පාස්කු ඉරිදා ප්‍රහාරය හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුල සිටම දැන සිට ඇතැයි කතෝලික සභාව විශ්වාස කරන බව ගරු සිරිල් ගාමිණී පියතුමන් පවසයි.Sri Lanka Latest News
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ, පොලිස්පතිවරයා පසුගිය පාස්කු ඉරුදින කටුවපිටියේ කළ සංචාරය සහ වින්දිතයන්ගේ සුවදුක් විමසීමට යාම පිළිබඳව අප්‍රසාදය පළකිරීම සඳහා අද අගරදගුරු නිල නිවසේදී පැවැත්වූ ප්රවෘත්ති සාකච්ඡාවකදීය.
ඉකුත් පාස්කු ඉරු දින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට පැමිණ ආරක්ෂක තත්ත්වය සොයාබලා ප්‍රහාරයේ වින්දිතයන්ගේ සුවදුක්ද විමසා බැලීය.
කතෝලික සභාව අද ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පොලිස්පතිවරයාගේ එම ක්‍රියාකලාපය විවේචනය කළේය.
කටුවපිටිය ශාන්ත සෙබස්තියන් සිද්ධස්ථානයේ, මීසම් පාලක, මංජුල නිරෝෂන් පියතුමා,
“පාස්කු ඉරිදා කියන්නේ, අපි හැමෝටම විශේෂ දවසක්. උදේ දිව්‍ය පුජාව අපි පැවැත්වුවා අපිව කිසිම ආකාරයෙන් දැනුවත් කරලා තිබුණේ නෑ. අපි ඉල්ලා සිටින්නේ වියළි සලාක මල්ලක් නෙමෙයි. අපි බලලා යන්න නෙමෙයි. අපි ඉල්ලා සිටින්නේ බොහෝම පැහැදිලිවම යුක්තිය. අපිට අනාවරණයන් ලබාදෙන්න කියලා තමා ඉල්ලා සිටින්නේ.”
ප්රශ්නය – දේවස්ථානයට පැමිණෙන එක ඔබවහන්සේලා දැනුවත් නැද්ද?
“නෑ අපි කිසිම ආකාරයකින් දැනුවත් නෑ. එතැන හිටිය පොලිස් නිලධාරීන්වත් අපිට කිව්වේ නෑ. ඕවට නෙමෙයි එන්න ඕනේ විමර්ශන කරන්නයි එන්න ඕනේ.”
කතෝලික සභාවේ, ගරු සිරිල් ගාමිණී පියතුමා,
“බඩු මල්ලක් දීලා, ඉටි පන්දම් පත්තු කරලා වින්දිතයින්ටත් රටේ මිනිස්සුන්ටත් කරන නිග්‍රහයක්. මේ විදියේ සුදු ලූනු පොඩි කිරීම අර්ථයක් නෑ.”
ප්රශ්නය – ඔබ වහන්සේලා දිගටම කවුද මේක කළේ කියලා හෙව්වා. මං හිතන්නේ දැන් ඒ ප්‍රශ්නෙට විසඳුමක් ලැබිලා තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා උසාවියට කියන්නම් කියලා තියෙනවා එතුමා ඒක දන්නවා කියලා.
“විසඳුමක් ලැබෙනවා ද? නැද්ද අපි දන්නේ නෑ. අපිට මුලිකව අවධාරණය වෙන ප්‍රධානම දේ තමා බෝම්බ ප්‍රහාරය පිටුපස තව අය හිටියා කියලා. ඒ කියන්නේ දප්පුල ද ලිවේරා කිව්ව මේක කුමන්ත්‍රණයක් කියන කතාව හෙළිදරව් වෙනවා.”
ප්රශ්නය – ඔහුගේ ප්‍රකාශය හරහා පුවත්පතක් වාර්තා කරලා තියෙනවා ඉන්දියාවත් සම්බන්ධයි කියලා. ඔබ වහන්සේලාගේ මතය කුමක්ද ?
“රහස් ප්‍රකාශයට ලබාදුන්න ප්‍රකාශය ඔස්සේ නේ ඕක කියන්නේ. නමුත් ඒ ප්‍රකාශය හරියටම කවුරුත් දන්නේ නෑ නේ. අවුරුදු 5ක් පුරා කියා ගන්න බැරි වුණ දේ මොකද එක පාරටම. අපි විශ්වාස කරන්නේ නෑ කොහෙත්ම ඔහු සති තුනකට කලින් ඔහු දැනුවත් වුණා කියලා. අපි විශ්වාස කරන්නේ ඔහු එදා සිටිම දැනගෙන සිටියා කියන එක. මේකට ස්වාධීනව කටයුතු කළ හැකි විමර්ශන කණ්ඩායමක් අවශ්‍යයි.”










