ක්‍රිකට් කණ්ඩායමකට තියෙන්න ඕනෙ මානසික නිදහස. ඒත් තමන්ගේ රටේ බෝම්බ පුපුරනකොට ඒ මානසික නිදහස නෑ. ප්‍රධාන වශයෙන්ම රටේ අගනුවර හැම වෙලාවකම බෝම්බ පිපිරීමෙන් ඇලළිලා තියෙනකොට, යුද්ධය දරුණුවට රට ඇතුළේ යනකොට, ත්රස්තවාදීන්ගේ බලපරාක්‍රමය යටතේ ජීවත් වෙන්න වෙනවා වගේ හැඟීමක් දැනෙනකොට, ඒ රටේ මිනිස්සුන්ට ක්‍රිකට් ගහනවට වඩා වෙන වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම රටේ ක්‍රිකට් බෝඩ් එකට සල්ලි නැතිවෙනකොට, ක්‍රිකට් බෝඩ් එකක් කියලා දෙයක් හරියට නැතිවෙනකොට, ක්‍රිකට් ගැන රටේ දේශපාලනික වශයෙන් හෝ වෙනත් ප්‍රධාන පරිපාලනමය වශයෙන් මැදිහත් වීම් නොවෙනකොට ඒ රටේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට තියෙන්නේ විශාල මානසික අවපීඩනයක්. ඔවුන් හරි අමාරුවෙන් තමයි ක්‍රිකට් සෙල්ලම් කරන්නේ. කණ්ඩායමේ නායකයා කණ්ඩායමේ සම්පූර්ණ බර දරනකොට, කණ්ඩායමේ ක්‍රීඩකයන්ව දරුවෝ වගේ බලාකියාගෙන ඒ අයට අවශ්‍ය කරන වියහියදම් කරන වැඩේ නායකයාට කරන්න වුණාම, ඒ කණ්ඩායමට ක්‍රිකට් ගහන්න අමාරුයි. හැබැයි එච්චර භයානක සහ එච්චර බරපතළ අර්බුදකාරී තත්ත්වයක ඉඳගෙන ක්‍රිකට් ගහනවා නම්, ක්‍රිකට් තරගවලින් දිනනවා නම්, ක්‍රිකට්වලින් ඉස්සරහට යනවා නම්, අපි ඒ මිනිස්සුන්ට කියන්න ඕනේ මොකක්ද? මම හිතන්නේ ඒ තමයි වීරයෝ. (Sri Lanka Latest News)
මම මේ ලිපිය පටන් අරගන්නකොට කිව්වේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම ගැන කියලා ඔබ සමහර විට හිතනවා ඇති. නෑ, මම මේ පටන්ගන්නකොට කිව්වේ ශ්‍රී ලංකා කණ්ඩායම ගැන. ඒ කියන්නේ දැන් තියෙන ශ්‍රී ලංකා කණ්ඩායම ගැන නෙවෙයි. 96 ශ්‍රී ලංකා කණ්ඩායම ගැන. මං හිතන්නේ මේ හැම දේම 96 ශ්‍රී ලංකා කණ්ඩායමට ගැළපෙනවා. මොකද 96 වෙනකොට ලංකාවේ දැවැන්ත යුද්ධයක් තිබුණා. යුද්ධය දරුණුම කොටස තමයි ඒ වෙනකොට සිද්ධ වෙමින් තිබුණේ. රටේ ජනාධිපතිවරයා පවා බෝම්බ ප්‍රහාරයකින් මියගිහිල්ලා. ඒ වගේම ජනාධිපතිවරණ අපේක්ෂකයෝ බෝම්බ ප්‍රහාරවලින් මියගිහිල්ලා. රටේ අගනුවර බෝම්බ පුපුරමින් තියෙනවා. ක්‍රීඩකයන්ට ක්‍රිකට් බෝඩ් එකෙන් සල්ලි වියදම් කරන්නේ නෑ. ක්‍රීඩකයෝ සෙල්ලම් කරන්නේ තමන්ගේ වියදම් හොයාගන්න වෙන රස්සාවකුත් කරන ගමන්. ක්‍රීඩකයන්ට අවශ්‍ය නවාතැන් පහසුකම් දෙන්නේ අර්ජුන රණතුංග. වැඩි ප්‍රමාණයක් නිදාගන්නේ අර්ජුනගේ ගෙදර. සනත් ජයසූරිය කියනවා තමන්ට ගෙදර යන්න වාහනයක් නැතුව ගියාම අරවින්දගේ වාහනේ යන්න කියලා කතාකරලා දුන්නේ අර්ජුන රණතුංග කියලා. මුත්තයියා මුරලිදරන්ලා කියනවා අපිට කෑම ටික ගෙනල්ලා දුන්නේ අර්ජුනගේ අම්මා කියලා. ඉතින් මේ සියල්ලමත් එක්ක මේ කතාව මං හිතන්නේ 100%ක් ගැළපෙනවා. එක අකුරකවත් වැරැද්දක් නෑ. හැම දේම ඇත්ත.
