• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙන්න විශේෂ ප්‍රවෘත්තියක්! ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ජාතික සංවිධායක… රටම ආදරය කළ විජය කුමාරතුංගට මීට ස්වල්ප මොහොතකට පෙර නිවස ඉදිරිපිටදී හිසට වෙඩි තබා ඝාතනය කර ඇත..! AUDIO I Sri Lanka Latest News

February 16, 2024
in Exclusive
Reading Time: 15 mins read
A A
මෙන්න විශේෂ ප්‍රවෘත්තියක්! ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ජාතික සංවිධායක… රටම ආදරය කළ විජය කුමාරතුංගට මීට ස්වල්ප මොහොතකට පෙර නිවස ඉදිරිපිටදී හිසට වෙඩි තබා ඝාතනය කර ඇත..! AUDIO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රේමකීර්ති ද අල්විස් විජයගේ ඝාතනය රටට කියපු හැටි!

සිනමාවේ සිහින කුමාරයා ලෙස සැලකෙන විජය කුමාරතුංගයන් ඝාතනය වී අදට වසර 36කි.

ඒ මහතාට ‌පොල්හේන්ගොඩ නිවස ඉදිරිපිටදී වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ 1988 අද වැනි දිනෙක දහවල් 12.20ටය.

විජය කුමාරතුංගයන් ඝාතනය කර පෙබරවාරි මස 16 වැනි දිනට වසර 36යි Sri Lanka Latest News

ජනතා විමුක්ති පෙරමුණ(ජවිපෙ) 1965 මැයි 14 ආරම්භයේ සිට මේ දක්වා කැරලි 2කට නායකත්වය දුන්නේය. ප්‍රථම කැරැල්ල වූ 1971 අප්‍රේල් 05 කැරැල්ල මර්දනය කිරීමේදී සමගි පෙරමුණ ආණ්ඩුව අතින් ඝාතනයට ලක්වූ කැරලිකරුවන්ගේ සංඛ්‍යාව 5,000කට ආසන්නය. එවකට ආණ්ඩුව විසින් ප්‍රකාශ කළ දත්ත අනුව ඝාතනයට ලක්වූ කැරලිකරුවන් සංඛ්‍යාව 1,200ක් පමණ වේ. එසේම 1971 කැරැල්ලේදී අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපන කඳවුරු 11 රඳවා සිටි කැරලිකරුවන්ගේ සංඛ්‍යාව 17,953කි. ඉන් පොදු දේශපාලන සමාව යටතේ භාරවූ සංඛ්‍යාව 4,200කි.

පරීක්ෂණ සභා කොමිසන් 4ක් මඟින් 1971 අප්‍රේල් කැරැල්ලේ මහ නඩුව ඇතුළු පරීක්ෂණ 140ක් පවත්වන ලදී. එහිදී චෝදනා ලැබූ චූදිතයන් සංඛ්‍යාව 3,908කි. පුනරුත්ථාපනය කර සමාජයට යොමු කළ සංඛ්‍යාව 16,853කි. සෙසු අයට අත්හිටවූ, සිරදඬුවම්, බරපතළ සිරදඬුවම් සහ ජීවිතාන්තය තෙක් සිර දඬුවම් ආදී වශයෙන් සිරදඬුවම් නියම විය. අපරාධ යුක්ති විනිශ්චය

කොමිසන් සභා පනත 1977 ඔක්තෝබර් 01 අහෝසි කිරීමේ ප්‍රතිඵලයක්ව ශයෙන් විජේවීර ඇතුළු සිරදඬුවම් විඳිමින් සිටි සියලු දෙනා 1977 නොවැම්බර් 02 එජාප ආණ්ඩුව මඟින් නිදහස් කරන ලදී. ජවිපෙ 2වැනි කැරැල්ල 1986 ඇරඹී 1990 අවසන් වූ අතර එහිදී ආණ්ඩුවේ ආරක්ෂක අංශ සහ අතුරු හමුදා කණ්ඩායම්ද ප්‍රා සංවිධානය සහ කැරලිකරුවන් මඟින් ද ඝාතනයට ලක්වූ හෝ අතුරුදහන් වූ පිරිස මානව හිමිකම් සංවිධානයන්ගේ වාර්තාවන්ට අනුව 67,652කි. රජයේ නිල නොවන වාර්තාවන්ට අනුව ඝාතනයට හෝ අතුරුදන් වූ සංඛ්‍යාව 41,813කි. මින් 6,661ක් ජවිපෙ කැරලිකරුවන් අතින් ඝාතනයට ලක්වූ අතර ජවිපෙ විරෝධී සහ එජාප ආණ්ඩුවේ සහායක කණ්ඩායමක් වූ ප්‍රා සංවිධානය මඟින් ඝාතනය කරන ලද සංඛ්‍යාව 1,222කි. සෙසු සියලු දෙනා ඝාතනයට පත්වූයේ ආණ්ඩුවේ ආරක්ෂක අංශ ඇතුළු එයට සෘජු සහ වක්‍ර සම්බන්ධකම් තිබූ අතුරු හමුදා කණ්ඩායම් වන කළු බළල්ලු, ස්‍රා, උකුස්සෝ, රාජාලියෝ, කහ බළල්ලු, කොළ කොටි, රතු මකරු, මාපිලා, ගෝනුස්සා, නී, කේෂර සිංහයෝ, ලේ මාපිල්ලු සහ කළු කොටි වැනි සංවිධානයන් ගෙනි.

ජවිපෙ 2වැනි කැරැල්ලේදී කැරලිකරුවන් අතින් ඝාතනයට පත්වූ 6,661 අතර, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක විජය ඇතුළුව එහි ක්‍රියාකාරීන් 141ක්ම මෙයට අයත් විය. අවසානයේ ජාතික විමුක්ති අරගලයකින් සමාජවාදය උදාකිරීමේ උපාය මාර්ගික ගමන්මඟ අනුව රෝහණ විජේවීර ගේ නායකත්වයෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් 1986 සිට 1990 දක්වා වසර 4ක කාලයක් තුළ ක්‍රියාවට නැගූ ජවිපෙ 2වැනි කැරැල්ල අවසානයේදී 60,000ක් ඝාතනයට පත්වෙමින් නිමාවට පත්විය.

