දැඩි වර්ෂාව හේතුවෙන් ගංඟා කිහිපයක් පිටාර ගලමින් පවති.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවල ගංඟාවේ ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවය.
මේ හේතුවෙන් දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත් බිම්වල සුළු ගං වතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
මහඔයේ ජල මට්ටම ඉහළයාම හේතුවෙන් වරදගොල්ල, නාඋල්ල, දිවුල්දෙණිය සහ වැලිහිද ග්‍රාමසේවා ප්‍රදේශ මෙන්ම අලව්ව, මීරිගම, වෙන්නප්පුව, මීගමුව සහ කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම්ද ජලයෙන් යටවීමේ අවදානමක් පවතී.
එමෙන්ම සීතාවක ගඟ ද පිටාර මට්ටමේ පවතින බව දැනුම් දී තිබේ.
මේ අතර නිල්වලා ගඟ සහ කළු ගඟේ ජල මට්ටම ඉහළයමින් පවතින නිසා ඇතැම් ස්ථානවල පහත් බිම් ජලයෙන් යටවීමේ අවදානම් නිවේදනයක් වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසුවේ දිස්ත්‍රික්ක කිහිපයකට මේ වන විට නායයෑම් අනතුරු අඟවා ඇති බවය.
නායයෑමක් හේතුවෙන් රඹුක්කන, දොඹේමඩ ප්‍රදේශයේ නිවසක් සම්පූර්ණයෙන් යටවී එහි සිටි තිදෙනෙකු මිය ගොස් ඇත.
එම නිවසේ එම අවස්ථාවේ මව, පියා, දියණිය සහ තවත් ඥාතී දියණියක් සිට තිබුණි.
මෙලෙස මිය ගොස් ඇත්තේ මව, දියණිය සහ අනෙක් තැනැත්තිය බව අප වාර්තාකරු පැවසීය.
පියා මේ වන විට කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.