රටේ ක්‍රිකට් බෝඩ් එකට කෝටි ගණන් සල්ලි නෑ. ජාත්‍යන්තර වශයෙන් රටේ ක්‍රිකට්වලට පිළිගැනීමක් නෑ. ඉතින් එහෙම තත්ත්වයක් යටතේ ක්‍රිකට් ගහන එක ලේසි වැඩක් නෙවෙයි. අද වගේ සංචාර ගියාට පස්සේ ලැබෙන කෝටි ගණන් දේවල් නෑ. වෙන වෙන රටවලට ගිහිල්ලා ක්ලබ් ගහලා ගන්න සල්ලි නෑ. සල්ලි ගෙවන්නේ නෑ. අපේ ක්‍රීඩකයන්ව ලෝකයෙන්ම ලොකුවට ගණන් ගන්නේ නෑ. හැබැයි මේ සියල්ලත් එක්ක අපේ ක්‍රීඩකයෝ එකමුතු වෙලා, කණ්ඩායමක් විදියට කැපවෙලා, දැවැන්ත සටනකින් පස්සේ 96 ලෝක ශූරයෝ බවට පත්වෙනවා. කවුරුවත් විශ්වාස කළේ නෑ අපි ලෝක ශූරයෝ වෙයි කියලා. ඒත් අපි කවුරු විශ්වාස නොකළත් ලෝකෙ කවුරු විශ්වාස නොකළත් අර්ජුන රණතුංග සහ කණ්ඩායමට මේ ලෝක කුසලානය පිළිබඳ බලාපොරොත්තුවක් විශ්වාසයක් තිබුණා. එදා ඔවුන් ගියේ අතිශය දුෂ්කර ගමනක්. ඒ දුෂ්කර ගමන ඔවුන් ජයග්‍රහණය කළා කියන එක අපිට ආයෙත් මතක් කරලා දුන්නේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම. මේ ලිපිය ඔබ කියවන දවස වෙද්දී ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ඉරණම මොකක් වෙලා තියෙයිද දන්නේ නෑ. මොකද අපි මේ ලිපිය පළවෙන දවස වෙද්දී ඇෆ්ගනිස්තාන කණ්ඩායමට තමන්ගේ සෙමි ෆයිනල් එකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට සෙමිෆයිනල් එකෙන් ඔවුන්ට ලැබෙන ප්‍රතිඵලය මොකක්ද කියන එක ගැන අපිට අදහසක් ඇතුව මේ ලිපිය ලියන්න බැරි වුණාට අපි දන්නවා සෙමි ෆයිනල් එකෙන් දිනුවත් පැරැදුණත් ඇෆ්ගන් ක්‍රිකට් මේ වෙනකොට දිනලා ඉවරයි කියලා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දැන් ගතකරන්නේ සියලු සුඛවිහරණ සහිත කාලයක්. ඒගොල්ලන්ට හැම දේම තියෙනවා. ඒගොල්ලෝ හරි අහංකාරයි. ඒගොල්ලෝ හැම වෙලාවකම හිතාගෙන ඉන්නේ ප්‍රධාන වශයෙන් කණ්ඩායම් දෙකක් තියෙනවා කියලා. ඒ තමයි ප්‍රේක්ෂකයෝ, මාධ්‍යවේදියෝ සහ සාමාන්‍ය ජනතාව එක කණ්ඩායමක, ඒගොල්ලෝ තව කණ්ඩායමක. අපි ඒගොල්ලන්ට විරුද්ධයි, ඒගොල්ලෝ අපිට විරුද්ධයි. ඒගොල්ලන්ට පළමු තරගය තියෙන්නේ අපිත් එක්ක. අපිට තරගේ තියෙන්නේ ඒගොල්ලොත් එක්ක. ඒගොල්ලෝ මැච් එකක් දිනුවම උත්තර දෙන්නේ අපිට. ඒගොල්ලෝ මැච් එකක් දිනුවම රිදවන්නේ අපිට. ඒගොල්ලෝ මැච් එකක් දිනුවම පාඩමක් උගන්වන්නේ අපිට. මැච් දිනන්නේ පාඩමක් උගන්වන්න. එහෙම තමයි අපේ ක්‍රිකට් ක්‍රීඩකයෝ හිතාගෙන