විජය කුමාරතුංග ඉපදුණේ 1945 ඔක්තෝබර් 09 වැනිදා රාගම රජයේ රෝහලේදීය. ඔහුගේ සම්පූර්ණ නම කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංගය. සිවු දෙනකුගෙන් යුත් පවුලේ බඩ පිස්සා ඔහුය. විජයගේ මව බියට්‍රිස් වූ අතර පියා ගම් මුලාදෑනියකු වූ බෙන්ජමින්ය. සිඩ්නි, විවියන් සහ රූපා ඔහුගේ වැඩිමල් සොයුරු සොහොයුරියෝ වූහ. කුඩා කාලයේදීම පියා මියගිය බැවින් පවුලේ ආර්ථිකය දුෂ්කර තත්ත්වයකට පත්විය. හෙතෙම කඳාන ද මැසනඩ් සහ කොටහේනේ ශාන්ත බෙනඩික් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීය.

සුගතපාල සෙනරත් යාපාගේ ‘හන්තානේ කථාව’ චිත්‍රපටයෙන් 1969දී සිනමාවට පිවිසි විජය අමරනාත් ජයතිලකගේ ‘ප්‍රියංගා’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය 1971දී රඟපෑවේය. වසර 1971දී ඔහු රඟපෑ චිත්‍රපට හතරක් තිරගත විය. ඔහු සිනමා තාරකාවක් බවට පත් වූයේ ‘තුෂාරා’ චිත්‍රපටිය 1973දී තිරගතවීමත් සමඟය. ඉනික්බිති සිනමා ලෝකයේ අසහාය පෙම්වතා බවට ඔහු පත් විය. ජනප්‍රියත්වය කෙතරම්ද යත් 1976දී තිරගත වූ චිත්‍රපටි හතකම ප්‍රධාන නළුවා වූයේ ද ඔහුය.

ආරම්භයේ සිට 1988 දක්වා විජය රඟපෑ චිත්‍රපට සංඛ්‍යාව 114කි. එයා දැන් ලොකු ළමයෙක්(1975), බඹරු ඇවිත්(1977), ගඟ අද්දර, පාර දිගේ, මහගෙදර සහ බැද්දේගම (1980) ඒ අතරින් ප්‍රධාන වේ. ජනප්‍රිය නළුවා සම්මානය 1983 සිට 1988 දක්වාම හිමිවූයේ ද ඔහුටය. ගායන ශිල්පියකු වශයෙන් ගීත 100ක් ගායනා කළ ඔහු කැසට්පට 10ක් පමණ නිකුත් කළේය.

සමසමාජයෙන් දේශපාලනය ඇරඹූ විජය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කටාන ආසනයට 1977දී තරගකර පරාජයට පත්විය. එජාපයේ විජේපාල මෙන්ඩිස්ට ඔහු පරාජය වූයේ ඡන්ද 4,218කිනි. පසුව ඔහු දිවංගත අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ සහ අගමැතිනී සිරිමා බණ්ඩාරනායකගේ කණිටු දියණිය වූ චන්ද්‍රිකා 1978 පෙබරවාරි 20 වැනිදා අවාහ කර ගත්තේය. ශ්‍රිලනිප ජනාධිපති අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුවට 1982 ඔක්තෝබර් 20වැනිදා පැවති ජනාධිපතිවරණයේදී ක්‍රියාකාරීව සහාය දැක්වූ විජය ජනාධිපතිවරණ පරාජයෙන් පසු එජාප රජය මඟින් නැක්සලයිට් චෝදනාව ගොනුකර 1982 නොවැම්බර් 19වැනිදා අත්අඩංගුවට ගන්නා ලදී.

මහර අතුරු මැතිවරණයට 1983 මැයි 18 ශ්‍රීලනිපයෙන් විජය ඉදිරිපත්ව පරාජයට පත්විය. එජාපයේ කමලවරණ ජයකොඩි මහර මන්ත්‍රීවරයා වූයේ වැඩි ඡන්ද 45කිනි. එමෙන්ම මහජන පක්ෂය නියෝජනය කරමින් මින්නේරිය අතුරු මැතිවරණයට 1984 ඔක්තෝබර් 25වැනිදා ඉදිරිපත් වූ අතර එහිදී දෙවන ස්ථානය ලබා ගනිමින් ඡන්ද 10,568ක් ලබා ගත්තේය.

ටී. බී ඉලංගරත්න ඇතුළු ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් සමඟ ශ්‍රී ලංකා මහජන පක්ෂය 1984 ජනවාරි 22 වැනිදා පිහිටුවීමට පුරෝගාමී නායකත්වය දෙන ලද්දේ ඔහු විසිනි. ඉන්දු ලංකා ගිවිසුමට කොන්දේසි විරහිතව පැරණි වාමාංශික පක්ෂ සහ දෙමළ බෙදුම්වාදී කණ්ඩායම් සමඟ ශ්‍රි ලංකා මහජන පක්ෂය සහාය දුන් අතර විජය එහි පුරෝගාමී නායකත්වයක් උසුලන ලදී. කැම්බල් පිටියේදී 1988 ජනවාරි 28වැනිදා පැවති පක්ෂයේ සිවුවැනි සංවත්සර රැස්වීම එහි අභිෂේකයක් විය. සමසමාජ, කොමියුනිස්ට්, මහජන පක්ෂය යන පක්ෂ සමඟ එක්වී එක්සත් සමාජවාදී පෙරමුණ පිහිටු වූ අතර එය මැතිවරණ කොමසාරිස්වරයා විසින් පෙබරවාරි 11වැනිදා පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙසින් ප්‍රකාශයට පත් කළේය. එම පෙරමුණට නව සමසමාජ පක්ෂයේ ද සහාය හිමිවිය. එම පෙරමුණේ මංගල රැලිය 1988 පෙබරවාරි මස 21 සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

ජවිපෙ සන්නද්ධ අංශය වන දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය ද්‍රවිඩ ඊලමට පක්ෂ වාමාංශිකයන් නම් කළේ තුන්වන සතුරු හමුදාව ලෙසිනි. ඒ අනුව තුන්වන සතුරු හමුදාව අතුගා දැමීම දේශප්‍රේමි අරගලේම කොටසක් බවට 1988 ජනවාරි 25වැනිදා නිකුත් කළ නියෝගයක සඳහන් විය. ඒ වන විට ජවිපෙ මඟින් 1987 නොවැම්බර් 29 වැනිදා ඝාතනය කළ අනුරාධපුරයේ නන්දන මාරසිංහ සහ 1988 පෙබරවාරි 11වැනිදා ඝාතනය වූ කොමියුනිස්ට් පක්ෂයේ පොළොන්නරුවේ ගාමිණී මැදගෙදර ගේ අවමගුල් උත්සවයන්ට ද විජය සහභාගි වූ අතර එම ඝාතනයන් තරයේම හෙළා දකිනු ලැබීය.

