තිරිඟු පිටි හිඟයට මුවාවී වෙළෙඳපොළ තුළ ගෙනයන ‘පිටි මාෆියාව’ හේතුවෙන් සිය ව්‍යාපාර පවත්වාගෙන යාම දුෂ්කර වී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති එන්. කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ තිරිඟු පිටි සපයාගැනීමට නොහැකිව මේ වන විට දිවයින පුරා බේකරි 2,000කට අධික ප්‍රමාණයක් වසාදමා ඇති බවයි.
මේ සම්බන්ධයෙන් රජය කඩිනමින් අවධානය යොමුකොට විසඳුම් ලබාදිය යුතු බව පවසන ජයවර්ධන මහතා වැඩිදුරත් මෙසේද පැවැසුවා.
‘පිටි හිඟයට මුවාවෙලා කළු කඩ මාෆියාවක් බිහිවෙලා. පිටි කිලෝ එක රුපියල් 420 දක්වා වැඩිවෙලා තියෙනවා. ප්‍රධාන සමාගම් දෙකෙන් 50%ක් වත් අද වෙනකොට පිටි ලැබෙන්නේ නැහැ. පිටරටින් පිටි ගෙන්වන මේ වෙළෙඳ ප්‍රජාව පිටි කිලෝ එකක් රුපියල් 200ට ගෙන්වන්නේ. ඒ පිටි කිලෝ එක අද වෙනෙකොට රුපියල් 420කට විතර අලෙවි කරනවා.’
‘මේක අසාධාරණ හෙණ ගහන අපරාධයක්. ඇත්තම කියනවා නම් අද වෙනfකාට ඈත ගම්බද පළාත්වල තිබෙන ඉතා කුඩා ප්‍රමාණයේ බේකරි සියල්ලම නවත්තලා දමා හමාරයි. මොකද ඒ බේකරි හිමියන්ට පිටි ගන්න කිසිම අවස්ථාවක් නැහැ. ඒ කුඩා ප්‍රමාණයේ බේකරි හිමියන් හැමදාම පිටි මිටිය අරගෙන ගියේ සිල්ලර කඩෙන්, තොග කඩයෙන්, ආර්ථිකයෙන්. ඉතින් ඒ කඩේ අද වෙනකොට රුපියල් 21,000ක් වෙනවා පිටි මිටියක්.’
‘රුපියල් 21,000ක් වෙන පිටි මිටියක් අරගෙන ගිහින් බේකරි කරන්න බැහැ කවදාවත්. ඉතින් ඒ නිසා මේ කර්මාන්තාය නවත්තලා දාලා තියෙනවා. බේකරි 2,000ට වැඩි ප්‍රමාණයක් අද වෙනකොට නවත්තලා දාලා තියෙනවා. ඒ වගේ වැඩ කරපු, ඒවා ජීවන උපාය කරගත්තු සියලු දෙනා අද මහ පාරට වැටිලා තිබෙනවා…’
adaderana