ඉන්නේ. නිදිමරාගෙන මැච් බලන, වැඩ නවත්තලා මැච් බලන මිනිස්සු මෝඩයෝ, ඒ මිනිස්සුන්ට ගහන්න ඕනේ කියලා තමයි ගොඩක් අය හිතාගෙන ඉන්නේ. කුසල් මෙන්ඩිස් මේ වැඩේ කළා, කුසල් ජනිත් මේ වැඩේ කළා, වනිඳු හසරංග මේ වැඩේ කළා. මේගොල්ලන්ගේ තියෙනවා හරි පුදුම දෙයක්. ඒ කියන්නේ ඒගොල්ලෝ මේ අපිට විරුද්ධව තමයි මැච් දිනන්නේ. පාකිස්තානයයි, ඉන්දියාවයි සදාකාලිකවම පිළිමලුන් වගේ මේ අයත් හැමදාම අපිට විරුද්ධයි. අපිත් එක්ක තරගයක් තියෙනවා. අපිව පරද්දන්න ඕනේ වගේ එකක් තමයි හදාගෙන තියෙන්නේ. ඒක හරිම පුදුමසහගතයි. හරිම අප්‍රසන්නයි.
ඇතැම් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව පවා ක්‍රීඩා කරන්න උචිතද කියන එක පවා අපිට දැක්කට පස්සේ හිතෙනවා. ඇත්තටම හරිම නරක විදියට ශරීර තරබාරු වෙලා, පුහුණුවීම් කරන්නේ නෑ කියන එක පැහැදිලි වෙනවා. ඒගොල්ලන්ට සමගියක් නෑ, දිනන්න වුවමනාවක් නෑ වගේ දෙයක් පැහැදිලි වෙනවා. මේගොල්ලෝ තැන් තැන්වල පබ්ජී ගහනවා. විකාර නටනවා. ඇවිදින්න යනවා. පුහුණුවීම්වලට ලොකු උනන්දුවක් නෑ වගේ හැම දෙයක්ම අපිට පේන්න තියෙනවා. අපි දන්නෙ නෑ ඒකෙ ඇත්ත නැත්ත. ඒගොල්ලන්ටත් ක්‍රිකට් දිනන්න වුවමනාව ඇති. දිනන්න බැරි වෙන්නේ අදක්ෂතාව නිසාද, ක්‍රීඩකයන්ගේ කළමනාකාරීත්වයේ ප්‍රශ්නයක් නිසාද කියන එක අපි දන්නේ නෑ. අපිට නම් ඒකෙන් වැඩකුත් නෑ.
මේ වතාවේ අපේ කණ්ඩායමක් ඉන්නවා. ඒ තමයි ඇෆ්ගනිස්තාන කණ්ඩායම. ලංකාවේ බොහෝ දෙනෙක් සහාය දක්වන්නේ ඇෆ්ගනිස්තානයට. ඇෆ්ගනිස්තාන කණ්ඩායම අපි වෙනුවෙනුත් ක්‍රිකට් ගහනවා කියලා අපි දැන් දන්නවා. අපි දැක්කා ඇෆ්ගන් නායකයා ආයෙත් වතාවක් කියලා තිබුණා, ‘අපේ මිනිස්සුන්ට තියෙන්නේ ක්‍රිකට් විතරයි, අපි ඒ මිනිසුන්ව සතුටු කරන්නයි ක්‍රිකට් ගහන්නේ, ඒගොල්ලෝ හරිම සතුටු වෙනවා අපි දිනුවාම, ඒගොල්ලෝ ප්‍රශ්න ගොඩක් තියෙන අය. ඒ අයගේ ජීවිතවලට අපිට වෙන කරන්න දෙයක් නෑ. ඉතින් ඒ අය වීදි පුරා සතුටු වෙන එක තමයි මට වැදගත් වෙන්නේ. මම විකට් දෙක තුනක් ගන්න එක නෙවෙයි. මගේ ජයග්‍රහණ නෙවෙයි මට ඕනේ, රටේ ජයග්‍රහණයි. අපි රට වෙනුවෙන් ක්‍රිකට් ගහනවා’ කියලා. ඒගොල්ලෝ ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ක්‍රිකට් ගහන්නේ ඇෆ්ගනිස්තානයේ පදිංචි වෙලාවත් නෙවෙයි. ඇෆ්ගනිස්තානයට යන්න විදියක්වත් සමහර වෙලාවට ඒ අයට නෑ.