ඉන්දු ලංකා ගිවිසුමට සිය ප්‍රසංශාව පළ කොට සිටි විජය, ඉන්දීය හමුදාව ශ්‍රිලංකාවට පැමිණීමෙන් වාර්ගික අර්බුදය විසඳාගැනීමට හැකිවනු ඇතැයි සිය සතුට පළකර සිටියේය. ජවිපෙ, ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව මතවාදය ඉදිරිපත් කළ අතර, මහජන පක්ෂය සහ විජය ද දේශදෝහීන් ලෙස නම් කළහ. ජවිපෙ ඝාතනවලට එරෙහිව රජයේ ආරක්ෂාවට පරිබාහිරව මහජන පක්ෂයේම ආරක්ෂක වළල්ලක් විජය විසින් ගොඩනඟා ගැනීමට කටයුතු කළේය. ඒ අනුව 1987 ඔක්තෝබර් මසදී උමා මහේස්වරන්ගේ නායකත්වයෙන් යුත් ප්ලොට් සංවිධානයේ වව්නියාවේ අවි පුහුණු කඳවුරක පුහුණුවකට මහජන පක්ෂයේ කණ්ඩායමක් තෝරා යවන ලදී. විජය ඝාතනය වීමට පෙර අවස්ථා තුනකදී එසේ අවි පුහුණුව සඳහා කණ්ඩායම් තුනක් රහසිගතව යවා තිබිණි.

උදෑසන හලාවතට ගොස් පැමිණ ආපසු නාරහේන්පිට පොල්හේන්ගොඩ පාරේ සිය නිවසින් පිටතට එමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනකු විජය ඝාතනය කළේ ඒ. කේ. 47 වර්ගයේ ගිනි අවියකිනි. ඒ 1988 පෙබරවාරි 16වැනිදා පස්වරු 12.20ටය. විජයගේ මුහුණට ද වෙඩි තබා තිබූ බැවින් එය විකෘති වී තිබිණි. එබැවින් මෘත දේහයේ උඩ කොටස ආවරණය කිරීමට සිදු විය. පසුව පොලිසියට හිස් පතොරම් කොපු 14ක් හමුවිය. ඒ. කේ. 47 වර්ගයේ අවියකින් එකවර පතොරොම් 30ක් විනාඩියකටත් අඩු කාලයකදී නිකුත් කළ හැකිය.

විජයගේ ආදානය 1988 පෙබරවාරි 21 වැනිදා කොළඹ 07 නිදහස් චතුරශ්‍රයේදී පැවති අතර එය නාරාහේන්පිට සිට පුරහල හරහා ගෙන ආවේ විශාල පෙළපාලියකිනි. අවමඟුල සජීව ලෙස රූපවාහිනියෙන් විකාශය කළ අතර එය ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට අවමඟුලක් සජීව ලෙස විකාශය කළ අවස්ථාව ලෙස සැලකේ. විජය කුමාරතුංග ඝාතනය කිරීමට වෙඩි තැබූ අවස්ථාවේදී වෙඩි වැදී තුවාල සිදුවූ මහජන පක්ෂයේ රාගම ශාඛාවේ සහකාර ලේකම් සහ චිත්‍ර ශිල්පී සරත් උපාලි ද බරපතළ ලෙස රෝගාතුරව සිට 1988 අප්‍රේල් 25 වැනිදා කොළඹ මහ රෝහලේදී මිය ගියහ.

කුමාරතුංග ඝාතනයෙන් පසු ජවිපෙ සන්නද්ධ අංශය වන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නිවේදනයක් මඟින් වගකීම භාරගෙන තිබිණි. එමෙන්ම මව්බිමේ සියලු සතුරන්ට දඬුවම් දීමේ සන්නද්ධ සේනාංකය විසින් 1988 පෙබරවාරි 21වැනිදා ‘විජය කුමාරතුංග යැව්වේ ඇයි?’ මැයින් පත්‍රිකාවක් මුද්‍රණය කර බෙදා හැර තිබිණි. එහි මෙසේද සඳහන් විය. “අප විසින් දඬුවම් කරනුයේ මව්බිමේ සතුරන්ට පමණි. ඒ හැර අපේ දේශපාලනයට එකඟ නොවූවද ද්‍රෝහීන් නොවූ කිසිවකුට හෝ පොදු මහජනයාට හෝ අපි කිසිදු හිංසාවකට ඉඩ නොතබමු”.

විජය කුමාරතුංග ඝාතන තීරණය සැලසුම් කළේ කොළඹ දිසා ලේකම් ලලිත් විජේරත්න හෙවත් ජයන්තය. තොරතුරු සෙවීම කොලොන්නාවේ පියසිරි ගෙනි. සාකච්ඡා පැවැත්වූවේ පිළියන්දල සෙන්ට් මිචල් හෝටලයේදීය. ලයනල් රණසිංහට කොන්ත්‍රාත්තුව ලැබී තිබුණේ ටාසන් වීරසිංහගේ මාර්ගයෙනි. විජය ඝාතනය සඳහා යොදාගත් තුවක්කුව එවකට එජාප ආණ්ඩුවේ ඇමතිවරයකු වූ ගාමිණී ‍ලොකුගේගේ ආරක්ෂක භටයෙකු ගෙන් ජවිපෙ පැහැරගත් ගිනි අවියකි.

