අද (05) පැවැති සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී එළඹෙන පළාත් පාලන මැතිවරණය සදහා නාමයෝජනා කැදවීමට තීන්දු කර ඇත.
එහිදී සජබයට පක්ෂ වීම හේතුකොටගෙන එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කරනු ලැබූ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට ප්‍රමුඛතාවය ලබා දීමටද තීන්දු වී ඇත.
ඒ සම්බන්ධයෙන් පක්ෂය අද දින නිකුත් කළ නිවේදනය මෙසේය.
සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගනු ලැබූ තීන්දු.
- ලංකාවම නියෝජනය කරන ආකාරයට පළාත් පාලන අපේක්ෂකයින්ගේ නාමයෝජනා කැදවීමට සමගි ජනබලවේගය තීන්දු කරනු ලැබීය. අද(05) පාර්ලිමේන්තුවේ දී පැවැති සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම තීන්දුව ගනු ලැබීය.මේ පිළිබඳව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් අදාල යෝජනාව ගෙන ආ අතර මන්ත්‍රී කණ්ඩායමේ ඒකමතික අනුමැතිය ඊට ලැබුණි.
ඒ අනුව නාමයෝජනා කැදවීමට අදාල කටයුතු ඉදිරි දෙසතිය තුල සූදානම් කරන ලෙස විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දුන්නේය.
- සමගි ජනබලවේගයට සහයෝගය ලබාදුන් බවට චෝදනා කරමින් පළාත් පාලන මන්ත්‍රීවරුන් 70ගේ ධූර අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළ අතර එම කැපකිරීම් කළ සියලු දෙනාට මෙහිදී ප්‍රමුඛත්වය ලබා දීමට ද තීන්දු කරනු ලැබීය.
මේ අතර සමගි ජනබලවේගයට සහයෝගය ලබා දුන් පළාත් පාලන මන්ත්‍රීවරුන් ඉලක්ක කොටගෙන ඔවුන්ට එරෙහිව ගෙන එනු ලබන තර්ජන සහ බලපෑම් පිළිබඳව කබීර් හෂීම්,නලින් බණ්ඩාර ඇතුලු මන්ත්‍රීවරු රැසක් අදහස් ප්‍රකාශ කළ අතර ඒ පිළිබඳව ද සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ගනු ලැබීය. මේ සියලු අභියෝග මැද නොසැලී සමගි ජනබලවේගය සමග කටයුතු කළ පළාත් පාලන නියෝජිතයින් ආරක්ෂා කිරීම වෙනුවෙන් පක්ෂය ක්‍රියාමාර්ග රැසක්ම ගන්නට නියමිතය.
ඒ අනුව සමගි ජනබලවේගයේ සියලු මන්ත්‍රීවරුන් ,ආසන සංවිධායකයින් නීතිඥ කණ්ඩායම් එක්ව අදාල පළාත් පාලන මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් සැකසේ.