පදවිය පැත්තේ ගමක ගුණදාස කපුගේ සහභාගි වුණු සංගීත ප්‍රසංගයක් පැවැත්වුණා. ප්‍රසංගය අවසන් වී පැමිණි ශිල්පීන්ට ගෙවීම් කටයුතු කිරීමේදී කිසියම් මුදල් හිඟයක් ඇතිවී ඒ ගැන කසුකුසුවක් ඇතිවුණා. කපුගේ එතැනට ගියා. Sri Lanka Latest News
‘මොකද්ද ප්‍රශ්නෙ..?’ කපුගේ අහනවා.
‘නෑ සර්. මෙතැන සර්ගෙ සල්ලි තියෙනවා. සවුන්ඩ්ස්වලටයි වාදක මණ්ඩලයටයි තමයි ටිකක් අඩු.’
ප්‍රසංගය සංවිධාන කළ පුද්ගලයා හෙමිහිට කපුගේට කියනවා.
‘හරි දැන් ඔය තියෙන සල්ලිවලින් ඒ ගනුදෙනුව පියවන්න පුළුවන් ද…?’ කපුගේ අහනවා.
‘ඔව් සර්. ඒත් එතකොට සර්ට ගෙවන්න අමාරු වෙනවා.’ සංවිධායක ආයෙත් කිව්වා.
‘ඒකට කමක් නෑ. වාදක මණ්ඩලයටයි සවුන්ඩ්ස්වලටයි ගෙවලා, ඒක දැන් ඉවරයක් කරන්න.’ කපුගේ කියනවා.
‘එහෙම නම් සර් මට හෙට දවස දෙන්න. දවල් දොළහට කලින් මම රජරට සේවයට ඇවිත් සර්ගෙ සල්ලි බේරන්නම්…’
සංවිධායකතුමා බොහොම යටහත්ව කියනවා.
කපුගේ නිශ්ශබ්දව එතැනින් නික්මුණා. පසුව ඔහුට ඇරෙන්න අනෙක් අයගේ ගනුදෙනු බේරනවා. කපුගේ රාත්‍රියේම වාහනයෙන් ආපහු අනුරාධපුරයට එනවා.
පසුවදා උදේ කපුගේ කාර්යාලයේ තමන්ගේ කාමරේ ස්වර ප්‍රස්ථාර වගයක් ලියමින් ඉන්නවා. දවල් දොළහට විතර දෙන්නෙක් ඔහුව හමුවන්න කාර්යාලයට ඇවිත් කපුගේ ඉන්න කාමරයට ආවා. කපුගේ ලියමින් සිටි ස්වර ප්‍රස්ථාර කොළයෙන් දෑස් මෑත්කොට හිස එසෙව්වා.
‘එන්න ඇතුළට’ කපුගේ පුටුවෙ හරිබරි ගැහුණා.
ප්‍රසංග සංවිධාන කළ අමරසිංහයි තවත් කෙනෙකුයි ඇවිත්.
‘සර් පරක්කු වුණාට සමාවෙන්න. සර්ගෙ සල්ලි දීලායන්න ආවේ.’ සංවිධායකතුමා බොහොම හෙමිහිට කියනවා.
කපුගේ කිසිවක් නොකියා හිනාවුණා. උඩ සාක්කුවෙන් එළියට ගත් මුදල් නෝට්ටු කිහිපයක් ඔහු දෝතින්ම කපුගේට දෙනවා. කපුගේ එම මුදල් මේසය මත තියෙනවා. ඔහුගේ නෙත් යොමුවී තිබුණේ මුදල් නෝට්ටු දෙස නොවේ. සවිධායක අමරසිංහ මුදල් සාක්කුවෙන් එළියට අදින විට ඒ සමග එළියට ආ කඩදාසිය වෙතයි. එම කඩදාසිය කඩිනමින් ආපසු සාක්කුවටම දාගන්න අයුරුත් කපුගේ දැක්කා.
‘කොහෙන්ද හදිසියේ අද උදේම සල්ලි හොයාගත්තේ…?’ කපුගේ අහනවා.