විජය ඝාතනයට සම්බන්ධ යතුරුපැදිය පදවාගෙන ගිය සැකකරු වූයේ ටාසන් වීරසිංහ හෙවත් හේරත්ය. ඔහු කළුතර පයාගල පදිංචිකරුවෙකි. ටාසන්ගේ පවුලේ සහෝදර සහෝදරියන් 9 දෙනකු වූ අතර ඉන් සිවු දෙනකු පිරිමිය. ටාසන්ගේ එක් සොහොයුරියක්වූ වීරසිංහ ලීලාවතී සිල්වා පානදුර බාලිකා විදුහලක ගුරුවරියකි. පවුලේ 8 වැනියා වූ ටාසන් උපන්නේ 1958 ජනවාරි 13දාය. කලක් කළුතර ඇසෝසියේටඩ් මෝටර්වේස් සමාගමේ සේවය කළ ඔහු පසුව ලංගම රියැදුරකු ලෙස කළුතර සිට යටදොල දක්වා ධාවනය වූ ලංගම බස්රථයේ කලක් කටයුතු කළ අතර, පසුව රැකියාව අතහැර පූර්ණකාලීනව ජවිපෙට එක්විය.

සිය පවුලේ සාමාජිකයන් ගේ විරෝධය මැද ටාසන් වීරසිංහ අවාහ වූයේ පද්මිණී සමඟය. පද්මිණී කියා සිටියේ 1989 දෙසැම්බර් 23වැනිදා තමා සමඟ ටාසන් අඟුලාන දුම්රිය පොලෙන් බැස ගමට පැමිණි බවත් ගෙදර යෑමට නොහැකි බව පවසා නතර වූ බවත්ය. ටාසන් අල්ලා ගැනීමට ආරක්ෂක අංශ 1990 දෙසැම්බර් 25 මොරටුව අඟුලානේ පිහිටි ඔහුගේ හිතවතකු වූ නිමල් ගුණසිංහගේ නි‍ෙවසට ගියෝය. එහි ඔහු නොසිටි අතර පසුව අඟුලාන ‍ෛවස ආසන්නයේදී එහි පැමිණි ටාසන් රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගන්නා ලදී. ඒ වන විට ටාසන් ඉදිරිපත් කරන තුරු 1990 දෙසැම්බර් 23 වැනිදා පස්වරු 2ට අත්අඩංගුවට ගත් නිමල් ගුණසිංහගේ පුතා වන 15 හැවිරිදි සරත් කුමාර අත්අඩංගුවේ රඳවාගෙන තිබිණි. සරත් කුමාරගේ මව රම්‍යලතා ද ප්‍රකාශ කළේ සිය නි‍ෙවස ඉදිරියේදී ටාසන්ව පොලිස් අත්අඩංගුවට ගත් බවය. පසුව ටාසන් හතරවැනි තට්ටුවේ රඳවන ලදී. අනතුරුව මාස 3කට පසු ඝාතනයට ලක්වී තිබේ.

විජය කුමාරතුංග ඝාතනය කළ පාලම්මුල්ලලාගේ ලයනල් රණසිංහ 27 හැවිරිදිය. ජාතික විමුක්ති අරගලයකින් සමාජවාදය උදාකිරීමේ උපායමාර්ගික ගමන්මඟ අනුව ක්‍රියාවට නැගූ ජවිපෙ 2වැනි කැරැල්ලේදී ඝාතන 41ක් සිදුකළ ලයනල් රණසිංහ උපන් සහ ජීවත්වූ නිවෙස්වලට ගිය ලේඛකයා ඔහුගේ පවුලේ අය හමුවිය. ඔවුන් පැවසූ පරිදි ලයනල් යනු ජවිපෙ නායකත්වයේ දෘෂ්ටිමය මඟපෙන්වීමකට යටත්ව ප්‍රායෝගිකත්වය ක්‍රියාවට නැගූ මිනිසෙකි. එය ද්‍රරිද්‍රතාවය සහ සමාජ පීඩනය නිසා රැඩිකල් දේශපාලනයට එක්වු තරුණයෙකුගේ ද කථාවකි.

රත්නපුර කුරුවිටදී ලයනල් උපන්නේ 1961 / 5/ 12 දීය. හොරණ රත්නපුර පාරේ මූණගම ජාතික නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි ඔහු ගාමිණී නොහොත් මහින්ද නොහොත් ජයතිලක ලෙස ද හැඳින්විණි. ලයනල්ගේ පියා 1930 අප්‍රේල් 19 කෑගල්ල පාලමුරේදී උපන් පාලම්මුල්ලලාගේ තේගිරිස්ය. ඔහු කුරුවිට පොලිසිය ඉදිරිපිට හුණු කඩයක් පවත්වාගෙන ගියේය. දෙල්ගමුවේ උපන් ලයනල්ගේ මව වූ වැලිකලගේ සිසිලින් නෝනාට දරුවන් පහකි. ලයනල් සහ ඔහුගේ කනිටු සොහොයුරා වූ සුනිල් මවගේ ප්‍රථම විවාහයේ දරුවන්ය. ලයනල් පවුලේ වැඩිමලාය.

ලයනල්ගේ මල්ලී වන 1963 අප්‍රේල් 13වැනිදා උපන් සුනිල් අයියාට වඩා වසරකින් බාලය. ලයනල්ට වයස අවුරුදු 2ක් වන විට පියා විසින් මව සහ දරු දෙදෙනා අතහැර වෙනත් විවාහයක් කර ගත්තේය. ඔහුගේ එම විවාහයෙන් ද ලයනල්ගේ පියාට දාව දියණියන් දෙදෙනකු සහ පුතකු සිටී. ලයනල්ගේ පියාගේ නංගී වන නන්දාවතී විසින් ලයනල් සිය නිවසට ගෙන ගිය අතර ඔහුට වෙනස්කම් කරන බවට චෝදනා කළ මව පසුව ලයනල්ව යළි මහ ගෙදරට ගෙනාවේය. නැන්දාගේ නිවසේ සිටින විට දෛනික කුලියට කළුගල් කැඩීමට ද ලයනල් යොමුකර තිබූ අතර පාසල් යවා තිබුණේ ද නැත.

