කෝප් කමිටුවේ සභාපති ධුරයෙන් මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ඉවත් කිරීම සඳහා ඒ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කෝප් කමිටුව හමුවට ගෙන ඒමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ පොදු මන්ත්‍රී කණ්ඩායම තීන්දු කොට ඇත.Sri Lanka Latest News
ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් නිකුත් කොට ඇති විගණකාධිපති වාර්තාව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඉකුත් සතියේදී ක්‍රිකට් ආයතන ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී එහි සභාපති රංජිත් බණ්ඩාර මහතා කටයුතු කළ පක්ෂග්‍රාහී ආකාරය මේ සඳහා හේතු වී තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණ කර සිටියේ කෝප් කමිටු රැස්වීමේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රශ්න කරමින් සිටින අවස්ථාවේදී රංජිත් බණ්ඩාර මහතා හස්ත සංඥා ලබාදෙමින් ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන්ට නිහඬ වන ලෙස සංඥා නිකුත් කොට ඇති බවය.
එමෙන්ම පිටස්තර කිසිවකුටත් කෝප් කමිටුවේ අසුන් ගැනීමට නොහැකිව තිබියදී රංජිත් බණ්ඩාර මහතාගේ පුත්‍රයා වන කනිෂ්ක බණ්ඩාර නමැත්තා කෝප් කමිටු රැස්වීමට සහභාගි වී සිටීම බරපතළ ප්‍රශ්නයක් බවද විපක්ෂ නායකවරයා එහිදී කියා සිටියේය.
මීට අමතරව විපක්ෂ නායකවරයා ලියකියවිලිද පාර්ලිමේන්තුවේ සභාගත කරමින් චෝදනා කර සිටියේ කෝප් සභාපති රංජිත් බණ්ඩාර මහතා හා ක්‍රිකට් ආයතනය අතර පසුගිය කාලයේ ගනුදෙනු රැසක් සිදුව ඇති බවය.
ඒ අනුව රංජිත් බණ්ඩාර මහතාට කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බවද විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කොට තිබිණි.
මීට අමතරව හේෂා විතානගේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී චෝදනා කර සිටියේ කෝප් කමිටුවේ ඇතැම් හිටපු නිලධාරීන්ට ලිංගික හිංසන චෝදනාද එල්ලවී ඇති බවය.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාද පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් කියා සිටියේ තමන් අසූචි පොහොර නෞකාව සම්බන්ධ විගණකාධිපති වාර්තාව සාකච්ඡා කළ යුතු බවට දෙවතාවක්ම කෝප් කමිටුවෙන් ඉල්ලා සිටියද, රංජිත් බණ්ඩාර මහතා මෙතෙක් ඊට අවසරයක් ලබාදී නොමැති බවය.
මීට අමතරව ලිට්රෝ ගෑස් සමාගම සම්බන්ධයෙන් කෝප් කමිටුවේ සාකච්ඡාවක් ඉල්ලා සිටියද ඊටද මේ දක්වා රංජිත් බණ්ඩාර මහතා ප්‍රතිචාර දක්වා නොමැති බවටද මරික්කාර් මහතා චෝදනා කර සිටියේය.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරකසභාවේ සාමාජිකයන් 31 දෙනකු සිටින අතර, ඉන් 19 දෙනෙක් ආණ්ඩු පක්ෂය නියෝජනය කරනු ලබයි.
විපක්ෂය නියෝජනය කරමින් එහි සිටින මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 12 දෙනෙකි.