අමරසිංහ කිසිවක් නොකියා තම මිතුරා දෙස බලනවා. මිතුරා බිම බලාගත්තා.
‘කොහොමද සල්ලි හොයාගත්තේ..?’ කපුගේ නැවත අහනවා.
අමරසිංහ වෙනුවට මිතුරා උත්තර දෙනවා.
‘නෑ සර්. අපි උදේම බැංකුවට ඇවිත් පොඩි බඩුවක් උකස් තියලා සල්ලි ගත්තා. ප්‍රශ්නයක් නෑ සර්.’ මිතුරා සෙමින් උත්තර දෙනවා.
‘කෝ ඔය සාක්කුවෙ දාගත්ත රිසිට් එක මෙහාට දෙන්න.’ කපුගේ අත දිගුකරනවා.
අමරසිංහ යමක් කියන්න උත්සාහ කරනවා.
ඒත් ඊට කලින් කපුගේ ආපහු කතාකරනවා.
‘ඕක මෙහාට දෙන්න…’ කපුගේ අත දිගුකර ගත්ත ගමන්. අකැමැත්තෙන් වුණත් අමරසිංහ රසිට්පත කපුගේගේ අතේ තබනවා. ඔහු එය දිගහැර බලනවා.
‘වළල්ලක්නෙ තියලා තියෙන්නෙ. කාගෙද වළල්ල…?’ කපුගේ අහනවා.
‘ලොකු දුවගෙ වළල්ල සර්. ප්‍රශ්නයක් නෑ. ලබන මාසේ ගොයම් කැපුවාම ඒක බේරගන්න පුළුවන්. රත්තරන් බඩු තියෙන්නෙ මේ වගේ හදිසියකට බැංකුවට තියන්නනෙ සර්.’ අමරසිංහ කියනවා.
‘වළලු තියෙන්නෙ බැංකුවල තියෙන්න නොවෙයි මනුස්සයො, අතේ දාන්න.’ මේසෙ උඩ තියෙන මුදල් ටිකයි බැංකු රිසිට්පතයි අමරසිංහ දිහාට අතින් තල්ලු කරන ගමන් කපුගේ කියනවා.
‘නෑ සර් කමක් නෑ. මේ සල්ලි සර්ට ගෙවන්න තියෙන සල්ලි. ගොයම් කැපුවාම වළල්ල බේරගන්නම් සර්.’ අමරසිංහ නැවත කියනවා.
‘දැන්ම ආපහු ගිහින් මේ සල්ලි බැංකුවට බැඳලා වළල්ල අරන් ගිහින් දුවගෙ අතේ දානවා. ගොයම් කැපුවාම මට සල්ලි ගෙනත් දෙන්න.’ එහෙම කිව්ව කපුගේ නැවත ස්වර ප්‍රස්ථාර කොළ අතට අරන් මොනව දෝ ලියනවා.
‘සර්…’ අමරසිංහ නැවත මොනවදෝ කියන්න උත්සාහ කරනවා.
‘හරි හරි දැන් ගිහින් මම කිව්ව දේ කරන්න. මට වැඩ තියෙනවා. දැන්ම යන්න බැංකුව වහන්න කලින්….’ කපුගේ ප්‍රස්ථාර කොළ දිහා බලාගෙන එහෙම කියනවා.
මුදල් නෝට්ටු කිහිපයත් බැංකු උකස් රිසිට් පතත් අතේ ගුළිකර ගත්ත අමරසිංහ මිතුරාත් එක්ක කාමරයෙන් පිට වෙනවා.
‘මේ වගේ මිනිස්සු රටේ ඉන්නවද…?’ මිතුරා අමරසිංහගෙන් අහනවා. ඒකට අමරසිංහ උත්තර දුන්නෙ නෑ…
ඔහුගේ පපුවට ලොකු බරක් දැනුණා.
ඒ බර, මේ සටහන කියවන ඔබටත් දැනෙයි. ඒක පුදුමයක් නෙවෙයි.
‘සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු එකම ගඟකට ගලන….’
(සමාජ මාධ්‍යයෙන් උපුටාගත්තකි)