ලයනල්ගේ මව පසුව හොරණගේ ලියනෝරිස් ප්‍රනාන්දු සමඟ විවාහවී හොරණ මූණගමට සංක්‍රමණය වූවාය. ඇයගේ නව සැමියා සහ ලයනල්ගේ සුළු පියා හොරණ නගර සභාවේ සේවය කළ අතර උග්‍ර එක්සත් ජාතික පාක්ෂිකයෙකි. අගමැති ප්‍රේමදාස විසින් ජනතා අයිතියට පවරා දී ඇති නිවසක්ද ඔහුට 1979දී හිමිවිය. ලයනල් සහ මල්ලී සුනිල් රත්නපුර කුරුවිට පිහිටි මිත්තණියගේ නිවෙසේ තවදුරටත් වාසය කළෝය. ලයනල් සහ සුනිල් පාසල් ගියේ කුරුවිට මහා විද්‍යාලයටය. විෂයන් 7ක් සම්මාන සමාර්ථ හතරක් සමඟ අපොස සාමාන්‍ය පෙළ සමත්වූ ලයනල් ඉගෙනීමට දක්ෂයෙකි.

මේ වනවිට ලයනල්ගේ මව දෙවැනි විවාහයෙන් දියණියන් තිදෙනකු බිහි කළ අතර, ඔවුන් නම් චූලා දමයන්ති, අනෝමා දමයන්ති සහ ශිරානිය. ඒ අනුව ලයනල්ගේ පවුලේ සොයුර සොයුරියන් සංඛ්‍යාව ලයනල් සමඟ පහකි. අපොස සාමාන්‍ය පෙළ හොඳින් සමත්වීමෙන් පසු ලයනල් සහ සුනිල් යන පුතුන් දෙදෙනා මව විසින් හොරණ නි‍ෙවසට කැදවාගෙන ආවේ වැඩිදුර උසස් අධ්‍යාපනය ලබාදෙන්නටය. ඒ අනුව හොරණ විද්‍යාරතන විද්‍යාලයට ඇතුළුවූ ලයනල් වාණිජ විෂය ධාරාව හැදෑරීය. මුළු පවුලටම ආර්ථික දුෂ්කරතා රැසක් කෙටි කලකින් උද්ගත වූයේ ලයනල්ගේ මව දරුවන් 5 දෙනකු සමඟ යළිත් තනිවීමෙනි. ලයනල් සහ සුනිල් මල්ලී හොරණ නගරයේ මත්පැන් අළෙවිසැලක් අසළ කඩල විකිණීමට ගියේ ජීවන බරට තල්ලුවක් දෙමිනි. ඉඳහිට කුලී වැඩට ද ගියේය. කේටරින් වැඩවල නිරතවූ මව ද පොළේදී එළවළු අළෙවි කිරීමට සහ කඩල විකිණිමට ද ඉඩ ඇති අවස්ථාවන්හිදී එක්වූවාය.

හොරණ විද්‍යාර්ථ විද්‍යාලයේ උසස් පෙළ ඉගෙනුම ලබමින් සිටියදී 1978දී ජවිපෙ දේශපාලන පන්තිවලට සහභාගි වූ අතර, ඒ වන විට ඔහුට අවුරුදු 16කි. ජවිපෙ වෙනුවෙන් ඔහුට කොක්ක ගැසුවේ හොරණ විද්‍යාර්ථ විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුවකු වූ යාගල පදිංචි ජයසිරිය. හොරණ ශිලරත්න පාරේ පිහිටි ජවිපෙ කාර්යාලයේදී ලයනල්ට ජවිපෙ දේශපාලන පන්ති පවත්වන ලද්දේ යටියන්තොට චන්ද්‍රසිරිය. කොළඹ සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ 1979/80 සභාපතිවරයා වූ යටියන්තොට චන්ද්‍රසිරි එහි විද්‍යාපීඨ සිසුවකු වූ අතර, 1982දී උපාධිධාරියකු වශයෙන් පිටවිය. ජවිපෙ ජනාධිපතිවරණයට තරගකර 1982 පරාජයට පත්වීමෙන් පසු ජවිපෙන් ඉවත් වූ චන්ද්‍රසිරි වර්තමානයේ ව්‍යාපාරිකයෙකි.

ජවිපෙට පූර්ණකාලීනයකු ලෙස ලයනල් සම්බන්ධ වන්නේ 1981දීය. අප්‍රේල් 5 විරු සමරුවක් 1981 අප්‍රේල් 2 වැනිදා කළුතර නගර ශාලාවේදී ජවිපෙ ලේකම් ලයනල් බෝපගේ ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර රෝහණ විජේවීර පිළිගැනීමට එහිදී රතු භටයකු ලෙස රාජකාරි කළේ ද ලයනල් රණසිංහය. ලයනල්ගේ මව පුතාගේ දේශපාලන කටයුතු පිළිබඳව බියපත්ව සිය සොහොයුරාට අයත් කැකිරාවේ හේනකට ලයනල් යැවූවද ඔහු ගොවියෙකු වශයෙන් ජීවිකාව ගෙන ගියේ වසරකට අසන්න කාලයක් පමණි. පෞද්ගලික ආරක්ෂක සමාගමක ආරක්ෂක නිලධාරියකු ලෙස පසුව සේවය කළේය.

යළිත් හොරණට පැමිණ 1984දී බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පොළේ එළවළු ද සෙසු දිනයන්හිදී රටකජු ද විකුණූ ලයනල් ජවිපෙ පුර්ණකාලීන දේශපාලනයට 1986දී එක්වන්නේ බටගොඩ ගමගේ ජයවර්ධන මඟිනි. යුධ හමුදා ස්වෙච්ඡා බලකායට බැඳීම සඳහා ලයනල් වරෙක සම්මුඛ පරික්ෂණයට ගිය අතර ඒ සඳහා තෝරාගැනීමෙන් පසු රපෝර්තු කරන ලෙසට ලිපියක් ද 1987 මැයි 6වැනිදා ලැබිණි. එහෙත් එම දිනයේ ඔහු ජවිපෙට අරමුදල් රැස්කිරීම සඳහා කළ මංකොල්ලකෑමක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවේ පසුවිය.

