වෛද්‍ය විශේෂඥයින් විසින් සිදු කරනු ලබන සංකීර්ණ ශල්‍යකර්ම සහ වෛද්‍ය ක්‍රියා පටිපාටිවල යෝග්‍යතාවය සහ ඒවායේ ප්‍රතිඵල සම්බන්ධයෙන් තාක්ෂණික දැනුමක් නොමැති පුද්ගලයින් විසින් සිදු කරන අහිතකර අදහස් දැක්වීම් හේතුවෙන් වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි කනස්සල්ලක් මතුව ඇති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය (AMS) විසින් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස වෙත ලිඛිතව දැනුම් දී තිබේ.Sri Lanka Latest News
එමඟින් විශේෂඥ වෛද්‍යවරුන් ගේ සංගමය පෙන්වා දෙන්නේ, වෛද්‍ය විශේෂඥයින්ගේ විශ්ලේෂණයකින් තොරව සිදු කරන මෙම අදහස් දැක්වීම්, ප්‍රධාන ධාරාවේ සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම තුළින් මහජනතාවගේ මනස තුළ සෞඛ්‍ය සේවාව පිළිබඳව සැලකිය යුතු සැක සංකා ඇති කිරීමටත්, ප්‍රතිකාර අපේක්ෂාවෙන් සිටින රෝගීන් අතර කාංසාව ඉහළ නැංවීමටත් හේතු වී ඇති බවයි.
මෙම අදහස් දැක්වීම් මඟින් වෛද්‍ය විශේෂඥයින්ගේ ප්‍රතිරූපයට මෙන්ම සමස්ත සෞඛ්‍ය සේවාවට අපහාස කිරීමට උත්සාහ දරන බවද එම සංගමය පවසා තිබේ.
වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය මෙම “අනාරක්ෂිත ප්‍රවණතාවය” සම්බන්ධයෙන් දැඩි ලෙස කම්පාවට පත්ව සිටින අතර, අදාළ සිදුවීම් පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසත්, හැකි ඉක්මනින් විශේෂඥ තාක්ෂණික වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියි.
මෙමගින් සීමිත සම්පත් යටතේ වුවද රට පුරා විශිෂ්ට සේවාවක් සපයන වෛද්‍ය විශේෂඥයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හැකි වනු ඇතැයිද සංගමය විශ්වාසය පළකරයි
සංකීර්ණ, නමුත් ජීවිතාරක්ෂක වෛද්‍ය හා ශල්‍යකර්ම ක්‍රියා පටිපාටි සඳහා අපේක්ෂාවෙන් හෝ සූදානමින් සිටින රෝගීන්ගේ සැක සංකා සහ කාංසාව සමනය කිරීම සඳහා රජය මෙම තත්ත්වය පිළිබඳ සත්‍යය ප්‍රකාශයට පත් කිරීම අතිශයින් වැදගත් බවද විශේෂඥ වෛද්‍යවරුන් ගේ සංගමය අවධාරණය කරයි.
අදාළ ලිපිය විශේෂඥ වෛද්‍යවරුන් ගේ සංගමයේ සභාපති වෛද්‍ය T.G.Y. රසික ගුණපාල සහ ලේකම් වෛද්‍ය R. ඥානසේකරම් ගේ අත්සනින් නිකුත්කර ඇති අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වෙතද පිටපතක් යොමු කර ඇත.










