පවතින බවත්, එම නිසා අපේක්ෂයා නම් නොකොට පොහොට්ටුවෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව පමණක් ප්‍රකාශයට පත්කරන ලෙසත්ය. එම යෝජනාවට අනුව පොහොට්ටුව මේ වන විට සැලසුම් කර ඇත්තේ ජුනි 15ට ප්‍රථම සජබයෙන් 25 දෙනකු කඩාගෙන ජනාධිපතිවරයාට පෙන්වීමට නොහැකි වුවහොත් 17 වැනිදා විශේෂ සමුළුවක් පවත්වා මහින්ද විසින් පොහොට්ටුවෙන් ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමටය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

තොණ්ඩමන් තේ ෆැක්ටරියට ඇවිත් යකා නැටුවාට එරෙහිව වතු පාලනාධිකාරිය පොලිසි යයි! තොණ්ඩමන් අදත් ආධාරකරුවන් එක්ක පොලිසිය ඉදිරිපිටට ඇවිත් ලොකු සද්දයක් දමයි! අන්තිමේදී වතු පාලකයන් පැමිණිල්ල ඉල්ලා අස්කරගෙන! VIDEO I Sri Lanka Latest News

Next Post

හරි ආර්ථික වැඩපිළිවෙළක් සහ කණ්ඩායමක් නැති බයගුල්ලො ටිකක් ආර්ථික කණ්ඩායම් අතර විවාදයට බය වෙලා! අපිට හරි වැඩපිළිවෙළකුත් තියෙනවා! හරි කණ්ඩායමකුත් ඉන්නවා! ඒ නිසා අපි ඕන වෙලාවක සූදානම්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.