ලයනල් රණසිංහ ඇතුළු 5 දෙනකු ජවිපෙට අරමුදල් සපයා ගැනීම සඳහා කළ මංකොල්ලයකදී 1987 අප්‍රේල් 12 හොරණ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබිණි. හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා බන්ධනාගාරයේ සිට ඔවුන් ගෙනයන විට බොල්ගොඩ පාලම අසළදී ජේලර්ලාට පහරදී පලා ගියේ පිටතින් ලැබුණ ජවිපෙ සහාය ද සමඟිනි. පොලිසිය අවි පුහුණව සඳහා ජවිපෙ අවි පුහණු කඳවුරු කිහිපයකින්ම ලයනල් පුරුදු පුහුණු වී සිටියේය. ජවිපෙ විසින් මෙවැනි වනගත පුහුණු කඳවුරු රැසක් 1986 සිට ලංකාව පුරා පවත්වාගෙන ගියේය.

ලයනල් රණසිංහ විසින් ජනකාන්ත සිනමා නළුවකු මෙන්ම මහජන පක්ෂයේ නායකයා වූ විජය කුමාරතුංග ඇතුළු 41දෙනෙකු ඝාතනය කර තිබිණි. ඉන් කිහිප දෙනෙකු මෙසේය. එජාප මහලේකම් නන්දලාල් ප්‍රනාන්දු, කොළඹ සරසවියේ උපකුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර, ඇමති වීරසිංහ මල්ලිමාරච්චිගේ පුත් කොළඹ නාගරික මන්ත්‍රී ජයන්ත මල්ලමාරච්චි, එජාප නාගරික මන්ත්‍රීවරුන් වූ ලෙස්ලී රණගල ,පොලිස් නිලධාරින් කිහිපදෙනකු, එජාප ජාතික සේවක සංගමයේ ඉහළ පෙළේ නිලධාරින් තිදෙනකු, ඉන්දියාවේ මුල්පෙලේ ව්‍යාපාරිකයන් 2ක් ඇතුළු පිරිසක් එයට අයත් වූහ.

ලයනල්ගේ පවුලේ සියලු දෙනා ජවිපෙ දෙවැනි කැරළි සමය වූ 1986 සිට 1989 දක්වා විවිධ තාඩන පීඩනවලට ලක්විය. අයියා ලයනල් ඉල්ලා මල්ලී වන සුනිල් ආරක්ෂක හමුදා මඟින් අත්අඩංගුවට ගෙන වසර 2කට ආසන්න කාලයක් මිරිහාන පොලිසියේ කඳවුර, පැලවත්තේ රැඳවුම් කඳවුර, මැගසින් බන්ධනාගාරය ඇතුළු ස්ථාන කිහිපයක රඳවා තබාගන්නා ලදී. ලයනල් රණසිංහ අවසාන වරට පවුලේ අයකු හමුවූයේ මරදානේ සුමනදාස පෙරේරාගේ නිවසේදීය.

ලයනල් රණසිංහ 1989 මාර්තු 14වැනිදා කොළඹ බෞද්ධාලෝක මාවතේදී බිල්ලකු බවට පත්වූ කැරලිකරුවකුගේ මඟපෙන්වීම අනුව පොලිස් අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගන්නා ලදී. ලයනල් මවට සිය පුතා වූ ලයනල් අවසාන වරට රහස් පොලිස් අත්අඩංගුවේදී දැකකන්නට ලැබු‍වේ 1989 සැප්තැම්බර් 27වැනිදාය. පසුව හෝමාගම පොලිසියට ගෙන ආ ලයනල් රණසිංහ 1989 ඔක්තෝබර් 03 පස්වරු 7ට ලෑන්ඩ් කෲසර් ජිප් රථයකින් පිටතට ගෙන ගිය අතර පසුව පාදුක්ක වනගත පෙදෙසකදී පසුදා අලුයම 1ට පමණ ඝාතනයට පත්විය.

විජයගේ ඝාතනයෙන් පසු ඔහුගේ බිරිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජීවිතාරක්ෂාව පතා 1988 මැද භාගයේදී රටින් පිටවිය. ඇය යළි 1992දී සිය රටට පැමිණ පසුව 1994දී ජනාධිපති තනතුරට ද පත්වූවාය. සිය සැමියාගේ ඝාතනය පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසන් සභාවක් 1995 පෙබරවාරි 16වැනිදා පත් කළාය.

කොමිසමේ සාක්ෂි විභාගය 1995 අප්‍රේල් 14වැනිදා ආරම්භ කරන ලද අතර එය 1995 දෙසැම්බර් 15වැනිදා දක්වා මාස 08ක් සාක්ෂි විභාග කරන ලදී. කොමිසම ඉදිරියේ පුද්ගලයන් 72ක් සාක්ෂි දුන් අතර එම සාක්ෂි පිටපත වෙළුම් 15කින් සහ පිටු 3,441කින් සමන්විත විය. ජනාධිපති කොමිසම් සභාව විසින් පවත්වන ලද පරීක්ෂණයේ සම්පූර්ණ වාර්තා 1996 පෙබරවාරි 29වැනිදා භාර දෙන ලදී.

අනතුරුව සහකාර පොලිස් අධිකාරි චන්ද්‍රා වාකිෂ්ඨ සහ අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ එවකට සිටි අධ්‍යක්ෂ චන්ද්‍රසේන ජයවර්ධන හෙවත් චන්ද්‍රා ජයවර්ධන යන දෙදෙනාට එරෙහිව ද නඩු කටයුත්තක් ක්‍රියාත්මක විය. කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ප්‍රනාන්දු 2002 ඔක්තෝබර් 23වැනිදා ඔවුන් දෙදෙනා නිදහස් කළේය.

ඝාතනයට ලක්වන විට ලයනල් අවිවාහකයෙකි. වසර 2ක කාලයක් අනේකවිධ වධබන්ධනවලට ලක්ව ජීවත්වීමට වාසනාව ලැබූ සොහොයුරා සුනිල් රණසිංහ, වර්තමානයේ ත්‍රිරෝද රථ වෘත්තියේ නිරතවන අතර කේටරින් සේවයේ ද යෙදේ. නැගණියන් විවාහකය. ලයනල්ගේ සුළු පියා ද 1985දී මියගොස් තිබිණි. ජවිපෙ නියෝජනය කරමින් 90 දශකයේදී හොරණින් පළාත් පාලන ඡන්දයකදී අපේක්ෂිකාවක් ද වූ ලයනල්ගේ මව 2006දී ජීවිතයෙන් සමු ගත්තාය.

