මහාමාර්ග හා ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන සහ ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක අතර බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණි.Sri Lanka Latest News
බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පසුගිය 16 වැනිදා පැවති මෙම රැස්වීමේදී මහාමාර්ග පිළිබඳ ගැටලුවක් සම්බන්ධයෙන් ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක විසින් ඉදිරිපත් කිරීමත් සමග එම උණුසුම් කතාබහ ඇති විය.
මෙම රැස්වීම ආරම්භ කරමින් ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක අවධාරණය කළේ “ස්ප්‍රිංවැලි දෙමෝදර පාරට ඩිලාන් පෙරේරා ඇමැතිතුමා තුන්පාරක් මුල්ගල තිබ්බා. එකක් නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිතුමාගේ ගෙවල් ළඟ ආසනයේ. දෙමෝදර මගේ ගම. හිනාවෙන්න ඒව නෙවෙයි. මේවට අඬන්න ඕන. ස්ප්‍රිංවැලි පාර බදුල්ල සහ හාලිඇල ආසන යා කරනවා. ඩොලර් මිලියන 75ක් දුන්නා හැබැයි මිලියන 75න් අවසන් කරන්න බැහැ මිලියන 100ක් අවශ්‍යයි.” යනුවෙනි.
එම සංවාදය මෙසේයි.
ඇමැති බන්දුල ගුණවර්ධන –
ආණ්ඩු කරල ප්‍රශ්න විසඳනව කිව්වට කිසි ප්‍රශ්නයක් විසඳන්න බැහැ. දැන් හිරවෙලා තියෙන ප්‍රශ්නය විදේශ ආධාර.
රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක –
ඔන්න ජනාධිපති කෙනෙක් පොලොන්නරුවට ගියාම පොලොන්නරුවේ පාරවල් ඔක්කෝම හැදනෙවා. ජනාධිපති කෙනෙක් හම්බන්තොටට ගියාම හම්බන්තොට පාරවල් ඔක්කොම හැදෙනවා. ගම්පහට ගියාම ගම්පහ ඔක්කොම හැදෙනවා. තාම බදුල්ලට ඔය ඩොලර් මිලියන හැට බලන්නකො. ඩොලර් මිලියන හැට බෙදුවේ කොළඹටත් එක ගාණ බදුල්ලටත් එක ගාණ. ලෝක බැංකු ව්‍යාපෘතිය බදුල්ල කපල අනෙක් ඒව දාගෙන. අපි පාරවල්දාල ඒ පාරවල්වලට සල්ලි එනකල් අපි බලාගෙන ඉන්නවා. අලුත් ලේකම්ගෙන් මම ගිය සතියේ ගිහිල්ලා ඇහුවම බදුල්ල නැහැ කියනවා. ඇයි රටේ අවශ්‍යම දිස්ත්‍රික්කය බදුල්ල.
ඇමැති බන්දුල ගුණවර්ධන –
ආසියානු බැංකු හරි ලෝක බැංකු හරි අයින් කරනවා දානව කියන එක මේ නිලධාරින්ට විතරක් කරන්න බැහැ. ඒගොල්ල ඇවිල්ල බලනවා ඩොලර් මිලියන හැට දුන්නේ ඒ අය කියන පාරවල්වලට මිසක් ඇමැති කියන පාරටවත් දාන්න බැහැ. මේක ඉවසීමෙන් කරන්න ඕන වැඩක්. ආවේගයෙන් කරන්න බැහැ. මගේ ගේ ළඟ තියෙනවා කොහුවල ගුවන් පාලම. දැන් මේක වෙලා තියෙන්නෙ ගත්ත ණය ගෙවන්න බැරිවෙලා. සල්ලි අච්චුගහන්න බැරි නිසා වෙලා තියෙන්නේ මේකයි. මේ ප්‍රශ්නය තේරුම් අරන් තමයි උත්තරයක් හොයන්න ඕන. දේශපාලන උත්තරයක් නැහැ. ණය දෙන්නේ නැත්නම් ඕක තමයි වෙන්නෙ. දැන් මේ වැඩපිළිවෙළ වෙනස් කර ගත්තොත් එතැනින් එහාට ලංකාව සති දෙකක්වත් ආණ්ඩු කරන්න බැහැ. වෙච්ච ඒවට මම උත්තරකාරයෙක් නොවෙයි. මේක වෙන්න කලින් අපි 2003දී මූල්‍ය කළමනාකරණ පනතක් ගෙනැල්ල කිව්වා.
රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක –
දැන් දාල තියෙන පාරවල් කිලෝ මීටර් හත අට වගේ පාරවල්. අපට දීල තියෙන්නෙ දොළහයි. දොළහෙන් නවතින්න බැහැනේ. අපිත් ඡන්දෙට යන්න එපැයි. අපට පාරවල් දොළහක් දෙන්න. -අරුණ