ඇෆ්ගනිස්තානයේ නිසි පහසුකමක් නෑ. ක්‍රිකට් බෝඩ් එකක් නෑ. ඇෆ්ගනිස්තානයෙන් ඇඳුම් ටික මහලා දෙන්නවත් අනුග්‍රාහකයෙක් නෑ. මම හිතන්නේ ඒ අය ඒක කරගන්නේ බාහිරව. අපිට දැනගන්න තියෙන විදිය ඇෆ්ගනිස්තානයේ ක්‍රිකට් නායකයා එකතු වෙලා තමයි තමන්ගේ කණ්ඩායමේ ක්‍රිකට් හදාගන්නේ.
මේ විදියටම අපි දැක්කා බටහිර ඉන්දීය කොදෙව් වොත් එක වතාවකදී ඩැරන් සමීගේ නායකත්වයෙන් යුතුව ක්‍රිකට් ටීෂර්ට් එක පවා මහගන්න විදියක් නැතුව ක්‍රිකට් ගහන්න ඇවිල්ලා ලෝක කුසලානය දිනාගත්ත හැටි. අපි දන්නේ නෑ මේ වතාවේ ඒ පෙරළිය කරන්න ඇෆ්ගනිස්තාන කණ්ඩායමට පුළුවන් වෙයිද කියලා. රෂීඩ් ඛාන්ගේ නායකත්වයෙන් යුක්තව ඒගොල්ලෝ මේ වෙද්දී ඉතා ලොකු ජයග්‍රහණ ලබලා අවසානයි. ප්‍රබලම කණ්ඩායම් පරාජය කරමින් තමන්ගේ ජයග්‍රහණයේ ඉලක්කය වෙත යමින් ඔවුන්ගේ ක්‍රීඩාශීලීත්වය සහ ඔවුන්ගේ කැපවීම, ඔවුන්ගේ වුවමනාව ජයග්‍රහණය කරපු වෙලාවේ අපි දැක්කා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ නිල අවස්ථාවෙන් පස්සේ ක්‍රීඩකයෝ අඬනවා. ඔවුන්ගේ ඇස්වල කඳුළු තිබුණා. අපි දැක්කා ක්‍රීඩාගාරයේ හිටපු ගුරුබාස් සෑහෙන වෙලාවක් අත්වලින් මූණ වහගෙන අඬනවා. ලෝක පූජිත ක්‍රීඩකයෝ බවට පත්වෙලා තිබ්බ නාබිලා, රෂීඩ්ලා ඔවුන් අද වෙද්දී ජාතික ක්‍රීඩකයෝ නෙවෙයි ලෝක ක්‍රීඩකයෝ. මුළු ලෝකයේම හැම තැනම ක්‍රිකට් ගහන අය. හැබැයි ඒ මිනිස්සු ඒ සියල්ල පැත්තක තියලා මේ වෙනුවෙන් වෙහෙසෙන හැටි. කැපවෙන හැටි. ගුරුබාස්ලා වගේ ක්‍රීකඩයෝ තමන්ට ඇවිදගන්න බැරුව කොච්චර ක්‍රීඩාව වෙනුවෙන් කැපවෙලා ඉන්නවද? ඒ වගේම හැමෝම එකතු වෙලා එක කණ්ඩායමක් විදියට තරගයක් දිනන්න සැලසුම් කරන හැටි, ඔවුන් කැපවෙන හැටි, ඔවුන් කෑගහන හැටි, ඔවුන් එක ලකුණක් නවත්තන්න හදන හැටි, මේ හැම දේකින්ම ඔවුන් අපිට මතක් කරලා දුන්නේ 96 ශ්‍රී ලංකා කණ්ඩායම.