ධර්මන් වික්‍රමරත්න

********************

විජය ඝාත­නය පිළි­බ­ඳව ඔහුගේ බිරිය චන්ද්‍රිකා දුන් කට­උ­ත්ත­රය

 පොලිස් අපරාධ විමර්ශන මූලස්ථානයේ පොලිස් අධිකාරි ගාමිණී පෙරේරා ගේ මෙහෙයවීම යටතේ පොලිස් පරික්ෂක නන්දන විජේරත්න විසින් විජය කුමාරතුංග ඝාතනය පිළිබඳව ඔහුගේ බිරිය වූ චන්ද්‍රිකා කුමාරතුංග ගෙන් කොළඹ 07 රොස්මිඩ් පෙදෙසේ සිය නිවෙසේදී 1988 පෙබරවාරි 26 සහ 27 යන දෙදින තුළ සටහන් කරගත් දීර්ඝ කටඋත්තරයේ මෙසේ ද සඳහන් විය.

“….මට හොඳට මතකයි 1988 පෙබරවාරි 16 වැනිදා සිරිත් පරිදි උදේ 06.00ට පමණ අවදිවී පෙ.ව 07.00ට හෝ 07.30ට අතරදී නිවසින් පිටවුණා. සතියේ දිනවලදී උදේ 07.00ටත් 07.30ටත් අතර කාලයේදි ළමයින් දෙදෙනා ගෙන ඔහු නිවසින් පිටට යනවා. එසේ යන්නේ ඔහුගේ කොළ පාට කොරෝනා රථයෙන් හෝ එල් 300 වර්ගයේ රථයෙන් හෝ එම වාහන දෙකම නැත්නම් මට අයත් ඩැට්සන් බ්ලූ බර්ඞ් රථයෙන් ළමයි දෙදෙනා පාසලට රැගෙන යනවා. නමුත් මෙදින රජයේ නිවාඩු දිනයක් වූ නිසා ළමයි දෙදෙනා පාසලට ගෙන ගියේ නැත. මෙදින මා පසුව දැනගත් අයුරු ඔහු කෙලින්ම පක්ෂ මුලස්ථානයට ගොස් එම ස්ථානයේ සිට අප පක්ෂයේ උප ලේකම් වන දේව බණ්ඩාර සේනාරත්නද කැටුව හලාවත බලා පිටත්වී තිබෙනවා…….

…..මෙදින උදේ 11.30ත් 12.00ත් අතර විජය යළි නිවසට පැමිණ කෙලින්ම උඩ තට්ටුවට ගියා. ඉන් ටික වේලාවකට පසු විජය බාත්රූම් එකේ නාන හෝ ඇඟ සෝදන බව ඇසුණා. ඉන් ටික වේලාවකට පසු විජය හොඳට ගමනක් යන්න වගේ ඇඳගෙන ඔහුගේ දින පොතත්, ලිපි කවරයක් (බ්‍රිෆ් කේසය) සල්ලි තිබෙන පර්ස් එකක් අතේ අරගෙන ආවා……

…..විජය ගේට්ටුවෙන් එළියට ගියා. මමත් ගමනක් යාමට සූදානම් වී සිටි නිසා මගේ කාරයේ යතුර ද අතේ තියාගෙන ගෙදර පඩිය උඩට බැස්සා. මම පඩිය උඩ සිට ආපසු හැරී මගේ ලේකම් තිලකා හෝ උපාලිට මොනවා හෝ කිවූ බව මට මතකයි. එම නිවසේ පඩිය උඩ ඉඳ එළියට බහින්න සූදානම් වන විටම වෙඩි හඬ තුනක් මට පැහැදිලිවම ඇසුණා. මම සාලයේ සිට උපාලිට කෑගහලා කීවා උපාලි ගිහින් බලන්න කියා. මා එළියට දිව්වා. මම දුවනවාත් එක්කම මගේ ලේකම් එළියේ සිට මාගේ ඉදිරියට දුවගෙන එමින් ඔළුවට ගහගනිමින් අයියෝ මැඩම් මහත්තයා කියාගෙන කෑගසාගෙන ආවා. ඒ සමඟම දුව යසෝදරා කෑ ගසාගෙන මගේ ඉදිරියට ආවා. මම ගේට්ටුව ළඟට යනවාත් සමඟම මම දැක්කා කවුරු හෝ බිම වැටී සිටින බව. මම දැක්කා ඒ සමඟම බිම වැටී සිටි අයගේ හිස ළඟම සිටගෙන වැටී සිටි අයගේ ඔළුවට වෙඩි තියාගෙන තියාගෙන යනවා. ඒ සමඟම එතැන සිටි අපේ අය ගේට්ටුවෙන් ඇතුළට දුවගෙන ආවා. මම ඒ මොහොතේදී තත්පර කිහිපයක් නැවතී එළියටම දිව්වා. ඒ දුවන විට වෙඩි තැබූ පුද්ගලයා එතැන සිටියේ නැත…..

ප්‍රශ්නය : 88.02.16 වන දින විජයට ඇමරිකන් තානාපති කාර්යාලයෙන් දවල් කෑමට ලැබුණු ආරාධනාව ගැන ඔබ දන්නවාද?

පිළිතුර : මෙම වෙඩි තැබීමට අඩු තරමින් දින 10කට පෙර එක් දිනක් උදේ වරුවේ මාගේ ලේකම් තිලකා මට දැන්වුවා. ඇමෙරිකන් තානාපති කාර්යාලයෙන් විජයට කිහිපවරක්ම කථා කළ බව. ඉන් පසුව ටෙලිෆෝන් එක වදින විට මම ටෙලිෆෝනයට පිළිතුරු දුන්නා. එවිට ඇමෙරිකන් නානාපති කාර්යාලයෙන් ගැහැනු කෙනෙක් ඉංග්‍රීසියෙන් කථාකර එඞ්වඩ් මාර්ක්ස් නැමැති නානාපති කාර්යාලයේ නිලධාරියකුට විජයට කථා කිරීමට අවශ්‍ය බව දැන්වුවා. ඔහු නැති බව මා දැන්වුවා. මේ කථා කරන්නේ මිසිස් කුමාරතුංග බව කියා පණිවිඩයක් තිබේදැයි මම ඇසුවා. නැහැ විජයටම කථා කරන්න අවශ්‍ය බව කීවා. ඔහු ආපසු එන වේලාව මගෙන් ඇසුවා. ඒ ගැන මම හරියට නොදන්නා බව කී විට ඔහු පක්ෂ මූලස්ථානයට ගිහින්දැයි මගෙන් ඇසුවා. සමහර විට සිටීමට පුළුවන් බව මම කීවා. එතැනින් එම ඇමතීම අවසන් වුණා.

ඉන් පසුව එදා දවල් වරුවේ මා විජය මුණ ගැසුණු අවස්ථාවේදිම මම ඔහුගෙන් ඇසුවා ඇමෙරිකන් තානාපති කාර්යාලයෙන් කථා කළාද කියා. ඒ වනවිට කථා කළේ නැති බව මට කීවා. ඊළඟට මම දන්නේ 10වැනිදා හෝ 11වැනිදා විජය චිත්‍රපටියක වැඩට මස්කෙලියට ගොස් සිටින අවස්ථාවේදී ඇමෙරිකන් තානාපති කාර්යාලයෙන් පෙබරවාරි 16 වැනිදා දහවල් ආහාරයට ආරාධනා පත්‍රයක් අපේ ගෙදරට එවා, එය මා දුටුවිටයි.

එය මා දුටුවේ අපේ ගෙදර පඩිපෙළ ළඟ අසල තිබූ සයිබොඩ් එක උඩ තට්ටුවේ අප සිරිත් පරිදි ලිපි ආරාධනා පත්‍ර තබා තියන තැන කවරය නැතිව කාඞ්පත තිබුණා. 10 වැනිදා හෝ 11වැනිදා සිට දින කිහිපයක් මෙම ස්ථානයේම එම ආරාධනා පත්‍රය තිබුණා. 12 වැනිදා සවස් වරුවේ විජය නිවසට පැමිණියාට පසු 13වැනිදා පමණ මට මතක සැටියට එම කාඩ්පත එම ස්ථානයේ තිබුණේ නැත. මම හිතුවා විජය සාමාන්‍යයෙන් සිරිත් පරිදි කරන පරිදි ඔහුගේ දිනපොත ඇතුලේ දමාගෙන යන්න ඇති කියා. මම විජය 16 වැනිදා දහවල් ආහාරයට යන බව දැන සිටියා.

ප්‍රශ්නය : ඔබ හැරෙන්නට මෙම ආරාධනාව ගැන වෙන කිසිවෙක් දන්නා බව ඔබ දන්නවාද?

පිළිතුර : මම දන්නා තරමින් තිලකා එය දැනගන්න ඕනෑ යැයි මම සිතනවා. එසේ සිතීමට හේතුව ආරාධනා පත්‍රය දින ගණනක් සයිබෝඩ් එක උඩ තිබුණ නිසා සහ අපට ලැබෙන ලිපි හැර අවශ්‍ය කටයුතු කිරීමට ඇයට අනුබල දී තිබූ නිසා.

ප්‍රශ්නය : මෙම ආරාධනා පත්‍රය ලැබුණු අන්දම ඔබ දන්නවාද?

පිළිතුර : මම දන්නේ නැහැ.

ප්‍රශ්නය : ඔබ පළමුව විජය වෙඩි වැදී සිටින විට විජය සිටියේ කෙසේද?

පිළිතුර : …….මම හිතන හැටියට විජයගේ මිනීමැරීමට ජනතා විමුක්ති පෙරමුණේ සම්බන්ධයක් තිබෙන්නට පුළුවන් බව මම සැකකරනවා….. මා සිතන හැටියට මෙම බලවේගයන් ගේ අතකොළුවක් වශයෙන් රෝහණ විජේවීර සහ ඔහුගේ මිනීමරු කල්ලිය දැනට යොදාගෙන තිබෙනවා. මම මේ ගැන කීමට ඇත්තේ මෙපමණයි….. කියවා තේරුම් කර දුන්නා. පිළිගෙන (අත්සන) අත්සන් කළා.”

ඉහත සඳහන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ප්‍රකාශය පො.ප විජේරත්න වන මා විසින් අවංකවත් සත්‍ය ලෙසත් වාර්තා ගතකළ බවද පොලිස් අධිකාරි ගාමිණී පෙරේරා මහතා ඉදිරියේ මෙම වාර්තාව ප්‍රකාශ කළ බව ද සහතික කරමි. (පො.ප විජේරත්නගේ අත්සන) දැන් වේලාව 1.30යි ප්‍රකාශය සටන් කිරීම අවසන් විය. මා දැන් අපරාධ විමර්ශන මූලස්ථානය කරා යමි. පොලිස් අධිකාරි ගාමිණී පෙරේරා මහතා ගේ අත්සන. මා මෙම ප්‍රකාශයන් සටහන් මා භාරයේ පොලිස් අධිකාරි ගාමිණී පෙරේරා මහතාගේ නියෝග අනුව තබා ගතිමි. පසුව අලවමි. (පො.ප. විජේරත්නගේ අත්සන)

SendShareShare
Previous Post

ජනාධිපතිවරණය කල්දාන්න තීන්දු කළ සෙනගාල් ජනාධිපතිට එරෙහිව මිනිස්සු පාරට බැස්සා! රට ගිනි ගත්තා! මෙන්න ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරණය කල් දමන තීන්දුව අත්හිටුවලා! මේක ලෝකෙම ඒකාධිපතිවරුන් වෙන්න හදන ජනාධිපතිවරුන්ට හොඳ පාඩමක්! I Sri Lanka Latest News

Next Post

රනිල් ඊශ්‍රායලයේ ප්‍රවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරිය හමුවෙයි! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.