ක්‍රිකට් බලන, ක්‍රිකට් දන්න, ක්‍රිකට්වලට ආදරේ කරන මිනිස්සුන්ට ආයෙත් 96 ක්‍රිකට් කණ්ඩායම මතක් වුණා. එදා මැච් එක බැලුවා නම් ශ්‍රී ලංකාවේ මිනිහෙක්ට ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ඇස් දෙකට කඳුළක් එන දර්ශන ඕනෙ තරම් තිබුණා පිට්ටනියේ. ඉතින් ඇෆ්ගන් මිනිස්සුන්ට මේ කතාව කියන්න අපිට පුළුවන්කමක් නැති වුණාට, ඇෆ්ගන් ක්‍රීඩකයන්ට මේ කතාව කියවන්න භාෂාව තේරෙන්නේ නැති වුණාට, අපේ හදවතේ ආදරය ඒ මිනිස්සුන්ට ලැබේවි, ඒ ක්‍රීඩකයන්ට ලැබේවි. අපිට ආයෙත් 96 කණ්ඩායම මතක් කළාට ස්තුයි. රෂීඩ් නාබි, ගුරුබාස් ඇතුළු ආදරණීය ක්‍රිකට් ක්‍රීඩකයෝ හැමෝටම. ලංකාවට ක්‍රිකට් වසන්තය ගෙනාවේ අර්ජුන රණතුංගගේ මූලිකත්වයෙන් අරවින්ද ද සිල්වලා, සනත් ජයසූරියලා, රොමේෂ් කළුවිතාරණලා, චමින්ද වාස්ලා, මුත්තයියා මුරලිදරන්ලා, කුමාර ධර්මසේනලා, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහලා, හෂාන්ලා, රොෂාන්ලා හිටපු ශ්‍රී ලංකා කණ්ඩායම. ඒ අය එදා එක ලකුණක් වෙනුවෙන් ෆයිට් කළා, කෑගැහුවා, සටන් කළා. ලකුණු බේරගන්න තරග වැදුණා. අරවින්දට අර්ජුන වැඩිපුර සලකනවා කියලා කාටවත් ප්‍රශ්නයක් තිබුණේ නෑ. අරවින්දට සැලකුවේ පුද්ගලික හේතුවකට නෙවෙයි. ඉස්කෝලෙ හින්දා නෙවෙයි. එක ඉස්කෝලෙ හින්දාවත්, තාත්තගේ යාළුවෙක් හින්දාවත්, එක ආගමේ හින්දාවත්, හිතවත්කමක් හින්දාවත් නෙවෙයි. ඔවුන් ඒ සැලකුවේ ක්‍රීඩාශීලීත්වය, දක්ෂතාව හින්දා. අරවින්ද අයියට මොනවා හරි වුණොත් පාඩුයිනේ. ඒ නිසා මම බවුන්ඩි්ර ලයින් එකේ ෆීල්ඩ් කරන්න යන්නං කියලා කියපු ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටියා. එහෙම කළේ වෙන මොනවත් හේතුවකට නෙවෙයි. එහෙම කළේ ජාතිකත්වය හින්දා. ශ්‍රී ලංකාව දිනවන්න ඕනෙ හින්දා.
තමන් දිනන්නවත්, තමන්ගේ හිතවත් කෙනෙක් දිනවන්නවත්, කළමනාකරු දිනවන්නවත්, තමන්ගේ ආගමේ මොකක් හරි භූත නිකායක නායකයෙක් දිනවන්නවත් නෙවෙයි. ශ්‍රී ලංකාව දිනවන්න. එදා ශ්‍රී ලංකාව දිනවන්න සටන් කරපු අපේ ක්‍රීඩකයන්ව අද අපිට පෙන්නපු, අපිට මතක් කරපු ඇෆ්ගන් කොල්ලන්ට ජයම වේවා…
![Sri Lanka Latest News](https://sinhala.mawratanews.lk/wp-content/uploads/2022/06/Jeewana-pahan-3.jpg)
ජීවන පහන් තිළිණ